වර්ෂ 2023 ක්වූ September 26 වැනිදා Tuesday
විහිළු කළාට තාත්තා සැර නැත්තේ නැහැ

- තාත්තා පුවත්පත්වලට ලිවීමේ පුරුද්ද අමතක කළේම නැහැ
- අපේ තාත්තා ගැන අදටත් තියෙන්නෙ ලොකු ගෞරවයක්... ආඩම්බරයක්...
- වගකීම් අකුරටම ඉටු කරපු තාත්තා කෙනෙක්
- අපේ තාත්තා චිත්‍රපට සියයක පමණ රඟපෑවා
“අපේ තාත්තා ගැන අදටත් තියෙන්නෙ ලොකු ගෞරවයක්... ආඩම්බරයක්... තමන්ගෙ දරු පවුල ආරක්ෂා කරමින් වගකීම් ඉටුකරමින් අපේ තාත්තා අපට ගොඩක් ආදරයෙන් සිටියා...”
සකල ලෝ වාසීන්ගේ සිනහව උදෙසාම සිය ජීවිතය ම කැපකරමින් මතුපිටින්ම නොව හදවතින්ම සිනාසෙන්නට මඟ කියාදුන්නේ ඔහු යැයි කිවහොත් එය වඩාත් නිවැරැදි ය..
දුරාතීතයේ සිටම ගුවන් විදුලියෙන් අප යුගසවන්පත් අතරට සමීප වූ කොයි කාගේත් හදවත්හි අදටත් ඔහු පිළිබඳ ඇත්තේ නිම්හිම් නොවනා උදාර වූ ආදරණීය හැඟීමකි.. ඔව්...ඔහු හඳුනාගන්නැයි මම ඔබට ආරාධනය කරන්නෙමි.. හාස්‍ය රසයෙන් අනූන ‘විමෝද සමය’ තුළින් ඇනස්ලි ..සැමුවෙල් ..බර්ටි යුග පුරුෂයන් අතර බර්ටි ගුණතිලක නම් රසවතාණෝ මෙවර අපේ සොඳුරු කතා නායකයාය...එතුමාගේ දියණියක වන ජීවානි ගුණතිලක මහත්මිය සරසවිය සමඟ සුහද පිළිසඳරකට එක්වෙමින් දැන් මා ඉදිරියේය....
ඕ තොමෝ මුවපුරා පිරුණු ආදරණීය සිනහවකින් අප සමඟ එක්වුණාය ...
මෙස්ටියගේ දොන් බර්ටි සංඝතිස්ස ගුණතිලක ඔහුගේ උප්පැන්නයේ නමය...මහනුවර අම්පිටියේ ජන්ම ලාභය ලැබූ ඔහුගේ උපන්දිනය 1924 ක්වූ අගෝස්තුවේ 02 වැනිදා ය. අපේ සොඳුරු කතා නායකයාගේ පියාණන් වූයේ මෙස්ටියගේ දොන් හෙන්රි ගුණතිලක ය...වාද්දුවේ උපන්නකු වූ හෙන්රි එවක වතු පාලකයකු වූයේය.. යුක්තිය හා සාධාරණය වෙනුවෙන් අභීතව හඬ නැඟූ එඩිතර පුද්ගලයකු ලෙසින්ද හෙතෙම එකල පරසිදුව සිටියේය... සංගීත ලෝලියකු සේම ලේඛන කලාවටද රුසියකු වූ අපේ බර්ටිගේ පියාණන් චතුර ලෙස ඉංග්‍රීසි බස කතාකළ අයකු ලෙසින් ද ප්රකටය...විමෝදකාමියෙකි.
විල් ආරච්චිගේ මියුරියල් පෙරේරා ඔහුගේ මෑණියන්ය...ඕ උසස් කුලවත් මාතාවක් වූ අතර බොදු දහමට අනුවම දිවිගෙවූ නිවුණු සිතකින් හෙබි තැනැත්තියකි....එම දෙපළට දූ පුතුන් සත් දෙනෙකි...ලයනල්...හේසල්...කොලින්...මේබල් පද්මිණී ...ජූන් කුමුදිනී .. සහ අයලින් යන අය අතර අපේ බර්ටි මින් දෙවැන්නා ය..
මම ජීවානි දෙස බලමි...ඈ සුපුරුදු ප්‍රසන්න සිනාවතිනි.
“අපේ තාත්තා කුඩාවියේදි හරි දඟකාරයිලු...තාත්තා ව හදාවඩාගන්නට ආසාවෙන් තාත්තාගෙ ආච්චි බාර අරන් තියෙනවනෙ..ඒ ගම්පොල මහර පැත්තෙ..එහේ පෙර පාසලකට මුලින්ම තාත්තා ගිහින් තියෙනවා..”
ජීවානී සිනාසෙන්නීය..
තම නැන්දණියගේ ලොකු දුවගේ අතෙක දැවටී ගත් ගමනින් පෙර පාසලට යන අපේ බර්ටි හිටිඅඩියේම නවතින්නේය..පැණි රස කෑමට ගිජු හෙතෙම බොම්බයි මොටයි...සීනි හකුරු...සීනි කඩල දුටු ගමන් බිම පෙරළී හඬන්ට වන්නේ ඒවා අරන් දෙන ලෙසට බලකරමිනි.. සමහරදාට පෙර පාසල් යන්නේද ඒවා තමන්ට අරන් දෙන බවට පොරොන්දු කරවාගෙනමය..දඟකාරකම් අඩු නැති බර්ටි ආච්චිගේ වේවැල් කසායට හසුවූ අවස්ථා ද බොහෝ ය..ඔහුගේ ළමාවිය අතිශය සුන්දර යැයි යටගිය පුවත් ඇසෙන කල මට සිතේ...
ළදරු වියෙන් පසු අපේ පුංචි බර්ටි පැමිණියේ අම්පිටියේ විදුහලටය...ඉගෙනුමටද දක්ෂයෙකි..
“තාත්තාගෙ මාමා කෙනෙක් උන්නා...ඒ මාමා පැවිදි වෙලා හිටියෙ...තාත්තා ව පන්සලට බාර කර තියෙනවා..එහිදී පාලි..සංස්කෘත ආදී භාෂා තාත්තා හොඳීන් ඉගෙන තියෙනවා...ඒ හාමුදුරුවො තමයි මහනුවර සංඝරාජ පරිවෙනාධිපති රාජකීය පණ්ඩිත මාබෝපිටියේ මේධාලංකාර හිමියන්... ප්‍රාචීන විභාගයත් තාත්තා සමත් වුණා..දවසක් අපේ තාත්තාගෙ කේන්දරේ බලපු ඒ හාමුදුරුවො කියල තියෙනව මෙයා අනාගතයෙදි කෝලම් කාරයෙක් වෙනවා...වෙනවාමයි කියලා...තාත්තා පාසල් යද්දිත් තාත්තා රංගනයට විහිළු චරිතවලට දක්ෂයි කියල ගුරුවරු පවා පිළිගෙන තිබුණා ..”
පාසලේ දී ඔහුට ලැබුණේ කතා නොකර රඟපෑමේ චරිතයකි..ඒ පුංචි අන්දරේගේ චරිතයයි..
“ගොනා වගේ ඉඳල හොඳට රඟපාලා පුළුවන් නම් මිනිස්සු හිනස්සන්න..”
ගුරුවරු කියා සිටියහ..කුලප්පු වූ
ගොනාගේ රංගනය වැඩිදුර ගියේය..නාට්‍යයේ කටයුතු අවුලකට මෙනි..ගුරුවරු ඔහු ඇද තිරය පිටුපසට දැම්මේය.
අඳෝමෙකි..නැවත නරඹන්නන් අතරට වැදී කුලප්පු වූ ගොනා කිහිප දෙනකුටද ඔළුවෙන් ඇන අන්තිමට ආරාධිත අමුත්තන්ටද හිසෙන් ඇනීමෙන් වහා ගුරුවරු ඔහු අල්ලා තබා ගත්හ..
සැවොම ප්‍රීතියෙන් පිනා ගියද බර්ටිගේ හිතේ ඇතිවූයේ දඬුවමට බියකි.. වූයේ වෙනකකි. ප්‍රධාන අමුත්තාගේ අනුමැතියෙන් අපේ බර්ටි අතට පිරිනැමුණේ රිදී පදක්කමකි.
“අනේ අමල්..ඒක අපෙ තාත්තාට ජීවිතයේ සදා සිහිවටනයක්ම වුණා..”
ජීවානී කියන්නීය...
අපේ ආදරණීය කතා නායකයා වෙදකමට දැක්වූයේ ඉමහත් ඕනෑකමකි.. ඒ වෙනුවෙන් ඔහු බුලත්සිංහල වෙද මාමාට බාර කෙරිණි ...වෙද මහතා නැති වේලාවට දුප්පත් ලෙඩුන් ට නොමිලේ තෙල් බෙහෙත් දෙන්නට වීමෙන් වෙස්සන්තර පුතා කියා නමක්ද පටබැඳුණේය..කෝපය ඇවිස්සී ගිය මාමා තරවටු කළෙන් රහසේම ගෙදර බලා ගියේය..
පසුව ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වුවද එහි ශිෂ්‍ය අරගලයක් හේතුවෙන් ඉන් ඉවත්ව ගියේය..
“ඉන් පස්සෙ තමයි අපෙ තාත්තා ගුරු පත්වීමක් ලබා කුලියාපිටිය ගල්පොල විද්‍යාලයේ ඉගැන්වූයේ...පස්සෙ එතනින් ඉවත්වුණා..වත්තල පැත්තෙ පරණ පොත් හලක් පටන් ගත්තා ...ඒකත් අතහැරල දාල තාත්තා මැණික් පතල් කර්මාන්තයේ නිරත වුණා..හැබැයි...අපෙ තාත්තා ළඟ තිබුණු පුවත්පත්වලට ලිවීමේ පුරුද්ද නම් අමතක කළේම නැහැ..”
එසේ කීවේ අපේ ජීවානිය..
පසුකාලීනව සිංහල බෞද්ධයා...සිංහලේ...සිංහල ජාතිය..ලංකාදිප සේවය කළ හෙතෙම 1953දී ලේක්හවුස් ආයතනයට එක්වූයේය..වසර 12 ක සේවයෙන් ඔහු ඉන් ඉවත්ව ගියේ වෘත්තීය සමිති අරගලයක් හේතුවෙනි..
“ඉන්පස්සෙ අපෙ තාත්තා කලා කටයුතුවලට යොමු වුණා...පූර්ණකාලීනව කලා කටයුතුවල නිරත වුණා...
තාත්තාගෙ නමත් ටික ටික ප්‍රසිද්ධ වුණා...”
ගුවන් විදුලියේ ජෝශප් සෙනෙවිරත්න ඇතුළු පිරිසක් හා එක්ව අපේ කතා නායකයා ‘විහිළු තහළු’ විකට වැඩ සටහනක් ආරම්භ කළහ.. එය සිංහල අංශයේ ප්‍රධානියා වූ තේවිස් ගුරුගේ මහතාගේ ඇරයුමෙනි. එච්. ඩී විජේදාස මහතාගේ මේ වැඩසටහන ශ්‍රී ලංකා ගුවන් විදුලි ඉතිහාසයේ පෙරළිකාර අවස්ථාවක්ම විය...ඇනස්ලි ..බර්ටි...සැමුවෙල් ...එච්.ටී බස්නායක....එච්.ඩී වීරසිරි..ධර්ම ශ්‍රී මුණසිංහ ඇතුළු පිරිස අතර රුක්මණී දේවියද සිටි බව කියැවේ..
මුල් කලදී මසකට පෑ බාගයක ගුවන් කාලයක් වෙන්වූ අතර වර්තමානයේ තේවිස් ගුරුගේ මැදිරිය හෙවත් 6 වැනි මැදිරියේදී සජීවී රංගනයෙන් දෙබස් කථනයෙන්
මෙය ඉදිරිපත් කෙරිණි ..
ජීවානිගේ මුවඟ සිනාවකි.
“දවසක් විදුර වික්‍රමනායක ඇමැතිතුමා තාත්තා ව බලන්න ඇවිත් ඒ වැඩ සටහනේ තේමා වාදනය කටින් කරල පෙන්නුව හැටි දැන් මට මතක් වුණා.. ඒකයි හිනා ගියේ..”
“ඇල්ෆ්‍රඩ් පෙරේරා මහත්තයා එහි කථනය කළානෙ...කතාව ලියන්නේ මේ තුන්දෙනාම එකතු වෙලා...අඩුපාඩු අදහස් සාකච්ඡා කරමින් පිටපත ලියුවේ..ආ..මේ අහන්නකො අමල්...මේ විකට වැඩ සටහනේ තේමා වාදනය කළේ ගුවන් විදුලියේ එම්.ආරියදාස ...ඩී.ඩී.ඩැනී..එඩ්ගා පෙරේරා කියන සංගීතඥයන්...
එදා ගුවන් විදුලියක් හැම ගෙදරකම තිබුණේද නැති..මේ විහිළු තහළු අසන්නට එදා ශ්රාවකයා ගුවන් විදුලියක් ඇති නිවසකට එක්ව රොදබැඳ සිටි අයුරු ද මටද මෙහිදී සිහියට නැගේ..එදා ගුවන් විදුලි සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල්වරයා වූයේ එම්. ජේ. පෙරේරා මහතාය.. එම තනතුරට පත්වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයාද ඔහුය..
ප්‍රථම වරට මෙම විහිළු..තහළු වැඩ සටහන ගුවන් විදුලියේ ස්වදේශීය සේවය ඔස්සේ විකාශය වූයේ 1952 සැප්තැම්බර් මස 15 දාය..ඉතා කෙටි කලකින් මීට හදවතින්ම වසඟ වූ ශ්‍රාවකයන් එම වැඩසටහන පුල පුලා බලා සිටි අන්දමද සුළුකොට තැකිය හැකි නොවේ..
“මේ ටික කියන්නම ඕනා..එදා සමාජයේ දේශපාලන ආදී තැන්වල සමහර දේවල් මේ වැඩසටහනින් උපහාසයට ලක්වුණා..එය පාලකයන්ට රිස්සුවේ නැතිලු..1959 දී එය වාරණයට ලක්වුණා..”
ජීවානී කියන්නීය..
කාලයකට විහිළු තහළු නොඇසිණි..ඒ ගැන තැවුණු සිතකින් පසුවූ තේවිස් ගුරුගේ මහතා අලුත් යමක් කරන්නැයි ඇල්ෆ්‍රඩ් පෙරේරා ට පැවරුවේය..
ඒ අනුව යමින් ‘විමෝද සමය’ බිහිවිණි..එය පෙරටත් වඩා ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නැංගේය..
“පස්සෙ මේ විමෝද සමය නරඹනන්ටත් ඉඩකඩ සැලසුණා.. සීමිත පිරිසකට..”
මේ ත්‍රිත්වය අතරට ස්වර්ණ ශ්‍රී සරත්වීර...එක්වූ අතර වරින්වර ඇනස්ලිගේ බිරිඳ නොයෙලින්ද සැමුවෙල් ගේ බිරිඳ ලිලියන්ද විමෝද සමයේ රංගනයට හවුල් වී 1983 දී මර්සි එදිරිසිංහ මෙහි රංගනයට එක්වූවාය.
අපේ සොඳුරු කතා නායකයා ගැන දැන් නොදන්නා කෙනෙක් නැත..ගිය ගිය තැන්හි ඔහුට පාඩුවේ ඉන්නටද ඉඩක් නැත..මේ දවසකදීය හෙතෙම ගොඩකවෙල..ඇමටියගොඩ විදුහලේ උත්සවයකට ආරාධිතයකු ලෙසින් පැමිණියේය..
වලව් පැලැන්තියට හිමිකම් කියනා අපේ බර්ටි ට සෝමා හමුවූයේ මෙහිදීය. සෝමා වෘත්තීයෙන් එම පාසලේ ගුරුවරියකි.. ඕ තොමෝ ඇමටියගොඩ අලහකෝන් මුදියන්සේලාගේ සෝමා ගුණතිලක මහත්මිය ය..මාතර කටුවන ඕලන්ද කොටුව බිඳ සිංහ ධජය එසැවූ සෙන්පතියකු වූ ගුණතිලක අලහකෝන් මුදියන්සේලාගේ සෙනරත් බණ්ඩාර ඇයගේ මුත්තාය.
දෛවෝපගතව හමුවූ සෝමා සමඟ ඇසුරකින් විවාහවන්නට තීරණය කළද අපේ බර්ටි විහිළුකාරයකු නිසාම ඇයගේ මවුපියෝ මුලදී එතරම් කැමැත්තක් නොදැක්වුහ..පසුව අපේ බර්ටි ගැන පැහැදුණහ.. සැමදෙනාගේම ආශීර්වාදය මැද 1959 අගෝස්තු මස 28 වැනිදා අපේ ආදරණීය බර්ටිගේ ජීවන සහකාරිය වූයේ ඇයමය..ඇය සැබැවින්ම ඔහුගේ කලා ජීවිතයට මෙන්ම ජීවන ගමනටද මහත් ශක්තියක් ම වූවාය...
අපේ බර්ටි හා සෝමා යුවළගේ පළමු දරුවා භාරත ගුණතිලක ය..දෙවැන්නා හර්ෂ ය.. තෙවැන්නිය මා සමග සුහද පිළිසඳරේ පසුවන දියණිය ජිවානි ය.. බාලම දියණිය කුමුදිනී ය..
“අපේ තාත්තා විකට චිත්‍රපට සියයක පමණ රඟපෑවා.. ලංකාවේ මුල්ම චිත්‍රපටය බණ්ඩා නගරයට පැමිණීම චිත්‍රපටයේත් තාත්තා රඟපෑවා...වේදිකා නාට්‍යවලත් රඟපෑවා..අවුරුදු 90 දිත් තාත්තා රඟපෑවා ..හිමි නමකගේ චරිතයක්..ඇත්තමයි අපෙ අම්මා අපෙ තාත්තාගෙ හැම දෙයකදිම ළඟින්ම සිටියා..හරිම කරුණාවන්තයි..නාට්‍ය අත් පිටපත් ලියා දෙනවා..ලොකුම සවියක් වුණා තාත්තා ට අපෙ අම්මාව....සැමුවෙල් අන්කල්ගෙ මෝනත් සහය දෙනවා..තාත්තා රටවල් ගණනාවකට ගියා..විමෝද සමයත් එක්ක...”
“අනේ නැහැ..තාත්තා ගෙදරදි එහෙම විහිළු නැහැ...”මා විමසූ පැනයකට පිළිතුරු දුන් ජීවානි...
“තාත්තා සැර නැත්තෙත් නැහැ..යහළුවෝ ගොඩක් උන්නා..තමන්ට කරගන්න අපහසු වැඩක් තාත්තා එක්ක ගියොත් පුළුවන් නිසාදෝ යාලුවො තාත්තා ව එක්කගෙන යනවා...ඒ වගේමයි..අනුනට උදවු කරන්න හරිම කැමතියි..
ම්..ම්..තාත්තා දුම්වැටියට මත්පැනට ඇබ්බැහි වී නම් සිටියේම නැහැ..බිව්වත් කාටවත් තේරෙන්නෙත් නැති ගානයි. අනේ තාත්තා ගෙදර ඉන්නකොට කෑම ජාති හදනවා..හොඳට උයන්න දන්නවා..හැම තිස්සේ ම අපට කිව්වෙම හොඳට ඉගෙන ගන්න කියලමයි..”
අපේ ආදරණීය කතා නායකයා තම බිරිඳ අමතන්නේ සෝමා නමිනි. ඇයට ඔහු මහත්තයා ය..පිනට දහමට වඩාත් කැමැත්තක් දැක්වූ හේ තම බිරිඳගේ පාසලේ පන්තියේ අසරණ ළමුන් ගැන දැනගතහොත් වහා ඒ දරුවනට ඇවැසි දේ ලබාදෙන්නට මුල් වන්නේය..
“අම්මාත් ගෙදරදි දරුවන්ට උගන්වනවා ..සතයක් අරගෙන නැහැ..
ඔව්..ගැමුණු විජේසූරිය..ධර්ම ශ්‍රී මුණසිංහ අන්කල් එක්ක ළඟම යාළුකම් තිබුණා ..එයාලා ඒ කාලෙ නිතර අපේ ගෙදර එනවා..යනවා..
දරුවන්ගෙ විවාහ මංගල කටයුතුවලදි පත්තර වලට දාලා සොයා බලා කරල දුන්නෙ..ගොඩාක් අයට තාත්තා අත දුන්නා...පස්සෙ ඒ ගැන සතුටු වෙනවා..”
සිය පියාණන්ගේ යටගියාව පිළිබඳ වරෙක කල්පනා කරමින්..මුවපුරා හිනැහෙමින් අපේ ආදරණීය ජීවානි කතා කරන්නීය...
වරෙක ඈ බිඳුණු ස්වරයෙන් කතා කරන්නී..
තම පියාණන් ගැනම උපන් සංවේගයකින් ඕ පසුවන්නී යැයි මට සිතේ..
ඇය නෙත කඳුළක් වරෙක මට රහසේම වසන් කරගන්නීය...
“අපේ තාත්තා ගැන අපට ආඩම්බරයි”
ජීවානී...සෙමින් කියන්නීය.
අපේ ආදරණීය බර්ටි දැන් දැන් ළඟ ළඟ රෝගාතුර වන්නේය...රූධිරයේ සීනි ප්‍රමාණය එහා මෙහා වෙයි..
වෛද්‍යවරුන් උපදෙස් දෙති.
“අනේ අපේ තාත්තා කවදාවත් පරිස්සම් වෙන්න ඕන කියලවත් හිතුවාද මන්දා..හිතෙන දෙයක් කෑමට ගන්නවා..
ඒ වුණාට ඇනස්ලි අන්කල් සැමුවෙල් අන්කල් එහෙම කෑම බීම ගැන සැලකිලිමත් වුණා..පරිස්සම් වුණා..අපෙ තාත්තා ළඟ ඒ පරිස්සම තිබුණෙ නැහැ..ඒ හින්දා දියවැඩියාව වැඩිවුණා..කිහිප වරක්ම අමාරු වෙලා තාත්තා ව රෝහලට ඇතුළත් කළා...
කොරෝනා කාලයේ තමයි තාත්තා ට අමාරු තිබුණෙ.
කොරෝනාවට ගහගන්න බල කරපු පළමුවැනි ඉන්ජෙක්ෂන් එක ගැහැව්වා ..දෙවැනි ඉන්ජෙක්ෂන් එකින් පස්සෙ තාත්තාට අමාරු වුණා අසනීප වුණා...
පස්සෙ රෝහලට ඇතුළත් කළා..වාට්ටුවට ගෙනාපු. ඒ වෙලාවෙ පටන් අපි යමු ගෙදර කිය කිය බල කරනවා..කෝ වාහනය කා ළඟද..යතුර දුවේ කෝ කා ළඟද... අහනවා..අහනවා..
මාව ගෙදරට එක්ක යන්න දුවට පුළුවන් නේද කියල අහනවා..පාර දන්නවද අහනවා..මම පාර තොට ගැන එහෙමට දන්නෙ නැහැනෙ..
අයියලා නංගිල හැමෝම තාත්තා ව බලාගත්තා..
භාරත අයියා තාත්තා ළඟ උන්නෙ. අයියාට විවේකයත් අඩුයිනෙ..
අපෙ අම්මා නැතිවුණේ 93 වසරේ දි..
ඒ දුක තාත්තා අපට නොපෙන්වා තනිවම දරාගත්තා කියල මට හිතෙනවා..
අම්මාගෙ අඩුව නොදැනෙන්න තාත්තා උපරිමයෙන් අප වෙනුවෙන් හැමදේම කළා..අපව ආරක්ෂා කළා..හොඳට බලාගත්තා ..වගකීම් අකුරටම ඉටු කරපු තාත්තා කෙනෙක්...”
ජීවානිගේ කටහඬ බිඳුණු බවකි..
“තාත්තා වතුර ඉල්ලුවා..හෘද ස්පන්දන යන්ත්‍රය නැවතුණා.. ළඟ හිටිය මිනිස්සු කෑ ගැහුවා අන්න..අන්න මැෂින් එක නැවතිලා කියලා..
ඒ එක්කම..අපේ තාත්තා ...අපෙ තාත්තා ..අපි හැමෝම දාල යන්නම ගිහින්...”
ජීවානී බිම බලාගත්වනමය ..
එවකට මා සේවය කළ සිළුමිණ පුවත්පතේ රසඳුන කර්තෘවරයාගේ ඉල්ලීමකට අනුව එදා වියපත්ව පසුවූ අපේ සොඳුරු කතා නායකයා බැහැදැක රසඳුනට ලියන්නට ගොඩකවෙල නිවසට ගියේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී දමිත් කුමාරගේ ද සමඟිනි..ඒ 2013 දී පමණ ය.
සැරයටි වාරුවෙන් පැමිණි අන්දම මට මැවී පෙනෙයි. එතුමා මා සමීපයේම අසුන් ගත්තේ දියණිය ජීවානීගේද උදව්වෙනි .
බොහෝ දේ මතකයෙන් අහුල අහුලා කතා කළ ඔහු අන්තිමට මට කීයේ
“මං අඬන්න බැරිකමට හිනාවෙනවා..” කියාය..
රටක් හිනැස්සූ....උපහාසය..
විවිධ සම්මානයෙන්ගෙන් පිදුමට බඳුන් වූ අපේ ආදරණීය බර්ටි ගුණතිලක රසවතාණෝ .. අවුරුදු 97ක් ආයු වින්දනය කැරෙමින් සියල්ලනගෙන් සමුගෙන නිහඬවම නික්මන් ගමන් ගියේ 2022 ක්වූ මාර්තු මස 06 වනදාය..
සේයාරූ - පාලිත ශ්‍රී ලාල් ආටිගල