Home »  ‘අකුරට යන වෙලාවේ’ අමිතා මගේ සැබෑ ජීවිතයට බොහාම සමීපයි

 ‘අකුරට යන වෙලාවේ’ අමිතා මගේ සැබෑ ජීවිතයට බොහාම සමීපයි

ළමා රංගන ශිල්පිනී සංජනා දෙව්මිණි

by Thanushika
March 13, 2025 9:46 am 0 comment

මේ දිනවල විකාශය වන “අකුරට යන වෙලාවේ” ටෙලි සිත්තමේ කවුරුත් ආදරය කරන රුවන්ගේ නංගි හෙවත් අමිතා ඇයයි. “පොඩි වැඩ්ඩෝ” රූපවාහිනී වැඩසටහන ඔස්සේ කාගේත් කතාබහට ලක්වූ ඇය “ඔටුනු පලන් එඬේරු” නත්තල් ටෙලිනාට්‍යය ඔස්සේ රංගනයට අවතීර්ණ වූවාය. ඉන්පසු “අහස සේ නුඹ, සඳ තරු මල් , ලංසු තියෙන හීන, බලාපොරොත්තුවේ වියමන්, ඉරි තැළුණු දෙපා, අකුරට යන වෙලාවේ” ඇතුළු ටෙලිනාට්‍ය රැසක ළමා රංගන ශිල්පිනියක ලෙස ප්‍රේක්ෂක සිත්සතන් දිනාගත් සංජනා දෙව්මිණී නර්තනය, ගායනය, නිවේදනය යන අංශ සඳහාත් දස්කම් දක්වන්නීය. සිය රංගන දිවිය පිළිබඳ කතා කිරීමට ඇය සරසවිය හා මෙසේ එක්වූවාය.

“අකුරට යන වෙලාවේ ” ටෙලිනාට්‍යයේ රුවන්ගේ නංගි මේ දවස්වල හරිම ජනප්‍රියයි නේද….?

ඔව්, ඒ අවස්ථාව මට ලැබෙන්නේ මධුරංග මාමා නිසා. වගීෂ මාමාගේ “අහස සේ නුඹ” ටෙලිනාට්‍යයේ සහාය අධ්‍යක්ෂ වණේ මධුරංග මාමා. එහිදී ඔහු මාව හඳුනාගන්නවා. මධුරංග මාමා මට කෝල් කරලා මෙහි ඔඩිෂන්වලට හිරු ස්ටුඩියෝ එකට එන්න කිව්වා. සුදත් දේවප්‍රිය සර්, ප්‍රසන්න ඉත්තෑපාන සර්, කසුන් තරින්ද මාමා එහෙම එහි සිටියා. එහිදී සිදුකළ තිර පරීක්ෂණයෙන් මම සමත් වීම නිසා රුවන්ගේ නංගි අමිතා ලෙස ප්‍රේක්ෂකයා හමුවට එන්න අවස්ථාව උදාවුණා

රුවන්ගේ නංගි හෙවත් අමිතාව ඔබට දැනුණේ කොහොමද ……?

මටත් අයියා කෙනෙක්, අක්කා කෙනෙක් ඉන්නවා. සැබෑ ජිවිතයේත් මම රුවන්ගේ නංගි වගේ තරමක් දඟ චරිතයක් . රුවන් අයියා වගේම මගේ අයියාත් සැබැවින්ම අහිංසකයි. මගේ සැබෑ ජීවිතයට සමානකම් තිබෙන නිසා මට අමිතා චරිතය රඟපාන්න අපහසු වුණේ නැහැ

මේ දවස්වල රංගනයේ යෙදෙන නව නිර්මාණ මොනවද….?

මේ දවස්වල නම් ‘”අකුරට යන වෙලාවේ” ටෙලියේ විතරයි රඟපාන්නේ . දැන් මම 04 වැනි ශ්‍රේණියේ ඉගෙනගන්න නිසා අධ්‍යාපනයට වැඩි ඉඩක් ලබාදී තිබෙනවා

කලාවට අවතීර්ණ වූ ආකාරය සිහිපත් කළොත් …….?

“පොඩි වැඩ්ඩෝ” වැඩසටහන නිසයි කලාවට අඩිතාලම වැටෙන්නේ. ඒ 2022දී. ඒ වැඩසටහනට මගේ අම්මා තමයි අයදුම් කරන්නේ. එම වැඩසටහන නිසා කාලයක් මා ගැන කවුරුත් කතාවුණා. තාත්තාගේ යාළුවෙක් හිටියා නිහාල් චන්දන කියලා මාමා කියලා. එයා තමයි වගීෂ මාමාට මාව හඳුන්වාදෙන්නේ. වගීෂ මාමා මට “ඔටුනු පලන් එඬේරු” නත්තල් ටෙලිනාට්‍යයේ සුළු චරිතයක් ලබාදෙනවා . එය තමයි මගේ ටෙලිනාට්‍ය රංගනයේ මුල්ම අත්දැකීම වුණේ.

මුලින්ම කැමරාවකට මුහුණදුන් ඒ අත්දැකීම මොනවගේද ……..?

“ඔටුනු පලන් එඬේරු” නත්තල් ටෙලිනාට්‍යය තමයි මුලින්ම රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍යය. එහි දෙබස් නම් තිබුණේ නැහැ. 2023 ජනවාරි මාසයේ “අහස සේ නුඹ” ටෙලිනාට්‍යයේ “ගිම්හානි” චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණා.

පාසලේ කලාකටයුතුවලට සම්බන්ධ වෙනවද……?

මගේ පාසල දියගම කනිෂ්ඨ විද්‍යාලය. පාසලේ සෑම කලා කටයුත්තකටම වගේ මට දායකවෙන්න වාසනාව ලැබුණා

ප්‍රධාන චරිතයකින් ප්‍රේක්ෂකයා හමුවට ආවේ…?

“අහස සේ නුඹ” ටෙලිනාට්‍යයේ “ගිම්හානි” චරිතයෙන්.

රංගනය පිළිබඳ හැදෑරීමක් කර තියෙනවද….?

රෙජිනෝල්ඩ් දසනායක කියලා සර් කෙනෙක් යටතේ රංගනය ගැන යම් හැදෑරීමක් කළා.. ඉදිරියේදී ඒ පිළිබඳ හදාරන්න බලාපොරොත්තු වෙනවා.

රංගන ජීවිතයේ අමතක නොවන සිදුවීම් එහෙමත් වෙලා ඇති….?

“අකුරට යන වෙලාවේ” ටෙලිනාට්‍යයේ රූගතකිරීම් ආරම්භ කළ මුල්ම දවස්වල මට තිබුණා අයියගේ මඩ ගෑවුණු සපත්තු දෙකක් දාගන්න. මට ඒක කරන්න බැහැ කියලා මම හොඳටම ඇඬුවා මතකයි. ඒවගේම කැලේට දාපු ගිටාරයක් මට ඒ කැලෑවෙන් අරගන්න අවස්ථාවක් තිබ්බා. එතැනදීත් මම ඇඬුවා රඟපාන්න බැහැ කියලා. එදා කොහොමහරි තාත්තාගෙන් ගුටියකුත් කෑවා මතකයි. එහිදී මම නිසා පිටපතත් වෙනස් කරගන්න වුණා. එහිදී මාව ඉවත් කරන්න තීරණය කර තිබුණා. එහෙත් අවසානයේ නැවත මාව ඒ චරිතයට ගත්තා.

විවිධාකාර චරිත රැසකින්ම ඔබ පුංචිතිරයේ දී ප්‍රේක්ෂක ආදරය ලබන්න සමත්වුණා ….?

ඇත්තෙන්ම. “ඔටුනු පලන් එඬේරු” නත්තල් ටෙලිනාට්‍යයෙන් පුංචිතිරයට පැමිණි මම, “අහස සේ නුඹ” ටෙලියේ ප්‍රධාන චරිතයක් වන “ගිම්හානි” චරිතයෙනුත්, “සඳ තරු මල්” ටෙලිනාට්‍යයේ “පාලි” චරිතයෙනුත් , “ලංසු තියෙන හීන” ටෙලිනාට්‍යයේ “පහන්දි සිතාරා” චරිතයෙනුත් , “මතක තියෙන රිදුමක්” හි “හංසි” චරිතයෙනුත් , “බලාපොරොත්තුවේ වියමන්” ටෙලිනාට්‍යයේ “චූටි” නමැති චරිතයෙනුත් ප්‍රේක්ෂක ආදරය දිනාගන්න හැකිවුණා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් රංගනයෙන් එකතුවුණා

පසුගිය වසරේ පරිසර දිනයට හඬකැවීමකටත් එක්වුණා නේද……?

ඔව්, 2024 පරිසර දිනය නිමිත්තෙන් පරිසරය විෂය සම්බන්ධයෙන් රජයේ හඬකැවීම් වැඩසටහනකටත් දායක වුණා. ඒතුළින් මම අත්දැකීම් රැසක්ම ලැබුවා.

චිත්‍රපට රංගනය ගැන කතා කළොත් ….?

සුමිත් ගල්හේන මාමාගේ “සඳලි” චිත්‍රපටයටත්, සුනිල් ප්‍රේමරත්න මාමාගේ “අමුතු ගුරුකම” චිත්‍රපටයටත් සම්බන්ධ වුණා. පහන්දි අක්කා එක්ක තව චිත්‍රපටයක් කළා…එහි නම මතක නැහැ. මම රඟපෑ චිත්‍රපට එකක්වත් තවම තිරගත වුණේ නැහැ

ටෙලිනාට්‍ය පිටපතක් ලැබුණම කොහොමද සූදානම් වෙන්නේ…..?

ටෙලිනාට්‍ය පිටපතක් ලැබුණම මම අධ්‍යක්ෂගෙන් අහනවා මේක කියවන්න ඕන මොන විදිහටද කියලා. ඒවගේම මට ඉක්මනින්ම අදාළ චරිතයට අනුගතවෙන්න පුළුවන්

අධ්‍යක්ෂ සහ සෙසු පිරිසගෙන් ලැබෙන සහාය මොනවගේද …..?

හැමෝගෙම ආදරය මට ලැබෙනවා. හැමෝම මට රංගනයේදී උදව් කරනවා..මාත් එක්ක වැඩකරන්න ලේසියි කියලා ඩිරෙක්ටර් අන්කල්ලා මට කියලා තියෙනවා.

මෙතෙක් රඟපෑ චරිත අතරින් සුවිශේෂ කැමැත්තක් තිබෙන චරිතයක් තිබේද….?

මම ආසම චරිතය “අකුරට යන වෙලාවේ” රුවන්ගේ නංගිගේ චරිතය හෙවත් “අමිතා” චරිතය. අපට එහිදී හොඳ ප්‍රවීණ පිරිසක් එක්ක රඟපාන්න අවස්ථාව ලැබී තිබෙනවා.

කලා ක්ෂේත්‍රයේ ජයග්‍රහණ , සම්මාන එහෙම ලබා තියෙනවද……?

රණා ක්‍රියේෂන් ර්‍ථපධඤභජබඪධද එකෙන් මම අවුරුදු 03දී වගේ කළ චිත්‍රපටයකට සම්මානයක් ලැබුණා, ඒ එහි ඛ්පධඹ එකෙන්. සියත ළමා අවුරුදු කුමරි තරගයේ 12දෙනා අතරින් අවසාන 05දෙනා අතරට තේරීමත් සුවිශේෂියි

කලා දිවියට පාසලෙන් , යහළුවන්ගෙන් ලැබෙන සහාය මොනවගේද …..?

ඔවුන්ගෙන් මට ලොකු සහායක් ලැබෙනවා. පාසල් යන්න බැරිවෙන දවස්වල පන්ති භාර අනෝජා ගුරුතුමිය එදිනෙදා පාසල් වැඩ එඩචබඵචනන මර්ගයෙන් එවනවා. එසඳී, ටස්මා, ඉනුෂි, සෙමින්දි යන යහළුවෝ හතරදෙනාගෙන් කවුරුන් හෝ පාසල් වැඩටික මට එවනවා. ඒවගේම පන්තියේ අනිකුත් යහළුවන්ගෙනුත් මට විශාල සහායක් ලැබෙනවා

රඟපෑමට කැමැත්තක් දක්වන විශේෂ චරිතයක් තිබෙනවාද …..?

මට හැමදාම ලැබුණේ ආර්ථික අපහසුකම් සහිත පවුලක දරුවාගේ චරිතය. මම ආසයි තරමක පොහොසත් පවුලක දරුවකුගේ චරිතයක් කරන්න…

ගායනය, නර්තනය, නිවේදනය ආදියටත් දස්කම් දක්වලා ඇති…..?

රංගනයට අමතරව ගායනය, නර්තනය, නිවේදනය ආදී අංශවලටත් මගේ දක්ෂතාව තිබෙන බව මගේ ගුරුවරුන් පවා කියා තිබෙනවා.

ඉදිරි නිර්මාණ යම් ඉඟියක් දුන්නොත් …..?

දැනට චිත්‍රපටයකට කතා කරලා තියෙනවා. එහි රූගතකිරීම් මැයි මාසයේ ආරම්භ වෙන්න නියමිතයි.

කලාදිවියට පවුලෙන් ලැබෙන සහාය ගැනත් මතක් කළොත් ….?

කලා දිවියේදී මට සෙවණැල්ලක් වගේ ඉන්නේ මගේ අම්මයි, තාත්තයි දෙන්නා. දර්ශනතලවලට ඒ දෙන්නා හෝ එක්කෙනෙක් අනිවාර්යයෙන් සහභාගී වෙනවා. මම මගේ අම්මටයි තාත්තාටයි හදවතින්ම ස්තුති කරනවා.

[email protected]

 

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT