දයා තෙන්නකෝන් යනු වේදිකාවේ , සිනමාවේ සහ ටෙලි තිරයේ රංගනයෙන් දස්කම් පෑ අපට සිටි ජ්‍යේෂ්ඨ රංගන ශිල්පියෙක්. ඔහු රංගන ශිල්පියෙකු සේම ගුවන් විදුලි ශිල්පියෙකි. තිරරචකයෙකි. අධ්යක්කවරයෙකි. ඔහු කලාවට මුලින්ම පා තබන්නේ වේදිකාවෙනි. එතැනින් නොනැවතුණු ඔහු සිනමා තිරයට, ටෙලි තිරයට වෙනස්ම හැඩයක් එක් කිරීමට සමත් වූ රංගවේදියෙකු විය. සිය මිතුරන් අතර ඉතාමත් ආදරණීය සහෘදයෙකු වූ දයා තෙන්නකෝන් නැමති ජ්‍යේෂ්ඨ රංගවේදියා ජීවිත රඟමඩලින් බැස ගොස් අප්‍රේල් 17 වැනිදාට පස් වසරක් සම්පූර්ණ විය. ඒ වෙනුවෙන් ඔහුගේ ආදරණීය බිරිඳ ජ්‍යේෂ්ඨ රංගවේදිනි ග්‍රේස් තෙන්නකෝන් සරසවිය සමඟ එක්වූයේ තම සෙනෙහෙබර ස්වාමිපුරුෂයා ගැන අතීතය බෙදා හදා ගන්නටය.
මට මුලින්ම තෙන්නෙව හම්බ වුණේ වේදිකා නාට්‍යවලදී. නාට්‍යවේදී සුගතපාල ද සිල්වා ගේ “දුන්න දුනුගමුවේ” නාට්‍යයේ තෙන්නේ රඟපෑවා. ඒ නාට්‍යයේ මාලිනි වීරමුණි “දිළිඳුවතී” චරිතය රඟපෑවා. පසු කාලයේ මාලිනී සහ නාමෙල් රට ගියා. ඉන්පසුව ඒ චරිතය රඟපාන්න මට අවස්ථාව ලැබුණා. තෙන්නේ හිටියේ දිළිඳුවතීගේ ස්වාමිපුරුෂයාට. ඒ කාලේ අපි දෙදෙනා අතරේ මිත්‍රත්වයක් පමණයි තිබුණේ. හරිම සුන්දර කාලයක් වුණා අපිට ඒ කාලේ. අපි නාට්‍ය පෙන්වන්න දුර පළාත් වලට යනකොට අපි හරි විනෝදෙන් සිංදු කිය කියා යනවා. පසු කාලයක මම ගුවන්විදුලියට සම්බන්ධ වුණා. තෙන්නෙත් ගුවන් විදුලියට සම්බන්ධ වෙලා කටයුතු කරමිනුයි සිටියේ. ක්‍රියාකාරී සහකාර විදිහට. එහිදී තිලක් ජයරත්න , යූ ආරියවිමල් තෙන්නේ එක්ක වැඩ කළා. මම ගුවන් විදුලියට යන්න කලින් ඉදන් ආරියි මමයි යාළුයි. ඒ සම්බන්ධය අපි අතර තිබුණා. අපි එකට තේ බිව්වා. එකට පටිගත කිරීම් වලට සහභාගී වුණා. ඒ අතරේ වේදිකා නාට්‍යයත් දිගටම කළා. අන්තිමටම කළේ නාමෙල්, මාලිනීගේ කන්දොස්කිරියාව වේදිකා නාට්‍යය.
ඔය අතරේ තෙන්නෙට සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණ. තෙන්නේ නුවර. ඉපදිලා තියෙන්නේ පිළිමතලාවේ. ඉගෙන ගෙන තියෙන්නේ නුවර ධර්මරාජ විද්‍යාලයේ. එතනදී තමයි තෙන්නේ සිනමාවට සම්බන්ධ වෙන්නේ. ඒ කාලේ ධර්මසේන පතිරාජත් ඇවිත් තියෙන්නේ ධර්මරාජෙට. පතීට ඒ කාලේ හොඳට කවි ලියන්න පුළුවන්ලු. ” කේසත්චේදනය” නමින් ලස්සන කවි පංතියක් ලිව්වලු පතී. ඒකෙන් කියවුණේ මුලින්ම රැවුල කැපීම ගැනලු. ඒ කට්ටිය හරිම විනෝදෙන් තමයි ඉදල තියෙන්නේ. ඔවුන්ගේ අදහස් එක සමානයි. රසවින්දනය එක සමානයි. ඒ කාලේ සුගතපාල සෙනරත් යාපා ඇවිත් චිත්‍රපටයක් කරන්න. ඒ තමයි හන්තානේ කතාව. ඒ වෙලාවේ ඔහු පතී සමඟ කතාකරල තියෙනවා. හන්තානේ කතාව ගැන සහ එහි පසුබිම ගැන. ඒ වෙලාවේ ආරියරත්න , බර්ටි ජයසේකර වැනි හිත මිතුරන්ද ඉදල තියෙනවා. හන්තානේ කතාවේ ” නාථ” කියල චරිතයට තෙන්නෙව තමයි තෝරගෙන. එතන හිටපු තෙන්නෙගේ යාලුවෝ කියල තියෙන්නේ උඹට තමයි ඒ චරිතය කරන්න පුළුවන් කියලා. බොහෝ අය කියන්නේ රඟපාන්න එන්න මාර කට්ටක් කෑවේ කියලා. ඒත් තෙන්නේ නම් කිව්වේ එයාට ඒ අවස්ථාව ලේසියෙන්ම හම්බ වුණා කියලා.
තෙන්නෙගේ සිනමා ගමනේ ආරම්භය වුණේ හන්තානේ කතාව චිත්‍රපටය. ඒකට විජේව ගන්නවා කිව්වහම යාළුවෝ සේරම විජේට විහිළු කරලා උඹ පියරු බබෙක්නේ. උඹ කොහොමද විශ්වවිද්‍යාල තරුණයෙක්ගේ චරිතය රඟපාන්නේ කියලා. ඔය විදිහට සිනමාවට ආපු තෙන්නෙ පසුව චිත්‍රපට ගණනාවක කැපී පෙනෙන චරිත කළා. එයා දැන් ලොකු ළමයෙක් , බඹරු ඇවිත්, කාංචනා, අනූපමා, සිහසුන, කරුමක්කාරයෝ , පාරදිගේ, සිසිල ගිනි ගනී, මාරුතය, සොල්දාදු උන්නැහේ, තරණය, සෙයිලම, විසිදැල, කිණිහිරියා මල්, සක්මන් මළුව, අම්මාවරුනේ, ස්වරූප, විසිඅට වැනි චිත්‍රපටවල තෙන්නේ රඟපෑවා. තෙන්නෙගේ රඟපෑම වෙනුවෙන් 1994 , 1997 වර්ෂවලදි විචාරක සම්මාන පිරිනැමුණා. සරසවිය සම්මාන දෙකක් ලැබිලා තියෙනවා. එයින් එක සම්මානයක් කුසලතා සම්මානයක්. සක්මන් මළුව වෙනුවෙන් ලැබුණේ. ඒත් මට නම් හිතෙන්නේ ඔහුට ලැබිය යුතුව තිබුණේ සහය නළුවා කියන සම්මානය. එහි තෙන්නේ කළේ ගුප්ත චරිතයක් . ඔහු ඒ චරිතය ඉතා සාර්ථකව කළා කියලා මට හිතෙනවා.
තෙන්නේ ටෙලි නාට්‍ය ගණනාවකත් රඟපෑවා. පළිඟු මැණිකේ , මිහිකතගේ දරුවෝ, කුමාරිහාමි, චරිත තුනක්, ඇල්ල ළඟ වලව්ව, දොළොස්මහේ ගංඟාව, රුපියල් සත, සන්සුන්ගම අන්දරය, අඳුකොළ, තාරාදේවි , දුර්ගාන්තය, දෙන්නා දෙමහල්ලෝ, සංක්‍රාන්ති සමය, දහස් ගව්දුර, වසුන්දරා, තට්ටු ගෙවල්, මහ ඇත් පවුර, ත්‍රීවිල් මල්ලි, සරෝජා, මෝසම් රැල්ල, කොලොම්පුරේ ශ්‍රියා, උඩු සුළඟ වැනි ටෙලිනාට්‍යවල රඟපෑවා. ත්‍රීවීල් මල්ලී සහ අංගාරේ ඉංගාරේ ටෙලි නාට්‍ය නිෂ්පාදනය කළේ තෙන්නේ. ඒ වගේම ස්වර්ණවාහිනි ආයතනයේ සේවය කරන කාලේ සක්දෙව් 2002 ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කළා.
දයා තෙන්නකෝන් කියන්නේ අපිට හිටපු දක්ෂ කලාකරුවෙක්. ඒ වගේම ඔහු සුන්දර මනුස්සයෙක්. අපි ගුවන් විදුලියේ වැඩ කරන කාලේ තෙන්නෙගේ හිතේ මම ගැන ආදරයක් තිබිලා තියෙනවා. ඒත් ඒක එයා මට පෙන්නුවේ නැහැ. ඒකට හේතුවක් තිබුණා. ඒ කාලේ යූ. ආරියවිමල් එක්ක මගේ සම්බන්ධයක් තිබුණා. මම ආරිව බැන්ඳා. ඒත් තෙන්නේ අපි ඔක්කොම යාළුවෝ වගෙ හරි විනෝදෙන් හිටියා. පසු කාලෙක ආරි ජීවිතෙන් සමුගත්තා. ඉන් කලකට පසුව තෙන්නෙයි මමයි විසිදැල චිත්‍රපටයේ රඟපෑවා. විසිදැල කරද්දී තෙන්නෙ මට පොඩි නත්තල් කාඩ් එකක් එවලා තිබුණා. ඔහුගේ කැමැත්ත ප්‍රකාශ කරලා තිබුණා ඒ කාඩ් එකේ. ඒ කාලේ අපි එකට ඉදගෙන තේ එකක්වත් බීලා තිබුණෙ නැහැ. ඒ නිසා ඒක දැන ගත්ත හැමෝටම පුදුම හිතුණා. විසිදැල රූගතකිරීම් අවසන් වූ දවසේ තමයි අපි දෙන්නා තීරණයකට ආවේ. ආරියි මමයි අවුරුදු දහයක් ආදරය කළා. ඉන් පස්සෙ විවාහ ජීවිතය අවුරුදු දහයක් ගතකළා. සම්පූර්ණ කාලය අවුරුදු විස්සක්. 1993 දී මම තෙන්නෙව බැන්ඳා. අපි අවුරුදු විසි අටක් කිසිම ප්‍රශ්ණයක් නැතුව සතුටින් විවාහ ජීවිතය ගතකළා.
දයා තෙන්නකෝන් විදිහට පිටතට පෙනුණු පුද්ගලයා නෙවෙයි ඇතුළාන්තයෙන් හිටියේ. ඊට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්. මාත් සමඟ විවාහ වූ පසු තෙන්නේ ගොඩාක් වෙනස් වුණා. එයා ඉගෙන ගෙන ඉවර වුණ කාලේ රස්සාවක් සොයා ගෙන කොළඹ ආපු කාලේ ඉදන් ජීවිතේ ගත කරල තිබුණේ බෝඩිං වල. මාත් සමඟ විවාහ වුණාට පසුව අපි අපේම ගෙදරක ජීවත් වුණා. අපි දෙන්නා බැන්ඳට පස්සේ එකට ගෙවපු කාලය තමයි තෙන්නේ සතුටින්ම හිටපු කාලේ. ඒයා ගාව අපූරු ගතිපැවතුම් තිබුණා. තෙන්නේ අලුතින් පොතක් ගෙනාවොත් මුලින්ම ඒක කියවන්න දෙන්නේ මට. දෙවනුව තමයි එයා කියවන්නේ. ඊට පස්සේ කරන්නේ අපි දෙන්නම එකතු වෙලා පොත ගැන කතා කරන එක. එයාට පිටපතක් ලැබුණත් ඒක මුලින්ම කියවන්න දෙන්නෙත් මට. මට පිටපතක් ලැබුණොත් එයා මුලින් කියවනවා. ඒක හොඳ නම් මට කියනවා ඒ චරිතේ භාර ගන්න කියලා. “සකුණ පියාපත්” ටෙලි නාට්‍යයේ පිටපත මුලින්ම එයා කියෙව්වා. ඒක ලස්සන ටෙලිනාට්‍යයක්. තෙන්නේ තමයි කිව්වේ ඒක මට භාර ගන්න කියලා. ඒ වෙලාවේ තෙන්නේ අසනීපෙන් හිටියේ. ඒත් එයා කිව්වේ මට ඒක බාර ගන්න කියලා.
තෙන්නේගේ අවසන් කාලයේ එයාගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. අපි දෙන්නා එකතු වෙලා චිත්‍රපටයක් කළා. ” සම අසම” ඒ චිත්‍රපටයේ නම. තෙන්නෙට ඕනකම තිබුණා ඒක කොහොම හරි තිරගත කරන්න. ඒත් තෙන්නේ ඊට කලින් අපිව දාල ගියා. අපි 2015 දී තමයි සම අසම රූගත කළේ. 2020 වනවිට අවසන් වැඩ ටික කරද්දී තෙන්නේ නැතිවුණා.
මම ගුවන් විදුලියේ ඉන්න කාලේ පත්තරේක පළවූ ලිපියක තිබූ කතාවක් තමයි මම සම අසම චිත්‍රපටය සඳහා පාදක කරගත්තේ. අපේ රටේ එකතරා අඳුරු කාලයක් තිබුණා. ලියුකේමියා රෝගයෙන් පීඩා විඳපු , දරුවන් නොමැති කෙනෙක් ගැන මා කියවූ පුවත්පතක ලියවී තිබුණා. මම ඒ කතාව ගුවන් විදුලි කතාමාලාවක් කරන්න හිතුවා. ඒත් ඒක ටිකක් අමාරු වැඩක් කියල හිතුන නිසා කළේ නැහැ. ඒ කතාව තමයි සම අසම චිත්‍රපටය සඳහා යොදා ගත්තේ. අම්මා කෙනෙකුගේ දරු සෙනෙහස ගැන තමයි ඒ චිත්‍රපටයේ කියවෙන්නේ.
තෙන්නෙට ඕන වෙලා තිබුණේ සම අසම චිත්‍රපටය ඉක්මනින් තිරගත කරන්න. ඒත් තෙන්නේ හදිසියේ අසනීප වුණා. රෝහල් ගත කරන්න සිදුවුණා. රෝහලේ සිටියදිත් එයා ඒ චිත්‍රපටය ගැන කල්පනා කළා. දවසක් එයා මට කොළේක කොටුවක් ඇදලා මගේ අතට දුන්නා. එයා ඒ කොටුවෙන් අදහස් කළේ සම අසම චිත්‍රපටය. ඒ නිසා මගේ එකම අරමුණ තෙන්නේ වෙනුවෙන් සම අසම කෙසේ හෝ තිරගත කරන එක. ඉදිරියේදී මා වටා ඉන්න මගේ හිතවතුන් එකතු කරගෙන මම එය කෙසේ හෝ ඉෂ්ට කරනවා. තෙන්නේ නැති වෙලා දෙවෙනි අවුරුද්දේදී මම අපේ චිත්‍රපටය කොළඹ තරංගනී සිනමා ශාලාවේදි තිරගත කළා. ඔහුගේ දෙවෙනි ගුණ සමරුව වෙනුවෙන්. ඒ සඳහා මට රවීන්ද්‍ර ගුරුගේ සහ දිනිඳු ජාගොඩ උදව් කළා.
පසුගිය 17 වෙනිදා තෙන්නේ වෙනුවෙන් ලියවුණු ගීතයක් මම සමාජ මාධ්‍යයට මුදා හැරියා. ඒක පිටිපස පොඩි කතාවක් තියෙනවා. තෙන්නේ ජීවත්ව සිටි කාලයේ සෙන්ට් ජාති මොනවත්ම පාවිච්චි කළේ නැහැ. එයත් එයාගේ මිතුරු කැළත් බොහෝම සරල විදිහට ජීවත් වුණේ. තෙන්නේ නැති වුණ වෙලාවේ එයාගේ මෘත දේහයට ඉහින්න කියලා ළඟ හිටපු කවුරු හරි මට සෙන්ට් කුප්පියක් අතට දුන්නා. ඒත් මම ඒක ප්‍රතික්ෂේප කළා. තෙන්නේ ජීවත්ව සිටියදී අකමැති දේවල් ඒ වෙලාවේ මම කරන එක හරි නැහැ කියලා මට හිතුණා. එතන හිටපු ලක්මාල් ධර්මරත්න ඒ සිදුවීම සම්බන්ධ කරගෙන රත්න ශශ්‍රී විජේසිංහයන් ලවා ගීතයක් රචනා කරවලා. ඒ ගීතය තමයි තෙන්නෙගේ පස්වන ගුණ සමරුව වෙනුවෙන් මම එළිදැක්වූයේ. එහි සංගීත අධ්‍යක්ෂණය කළේ සංගීතවේදි නවරත්න ගමගේ. ප්‍රවීණ ගායිකා ප්‍රදීපා ධර්මදාස ගීතය ගායනා කළා.
නොගල්වා විලවුන්
නොපෙන්වා හසරැල්
යන්න යයි ඔබ මගෙන් සමුගෙන කොහේදෝ
මේ අපේ අවසාන හමුවීම නොවේදෝ නෑ හිතවතුන් ඔබේ වතට එබෙමින්
සමුගන්නා විට සුවඳ පැන් ඉසමින්
බලා ඉමි මම මුවින් නොබැනම
නිහඬ වී පසෙකින්
කිසිදා ඔබ නොතැවරූ විලවුන්
රිදවනු කෙසේදෝ ඔබ ගතට ඉසිමින්
ඔබේ සුවඳ විතරක් තබායනු මැන නිදන ඇඳ පසෙකින්
තෙන්නේ වෙනුවෙන් කරන්න පුළුවන් හැමදෙයක්ම මම කරනවා. අපි දෙන්නා හරි සමඟියෙන් ජීවත් වුණා. එයා ගැන හිතනවාට වඩා තෙන්නේ මා ගැන හිතුවා. ඉතින් තෙන්නේ අපෙන් සමු අරගෙන පසුගිය අපේ‍්‍රල් 17 වෙනිදාට වසර පහක් ගත වෙනවා. දයා තෙන්නකෝන් නැමති දක්ෂ රංගවේදියා වෙනුවෙන් සරසවිය පුවත්පතේ මෙවැනි සටහනක් තබන්නට හැකිවීම ගැන මම සරසවියට ස්තූතිවන්ත වෙනවා.
නයනාංජලි දෙහිපිටිය
