නිදහස් වෙළඳ කලාපයේ ඇඟළුම් කම්හල්වල බලාත්මක කරන ලද පීඩාකාරී කළමනාකරණ උපක්‍රම සහ දුක්ඛිත සේවා කොන්දේසිවලට එරෙහිව, සූරා කෑමට ලක් වූ කාන්තා කම්කරුවන් විසින් මෙහෙයවන ලද 1982 – 1985 වියරු අරගලය මෙම සිනමා නිර්මාණයට වස්තු බීජය වී ඇත. තේජා යනු විශ්වාසනීය බිරිඳක් සහ මවකි. ඇයගේ සැමියාගේ අනපේක්ෂිත ඛේදජනක අනතුරෙන් පසුව ඇගේ ජීවිතය වෙනස් විය. ඒ වෙනස්වීමත් සමඟම දක්ෂ වෘත්තීය සමිති නායිකාවක් වන අයිරින්ගේ ආභාසය තේජා විසින් අනුගමනය කිරීමට පෙලඹේ. සිය ඇඟළුම් කම්හලේ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, සමාජ අසාධාරණය සහ අනපේක්ෂිත විපත්ති හමුවේ පෙනී සිටීමට තේජා මූලිකත්වය ගනී. තේජා සිය සගයන් පෙරටු කරගෙන අයිරින්ගේ මඟ පෙන්වීම මත ඔවුන්ගේ වැඩබිම යහපත් පාලනයකින් එකමුතු කිරීම පිණිස දුෂ්කර මෙන්ම භයානක අරගලයකට මුල පුරති. පාලකයන් සිය දරදඬු ප්‍රතිපත්ති වෙනස් නොකරන්නේ නම්, කම්හල වසා දැමීම, ඔවුන්ගේ ජයග්‍රහණයේ ප්‍රතිඵලය ලෙස ඔවුහු සලකති. මෙම කම්කරු අරගලය නැවැත්වීමටත්, සියලු කම්කරුවන් සිය පාලනය යටතේ තබා ගැනීමටත් දේශපාලන බලය සහිත කම්හල් හිමියෝ ගත හැකි සියලුම ක්‍රියාවන්හි නිරත වේ. පාලක – කම්කරු අරගලයේ ජය කාට හිමිවේද යනු “තේජා” චිත්‍රපටයෙන් විද්‍යාමාන වේ.
ගුවන් විදුලි පිටපත් රචකයකු, චිත්‍රපට හා ටෙලි නාට්‍ය සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස කලා ක්ෂේත්රයට ප්‍රවිෂ්ට වූ නිලන්ත හපන්වීරගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණය “තේජා” යි. කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරන ඔහු, විවෘත විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යා ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය හා සංස්කරණය පිළිබඳව පාඨමාලාව හා ගුවන් විදුලි සන්නිවේදන පාඨමාලාව හදාරයි. දිරිය කැදැල්ල නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකුව එහි නාට්‍ය වැඩමුළු මෙහෙයවීමට එක්වන නිලන්ත, උසස් පෙළ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරු වෘත්තියට එක්වන අතරතුරම ඩ්‍රීම්ස් ඇන්ඩ් මැජික් ආයතනයේ වැඩසටහන් අධ්යක්ෂවරයකු ලෙසද සේවයේ නිරත වේ. “උතුරු කටුව” සහ “රැල්ල වෙරළ” වේදිකා නාට්‍යවලින් රංගනයට පිවිසෙන ඔහු “ප්‍රකෘති”, “අයදුම”, “දුක්ඛා”, “නටඹුන්” වැනි වේදිකා නාට්‍ය හා කෙටි නාට්‍ය රචනය කරමින් නිෂ්පාදනයෙන්ද දායකව ඇත. පසු කලෙක, ගුවන් විදුලි රඟමඬල, ලක් හඬ රඟමඩල, මල්ගුඩි දවස හා මුවන්පැලැස්ස වැනි වැඩසටහන් සඳහා පිටපත් රචනයෙන් දායක වන නිලන්ත, වෙළඳ දැන්වීම්, කාලීන වැඩසටහන් පිටපත් රචකයකු සේම ගීත නිබන්ධකයකුද වෙයි. ස්වර්ණවාහිනී නාලිකාවෙන් විකාශය වූ “සක්මන් මළුව” හා “තිමිර සෙවණැලි” ඒකාංගික ටෙලි නාට්‍ය රචනය කරමින් අධ්යක්ෂණයට පිවිස “පියගැට පාමුල” ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව සඳහාද නිර්මාණකරණයෙන් දායක වෙයි. “සමාරා” හා “තාරකා මල්” චිත්‍රපට වලින් සහය අධ්යක්ෂණයට පිවිස, “ස්වර” චිත්‍රපටයේ විධායක නිෂ්පාදක ලෙස කටයුතු කළ ඔහු, “සදී” චිත්‍රපටයේ නිර්මාණ අධීක්ෂකවරයාද විය.
රංගන දායකත්වය
නීටා ප්‍රනාන්දු (තේජා), මහේන්ද්‍ර පෙරේරා (රන්ජිත්), අයිරාංගනී සේරසිංහ (අයිරින්), චමිලා පීරිස් (මැඩම්), සුජානි මේනකා (නයනා), අනුරුද්ධිකා පාදුක්කගේ (කමලා), අතුල පතිරණ (සිසිර), ශ්‍රීමාල් වෙඩිසිංහ (තිසේරා), රවිනි විරංගා සන්දීපනී (ළමා නිළි),කේ.ඒ. මිල්ටන් පෙරේරා, කරුණාරත්න අමරසිංහ , කුමා අත්තනායක, මිලින්ද පෙරේරා, නව්සාඩ් මොහොමඩ්, රහල් බුලත්සිංහල, චන්දන එදිරිමාන්න, මෙලනි අශෝකා, මොන්ටි සරත්චන්ද්‍ර, ගුණවර්ධන හෙට්ටිආරච්චි, ඩී.බී. ගංගොඩතැන්න, කුමාර සිරිවර්ධන, චන්ද්‍රිකා හෙට්ටිආරච්චි, නිලන්ති ගුණවර්ධන, නෞශාඩ් සිඩාර්, ජානක ජයකොඩි, චින්තන ලංකාපුත්‍ර, සරත් විජේසේකර, නදීශා චතුරංගි, නෙළුම් ශ්‍යාමිලා, දුලීකා ප්‍රියානි, පී.ඩී. ඉන්දිකා, නිලන්ති කුමාරි, තක්ෂිලා කුමාරි, සුලෝචනා, විනිෂියා චාම්නීර්
කාර්මික දායකත්වය
තිර රචනය සහ අධ්‍යක්ෂණය – නිලන්ත හපන්වීර
ඉදිරිපත් කිරීම – සංගීතා ෆිල්ම්ස්
නිෂ්පාදනය – නීටා ප්‍රනාන්දු, මහිල් ආර්. පෙරේරා, සුරංග ද අල්විස්
කැමරා අධ්‍යක්ෂණය – කාවින්ද රණවීර
සහය කැමරා – මංජුල කුමාරතුංග
සහය අධ්‍යක්ෂණය – චන්දන ඉරුගල්බණ්ඩාර
සංස්කරණය – ස්ටැන්ලි ද අල්විස්
ශබ්ද සංකලනය හා ශබ්ද ප්‍රයෝග – ලයනල් ගුණරත්න, ශෂික රුවන් මාරසිංහ
කලා අධ්‍යක්ෂණය – මංජුල අයගම
සහය කලා අධ්‍යක්ෂණය – ලසන්ත ගුණවර්ධන, සංජීව කරුණාරත්න
වර්ණ සංයෝජනය – ආනන්ද බණ්ඩාර
අංග රචනය – මනෝ සෙල්වරාජ, හංසක සුහීර
සංගීත අධ්‍යක්ෂණය – නවරත්න ගමගේ
ගීත රචනය – වසන්ත කුමාර කොබවක
ගීත ගායනය – උමාලි තිලකරත්න
නිෂ්පාදන කළමනාකරණය – සරත් වීරසේකර
උපසිරැසි – යොලන්ඩා වීරසිංහ, මහේෂ් රත්නායක
නිෂ්පාදන සහය – කුමාරදාස නල්ලරාව
සංස්කරණ මැදිරිය – ඩ්‍රීම්ස් ඇන්ඩ් මැජික්, සංගීතා ෆිල්ම්ස්
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු