වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
දොළහේ කණිසමට පෙර නික්ම ගිය සින්ඩරෙල්ලාගේ හදගත් සිනමා පෙම්වතුන්

නීල් කමල් මධුබාලාගේ නිළි වෘත්තියේ හැරවුම් ලක්ෂ්‍යයක් විය
ඇය මරණය ගැන නොව ජීවිතය ගැන බලාපොරොත්තු තබා ගත්තාය
පහනේ දැල්ල දීප්තිමත් ය. පහනක් ඇති තැන අඳුරක් ද නැත. කවුරුත් බලන්නේ පහනේ දීප්තිමත් දැල්ල දෙස ය. කිසිවකුටත් පහනේ මුල අඳුරු බව නො පෙනෙයි. අදට ද ඇය බොලිවුඩ් තිරයේ පමණක් නොව ලොවට ම දීප්තිමත්ව දැල්වෙන පහන් දැල්ලක් බඳුය. භාරත සිනමාවේ වීනස් දෙව් දුව යන නම මුම්ටාස් ජෙහාන් බෙගම් දෙලාමි හෙවත් මධුබාලාට ලැබී ඇත්තේ ද එනිසා ය. එහෙත් උපතේ සිට මරණය දක්වා ඇය ගේ ජීවිතය නම් පහන් දැල්ල ලොවක් දීප්තිමත් කළේ අඳුරේ සැඟවීලා ය. අවසන ඇය අඳුරේම ගිලී නො පෙනී ගියා ය.
ජීවිතයේ සුන්දරත්වය අත්දකින්නට වඩා අනුන් ගේ ජීවිත සුන්දර කිරීමට ඇයට සිදුවිය. බොහෝ තාරකාවන්ට සේම මුම්ටාස් ජෙහාන් බෙගම් දෙලාමිටත් අත් වූයේ පවුල් බර ළමා වියේදී ම කරට ගන්නා ඉරණමට මුහුණ දීමට ය.
භාරතය ඉන්දියාවේ යටත් විජිතයක්ව පැවති යුගයේ දිළිඳු පතන් මුස්ලිම් පවුලක 1933 වැලන්ටයින් දිනයේ උපන් මුම්ටාස් ජෙහාන් බෙගම් දෙලාමි දියණියන් සත් දෙනකුගෙන් යුතු පවුලක පස්වැනි දියණිය ය. මුම්ටාස්ට සොයුරන් සිව් දෙනෙක් ද සිටියහ. ළදරු වියේදීම මුම්ටාස් ගේ සොයුරු සොයුරියන් සිව් දෙනකුවත් මිය ගොස් තිබිණි. වැලේ ගෙඩි වැලට බර නැති බව පැවසුව ද මව අයේෂා බෙගම්ට සහ පියා අතවුල්ලාහ් ඛාන්ට වැලේ ගෙඩිවල බර හොඳීන් දැනිණි. අතවුල්ලාහ් දුම්කොළ සමාගමක සේවය කරමින් පවුලේ බර සැහැල්ලු කිරීමට උත්සාහ ගත්තේ ය. පියා දැඩි මුස්ලිම් මතධාරියකු වූ නිසා මුම්ටාස්වත් සහීඩා හැර අනෙක් සොයුරියන්ටවත් කිසිදා පාසල් ගොස් අධ්‍යාපනය ලැබීමට නො හැකි විය. එහෙත් මුම්ටාස්ට උර්දු, හින්දි සහ පතන්වරුන් ගේ භාෂාව වන පැෂ්තො භාෂාව පියාගෙන් හොඳීන් ඉගෙන ගැනීමට හැකිවිය.
හය හතර තේරෙන කාලයේ සිට මුම්ටාස් සිනමාවට උමතුවී සිටියාය. ඒ උමතුව කෙතරම් ද කිවහොත් ඇය නරඹන සිනමා පටයේ ජවනිකාව මව ඉදිරියේ රඟපා පෙන්වූවා ය. නර්තනයේ යෙදුණා ය. මුම්ටාස්ට අවශ්‍ය වූයේ සිනමා තාරකාවක වීම වුවත් දැඩි මතධාරී පියා ඊට තදින් ම එරෙහි විය. එහෙත් අතවුල්ලාහ්ට සිය අදහස් වෙනස් කිරීමට සිදුවූයේ ප්‍රධානියා සමඟ දබර වීමෙන් රැකියාව අහිමි වීමේ හේතුවෙනි. මුම්ටාස් ගේ හැකියාවන් ගැන දැනගෙන සිටි නිසා ඉන්දියානු ගුවන් විදුලි සංස්ථාවට (එවකට ඕල් ඉන්ඩියා රේඩියෝ ලෙස හැඳීන්වූ අතර දැන් එය ආකාෂ්වානි ලෙස හඳුන්වයි.) ළමා ගායිකාවක වශයෙන් සම්බන්ධ වූවාය. සත් හැවිරිදි මුම්ටාස් මාස ගණනක් එහි සේවය කරද්දී බොම්බේ ටෝකීස්හි සාමාන්‍යාධිකාරී රායි බහදූර් චුන්නිලාල් මුණ ගැසිණි. ඔහු මුම්ටාස් පියා සමඟ බොම්බේ යවන ලද්දේ කුඩා දැරිය ගේ රංගන, ගායන හැකියාව ගැන පැහැදීමක් ඇතිවූ බැවිනි.
බොම්බායට ඛාන් පවුල පැමිණියේ කුඩා මුම්ටාස්ගෙන් පවුලේ ආර්ථිකය සවිමත් කර ගැනීමට ය. 1941 දී බොම්බේ පැමිණි ඔවුන්ට නවාතැන් ගැනීමට සිදුවූයේ ගව ගාලක ය. බොම්බේ ටෝකීස්වලදී චුන්නිලාල් ගේ උපකාරයෙන් බසන්ත් (ඕචඵචදබ -1942) සිනමාපටයේ ළමා චරිතයක් නිරූපණය කිරීමේ අවස්ථාව ඇයට ලැබිණි. ඒ සඳහා ඉන්දියානු රුපියල් 150 ක මුදලක් ද ලැබිණි. සිනමා පටය වාණිජ වශයෙන් අතිසාර්ථක විය. මුම්ටාස් ගේ රංගනය අගය කෙරුණත් බොම්බේ ටෝකීස් සමඟ ඇති කරගෙන තිබුණු ගිවිසුම අවලංගු වූයේ එවකට සිනමා පටවලට ළමා නිළියන් අවශ්‍යව නො තිබුණු බැවිනි. මෙයින් සිත් තැවුලට පත් ඛාන් නැවතත් දරු පවුල සමඟ දිල්ලි බලා ගියේය. සුළු සුළු රැකියාවල් ගණනාවක් කළ ද එදා වේල පිරිමසා ගැනීමට තරම්වත් මුදලක් නො ලැබුණ බැවින් ඔහු නැවතත් අඹු දරුවන් සමඟ බොම්බේ පැමිණියේ ස්ථිරව ම එහි පදිංචි වීමට ය. 1944 දී බොම්බේ ටෝකීස් සිනමා සමාගමේ ප්‍රධානී හා නිර්මාතෘ දේවිකා රාණි මුම්ටාස් ට ජ්වාර් භාතා (බ්ඹචප ඕඩචබච -1944) සිනමා පටයේ රඟපෑමට චරිතයක් ලබා දුන්නත් ඇයට ඊට අවස්ථාවක් ලැබුණේ නැත. එසේ රඟපෑමට ලැබුණා නම් ඇයට දිලිප් කුමාර් මුල්වරට හමුවන්නේ ජ්වාර් භාතා දර්ශන තලයේදී ය. දේවිකා රාණි මුම්ටාස් ගේ බසන්ත් රංගනය දැක පැහැදී සිටි අතර සිනමාවට මුම්ටාස්ව මධුබාලා ලෙසින් නම් කිරීමේ ගෞරවය ද හිමි වන්නේ ද ඇයට ය. ජ්වාර් භාතා හි රඟන අවස්ථාව ගිලිහී ගියත් ඛාන් සහ දියණිය නිතර චිත්රාගාරවලට පැමිණ රඟපෑමට අවස්ථා ඇත්දැයි සොයා බැලී ය. එසේ පැමිණි අවස්ථාවක මධුබාලාට මාසයකට ඉන්දියානු රුපියල් 300ක වැටුපකට චන්දුලාල් ෂා ගේ රන්ජිත් මූවීටෝන් සිනමා සමාගම සමඟ තෙවසරක රංගන ගිවිසුමකට අස්සන් කිරීමට ලැබිණි. ඇයට ලැබෙන ආදායමෙන් මාලද්වලින් කුඩා නිවෙසක් මිලට ගැනීමට මධුබාලාට හැකිවිය. කුලියට ගත් නිවෙස පිපිරීමකින් විනාශ වූ නිසා මධුබාලාටත් ඇය ගේ පවුලේ සාමාජිකයන්ටත් මිතුරකු ගේ නිවෙසේ තාවකාලිකව පදිංචි වීමට සිදුවිය. රන්ජිත් මූවීටෝන් සිනමා පට පහක ඇය එක දිගට බේබි මුම්ටාස් යන නමින් සුළු චරිත රඟපෑවාය. එහෙත් එය මධුබාලාට ගැටලු පිරි කාල පරිච්ඡේදයක් විය. 1945 දී පූල්වාරි දර්ශන තලයේදී මධුබාලා රුධිරය වමනය කළාය. එය ඇය ගේ හදවතේ සිදුරක් පවතින බවට සිරුර විසින් දුන් මුල්ම ඉඟියයි. එහෙත් කිසිවකු ඒ බව හඳුනා ගත්තේ නැත. 1946 දී මධුබාලාට ගර්භණී මව ගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිනමා පටයේ නිෂ්පාදකාගෙන් ණයට මුදල් ඉල්ලා ගැනීමට සිදුවිය.
මධුබාලා ප්‍රථම වරට වැඩිහිටි චරිත රඟපෑවේ චිත්තෝර් විජේ සහ මේරේ භාග්වාන් සිනමාපටවලය. නීල් කමල් (නිල් නෙළුම ) ඇය සිනමාවේ පෙම්වතිය බවට පත් කළාය. එහි ඇයත් සමඟ ප්‍රධාන නළු චරිතය රඟපෑවේ රාජ් කපූර් ය. නීල් කමල් මධුබාලාගේ නිළි වෘත්තියේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. මුම්ටාස් යන නම තිරයේ අවසන් වරට සඳහන් වූයේ නීල් කමල් සිනමා පටයේ ය. ඉන්පසු දේවිකා රාණි යෝජනා කළ මධුබාලා තිරයේ මෙන් ම ඇය ගේ ජීවිතයේත් එකම නාමය විය.
ආර්ථිකය සවිමත් කර ගැනීමට නීල් කමල් සමඟ එක දිගට සිනමා පට විසි හතරක රඟපෑමට ඇය අත්සන් කළා ය. මධුබාලා විචාරක අගැයුමට ලක්වුණේ වාණිජ වශයෙන් ද සාර්ථකවූ ලාල් දුපාතා (ඹ්චත ච්භනචබබච) සිනමා රංගනයෙන් පසුව ය. කමල් අම්රෝහි ගේ මැහල් ඇය සුපිරි තරුවක් බවට පත් කළේය. සුරෙයියා වැනි අතිශය ජනප්‍රිය තාරකාවන් ගේ නම් මැහල් සඳහා යෝජනා වී තිබුණ ද කමල් ගේ තෝරා ගැනීම වූයේ මධුබාලා ය. දුලාරි, බේකසූර්, බාදල්, සයියන්, තරානා, සංදිල් වැනි සිනමා පටවලින් ඇය ගේ සිනමා ගමන ආලෝකවත් වෙද්දී රුවින් වීනස් දෙව්දුව හා සම වෙද්දී ඇයට සිතින් හෝ පෙම් කිරීමට කලා ක්ෂේත්රයේ ම බොහෝ දෙනෙක් පෙලඹුණහ.
ඇය ට ළමා වියේ ම ආදරය කරන්නෙක් සිටියේය. ඔහු ලතීෆ් ය. දිල්ලියේ පදිංචිවී සිටියදී මේ අසල්වැසියකු වූ මේ කොලු ගැටයා මුම්ටාස් දිල්ලිය අත්හැර බොම්බේ පුරවරයට පැමිණෙන විට මධුබාලාට තෑග්ගක් දුන්නේය. මුම්ටාස් ඔහු අත රෝස මලක් තැබුවේ ය. මුම්ටාස් තිරයේදී මධුබාලා වූ පසුත් ලතීෆ් ගේ ළමා ආදරය නො වෙනස්ව පැවතිණි. මධුබාලා මියගිය පසු ලතීෆ් ඒ රෝස මල ගෙනැවිත් ඇය ගේ සොහොන මත තැබුවේය. සෑම වසරක ම මධුබාලා මිය ගිය පෙබරවාරි 23 වැනි දිනට ඇය ගේ සොහොන වෙත පැමිණ රෝස මලක් තැබීමට ලතීෆ් අමතක නො කළ බවට වාර්තා වෙයි.
කිදර් ෂර්මා ද මධුබාලාට පෙම් කළේය.
නීල් කමල් සිනමා පටයෙන් මධුබාලාට සිනමාවේ නමක් සාදා දුන් කිදර් ෂර්මා ඒක පාර්ෂිකව මධුබාලාට පෙම් කළ බවට රාවයක් පවතියි. කවියකුවූ කිදර් ෂර්මාට මේ සුන්දර නිළිය දකින විට ආදරණීය සිතිවිලි ඇතිවීම අරුමයක් නොවෙයි. මධුබාලා ගේ පියා ගේ වයසේ පසු වූ ඔහු ගේ ආදරය ඔහු ගේ හදවතට ම සීමා විණි.
මැහල් සිනමා පටයෙන් මධුබාලා සුපිරි තරුවක් කළ කමල් අම්රෝහි ද වීනස් දෙව්දුවට පෙම් බැන්දේ විවාහකව සිටියදී ය. ඇය ගේ පියා ද දෙදෙනා ගේ විවාහයට අවසර ලබා දී තිබිණි. එහෙත් බිරිය දික්කසාද කර විවාහ වනවා නම් පමණක් ඔහු ගේ අත ගැනීමට මධුබාලා එකඟ විය. එහෙත් කමල් ඊට එකඟ නො වූ නිසා මධුබාලා ඒ ප්‍රේමයට සමු දුන්නේය. මේ සබඳතාව සමඟ බැඳුණු කටකතාවක් වූයේ මැහල් රංගනයට ගෙවූ මුදලින් ඉන්දියානු රුපියල් ලක්ෂ නවයක් මධුබාලා කමල්ට ලබාදී තමන්ව විවාහ කර ගන්නා ලෙස පැවසූ බව ය. එහෙත් එය සත්‍යයක් නොවන බව මධුබාලා ගේ නැඟණිය විමසා සිටියේ පවුලේ එකම ආදායම් ලාභිනිය වූ ඇය රුපියල් ලක්ෂ නවයක් ඔහුට දෙන්නේ කෙසේද කියාය.
බාදල් මධුබාලා - ප්‍රේම්නාත් මුණ ගැස්වූ සිනමා පටයයි. එහෙත් ඒ පෙම මාස හයකට සීමා විය. මධුබාලා ගේ සොයුරිය පවසන අන්දමට ඔහු හින්දු ආගමිකයකු වීම නිසා මධුබාලා ඔහුගෙන් දුරස් විය. ප්‍රේම්නාත් ඇයගෙන් හින්දු ආගම වැලඳ ගන්නා ලෙස පැවසුව ද මධුබාලා ඊට එකඟ වී නැත. පෙම්වතුන් නො වුණ ද මධුබාලා සහ ඇය ගේ පියාව ප්‍රේම්නාත් දිගට ම සුහදත්වයෙන් ඇසුරු කළේ ය.
මධුබාලා ගේ සකල විධ ප්‍රේමයන් අතරින් අදට ද පුරාවෘතයක් මවන්නේ දිලිප් - මධුබාලා වසර ගණනක අචල ආදර චාරිකාව ය. දෙන්නා ගේ සෙනෙහසට මුල පිරෙන්නේ තරානා (1951) සිනමා පටය රූගත කරද්දී ය. සන්දිල් ( 1952 ), අමර් ( 1954 ) රඟන විට ඔවුන් සැබෑ ජීවිතයේත් පෙම්වතුන් බව රහසක් නො වීය. 1954 දී බහුත් දින් හුවේ රූගත කරද්දී මධුබාලා දත් මදිද්දී රුධිරය පිටවූ නිසා දිලිප් ඇය රැගෙන රෝහලට ගිය අතර වෛද්‍යවරයා පවසා ඇත්තේ ඇය ගේ හදවතේ සිදුරක් ඇති බව ය. එහෙත් මධුබාලා එය ගණනකට නො ගත්තේ තරුණ ජවයෙන් පිරි ඇයට දැනෙන්ට ඉහෙන් බහින රෝගයක්වත් නො තිබුණු බැවිනි.
දිලිප් - මධුබාලා යුවළ විවාහ ගිවිස ගත්තේ රාජකීය තරු මංගල්‍යයක් පවත්වා දිවි ඇති තුරු සතුටින් ජීවත් වීමට ය.
එහෙත් නයා දෝර් හෙවත් නව මාවත නම් සිනමා පටය නිසා මධුබාලා ගේ පියා සහ දිලිප් කුමාර් අතර ඇතිවූ ගැටුමෙන් නඩු මඟට පිවිසීමෙන් මේ පෙම් යුවළට එකිනෙකාගෙන් වෙන්වී වෙනස් මාවත් දෙකක් තෝරා ගැනීමට සිදුවිය. එය දෙදෙනොටම සිත් රිදවන කරුණක් විය. තවත් හේතුවක් වූයේ මධුබාලා ගේ සිනමා සමාගමේ පමණක් දිලිප්ට රඟපාන ලෙස අතවුල්ලාහ් කළ බලපෑම ය. දිලිප් ද මධුබාලාට කොන්දේසියක් දමා තිබිණි. එනම් විවාහයෙන් පසු මධුබාලා සියලු බැඳීම් ඉවත් කළ යුතු බව ය. 1957 න් පසු දිලිප් - මධුබාලා පෙම් පුවත ශෝකාන්තයක් ලෙසින් සිනමා පෙම් පුරාණයට එක් විය.
ඉන්පසු විවාහකයන් තිදෙනකුගෙන්ම මධුබාලාට මංගල යෝජනා ලැබිණි. දරුවා බිහිකිරීමට ගොස් බිරිය මිය ගොස් සිටි භාරත් භූෂන්, විවාහ වී සිටි කිශෝර් කුමාර් හා ප්‍රදීප් කුමාර් ඒ අතර විය. තිරයේ පෙම්වතුන්වූ මේ තිදෙනාගෙන් මධුබාලා තෝරා ගත්තේ චල්ති කා නාම් ගාඩි ඛ්ඩචතබඪ ම්ච ව්චචථ ට්චචඤඪ (1958), ඩ්චතට ඊඪජඬඥබ (1962) වැනි සිනමාපටවල රඟපෑ කිශෝර් කුමාර් ය. ඒ වන විට මධුබාලාට අසනීප තත්ත්වය දැනෙමින් පැවතිණි. කිෂෝර් කුමාර් ගේ මන බඳීනා හඬත් නිතර විහිළුවෙන් සිටීමත් දිලිප්ගෙන් පෑරුණු සිතත් රෝගයෙන් වේදනාවට පත්වන ගතත් සුවපත් කරනු ඇතැයි ඇය සිතන්නට ඇත. කිශෝර් කුමාර් මුස්ලිම් ආගම වැලඳ ගෙන මධුබාලා සමඟ විවාහ වීමට එකඟ විය. එහෙත් ඊට පෙර මධුබාලා ගේ පියා පැවසුවේ මධුබාලා ගේ රෝගී තත්ත්වය ගැන වෛද්‍යවරුන්ගෙන් විමසා බලා විවාහ වන ලෙස ය. මධුබාලා විවාහ කරගත්ත ද කිශෝර්ට ඇය හා ගෙවීමට සිදුවන්නේ තිරයේ පෙම්වතියක සමඟ ගත කරන දිවිය හා සමාන දිවියකි. ඇයට මවක වීමට නො හැකිය. කිශෝර් වෙනුවෙන් දැක්විය හැක්කේ මානසික සෙනෙහසක් පමණි. ඒ බව දැන ගත්ත ද කිශෝර් මධුබාලා විවාහ කර ගත්තාය. 1960 විවාහ වී දස දිනකින් පසු දෙන්නා ලන්ඩනයට ගොස් වෛද්‍යවරුන් හමුවූහ. එවකට හදවතේ සිදුරු සඳහා සාර්ථක ප්‍රතිකාර නො තිබිණි. වෛද්‍යවරු ඇයව සැත්කමකට ලක් කිරීමට බිය විය. තවත් වසර දෙකකට වඩා ජීවත් නො වන නිසා ඇය සතුටින් තබන ලෙස ඔවුන් කිශෝර්ට පැවසී ය.
කිශෝර් කුමාර් සන්දර්ශන, සිනමා රංගන නිසා කාර්ය බහුල ව සිටි නිසා මධුබාලා ඇය ගේ මහගෙදර නතර කළා ය. එහෙත් මධුබාලාට අවශ්‍ය වූයේ කිශෝර් තමන් අසලින් සිටීම පමණයි. මේ නිසාම කාටර් මාවතෙන් කිශෝර් නිවෙසක් රැගෙන ඇය එහි රැගෙන ගිය ද ඇය අසල සිටීමට නම් ඔහුට නො හැකි විය. මුහුදේ රළ හඬ ඇය ගේ රෝගී තත්ත්වය උත්සන්න කළේ ය. බොහෝවිට කිශෝර්ට දුරකථන ඇමතුමක් ලබා ගැනීමට ද දුෂ්කර විය. මාස තුනකට වරක් දෙවරක් එහි යන කිශෝර් බොහෝවිට උත්සාහ ගත්තේ නිවෙසින් බැහැරව සිටමට ය. ඔහු දුටු විට මධුබාලා කඳුළු සලන අතර එය ඇය ගේ හදවත තවත් රිදවන බව ඔහු දනියි.
රෝගය නිසා මධුබාලා නිතර කෝපයට පත්විය. සැකයෙන් පීඩා වින්දාය. හුදෙකලාව සමඟ සටන් කළා ය. එහෙත් ඇය මරණය ගැන නොව ජීවිතය ගැන බලාපොරොත්තු තබා ගත්තාය. සැත්කමකින් ඉක්මනින් සුව වී නැවත රඟන්නට සිහින දැක්කාය.
රෝගය උත්සන්න වෙද්දී මේ සිටින්නේ සුරූපී මධුබාලා ද කියා කිසිවකුටත් හඳුනාගත නො හැකි තරම් ඇය කෙසඟ විය.එනිසාම ඇය බැලීමට අවසර ලැබුණේ දෙතුන් දෙනකුට පමණි.
මධුබාලා ගේ නාසයෙන් මුවෙන් රුධිරය පිට විය. ඇය කිසි විටකත් සොයුරියන්ගෙන් උදව් ඉල්ලුවේ නැත. තමන්ගේ වැඩ තමන් විසින් ම කරගත්තා ය. ඇය අසලින් ඔක්සිජන් සිලින්ඩරයක් තබා තිබුණේ හුස්ම ගැනීමට අසීරු වූ විට භාවිත කිරීමට ය.
ඇය බ්රීච් කැන්ඩි රෝහලේ ප්‍රතිකාර ගනිද්දී දිලිප් කුමාර් ඇය බැලීමට පැමිණියේය. එහිදී මධුබාලා විමසුවේ සුව වූ පසු තමන් සමඟ රඟපානවාද කියාය. ඔහු පැවසුවේ තමන් ඇය සමඟ ස්ථිරවඩම රඟපාන බව ය. මාස කිහිපයකට පසු දිලිප් කුමාර් සයිරා බානු සමඟ විවාහ වූ අතර එය දැනගත් මධුබාලා දින ගණනක් කඳුළු සැලුවාය..
දවසින් දවස ඇය ගේ තත්ත්වය දරුණු විය. 1969 පෙබරවාරි 23 වන විට මධුබාලා ජීවිතයේ අවසාන හුස්ම පිට කරීමට ළං වී ඇති බව දැනගත් පියා කිශෝර්ට ඇමතී ය. ඒ වන විට ඔහු සංගීත ප්‍රසංගයට කොල්කටා බලා යමින් සිටියේය. සන්දර්ශනය සංවිධානය කළ අයට තමන් පැමිණියොත් පාඩු පබන්න සිදුවේවියි කියා බියවූ කිශෝර්ට පියා කියා සිටියේ දැන් නො පැමිණියොත් නැවත කිසි කලක ඇය දකින්න නො ලැබෙන බව ය. දිලිප් කුමාර් ද අවමංගල්‍යයට සහභාගී වූ අතර මරණයෙන් පසු දින තුනක් ම මධුබාලා ගේ පවුලේ සාමාජිකයන්ට ආහාර ලබා දුනි. මධුබාලා ගේ පියාත් මවත් දියණිය ගේ වියෝව දරා ගත නො හැකිව සිරුර ගෙන යන මොහොතේ ක්ලාන්ත වී ඇත. දියණිය ගේ අකල් වියෝවෙන් කම්පා වුණු පියා නිතර ම ඇය ගේ සොහොනට ගිය අතර දියණිය වෙනුවට තමන් මිය නො ගියේ ඇයි දැයි විමසී ය. ඇය මිය ගොස් පස් වසරකට පසු පියා ද මිය ගියේය.
කිශෝර් කුමාර් මධුබාලා ගේ ප්‍රතිකාර සඳහා යන සියලුම වියදම් මියෙන තුරුම දැරුවේ ය. එහෙත් ඔහු ඇය අසලින් නො සිටියේ දුරස් වීමේ වේදනාව දරා ගැනීමට සිත සාදා ගැනීමට විය හැකි බව ඇතමුන් ගේ අදහසයි.
බොම්බේ ඉහළ උසාවියේ බැරිස්ටර්වරයකුවූ සුල්ෆිකාර් අලි භූතෝ (පසුව පකිස්තානයේ අගමැති වූ) මෝගල් ඒ අසාම් රූගත කරද්දී නිතර දර්ශන තලයට පැමිණ මධුබාලා මුණ ගැසී තිබෙයි. දෙදෙනා දිවා ආහාරය එක්ව ගැනීම සුලබ දසුනක් විය. මධුබාලා ගේ නම ඔහු සමඟත් සම්බන්ධ කර තිබුණ ද සත්‍ය දන්නේ ඔවුන් දෙදෙනා ම පමණි. එය සුල්ෆිකාර් ගේ ඒක පාර්ශ්වික ප්‍රේමයක් බව සමහරු පවසති.
පනහ දශකයේ මුල මධුබාලාගේ සිනමා දිවියට සුබ කාලයක් වූයේ නැත. ඇය ගේ සිනමා සමාගමින් නිපදවූ සිනමා පටයත් ඇය රඟපෑ සිනමා පටත් අසාර්ථක වෙද්දී ඇයට කිස්මත් නම් වූ සිය බංගලාව විකුණන්න සිදු විය. ඇය බොක්ස් ඔෆිස් විසක් ලෙස හඳුන්වන කාලය නිම වූයේ ගුරු දත් ගේ ර්ප. ) ර්පඵ. '55 සිනමා පටය තිරගත වීමත් සමඟයි.
මධුබාලා මෝටර් රථ පැදවීමට ඉගෙන ගත්තේ වයස අවුරුදු දොළහේදී ය. පසුව ඇය මෝටර් රථ පහකට හිමිකම් කීවාය.
වීනස් රැජන වූ මධුබාලා සමාජ සේවා රැජනක ලෙස ද ප්රකටව සිටියාය.
දරිද්‍රතාව නිසා තාරකාවක වීම ගැලක බර අඳීන ගවයකු වීම අතර වෙනසක් නැත. මරණය දක්වා ම ගැල ඇදිය යුතුය. ඊට මීනා කුමාරි, මධුබාලා වැනි තාරකාවන් භාරත සිනමාවෙන් ගත හැකි හොඳම උදාහරණ ය.
ලිප් ගල් තුනක් මෙන් ඇය ගේ ජීවිතයට බලපෑ පිරිමින් තිදෙනකු විය. පියා අතවුල්ලාහ් ඛාන් ඇය හදා වඩා ගත් පිරිමියා ය. දිලිප් කුමාර් ඇය ගේ පෙම්වතා ය. කිශෝර් කුමාර් ඇය ගේ සැමියා ය.