Home » අයිස්ක්‍රීම් දියවෙන්නට පෙර රසවිඳින්න

අයිස්ක්‍රීම් දියවෙන්නට පෙර රසවිඳින්න

රංගන ශිල්පිනී අයිශාරා අතුකෝරල

by Thanushika
March 13, 2025 9:23 am 0 comment

අයිශාරා රුවැත්තියකි. රුවැත්තියක් මෙන්ම උගත් තැනැත්තියකි. සුන්දර යොවුන් වියේදීම ලෝකය දෙස නෙත්හැර බලන්නට වෙර දැරූ සුරූපිනියකි. රංගනයට හාත්පසින්ම වෙනස් වෘත්තීයක නියැළෙන්නට බලාපොරොත්තුවෙන් ඇය ලංකාවෙන් එක්සත් රාජධානිය බලා පියාඹා යන්නේ මීට වසර ගණනාවකට පෙරය. ඒ නීතිය හදාරන්නටය. එදා සුන්දර තරුණියක් වූ ඇය රංගන ශිල්පිනියකි. පැණි මකුළුවෝ, ඝරසර්ප, මංගල තෑග්ග 2, පෝරිසාදයා වැනි චිත්‍රපට ඇයගේ රංගනයෙන් රසවත් විය. ඇය අද පරිණත කාන්තාවකි. එහෙත් ඇගේ රුව එදා මෙන්මය. අයිශාරා නැවතත් ලංකාවට පියාඹා ආවේ හේතු කිහිපයක් නිසාය. ඒ පිළිබඳ සරසවියට පැවසීමට ඇය යුහුසුලු වූවාය. පසුගිය 6 දා සිනමා තිරය රසවත් කළ අයිස්ක්‍රීම් චිත්‍රපටය ප්‍රධාන කාරණා වලින් එකකි.

ඔබ ලංකාවට පැමිණියේ කාරණා කිහිපයක් නිසා නේද ?

ඔව්. හරිම සතුටුයි ලංකාවට ආයෙමත් එන්න ලැබීම ගැන. ලෝකේ කොහේ හිටියත් ලංකාව තරම් දැනෙන රටක් තවත් නැහැ. වෙන රටක ඉන්න විට තමයි එය තදින්ම දැනෙන්නේ. ලංකාවට නැවත එන්න හේතු කිහිපයක් තිබුණා. මම රංගනයෙන් දායක වූ අයිස්ක්‍රීම් චිත්‍රපටයේ මංගල දැක්ම, සිනමා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ සැඟවුණු නගරය චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගී වීමට සහ මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තමයි ලංකාවට ආවේ.

අයිස්ක්‍රීම් මංගල දර්ශනය පසුගිය දා පැවැත්වුණා. ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

පසුගිය 6 වෙනිදා අයිස්ක්‍රීම් චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වුණා. දැන් එය දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය වෙනවා. එදා ජ්‍යේෂ්ඨ රංගන ශිල්පීන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. රංගනය තවත් දියුණු කරගන්නේ කොහොමද කියල උපදෙස් ලැබුණා. ඒ ගැන සතුටුයි. මම රඟපෑ පැණි මකුළුවෝ චිත්‍රපටයෙන් පසුව තමයි මට අයිස්ක්‍රීම් චිත්‍රපටය ලැබෙන්නේ.

අයිස්ක්‍රීම් චිත්‍රපටයට ආරාධනා ලැබෙන්නෙ කොහොමද ?

මට අයිස්ක්‍රීම් චිත්‍රපටය සඳහා ආරාධනා ලැබුණෙ එහි අධ්‍යක්ෂ ප්‍රදීප් ධර්මදාසගෙන්. ඔහු දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. මම ඔහුගේ නිර්මාණ නරඹලා තිබුණා. ඒ නිසා කැමැත්තෙන් භාර ගත්තේ අයිස්ක්‍රීම් චිත්‍රපටය. මම එහි රඟපාන්නේත් නිළියකගේ චරිතයක්. ඒ සඳහා අලුතින්ම මුහුණක් හොයලා තියෙනවා. කිහිපදෙනෙක්ම මගේ නම යෝජනා කරල තියෙනවා. ඒ අනුව තමයි මාව ඒ සඳහා සම්බන්ධ කරගෙන තියෙන්නේ.

මේ චිත්‍රපටය ඔබට කොහොමද දැනුණේ?

මේ චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස හඳුන්වන්න පුළුවන්. හාස්‍ය රසයකුත් මුසුවෙලා තියෙනවා. අයිස්ක්‍රීම් ලස්සන කතාවක්. චිත්‍රපටවලට ලොල්වෙලා ඉන්න තරුණයෙක්ගේ ෆැන්ටසියක්. මෙහි හාස්‍ය රසය මුසු වෙලා තිබුණත් අයිස්ක්‍රීම් කියන්නේ හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් නොවෙයි. පවුලේ කාටත් රසවිඳීය හැකි චිත්‍රපටයක් ලෙස අයිස්ක්‍රීම් හඳුන්වා දෙන්න පුළුවන්.

මේ චිත්‍රපටයට සම්බන්ධ වූ ජ්‍යේෂ්ඨ ශිල්පීන්ගෙන් ලැබුණ සහාය කෙසේද ?

ඔව්. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිපදෙනෙක්ම අයිස්ක්‍රීම් චිත්‍රපටයේ රඟපානවා. රූගත කිරීම්වලදී මට ඒ අය මුණගැසුණා. ජ්‍යේෂ්ඨ ශිල්පීන් අතරින් මට රංගනයේ යෙදෙන්න තිබුණේ සරත් කොතලාවල අයියා සමඟ. විශේෂයෙන් රුක්මල් නිරෝෂ් සමඟ කතාබහ කරන්න අවස්ථාව ලැබුණා. ප්‍රදීප් අයියාගෙන් ලැබුණ සහයෝගයත් අගය කළයුතුයි. ඒ වගේම ජ්‍යේෂ්ඨ ශිල්පීන් සමඟ කටයුතු කිරීමේදී අත්දැකීම් රාශියක් ලබා ගැනීමට හැකිවුණා.

අයිස්ක්‍රීම් චිත්‍රපටයේ ඔබේ රංගනය දුටුවිට ඔබට කුමක්ද සිතුණේ?

හිතට සතුටක් දැනුණා. අයිස්ක්‍රීම් චිත්‍රපටය කරපු කාලේ රඟපෑම් ගැන තිබූ අත්දැකීම් ටිකක් අඩුයි. එහෙත් මගේ ශක්ති ප්‍රමාණයෙන් උපරිම කැපවීමෙන් මගේ චරිතයට සාධාරණය ඉෂ්ට කළා කියල හිතෙනවා. රංගනය පිළිබඳව අත්දැකීම් බහුල කාලයක මෙවැනි නිර්මාණයක් ලැබුණා නම් මීට වඩා ඉහළ රඟපෑමක් කරන්න තිබුණා.

කලකට පසු සිනමා තිරයට පැමිණි ඔබ ඉදිරියටත් රඟපෑම් කටයුතුවල නිරත වෙනවද?

අනිවාර්යයෙන්. රඟපෑම පැත්තෙන් පොඩි විවේකයක් ගන්න සිදුවුණේ විදේශ රටකට යාමට සිදුවූ නිසා. නැවතත් මම රඟපෑම් කටයුතුවල නිරත වෙන්න තීරණය කළා. ජයන්ත චන්ද්‍රසිරිගේ සැඟවුණු නගරය චිත්‍රපටයේ රූගත කිරීම්වලට පසුගිය දිනවල සහභාගී වුණා. රූගත කිරීම් තිබුණේ අනුරාධපුරයේ. ලංකාවට පැමිණි විගස ඒ සඳහා සහභාගී වුණා. එහි කොටසක් රූගත කළේ ලන්ඩනයේ. එය රිටිගල ජයසේනගේ කතාවක්.

කලකට ඉහතදී ඔබ වේදිකා නාට්‍ය නිළියක් ලෙසත් කටයුතු කරල තියෙනවා නේද ?

ඔව්. ඒ ගැන මම මුලසිටම සඳහන් කරන්නම්. එක්තරා කාලයක පුවත්පතක පළවූ මගේ සේයාරුවක් දැකලා ඔහු මට කතාකළා වේදිකා නාට්‍යයකට. ඒ වනවිට වේදිකාව ගැන මට අත්දැකීම් තිබුණේ නැහැ. එහෙත් ඔහු මෙසේ පැවසුවා.

” බය වෙන්න දෙයක් නැහැ. අපි මාස අටක් විතර ඒ වෙනුවෙන් පුහුණුවීම් කරනවා” කියලා. ඔහු මාව තෝරාගන්න ඇත්තේ මට රංගනය පැත්තෙන් යමක් කරන්න පුළුවන් කියා දැනුණු නිසා වෙන්න පුළුවන්. එය මට ලොකු ශක්තියක් වුණා. මට ඒ අවස්ථාවේ සිතුණා මට ඒ දේ කළ හැකි බව. ඒ අනුව තමයි මම ඔහුගේ හංකිති දහතුන වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්නේ. ඒ සඳහා නිසි පුහුණුවක් ලැබුණා. මුලින්ම හිතේ පොඩි බයක් තිබුණත් පසුව එය මඟහැරී ගියා. ජයලාල් රෝහණ, වසන්ත විට්ටච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු වැනි දක්ෂ ශිල්පීන් පිරිසක් සමඟ වැඩ කරන්න ලැබීම නිසා අත්දැකීම් රාශියක් ලබා ගන්න හැකිවුණා. පළමු දර්ශනය තිබුණේ ජයලාල් රෝහණ කලාකරුවා සමඟ.

ඔබ විශේෂයෙන් සිනමා රංගනය පිළිබඳ හදාරා තිබෙනවා නේද ?

ඔව්. මම සිනමාවේදී පරාක්‍රම ජයසිංහයන්ගෙන් සිනමාව, සිනමා රංගනය පිළිබඳ ඉගෙනගෙන තියෙනවා. ඔහු ඊටත් වඩා එහා ගිය දැනුමක් අපට ලබා දෙන්න උත්සාහ කළා. මගේ සමකාලීන මිත්‍රයෙක් වන උදාර චින්තක රාජපක්ෂත් පරාක්‍රම සර්ගේ ගෝලයෙක්. පරාක්‍රම සර් අපි දෙදෙනාගේ හැකියාවන් හොඳීන් හඳුනාගෙන තිබුණා. ඔහු අපි දෙන්නව වොයිස් ට්‍රේනිං වලටත් යොමු කළා. සර්ගේ හිතේ බොහෝ සැලසුම් තිබුණා මාවත් උදාරවත් සම්බන්ධ කරගෙන සිනමාව පැත්තෙන් යම් දෙයක් කරන්න. එහෙත් අවාසනාවකට ඔහු ජීවිතෙන් සමුගත්තා. මමත් මගේ සමකාලීන මිත්‍රයා උදාරත්, අපි කතා කරන හැමවෙලාවේම පරාක්‍රම සර් අපිට දීපු දැනුම සහ ඔහු සතුව තිබූ දැනුම ගැන කතාබහ කරනවා.

රංගනයට අමතරව ඔබ නීතිය හදාරනවා. ඒ ගැනත් සඳහන් කරන්න.

මම උසස් පෙළින් පසු උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගියා. අවුරුදු දහයක් පමණ මම එහි ගතකළා. එහිදී මම නීති විෂය ඉගෙන ගත්තා. පසුව මම ලංකාවට ඇවිත් නිති විද්‍යාලයට ඇතුළත් වුණා. එහෙත් පෞද්ගලික හේතු නිසා අධ්‍යාපන කටයුතු සඳහා බාධා ඇතිවුණා. මට මඟ හැරුණු ඒ කටයුතු නැවතත් ආරම්භ කිරීමට සලසුම් කරගෙන තමයි ලංකාවට ආවේ.

ඔබ එංගලන්තයේ සිටි කාලයේ මෝස්තර නිරූපණයට යොමුවෙන්න උත්සාහ කළේ නැද්ද ?

මම එංගලන්තයට ගියේ අධ්‍යාපන කටයුතු සඳහා පමණයි. මොඩ්ලින්වලට මගේ එතරම් කැමැත්තක් තිබුණේ නැහැ. මගේ යාළුවො මට නිතර පවසනවා මගේ පෙනුමක් ප්‍රයෝජනයක් ගන්න කියලා. එය මට ගැළපෙන බව ඔවුන් පවසනවා. රොසෑන් ඩයස්ගෙන් මම ඒ පිළිබඳව ඉගෙන ගත්තා. මොඩ්ලින් ගැන කතා කළ නිසා මට මෙවැනි දෙයක් සඳහන් කරන්න හිතුණා. ලංකාවේ ඉන්නවා මොඩ්ලින්වලට දක්ෂ පිරිසක්. එහෙත් ලෝකය සමඟ ඉදිරියට යන්න නම් මෝස්තර නිරූපණය පිළිබඳව නිතර යාවත්කාලීන වියයුතුයි.

ඔබගේ ඉදිරි සැලසුම් මොනවාද ?

මුලින්ම රංගනය පැත්තෙන් කියන්නම්. අයිස්ක්‍රීම් චිත්‍රපටයේ තිර රචකයා වන කලණ ගුණසේකර සමඟත් යොවුන් රංගන ශිල්පී උදාර චින්තක රාජපක්ෂ සමඟත් අලුත් වැඩ කිහිපයක් ගැන සාකච්ඡා කරගෙන යනවා. ඒ පිළිබඳ වැඩි විස්තර පසුවට කියන්න පුළුවන් වෙයි. ඒ අතර මට මඟහැරී ගිය නීති විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සඳහා යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. එහි අවසන් කළයුතු විභාග තියෙනවා. ඒ කටයුතු ඉක්මනින් අවසන් කරගත යුතුයි.

ඔබගේ වැඩකටයුතුවලින් පසුව නැවතත් ලංකාවෙන් යාමට බලාපොරොත්තු වෙනවද?

ඔව්. යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒත් ලංකාව තරම් සුන්දර රටක් දාල යන්න අමාරුයි. වෙනත් රටක ඉන්න විට තමයි එහෙම සිතෙන්නේ. අපි තීරණය කරල තියෙන්නේ ඉදිරියේදී නැවතත් ලංකාවේ පදිංචියට එන්න.

වෘත්තිය පැත්තෙන් ඔබගේ බලාපොරොත්තු ගැන සඳහන් කළොත් ?

අනාගතයේදී නීතීඥවරියක් ලෙස කටයුතු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ නිසා රංගනයෙන් ඉවත් වෙන්නේ නැහැ. වෘත්තීන් දෙකම සමබරව පවත්වා ගෙනයන්න උත්සාහ කරනවා.

ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට සහ ඔබේ රසිකයන්ට මොනවද කියන්න තියෙන්නේ ?

ප්‍රේක්ෂක ප්‍රතිචාර අපිට වැදගත්. මම රංගනයෙන් දායක වෙන අයිස්ක්‍රීම් චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. එය අමුතුම තාලයේ කතාවක් රැගත් නිර්මාණයක්. ප්‍රදීප් ධර්මදාසගේ පළමු සිනමා අධ්‍යක්ෂණය. කලණ ගුණසේකරගේ පළමු සිනමා තිර පිටපත. ඒ නිසා අයිස්ක්‍රීම් කියන්නේ වෙනස්ම ආකාරයක චිත්‍රපටයක්. අයිස්ක්‍රීම් පවුලේ කාටත් එකට සිට රසවිඳීන්න පුළුවන්. මම ඉතා ආදරයෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ දිය වෙන්න කලින් අයිස්ක්‍රීම් බලන්න.

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

 

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT