මියුරු හඬින් “කිරි කඳුළු” ගයන රදින්සා සන්ලිනි

දෙසැම්බර් 2, 2021

ඔක්තෝබර් පළමු වැනිදා ලෝක ළමා දිනය මෙන්ම ලෝක වැඩිහිටි දිනය ද වේ. ලොවටම විශේෂ වූ ඒ දිනයේදී රදින්සා සන්ලිනි දියණිය අපූරු තිළිණයක් කලා ක්ෂේත්‍රයට දායාද කළාය. එනම් ඇයගේ මියුරු හඬින් ගායනා කළ ගීතයකි. "කිරි කඳුළු" ලෙසින් නම් කළ එම ගීතයෙන් පවසන්නේ, මවක මෙලාව හැරදා යාම හේතුවෙන් කුඩා දියණියකට දැනෙන සංවේදී හැඟිමයි.

කඳුළැලි ගලන්නේ නිහඬව 
දෙනෙක් අගින් 
අම්මා සිටිය දා 
අමතක නැතිය සිතින් 
වැහැරුණු සිරුරේ කිරි එරුණේ 
කිරි කඳුළු පෙව් අම්මා 
කොහෙද ගිහින්

කරපිට තබා ලී පෙට්ටියක තියා 
සුදු පෙරහැරකින් ඈතකට ගියා 
ඉවසනු බැරුව ඇස පියවීලා ගියා 
අම්මා නැතිව පෙරහැර ගෙදර ගියා 
අම්මා . . . //

කොළඹ ගෝතමි බාලිකා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන රදින්සා, කුඩා වියේ පටන්ම ගායනයේ දස්කම් දැක්වූවාය. ඇයගේ හැකියාව අවබෝධ කරගත් ඥාති මුත්තණුවන් කෙනෙකු වන රණසිංහ අක්මීමණ දශක තුනක පමණ කාලයක් තමා සතුව තිබූ මෙම ගීතය රදින්සා හට තිළිණ කළේය. ඇය "කිරි කඳුළු" ගීතය ගායනා කරන්නේ විශාරද ප්‍රියන්ත වීරකෝන්ගේ සංගීතය නිර්මාණයට අනුවය.

වයස අවුරුදු දහයක් වන විට සිය කුලුඳුල් ගීතය එළිදැක්වීමට ලැබීම පිළිබඳව රදින්සා සරසවියට පැවසුවේ මෙලෙසිනි.

"මම පුංචි කාලයේ පටන්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා වැඩසටහන්වලට දායක වුණා. එහිදී ගීත ගායනයටත් අවස්ථා ලැබුණා. අක්මීමණ සීයා ඒ ගීත අහලා තමයි මට මේ ගීතය දෙන්න තීරණය කළේ. ඊට අමතරව මම දහම් පාසලේ භක්ති ගීත ගායනාවලටත් දායක වෙලා තියෙනවා. "කිරි කඳුළු" මගේ පළමු වැනි ගීතයයි. එය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වගේම ස්වාධීන රූපවාහිනී සේවය සහ බෞද්ධයා නාළිකාවේත් විකාශය වෙලා තියෙනවා. ඒ වගේම රදින්සා සන්ලිනි යූටියුබ් නාළිකාව ඔස්සේ "කිරි කඳුළු" ගීතය රසවිඳීන්න පුළුවන්."

"කිරි කඳුළු" ගීතය වෙනුවෙන් රදින්සාට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

මගේ යාළුවෝ හැමෝම ගීතය අහලා ලස්සනයි, දුක හිතෙනවා කියලා කිව්වා. ඉස්කෝලේ විදුහල්පතිනිය සහ ගුරුවරු, තවත් අර්ථවත් ගීත ගායනා කරන්න කියලා මට සුබ පැතුවා.

ඉතිං, දැන් තව අලුත් සින්දුවකට සූදානම් වෙනවා ඇති?

ඔව්. තව ගීත කිහිපයක් නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට පරිසරය ගැන කියන ගීතයක් ගායනා කරන්න හිතාගෙන ඉන්නේ.

රදින්සා අනාගතයේදී සංගීතඥවරියක් වෙන්නද බලාපොරොත්තුව?

මම ඉස්කෝලේදී සංගීතය විෂයක් විදියට ඉගෙන ගන්නවා. දැනට විශාරද ඕෂධී මද්දුමගේ ගුරුතුමිය යටතේ සංගීතය හදාරණවා. වයලීන් වාදයත් කරනවා. චිත්‍ර අඳීන්නත් මම කැමැතියි. ඒ වගේම මං පරිසරයට සහ සතුන්ට ගොඩක් ආදරෙයි. අනාගතයේදී මම පශු වෛද්‍යවරියක් වෙන්නයි කැමැති.

විශේෂයෙන් තවත් යමක් කියන්න රදින්සාට තියෙනවාද?

ඔව්. මුලින්ම "කිරි කඳුළු" ගීතය මට ලබා දුන් රණසිංහ සීයාට ස්තූති කරන්න ඕනි. ඒ වගේම ලස්සන තනුවක් නිර්මාණය කරදුන් විශාරද ප්‍රියන්ත වීරකෝන් මාමා, සංගීත සංකලනය කළ නලීන් සංජීව සහ නාද සංකලනයෙන් දායක වූ මහේන්ද්‍ර පැස්කුවෙල්, ධනංජය සෝමසිරි, මධුසංඛ රත්නායක, නුවන් බාලසූරිය මාමලාවත් ආදරයෙන් සිහිපත් කරනවා. ගීතයේ වීඩියෝව නිර්මාණය කළේ ඉසුරු සමරසිංහ මාමා. ඒ වෙනුවෙන් චිත්‍ර ඇන්ඳේ රංජිත් පුෂ්පකුමාර මාමා. ඔවුන්ට වගේම ගීතය විකාශය කිරීමට සහය දුන් සියලු දෙනාටත් ස්තූති කරනවා.

- යතේජා 
සේයාරුව - නිශ්ශංක විජේරත්න