දක්ෂතා ඇති ගායක ගායිකාවන් ක්ෂේත්රයට හඳුන්වා දීමේ රියැලිටි වැඩසටහන් රාශියක් අපේ රටේ දක්නට ලැබේ. ඉන් මෙරට ගායන ලෝකයට හඳුන්වා දුන් බොහෝ පිරිස් වර්තමානය වන විට සංගීත ක්ෂේත්රයේ ඉහළම තලවල වැජඹෙන අයුරු ද දක්නට ලැබේ. පසුගිය දිනවල අපට තවත් මෙවැනි අපූරු රියැලිටි වැඩසටහනක් දක්නට ලැබුණි. මෙය මෙරට සුපුරුදු රියලිටි වැඩසටහන්වලින් හාත්පසින් ම වෙනස් වූවක් වූයේ මෙම වැඩසටහන පැවැත්වූයේ ටික් ටොක් (Tik-tok) හරහා වීමෙනි. මෙම වැඩසටහන හඳුන්වාදීමේ පුරෝගාමීන් වශයෙන් කටයුතු කරනු ලැබූවේ අයන්ත ප්‍රනාන්දු සහ ළහිරු ලක් ශ්‍රී ඇතුළු පිරිසකි. දෙදෙනාම මෙරට පදිංචිකරුවන් නොවන අතර අයන්ත ඉතාලියේ පදිංචි වී සිටින අතර ළහිරු කුවේට් රාජ්‍යයයේ පදිංචිව සිටියි. Tik-tok හරහා සිදු කරනු ලැබූ මෙම රියැලිටි වැඩසටහන පිළිබඳ වන කතාබහකට පසුගියදා අප අයන්ත සහ ලක් ශ්‍රී හමුවූයේ ප්‍රකට ගායන ශිල්පිනී අනුරාධා නන්දසිරිගේ නිවසේදීයි. ඊට හේතු වූ ප්‍රධානම කාරණය වූයේ මෙම ටික් ටොක් රියලිටි වැඩසටහනේ එක් විනිශ්චයකාරවරියක වශයෙන් ඇය ද කටයුතු කිරීමයි. මෙම වැඩසටහන ආරම්භ වීමේ හේතු කාරණා පිළිබඳ කතා බහේදී අයන්ත සහ ලක් ශ්‍රී දැක්වූ අදහස් මෙසේයි.
“ඇත්තටම මේ වැඩසටහන මුලින්ම අපි ආරම්භ කළේ 2023 වර්ෂයේ දී. ඒක ආරම්භ වෙන්න හේතු හැදුනෙත් හරිම අහම්බයක් විදිහට. මම ලංකාවේ ඉන්න කාලේ සංගීතයට හරි කැමති කෙනෙක්. නිතර සංගීත කටයුතු වලත් යෙදුණා. මගේ තාත්තත් සංගීතය ඉගෙන ගත්තු, සංගීත පන්ති පවා පවත්වපු කෙනෙක්. ඉස්සර ඉඳලා තාත්තගෙ හිතේත් තිබුණා; අලුතින් එන පිරිසකට උදව් කිරීමේ උවමනාවක්. නමුත් ඒක කරන්නේ ඒ කාලේ අපිට ආර්ථික හයියක් තිබුණේ නෑ. ඔහොම ඉන්න අතරතුරේදී අපේ තාත්තා නැති වුණා. මම ඊට පස්සේ සංගීතය පැත්ත අතහැරලා දාලා 2000 වසරේදී වගේ විදේශගත වුණා.
රියලිටි වැඩසටහන් කරන්න ඔබ පෙලඹෙන්නේ කොහොමද?
ඒකත් අහම්බයකින් වුණ දෙයක්. මම ගියේ ඉතාලියට කෝකියෙක් විදියට වැඩ කරන්න. මගේ රැකියාව කරන අතරතුරම සින්දු එහෙම ඇහෙනකොට මට ආයෙත් සංගීතය පිළිබඳව වන මගේ ආසාව නැවත ඇතිවෙන්න ගත්තා. නැත්නම් මම ලංකාවෙන් ගියේ සංගීත පැත්ත අතහැරලාමයි. කොහොම හරි ඔය කාලේ තමයි ටික්ටොක් Tik-tok කියන App එක ආවෙ. ඉතින් මමත් මේ ඇප් එක පාවිච්චි කරනකොට මම දකිනවා පිටරටවල රැකියාවල යෙදෙන බොහෝ දෙනෙක් මේ හරහා ගීත ගායනා කරනවා. live ගීත කියනවා. මම ඒ අයට නොයෙක්වර කතා කළා. ඔවුන්ට කමෙන්ට් කළා. ඒ කතා කරන අතරතුර මට දැනගන්නට ලැබෙනවා; ඔවුන් විවිධ ප්‍රශ්න නිසා රැකියා කරන්න විදේශගත වුණු අය කියල. සමහරු ආර්ථික ප්‍රශ්න. සමහරුන්ට පෞද්ගලික කාරණා. නමුත් මේ අයට ගීත ගැයීමේ හැකියාව ආශාව හොඳටම තියෙන අය. සමහරුන් සංගීතය ඉගෙන ගන්න අයත් හිටියා. මේ කතා බහේදී මට තේරුණා; ඔවුන්ට ආසාව තිබුණත් මුදල් ප්‍රශ්න නිසා ඉදිරියට යන්න විදිහක් නෑ. මේ හැම දෙනෙක්ම වෙනත් වෙනත් රැකියාවල තමයි යෙදිලා හිටියේ. සමහරු ගෘහ සේවකයෝ. සමහරු රියදුරු රැකියා කරන අය. සමහරු රෙස්ටොරන්ට්වල වැඩ කරන අය. මේ විදිහේ නොයෙක් රැකියාවල ඔවුන් යෙදුණා. නමුත් ඔවුන් විවේකයක් ලද මොහොතේ මේ වගේ ගීත ගායනා කරලා Tik-tok හරහා ඒවා ජනගත කළා. ඒ සඳහා එකතු වුණු වෙනම Tik-Tok group එකකුත් අපි හදාගත්තා.
මේ තොරතුරු දැන ගත්තම මට ආසාවක් ආවා මේ ඉදිරියට එන්න ආසා අයට උදව් කරන්න. මොකද අපේ තාත්තටත් එහෙම බලාපොරොත්තුවක් තිබුණ නිසා. මට ඕන වුණා එහෙම දක්ෂයෙකුට ගීතයක් මගේ වියදමෙන් කරලා දෙන්න. නමුත් ඒ දක්ෂයා තෝරාගැනීමට විදිහක් තිබුණේ නෑ. ඒක නිසා තමයි අපි සාකච්ඡා කරලා මේ විදිහේ වැඩක් කරන්න උත්සාහ කළේ.
ඒ අනුව අපි මුලින්ම ටික් ටොක් හරහා ලයිව් තරඟයක් තියලා ඒකෙන් තේරෙන කෙනාට ලංකාවේ ප්‍රසිද්ධ සංගීතඥයෙක් ලවා සිංදුවක් මගේ වියදමින් කරලා දෙන්න ප්ලෑන් කළා. මේක මට තනියම කරන්න අමාරු නිසා තමයි ළහිරුලාත් මේකට සම්බන්ධ කරගන්නේ. පළවෙනි වතාවට අපි ටික්ටොක් හරහාම අයදුම් පත්‍ර යොමු කරන්න කියලා පෝස්ට් හදල දැම්මා. 200ට ආසන්න අයදුම් පත්‍ර ප්‍රමාණයක් එවර අපට ලැබුණා. අපි මේකට නම දාගත්තේ tik Tok best live singer කියලයි. පළවෙනි වටයේ මේ සින්දු judge කළේ මම විසින්මයි. ඊට පස්සේ දෙවෙනි වටය සඳහා ප්‍රවීණ සංගීතඥ රෝහණ බෝගොඩයන් සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ ඊළඟ වටයේදී අපි අමිලා නදීෂානි ගායන ශිල්පිනියත් අපේ විනිශ්චය මණ්ඩලය සඳහා සහභාගි කරගත්තා. අපට ලැබුණු අයදුම්පත් දෙසීය අතරෙන් සිය දෙනෙක් අපි තෝරගත්තා. කොහොම හරි මේක ටික් ටොක් හරහා ජනප්‍රිය වෙලා යන නිසා අපි හිතුවා මේ තරඟයේ අවසාන තරගය ලංකාවේ පවත්වන්න. ඒ අනුව අපි 2024 ජනවාරි 5 වැනිදා ලංකාවේ අපේ ගම පරිශ්‍රයේ අවසන් තරගය පැවැත්වූවා.
එවර අපිත් එක්ක කොරියාව, සවුදි අරාබියාව, කුවේට්, ඉන්දියාව, සිංගප්පූරුව, ඉතාලිය ඇතුළු ලෝකයේ බොහෝ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින් මේ සඳහා සම්බන්ධ වුණා. දහ දෙනෙක් විතර මේ තරඟයට ලංකාවට ආවා. මම රෝහණ වීරසිංහයින්ට මේ තරඟය ගැන සහ තිළිණයක් විදිහට ගීතයක් නිර්මාණය කිරීම පිළිබඳ දැනුම් දුන්නම ඔහු ඉතාමත්ම කැමැත්තෙන් ඒක පිළි අරගෙන අපේ අවසන් විනිශ්චයටත් ඔහු සම්බන්ධ වුණා. ඒ තරඟය ඒ විදිහට අවසන් වුණාම අපි ඒ සඳහා සම්බන්ධ වුණ තරගකරුවන්ට විවිධ අවස්ථා නිර්මාණය කරලා දුන්නා. සමහරුන්ට ටීවී ප්‍රෝග්‍රෑම් වලට අවස්ථාව හදලා දුන්නා. සමහරුන්ව සරල ගී වැඩසටහන සඳහා යොමු කළා. එහෙම කරලා අපි හැම දෙනාම ආපසු ලංකාවෙන් ගියා.
මේ පාර දෙවැනි තරඟය පැවැත්වුණේ කොහොමද?
දෙවැනි වරටත් මේ තරඟය කරනවා කියලා බලාපොරොත්තුවක් මට තිබුණේ නෑ. මොකද සම්පූර්ණ වියදම මම විසින්මනේ දැරුවේ. කොහොම හරි මේ පාරත් මේ වැඩේ කරන්න ඕන කියන උනන්දුව ඇති වුණා. සුපුරුදු විදියටම අපි අයදුම්පත් කැඳෙව්වා. මේ පාර අපට 80 දෙනෙක් විතර අයදුම්පත් එවලා තිබුණා. මේ පාර පළමු වටේදී අපි කවුරුවත් ඉවත් කළේ නෑ. ඔවුන්ට ලකුණු දුන්නා විතරයි. අනුරාධා නන්දසිරි රෝහණ බෝගොඩ අමිලා නදීෂානි තුන් දෙනාම මේ පාර අපේ විනිශ්චය මණ්ඩලයට සහභාගි වුණා. මේ පාරත් 30 දෙනෙක් විතර ලංකාවට ආවා මේකට සම්බන්ධ වෙන්න.
මේ පාර අපි වෙනදට වඩා විධිමත් ආකාරයට මේක කළා. අවසාන වටේට එන්න කලින් මේ හැම දෙනාටම ගුරුවරයෙක් යොදවලා සූම් තාක්ෂණය ඔස්සේ ට්‍රේනින් එකකුත් කළා. ඊට අමතරව අපි හැම සතියෙන්ම දවසක් යොදාගෙන සූම් තාක්ෂණයෙන් ඒ ළමයින්ට ගායනයට අමතරව වෙනත් දේත් කියලා දුන්නා. තැනකට ගියහම හැසිරෙන විදිහ, ආදිය පවා අපි ඔවුනට කියලා දුන්නා.
කවුද මෙවර ජයග්‍රාහකයන්?
මේ පාර ලංකාවේ අය තමයි ජයග්‍රහණය කළේ. පළමු වැනියා වුනේ රිද්මි කුරේරා. දෙවැනියා අම්පාරේ නිශාන් කුලරත්න. තුන්වෙනියා චමින්ද ගුණසේකර තිස්ස මහා රාමයේ. මේ පාරත් ඉන්දියාව, සවුදි අරාබිය, ඉතාලිය, සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක රැකියා කරන අය සම්බන්ධ වුණා. අවසන් වටේ ගීත ගායනා කරන්න අපි ස්ටුඩියෝ එකක් ලෑස්ති කරලා live Sing කරන්න මේ අයට අවස්ථාව උදා කරලා දුන්නා.
මේ සඳහා සියලු වියදම් දරන්නේ ඔබ නේද?
මගේ පෞද්ගලික ධනය. මම චෙෆ් කෙනෙක් විදිහට හරි හම්බ කරගත් මුදල්. පසුගිය වසරේ මට ලක්ෂ 30 – 40කට ආසන්න මුදලක් ගියා. මේ පාර මට ලක්ෂ 80- 90ක් විතර යන්න ඇති. තවම හරියට ගණන් බලලා නෑ. ඉදිරියට දිගටම කරන්න දැනට බලාපොරොත්තුවක් නෑ. නමුත් අපි සාකච්ඡා කරගෙන යනවා කළ හැකි යමක් තිබේද කියල.
මෙම රියලිටි වැඩසටහන සඳහා අයන්තට ශක්තියක් වන අනෙක් සහෘදයා වනුයේ ළහිරු ලක් ශ්‍රී ය. ඔහුගේ පදිංචිය කුවේට් රාජ්‍යයේය. දැනට වසර දහයකට ආසන්න කාලයක් චෙෆ් කෙනෙකු විදිහට රැකියාව කරන ඔහු වැලිවේරියේ උපන් අයෙකි.
“ඇත්තටම අයන්තව මම හඳුනා ගන්නෙත් online හරහාමයි. ඔහු මේ වැඩසටහන සංවිධානය කරන විට මගෙන් ඇහුවා අපි එකතුවෙලා වැඩ කරමුද කියලා. මමත් ඉතින් කැමති වුණා. මම සංගීතය පිළිබඳ දන්න කෙනෙකුවත් සංගීතය කරපු කෙනෙකුවත් නොවෙයි. නමුත් මේ ටික් ටොක් හරහා ගීත අහල මම හරියට කමෙන්ට්ස් කළා. ඒවා දැකලා තමයි අයන්ත අයියා මට හොඳ කනක් තියෙනවා කියලා මට කතා කළේ. ඉතින් මට හරි සතුටුයි මේ වගේ සමාජ සත්කාරයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණාට. ඇත්තටම අපි හැමදෙනාම රැකියාව අතරතුර ලැබෙන පුංචි ඉඩකඩ තමයි විනෝදයක් විදිහට මේ දේවල් කරන්න පාවිච්චි කරන්නේ. අපේ ආදරණීයන්ගෙන් ඈත් වෙලා දුරු රටක තනිවෙලා ඉන්නකොට ඇත්තටම දැනෙන හුදෙකලා බව මේකෙන් මැකිලා යනවා. මම මෙහි සම්බන්ධීකරණ කටයුතුවලට තමයි දායක වුණේ.. මේ වෙනුවෙන් වෙහෙසෙන තවත් කණ්ඩායමක් අපිට ඉන්නවා. ඒ හැම දෙනාමත් මේ මොහොතේ මතක් කරන්න ඕන.
මේ තරඟයේ තරග විනිශ්චයකාරවරියක් ලෙසින් කටයුතු කළ විශාරද අනුරාධා නන්දසිරි ද මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ
ඇත්තටම තනි පුද්ගලයෙක් වශයෙන් අයන්ත මේ කරන සමාජ සත්කාරය බෙහෙවින්ම අගය කරන්න ඕන. ඔහු මේ තරගයේ තරගකරුවන් තෝරා දෙන්න අපිට උපරිම නිදහසක් දුන්නා. හරිම පුද්ගලයා තෝරා දෙන්නේ කියලා තමයි ඔහු අපට කිව්වේ. මේ තරඟයට ඉදිරිපත් වුණු බොහෝ දෙනා ටික් ටොක් හරහා ආවේ විවිධ රටවල ඉඳගෙන. ඇත්තටම ඒ අතර ගායනා දක්ෂතා තිබුණ බොහෝ පිරිසක් හිටියා. අයන්තගේ පෞද්ගලික මුදලින් තමයි මේ රියලිටි වැඩසටහන කළේ. ඉතින් ඇත්තටම මේ වගේ සත් ක්‍රියාවන් අපේ ඇගැයීමට ලක් වෙන්න ඕන.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
හේමාලි විජේරත්න