Home » අපේ ජීවිතවල බැඳීම් සදාකාලික නැහැ

අපේ ජීවිතවල බැඳීම් සදාකාලික නැහැ

රංගන ශිල්පි/නිෂ්පාදක අර්ජුන කමලනාත්

by Thanushika
December 26, 2024 12:30 am 0 comment

සහෝදරත්වය යනු බිඳීය නොහැකි ශක්තිමත් බැඳීමකි. කුඩා කල පටන් අත්වැල් බැඳගෙන ජීවිතය ගෙනයන සහෝදරකම ජීවිතාන්තය දක්වාම පවත්වාගෙන යෑම ද අසීරුය. එහෙත් එවැනි බැඳීම් සමාජයේ නැත්තේ ද නොවේ. කුඩා කල කෙතරම් කෙළිකවටකමින් ජීවත් වුවත් වැඩිහිටියන් වූ පසු ඒ සහෝදර බැඳීම් දෙදරා යන අවස්ථාද අපට අසන්නට, දකින්නට ලැබේ. අවසානයේ ශෝකාන්තයකින් අවසන් වන සහෝදරකම් ද ඇත

එවැනි සිද්ධියක් අපට මින් සති කිහිපයකට පෙර අසන්නට සහ දකින්නට ලැබුණි. නිර්වාණ විජයමාන්න යනු ප්‍රදේශයේ ප්‍රබල සහ ධනවත් ව්‍යාපාරිකයෙකි. යශෝදා යනු ඔහුගේ ආදරණීය බිරිඳයි. සමාධි නිර්වාන්ගේ එකම නැගණියයි. මවගේ වියෝවත් සමඟ නැගණිය රැකබලා ගැනීමේ සම්පූර්ණ වගකීම පැවරෙන්නේ නිර්වාන්ටය. තම පණ මෙන් නැගණිය රැකගන්නා නිර්වාන් තම පවුල් ජීවිතය ද ඒ වෙනුවෙන් කැප කිරීමටද පසුබට වන්නේ නැත. තමන් දරුවෙකුට උපත දීමට තීරණය කළහොත් තම නැඟණිය කෙරෙහි තිබෙන ආදරයට එය බාධාවක් වේ යැයි සිතා දරුවන් බිහි නොකිරීමට නිර්වාන් සහ යශෝදා තීරණය කරති.

කෙතරම් ආදරයෙන් රැක බලා ගත්තද තමන්ගේ ජීවිතයේ අයිති තමන්ටයි. ඒ බව හොඳීන් පසක් කර දෙන ඉහත සිද්ධිය අපට දැක ගතහැකි වූයේ පසුගියදා තිරගතවීම ඇරඹූ අකිල සඳකැලුම් ගේ අධ්‍යක්ෂණයක් වූ හද ගැස්ම චිත්‍රපටයෙනි. අපරිමිත සහෝදර බැඳීමක් වටා පාදක වූ හදගැස්ම අකිලගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි. ඔහු රංගන ශිල්පියෙක්. ඔහුට තම පළමු නිර්මාණය තිරයට ගෙන ඒමට දිරිදුන් අපූරු චරිතය මෙවර සරසවිය සමගින් එකතු වූයේ කලකට පසුවය.

ඒ ඔබ කවුරුත් හොඳීන් හඳුනන සිනමා රංගන ශිල්පී නිෂ්පාදක අර්ජුන කමලනාත් ය. ඔහු අවසන් වරට සිනමාවට සම්බන්ධ වෙන්නේ 2018 වසරේදීය.

කාලෙකට පසුව තමයි මම නැවතත් සිනමාවට සම්බන්ධ වෙන්නේ. 2018 වසරේ ඝරසරප චිත්‍රපටයෙන් පසු අපේ රටේ දක්ෂ සිනමා අධ්‍යක්ෂවරයෙක් වන ජයන්ත චන්ද්‍රසිරිගේ අධ්‍යක්ෂණයක්.

මම එහි නිෂ්පාදන කාර්යයට උරදුන්නා. සම්මාන රාශියක් ලැබුණා. ඒ චිත්‍රපටය සඳහා ලැබෙන්න තිබුන සෑමදේම ඒ චිත්‍රපටය සඳහා අපිට ලැබුණා. ඝර සරප චිත්‍රපටයේ ඒ වසරේ සාර්ථකම චිත්‍රපටයක් වුණා. මට හොඳම නිෂ්පාදනයට සම්මානය ලැබුණා. ඒ වගේ සිද්ධියක් වුණා ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ සිසිල ගිනි ගනී චිත්‍රපටයේ නිෂ්පාදනය වෙනුවෙන් සනත් අයියා (සනත් ගුණතිලක) සම්මාන ගත්තා. ඔහු රංගන ශිල්පියෙක් වුවත් ඔහු සිසිල ගිනි ගනියි ඒ වෙලාවේ නිෂ්පාදනය කළා. එය ලොකු ශක්තියක් අධ්‍යක්ෂකවරයෙකුගේ ඉදිරි ගමන වෙනුවෙන්.

සිංහල සිනමාව වෙනුවෙන් අපි අපේ ශක්තිය ලබා දිය යුතුයි යුතුයි. ප්‍රවීණ සිනමාධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ ඝරසරප වෙනුවෙන් මම ඉදිරිපත් උණෙත් ඒ අරමුණින්. ඉසුරු ෆිල්ම්ස් වෙනුවෙන් මට ඒ යුතුකම කරන්න පුළුවන් වීම ගැන මම ආඩම්බර වෙනවා.

අර්ජුන කමලනාත් දුටු සැණින් කවුරුත් හඳුනා ගන්නා රංගන ශිල්පියෙක්. ඝරසරප චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ලෙස කටයුතු කළ අර්ජුන් ඉන් පසුව සිනමා ක්ෂේත්‍රයෙන් මඳක් ඈත් වුණා යැයි කීවොත් නිවැරදියි. අප ඉදිරියේ ඇති ඒ පැනයට අර්ජූන් පිළිතුරු දුන්නේ මඳ සිනාවක් ද මුහුණේ රඳවා ගෙනය.

“සිනමාවෙන් සම්පූර්ණයෙන්ම ඈත් වුණා නෙවෙයි. මද නිහඬතාවයක් පමණයි සිදු වුණේ. ක්ෂේත්‍රය ගැන කලකිරීමකුත් තිබුණා.

එසේ කළකිරීමක් තිබුනත් මම සිනමා කර්මාන්තය සමඟ සිටියා. මම සිනමාශාලා අටක් කලා. සිනමාශාලා පවත්වාගෙන යන එක මම දිගටම කරගෙන ගියා.

අවාසනාවකට මුළු ලෝකයම උඩ යටිකුරු කරමින් කොවිඩ් වසංගතය ලොව පුරා පැතිරුණා. අපේ රටේ ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට ලොකු බලපෑමක් ඇතිවුණා ඒ කාලේ.

“රටේ සෑම අංශයකටම වගේම සිනමා කර්මාන්තයටත් එය දරුණු ලෙස බලපෑවා.”

සිනමා ශාලා වැසී යාම හේතුවෙන් මමත් ආර්ථික අර්බුදයකට ලක්වුණා.

ආර්ථික අරගලයක පැටලුණා කිව්වොත් නිවැරදියි.

“ණය ගොඩක අපව හිරවුණා.”

“තාමත් එහි බලපෑම් තියෙනවා.”

ඔය විදිහට ජීවිතය ගෙනයන අතරේ ලාල් ප්‍රියදේව, රජිත හිරාන් වැනි හිතවතුන් මගෙන් ඉල්ලීම් කළා. ඔවුන් යෝජනා කළා මට නැවතත් රඟපෑම් කටයුතු කරන්න එන්න කියලා. යෝජනා මාලාවක් ආවා.

ඉන් පසුව නැවතත් මම ලාල් ප්‍රියදේව ගේ “නුහුරු වෑයම” චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඒ වගේම සුරංගද මේල් ගේ කිඩිනැප් චිත්‍රපටයටත් සම්බන්ධ වුණා. කොවිඩ් වසංගතයට පෙර කරපු ෆිල්ම් එකක් තමයි කිඩ්නැප්. එය ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.

“මේ සියලු කටයුතු අතරේ තමයි අකිල සඳකැලුම් මා හමුවන්න එන්නේ.” ඔහු දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. අකිල මා හමුවෙන්න ආවේ ඔහුගේ පළමු සිනමා නිර්මාණයට මගේ රංගන දායකත්වය ලබාගන්න. අකිල මට ආරාධනා කළා එහි චරිතයක් රඟපාන්න කියලා. මම ටිකක් කල්පනා කරලා තමයි උත්තරයක් දුන්නේ. ඒ විතරක් නෙවෙයි අවසානයේ එහි නිෂ්පාදනයටත් සහයෝගය දුන්නා.”

“මම හදගැස්ම චිත්‍රපටය බාරගත්තේ අකිල දක්ෂයෙක් නිසා.” “ඔහු තුළ සිනමාව වෙනුවෙන් ලොකු ඇල්මක් උනන්දුවක් තියෙනවා.”

“හදගැස්ම” සත්‍ය කතාවක් පාදක කරගෙන අකිල විසින්ම තමයි ලියවුණේ.

“සහෝදරත්වය ප්‍රධාන කොටගෙන දිවෙන කතාවක් හද ගැස්ම හරහා කියැවෙන්නේ. අයියා කෙනෙක් සහ නංගියි කෙනෙක් අතර තියෙන අසීමිත බැඳීම ගැන කියැවෙන කතාවක්.”

මට තිබුණේ නිර්වාන් විජේමාන්න කියන චරිතය. ධනවත් ව්‍යාපාරිකයෙකුගේ චරිතයක්. අම්මගේ සමුගැනීමත් සමඟ තනිවූ තම නැගණියට අසීමිත ලෙස ආදරය කරමින් ඇයව රැක බලා ගන්නා අයියා කෙනෙක් තමයි නිර්වාණ කියන්නේ. ඔහු විවාහ වෙලා සිටියත් දරුවන් පවා නොහදා තම නංගි වෙනුවෙන් කැපවෙනවා.

“ඒත් ඒ බැඳීම සදාකාලික නැහැ කියන පණිවිඩය තමයි හදගැස්ම හරහා සමාජගත කරන්නේ. තමන්ගේ ජීවිතය අයිති තමන්ට.

අපි කොච්චර අනුන් ගැන වද වුණත් තමන් ගැන තීරණය ගැනීමේ අයිතිය තියෙන්නේ තමන්ටමයි.

නිර්වාන්ගේ නැගණිය සමාධි ආදර සම්බන්ධතාවයක් ගැන අයියට කිව්වම අයිය කලබල වෙනවා. කොයි සහෝදරයා වුණත් කැමති හොඳ කෙනෙක් තමන්ගේ නංගිට බන්දලා දෙන්න. නැගණියගේ පෙම්වතා තමන්ගේ පවුලටත් තම නැගණියටත් නොගැළපීම හමුවේ සහෝදරයාත් නැගණියත් අතර සිදුවන මත ගැටුම් පිළිබඳ තමයි හදගැස්ම හරහා කියවෙන්නේ.

වැඩි විස්තර කියනවාට වඩා හද ගැස්ම නරඹලා ඒ කතාව දැනගන්නවා නම් තමයි හොඳ. හදගැස්ම චිත්‍රපටයේ වැඩ කටයුතු සියල්ල ඉතාමත් ඉක්මනින් නිම වී ඇත. එය මේ වසරේ ඔක්තෝබර් මස සිනමා ප්‍රේක්ෂකයන්ට දැක බලා ගැනීම සඳහා තිරගතවීම ආරම්භ විය. හදගැස්ම චිත්‍රපටය මෙතරම් ඉක්මනින් ප්‍රේක්ෂකයාට තිළිණ කිරීමට ලැබීම පිළිබඳ අර්ජුන් තම අදහස් මුදා හැරියේ මෙසේය.

“හදගැස්ම මෙච්චර ඉක්මනින් රිලීස් කරන්න වුණේ හදිසි තීරණයක් නිසා. අපිට ඉල්ලීමක් තිබුණා අවශ්‍ය නම් මේ කාලසීමාව තුළ චිත්‍රපටය රිලීස් කරන්න කියලා. මම එයට එකඟ වුණා. අපිට මේ සඳහා සූදානම් වැඩි කාලයක් තිබුණේ නැහැ. තිබුණේ සතියක වගේ කෙටි කාලයක්. අපි සියලු දෙනා කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළා මේ වෙනුවෙන්. එක ලොකු ශක්තියක් වුණා හදගැස්ම චිත්‍රපටය එළිදක්වන්න. අප පසුගිය දිනෙක වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී (සැවෝයි ප්‍රිමියර්) ඉතා උත්කර්ෂවත් ලෙස අපි එය පැවැත්වුවා.

අපිට හදගැස්ම චිත්‍රපටය ප්‍රේක්ෂකයාට පෙන්වීමේදී ගැටලු තියෙනවා තියෙනවා. දර්ශන වාර එකයි අපිට ලැබුණේ. සතියෙන් සතිය ඒ වෙලාවත් වෙනස් කරනවා. ඒක බාධාවක්.

උදාහරණයක් විදිහට ගත්තොත් හදගැස්ම සඳහා දී තිබෙන දර්ශන වාරය උදේ 10.30 ඒ වෙලාව පවුලේ සියලු දෙනාට නරඹන්න එන්න අපහසුයි.

ඉතින් මේ සඳහා හරි ක්‍රමවේදයක් තියෙන්න ඕන. නැත්නම් ප්‍රේක්ෂකයා අපහසුතාවයට පත් වෙනවා. ඒ වගේම නිෂ්පාදකවරුන්ටත් වෙන්නේ අපහසුතාවයට පත් වෙන්න.

වාසනාව තියෙන්නම ඕන සිනමා නිර්මාණයක් වැඩි කාලයක් ශාලාවල රඳවා ගන්න. පෙර පිනකුත් තියෙන්න ඕන.

අර්ජුන් එසේ පවසද්දී ප්‍රේක්ෂකයින් කතාබහ කරන්නේ මඳ විරාමයකින් පසු රංගනයට පැමිණි ඔහු ගැනයි. සිහින් දිගටි නෙත් වලින් සිනාසෙමින් සිනමා තිරයේ සුකොමල පෙම්වතා වූ අර්ජුන් කමලනාත් හද ගැස්ම තුළින් අපට හමුවන්නේ වෙනස්ම ආකාරයකිනි. ප්‍රේමණීය බවින් මිදී තරමක පරිණත භාවයක් පෙන්වමින් ඔහු රංගන භූමිකාව පිළිබඳ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර අර්ජුන්ගේ හඬින්ම විමසා බැලිය යුතුයි.

ප්‍රතිචාර ඉහළයි. චිත්‍රපටය නරඹපු බොහෝ දෙනා කිව්වෙ වෙනස් ආකාරයක රංගනයක යෙදෙනවා කියලා.

මම ඒ චරිතය මට පුළුවන් උපරිමයෙන් කළා. එහි ගුණ දොස් විමසා බැලීම ප්‍රේකෂයින්ට භාරයි”

වර්තමානය වන විට චිත්‍රපටවල රඟන රංගන ශිල්පීන් ශිල්පිනියන් එහි ප්‍රවර්ධන කටයුතු සඳහාද දායක වීම සතුටට කරුණක්. ඒ පිළිබඳ අර්ජුන් තම අදහස ඉදිරිපත් කළේ මෙසේය.

“ඔව්. අපි ප්‍රවර්ධන කටයුතු සඳහා සහාය විය යුතුයි හද ගැස්ම කියන්නේ අපේ චිත්‍රපටයක් හදගැස්ම චිත්‍රපටය ගැන සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් ප්‍රචාරයක් සිදු කෙරෙනවා. අපි බස් වල සරසලා තියෙනවා හදගැස්ම චිත්‍රපටයේ ස්ටිකර්ස් වලින්.

මාධ්‍ය ආයතන වලින් අපට හොඳ ඉඩක් ලබා දීලා තියෙනවා. අපි හද ගැස්ම වෙනුවෙන් පෝස්ටර් ගහල තියෙනවා. අපිට මේ හැමදේම කරන්න සතියක කාලයයි තිබුනේ තිබුණේ. අපේ නිෂ්පාදකවරු අපට උපරිම සහයක් දුන්නා.

අපි මොනවා කළත් වැඩක් නැහැ සිනමාශාලා හිමියන්ගෙන් සහයෝගය නැත්නම්. සමහර ශාලා හිමියන්ගෙන් උපරිම සහය ලැබෙනවා. සහයක් නොදෙන කිහිපයකුත් තියෙනවා නිෂ්පාදකවරු සහ ශාලා හිමියන් සහයෝගයෙන් වැඩ කළොත් තමයි දෙපිරිසටම ආදායමක් ලබන්න පුළුවන්. නැත්නම් වෙන්නේ සිනමාවෙන් නිෂ්පාදකවරු ඈත් වෙන එක. සිංහල සිනමාවේ දියුණුව යහපත ගැන හිතලා අපි දෙගොල්ලෝ එකතුවෙලා මේ මැච් එක ගහන්න ඕන. අපට උදව් කරන්න කියලා ශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා. අද ගැස්ම කියන්නේ කාගෙන්වත් අහුලාගත් කොපියක් නෙවෙයි. මේක සත්‍ය කතාවක්. සියයට සියයක් අපේ දෙයක්.

අර්ජුන කමලනාත් යනු නිතරම සෘජුවම තම අදහස් මතවාදයන් විවෘතව ප්‍රකාශ කරන කෙනෙක්. නිර්මාණ කටයුතු අවසන් වන චිත්‍රපට තිරගත කිරීමේදී මුහුණපාන්නට සිදුවන ගැටලු පිළිබඳ කතා කිරීමට ඔහු අමතක කළේ නැත. කියන්න සතුටුයි. හදගැස්ම වැඩ නිමවෙලා අපිට ගොඩක් කල් බලාගෙන ඉන්න නම් සිද්ධ වුණේ නැහැ. ඉක්මනින් තිරගත කරගන්න පුළුවන් වුණා. හදිසි ගැප් එකක් තිබුණ නිසා හදගැස්මට අවස්ථාව ලැබුණා.

මුලින් සඳහන් කළා වගේ නිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි චිත්‍රපට තිරගත කරන්න.

ඇතැම් අවස්ථාවල පෞද්ගලික දැන හැදුනුම්කම් මත තමන්ගේ සල්ලි බලය, අනුව චිත්‍රපට තිරගත වෙන අවස්ථාත් නැතුවා නොවෙයි.”

එසේ විය යුතු නැහැ කියලා තමයි මගේ නම් අදහස.

“2018 මම ඝරසරප තිරගත කරන වේලාවේ මට දර්ශන වාර තුනක් ලැබුණා. ඒත් 2024 මම හද ගැස්ම තිරගත කරනකොට මට ලැබෙන්නේ දර්ශන වාර එකයි. ඒකත් උදේ 10.30 දර්ශන වාරය. එතකොට පවුල් පිටින් නරඹන්න එන්න බෑ. උදේ කාලයේ දෙමවුපියන් වැඩ. රාජකාරිවල දරුවෝ පාසැල් යනවා. ඒක ගැටලුවක්.”

මේ වගේ ගැටලු මතු උණහම වෙන්නේ කලින් සඳහන් කළා වගේ නිෂ්පාදකයෝ අපහසුතාවයට පත්වෙන එක. ඔවුන් ඇතැම් විට බැංකු ණය ගන්නවා නිෂ්පාදන කටයුතුවලට. ඔවුන්ට ගෙවන්න තියෙන පොලී වැඩි වෙනවා.

“ඒ නිසා මම කියන්නේ චිත්‍රපට සංස්ථාව මේකට මැදිහත් වෙලා සිනමාශාලා ක්‍රමවත්ව බෙදිලා යන නිසි ක්‍රමවේදයක් දියත් කළ යුතුයි කියලා. තිරගත කිරීමට මුදා හැරෙන හැම චිත්‍රපටයකටම සාධාරණයක් වෙන්න ඕන.”

“අපේ හදගැස්ම චිත්‍රපටය නුවර සිනමාශාලාවල නැහැ. මාතලේ නැහැ.”

“ඒ නිසා ඒ ප්‍රදේශවල ප්‍රේක්ෂකයින්ට චිත්‍රපටය බලන්න විදිහක් නැහැ.”

“බලන්න අවශ්‍යම අයට කෑගල්ලට එන්න වෙලා තියෙනවා.”

“අපිට දර්ශන වාර ලැබුන ඇතැම් චිත්‍රපට ශාලාවල පෙන්වන්නේ දෙමළ චිත්‍රපට. මම ජාතිවාදය ගැන කතා කරනවා නෙවෙයි. මම සිංහල සිනමාවට ආදරෙයි. අපිට අපේ සිංහල චිත්‍රපටියක් පෙන්න ගන්න තියෙන්නෙ මේ රට විතරයි. විදේශීය චිත්‍රපට අවශ්‍යයි. ඒත් මුල්තැන දිය යුත්තේ අපේ සිනමා කලාවට.

අර්ජුන් එසේ පවසද්දී ඔහුගේ මුවඟට සිනහවක් ගෙනආවේ ඔහුටත් නොදැනීමය. මුලින්ම සඳහන් කළාක් මෙන් අර්ජුන්ගේ කතාබහ සෘජුය. විවෘතය. ඔහු කතාබහ කළ සෑම කාරණා සෑම ගැටලුවක්ම සත්‍යය. එහෙත් ඔහු ඒවා ප්‍රකාශ කළේ කවුරුන් පිළිබඳව ද්වේශ සහගත සිතකින් නොවන වග නම් පැහැදිලිය. එහෙත් එක් දෙයක් පැහැදිලිය. එනම් අර්ජුන කමලනාත් යනු සිංහල සිනමාවට මහත් සේ ආදරය කරන චරිතයක් බවයි. සිංහල සිනමාව ගැන කතා කරන්නේ මහත් වූ අභිමානයක් සිත් හි රඳවා ගෙනය.

මෙසේ සෘජුව තම අදහස් මුදාහළ අර්ජුන් ඉන්පසුව කතා කළේ සිනමා ශාලාවල පවතින තත්ත්වය පිළිබඳවය.

“ලංකාවේ සිනමාශාලා වැසී යන තත්ත්වයට පත් වුණෙත් අපේම වැරදි නිසා. ශාලා නිසි ලෙස නඩත්තු කරන්නේ නැහැ. යටිතල පහසුකම් නැහැ.”

ප්‍රේක්ෂකයින් සිනමාශාලාවලට එන්නේ නිදහසේ සුවපහසුවෙන් චිත්‍රපටියක් බලල විනෝද වෙලා යන්න.”

“එහෙම තත්ත්වයකදී අවම පහසුකමක්වත් නැත්නම් ප්‍රේක්ෂකයා නැවතත් ඒ සිනමා ශාලාවලට එන්නේ නැහැ.”

“නිසි කළමනාකාරීත්වයක් නොමැතිකමින් තමයි ශාලා වැසී යන්නෙත්, පාඩු ලබන්නේත්.”

“හරියට දෙයක් කරනවා නම් සිනමා ශාලාවලට පිරිස ගෙන්න ගන්න පුළුවන්.”

“ඇතැම් සිනමා ශාලා සැනකින් පිරී යන්නත් ඇතැම් ශාලාවල සෙනඟ නැති වෙන්නෙත් කළමනාකාරීත්වය පවතින තත්ත්වය නිසා.”

“මමත් සිනමාශාලා අටක් පවත්වාගෙන ගිය කෙනෙක්.”

“ඉතින් අපි හොඳීන් හැම දෙයක්ම කළොත් එය බලපාන්නේ සිංහල සිනමාවට. එහි දියුණුවට. සිනමා ශාලා හිමියන් නිෂ්පාදකවරු මේ දෙපිරිස සහයෝගයෙන් වැඩ කළ යුතුයි කියලා තමයි මට කියන්න තියෙන්නේ.

මේ සියළු ගැටලු ගැන අදහස් දැක්වූ අර්ජුන නැවතත් ඔහුගේ හඬ අවදි කළේ “හදගැස්ම” වෙනුවෙනි. එහි අධ්‍යක්ෂවරයා වෙනුවෙනි.

“අකිල කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්. හොඳ කොල්ලෙක්.”

“හිරි පොද වැස්සෙන් සිනමා නළුවෙක් වුණ මේ පුංචි කොල්ලා අද වෙනකොට සිනමා අධ්‍යක්ෂකවරයෙක්.

සිනමාවේ දුර ගමනක් යන්න පුළුවන් චරිතයක්.

ඔහුට හැකියාව තියෙනවා කා එක්කත් ළෙන්ගතුකමින් වැඩ කරන්න.

කාලයක් ඔහු ක්ෂේත්‍රයේ දස්කම් දක්වපු රංගන ශිල්පියෙක්. එනිසා ඔහුට අත්දැකීම් තියනවා සිනමාව ගැන. මම අකිලත් එක්ක වැඩ කරන්න පෙලඹුණෙත් ඔහුගේ උනන්දුව කැපවීම සහ දක්ෂතාවය නිසා.

ඉතින් අපි එහෙම තරුණයෙක්ට උපරිම සහයෝගය දිය යුතුයි.

“හදගැස්ම” ඔහු විසින්ම රචනා කරන ලද්දක්. සත්‍ය කතාවක් ඇසුරෙන්. ඉසුරු නිෂ්පාදන වෙනුවෙන් මම ඔහුට සුබ පතනවා.”

ඉතාමත් සතුටු සිතින්. ආදරයෙන්. අකිල සඳකැලුම්ගේ සිනමා අධ්‍යක්ෂණය වෙනුවෙන් සුබ පැතුම් එක් කළ අර්ජුන් හදගැස්මේ නවක රංගන ශිල්පිනිය ගැනද කතා කිරීමට අමතක නොකළේය.

හදගැස්ම තුළින් අකිල අලුත් රංගන ශිල්පිනියක් හඳුන්වා දෙනවා සිනමාවට. ඇය නයෝමි පීරිස්. දුර ගමනක් යන්න පුළුවන් ඇයටත්. නයෝමි සිනමාවට එන්නේ ඇය නිරත වෙලා හිටපු බැංකු ක්ෂේත්‍රයේ රැකියාවටත් සමුදීලා.”

ඇය උගත් තරුණියක්. මේ දිනවල නීති විද්‍යාලයේ ඉගෙනුම ලබමින් ඉන්නේ.

නයෝමි සිනමාවේදී බොහොම පරිස්සමෙන් හිමින් ගමනක් තමයි යන්නේ. ඇය දක්ෂයි. ඇයට මම සුබ පතනවා. මම ප්‍රාර්ථනා කරනවා හොඳ රංගන ශිල්පිනියක් වෙන්න කියලා.

නයෝමි පීරිස් නවක රංගන ශිල්පිනිය හද ගැස්ම සිනමා නිර්මාණයේ නිර්වාන් විජයමාන්නගේ නැගණියට පණ පොවන්නීය. නයෝමි ගැන කතා කළ මොහොතේ අර්ජුන් නැවතත් හද ගැස්ම කතා පුවත ගැන කතා කරන්නට විය. විශේෂයෙන් එහි අවසානය වෙනස් මගක් ගැනීම ගැන අර්ජුන මෙසේ ඔහුගේ මතය ඉදිරිපත් කළේය.

සාමාන්‍යයෙන් චිත්‍රපටයක අපි නිතර දකින්නේ සාම්ප්‍රදායික අවසානයක්.

“සියලු දේ සතුටින් නිමවන අවසානයක්. “ඒත් හද ගැස්ම ඒ සම්ප්‍රදායෙන් පිට පැනපු නිර්මාණයක්. මම කලින් සඳහන් කළා වගේ මෙය ඇත්ත කතාවක්. අසීමිත සහෝදරත්වය ගැන කියැවෙන අයියා සහ නංගිගේ බැඳීම මේ කතාවේ හැටියට මේ දෙන්නම මුරණ්ඩුයි.”

මේ සිද්ධිය දිහා බැලුවාම අපට එක දෙයක් තීරණය කරන්න පුළුවන්. තමාගේ ජීවිතය අයිති තමාට.

සහෝදර සහෝදරයින් වූ පමණින් ඔවුන්ගේ ගතිගුණ එක සමාන නැහැ.

මේක සංසාර ගනුදෙනුවක් පමණයි.

බුදු දහමට අනුව බැලුවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නිවුන්නු උණත් ඔවුන්ගේ සිතුවිලි අතින් එක හා සමාන නැහැ කියලා. ඒකයි ඇත්ත.

අපි කාට ආදරය කළත් එයාගේ ජීවිතය අයිති එයාට.

හද ගැස්මේ නිර්වාන්ට ඒක පසුව තමයි තේරුම් යන්නේ.

අවසානය ශෝකාන්තයක් වෙන්නේ ඒ හේතුවෙන්.

සංසාරයේ අපි මේ යන ගමනේ කිසිම දෙයක් සදාකාලික නැහැ. කිසි දෙයක් අපිට අයිති නැහැ. අපි සංසාරේ යන්නේ තනි ගමනක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයෙන් කියවෙන්නෙත් ඒ දේම තමයි.

ඉතින් මම මෙපමණ වෙලා කතා කළේ හදගැස්ම ගැන. වැඩිපුර කතා කරනවට වඩා ආදරණීය ප්‍රේක්ෂකයින්ගෙන් සහ අපිට ආදරේ කරන රසිකයින්ගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.

හද ගැස්ම බලන්න. අපිට ඔබේ ප්‍රතිචාර ලබා දෙන්න මේක සීයට සීයක් අපේ නිර්මාණයක්. කොපියක් නෙවෙයි.

හදගැස්ම බලන්න යන්න කලින් දර්ශන වේලාවල් හරියටම දැනගන්න.

නැත්නම් ඔබ අපහසුතාවයට පත්වෙන්න පුළුවන්.

ඒ බව මම හැමෝටම දන්නවා සිටින්නේ දර්ශන වේලාවන් නිතරම වෙනස් වෙන නිසා.

අපි දර්ශන වේලාවන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනවා.

අර්ජුන කමලනාත් සමගින් කළ රසවත් සහ හරවත් කතාබහ හරි අපූරුවට ගලා ගියේ කාල වේලාව ගැන ද තැකීමක් නැතිවමය. එය එතරම් අපූරුය. මන්ද අර්ජුන් සරසවිය හමුවට ආවේ මද නිහඬියාවකින් පසුව නිසාය. පිළිසඳර අවසන් කිරීමට මත්තෙන් හරි අපූරු කතාවක් ඔහු සරසවිය හමුවේ දිග හැරියේය.

අර්ජුන කමලනාත් කියන්නේ සිනමාවේ පමණක් දකින්න පුළුවන් චරිතයක්.

අර්ජුන් කමලනාත් ටෙලිනාට්‍යවල නැහැ. රියැලිටි ෂෝ වල නැහැ.” මේ ටික කිව යුතුමයි. අපි රංගන ශිල්පීන් විදිහට ආස කරන්නේ පුළුල් තිරයක දකින්න.

සමහර හිතවතුන් කිව්වා අයියේ අපි හදගැස්ම සති දෙකක් විතර හෝල් වල පෙන්වල වෙනත් මාධ්‍යයන් වලට යමු කියල. ඔවුන් අදහස් කළේ රූපවාහිනී නාලිකා, යූටියුබ් නාලිකා වලට චිත්‍රපටය පෙන්වන්න.

“ඇයි අපි මෙච්චර මහන්සි වෙලා නිර්මාණ කරන්නේ ඒ වගේ තත්ත්වයකට පත්වෙන්න නම්.”

ජංගම දුරකථනයෙන් චිත්‍රපටි බලල නම් වැඩක් නැහැ.

මම නැවතත් කියන්නේ රංගන ශිල්පීන් පේන්න ඕන පුළුල් තිරයක. ඒක තමයි මගේ මතය.

මේ කුමක් වුවත් මම නැවතත් ඉල්ලීමක් කරනවා. එන්න. හද ගැස්ම ඇවිත් බලන්න.

ඉතාමත් සුන්දර හෝරාවක් වැනි කාලයක් ගෙවී ගියේ කාටත් නොදැනෙන පරිදිය. අර්ජුන කමලනාත් රංගන ශිල්පියා චිත්‍රපට නිෂ්පාදකවරයා රසිකයන් හමුවට පැමිණියේ කෙටි විරාමයකින් පසුව වුවත් ඔහු කිසි දිනක කාටත් අමතක නොවන චරිතයකි. ඔහු සිංහල සිනමාව වෙනුවෙන් සැලකිය යුතු වැඩ කොටසක් කළ චරිතයකි. ඔහුට සිංහල සිනමාව වෙනුවෙන් තවත් බොහෝ දෑ කළ හැකිය. ජවසම්පන්න තාරුණ්‍යය තවමත් ඔහු සතුව ඇත. තරුණ හදවත් ආකර්ෂණීය කර ගත හැකි සුන්දර සිනහව තවමත් ඔහු සතුය.

කලකට පසු හමු වූ මේ අපූරු රංගන ශිල්පියාව නැවතත් සිනමාවේ දැකගන්න රසිකයින්ට දැන් වරම් ලැබී ඇත. හද ගැස්ම නැරඹුවහොත් අර්ජුන කමලනාත් ඔබගේ නෙත් අබියස හිඳීවි. ඔහු පිළිසඳර හමාර කළේ සරසවියට ඔහුගේ හදපිරි ප්‍රණාමය පුද කරමිනි. ඔබට සුබ පැතුම් අර්ජුන්, ඔබේ හද ගැස්මේ රිද්මය සමගින් යළිත් දිනක හමුවෙමු.

 

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT