වර්ෂ 2023 ක්වූ December 06 වැනිදා Wednesday
සංස්කරණයට හිතගියේ ගුවන් විදුලි මැදිරියෙන් චලෝ සංස්කරණය කරන චන්දන ලියනගේ

තිරය පිටුපස සිට නිර්මාණයක සාර්ථකත්වය වෙනුවෙන් වෙහෙසෙන්නා වූ බොහෝ පිරිසකි. නළු නිළියන් වනාහි ප්‍රේක්ෂකයන්ට පෙනෙන පිරිසක් වුවද නිෂ්පාදන කණ්ඩායමේ බහුතරයක් දෙනා එසේ වන්නේ නැත. බොහෝ අවස්ථාවන්වලදී ඔවුන්ගේ නාමය පමණක් තිරයේ දිස්වේ. තිරය පිටුපස සිට වෙහෙස වන නිර්මාණකරුවන්ගේ රුව ඔබ වෙත ගෙන ඒමේ උත්සාහයක සරසවිය සිනමා පුවත්පත නිරත වුණේ බොහෝ කලක සිටය. මේ එවැනි කලකරුවකු ඔබට හඳුන්වා දීමකි.
ඔබේ නම සඳහන් කළොත්?
මම චන්දන ලියනගේ.
වෘත්තීය?
මම සංස්කරණ ශිල්පියෙක්.
මේ දිනවල ඔබ සංස්කරණය කරන නාට්‍යයක් විකාශය වෙනවා?
ඔව්. එහි නම චලෝ. හසුන් සමීර තමයි එය අධ්‍යක්ෂණය කරන්නෙ.
මේ දිනවල ඔබ ඒ ටෙලිනාට්‍යය පමණද සංස්කරණය කරන්නෙ?
ඔව්. චලෝ විතරයි.
ඔබ ඔබේ ගමන ආරම්භ කළ අන්දම මතක් කළොත්?
මම මුලින්ම සහාය සංස්කරණ ශිල්පියෙක් විදිහට සිරස නාළිකාවෙන් තමයි මේ ගමන ආරම්භ කළේ. ඊට පෙර තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ ආයතනයේ කෝස් එකක් කළා. පස්සේ පොඩි පොඩි වැඩ සංස්කරණය කරන්නට පටන් ගත්තා. ඔහොම තමයි ගමන පටන් ගත්තෙ.
ඇයි ඔබ සංස්කරණය කියන විෂයය වෘත්තියක් විදිහට තෝරගත්තේ?
මගේ පියා වැඩ කළේ ගුවන් විදුලි සංස්ථාවේ. සමහර දවස්වල පියා මාව ඒ ආයතනයට එක්කගෙන යනවා. එතකොට මගේ හිත නතර වෙන්නේ සංස්කරණ මැදිරියෙ. මම එතැනට ගිහිල්ලා ඒ වැඩ වෙන්නෙ කොහොමද කියලා බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා. එතකොට තමයි මට හිතුණෙ මම ආස සහ මම ඉදිරියට යන්න ඕනේ ඒ අංශයෙන් කියන එක.
සහාය සංස්කරණ ශිල්පියෙක් විදියට ඔබ දායක වූ නිර්මාණ මතක් කළොත්?
නිසුකි මීඩියා ආයතනයෙ මම අවුරුදු තුනක් විතර වැඩ කළා. එතකොට ඕලු, මායා රංග වගේ නිර්මාණ ගණනාවක සහාය සංස්කරණ ශිල්පියා විදිහට වැඩ කරන්න මට පුළුවන් වුණා.
පළමුවෙන්ම තනිවම සංස්කරණය කළ නිර්මාණය මොකද්ද?
චාතූර්යා නාට්‍ය මාලාවේ තුන්වෙනි සීරිස් එකෙන් තමයි මම තනියම සංස්කරණය කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ හිරු දහසක් යට, යාල්දේවි, මීදුම් අම්මා, යකඩ පහන්තිර වගේ නාට්‍ය රැසක් තනිවම සංස්කරණය කළා.
චලෝ නාට්‍යයේ සංස්කරණය සඳහා ඔබ විශේෂ ආරක් පාවිච්චි කළාද ?
චලෝ කියලා කියන්නේ පාපන්දු හා සබැඳුණු කතාවක්නෙ. ඒ නිසා අපි සංස්කරණ කළේ ටිකක් ස්පීඩ් රිදම් එකකට. මං හිතනවා ඒක ප්‍රේක්ෂකයන්ට දැනෙනවා ඇති කියලා.
ඔබේ සංස්කරණ මැදිරිය පිහිටා ඇත්තේ කොහෙද?
වික්‍රමසිංහපුර බත්තරමුල්ල තමයි මගේ ආයතනය තියෙන්නෙ. ඒ වගේම මම දැනට ලංකාවේ ප්‍රධාන වෙළෙඳ දැන්වීම් නිෂ්පාදන ආයතනයක ප්‍රධාන සංස්කාරක විදිහට වැඩ කරනවා.
සංස්කරණ වෘත්තියේදි වුණු අමතක නොවන අත්දැකීමක් සඳහන් කරන්න?
එක්තරා අවස්ථාවකදී ජාතික රූපවාහිනියෙ මහනෙත් පාමුල කියලා විනාඩි එකහමාරක විතර ක්ලිප් වගයක් සංස්කරණය කරන්න මට ලබාදුන්නා. පළමු දවසෙ එය රූපගත කිරීම් කරලා අධ්‍යක්ෂ නිමල් ජයවීර මට රෂස් දීලා කිව්වා මේක සංස්කරණය කරන්න කියලා. මම ඇහැව්වා මේක කරන්න ඕනේ කොහොමද, මොකක්ද රිදම් එක කියලා. ඒත් ඔවුන් කිව්වේ ඔයා මේකෙ රෂස් ටික බලලා ඔයාගෙම ටේස්ට් එකකට වැඩේ කරන්න කියලා. දෙපාරක් තුන් පාරක් මට ලැබුණේම අර පිළිතුරමයි. ඉතින් මම මගේ ටේස්ට් එකට ඒ වැඩේ සංස්කරණය කළා. ඔන්න අර වැඩේ ෆයිනල් කරන්න පෙර ඩිරෙක්ටර් ප්‍රිවිව් එකක් තියෙනවනේ. අන්න එදා මම මගේ පුටුවෙ වාඩිවෙලා ඒ වීඩියෝ ටික පෙන්නන්න පටන් ගත්තා. මම දැන් කල්පනා කරමින් ඉන්නවා මේගොල්ලන් මොනවගේ රිඇක්ෂන් එකක් දෙයිද කියලා. ටිකක් වෙලා ගියාට පස්සෙ තේරෙනව කෙනෙක් මගේ උරහිසට අත තිබ්බා. ඒ අත තිබිල්ල මට හොඳට දැනුණා. මම හැරිලා බලද්දී අධ්‍යක්ෂවරයා. ඔහු මම ඒ සංස්කරණය කරපු විදිහට බොහොම සන්තෝසෙට පත්වෙලා.
මොනවද ඔබේ ඉදිරි අරමුණු?
ඉදිරියට මම සංස්කරණය පිළිබඳ තවත් හදාරන්න තමයි අපේක්ෂා කරන්නේ.