– සංස්කාර ටෙලි නාට්‍යයෙන් සමාජයට යහපත් පණිවිඩයක් දෙන්න තමයි බලාපොරොත්තුව
– සංස්කාර මගේ ස්වතන්ත්‍ර නිර්මාණයක්
– අද අප වටා ජීවත්වන ජන සමාජය දූෂණයට ලක්වෙලා
– මම රංගනය, අධ්‍යක්ෂණය, පිටපත් රචනය, නිෂ්පාදනය වැනි හැම පැතිකඩක් ගැනම අත්දැකීම් ලබා ගත්තේ වේදිකාවෙන්
– රංගනය තමයි අමාරුම රැකියාව
– රූපවාහිනී නාලිකා වැඩි වශයෙන් බිහිවීම නිසා ටෙලි නාට්‍ය රැලි මතුවෙලා
වර්තමානයේ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වන ටෙලි නාට්‍ය අතර ඇත්තේ තරඟයකි. බොහෝවිට ප්‍රේක්ෂකයාට නැරැඹීමට ලැබෙන්නේ ඒකාකාරී වට්ටෝරුවකට නිර්මාණය වූ ටෙලි කතාය. එහෙත් පෝය දිනයන්හිදී ඒ රටාව තරමක් වෙනස් හැඩයක් ගනියි.
ඒකාකාරී ජීවන රටාවකට කොටුවී රාජකාරී කටයුතුවලින් මනස පීඩනයට ලක් වූ ගත විඩාවට පත් වූ ජනතාවට මදක් හෝ ඇස්වැසිල්ලක් ලැබෙන්නේ පෝදාටය. ලද කෙටි නිවාඩුවෙන් සිත නිවා ගත හැක්කේ පෝදාටය.
රූපවාහිනී නාලිකා බොහොමයක් එදිනට පොහොය වෙනුවෙන් නිමැවුණු ටෙලි සිත්තම් විකාශය කිරීමට උත්සුක වේ. එබැවින් ඒ සඳහාම වෙන් වූ මාතෘකා යටතේ ඒකාංගික ටෙලි නාට්‍ය නිර්මාණය කිරීමට අධ්‍යක්ෂකවරුන් බොහෝවිට උත්සාහ ගනියි.
සිත නිවන පෝදා විකාශය වන ටෙලි සිතුවම් පිළිබඳ කතා කිරීමට මෙවර සරසවිය සමඟින් එක්වූයේ ප්‍රවීණ නාට්‍යවේදී අධ්‍යක්ෂක නොයෙල් ජයමහයි.
ඉතාමත් නිහතමානීව සංසුන්ව පිළිසඳර ඇරඹුවේ ඔහු අළුතින්ම අත ගසා තිබෙන නිර්මාණ කටයුත්ත ගැන කතා කිරීමටයි. එනම් පොහොය දිනය වෙනුවෙන් ටී. එන්.එල් සුප්‍රීම් ටීවී ඔසේ විකාශය කිරීමට නිර්මාණය කරන සංසාර වන්දනා ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව පිළිබඳ ප්‍රේක්ෂකයින් දැනුම්වත් කිරීමටයි.
මෙම සංසාර වන්දනා කතා මාලාවේ පළමු දිගහැරුම ලෙස සංස්කාර ඒකාංගික ටෙලි සිතුවම පසුගිය පෝදා ටී එන් එල් සුප්‍රීම් ටීවී ඔස්සේ විකාශය විය.
මුලින්ම ඒ පිළිබඳ කතා කිරීමට නොයෙල් මහතා තම හඬ අවදි කළේය.
“මේ කාලේ තමයි කඨින පින්කම් සිදු කරන්නේ. ඒ වෙනුවෙන්ම තමයි බෞද්ධ ජනතාව මේ කාලයේ සැදැහැ සිතින් පෙළ ගැසී සිටින්නේ.
එම නිසා නිර්මාණකරුවන් ලෙස අපිත් යමක් ඒ වෙනුවෙන් කළ යුතුයි කියලා මට අදහසක් සිතේ ඇති වුණා.
ඒ අනුව තමයි සංස්කාර ටෙලි පිටපත මා අතින් ලියැවුණේ.
මම මුලින්ම වේදිකා නාට්‍ය ශිල්පියෙක්.
මට අවශ්‍ය වුණා කලාකරුවෙක් විදිහට සමාජය වෙනුවෙන් වටිනා දෙයක් කරන්න
ඒ අනුව තමයි මම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන්න පෙලඹුණේ.
ඒ සඳහා ප්‍රවීණ සිනමා අධ්යක්ෂ ගාමිණී හේවාවිතාරණ මහතාත්, මාත් එක්ක සම්බන්ධ වුණා.”
“මේ ටෙලි නාට්‍ය තුළින් සමාජයට යහපත් පණිවිඩයක් දෙන්න තමයි බලාපොරොත්තුව.
අද වන විට අප වටා ජීවත්වන ජන සමාජය දූෂණයට ලක්වෙලා තියෙනවා. මිනිසුන් ජීවත් වෙන්නේ දැඩි පීඩනයකින්. ඔවුන්ගේ සිත් තණ්හාව ආශාව ඉරිසියාව ක්‍රෝධය වැනි අයහපත් ගති ලක්ෂණවලින් පිරිලා. බොහෝ දෙනා මුදල් පසුපසම හඹා යන්න පුරුදු වෙලා. ඒ වෙනුවෙන් ඔවුන් ඕනෑම පහත් වැඩක් කරන්න සූදානම්.
මුදල් පසුපසම යද්දී තමන්ගේ පවුල මතක නැහැ දෙමව්පියන්ට සලකන්නේ නැහැ. සහෝදරකම් අමතකයි.
එම නිසා තමයි මම හිතුවේ සංස්කාර තුළින් ඒ පිළිබඳ සමාජයට යහපත් පණිවිඩයක් දෙන්න.
මාධ්‍ය තුළින් අපිට ඉඩක් දීලා තියෙනවා ඒ වෙනුවෙන්. ඒ නිසා තමයි අපි ටී එන් එල් සුප්‍රීම් ටීවී තෝරා ගත්තේ. ඔවුන් දුන් සහය අගය කළ යුතුයි. ඔවුන් නිතරම ජනතාව වෙනුවෙන් යහපත් දෙයක් කරන්න සූදානමින් ඉන්නා බව පේනවා.
බොහෝ විට පෝදා ටෙලි නාට්‍ය නිර්මාණය වන්නේ ජාතක කතා වස්තුවක් හෝ දහම් පොත්වල අඩංගු අනුසාරයෙනි. ඒ පිළිබඳ නොයෙල් මහතාගේ අදහස් මෙසේය.
“සංස්කාර කතා තේමාව ජාතක කතාවකින් හෝ වෙනත් ග්රන්ථයකින් උපුටා ගත් කතාවක් නෙවෙයි. මේක මගේ ස්වතන්ත්‍ර නිර්මාණයක්.
මෙහි තිර රචනය දෙබස් මා විසින්ම තමයි ලියැවුණේ.
මම මේ ටෙලි නාට්‍ය සඳහා ප්‍රවීණ රංගන ශිල්පි ශිල්පිනියන් පිරිසක් යොදා ගත්තා. ඔවුන් මට හොඳ සහයෝගයක් ලබා දුන්නා මේ කටයුත්ත වෙනුවෙන්. මෙම “සංසාර වන්දනා” ටෙලි මාලාවේ ඊළඟ ඒකාංගික ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ ගාමිණී හේවාවිතාරණ මහතා. ඒ ඒ පෝදාට කතා තේමා වෙනස් වෙනවා වගේම ඒ සඳහා රංගනයෙන් දායක කරගන්නා රංගන ශිල්පීන්ද වෙනස් වේවි.”
එසේ තම අධ්‍යක්ෂණය පිළිබඳ කතා කරලා නොයෙල් මහතාගේ කලා දිවිය ගැන ද සරසවියෙහි සටහනක් තැබිය යුතුයි. ඒ තොරතුරු ද ඔහු සරසවිය හමුවේ හෙළි කළේය.
“මම මුලින්ම වේදිකා නාට්‍ය ශිල්පියෙක්. 1979 දී තමයි මම වේදිකා නාට්‍යයක් කළේ? එය නම් කළේ ‘කැටයම් බාස්’ නමින්.”
“මම නාට්‍ය හා රංග කලාව හැදෑරූ කෙනෙක්.”
“මගේ ගුරුතුමා වුනේ ප්‍රවීණ නාට්‍යවේදී තිස්ස ගුණවර්ධනයන්.”
“එතුමා අධ්‍යක්ෂණය කළ මොනරවිල වේදිකා නාට්‍යයේ මම රඟපෑවා.”
“ඒ 1981 දී.”
“1982 දී මම වේදිකාවට නැවතත් ගොඩ වුණා. ‘රූකඩ මල්ලි‘ කියන නාට්‍යයට රංගනයෙන් දායක වුණා. ඒ වගේම එය මගේම අධ්‍යක්ෂණයක්. විනාඩි 20කට පමණ සීමා වූ කෙටි වේදිකා නාට්‍යයක්.”
“මම මුලින්ම රංගනය අධ්‍යක්ෂණය පිටපත් රචනය නිෂ්පාදනය වැනි හැම පැතිකඩක් ගැනම අත්දැකීම් ලබා ගත්තේ වේදිකාවෙන්. මම වේදිකාවට ආදරෙයි එතන තමයි මගේ කලා ගමනේ ආරම්භය.
“ප්රභූන්ගේ අවන්හල, පරෙවි පියස්ස, පැදුරු මාළිගා, අස්ස කරත්තේ මේ සියල්ල මගේ ගුරුතුමාගේ නිර්මාණ. මම ඒ සියල්ලටම රංගනයෙන් දායක වුණා.”
“ඒ වගේම දීප්ති විකුම්ගේ, ‘පසන් සිත්’, සුමිල ප්‍රනාන්දුගේ ‘වීර මල’ කියන නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. වීර මල’ කියන නාට්‍යයේ මම රඟපෑවේ උසස් හමුදා නිලධාරියෙකුගේ චරිතයක්.”
“මම තවමත් වේදිකාව සමග රැඳී ඉන්නවා.”
“ මම මේ දිනවලත් වේදිකා නාට්‍යයක් සමගින් ඉන්නේ.”
“ ඒ මගේම අධ්‍යක්ෂණයක් වූ කිරීටය වේදිකා නාට්‍යය.”
“දැනට අපි දර්ශන වාර හතරක් කරලා තියෙනවා. ඉදිරියේදී ‘කිරීටය’ රට වටා රැගෙන යන්න අදහසක් තියෙනවා.”
එයට නිෂ්පාදන දායකත්වය ලබා දුන්නේ ආනන්දනීය සිනමා සංසදය.”
නොයෙල් ජයමහ කලාකරුවාණන් රංගන ශිල්පියෙකි. අධ්යක්ෂවරයෙකි. තිර පිටපත් රචකයෙකි. ඔහුට තවත් දක්ෂතාවයක් උරුම වී ඇත. ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඉතාමත් සුන්දර වූ චිත්‍ර ඔහු අතින් සිත්තම් වී තිබීම විශේෂත්වයක්.
“ඔව්. මම චිත්‍ර කලාවටත් දක්ෂයෙක්. මීට වසර ගණනාවකට කලින් ‘සතුට’ පත්තරේ චිත්‍ර ශිල්පියෙක් විදිහට කටයුතු කළා.”
“සතුට පත්තරේ මගේ මුල්ම චිත්‍රකතා නිර්මාණය වුණේ ‘සීතල සඳ එළියේ’ කියන කතාව. ඉන්පසු ‘සිතාරයේ තත්’, ‘සිහින ලොවින් ආවා මතකයි’, ‘වලව්වෙ ඇත්තෝ’ කියන චිත්‍රකතා මගේ අතින් ඇඳුණු චිත්‍ර.
“ඒ වගේම මම තවත් පුවත්පත් කිහිපයක චිත්‍ර ශිල්පියෙක් විදිහට කටයුතු කළා. ‘ලංකාදීප’, ‘සිරිකත’, ‘ විජය’, ‘සිත්මිණ’ වැනි පත්තර වල මම චිත්‍ර ශිල්පියෙක් විදියට කටයුතු කළා.
“ඉන්පසු මම වෙළෙඳ දැන්වීම් ආයතනයකට සම්බන්ධ වෙලා වැඩ කළා. ඒ අතර මගේම චිත්‍ර නිර්මාණත් කළා. මම චිත්‍ර ප්‍රදර්ශන ගණනාවකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම අලෙවිය සඳහාත් මම චිත්‍ර ඇන්දා.”
“ඒත් ටික කාලයක පසු මම ඉන් බැහැර වෙලා වේදිකාවට, ටෙලි නාට්‍ය කලාවට සම්බන්ධ වුණා.”
“මුලින්ම වේදිකාවට සම්බන්ධ වුන මම පසුව ටෙලි නාට්‍යවලටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.”
“මම ටෙලි නාට්‍යවලට රංගනයෙනුත් දායක වෙනවා අධ්යක්ෂණයට අමතරව.”
“මගේ මුල්ම ටෙලි නාට්‍යය වුණේ ‘පායන්න තාරකා වී’ කියන නිර්මාණය. එය රූපවාහිනිය ලංකාවට හඳුන්වා දුන් මුළු යුගයේම විකාශය වූවක්.”
“ඉන් පසුව මම ටෙලි නාට්‍ය ගණනාවකම විවිධ චරිත නිරූපණය කළා.”
“දක්ෂ පිටපත් රචකයෙක් වූ චින්තක පීරිස් හිතවතාගෙන් මට ආරාධනාවක් ලැබුණා ටෙලි නාට්‍යයක් සඳහා. ජී.නන්දසේනයන්ගේ ‘මොනර කිරිල්ලි‘ කියන ටෙලි නාට්‍යයට. එහි විජයරත්න කියන චරිතය මට ලැබුණා.
“ඉන්පසුව නිවන්ත ප්‍රසාර, ප්‍රභාත් රෝෂන්, කසුන් තරින්ද්‍ර, චාමර ජයවීර, කුමුදු නිශාන්ත, ගාමිණී හේවාවිතාරණ වැනි අධ්‍යක්ෂවරුන්ගේ ටෙලි නිර්මාණ වලට ඔවුන් මාව දායක කරගත්තා.”
“දැනටත් මම රංගනයෙන් දායක වන ටෙලි නාට්‍යයක් විකාශය වෙනවා.”
“’සිහින ගෙනෙන කුමාරියේ’ කියන ටෙලි නාට්‍යය. ඒක විකාශය වෙන්න පටන් ගත්තේ 2020 දී. දැනට අවුරුදු 4ක් තිස්සේ එයට සම්බන්ධ වෙලා ඉන්නවා.”
විවිධ ඉසව් ඔස්සේ දක්ෂතා පෙන්වන නොයෙල් ජයමහ නිර්මාණකරුවා සිනමාවට ලබා දුන් දායකත්වය ගැනද කතා කළ යුතුයි.
“ගයාන් මහගලගේ සහ ගාමිණී හේවාවිතාරණගේ සිනමා නිර්මාණවලට මගේ රංගන දායකත්වය ලබා දුන්නා.”
“ගාමිණී හේවා විතාරණයන්ගේ ‘මොනර කිරිල්ලී’ කියන චිත්‍රපටයේ මුදලාලි කෙනෙක්ගේ චරිතයක් තමයි මට ලැබුණේ.”
“ඒ අතර මම කෙටි චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා.”
‘මුවහත් කඩුව‘ සහ ‘ලිප්ස්ටික්’ කියන කෙටි චිත්‍රපට යුගලය.
නොයෙල් ජයමහ යනු කලා ලෝකයේ ප්‍රවීණයෙක්. වේදිකාව තුළින් පන්නරය ලබා ගත් දක්ෂ නිර්මාණකරුවෙක්. වර්තමානයේ ටෙලිනාට්‍ය සිනමාවට පිවිසෙන නවකයින් ගැනද ඔහු අදහස් පළ කළේය.
“අපි රඟපෑමට, අධ්යක්ෂණයට යොමු වුණේ මුලින්ම වේදිකාවෙන්. අද වන විට ටෙලි නාට්‍ය සිනමාවේ ඉහළින් දස්කම් පාන බොහෝ ශිල්පීන් වේදිකාවෙන් බිහි වූ අය.”
“එහෙත් වර්තමානය වන විට ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා.”
“අද ඉන්නේ ක්ෂණිකව රංගනයට පැමිණෙන පිරිසක්.”
“හැබැයි ඒ අතර දක්ෂයොත් කිහිප දෙනෙක් ඉන්නවා.”
“රංගනය ගැන හෝ අන් අංශයන් ගැන නිසි පුහුණුවකින් නිසි අධ්‍යයනයකින් යුතුව ක්ෂේත්රයට පා තබනවා නම්, ඔවුන්ගේ ඉදිරි ගමන සුබයි.
“අලුතින් එන ඇතැම් නවකයින්ට දෙබස් උච්චාරණයේදී පවා අපහසුතා ඇති වෙනවා. රංගනය කියන්නේ කුමක්ද කියලවත් දැනුමක් නැති අය ඒ අතර ඉන්නවා.”
“අහසින් වැටුණ වගේ වෙනව ඒ අවස්ථාවලදී.”
“ඒ නිසා මම දෙන උපදෙස තමයි නිසි පුහුණුවකින් පසු කලා ක්ෂේත්රයට පැමිණෙන්න.”
“රංගනය තමයි අමාරුම රැකියාව“
“අපි තවමත් කලාවත් සමඟ බද්ධ වෙලා ඉන්නේ මුල සිටම වේදිකාවත් සමඟ ගනුදෙනු කළ නිසා.”
නවකයින් ගැන කතා කළ නිසාම අතීතයේ නරඹන්නට ලැබුම් ටෙලි නිර්මාණත් වත්මනෙහි තැනෙන ටෙලි නිර්මාණ පිළිබඳවත් ඔහු මෙසේ අදහස් පළ කළේය.
“අතීතයේදී අපට අදටත් මතකයේ රැඳෙන ටෙලි නාට්‍ය බිහිවුණා. ප්‍රවීණ රංගන ශිල්පී ශිල්පිනියන්ගෙන් එම නිර්මාණවලට ආලෝකයක් ලැබුණා. දක්ෂ අධ්‍යක්ෂකවරු සිටියා. හොඳ පිටපත් රචකයින් සිටියා.
වර්තමානයේ එවැනි ටෙලිනාට්‍ය බිහිවෙනවා. අදටත් දක්ෂ ශිල්පීන් ඉන්නවා.
“එහෙත් අද වන විට රූපවාහිනී නාලිකා වැඩි වශයෙන් බිහිවීම නිසා ටෙලි නාට්‍ය රැළි මතුවෙලා තියෙනවා.”
“දක්ෂ පිටපත් රචකයින්ගේ අඩුවක් තියෙනවා.”
“එදා ටෙලි නාට්‍යයක් කරනකොට රංගන ශිල්පීන්ට චරිතයට ප්‍රවේශ වීමට කාලය තියෙනවා. චරිතය පිළිබඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්. පිටපත කලින් ලැබෙන නිසා. ඒත් වර්තමානයේ ඒ තත්ත්වය මගහැරිලා තියෙනවා ඇතැම් අය අතින්.”
“මුලින්ම පිටපතක් අනුව වැඩ කළත් සමහර වෙලාවට පිටපත ලියන්නේ රූගත කිරීම් කරනකොට එවෙලේ තමයි දෙබස් දෙන්නේ.”
“එහෙම විය යුතු නැහැ.”
කලා ලොව සෑම පැතිකඩක් පාහේම ස්පර්ශ කර ඇති නොයෙල් ජයමහ අපට සිටින දක්ෂ කලාකරුවෙක්. ඔහු හෙළ කලාකෙත වෙනුවෙන් කර ඇති මෙහෙය අගය කළ යුතුයි.
එම නිසා ඔහුගේ ඉදිරි කලා කටයුතු පිළිබඳ සරසවිය තුළින් සටහනක් තැබීම අප සතු යුතුකමකි.
“මම මීට කලින් පැවසුව වගේ කිරීටය වේදිකා නාට්‍ය රටවටා ගෙන යන්න බලාපොරොත්තු වෙනවා.”
“එහි ශිල්පීන් 14 දෙනෙක් ඉන්නවා. ඒ නිසා වියදම් අධිකයි. ඒ නාට්‍ය රට වටා ගෙනියන්න සූදානම් වන අතරේ, මම තවත් වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමට සූදානමින් ඉන්නේ. ශිල්පීන් හය දෙනකු පමණ සම්බන්ධ කරගෙන.”
“ඉදිරියේදී අනිවාර්යයෙන්ම එහි අලුත්ම තොරතුරු සරසවියට කියන්න මම බලාපොරොත්තු වෙනවා.”
“සරසවියෙන් මගේ කලා කටයුතු ගැන කතා කරන්නට ඉඩක් දුන් මොහොතේ මම විශේෂයෙන් ස්තූති කරනවා මගේ ගුරුතුමාට.”
“නාට්‍යවේදී තිස්ස ගුණවර්ධනයන්ට.”
“ඒ වගේම මුලින්ම මාව ටෙලි නාට්‍ය කලාවට හඳුන්වා දුන් චින්තක පීරිස් සහෝදරයාට.”
“මට මේ තාක් මගේ කලා කටයුතුවලට අත හිත දෙන සියලුම දෙනාට මගේ හදවතින්ම ස්තුතියි කියනවා.”
“විශේෂයෙන්ම ස්තූතියි කියන්න තවත් පිරිසක් සිටිනවා.”
“ඒ තමයි සංසාර වන්දනා ඒකාංගික කතා මාලාවේ පළමු දිගහැරුම වන සංස්කාර සඳහා සම්බන්ධ වූ සියලුම ශිල්පීන්ට. සමස්ත නිෂ්පාදන කණ්ඩායමටම මම මගේ ආදරය පුද කරනවා.
“තවත් විශේෂ චරිත දෙකක් මතක් කළ යුතුයි. සංස්කාර සඳහන් නිෂ්පාදනයෙන් දායක වුණ කුමාරි දිසානායක සහ ලලිත් ලොකු බණ්ඩාර යන හිතවතුන්ව. ඔවුන් මට ලොකු ශක්තියක් වුණා.
අවසන් වශයෙන් මම මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා ඉදිරි පෝය දින වලදීත් සුප්‍රීම් ටීවි ඔස්සේ විකාශය වන සංසාර වන්දනාවට එකතු වෙන්න කියලා.
පෝදා පමණක් නොව අපි සැමදා අපගේ සිත කය වචනය යන තුන්දොර සංවර කර ගත යුතුයි. යහපත් ගති පැවතුම් අපේ ජීවිතයට ළං කර ගනිමින් අයහපත් දෑ ඉවත් කළ යුතුයි. අපේ පවුලට දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට ආදරය කළ යුතුයි.
ඉහත කී සියල්ල සංසාර වන්දනාව තුළින් සමාජයට පෙන්වා දීමට නොයෙල් ජයමහ කලාකරුවාණන් සැදී පැහැදී සිටී.
අපේ ජීවිතයද වන්දනා ගමනකි. එසේ නම් අපි අද සෑම පෝය දිනකදීම වන්දනා සමඟින් පෙළ ගැසෙමු. එමඟින් අපේ සිත් සනසා ගනිමු.
නයනාංජලි දෙහිපිටිය