වර්ෂ 2023 ක්වූ September 26 වැනිදා Tuesday
සම්පත් කට් එදා කොල්ලො අතර ජනප්‍රිය වුණා

නාලන් මෙන්ඩිස් අධ්‍යක්ෂණය කළ ‘දූ දරුවෝ’ ටෙලිනාට්‍යයේ ‘සම්පත්’ ලෙස අතිශය ප්‍රේක්ෂක ජනාදරයට පත් උදේනි අල්විස් රංගන ශිල්පියකු, වේදිකා නාට්‍ය අධ්යක්ෂවරයකු, සහය අධ්යක්ෂවරයකු මෙන්ම බොහෝදෙනෙකු නොදත් උදේනි අල්විස් නම් ඡායාරූප ශිල්පියා පිළිබඳවත් එතෙක් මෙතෙක් ඔබ නොදත් කරුණු රැසක් සාකච්ඡා කිරීමේ අරමුණින් ඔහු මෙසේ සරසවිය හා සංවාදයට එක්විය.
කලාව තුළ ඔබේ ආරම්භය සිහිකළොත්...️
මම ලයනල් වෙන්ඩිට් එකේ නාට්‍ය පාඨමාලාවක් හැදෑරීමත් එක්ක තමයි කලාවට අවතීර්ණ වෙන්නේ. 1984.04.01 මෝඩයාගේ දිනයේ මෝඩ නොවන වැඩක් කළා කිව්වොත් හරි. (සිනහවෙමින්) ලබන අවුරුද්දට කලාවට ඇවිත් වසර 40ක් වෙනවා. වේදිකා නාට්‍යවල වැඩ තමයි ගොඩාක් කළේ. දයා අල්විස් මහතා තමා මාව නාට්‍ය කලාවට යොමුකළේ. ඒ එක්කම 1985දී ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘මකරාක්ෂයා’ට සම්බන්ධ වෙනවා. මුලින්ම ටෙලිනාට්‍යයකට කියලා සම්බන්ධ වෙන්නේ 1986දී. ඒක අර්ධ වාර්තා ගණයේ ටෙලියක්. දයා තෙන්නකෝන් තමයි ඒක අධ්‍යක්ෂණය කළේ. ‘මකරාක්ෂයා’ වගේම දයා තෙන්නකෝන්ගේ අර්ධ වාර්තා ටෙලියේත් මාව කලාවට හඳුන්වා දුන් දයා අල්විස් රඟපානවා. මා රඟපෑ පළමු ප්රසාංගික ටෙලිනාට්‍යය ‘මවකගේ ගීතය’. ඒ අතර ටෙලිනාට්‍යවල සුළු සුළු චරිත රැසක්ම කළා.
90 දශකයේ ‘දූදරුවෝ’ ටෙලිනාට්‍යයේ ‘සම්පත්’ ගේ චරිතය ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය වුණා...?
ඔව්, මේ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරන්න හිටියේ සුදත් දේවප්‍රිය. පසුව තමයි නාලන් මෙන්ඩිස්ට අධ්‍යක්ෂණය කරන්න ලැබුණේ. නාලන් මෙන්ඩිස්ගේ ‘පාට සරුංගල්’ ටෙලිනාට්‍යයේ අවසාන ෂෙඩුල් එකේ මම සහය අධ්යක්ෂ විදිහට ඔහුට සහය වුණා. ඒ හැඳුනුම්කම එක්ක මට දූදරුවෝ ටෙලියේ මුලින්ම සහය අධ්යක්ෂ විදිහට වැඩ කරන්න විතරයි කතා කළේ. සම්පත්ගේ චරිතයට ගොඩක් අයව තිර පරීක්ෂණවලට ලක් කළා. ඒත් ඒ චරිතයට අන්තිමට හරිගියේ මමමයි. දූදරුවෝ මම කොටස් 40යි සහය අධ්‍යක්ෂණය කළේ. සම්පත් ලෙස දිගටම ටෙලිනාට්‍යයේ රඟපෑවා. දූදරුවෝ ටෙලිනාට්‍යයේ සම්පත්ට අතිශය ප්‍රේක්ෂක ආදරය ලැබුණා. ඒකට හේතු ගොඩක් තිබුණා. අනික ඒ දවස්වල සතියට එක කොටසයි විකාශය වුණේ. එක කොටසක් අවසන් වෙලා අනිත් කොටස විකාශය වෙන තෙක් ප්‍රේක්ෂකයන් නොඉවසිල්ලෙන් ඉන්නේ. දූදරුවෝ සම්පත් 1,2 කොටස්වලින්ම ජනප්‍රිය වුණා. දූදරුවෝ පවුලේ කතාවක්. පවුලේ අයගේ මානුෂික සහ මානසික ගැටලු මෙහි කතා කළේ. සම්පත් රැඩිකල් චරිතයක්. ඒ කාලයේ ප්‍රේක්ෂකයන් මාරම විදිහට සම්පත්-දීප්ති ඇදහුවා. සම්පත් වගේ ඒ කාලයේ කොල්ලෝ කොණ්ඩේ කැපුවා. සම්පත් කට් කියලා තමා කොණ්ඩේ කැපුවේ
කෙල්ලෝ දීප්ති කට් කැපුවා. දූදරුවෝ මම කොටස් 170යි රඟපෑවේ. අවුරුදු තුනහමාරක් හතරක් වගේ ඒකේ රඟපෑවා.
ඔබ ‘දූදරුවෝ’හි සහය අධ්‍යක්ෂණයටත් දායකවුණා නේද....?
ඔව්, මම සහය අධ්යක්ෂවරයෙක් විදිහට ටෙලිනාට්‍ය කිහිපයක වැඩ කළා. කලින් මම කිව්වා වගේ නාලන්ගේ ‘පාට සරුංගල්’ හි සහය අධ්යක්ෂණයට එක්වුණාට පස්සේ ඒ හැඳුනුම්කමත් එක්ක මට දූදරුවෝ සහය අධ්යක්ෂණයට කතා කළා. සුදත් දේවප්‍රිය අධ්‍යක්ෂණය කරන්න ඉද්දී එච්.ඒ. පෙරේරා මහතා මාවයි, අජිත් ලොකුගේවයි සුජිත් පෙරේරාවයි සහය අධ්යක්ෂණයට යෝජනා කළා. මේකත් අජිත් ලොකුගේ තමයි සහය අධ්‍යක්ෂණය කරන්න හිටියේ. සුදත් දේවප්‍රිය දූදරුවෝ කරන්න ඉද්දි අජිත් නැති දවසට මමයි සහය අධ්‍යක්ෂණය කරන්න හිටියේ. කොහොමහරි නාලන් අධ්‍යක්ෂණය කරන්න ගත්තට පස්සේ මාව සහය අධ්යක්ෂණයටයි මුලින්ම ගත්තේ. කොටස් 40ක් සහය අධ්‍යක්ෂණය කළා. පස්සේ අජිත් ලොකුගේට දුන්නා.
ඔබේ සහය අධ්‍යක්ෂණය භූමිකාව ගැන කතා කළොත් ..?
රූපවාහිනියේ ටපඥඥතචදජඥප සහය අධ්යක්ෂවරයෙක් ලෙසත් වැඩ කළා. දයාරත්න රටගෙදරගේ ටෙලිනාට්‍යවලත් සහය අධ්‍යක්ෂණය කළා. අජිත් ලොකුගේගේ ‘පරණ ටවුම’ හි සහය අධ්‍යක්ෂණය කළා. විමලරත්න අධිකාරිගේ ටෙලිවලත් සහය අධ්‍යක්ෂණය කළා. මුලින්ම සහය අධ්‍යක්ෂණය කළේ අශෝක සේරසිංහ මහතාගේ නීතිය පිළිබඳ ඒකාංගික ටෙලිනාට්‍ය මාලාවක්. ‘අනාවරණ’ ඒකේ නම.
නාලන් මෙන්ඩිස් සමඟ ඔබේ සුසංයෝගය කොහොමද....?
නාලන්ව මට මුණගැසුණේ පරාක්‍රම නිරිඇල්ලගේ ‘උත්තමාවී’ වේදිකා නාට්‍යය හරහා. එහි මමත් රඟපෑවා . නාලන් එහි ර්‍ථපධඤභජබඪධද පැත්තට ආවා. ඒ හැඳුනුම්කමත් එක්ක ‘පාට සරුංගල්’, ‘දූදරුවෝ’ සහය අධ්යක්ෂණයට කතා කළා.
ඔබ දැන් සහය අධ්‍යක්ෂණය පැත්තෙන් නිහඬද......?
සහය අධ්යක්ෂණයට හෝ රඟපෑමට කිසිම දෙයක් මම ඉල්ලගෙන ගිහින් නෑ. අජිත් ලොකුගේගේ ‘පරණ ටවුම’ වේදිකා නාට්‍යයට පස්සේ සහය අධ්යක්ෂණයට කතා කළේ නැහැ. චිත්‍රපට 02ක් සහය අධ්‍යක්ෂණය කළා. නිහාල් ප්‍රනාන්දුගේ ‘අමාන්තය’ සහ භද්‍රජි මහින්ද ජයතිලකගේ ‘වැහි දවස’ කියන චිත්‍රපට. ‘වැහි දවස’ ලංකාවේ තිරගත කළේ නැහැ. ඒ චිත්‍රපටය හදලා ඇමරිකාවේ ආධාර පිණිස තිරගත කරලා එම ආධාර මුදල් ලංකාවට එවන වැඩපිළිවෙළක් සකස් කර තිබුණා .
වේදිකාවේ ඔබේ රංගනය ගැන කතා කළොත් ....?
ලයනල් වෙන්ඩට් එකේ නාට්‍ය පාඨමාලාවෙන් පසු වේදිකාවට අවතීර්ණ වුණා. මේ පාඨමාලාවෙන් පසු කැමැති අයට නාට්‍ය කරන්න අවස්ථාව දීලා තිබුණා. එහිදී මමයි අජිත් ලොකුගේයි මනෝජා රත්නසේකරයි පියරත්න මාලිම්බඩයි නාට්‍ය කලාවට අවතීර්ණ වුණා.අද වෙද්දී මායි අජිත් ලොකුගේයි විතරයි නාට්‍ය කලාවේ නිරතව ඉන්නේ. එහිදී මම ‘සීමා’ කියලා මගේ අධ්‍යක්ෂණයෙන් යුතු කෙටි නාට්‍යයක් කළා. දේශසීමා ගැන කතාවෙන කතාවක්. ඊට අමතරව සුනන්ද්ර පුෂ්පකුමාරගේ ‘ස්පාටකස්’ නාට්‍යයේ රඟපෑවා. ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ඒකාධිපති’, ‘මකරාක්ෂයා’ වගේම හෙලේනා ලෙහ්තිමතිගේ ‘පුන්තිලා’ වගේ නිර්මාණවලට දායක වුණා. ‘පුන්තිලා’ වේදිකා නාට්‍ය කලාවේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. ඒ නාට්‍යය ගැන බොහෝ අය විචාරාත්මකව කතා කළා. එය රාජ්‍ය නාට්‍ය උලෙළට ඉදිරිපත් කළේ නැහැ. ඒ උලෙළට දැම්මා නම් ‘පුන්තිලා’ට සම්මාන රැසක්ම ලැබෙනවා.
පසුගිය සමයේ පුංචි තිරයෙන් දකින්න ලැබුණේ නැත්තේ ඇයි...?
කාලයක් මම මෙගාවලට විරුද්ධ වුණා. ඒත් පසුව තේරුණා දැන් හැදෙන්නේ මෙගාම තමයි කියලා. ආයේ කොටස් 10, 20 ටෙලිනාට්‍ය හැදෙන්නේ නැහැ. මෙගා කිහිපයකට සම්බන්ධ වුණා. එහි මට ලැබෙන චරිතය, එය මිනිස්සු අතරට යන විදිහ, අධ්‍යක්ෂගේ පළපුරුද්ද වගේ බලලා ඒවාට දායක වුණා. ‘රෝස, බ්‍රෝ, ආගන්තුකයා, සහෝදරයා, නන්නත්තාර’ වගේ ටෙලිනාට්‍යවලට දායක වුණා . ජයන්ත හැමදාම කියනවා “මගේ ඊළඟ වැඩේට උඹ ඉන්නවා” කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ‘නන්නත්තාර’වලට එකතු වුණේ.
සිනමාවට ඔබේ දායකත්වය...?
මුලින්ම කළේ ‘ගේ කුරුල්ලෝ’ නවකතාවෙන් කළ ‘ගේ කුරුල්ලෝ’ චිත්‍රපටය . අශෝක ධර්මරත්න අධ්‍යක්ෂණය කළේ. ඔහුගේම ‘සහෝදරියකගේ කතාව’ ට දායක වුණා. සුදත් දේවප්‍රියගේ ‘එළිවෙන දවස’ ත් බන්දුල පද්මකුමාරගේ ‘සරසවි දියණියෝ’ චිත්‍රපටයටත් රංගනයෙන් දායක වුණා. ඒ නිර්මාණ කිහිපයම තිරගත වුණේ නැහැ. ඒවා තිරගත වූවානම්.සිනමාවේ මා ගැන මීට වඩා කතා කරයි.
වත්මන් සිනමාවේ ගැටලු හා සිනමාශාලා සංස්කෘතිය සේදීයෑම ගැන ඔබේ අදහස...?
පළමු කරුණ නම් සිනමාව මේ රටේ දියුණු කරන්න බැහැ. චිත්‍රපට සංස්ථාව අහෝසි වෙලා අලුතින්ම ඒක පටන්ග්න්න ඕන. එතරම් මාෆියාවක් එතන තියෙනවා. අලුත් තාක්ෂණයත් එක්ක අපේ සිනමාව ගියේ නෑ. ඒක කරන්න සංස්ථාවට ඕනකමක් තිබ්බෙත් නෑ. අඩුතරමේ ණය සහනයක්වත් දීලා සිනමාශාලා ආරක්ෂා කරන්න තිබ්බා. මිනිස්සු අද හෝල්වලට එන්නේ නෑ. ටීවී එකේ චිත්‍රපටයක් බලන එකයි සිනමාශාලාවක බලන එකයි දෙවිදිහක දෙකක්. සිනමාශාලාවක පැය 02කින් ලබන තෘප්තිය ගන්න බැහැ වෙනත් දෙයකින්. සිනමාශාලා කඩාවැටෙන්න කඩාවැටෙන්න මිනිස්සු ටීවී එකට ගියා. හොඳ හෝල්වල චිත්‍රපට දුවනවා. ඒත් ඒවාට එන්නේ සීමිත පිරිසක්. චිත්‍රපට සංස්ථාව සිනමාශාලා සංස්කෘතිය කඩාවැටෙන්න ඇරියා. දැන් මිනිස්සු හිතනවා ටීවී එකේ චිත්‍රපටයක් බලමු කියලා. කාලයක් ච්ඍච් බැලුවා. රූපවාහිනිය හා සිනමාව කියන දේ දෙකක් කියලා මිනිස්සු අවබෝධ කරගෙන නැහැ. රූපවාහිනි චැනල්වලට මිනිස්සු හුරුකරවලා. අපේ රටේ මොනවා වුණත් මිනිස්සු දැනදැන ඊට අනුගත වෙනවා.
වේදිකාවේ ඔබට ගුරුවරුන් වූ පිරිස සිහිපත් කළොත්....?
ෂෙල්ටන් කැකුලාවල, ඩග්ලස් ෆොන්සේකා, අශෝක ධර්මරත්න වගේ පිරිසක් මම කරපු නාට්‍යකරණය පාඨමාලාවේ ගුරුවරුන් විදිහට සහභාගි වුණා. ඒවගේම ධර්මසිරි බණ්ඩාරනායක, එච්. ඒ. පෙරේරා වගේ අයත් ආචාර්ය සාලමන් ෆොන්සේකා වගේ අයත් ගුරුතත්හිලා සලකන්න පුළුවන්.සාලමන් ෆොන්සේකා මහතා යටතේ පාඨමාලාවකුත් හැදෑරුවා .
සිනමාවේ ගුරුතත්හිලා සලකන පිරිසක් ඉන්නවද....?
අවස්ථාව ලැබුණට රඟපෑවා. එහෙම ගුරුවරුන් කියලා විශේෂයක් නැහැ. ටෙලිනාට්‍යවලටත් මාව හඳුන්වා දුන්නේ දයා අල්විස්. සිනමාවට මාව හඳුන්වා දුන්නේ අශෝක ධර්මරත්න. ‘එළිවෙන දවස’ චිත්‍රපටයේ ගාමිණී සමරකෝන් එක්ක රඟපාන්න තිබ්බේ. තරුණ කොල්ලෝ කෙල්ලෝ එක්කත් රඟපාන්න අවස්ථාව ලැබුණා. ‘සරසවි දියණියෝ’ කරද්දී සනත් ගුණතිලක, සබීතා පෙරේරා, දමයන්ති ෆොන්සේකා වගේ ප්‍රවීණ පිරිස එක්ක රඟපෑවා. ගුරුවරුන් කියලා විශේෂයක් තිබ්බේ නැහැ.
කෙටි චිත්රපටකරණයටත් ඔබ යොමුවෙන්න හිතුවා නේද.....?
කෙටි චිත්‍රපටයක් කරන්න ආසාවක් තිබුණා. කෙටි චිත්‍රපට අධ්යක්ෂණයට 03ක් දැනට ලියලා තියෙනවා. සමහර තරඟවලට පිටපත් ඉදිරිපත් කළා. ඒවා තේරිලත් තියෙනවා. ප්‍රායෝගිකව ඒවා කරන්න බැරිවුණා.
කවුරුත් නොදන්නා උදේනි අල්විස් නමැති ඡායාරූප ශිල්පියා ගැන කතා කළොත්.....?
මට හැමෝම බනිනවා රූපවාහිනියෙන් ගත්ත ජනප්‍රියත්වය ඇයි ඡායාරූපකරණයෙන් ගත්තේ නැත්තේ කියලා. ඡායාරූපකරණය මගේ රැකියාව. රඟපෑමෙන් ලැබුණු ජනප්‍රියත්වය මම ඡායාරූපකරණයෙන් ගත්තේ නැහැ. මම ෆොටෝ ගනිද්දී අලුත් අය හිනාවෙනවා. පස්සේ එයාලම කියනවා “අයියේ මම දැනගෙන හිටියේ නැහැ” කියලා. වෘත්තිය ඡායාරූප ශිල්පියෙක් වුණාට අද ඒ ක්ෂේත්‍රයත් වැටිලා. මගේ ලොකු මාමයි පොඩි මාමයි ඡායාරූප ශිල්පියෝ. කුඩා කාලයේ ඉඳන්ම එයාලගේ කැමරා අතගාලා බලලා, ඒවා දැකලා පාසල් යන කාලයේ ඉඳන්ම මේ ඡායාරූපකරණයට ආසා හිතුණා. මම මේක වෘත්තියමය වශයෙන් හදාරන්න ගත්තේ ලාල් හෑගොඩ මහතා ආරම්භ කරපු ‘ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය’ හරහායි. ලාල් හෑගොඩ මහතාගේ පියා විල්සන් හෑගොඩ මහතා ඡායාරූප කලාවේ නමගිය තැනැත්තෙක්. ලාල් හෑගොඩ මහතා ඉංග්‍රීසියෙන් කතා කරන අයගේ කැමරාව අරන් එය සිංහල මිනිස්සු හිතන පතන විදිහට නිර්මාණය කළා. සිංහලයාගේ ක්‍රමයට කැමරාව හැදුවා. ඒ මෙවලම සිංහල මිනිස්සු අතර ප්‍රචලිත කළා. පාසල් යන කාලයේත් මම ඡායාරූපකරණ පාඨමාලාවක් හැදෑරුවා.. පාසල් කාලයෙන් පසුව ශ්‍රීලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ සාමාජිකයෙක් වුණා. එම සංගමයේ මම ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරනවා, දේශන පවත්වනවා. ඕතචජඬ චදඤ එඩඪබඥ නෙගටිව්වලට ආව මම 2007දී ඩිජිටල්වලට ආවා. තාක්ෂණයත් එක්ක දියුණු වෙවී ආවා.
ඔබේ ‘භූමිකා රූ’ ඡායාරූප ප්‍රදර්ශනය ගැන කිව්වොත්....?
ඔව්, මීට වසර 25කට, 26කට කලින් මම ‘භූමිකා රූ’ නමින් ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වුවා. භූමිකාවක් මත ඇඳෙන රූප යන අදහසයි එයින් කියවුණේ. එවැන්නක් මෙතෙක් කවුරුවත් කරලා නැහැ. වේදිකා නාට්‍යයක් වේදිකා ගතවන මොහොතේදී වේදිකාවේ පවතින ආලෝකයෙන් පින්තූර ගැනීමක් එයින් සිදුවෙන්නේ. ලංකාව පුරා විශ්වවිද්‍යාලවලටත් මම ඒක අරගෙන ගියා. විශ්වවිද්‍යාල සිසුන් එයාලගේ උපාධි නිබන්ධනවලට අවශ්‍ය පින්තූරත් මගෙන් ගන්නවා. නාට්‍ය හා රංගකලාවට අවශ්‍ය කරන පින්තූරත් ගන්න උත්සහ කරනවා. දැන් ආර්ථිකයත් එක්ක ඒක කරන්න අමාරුයි. ඒවගේම දිවා ආලෝකයෙන් ගන්න ඡායාරූප අපට ඒවගේ කෘත්‍රිම ආලෝකයෙන් ගන්න බැරිද කියනදේත් මම අධ්‍යයනය කළා. ඒක මාරම අමාරු කාර්යයක්..
කලාවට පිවිසෙන ආධුනිකයන් ගැන ඔබේ මතය...?
අපේ රටේ මේක කර්මාන්තයක් නෙවෙයි. කර්මාන්තයක් නම් මේක අලුත් වෙන්න ඕනේ. අලුත් අය එනවට මම කැමැතියි. වේදිකාවේ යමක් ඉගෙනගෙන යමක් කරන්න අපිට ඕන වුණා. ජනප්‍රිය වෙන්න නෙවෙයි ඕනවුණේ. කට්ටක් කාලා ටෙලිවලට ආව අපිට දවසින් දෙකෙන් ජනප්‍රිය වෙන්න ඕනකම තිබ්බේ නැහැ. යමක් කරන්න ඕන කියන අදහස තිබ්බා. දැන් ගොඩක් අය එන්නේ තමන්ගේ ව්‍යාපාර කටයුත්තක් ජනප්‍රිය කරගැනීමේ අරමුණින්. බොහෝ කාන්තා පක්ෂය වෙනත් ඩීල්වලට එන්නේ. එහෙම වෙන්නේ වෙනවෙන දේවලට. අවුරුදු කුමරා, කුමරියට එනවා. චැනල්වලින් ඒවාත් පුම්බනවා. රඟපාන්න ආසාවට ඔහේ එනවා. සමහර අයට එකඑක චාන්ස් ලැබිලා එනවා. ටෙලියක රේටින්ස් හොඳයි කියලා දිගටම යද්දී අවුරුදු 05ක් 06ක් එහි ඉන්නවා. ඔවුන් ඊළඟට එන්නේත් ඒවගේ චරිතයකටමයි. එහි පැවැත්මක් නැහැ. රංගනය උගන්වන්න බැහැ. රංගන පාසල් ලංකාවේ නැහැ. වෙනවෙන රටවල තියෙනවා. ඇකඩමි කියන දේ අවශ්‍ය නැහැ. ජෝ, ගාමිණී , මාලිනී ඇකඩමික් නෙවෙයිනේ. ඔවුන් සහජයෙන් රංගනය ගෙනා අය. අලුත් අය දක්ෂයි. චැනල් හරහා ඔවුන් මාර විදිහට හිරවෙලා. මම කියන්නේ දිනපතා අලුත් අය එන්න ඕනා. ක්ෂේත්රයට යමක් කරලා තමනුත් දෙයක් මේකෙන් ගන්න ඕනා. අපි ඒ කාලයේ අනිත් අය රඟපානවා බලාගෙන ඉන්නවා. අද අය එහෙම නැහැ..තමන්ගේ සීන් එක කළා ගියා..මේක හදන්න බැහැ. තමන්ම හැදෙන්න ඕනා. මමත් හැමදේම ඉගෙනගත්තා ..අලුත් සහය අධ්යක්ෂවරු ඉන්නවා, ඒ කාර්යභාරය දන්නේ නැහැ. අනිත් ඔක්කොම දන්නවා.
ඔබේ ඉදිරි නිර්මාණ ගැන කිව්වොත්...?
ටෙලිනාට්‍ය නම් දැනට එකක්වත් නැහැ. ‘රැල්ල වෙරළට ආදරෙයි’, ‘දිවිතුරා’ ටෙලිනාට්‍යවලට කතා කළත් සම්බන්ධ වුණේ නැහැ. වේදිකාවේ මේ දවස්වල විජිත හෙට්ටිගේගේ ‘බරපතළයි ඒත් ස්ථාවරයි’ කියලා පරිවර්තන කෘතියක් වේදිකාවට ගේන්න ඉන්නේ. එහි වැඩ කරනවා. එහි නම වෙනස් වෙන්නත් පුළුවන්. ඊට අමතරව සිනමාවේ සරත් වීරසේකරගේ ‘ශ්‍රී සිද්ධාර්ථ’ චිත්‍රපටය එන්න තියෙනවා
පවුලේ තොරතුරු කිව්වොත්...?
අම්මා, තාත්තා නැහැ. අම්මා හිටපු ගුරුවරියක්, විදුහල්පතිනියක්. මට බාල මල්ලිලා හතරදෙනයි නංගියි. ලොකු මල්ලි නාවික ඉංජිනේරුවරයෙක්. දෙවැනි මල්ලි සංගීත විශාරද සහ ගුරු උපදේශකවරයෙක්. තුන්වැනි මල්ලි බැංකු නිලධාරියෙක්. බාලම මල්ලි ව්‍යාපාරිකයෙක්. නංගි ගෙදර ඉන්නේ. සියල්ලෝම විවාහ වෙලා. මගේ විවාහය දැන්ම කියන්න බැහැ. සමහරවිට විවාහ වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්.