ඇය නිතැතින්ම දක්ෂ මාධ්‍යවේදිනයක් මෙන්ම ලේඛිකාවකි. ඕනෑම දෙයක් තුළ උපේක්ෂා සහගතව බලා ඇයගේ පෑන් තුඩ සනිටුහන් කරන්නේ තව කෙකුගේ යහපත වෙනුවෙන් පමණි. ජන සන්නිවේදන භූමිකාව තුළ සිනමා ගවේෂණාත්මක ලිපි රචනා කරන්නේද,විවිධ භාෂා පරයාගොසිනි. ඇගේ දක්ෂ වාග් මාලාව කාගේත් සිත් සතන් ඇද බැඳගන්නේය. විවිධ සිනමා කෘති ගවේෂණාත්මක ලෙස ඉංග්‍රීසි බස හසුරුවමින් ඉංග්‍රීසි පාඨකයා වෙත ගෙන එන්නේ හෘදයාංගම ලෙසිනි. ලියන්න කියන්න දක්ෂ වුවත් දක්ෂතාවය නිසා එම අවස්ථාවක් ලැබෙන්නේ කී දෙනාටද? ඒත් ඇයට එය අවස්ථාව ලැබුණි. ඒ වෘතිතියෙන් ජනමාධ්යවේදීනියක් විමය, චිත්‍රපට විචාරිකාවක සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ විශේෂාංග උප කතෲවරියක්. International Cinephile Society නැමැති ජාත්‍යාන්තර චිත්‍රපට විචාරකයින්ගේ සංසදයේ සාමාජිකාවකි.2013 වසරේ ඇය තිරපිටපත ලියා අධ්‍යක්ෂණය කළ ‘දේවි’ ඇගේ පළවෙනි කෙටි චිත්රපටයවේ.
ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපටි උළෙලේ හොදම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබද සම්මානයට (Most Gender Sensitivity Award) නිර්දේශ නාම ලාභිනියක්ද විය. ජාතික චිත්‍රපටි සංස්ථාවේ චිත්‍රපටි අධ්‍යක්ෂණය පිළිබද ඩිප්ලෝමාධාරිනියකි. අන්තර්ජාතික ඩකා සිනමා උළෙලෙ ජූරි සභිකාවක් ලෙස හිඳගත් sunday observer පුවත්පතේ youth tablet සංස්කාරකවරිය වන අනුරාධා කෝදාගොඩ එහි අත්දැකීම් සරසවිය සමග බෙදා ගත්තේ මේ අයුරිනි.
22 වෙනි අන්තර්ජාතික ඩකා සිනමා උළෙල ජූරිය නියෝජනය කරන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
පසුගිය අවුරුදු කිහිපය පුරා ලෝකයේ විවිධ අන්තර්ජාතික සිනමා උළෙලවල් පිළිබද වාර්තා කිරීමටත්, එම උළෙලවල් සදහා ඉදිරිපත් වූ සිනමාපට නැරඹීමටත්, විචාරය කිරීමටත්, සිනමා අධ්‍යක්ෂකවරුන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීමටත් මට අවස්ථාව ලැබුණා. ඩකා අන්තර්ජාතික සිනමා උළෙල එවැනි එක් සිනමා උළෙලක්. 2020 සිට අවුරුදු තුනක් මා එම උළෙල හා සම්බන්ධව කටයුතු කළා. මෙවර ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේ අධ්‍යක්ෂකවරයා වන අහමඩ් මුස්තාබා සමාල් මට ආරාධනා කලා එම උළෙලේ එක් තරගකාරී අංශයක් වන ‘කාන්තා සිනමාකරුවන්ගේ’ අංශයේ ජූරි සභිකයෙක් ලෙස සහභාගී වන්න.
මම එය ඉතා කැමැත්තෙන් පිළිගත්තා. ඒ වගේම ඩකා අන්තර්ජාතික සිනමා උළෙලට සමගාමීව පවත්වනු ලබන 10 වැනි සිනමාවේ නියැළි කාන්තාවන් පිළිබඳ අන්තර්ජාතික සමුළුවේ (10th Dhaka International Conference on Women in Cinema) එක් ප්‍රධාන දේශනයක් සඳහා මට ආරාධනා කළා. එහිදී මම “සිංහල සිනමාවේ ස්ත්‍රී ආත්මීයත්වය වින්ධිතකරණයෙන් ඔබ්බට” (Beyond victimization: Exploring agency and alternative representation of female subjectivity in Sri Lankan cinema) යන තේමාව ඔස්සේ දේශනයක් පැවැත්වූවා. එම දේශනය කාගෙත් අතර පැසසුමට ලක් වුණා.
මෙවන් උළෙලක ජූරි සභිකාවක් ලෙස නියෝජනය කරන පළමු අවස්ථාවද ?
ඔව්. මෙය මම අන්තර්ජාතික සිනමා උළෙලක ජූරි සභිකාවක ලෙස සහභාගි වූ පළමු අවස්ථාව. ජීවිතයේ මම ලද ජයග්‍රහණයක් කියලා සලකනවා.
ඔබත් සමඟ ජූරිය ලෙස කටයුතු කළ අන් සාමාජිකයන් කවුද ?
මම නියෝජනය කළ ජූරිය මම ඇතුළුව තවත් සාමාජිකාවන් හතර දෙනෙක් සහභාගි වුණා. කැත්රිනා ක්රාමොවා, ඇය රුසියානු ජාතික, සම්මානලාභී සිනමා සහ වේදිකා නාට්‍ය රංගනවේදිනියක්. ඇය ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පදනම් කරගත් වෘත්තීය රංගනවේදිනියක්. ලෝරා එමෝනේ ඉතාලි ජාතික සිනමාවේදිනියක්. ඇය සිනමා ඉතිහාසය පිළිබදව ඩෙන්මාකයේ කොපෙන්හේගන් විශ්වවිද්‍යාලයේ උපාධිධාරීනියක් වගේම ලේකයේ ප්‍රධාන පෙළේ සිනමා උළෙලවල් හා සම්බන්ධව ක්‍රියාකරන අතර ජූරිසභිකාවක ලෙස කටයුතු කරනවා. ‘ඉඩධජඬඪදඨ ර්ථඪදඬ ඡ්දඤධපනඩඪදඵ’ ඉතාලි සිනමා උළෙලහි අධ්‍යක්ෂකවරිය වන්නේ ඇයයි. ශෝමෝ කයිසර් සම්මානලාභී බෙංගාලි සිනමා සහ රූපවාහිනී ජනප්‍රිය නිළියක් සහ ෆිලිපා කාඩෝසෝ පෘතුගීසි ජාතික සම්මානලාභී සිනමාවේදිනියක්. ඇය වෘත්තීමය සිනමා සංස්කාරකවරියක් ලෙස කටයුතු කරන අතර අන්තර්ජාතික සිනමා උළෙලවල් කිහිපයකම ජූරි සභිකාවක ලෙස සහභාගි වී තිබෙනවා.
එහිදී ඔබ ලැබූ අත්දැකීම් මොනවාද?
එහි ලැබූ අත්දැකීම සුවිශේෂයි. විවිධ රටවල, විවිධ ශානර වලට අයත් චිත්‍රපට නැරඹීම මෙන්ම, විවිධ රටවල සිනමාකරුවන්, සිනමා විචාරකයන්, සිනමාවේදීන් සහ විවිධ ආකාරයෙන් සිනමාව සමඟ සම්බන්ධ වෘත්තීයවේදීන් මුණගැසීමට ලැබීම, ඔවුන් හා සංවාදයේ යෙදීම හා දැනුම, අත්දැකීම් බෙදාගැනීමට ලැබීම වගේම ඒ ඒ රට වලට ආවේණික සිනමාව සම්බන්ධ ආර්ථික, සාමාජීය සහ දේශපාලන තත්ත්වයන් සහ ගැටළු සාකච්ඡා කිරීමට ලැබීම ඉතාම සුවිශේෂී අත්දැකීමක් වුණා.
අන්තර්ජාතික සිනමා උළෙලක ජූරි සභිකාවකගේ වගකීම මොන වගේද?
ඕනෑම අන්තර්ජාතික සිනමා උළෙලක ජූරි සභිකයන් කියන්නෙ තීරණාත්මක කාර්යයභාරයක් පැවරෙන කණ්ඩායමක්. උළෙල සඳහා ඉදිරිපත් වී ඇති සිනමා කෘති අතරින් සන්සන්දනාත්මකව විවිධ අංශ වලට අයත් නිර්ණායක යටතේ හොඳම සිනමා කෘතීන් තේරීම තමයි ඔවුන්ගේ වගකීම වෙන්නේ. ඕනෑම ජූරියක නිගමන සාපේක්ෂයි. එය තීරණය වෙන්නේ අදාළ ජූරිසභිකයන්ගේ ඒ විෂය හා සම්බන්ධ ප්‍රාමාණික දැනුම සහ අත්දැකීම් අනුව. මම හිතන්නේ ජූරි සභිකාවකගේ මූලිකම වගකීම වෙන්නේ පූර්ව නිගමන / අගතීන්ගෙන් හැකිතාක් වියුක්තව, සිනමා කෘතියකට අදාළ ප්රස්තුතය ඉදිරිපත් කිරීමට සිනමාකරුවා භාවිතා කර ඇති සිනමාත්මක ආකෘතිය විදාරණය/ විනිශ්චය කිරීම මඟින් සාධාරණ අවසන් විනිශ්චයකට එළඹීමයි.
ඩකා සිනමා උළෙලේ මම නියෝජනය කළ ජූරිය පිළිබදව කතා කළොත් අපිට දින 4 ක් ඇතුළත චිත්‍රපටි 27 ක් නැරඹීමට සිදු වුණා. ඒ චිත්‍රපටි 27 ඇතුළත වාර්තා චිත්‍රපටි, වෘතාන්ත චිත්‍රපටි මෙන්ම කෙටි ච්ත්රපටද ඇතුළත් වුණා. හොඳම වෘත්තාන්ත චිත්‍රපට, හොඳම වාර්තා චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය යන අංශ තුන යටතේ චිත්‍රපට තේරීම අපේ කාර්යයභාරය වුණා. ජූරිය හැටියට සියලුම චිත්‍රපට සම්පූර්ණයෙන්ම නැරඹීමටත්, සෑම චිත්‍රපටයටම අදාළ සටහන් සහ බර තැබීම් දවස අවසානයේ අනෙකුත් ජූරි සභිකයින් සමඟ සාකච්ඡා කිරීමත් සිදු කළා. ඒ නිසාම විශාල පරස්පරතාවලින් තොරව ඒකමතික ජූරි තීරණයක් සියළුම සම්මාන සඳහා ලබාදීමට හැකි වුණා. ඒ වගේම කාන්තා අංශයේ කෙටි චිත්‍රපට සදහාත් විශේෂ ජූරි සම්මානයක් ලබාදීමට සංවිධායක කමිටුව එකඟකරවා ගැනීමට අපිට හැකි වුණා.
ඩකා වැනි සිනමා උළෙලක් නියෝජනය කිරීමට නිර්මාණකරුවකු ඉදිරිපත් කළ යුතු සිනමා පටවල තිබිය යුතු ගුණාංග මොනවාද?
ඩකා අන්තර්ජාතික චිත්‍රපටි උළෙලට චිත්‍රපටියක් ඇතුළත් කරගැනීමේදී ඔවුන් සලකා බලන නිර්ණායක රාමුවක් තියෙනවා. ඔවුන්ගේ මූලික අරමුණ වන්නේ මානව ශිෂ්ටාචාරයේ ප්රගමනය වෙනුවෙන් වූ සිනමාකෘතීන් ඇගයීමට ලක්කිරීම.
බංග්ලාදේශය මුස්ලිම් ආගම මූලික වූ සමාජ-දේශපාලන වටපිටාවක් සහිත රටක්. දකුණු ආසියාතික රටක් ලෙස රටට ආවේණික පසුගාමී සමාජ-සංස්කෘතික ආකෘතීන් තිබීම මග හැර යා නොහැකි ඇත්තක්. මෙම සිනමා උළෙලට සිනමා කෘතීන් තේරීමේ නිර්නායක යටතේ නිරුවත් දර්ශන සහිත සිනමා කෘතීන් ඉදිරිපත් නොකරන ලෙස අවධාරණය කර තිබෙනවා. මෙම කාරණය මුලදී මෙම සිනමා උළෙල පිළිබදව සෘණාත්මක අදහසක් ඇති කළත්, උළෙල හා සම්බන්ධව වැඩ කිරීමේදී ලැබුණේ වෙනස් අත්දැකීමක්. එහිදී පුළුල් පරාසයක විවිධ තේමාවන්ගෙන් නිෂ්පාදනය වූ විශිෂ්ට සිනමා කෘති නරඹන්න මෙන්ම ඇගැයීමට අවස්ථාව ලැබුණා.
මාධ්‍යවේදිනියක් ලෙසින් මේ සම්මාන උළෙල ඔබ දකින්නේ මොනවගේද ?
අන්තර්ජාතික සිනමා උළෙලක තිබෙන විශේෂත්වය වන්නේ විවිධ රටවල නිෂ්පාදිත, විවිධ තේමාවන්ගෙන් නිෂ්පාදිත සිනමාපට නැරඹීමට මෙන්ම එම නිර්මාණකරුවන් මුණගැසීමට, අදහස් හුවමාරු කරගැනීමට සහ සිනමා කර්මාන්තය හා සම්බන්ධ තවත් විවිධ වෘත්තිකයන් මුණගැසීමට ඉන් නිර්මාණය කෙරෙන වටපිටාව සහ වේදිකාව. ඒ වගේම අන්තර්ජාතික සිනමා උළෙලක් වටා බිහිවෙන සිනමා කතිකාව හරහා අදාළ රට තුළ වගේම කලාපීයව සිනමා කතිකාව පොහොසත් කිරීමට රුකුලක් වනවා. ඩකා අන්තර්ජාතික සිනමා උළෙල මෙවර පැවැත්වුණේ 22 වෙනි වතාවට. අපේ රටේ සිනමා කෘතීන් විශාල ප්‍රමාණයක් මෙම උළෙල නියෝජනය කර තිබෙනවා වගේම ඇගයීමට ලක්වී තිබෙනවා. ගිය අවුරුද්දේ පැවති උළෙලේ අනෝමා රාජකරුණා කාන්තා සිනමාකරුවන්ගේ අංශයෙන් හොඳම වාර්තා සිනමා පටයට හිමි සම්මානය දිනාගත්තා වගේම මෙවර සම්මාන උළෙලේ හොඳම ආසියාතික සිනමා අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය ජගත් මනුවර්ණ විසින් දිනාගනු ලැබුවා. කලාපීයව මෙවැනි අන්තර්ජාතික සම්මාන උළෙලක් අඛණ්ඩව පැවැත්වීම සිනමාවේ නියැළෙන්නන්ට මෙන්ම සිනමාව හදාරන්නන්ට, සිනමාලෝලීන්ට විශාල අවස්ථාවක් හිමිකර දෙනවා.
ඉදිරියටත් ඔබ අන්තර්ජාතික සිනමා උළෙලක ජූරිසභිකාවක් ලෙස දකින්න ලැබේ ද?
මගේ උනන්දුව තිබෙන්නේ කලාපීය වශයෙන් සහ කලාපයෙන් පිට ලෝක සිනමාව පිළිබඳව මාගේ අධ්‍යයනයන් ඉදිරියට කරගෙන යාමයි. එහිදී සිනමා උළෙලවල් වල ජූරි සභිකාවක ලෙස සහභාගිවීමට අවස්ථාව ලැබීම අමතර අවස්ථාවක් ලෙස තමයි මම සලකන්නේ.
ලෝක සිනමා කර්මාන්තය තුළ කාන්තා නියෝජනය ගැන ඔබේ ඇගයීම කුමක්ද ?
ලෝක සිනමාවේ කාන්තා නියෝජනය සැලකියයුතු ආකාරයෙන් ඉහළ යාමක් දකින්නට ලැබෙනවා. විශේෂයෙන් එම තත්වය මෙම කලාපයේ වර්ධනය වෙනවා දකින්නට ලැබෙනවා. සිනමාව තුළ විතරක් නෙමෙයි ලෝකයේ අනෙකුත් ක්ෂේත්‍ර තුළත් මෙම තත්ත්වය වර්ධනය වෙමින් තිබෙනවා. එය ලෝක මට්ටමින් පසුගිය දශක කිහිපය පුරා ක්‍රියාත්මක වූ කාන්තාව සවිබල ගැන්වීම යන සමාජ-දේශපාලන-ආර්ථික එළඹුමේ ප්‍රතිඵලයක්. කාන්තා නියෝජනය සිනමා ක්ෂෙත්රය තුළ වැඩිවීම පිළිබදව හුදෙක් ධනාත්මකව දකිනවාට අමතරව, මගේ අවධානය තිබෙන්නේ එම ස්ත්‍රී නියෝජනය හරහා කොතරම් දුරකට ස්ත්‍රී සංජානනය (Female perspective), ස්ත්‍රී ආත්මීයත්වය සිනමාව හරහා විදාරණය කිරීමට, විනිවිද දැකීමට සමත්වනවාද යන්න පිළිබදවයි. මෙවර කාන් සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස ‘පාම් දෝ’ (Palme d’Or) සම්මානය දිනා ගත්තේ ‘ඇනටොමි ඔෆ් ෆෝල්’ සිනමා කෘතිය වෙනුවෙන් ජස්ටීන් ට්රීඑට් නම් ප්‍රංශ ජාතික සිනමා අධ්‍යක්ෂකවරියයි. මෙම සම්මානය දිනාගත් තෙවැනි අධ්‍යක්ෂකවරිය වන්නේ ඇයයි. එය විශිෂ්ට සිනමා කෘතියක් වන්නේම එහි එන කතා ආඛ්‍යානය අව්‍යාජව, ජීවිතයට සමාන්තරව අල්ලාගැනීමට ඇය දැක්වූ සුහුරු බවයි. ඇගේ ස්ත්‍රී සංජානනය හරහා ඇය ඇගේ කතා ආඛ්‍යානයට ගෙන එන ස්ත්‍රී ආත්මීයත්වයේ සියුම් විදාරණයන් ප්‍රේක්ෂකයා තුළ ඇතිකරන්නේ ඉතා විශ්වසනීයබවක්. සිනමාවේ කාන්තා නියෝජනය වැඩිවීම ධනාත්මකව දැකිය හැකිවන්නේ මෙම ස්ත්‍රී සංජානනය සිනමාව තුළට ඇයට රැගෙන ආ හැකිනම් පමණයි.
ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාතික සිනමා උළෙලක් වාර්ෂිකව පවත්වාගෙන යා හැකියි කියලා ඔබ හිතනවාද?
ප්‍රමිතියක් ඇති අන්තර්ජාතික සිනමා උළෙලක් පැවැත්වීමට විශාල ශ්‍රමයක්, සිනමා කර්මාන්තය හා සම්බන්ධ සම්බන්ධතා ජාලයක්, මුදලක්, වගේම කැපවීමක් අවශ්‍යයි. ලංකාවේ මානව ප්රාග්ධනය, සිනමා කර්මාන්තය හා සම්බන්ධතා ඇති අයගේ අඩුවක් නැහැ. අපේ තියෙන ප්‍රධානම ගැටලුව තිබෙන්නේ ආකල්පවල සහ කැපවීමක් නොමැති කමෙයි. ලංකාවේ සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය විසින් කොළඹ කේන්ද්‍රීයව ඉතාම සාර්ථක අන්තර්ජාතික සිනමා උළෙලක් වසර දෙකක් පැවැත්වුවා. නමුත් එය දිගටම කරගෙන යාමට හැකිවුණේ නැහැ. අනෝමා රාජකරුණා විසින් පවත්වාගෙන යන යාපන සිනමා උළෙල විතරයි කිසියම් කාලයක් පුරා ලංකාව තුළ අඛණ්ඩව කරගෙන යන්නේ. සංචාරක ව්‍යාපාරය ආර්ථිකයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන රටක, කුඩා කල්ලි, කණ්ඩායම්වලට සීමා නොවී, ජාතික මට්ටමේ අවශ්‍යතාවයක් හැටියට අන්තර්ජාතික සිනමා උළෙල පැවැත්වීම සැලකිය යුතුයි.
ගවේෂණාත්මක සිනමා ලේඛිකාවක් හැටියට මිළඟ පියවර ගැන කියන්න කැමතිද?
මම මේ වනවිට කරමින් ඉන්න සිනමාව හා සම්බන්ධ පර්යේෂණ සහ ඊට අදාළ ලිවීම් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. සිනමාව හා සිනමා විචාරය සම්බන්ධයෙන් මාගේ දැනුම තවදුරටත් වර්ධනය කර ගැනීමත් ඒවා පාඨකයන් හා බෙදාගැනීමත් තමයි බලාපොරොත්තුව.
සටහන සහ සේයාරූ – නිශ්ශංක විජේරත්න