වර්ෂ 2023 ක්වූ December 06 වැනිදා Wednesday
අපි ප්‍රවීණයන්ට ගරු කළොත් අපටත් ගෞරවය ලැබෙනවා

ඌව පළාතත්, සබරගමු පළාතත්, දකුණු පළාතත් මායිම් කරමින් විහිදෙන රේඛාවක මේ සුන්දර තරුණයාගේ ජීවන කවය ගොඩනැෙඟයි. උඩවලව මධ්‍ය මහා විද්‍යාලය සහ ඇඹිලිපිටිය ජාතික පාසලෙන් සිප් සතර හදාරන ඔහු දක්ෂ ක්‍රීඩකයෙකු වෙයි. පාසල්, අන්තර් පාසල් සමස්ත ලංකා සහ මහවැලි ක්‍රීඩා හා ජාතික ක්‍රීඩා උෙලළ කෙටි ධාවන ශූරයකු ලෙස නියෝජනය කරන්නට ලැබිණි. පාසලේ මෙන්ම අන්තර් පාසල් මට්ටමින් හා ජාතික මට්ටමෙන් කැපී පෙනුණු ක්‍රීඩකයකු ලෙස නම් දැරූ ඔහු පාසල් වේදිකාවේ ද නළුවකු විය. පාසල් දිවියට සමුදීමත් සමඟ සහජ හැකියාවන් දෝතින් දරා ගනිමින් රජයේ ආරක්ෂක අංශයේ රැකියාවකට බැඳුණේය. පාසල් කාලයේදී ම කලාවේ විවිධ ඉසව් කරා යොමුවුණු ඔහුට තම සිතැඟි පරිදි බන්ධනාගාර නිලධරයෙකුව සිටියදීම ‘ක්වීන්’ ටෙලි නාට්‍යයේ භුජා චරිතය හරහා කලා ක්ෂේත්‍රයට අවතීර්ණවීමට අවස්ථාව හිමි විය. ඔහු නමින් සම්පත් දඩල්ලගේයි. මෙවර සරසවිය සමඟ සංවාදයට එකතු වෙන්නේ.
දක්ෂ ක්‍රීඩකයකු විලංගු දමන අත් ළඟ නැවතුණේ ඇයි?
මේකත් හරිම සුන්දර කතාවක්. මම පාසල් ගිහිල්ලා ඉවර වුණාට පස්සේත් ක්‍රීඩාවේ තමයි වැඩි හරියක් නිරත වුණේ. මේ කාලය තුළ දී බාහිර උපාධි අපේක්ෂකයකු ලෙස අධ්‍යයන කටයුතු වල නිරත වෙලා යි හිටියේ. බාහිර උපාධි අධ්‍යයන කටයුතු ඉවර වෙලා යන විටදි පුවත්පතක දැන්වීමක් දැක්කා. බන්ධනාගාර නිලධාරින් බඳවා ගන්නවා කියලා. මට ආසාවක් ඇති වුණා රටේ පවතින වාතාවරණයත් රජයේ රැකියාවක් කරන්න තිබුණු ආසාවක් නිසා බන්ධනාගාර නිලධාරියෙකු වෙන්න. ආරක්ෂක අංශයට බැඳෙන්න කියලා මට ආසාවක් ඇති වුණා. රටේ පවතින වාතාවරණය රජයේ රැකියාවක් කරන්න තිබුණු ආසාවත් නිසා බන්ධනාගාර නිලධාරියකු ලෙස ආරක්ෂක අංශයට බැඳෙන්න ඉල්ලුම් පත්‍රයක් යොමු කළා. ඒකෙ ප්‍රතිඵලයක් ලෙස මම දැන් බන්ධනාගාර නිලධාරියකු ලෙස රාජකාරි කටයුතු කරනවා.අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට අනුබද්ධ කදුරුගස් ආර එළිමහන් වැඩ කඳවුරේ. වරදක් නොකර ජීවිතේ කවදාවත් අත්දෙකට විලංගුවක් වැටෙන්නේ නැහැ.
ඒ ජීවිතත් එක්ක වැඩ කරන ඔබට මොකද හිතෙන්නේ?
මේ ජීවිත වරදවල් කරපු කට්ටිය, නොකරපු කට්ටිය කියලා කිසි දවසක ඔවුන් වර්ග කරන්න යන්නෑ. ඔවුනුත් ජීවිතයේ මනුෂ්‍යයන් කියන ආකල්පය තුළ තමයි හැමදාම අපි රාජකාරි කරන් ඉන්නේ. තව කෙනෙකු විසින් ඔහු අවරදකට පොලඹවපු කට්ටිය ඉන්නවා. ඒ දොර ඇතුළේ ගත කරන ජීවිතය හරිම සුන්දරයි. ඒ දොරෙන් පිටට ඇවිල්ලා ගත කරන ජීවිතය හරිම කර්කෂයි කියලා මට නම් දැනෙන්නෙ. එළියෙ ඉඳන් ඇතුළට මොන විදිහට ආවත්, ඇතුළෙදි ඔවුන්ගේ විනය නිසි ආකාරව පවත්වාගෙන යනවා. උදාවන දිනය තුළ ඔවුන් ජීවිතය කොහොමද ගෙවන්නේ කෙනෙක් ඉගෙන ගන්නවා.
දැනට ටෙලි නාට්‍ය කීයක චරිත නිරුපණය කරල තියෙනවද?
දැනට මම ටෙලිනාට්‍ය 12 ක විතර රඟපාලා තියෙනවා එහෙයින් උප ප්‍රධාන චරිත 5ක් විතර රගපාලා තියෙනවා. චලෝ, ගුබ්ලි, මැස්සා නාඩගම්කාරයෝ, තණමල්විල කොල්ලෙක්, අග්නි පියාපත්, පැණි කුරුල්ලෝ, ක්‍රයිම් සීන් මේ ටෙලි නාට්‍යය කිහිපයක්. මේ ටෙලි නාට්‍ය අතරින් දැනට මැස්සා ටෙලි නාට්‍යය සහ අග්නි පියාපත් දෙකම මේ දිනවල විකාශය වෙනවා. මගේ රාජකාරියත් එක්ක මම හෙමින් ගමනක් යන්නේ ක්ෂේත්‍රය තුළ. මම කවදාක්වත් කැමති නෑ හති දාගෙන දුවන්න. හතිදාගෙන දිව්වොත් අතරමඟදී වැටෙනවා. ඒ කෙටි කාලය තුළ හොඳීන් ගමනක් ගියොත් සාර්ථකයි කියලයි මට දැනෙන්නෙ.
කලාව සහ රාජකාරිය කොහොමද සමබරව කරගන්නේ?
ඇත්තටම මගේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ට මම ස්තුති වන්ත වෙනවා. යම් ටෙලි නාට්‍යයක හෝ වෙන කලා කටයුත්තකට සම්බන්ධ වෙන්න වෙනවා නම් මගේ රාජකාරිය හැමවෙලේම සමබරතාවයකින් කරගන්නට අවස්ථාව උදාකර දෙනවාට. උසස් නිලධාරීන්ගේ සිට සෙසු නිලයන්ගෙන් ද ලැබෙන සහයෝගය නිසා තමයි අද මට මෙච්චර දුර ගමනක් එන්න ලැබිලා තියෙන්නේ.
ඉස්සරහට එන්න තියන නිර්මාණ ගැන කතා කළොත්?
දැනට නිර්මාණ හයක් විතර එන්න තියෙනවා. ඒ අතරින් අපේ අම්මා, පස්, යක්ක නාද, ඕ මයි ගෝඩ් තමයි දැනට නම් කියන්න පුළුවන්. තවත් නිර්මාණ කිහිපයක් විතර කරලා තියෙනවා. එවාගේ නම් වෙනස් වෙයි කියලා මම හිතනවා. සමහරක් නාලිකා කැමති නෑ සමහරක් නම්වලට. එහෙම වුණාම නම් වෙනස් කරනවා. සමහර නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්ෂකවරුන් කතා කරලත් නම වෙනස් කරනවා. මේ ආකාරයට අපිට දුන්න නම නෙවෙයි තියෙන්නෙ විකාශය වනවිට. කොහොම නමුත් නම වෙනස් වුණත් ඉදිරියේදී විකාශය නම් වෙනවා.
රාජකාරියත් එක්ක ටෙලි නාට්‍ය කලාව විතරයි නේද යොමු වෙන්නට අවස්ථාව තියෙන්නේ?
ටෙලි නාට්‍යය කලාවට ඇත්තටම මට අවස්ථාවක් තියෙන්නෙ රාජකාරියත් දෙක සමබරව කරගන්නට පුළුවන් නිසායි. නමුත් සිනමාවටත් වේදිකාවත් කියන දෙකටම මම හරි කැමැතියි. සිනමාවට අවස්ථාවක් ලැබුණොත් නම් මට කැප කිරීමක් කරන්න පුළුවන්. වේදිකාවට ගොඩක් කැපකිරීමක් කරන්න වෙනවා. රාජකාරියත් එක්ක පෙර පුහුණුවීම්වලට වැඩි අවස්ථාවක් යොදවන්නට මට බෑ. එහෙම වුණොත් මගේ සිහින ඔක්කොම බොඳ වෙලා යන්න පුළුවන්. ඒත් නළුවෙක් වෙනවා නම් වේදිකාව ස්පර්ශ කළ යුතුමයි කියන එක මම තදින්ම දන්නවා. කාලය කළමනාකරණය කරගන්න පුළුවන් වුණ දවසක වේදිකාවේ නළුවෙක් වෙනවා කියන එක මම හිතාගෙන ඉන්නේ.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබුණු ගුරුහරුකම් කොහොමද?
මේ ක්ෂේත්‍රයට එන විට මම කිසිම අවබෝධයක් ඇතුව නෙමෙයි ආවේ. ඒත් මම ආපු කාල සීමාව තුළදී මට ප්‍රවීණයන්ගෙන් ලැබුණු ගුරුහරුකම් අපමණයි. හරි දේ හරියටත් වැරදි දේ වැරදියටත් නිවැරදිව කියාදුන්නා. සමහර අය ගොඩක් දෙනෙක් කියනවා ප්‍රවීණයෝ උදව් කරන් නැ කියලා. නමුත් එහෙම දෙයක් සිදුවෙන්නේ නැහැ. දන්නැති ඕනෑම කෙනෙකුට ඇහුවොත් ගුරු මුෂ්ටියක් නැතුව සියලුම දේවල් කියා දෙනවා ක්ෂේත්‍රයේ ඉන්න සියලුම ප්‍රවිණයන්. අපි ප්‍රවීණයන්ට ගරු කළොත් ඔවුනුත් අපිට ගරු කරනවා. ඒ ගරු සැලකිලි ලැබිය යුතු ආකාරයට අපි හැම වෙලේම වැඩ කළ යුතුයි. මුල් කාලේ සිටම මට ඇසුරු කරන්නට ලැබුණේ ප්‍රවීණයන්. ඒක මගේ ගමනට එක ලොකු රුකුලක් වුණා.
විශේෂයෙන් මටම කියලා චරිතයක් දිගටම වෙන්කරලා දීලා නැහැ. නමුත් මම සමබරව හැම චරිතයක්ම දුන්නම කරලා තියෙනවා. පොලිස් චරිත ඒ අතරින් ටිකක් වැඩියෙන් කරන්න ඇති.තිර පිටතට අනුව මට ලබාදෙන ඕනෑම චරිතයකට මට පුළුවන් උපරිමෙන් මේ තාක් කල් සාධාරණයක් ඉටුකරා කියල හිතනවා. ක්ෂේත්‍රය තුළ ගොඩක් චරිත දැන් ලැබෙන්නේ පෙර කරපු නාට්‍යවලට චරිතත් එක්ක සංසන්දනය කරලා. එක හොඳ ලක්ෂණයක් කියලා මම හිතනවා. ඒ තුළින් දක්ෂයා අදක්ෂයා තෝරාගැනීම අධ්‍යක්ෂකවරයාට අද පහසුවක් වෙලා තියනවා. මම කවදාකවත් මට කරන්න බැරි චරිතයක් බාරගන්නෑ. මට පුළුවන් චරිත පමණයි මම තෝරා බේරා ගෙන භාරගන්නේ.
ඔබේ පරම්පරාවේ ශිල්පීන් ගැන මොනවගේ අදහසක් ද කියන්න තියෙන්නේ?
අපේ පරම්පරාවේ ගොඩක් දෙනෙක් දක්ෂ ශිල්පීන් ඉන්නවා. බොහෝ දෙනකුට ක්ෂේත්‍රයට එන්න බැරුව ඉන්න පිරිසකුත් ඒ අතර වෙනවා. සමහර පිරිස් ක්ෂේත්‍රයේ හැඳුනුම්කම මත ඇවිල්ලා කිසිම දෙයක් කරන්න බැරුව ඉන්න කොට්ඨාසයකුත් ඉන්නවා. අද කොහොම නමුත් දක්ෂයාට තැන ක්ෂේත්‍රය තුළ හිමිවෙලා. තමන්ගේ වපසරිය තේරුම් අරගෙන සියලු දෙනාම කටයුතු කළොත් හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි. ගොඩක් දෙනෙක් කරන්න බැරි චරිත දුන්නම කරන්න පුළුවන් කියල අරගෙන නාගන්න වෙලාවල්ද නැතුව නොවේ. එහෙම උණාම වෙන්නේ තිරපිටපතේ තියෙන චරිතයට සාධාරණයක් කරන්න බැරි වුණාම තමයි ඒ දෝෂාරෝපණයට ලක් වෙන්න වෙන්නේ. ඒ නිසා හැම වෙලේම අපි අපිව අවබෝධ කරගෙන තමන්ට පුළුවන් වපසරිය තුළ ජීවත් විය යුතුයි. එහෙම උණාම වෙන්නේ නිර්මාණයට සහ නිර්මාණකරුවන්ට කරන ලොකු සාධාරණයක් කියලයි.
ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් හිතන්නේ මොනවාද?
අපිට තියෙන අඩුපාඩුව තමයි නාට්‍ය පාසලක් නැතිකම. ඒත් විශ්වවිද්‍යාලවල පාඨමාලාවල් තියෙනවා මේ හා සම්බන්ධව. ඒත් කලාවට එන බෝහෝදෙනකුට එතනට යන්න බැරි කමක් තියෙනවනේ. ඒ වගේම විවිධ අධ්‍යක්ෂවරුන්ගේ, ප්‍රවිණයන්ගේ පාඨමාලාවන් තියෙනවා. ඒ සඳහා ගොඩක් දෙනෙක් සහභාගි වෙනවා. අනාගත පැවැත්ම උදෙසා කලාව වෙනුවෙන් රංගන පාසලක් ස්ථාපිත වුණොත් හොඳයි. කලාව වෙනුවෙන් කැප වන සියලු දෙනාට ප්‍රයෝජනවත් වන අදහසක් ඉදිරිපත් කළේ. අපේ එහා පැත්තේ රටේ ඉන්දියාවේ තියෙන පාසල් ලංකාවෙත් තිබුණා නම් අද ලංකාව කොතනද කියලා අපිට හිතා ගන්න පුළුවන් නේද? මම වුණත් පාඨමාලාවක් හදාරන්නේ නැතිව ඇවිල්ලා තමයි මේ දේවල් ඉගෙන ගත්තේ. ඒ අඩුපාඩුව තදින්ම දැනෙන්නේ මට ඒ නිසයි.
රාජකාරී ජීවිතයට වගේම කලා ජීවිතයට ගෙදරින් ලැබෙන සහයෝගය ගැන කියන්න කැමතිද?
මගේ රාජකාරී ජීවිතයට දැන් වසර දහඅටක් ගෙවිලා යනවා. ඒ හැම දේකම පිටිපස්සේ සිටියේ මගේ බිරිඳ සහ මගේ දරුවන් සහ දෙමව්පියන් ඒ වගේම කලාවටත් ඒ කට්ටිය ඒ අයුරින්ම මට සහයෝගය ලබා දෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු සහෝදර සහෝදරියන් පුදුම සහයෝගයක් ලබා දෙන්නේ. ඒ වගේම ජනක සම්පත්, සාරංග තල්පාවිල, ලසන්ක මදුසංක ක්ෂේත්‍රයට එන්න කළ උදව් උපකාර මට කවදාවත් අමතක කරන්න බෑ. ඒ අය ඇතුළු සියලු දෙනාට ස්තුති කරන්න අවස්ථාවක් කරගන්නවා.