කාලය කොයි තරම් වේගයෙන් ඉගිලිලා යනවද කියලා මට හිතාගන්න බෑ. අපේ ජිවිත දිහා ආපස්සට හැරිලා බලත්දි අද අපි කොතැනද ඉන්නේ? අපේ ජිවිත ගොඩ නගපු අම්මා තාත්තා කොතැනද ඉන්නේ කියලා හිතනකොට වෙලාවකට දරාගන්න බැරි දුකකුත් ඇති වෙනවා. අපට හැමදේම දීලා ඒ දෙන්නම යන්න ගිහින් .
ජිවිතේ හැටි එහෙම තමයි කියලා හිත හදා ගන්න තමයි තියෙන්නේ. මේ ලෝකේ හැමදාමත් තිබුණේ හමුවිම් සහ වෙන්විම් පමණයි. කොහොම වුණත් අපේ පුංචි කාලේ ජිවිතේ එක පැත්තකින් දුක්බරයි කියලා මට හිතෙනවා. අපිට කිසි දේකින් අඩුවක් තිබුණේ නැති වුණාට අපි තුන්දෙනා ඉතාම කුඩා වියේ සිටිද්දි අපේ අම්මයි තාත්තායි දෙන්නා දෙපසකට වෙනවා. මල්ලිට සහ නංගිට ඒ තරම් දැනුම් තේරුම් ඇති වියක නොසිටි නිසා ඔවුන්ට ඒක ඒ තරම්ම දැනෙන්න නැතුව ඇති . එහෙත් පවුලේ වැඩිමලි විදියට මට ඒ වෙන්විම් හරියට දැනුණා.මම අඩලා දොඩලා ප්‍රකාශ කළේ නැති වුණාට අම්මාගේ සෙනෙහස මම හැමවෙලේම හෙව්වා. අම්මා තාත්තාගෙන් වෙන්වෙනකොට මම පාසල් යන්න පටන් අරගෙනත් නෑ . එතකොට මට හිතෙන්නේ මට අවුරුදු හතරහමාරක් විතර වෙන්න ඇති. අපි නාවලපිටියේ පදිංචි වෙලා ඉන්න අතරතුරදි තමයි අම්මයි තාත්තායි වෙන්වෙන්නේ.
ඔය ආසන්නම කාලෙකදි අපේ තාත්තාට බුලත්කොහුපිටියේ උඳුගොඩ තැපැල් කාර්යාලයට මාරුවිමක් ලැබුණා. ඒ වෙනකොට අම්මා තාත්තාගෙන් වෙන්වෙලා කොළඹ ගිහින්. අපි තුන්දෙනා හිටියේ තාත්තාත් එක්ක. අපිය බලාගන්න තාත්තාගේ ලොකු අක්කාගේ දුව හිටියා අපිත් එක්ක. ඒ වෙනකොටත් මාව පාසලකට ඇතුළත් කරලා තිබුණේ නෑ. තාත්තාගේ මාරුවත් එක්ක අපි සිල්ලම උඳුගොඩට පදිංචියට ආවා. අපි පදිංචි වුණේ උඳුගොඩ තැපැල් කාර්යාලයටම අල්ලා තිබුණ නිල නිවාසයේ. තැපැල් කාර්යාලය වෙන් වෙන්න මැදින් දොරක් දාලා තිබුණා. ඒ කාලේ අපි තුන්දෙනා හරියට රණ්ඩු කර ගන්නවා. අපේ රණ්ඩු බේරලා තාත්තාට ඉවරයක් තිබුණේ නෑ. වෙලාවකට රණ්ඩු වෙලා මැද දොර ඇරගෙන තාත්තා ඉන්න තැපැල් කන්තෝරුවට දුවනවා. සමහර දවසට මේ රණ්ඩු වලට තාත්තාගෙන් හොඳ දඬුවනුත් ලැබෙනවා. තාත්තාගෙන් කෝටු පාර වැදුණු අවස්ථාත් නැත්තේ නෑ. ඇත්තටම දැන් තමයි තේරෙන්නේ තාත්තා ඒ කාලේ කළේ මොන යුද්ධයක්ද කියලා . එක ළඟ වයස්වල පොඩිවුන් තුන්දෙනකුත් සමඟ තැපැල් ස්ථානාධිපති විදියට බාරධුර රාජකාරියකුත් කරගෙන , අම්මා කෙනෙකුත් නැතුව එයා අපිව ලොකු මහත් කරපු හැටි ගැන මතක් වෙනවිට මේ දැනුත් මට කඳුළු එනවා.
මාව ඉස්කෝලෙ දාන වයසට එන්නේ අපි උඳුගොඩ මේ නිවසේ පදිංචි වෙලා ඉන්න කාලෙදියි. ඉස් ඉස්සරලාම මාව බාලාංශ පන්තියට ඇතුළත් කරන්නේ උඳුගොඩ විද්‍යාලයටයි. ඒ ඉස්කෝලේ විදුහල්පතිවරයා වුණේ බණ්ඩා සර්. මට අදටත් හොඳට මතකයි බණ්ඩා සර් මාව අතින් අල්ලාගෙන පන්තියට එක්කන් ගිය හැටි. ඒකාලේ වෙනකොට නංගිටයි මල්ලිටයි ඉස්කෝලෙ යන්න වයස සම්පුර්ණ වෙලා තිබුණේ නෑ.
මට මතක විදියට මේ කාලේ අපේ අම්මා වැඩ කළේ කැගලු බාලිකාවේ. බණ්ඩා සර් ගේ දුව ඉස්කෝලෙ ගියෙත් කැගලු බාලිකාවට. මට මතකයි අම්මා හැම සිකුරාදාටම බණ්ඩා සර් ගේ දුව අතේ අපට ටොෆි බෑග් එකක් එවනවා. අම්මා අපි වෙනුවෙන් කොච්චර දේවල් කලත් එයා අපි ළඟ නැති එක අපිට හරියට දැනුණා. සමහර අවස්ථාවල මට බහින්නේ නැති විදියට උණ ගැනුණා. කොච්චර බෙහෙත් අරන් දුන්නත් උණ බහින්නෙ නෑ. අම්මා නැති සාංකාව දරා ගන්න බැරුව වෙන්න ඇති කියලා දැන් තමයි හිතෙන්නේ.
අපේ තාත්තායි අම්මයි වෙන් වුණාට කවදාවත් ඒ දෙන්නා තරහ වෙලා වෛර කරකර හිටියේ නෑ. දරුවන්ගේ ප්‍රශ්නවලදි ඒ දෙන්නා හැම මොහොතෙම සාකච්ඡා කළා. අපේ ප්‍රශ්නවලට අම්මට මැදිහත් වෙන්න තාත්තා ඉඩ දුන්නා. මට උණ බහින්නේ නැති අවස්ථාවල තාත්තා අම්මට කතා කළා.
තලතා….ලොකු දුවට උණ ගැනිලා….
බහින්නෙ නැ .. දැන් දවස් දෙක තුනක්…
ඇවිත් ගියොත් හොඳයි……
තාත්තා එහෙම කියනකොට අම්මා දුවගෙන එනවා . උඳුගොඩ ඉන්න දවස්වල එහෙම දවසක් ඇවිත් ගියා මට මතකයි. පතෝලයි බතුයි හදලා මට බත් කවලා ගියත් මතකයි.
හැබැයි අම්මයි තාත්තායි වෙන්වුණාට පස්සේ මේ විදියට අම්මා අපිව බලන්න යන එන එකට තාත්තාගේ පාර්ශ්වයෙන් ඒ තරම් කැමැත්තක් තිබුණේ නෑ.
කොහොම වුනත් අම්මා කොළඹට ගිහින් සිනමාවටත් අවතීර්ණ වෙලා බැසිල් අන්කල් සමඟ විවාහ වුණා. ඒ මොනදේ වුණත් තාත්තා කවදාවත් අම්මට හෝ අම්මා ගැන හෝ නරකක් අපි ඉදිරියේ කිව්වේ නෑ. අම්මට අපි බලන්න එන්න යන්න ඉඩ දුන්නා. ඒ වගේම අපිට පාසල් නිවාඩු කාලෙට අම්ම ළඟට යන්නත් ඉඩ දුන්නා. පස්සේ කාලෙක මට මතකයි අම්මට බැසිල් අන්කල් ගේ විවාහයෙන් වින්ධ්‍යා නංගියි යමුනා නංගියි ඉපදුණාට පස්සේ සමහර අවස්ථාවල අම්මට ෂූටිං යන්න ඒ නංගිලා දෙන්නත් අපේ තාත්තා බලා ගත්තා. ඒ වගේම තමයි අපි ඉස්කෝලෙ නිවාඩුවට අම්මා ගාවට ගියාම බැසිල් අන්කලුත් කවදාවත් අපට වෙනසක් කළේ නෑ. එයාගෙම දරුවන්ට වගේ අපට සැලකුවා. මමයි නංගියි , මල්ලියි වගේම අම්මගේ දෙවැනි විවාහයේ දරුවන් වුණු විද්‍යා නංගීත්, යමුනා නංගිත් අපේ පවුලෙම සාමාජිකයන්. අපි පස් දෙනාට කොයිම මොහොකතවත් වෙනසක් දැනුණේ නෑ. බැසිල් අංකල් වගේම අපේ තාත්තාත් ඒ වෙනස අපට දැනෙන කවදාවත් ඉඩ තිබ්බේ නෑ.
අපේ අම්මයි තාත්තායි වෙන් වෙනකොට තාත්තාගේ වයස අවුරුදු 32 යි. අම්මා තාත්තාට වඩා අවුරුදු 10ක් බාලයි. තාත්තා දරුවෝ තුන් දෙනෙක් එක්ක තනි වෙන්නේ තාත්තාගේ ජිවිතේ තරුණම අවධියේ. අපිට අවුරුදු 14ක් විතර වෙත්දි අපි අම්මව බලන්න කොළඹ එන එකට තාත්තාගේ පවුලේ අයගේ ඒ හැටි කැමැත්තක් තිබුණේ නෑ. ඔවුන් කිව්වේ දැන් දරුවෝ ලොකු නිසා අම්මා ගාවට යවන්න ඕන නැ කියලා. ඒ වුණාට තාත්තා ඒ වගේ දැඩි තින්දු තීරණ වල කවදාවත් හිටියේ නැ කියලා මට මතකයි. අපි බණ්ඩාරවෙල ඉන්න කාලේ සති අන්තයට ගම්පොල තාත්තාගේ මහ ගෙදරට එනවා. අම්මා ගම්පොළ ටවුන් එකට ඇවිත් ඉන්නවා එතැනින් අපිව අරන් කොළඹ යන්න.
එක දවසක් මට මතකයි අපි බණ්ඩාරවෙලින් බස් එකට නැග්ගේ හොඳටම පරක්කු වෙලා. මටයි නංගිටයි සිහියේ තිබුණේම අම්මත් එක්ක කොළඹ යන එක ගැන. ඉක්මනින් ගම්පොළට ආවේ නැතිනම් කොළඹ යන බස් එක අල්ල ගන්න බැරි වෙනවා. එතකොට අපිට අම්මව මිස් වෙනවා. එදා අපි හොඳටම පරක්කුයි. මට හිතුණා දැන්නම් අම්මා බලාගෙන බඳලා ගිහින් ඇති කියලා.
තව මොහොතක හිතුණා අපි අම්මා ගාවට යන එකට තාත්තාගේ නෑදෑයෝ කැමැති නැති නිසා තාත්තා හිතාමතාම අපිව පරක්කු කළාද කියලත්. කොහොම වුණත් එදා කොළඹ යන බලාපොරොත්තුව හිතින් අයින් කරගෙන අපි ගම්පොළින් බහිනකොට අම්මා බස් හෝල්ට් එකේ බලාගෙන ඉන්නවා. නංගිටයි මටයි දැනුණේ පුදුම සතුටක්.
අපි දෙන්නව ඈතට කරලා තියලා තාත්තා අම්මා ළඟට ගිහින් මොනවද කියනවා අපි දෙන්නා බලාගෙන හිටියා. සමහර විට රූවෙලා නිසා ළමයි දෙන්නව ගෙනියන්න එපා කිව්වද දන්නෙ නෑ. ඒ ගමන මම දැක්කා අපේ අම්මා අඬනවා. ඊට පස්සේ තාත්තා අපි ළඟට ඇවිත් කිව්වා අම්මා එක්ක යන්න කියලා.
අපේ තාත්තා හරිම සාධාරණව හිතන ආදරණිය මිනිසෙක්. අපි හැමදාම නිවාඩුවට අම්ම ගාවට යන්න ලැස්ති වෙනවිට අපේ වියදම් හැමදාම තාත්තා අම්මට දුන්නා. එයා දැනගෙන හිටියා අම්මගේ ගුරු පඩියෙන් මේ සේරම කරන්න බෑ කියලා. අම්මයි තාත්තායි වෙන්වුණාට අන්න ඒ වගේ අපේ ජිවිත වලට සම්බන්ධ බොහෝ දේවල් වලට ඒ දෙන්නගෙම මැදිහත් විම් ඇතුව තමයි කටයුතු කළේ.
ලබන සතියේ
උදුගොඩින් මහනුවරට සහ මහනුවරින් බණ්ඩාරවෙලට…
හේමාලි විජේරත්න