Home » අපි ඔක්කොම එක පවුලක් වගේ වැඩ කළා

අපි ඔක්කොම එක පවුලක් වගේ වැඩ කළා

නවක නළු යුලාන් ඩෘෘව්

by Thanushika
December 26, 2024 12:30 am 0 comment

සෝලෝටවුන් සංගීත කණ්ඩායමේ කේන්තිකාරයා යුලාන්. ඔහු දක්ෂයෙක් . සංගීතයට වගේම නර්තනයට. මොන දේ වුණත් සෝලෝටවුන් සංගීත කණ්ඩායම අත්නොහරින කෙනෙක්. පසුගිය දා තිරයට ආ නවතම චිත්‍රපටය සෝලෝටවුන්. සංගීතය ජීවිතය කරගත් තරුණයන් පස්දෙනෙක් වටා ගෙතුණු කතාවක් තමයි සෝලෝටවුන් කියන්නේ. එහි යුලාන්ගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ නවක නළු යුලාන් ඩෲව්. මනා කඩවසම් බවින් යුත් යුලාන්ගේ පෙනුම බටහිර පන්නයට හුරුයි. ආකර්ෂණීය සිනහවක් සමඟින් සරසවිය ඉදිරියේ සෝලෝටවුන් ගැන කතා කළේ මෙන්න මේ විදිහට.

ඔබේ කුලුඳුල් රංගනය ඇතුළත් සෝලෝටවුන් චිත්‍රපටය සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

ඔව්. මේක මගේ පළමු චිත්‍රපටය. මේ වෙනකොට ලැබෙමින් තියෙන ප්‍රතිචාර ඉහළයි. නරඹපු අය කිව්වා සෝලෝටවුන් හරි ලස්සන පණිවිඩයක් දෙන චිත්‍රපටයක් කියල.

ඔබ සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් විදිහට කොහොමද සෝලෝටවුන් චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ ?

අපේ සංගීත කණ්ඩායමේ නමින් තමයි මේ ෆිල්ම් එකත් නම් කරල තියෙන්නේ. “සෝලෝටවුන්”. අපි මීට අවුරුදු දෙකකට කලින් තමයි සංගීත කණ්ඩායමක් විදිහට ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් කරන්න පටන් ගත්තෙ. සෝලෝටවුන් කියන බෑන්ඩ් එකත් සන්නාමයත් එක තැන කොටු වෙනවට අපි කැමැති වුණේ නැහැ. අපි තීරණය කළා අලුත් දෙයක් කරන්න. ඒ අනුව තමයි සෝලෝටවුන් නමින්ම චිත්‍රපටයක් කරන්න තීරණය වුණේ.

සෝලෝටවුන් මදක් වෙනස් ආකාරයක චිත්‍රපටයක් කියල ඔබ හිතනවද?

ඔව්.. අපි නිතර දකින චිත්‍රපට වලට වඩා මේ චිත්‍රපටය වෙනස් මුහුණුවරක් අරගෙන තියෙනවා. බටහිර චිත්‍රපටයක හුරුව ඇවිත් තියෙනවා. එකම රැල්ලකට යන්නේ නැතුව නිතරම අලුත් විදිහට හිතන්න ඕන. සෝලෝටවුන් බැලුවොත් ඒ වෙනස තේරුම් ගන්න පුළුවන්.

මෙම චිත්‍රපටය තරුණ පිරිස ඉලක්ක කර කළ නිර්මාණයක්ද?

මෙහෙමයි. ලංකාවේ තරුණ පිරිස වැඩි නැඹුරුවක් තියෙන්නේ හොලිවුඩ් බොලිවුඩ් චිත්‍රපටවලට. සෝලෝටවුන් කියන්නේ සංගීතමය චිත්‍රපටයක්. තරුණ පිරිසට දැනෙන චිත්‍රපටයක්. මෙහි රංගනයෙන් දායක වෙන්නේ තරුණ පිරිසක් නිසා මම හිතනව සෝලෝටවුන් වටා තරුණ පිරිස එකතු වෙයි කියල.

සෝලෝටවුන් අධ්‍යක්ෂවරයා ගැන සඳහන් කළොත් ?

චතුරංගන අයියාගේ (චතුරංගන ද සිල්වා) පළමු සිනමා අධ්‍යක්ෂණය. ඔහු යුරෝපීය රටක ජීවත් වුණ කෙනෙක්. ඒත් ඔහු සිංහල සිනමාවට ආදරෙයි. චතුරංග අයියා එක්ක වැඩ කරන්නත් පහසුයි. අපි පොඩි කාලේ ඉඳන් දන්නවා. ඇත්තටම සෝලෝටවුන් මෙච්චර ලස්සන වුණේ ඒ යළුකම නිසා වෙන්න ඇති.

රූගත කිරීම් වලදී අමතක නොවන අවස්ථා තියෙනවාද ?

ඔව්… ගොඩක් තියෙනවා. එයින් මම එක සිද්ධියක් කියන්නම්. මම තමයි සෝලෝටවුන් එකේ නර්තනය පුහුණු කළේ. කොච්චර හොඳ ඩාන්සින් ස්ටේප්ස් දැම්මත් මම ඒවයින් සෑහීමකට පත්වෙන කෙනෙක් නෙවෙයි. ෂූටිං පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දිත් මම ස්ටෙප්ස් වෙනස් කළා. දවසක් පාන්දර වෙනකන් එහෙම කළා. ඒක කාටවත් අමතක නැතුව ඇති.

ඔබ නර්තන ශිල්පියෙක් ද?

ඔව් මම පොඩි කාලේ ඉදන් නටන්න දක්ෂයි. මම ඉගෙන ගත්තෙ වත්තල ර්‍ණම්ධ් ජාත්‍යන්තර පාසැලේ. මම රියැලිටි වැඩසටහන් වලට සහභාගී වෙලා තියෙනවා. ඒත් ගොඩක් තැන් වලදී මාව ප්‍රතික්ෂේප වුණා. මගේ හිත ශක්තිමත්. මම ඒ වෙලාවේ හිතාගත්ත කොහොම හරි ඉදිරියට යනව කියල. අද මට සතුටුයි මම ඉන්න තැන ගැන බැලුවහම. නර්තනය පැත්තෙනුත් මම නිතරම උත්සාහ කරන්නෙ අලුත් දෙයක් කරන්න.

නළුවෙක් විදිහට දිගටම ක්ෂේත්‍රයේ රැඳී සිටින්නට බලාපොරොත්තු වෙනවද ?

මට යමක් කරන්න පුළුවන්, මට ගැළපෙන චරිත ලැබුණොත් භාර ගන්නව. සිනමාව, ටෙලි නාට්‍ය කියල තෝරා බේරා ගැනීමක් කරන්නේ නැහැ.

සෝලෝටවුන් සංගීත කණ්ඩායමක් විදිහට ඔබලාගේම නිර්මාණයක් කරල තියෙනවාද ?

ඔව් අපි ගීත ගොඩාක් නිර්මාණය කරල තියෙනවා. ඒත් මේ දක්වා ඒව එළිදක්වල තිබුණේ නැහැ. සෝලෝටවුන් තිරගත වීමත් සමඟ හැමෝටම ඇහෙන්න ඒ ගීතත් එළිදැක්වෙනවා.

සංගීතය නිසා ජීවිතය වෙනස් කරන්න පුළුවන් කියල ඔබ විස්වාස කරනවාද ?

අනිවාර්යයෙන් පුළුවන්. සංගීතය කියන්නේ මැජික් එකක්. මානසිකව හෝ කායිකව වැටුණු කෙනෙක් ආයෙමත් යහපත් තත්ත්වයකට ගන්න පුළුවන් සංගීතය නිසා. සංගීතය කියන්නේ ඖෂධයක්. සෝලෝටවුන් එකෙනුත් එහෙම පණිවිඩයක් දෙනව. පිළිකා රෝගයෙන් පීඩා විඳීන කුඩා දරුවෙක් සංගීතය නිසා සහනයක් ලබනවා. එය තමයි ඇත්තටම සංගීතයෙන් විය යුත්තේ.

සෝලෝටවුන් සමඟ සම්බන්ධ වුණ අනෙක් ශිල්පීන් ගැනත මතක් කළොත් ?

අපි ඔක්කොම එක පවුලක් වගේ. විශේෂයෙන් චතුරංග අයියාත් උදිත අයියාත් (උදිත කුරේ) මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තමයි සෙව්වන්දි අක්කා සහ ප්‍රසාදි අක්කා අපිට ලොකු සහයෝගයක් දුන්නා. රවීන් ඇතුළු මගේ අනෙක් යාළුවො තුන්දෙනා සහ රංගනයෙන් සම්බන්ධ අනෙක් පිරිසත් මතක් කරනවා විශේෂයෙන්. ඒ වගේම සෝලෝටවුන් සාර්ථක කරගන්න ශක්තියක් වුණ නිෂ්පාදන කණ්ඩායමටත් සහයෝගය දුන් සැමටත් මම ස්තුතියි කියනවා.

සෝලෝටවුන් වෙනුවෙන් ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තියෙන්නේ ?

මේ චිත්‍රපටය සංගීතයෙන් සපිරි එකක් . අවසානයේ හොඳ පණිවිඩයක් සමාජගත කරනවා. ඉතින් මම ආදරයෙන් ඉල්ලා සිටිනවා පවුලේ ඔක්කොම එක්ක බලන්න කියල සෝලෝටවුන්.

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT