දර්ශන් ධර්මරාජ් වෙනුවෙන් ඒ චරිතය භාරගත්තා

රංගන ශිල්පිී හර්ෂ ශ්‍රි විජේතුංග
පෙබරවාරි 23, 2023

දක්ෂ ක්‍රීඩකයකු වන ඔහු මහනුවර පාසල් අතර ජනප්‍රියතම ක්‍රීඩකයා බවට පත්විය. ක්‍රීඩාවට මෙන්ම කලාවට ද එක ලෙස ඇලුම් කළ ඔහු පාසල් වේදිකාවේද දක්ෂ රංගන ශිල්පියකු විය. පාසල් අවධියේ වෙසක් පොසොන් කාලයට ග්‍රාමීය ප්‍රදේශවල තියටර් පෙන්වීමට කණ්ඩායමක් ලෙස මූලිකත්වය ගෙන කටයුතු කළේය. බර්ට්‍රම් නිහාල්ගේ අමරපුර ටෙලි නාට්‍යය තුළින් රංගනයට පිවිසි ඔහු කෑගල්ල ප්‍රදේශයේ හැදී වැඩී දක්ෂ රංගන ශිල්පියෙකු බවට අද පත්වී සිටී.වේදිකාව ටෙලිනාට්‍ය සහ සිනමාව ජයගත් ඔහු නමින් හර්ෂ ශ්‍රී විජේතුංගයි.

 

ක්‍රීඩකයකු ලෙස දස්කම් දැක්වූ ඔබ ඇයි නළුවෙක් වුණේ?

ඇත්තටම මම නළුවෙක් වුණේ අහම්බෙන්. දවසක් මම කෑගල්ල ප්‍රදේශයේ මගේ ව්‍යාපාරයක කටයුත්තක් කරන ස්ථානයට බර්ට්‍රම් නිහාල් මහත්තයා ඇවිල්ලා ඇහුවා මම අලුත් ටෙලි නාට්‍යක් කරන්න යනවා එකේ චරිතයක් තියෙනවා මල්ලි වගේ කෙනෙක් තමයි හොයන්නේ එන්න පුළුවන්ද කියලා. මම එවිට කියන්න ගත්තෙ මම පාසල් වේදිකාවල නම් රඟපාල තියෙනවා. හැබැයි මම කැමරාවක් ඉදිරිපිට තාම රඟපාලා නැහැ කියලයි. බර්ට්‍රම් මහත්තයා ඉටපස්සේ කියන්න ගත්තේ ඕන තරම් කට්ටිය ඉස්සල්ලාම කැමරාව ඉදිරිපිට එන්නේ රඟපාන්න දැන ගෙනවත් නෙවෙයි කියලයි. අන්න එතැනදී තමයි මට පොඩි ආසාවක් ඇති වුණේ. මගේ මුල්ම ටෙලිනාට්‍ය තමයි ඔහු අධ්‍යක්ෂණය කළ අමරපුර ටෙලිනාට්‍යයයි. ඇත්තෙන්ම මම මේ ක්ෂේත්‍රය තුළ රැඳී සිටින්නේ මගේ විනෝදාංශය හා තෘප්තිය වෙනුවෙන් විතරයි.මම ව්‍යාපාර කටයුතු තමයි මූලික තැන දී කටයුතු කරන්නේ.

ඔබ මුලින්ම ගිය පාසලෙන් ඔබව ඉල්ලලා වෙනත් පාසලකට ගත්තා කියන කතාව මොකක්ද?

මම මුලින්ම ගියේ බෙරවට්ස් විදුහලටයි. මම ඒ කාලේ ක්‍රීඩාවට හරිම දක්ෂතාවයක් දැක්වූ ශිෂ්‍යයෙක්. මලල ක්‍රීඩාවලට මෙන්ම පිටියේ තරගවලටද මම එක ලෙස දස්කම් දැක්වූවා. මේ කාලය තුළදී තමයි මාව ශාන්ත සිල්වෙස්ටර් විදුහලෙන්, ඉල්ලලා ගත්තේ. මගේ දක්ෂතාවයන් ඔප්නංවා ගන්න හොඳ අවස්ථාවක් නිසා මමත් සිල්වෙස්ටර් විදුහලට යන්න කැමැති වුණා. එදා ඉඳන් පාසලෙන් සමුගන්නා තෙක් මම සිල්වෙස්ටර් විදුහලට මගේ ගෞරවය හිමිකරදුන්නා. ඒ විදිහට තමයි ඒ දේ විසඳුනේ.

පාසල් වේදිකාව ගැන මොනවද තියෙන මතකයන්?

මහනුවර සිල්වෙස්ටර් විදුහල කියන්නේ කලාවට තියෙන හොඳම පාසලක්. මගේ ජීවිතයේ පාසල් කාලයේ මම ලබපු අත්දැකීම් වැඩි. ක්‍රීඩාවට වැඩි ඉඩක් ලබා දුන්නත් මට ලැබෙන හැම මොහොතකම මම පාසල් වේදිකාවේ රංගනයේ යෙදුණා. පාසල් මට්ටමේ තරඟ පළාත් මට්ටමේ සහ සමස්ත ලංකා මට්ටම දක්වා නාට්‍ය තරඟවලටත් මම ඉදිරිපත් වුණා. අපේ පාසල ඒ නාට්‍යවලින් ගොඩක් ජයග්‍රහණ ලැබුවා. පාසල් වේදිකාවේ විතරක් නෙවේ මම ගමේ තියටර් වේදිකාවේද වෙසක් පොසොන් කාලයට රඟපෑම් කළා. ටීටර්වලට සහභාගීවන අපි සියලු දෙනාම ගෙදර අම්මලාගේ සාරි ගෙනල්ලා තමයි වේදිකාව හදාගත්තේ වට කරලා. ඒ සුන්දර අත්දැකීම අද ළමයිට නැති එක ගැනත් මට දුකක් දැනෙනවා. අපේ පාසලේ හොඳ නාට්‍ය ගුරුවරු හිටියා. ඒ ගුරුවරුන්ගෙන් ලැබුණු ආභාසය සිහිපත් කරන්නේ හරිම සතුටින්. එහෙම නොලැබුණා නම් හර්ෂ කියලා නළුවෙක් වත් ක්‍රීඩකයෙක් වත් නොවෙන්න තිබුණා.

ටෙලි නාට්‍ය කලාවේ දිර්ඝතම ටෙලි නාට්‍යයේ ඔබට රඟපාන්න අවස්ථාව හිමි වුණා නේද?

මම රඟපාපු ගොඩක් නාට්‍යය දැකලා මට කෝපි කඩේ ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්ථාවක් ලැබුණා. ඒකටත් වාසනාව ඕන මොකද ලංකාවේ දීර්ඝතම ටෙලි නාට්‍ය රඟපාන්න ලැබෙනවා කියන එකත් ඉතිහාසගත වෙන වැඩක්. හරිම සුන්දර රඟපෑමක් තමයි කෝපි කඩේ ඇතුළේ තියෙන්නේ. එකිනෙකාට ඔවුන්ගේ ජීවිත කතාව තුළ සිදුවෙන සිදුවිම්, වෙන දේවල් දවසින් දවස පෙන්වනවා කියන්නේ පුදුමාකාර දෙයක්. සමහරු ඒ නාට්‍යය බලලා ඒ චරිතයෙන් කතා කරපු දවසුත් මට තිබුණා.

දැනට කරලා තියෙන නිර්මාණ ගැන කතා කළොත්?

අමරපුර, හේලංකඩ, දෝණි, ඉර හඳ පායන ලෝකේ, සිත්, පැහැසරා, කෝපි කඩේ දෙකෝන් මාරුව, ජනතාව වැලඳගත් නාට්‍ය අතරට එනවා.මීට අමතරව මම නාට්‍ය 15ක විතර රංගනයේ යෙදිලා තියෙනවා. ඊට අමතරව මේ දවස්වල ටෙලි ඩ්‍රාමා කිහිපයකම රූපගත කිරීම් කෙරෙනවා. අම්මා, කාසි, ආපසු හැරෙන්, යන නාට්‍යයි. ඊට අමතරව වේදිකා නාට්‍ය කිහිපයකටත් කතා කරලා තියෙනවා. මේවත් එක්ක සමබරව කරගෙන යන්න තමයි අදහස දැනට තියෙන්නේ.

වේදිකාව සහ ටෙලි නාට්‍ය අතහැරලා සිනමාවට එනවා කියන එක ඇත්තක්ද?

මගේ මුල්ම සිනමා පටය වුණේ ‘ලස්සන ජීවිතයක්’ ඒක තාම තිරගත වුණේ නැහැ. ඒත් හොඳ අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා අපෙන් සමුගත් දර්ශන් ධර්මරාජ් වෙනුවෙන් මට යමක් කරන්නට. ඔහුගේ චරිතය මට කරන්න අවස්ථාවක් ලැබුණා. ජගන් සුබ්‍රමනියම් නම් ඉන්දියානු සිනමා අධ්‍යක්ෂකවරයාගේ නවතම සිනමාපටයේ චරිතයකට ලංකාවේ රූගත කිරීමකට තෝරගෙන හිටියේ දර්ශන ධර්මරාජ් ඉතින් ඔහුගේ අඩුව මකන්න මට සිදු වෙනවා. මං මේ චරිතය භාරගත්තේ දර්ශන් වෙනුවෙන්ය. මුල්ම සිනමා පටය තාමත් තිරගත නොවුණ හින්දත් එය කවදා එයිද කියන්න හරිම අමාරුයි. නමුත් මේ සිනමා පටයට මුලින් තිරගත වෙයි කියලා මම හිතනවා. මේකත් සමඟ තවත් සිනමාපට කීපයකටත් මට ආරාධනා ලැබිලා තියෙනවා.

මෙතෙක් ඔබට ක්ෂේත්‍රයෙන් කැපිල්ලක් ඇවිල්ල නැද්ද?

කැපිලි තියෙනවා වගේම නැති තැන්ද තියෙනවා. ඒත් මෙහෙම ක්ෂේත්‍රයක කැපිලි කෙටිලි තියෙනවා නම් ඒවා ඉතින් තේරුම් බේරුම් අරගෙන ගමන යන්න ඕන. ඒ දේවල් තියෙනකොටත් හරිම සුන්දරත්වයක් තියෙනවා. ඒවගේ කැපිලි කෙටිලි එනකොට මම නම් කරන්නේ හොඳට ඒ චරිතය කරන එක තමයි. මේ තුළ තියෙන්නෙ තවකෙකු පරයා තවකෙක් නැගී සිටීමයි. ඔහුගේ චරිතය හොඳට කළොත් ඔහුට අධ්‍යක්ෂවරු නාට්‍යවල චරිත දෙනවා. එතකොට වෙන්නේ රඟපාන්න බැරි සියලු දෙනා විසිවෙනවා. ඒ අය තමා මේ ගේම් සියල්ලම ගහන්නේ. ගේම්කාරයාට ගේම් ගහන්න කියලා මගේ ගමන මම හිමින් යනවා.

නිෂ්පාදකවරුන් හා අධ්‍යක්ෂකවරුන්ගෙන් ඔබට ලැබෙන සහයෝගය කොහොමද?

මගේ ජීවිතයේ මුලින්ම අධ්‍යක්ෂකවරයෙක් තමයි මාව තෝරා ගත්තේ. ඔහු සහ මම කෙදිනකවත් දැකල තිබුණෙත් නෑ, හමුවෙලා තිබුණොත් නෑ .ඉතින් එවැනි වකවානුවක නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්ෂකවරුන්ගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. ක්ෂේත්‍රයේ ඉන්න කිසිදු අධ්‍යක්ෂවරයකුට මට අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි මෙයා වැරදියි කියලා කියන්න අවශ්‍යතාවයක් නෑ. ඔවුන් මගේ හොඳම හිතුවතුන් ඔවුන් මට හැම වෙලේම උදව් කරනවා.අපි අතර පවතින සම්බන්ධතාවය තමයි ඕනෑම ක්ෂේත්‍රයක මූලික අඩිතාලම ලෙස සලකන්නේ.

ක්ෂේත්‍රයේ දැන් නිර්මාණවලට නළු නිළියන් තෝරා ගැනීමේදී අනුගමනය කරන පිළිවෙත ගැන මොකද හිතෙන්නේ?

බොහෝ නිර්මාණවලට නිෂ්පාදකවරයා සහ අධ්‍යක්ෂකවරයාගේ මැදිහත්වීම තුළ චරිතවලට නළු නිළියන් තෝරා ගැනීම සිදුවෙනවා. සමහර තැන්වල ඊට හාත්පසින්ම වෙනස් දෙවලුත් සිදුවෙනවා. ඒවා උපේක්ෂා සහගතව බලාගෙන විඳ දරාගෙන ඉන්න එක තමා අපිට කරන්න වෙලා තියෙන්නේ. වැල යන පැත්තට මැස්ස ගහනවා ඇරෙන්න අපිට ඕනේ විදියට මැස්ස ගහලා හරියන් නෑ. ක්ෂේත්‍රය තුළ මම කරන්නේ ලැබෙන චරිතයට මම සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරන එක තමයි. ඒ වගේම මට ලැබුණු පිටපත් වලට මම හරිම සාධාරණ ඉෂ්ට කරල තියනවා මෙවනවිටත්.

වඩාත් ප්‍රිය කරන්නේ වේදිකාවට ද ටෙලිනාට්‍යයට ද සිනමාවට ද?

මගේ රංගනය මුලින්ම ආරම්භ වන්නේ වේදිකාවෙන්. මම රංගනය ඉගෙන ගත්තෙ වේදිකාවෙනුයි. මුලින්ම වේදිකාවට ඉන් පස්සෙ තමයි මට ටෙලි නාට්‍ය කලාවත් සිනමාවත් හිමිවෙන්නේ. මගේ ජීවිතේ කලා කටයුතුවලදී මම මේ ත්‍රිත්වයටම කැමතියි. එහෙම නැති වුණොත් කලාකරුවකුට තමන්ගේ ගමන අරමුණ වෙනුවෙන් යා ගන්න බැරි වෙනවා. ලෝකේ හැම නළුවෙකුම වගේ වේදිකාව තමයි ඉස්සෙල්ලාම පියවර තැබුවේ. ඒ හැම නළුවෙක්ම නිළියක්ම හොඳ දක්ෂ පරිපූර්ණ නළු නිළියෝ වුණා. සිනමාව ජය ගත්තෙත් ඔවුන්ම තමයි.

ක්ෂේත්‍රයේ අනාගතය ගැන මොකක්ද කියන්න තියෙන්නේ?

අද ලංකාවේ කලාකරුවා හොඳටම අසරණ තත්ත්වයට පත්වෙලා ඉවරයි. අපේ කලාකරුවෝ සහ ඉන්දියාවේ කලාකරුවෝ සංසන්දනය කරලා කවදාවත් මේක වෘත්තියක් කියලා සලකන්නත් බෑ එහෙම කියන්නත් බැරි වාතාවරණයක් සිදුවෙලා තියෙන්නේ. ඕනෑම රටක කලාවට මුල් තැන දෙනවා. ඒත් අපේ රටේ එහෙම කලාවට මුල් තැනක් දෙනවා කියලා දකින්නවත් බැරි තැනකයි අපි ජීවත් වෙන්නේ. හරියට නිර්මාණයක තිර පිටපත ලියන කොට පිටපත්කරුවා ආරම්භය සහ අවසානය සිදුකරන්නේ ඔහුගේ මනසේ ඇඳුනු චිත්තරුප විතරක් නිසා එය සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන්.

පවුලෙන් ලැබෙන සහයෝගය හා අනාගත බලාපොරත්තුව මොකක්ද?

මගේ ගෙදරින් උපරිම සහයෝගය මට ලැබෙනවා. බිරිඳ සහ දරුවන් ඇතුළු සියලු නෑදෑයන් හිතෛෂින්ගෙන්. ඒ අය නිසා තමයි මම මේ කලා කටයුතු සහ ව්‍යාපාර කටයුතු හොඳීන් කරගෙන අද යන්නේ. ඉදිරියේදී හොඳ නිර්මාණ ටිකක් එන්නත් තියෙනවා ඒ වගේම තෝරා ගැනීමටත් නිර්මාණ කීපයක්ම තියෙනවා. ඒ වගේම මම මේ ආපු ගමනේ ලොකුම හීනය තමයි මම නාකි වෙලා හරි හොඳම නළුවාට හිමි සම්මානයක් ලබා ගැනීමයි.

 

 

[email protected]