වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
ලෝකයේ කෙටි නාට්‍ය යනුවෙන් ප්‍රවර්ගයක් නෑ

කලාව ගැන කිසිම හැඟීමක් නැති පිරිසක් අතට අද තාක්ෂණය නතු වෙලා
අපි බ්‍රෙෂ්ට් ගැන, ශේක්ස්පියර් ගැන දන්න තරම් අපේ සාම්ප්‍රදායික නාට්‍ය කලාව ගැන දන්නේ නෑ
"දිගු නාට්‍ය අපේ භාවයන් එක තැනකට ගෙනැත් විරුද්ධාභාසයක හිර කරනවා. ඒත් කෙටි නාට්‍ය හැඟීම් පුපුරුවා හරිනවා. ඒ නිසා දිගු නාට්‍යවලට වඩා ප්‍රේක්ෂකයන් වුවත් විනිවිද යෑම හැකියාව කෙටි නාට්‍යවලට වැඩියි කියලයි මට හිතෙන්නේ. මම මිසයිල කියලා ඒවාට නම දැම්මෙත් ඒ පිපිරීම සහ නැවත ගොඩනැඟීමේ සුමට බව හැඟවිය යුතු නිසා."
ලයනල් වෙන්ඩ්ට් රඟහලේ සැප්තැම්බර් 18 වැනිදා සවස් වරුවේ දර්ශන දෙකක් ලෙස පැවැත්වීමට නියමිත සචිත්‍ර රාහුබද්ධගේ 'හිතට වැටුණු මිසයිල' කෙටි නාට්‍ය උලෙළ පිළිබඳ ඔහු දැක්වූයේ එවැනි අදහසකි. රෙඩ් ඇපල් ඉන්ටර්නැෂනල් තියෙටර් ගැදරිං නමින් බිහි කළ නාට්‍ය සාමූහිකයේ නිර්මාතෘ වන මේ තරුණ නාට්‍යවේදියා සිය නාට්‍ය උලෙළ සහ මෙරට වේදිකා නාට්‍ය කලාව සම්බන්ධව සරසවියට දැක් වූ තවත් බොහෝ අදහස් මෙසේ අපි සංක්ෂිප්ත කරමු.
මේ නාට්‍ය උලෙළේ 'කැපනං', 'දෙමළා නම්', 'උත්පලවර්ණා', 'රත්මල් යහනක සැතපී' යන කෙටි නාට්‍ය 4 ප්‍රදර්ශනය වෙනවා. දර්ශන වාර දෙකක් ලෙස මේවා මිනිත්තු 25ත් 30ත් අතර නාට්‍ය.
ලංකාවේ විශේෂයෙන් කෙටි නාට්‍ය බිහිවන්නේ යෞවන සම්මාන උලෙළ සහ රාජ්‍ය කෙටි නාට්‍ය උලෙළ කේන්ද්‍ර කරගෙනයි. විශේෂයෙන් කාලය පැය භාගයකට අඩු නිසා තනි නාට්‍ය දර්ශනයක් ලෙස පෙන්වන්න ඇති අපහසුව මත කෙටි නාට්‍ය උලෙළවලට සීමා වෙනවා. කාලයක් තිස්සේ කෙටි නාට්‍ය කරන නිසා අපි හිතුවා මෙය දර්ශනයක් ලෙස පේන්න අවශ්‍ය නම් කීපයක් එකතු කළ යුතුයි කියලා.
ඔහු කතාවට මුල පිරුවේය. අපේ රටේ කෙටි නාට්‍ය ගැන එයින් යමක් ගම්‍ය වෙනවා? මම කීවෙමි.
කෙටි නාට්‍ය කියන්නේ මොකක්ද කියලා බැලුවොත්, මම අන්තර්ජාතික වශයෙන් සම්බන්ධ වෙලා කටයුතු කරන නිසා දකින දේ තමයි ලෝකයේ කෙටි නාට්‍ය නමින් දෙයක් නැති බව. අපි කෙටි, දිගු ලෙස වෙන් කළත් ලෝකයේ ඒ සියල්ල හඳුන්වන්නේ පොදුවේ නාට්‍ය ලෙසයි. ඒත් කෙනෙකුගේ අදහසක් ප්‍රකාශනයක් ලෙස නාට්‍යයකට නඟන්න යන කාලය එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ලෝකයේ එයට සීමාවක් දාලා නෑ.
ඒත් ලංකාවේ 1990 දශකයේ රංගකලා ක්ෂේත්‍රයේ ඇතිවන යම් යම් ප්‍රවණතා නිසා රාජ්‍ය සහ යෞවන කෙටි නාට්‍ය උලෙළ දෙකක් ඇති වෙනවා. ඒවායේ නීති රීති ටිකත් සමඟයි මෙය දියුණු වන්නෙ. හැබැයි නවකතාවට වඩා කෙටි කතාව තීක්ෂණයි, දේශපාලනික වශයෙන් ඉතා වෙනස් ස්වරූපයකින් විනිවිද යන, මානවීය හැඟීම් වෙනස් ආකාරයකින් විනිවිද යන එකක් නිසා එය ඉතා ප්‍රබල වුණා වගේ ලංකාවේ ඇති මේ කෙටි නාට්‍ය ප්‍රවර්ගය ඉතා ප්‍රබල මාධ්‍යයක් බවට පත් වුණා. අපට මෙහි බැලූ බැල්මට හොඳ සහ නරක පැති ගැන කතා කරන්න පුළුවන්. මොකද උලෙළ සඳහාම කෙටි නාට්‍ය තැනෙන එක සහ එය තරගයකට සම්මාන සඳහා නාට්‍ය ඉදිරිපත් වීම ලෙස සිදුවන විට එය එතරම් සුබවාදී නැහැ. හේතුව ලෝකයේ නාට්‍ය තරග ඇත්තේ සියයට එකකටත් අඩුවෙන්. ලෝකයේ තිබෙන්නේ නාට්‍ය උලෙළ. එහිදී නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ සමඟ ප්‍රේක්ෂකයා එකට මුණගැස්වීමයි සිදු වන්නේ. උදාහරණ ලෙස ටෝනි සම්මාන, ඔලිවර් සම්මාන දෙන්නෙත් හැදුව නාට්‍යවලට මිස සම්මාන සඳහා නාට්‍ය හදන්නේ නෑ. අපේ රටේ ඊට වඩා තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. අපේ කෙටි නාට්‍ය පමණක් නොවේ දිගු නාට්‍ය පවා උලෙළ කේන්ද්‍රීයව හැදෙන ප්‍රවණතාවක් තිබෙනවා.
අපේ කෙටි නාට්‍ය උලෙළේ හොඳ පැතිත් තිබෙනවා. උලෙළ කේන්ද්‍රීයවම කෙටි නාට්‍ය හැදෙන නිසා නිර්මාණකරුවන් දන්නවා මේ නාට්‍ය බලන්නේම ක්ෂේත්‍රයේ ප්‍රාමාණික දැනුමක් සහිත ප්‍රවීණයන් කියලා. ඒ නිසා ඔවුන් යම් ප්‍රමිතියක් පවත්වා ගන්න බලනවා. අවුරුදු 20ක් වැනි කාලයක් තුළ කෙටි නාට්‍ය මෙතරම් දියුණු වන්නත් හේතුව එය ලෙසයි මම දකින්නේ. උලෙළවලට හදන නාට්‍ය සාමාන්‍ය ජනතාව නොදැක්කාට කමක් නෑ කියන එකයි මගේ නම් මතය. එයට මම දෙන උදාහරණය තමයි ඇඳුම් මෝස්තර නිර්මාණ ප්‍රදර්ශන. ඒ පැජන්ට්වලට අඳීන ඇඳුම් පාරේ ඇඳගෙන යන ඒවා නෙවෙයිනේ. එය කලාකෘතියක්. ඒ වගේම පාරේ අඳීන ඇඳුම් ඒ මෝස්තර ප්‍රදර්ශනවලට ගන්නෙත් නෑ. ඒ වගේ කෙටි නාට්‍යත් අතිශය විෂයය මූලික දෙයක්. ඒ අය ගෙන යන ප්‍රමිතිය සාමාන්‍ය මිනිසුන්ගේ රසවින්දන මට්ටමට ඉහළින් තිබෙන්නත් පුළුවන්. ඒත් අපට තිබෙන ප්‍රශ්නය උලෙළවලට පමණක්ම නාට්‍ය නිර්මාණය කිරීමයි. නාට්‍යකරුවන්ට පුළුවන් වෙන්න ඕනෙ උලෙළවලට වගේම සාමාන්‍ය මිනිසුන්ටත් නාට්‍ය නිෂ්පාදනය කරන්න. නැත්නම් ලොකු ප්‍රශ්නයක්. ඇමෙරිකාවේ වුණත් කලාත්මක ධාරාවේ නිර්මාණ වෙනම තිබෙනවා. එහි මට්ටම සියය නම් බින්දුවේ සිටින අයව එකවර එතැනට ගන්න බැරි නිසා විවිධ මට්ටම්වල නිර්මාණ බිහිවෙනවා. එයට හේතුව ප්‍රේක්ෂකයාගේ අධ්‍යාපන මට්ටම, පරිසරය ආදී දේ නිසා රසවින්දන මට්ටම වෙනස් වීම. ඔවුන් ඉහළට ගත යුත්තේ පියවරෙන් පියවරයි.
ඇමරිකාවේ බ්‍රෝඩ්වේ ගැන ගත්තොත් වාණිජ කලාවක් තිබෙන්නේ. එහි දැවැන්ත නිර්මාණ විශාල පිරිවැය යොදමින් බිහි කරන්නේ. ලයන්කිං වැනි චිත්‍රපට හොඳම උදාහරණ. අනෙක් අතට කලාත්මක නිර්මාණ වෙනමම බිහිවනවා. හැබැයි සමස්ත නාට්‍ය කලාවටම මුල්‍ය ප්‍රතිපාදන බිහිවන්නේ අර කියූ වාණිජ නාට්‍ය කලාව ඔස්සේ. ඒ නිසා එංජිමට තෙල් දැම්මා වගේ කලාත්මක නාට්‍ය කලාවත් දුවනවා. ඒත් අපි උත්සාහ කරමින් ඉන්නවා හුදෙකලාව කලාත්මක නාට්‍ය පමණක් ප්‍රේක්ෂකයාට දෙන්න. සිනමාවෙත් සිදුව තිබෙන්නේ එයයි. ලංකාවේ වේදිකාවේ සිට ප්‍රේක්ෂකයාට ඇති ප්‍රවේශය හරි පටුයි. ඒ නිසා තමයි මේ තත්ත්වය උදාව තිබෙන්නේ. කෙසේ වෙතත් එයින් මේ ක්ෂේත්‍ර මඟින් යැපෙන ශිල්පීන්ටත් නිරත වෙලා ඉන්න කලාවක් නැතිව යනවා.
වාණිජ නාට්‍ය ක්‍රමයක් ලංකාවේ තිබුණා?
අපි අවසාන වශයෙන් කම්පනි මඟින් නාට්‍ය කරන ක්‍රමවේදයක් දකින්නේ නූර්ති යුගයේ. ඉන් පසු අපි දකින්නේ නෑ නාට්‍ය සඳහා ආයතන ඉදිරිපත් වෙනවා. ඒත් අපි වාණිජ කලාව දියුණු කරගත්තොත් පමණයි කලාත්මක වේදිකා නාට්‍ය හෝ සිනමාවේ ගමනක් තිබෙන්නේ. හොඳම උදාහරණය පසුගිය කාලයේ සවුන්ඩ් ඔෆ් මියුසික් වේදිකා නාට්‍යය නෙළුම් පොකුණට ගෙනා අවස්ථාව. රුපියල් 35000/- සිට 7500/- දක්වා තිබුණු ප්‍රවේශපත්‍ර සියල්ල සියලු දින සඳහා විකිණී අවසන් වුණා. මේ ප්‍රෙක්ෂකයන් කොහෙද හිටියේ. එහි තේරුම අපේ රටේ ඒ ප්‍රේක්ෂාගාරය තිබෙනවා. ඔවුන් විශාල මුදලක් ඒ සඳහා වැය කරන්නත් කැමැතියි. ඒත් අපට තවම බැරි වෙලා තිබෙනවා ඒ අයට ගැළපෙන විදිහේ නිර්මාණ ඉදිරිපත් කරන්න. අපට නෙළුම් පොකුණක් තිබුණට ඒකට ගැළපෙන නාට්‍ය හැදුණේ නෑ. සමහරු නෙළුම් පොකුණක් අවශ්‍ය නෑ කීවට මම නම් කියන්නේ එවැනි වේදිකා රටට අවශ්‍යයි. සුදර්ශි වැනි දේ ප්‍රතිසංස්කරණය කර කලාවට වටිනාකමක් දෙන්න පොඩි හෝ සැලසුමක් අවශ්‍යයි. ඒ සඳහා කලාකරුවන්ටත් විශාල බරක් පැටවෙනවා. කලාකරුවන් එකතු වුණාම ජාතික ආයතනයක් නෑ කියනවා. ඒත් කලාකරුවන් එකතු වෙලා කවදාවත් කිසිම දෙයක් දිනාගෙනත් නෑ. පෞද්ගලික පටු පරමාර්ථවලට නොගොස් ජාතික වැඩපිළිවෙළකට එකතු විය යුතුයි කලාකරුවන්.
අප මේ කතා කරමින් ඉන්නෙත් සම්පූර්ණ පද්ධතිය කඩා වැටුණු වෙලාවක. ඒ නිසා කලාවට සිදුව ඇති දේ තේරුම් ගැනීමට අපහසු නෑ. ඒත් ඉන්දියාව වැනි රටවල් ගත්තාම ඔවුන් ඉතාම ලස්සනට ජාතික පද්ධතියට කලාව සම්බන්ධ කර තිබෙනවා. අපේ රටේ සමහරුන්ගේ අදහසක් තිබෙනවා, 'කලාවෙන් හම්බ කරන්න යන්න හොඳ නෑ පවු' වගේ. ඒත් ග්‍රීක යුගයේ සිටම කලාව පැවතුණේ අනුග්‍රහය මත. නැත්නම් මෙහි පැවැත්මක් නෑ. ඒ යථාර්ථයට මුහුණ දෙන්න කැමැති නැති ගතියක් තිබෙනවා. ඒත් කලාකරුවන්ටත් සල්ලි අවශ්‍යයි.
යූටියුබය ආවාම, සමාජ මාධ්‍ය අන්තර්ගතයන් විශාල වශයෙන් බිහි වුණාට අපේ එක කලාකරුවකුවත් ඒ සඳහා උනන්දු වුණේ නෑ. අපේ නාට්‍යකරුවන් දක්ෂ විය යුතුයි එය තමන්ගේ අතට ගන්න. දැන් සිදුව තිබෙන්නේ කලාව පිළිබඳ කිසිදු හැඟීමක් නැති පිරිසක් අතට ඒ තාක්ෂණය නතු වෙලා. ඒත් සවිඥානක පිරිසක් අතට මේ සමාජ මාධ්‍ය මෙවලම ගියානම් මේ තරම් අවරට නොයන්න ඉඩ තිබුණා.
අපි කැමැතියි ඔබේ යටගියාව දැනගන්න.?
මම තර්ස්ටන් විද්‍යාලයට ගියේ. විෂයන් තුනටම ඒ සාමර්ථ්‍ය ලබලත් විශ්වවිද්‍යාලයට යෑමෙන් පසු ගත කරන අවුරුදු හතර පහක කාලයෙන් පස්සේ ඊළඟට මොකක්ද කරන්නේ කියලා අර්බුදයක් තිබෙන නිසා මම වෙනස් තීරණයක් ගත්තා. අපේ අම්මා විනිසුරුවරියක්, මගේ මල්ලි රජයේ නීතීඥවරයෙක්. නංගිත් නීතීඥවරියක්. තාත්තා ව්‍යාපාරිකයෙක්. මම ඒ සියල්ලට අයත් නොවූ නිසා ඒ අයට වගේම මටත් ප්‍රශ්නයක් තිබුණා මම මොකක්ද කරන්නේ කියලා. ලංකාවේ කලාකරුවකුට තිබෙන්නේ ක්‍රම දෙකයි. එකක් ප්ලේන්ටියයි වඩේ එකයි කාලා ඒ විදිහට ඉවසගෙන ජීවිතය ගෙවන එක. එහෙම නැත්නම් ගුරු වෘත්තිය වැනි වෙනත් රැකියාවක් කරන අතර අමතරව කලාව කිරීම. මේ දෙකම මම බලාපොරොත්තු වන ජීවන රිද්මයට හරි ගියේ නැහැ. මට තිබෙන ප්‍රශ්නය කලාකරුවන් දුප්පත් විය යුතුද? පිළිතුර එසේ නොවිය යුතුයි කියන දේ නිසා මම මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණවේදී උපාධිය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලා උපාධිය කියන මගේ උපාධි දෙකම බාහිර වශයෙන් කළා. පසුව 2009 වගේ පිහිටුවා ගත්තා නාට්‍ය සාමූහිකයක් රෙඩ් ඇපල් ඉන්ටර්නැෂනල් තියෙටර් ගැදරිං කියලා. නාට්‍ය කලාව කියන්නෙ ලංකාවට සීමා වුණු දෙයක් නොවේ. ඒ නිසා ලෝක නාට්‍ය සමඟ එය සම්බන්ධ කරන්නේ කොහොමද කියලා සොයා බලා කටයුතු කරලා, මේ වන විට දකුණු ආසියාවේ තිබෙන විශාලම වේදිකා නාට්‍ය කණ්ඩායම ලෙස කටයුතු කරන්න අපට අවස්ථාව ලැබී තිබෙනවා. සාමාජිකයන් 3800ක් පමණ රටවල් 43ක ජාතික මධ්‍යස්ථාන සහිත තරමක් විශාල ආයතනයක් ලෙස එය වර්ධනය කරගන්න පුළුවන් වුණා.
මෙහිදී අපේ අවධානය යොමු වුණේ ළමා හා යොවුන් පරපුර වෙනුවෙන් නාට්‍ය සහ අධ්‍යාපනය සඳහා නාට්‍ය භාවිත කරන්නේ කෙසේද යන කරුණු දෙකටයි. නාට්‍ය කියන්නේ පිරිසක් නාට්‍ය පෙන්වද්දි අනෙක් පිරිස බලා ඉන්නවාට වඩා පුළුල් විෂයක්. එය චිකිත්සාවක් ලෙස, මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර සඳහා ආදි වශයෙන් විවිධ දේ සඳහා භාවිත කරනවා. මගේ වෘත්තිය මුලින්ම ලංකාවේ ආරම්භ කරන්නේ ළමා නාට්‍ය උලෙළ සමඟ. මම 2015 සිට 2019 දක්වා වසර පහ එකදිගට රාජ්‍ය ළමා නාට්‍ය උලෙළට ඉදිරිපත් වී හොඳම නාට්‍ය බවට පත් වී රාජ්‍ය සම්මාන 89ක් ලබා ගන්න හැකි වී තිබෙනවා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් කළ ලාෆිං ඩ්‍රීම්ස් (2015), ටිකර්ටි ටේල් ටෙලර් (2016), චෙයාර්ස් (2017), ඩොරෙමිෆාසෝලාටි(2018), විංග්ස් ඔෆ් ලව්(2019) සඳහායි ඒ සම්මාන ලැබුණේ.
ඉන් පසු මම ළමා නාට්‍ය උළෙලට යෑම නැවැත්වුවා. හේතුව ළමයින් වගේම අපිත් සම්මාන මානසිකත්වයට හසු වෙනවා වගේ දැනෙන්න ගත් නිසා. ඒත් අපි නාට්‍ය හදන එක නැවැත්වුවේ නෑ. පසුව මම බැලුවා මොන පැත්තෙන්ද වඩා ඉදිරියට යා යුත්තේ කියලා. ලංකාවේ අවුරුදු 18 කියන්නේ ළමයි වුණාට ලෝකේ ඒ අය නව යොවුන් පිරිසයි.
අපේ රටේ නාට්‍යකරණය කරන සිසුන් දෙසියයක් පමණ විශ්වවිද්‍යාලවලින් එළියට එන්නේ වැඩි වශයෙන් ගුරුපත්වීමක් ලබාගෙන. ඒත් චීනය වැනි රටවල ගුවන් සේවිකාවන්ට පවා නාට්‍යකරණය උගන්වනවා මඟීන් සමඟ යහපත් ගනුදෙනුවකට යන්න.
අපේ රටේ සමාජ දේශපාලන ආගමික සංස්කෘතික අර්බුද විවේචනය කරන්න හොඳම මෙවලමක් ලෙස මට දැනුණේ කෙටි නාට්‍ය. එය අවමවාදීව නිර්මාණය කරගන්නත් පුළුවන් නිසා දක්ෂ තරුණ තරුණියන් විශේෂයෙන් මේ වටා එක්රොක් වී තිබෙනවා. ඒත් උලෙළින් පසු ඔවුන්ගේ නාට්‍ය එතැනින්ම අවසන් වෙනවා. ඉදිරියට යන්නේ නෑ. අපේ විශ්වවිද්‍යාලවල තරුණ තරුණියන්ට නාට්‍ය ගැන අදහසක් තිබුණත් ඒවා විකුණාගන්නේ කෙසේද කියන එක පිළිබඳ අදහසක් නෑ. එයට හේතුව නාට්‍ය ඉගෙන ගන්න අයට කළමනාකරණය, සන්නාමකරණය, අලෙවිකරණය ආදිය ගැන දැනීමක් නෑ. පිටරටවල හැම ශිල්පියකුටම කළමනාකරුවකු ඉන්නෙ ඒ නිසා. එය පුද්ගලයකු මඟින් යන එකක් නොවේ කළමනාකරණ ක්‍රමවේදයක් මත යන දෙයක්.
අපේ රටෙත් සංචාරක ව්‍යාපාරය සමඟ අපේ දේශීය නාට්‍ය ආදිය බද්ධ කළොත් අපේ රට ගොඩ ගන්න ඒකම ඇති කියලයි මටනම් හිතෙන්නේ. ඇතැම් රටවලට අපේ මෙන් සම්ප්‍රදායික නාට්‍ය කලාවක් නැතුවත් ඔවුන් ඒ දේවල් අලුතෙන් හදාගෙන සංචාරක ව්‍යාපාරය දියුණු කර තිබෙනවා. අපේ ඒ සඳහා යම් සැලසුමක් පමණයි අවශ්‍ය වන්නේ සම්පත් ඇති තරම් තිබෙන නිසා.
අන්තර්ජාතික උලෙළ ගණනාවකදි මට ලැබුණු අත්දැකීම තමයි අපේ පහත රට බෙරයක් ගෙනිහින් සුසර කළත් සෙනඟ පිරෙනවා. ඒ ආකර්ෂණය අපි රටට ලබා ගන්න ආකල්පමය වශයෙන් වෙනස් විය යුතුයි. අපි බ්‍රෙෂ්ට් ගැන, ශේක්ස්පියර් ගැන දන්න තරම් අපේ සාම්ප්‍රදායික නාට්‍ය කලාව ගැන දන්නේ නැති වීම අපේ අඩුවක්. ඒ නිසා අපේ රට වෙනස් වෙනවා නම් අධ්‍යාපනයෙන් තමයි එය ඇරඹිය යුත්තේ. මම නාට්‍යකරණය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් කළා. එහිදීවත් අපේ සාම්ප්‍රදායික නාට්‍ය පිළිබඳ හරියට අධ්‍යයනයක් සිදු වන්නේ නෑ. ඒ වගේම අපේ සංගීතයත් අපට බටහිර සංගීත ඥානය සමඟ සම්බන්ධ කරගත හැකි තැන ගැනත් සිතිය යුතුයි.
මම දිගු නාට්‍ය කීපයක් කර තිබෙනවා. මගේ ගමන ඇතුළේ මම තවම මාවම සොයනවා. 'මම කැමතිම චොකලට් මෙයා ආස බිස්කට්' කියන නාට්‍යය දර්ශන රැසක් රඟ දක්වන්න පුළුවන් වුණා. චාන්දනී සෙනෙවිරත්න, ජනක කුඹුකගේ, ජයනාත් බණ්ඩාර වැනි ප්‍රධාන ධාරාවේ ප්‍රවීණයන් සමඟ කළ දිගු ළමා නාට්‍යයක් එය. ඉන් පසු තරුණයන් වෙනුවෙන් 'ආදරය ගැන කතාවක්' නමින් සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම නාට්‍යයක් කළා. පියුබර්ටි නමිනුත් තවත් නාට්‍යයක් කළා, දකුණු ආසියාවේ ගැහැනු ළමයින්ට සමාජයෙන් තිබෙන තහංචි ආදිය ගැන. පිරිමි ළමයින්ගේ පෞරුෂය වර්ධනය වන්නත් ගෑනු ළමයින්ගේ පෞරුෂය හීලෑ කරන්නත් හැකි අයුරින් තමයි අපේ ඇඳුම පවා සැකැසී තිබෙන්නේ. යටත් විජිත කාලයට පෙර බැලුවොත් අපි නිදහස් ජීවිත ගත කළේ. ඒත් සුද්දා ඇවිත් අපිට ඇඳුම් ගොඩක් අන්දලා අපේ ක්‍රමයට ඒ අය දැන් ඉන්නවා. විවාහයේදී වුණත් අපේ තිබුණු ක්‍රම ඉතා නිදහස්. නිදහස ලබා තවම ගෙවුණේ අවුරුදු හැත්තෑ හතරයි. ඒත් අපට අපේ තිබුණු ක්‍රමයට එන්න තව අවුරුදු දෙසීයයක්වත් යයි.
අවසාන වශයෙන් මම නිර්මාණය කළා 'හස්ති රාජ මහත්තයා'. 1976දි රන්ජිත් ධර්මකීර්ති මහත්මයා මෙය නිර්මාණය කර තිබෙනවා. මම එක ශානරයකට කොටු වන්නට කැමැති නෑ. මම මගේ නිෂ්ක්‍රාන්තිය සොයා ගන්නත් එපැයි. ඒ නිසා මම නාට්‍ය කරද්දි අනෙක් අය ගැන හිතනවාට වඩා මම ගැන හිතනවා කියලා මට දැනෙනවා. කලාව කියන්නේ අපට කොහේ හරි හිත රිදෙන, පෙළෙන තැනක්. එහිදී අවංකම හැඟීම සොයා ගන්න ඕනෙ. ඒ පෙළීම එළියට දමා ගැනීම තමයි නිර්මාණයක් කියන්නෙ.
පරිවර්තනයක් කරද්දි මගේම නිර්මාණයක් කරනවාට වඩා දෙගුණයක් පමණ දියුණු වෙනවා කියලා මට හිතෙනවා. හැබැයි මගේම පිටපතකදී මගේ නිෂ්ක්‍රාන්තියට එළැඹෙන නිසා භාව විරේචනයට එය හොඳම මඟක් කියලා හිතෙනවා.
ඔබ මේ උලෙළ හිතට වැටුණු මිසයිල ලෙස නම් කළේ?
දිගු නාට්‍ය අපේ භාවයන් එක තැනකට ගෙනැත් විරුද්ධාභාසයක හිර කරනවා. ඒත් කෙටි නාට්‍ය එය පුපුරුවා හරිනවා. ඒ නිසා දිගු නාට්‍යවලට වඩා ප්‍රේක්ෂකයන් වුවත් විනිවිද යෑම වැඩියි කියලයි මට හිතෙන්නේ.
මම මිසයිල කියලා නම් දැම්මෙත් ඒ පිපිරීම සහ නැවත ගොඩනැඟීමේ සුමට බව හැඳීන්විය යුතු නිසා.
අනෙක අප ගෙවන මේ මොහොත පිළිබඳවත් යම් අවබෝධයක් තිබිය යුතුයි. මේ අපි ගෙවන්නේ යම් සංක්‍රාන්ති සමයක්. බොහෝ කාලෙකට පසු සිදු වූ නැඟිටීම ඉවරද නැද්ද අපි දන්නෙ නෑ. හොඳද නරකද හරිද වැරදිද කියන්න තරම් තවම කාලය ගත වී නැහැ. හැබැයි කලාකරුවා කියලා මම විශ්වාස කරන්නේ කොඩියක් ඔසවාගෙන එක තැනකට වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි. ඔහු නිරන්තරයෙන් ඔහුගේ අරගලයේ නිරත වෙන්න ඕනෙ. දිගින් දිගටමත් කලාකරුවා තමන්ගේ නිර්මාණ භාවිතයෙන් අඛණ්ඩ අරගලයක නිරත වෙනවා. කවියෙන්, නාට්‍යයෙන්, සාහිත්‍ය කෘතිවලින්. ජනතාවගේ ඊළඟ පියවර කුමක්ද යන්නට මඟ කියන්න ඒ නිර්මාණවලට පුළුවන්. ඒ නිසා මේ මොහොතේ බිහිවන කෘති සමාජ ව්‍යාපාරයේම කොටසක් හැටියටයි මම දකින්නේ. එයින් කළ යුත්තේ දේශපාලන පක්ෂවලට යනවාට වඩා ජනතාවට නිවැරැදි දෘෂ්ටිය ලබා ගැනීමට සහ අපේ ආස්ථානය පිළිබඳ පැහැදිලි කර ගැනීමට මඟ පාදා දීමයි. ඒ නිසයි මේ මොහොතේ මිසයිල ස්ථානගත කරන්නත් මම හිතුවේ.
හැබැයි මගේ මතය නම් තමන්ගේ නිර්මාණ දේශපාලනය වෙනුවෙන් වෙන් කරන්න හොඳ නෑ. මගේ පෞද්ගලික මතය නම් දේශපාලනඥයා කියන්නෙත් මේ ක්‍රමයේ මැද ස්තරයේ කොටසක් පමණයි. ලෝක මූල්‍ය ආදිය සමඟ සසඳද්දි ඔවුන් ඒ සෙල්ලමේ ඉත්තන් ටිකක් පමණයි. ඒ නිසා කලාකරුවාට පුළුවන් වෙන්න ඕනෙ මේ පෙනෙන තිරෙන් එහා සිදුවන දේ විනිවිද දකින්න.
ලංකාව කියන්නේ ලෝක සිතියම දෙකට නැමුවාම හරි මැද තිබෙන ඉතාම වටිනා ඒත් දුර්වල රටක්. ඒ නිසයි අපට ඉදිරියට එන්න අනෙක් රටවල් ඉඩ නොදෙන්නේ. ඉතින් අප සියලු දෙනාට අවශ්‍ය මේ ක්‍රමය වෙනස් කරන්න. ඒත් නිසි අරමුණක්, විකල්පයක් නැතිව අරගලය යනු කුමක්ද යන්න නොදැන, පිළිගත් ක්‍රමවේදයකින් තොරව එහි නිරත වීමට වඩා කලාකරුවන් තමන්ගේ නිර්මාණාත්මක මාධ්‍ය තුළින් ඒ අරගලය කළා නම් සාර්ථකව දැනෙන්න ඉඩ තිබුණා.
මේ මොහොතේ ජනතාවට කලාව රසවිඳීන්න හැකි වෙයිද?
මම හිතන්නේ ජීවත් වන පරිසරය අමාරු වන තරමට තමයි කලාවට ජනතාව යොමු වන්න අවශ්‍ය. මහාචාර්ය සරච්චන්ද්‍රගේ යුගයේ සිට අද දක්වාම තිබුණ සංවාදයක් තමයි නාට්‍යකරුවන් අමාරු ආර්ථිකයක සිට හෝ ජනතාවට නාට්‍ය නරඹන්න කියන්නේ ප්‍රවේශ පත්‍රය විකුණා ගන්නද යන්න.
අද පවතින අර්බුදවලට කලිනුත් කලාව තිබුණේ අර්බුදයක. මේ වන විට ප්‍රවේශපත්‍ර මිලත් වැඩි වෙලා. ඉන්ධන සඳහා ශාලාවලට ඉතා විශාල මිලක් නාට්‍යකරුවන්ට ගෙවන්න සිදුව තිබෙනවා. එයත් අවසානයේ ප්‍රේක්ෂකයාටමයි බලපාන්නේ. ඒත් නාට්‍ය බලන්න ප්‍රේක්ෂකයන් එනවා. ඒත් එහිදී අපට සිතන්න වෙනවා මේ ඉන්නේ ඒ පිරිවැය දරන්න පුළුවන් අයද නැත්නම් සැබැවින්ම නාට්‍ය නැරඹිය යුතු පිරිසද කියලා. සහරාන්ගේ ප්‍රහාරයෙන් පසු එක දිගටම දුර්භාග්‍යයට පත්වුණ ජනතාව අතර වඩාත් අපහසුවට පත් වූ පිරිස කලාකරුවන්. විනෝදාස්වාදය පිළිබඳ පාලකයන්ගේ වගේම ජනතාවගේ අවධානය යොමු වන්නේත් අවසානම දෙයක් ලෙස. ඒත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ රංග ශිල්පීන්, තාක්ෂණ ශිල්පීන් ඇතුළු සමූහයම සාමාන්‍ය ජනතාව සේම අර්බුදය තුළින් යළිත් නැඟිටින්න උත්සාහ කරන්නේ දැන්. ඒ නිසා සමස්ත පද්ධතියේ ගැටලු මොනවා තිබුණත් අපි අපිමයි ඒවා සියල්ලට සහයෝගයෙන් මුහුණදිය යුත්තේ. ඒ නිසා නාට්‍ය නැරඹීම ඇත්තටම කලාකරුවන්ට කරන අනුග්‍රහයක්. ඒ වගේම ප්‍රේක්ෂකයා ඒ වියදම කළ යුත්තේ සමාජීය වශයෙන් වුණ මේ කම්පනය සමඟ අප යා යුතු දිශාව පැහැදිලිව තේරුම් ගැනීමටයි. ප්‍රවෘත්ති, ටෙලි නාට්‍ය බැලුවා කියලා ජනතාවට ඒ ඥානය ලැබෙන්නේ නෑ. චිත්‍රපට දැන් ඇත්තෙම නැති තරම් නිසා යම් තාක් දුරට හෝ ඒ කාර්යය කරන්නේ වේදිකා නාට්‍ය මඟින්. අරගලය කෙබඳු වුවත් එය තුළ කලාකරුවන් කලා නිර්මාණ ආදිය යම් පමණකට හෝ තිබුණු නිසා අරගල කළ හැක්කේත් කලාව භාවිතයෙන් බව ජනතාවට දැනුණා. ඒ නිසාම ජනතාව කලාකෘති වෙත පෙලඹෙයි කියා මම විශ්වාස කරනවා. අනෙක වෙනත් කලා මාධ්‍ය තරමක් පසුබැස තිබෙන නිසා වේදිකාව මේ මොහොතේ ඉදිරියට එයි කියා මගේ විශ්වාසයක් තිබෙනවා. වෙන රටවල අනෙක් මාධ්‍යවලට වඩා වේදිකා නාට්‍ය නැරඹීමේ මිල අධිකයි. එය වෙනම සංස්කෘතියක්. මගේ පෞද්ගලික විශ්වාසය අපේ රටේ නාට්‍ය කලාව පිරිහෙන්න ඇති ප්‍රධාන හේතුව ජංගම නාට්‍ය කලාව කියලයි. මොකද 'ද ෆැන්ටම් ඔෆ් දි ඔපෙරා' කියන නාට්‍යය මැජස්ටීස් රඟහලේ අවුරුදු විසිපහක් පුරා පෙන්වනවා. හැබැයි අදටත් මාස තුනක් කලින්වත් ප්‍රවේශපත්‍ර ගන්න බෑ ඔක්කොම විකිණිලා. ඒ තරම් විශාලයි මේ නාට්‍ය කර්මාන්තය පිටරටවල.
අනෙක අපේ අය හිතන්නේ කොළඹින්ම නාට්‍ය හදාගෙන දුරබැහැර ගෙන යන්න ඕනෙ කියලා. ඊට වඩා ඒ ඒ ප්‍රදේශවලින් ඒ අය නාට්‍ය හැදීමයි සාර්ථක. කවදා හරි අපේ ජයග්‍රහණය වන්නේ පොලොන්නරුවේ කලාකරුවා ඒ පැත්තටත්, යාපනේ කලාකරුවා යාපනයටත්, ගාල්ලේ කලාකරුවා ගාල්ලටත් නාට්‍ය හදන දවසකයි. එවිට අපටත් පුළුවන් එහේ ගිහින් නාට්‍ය බලන්න. බහු සංස්කෘතික නිර්මාණ දකින්න.
මේ සියල්ලේ ඔබේ අරමුණ කුමක්ද?
මම කැමැතියි ලෝකය පුරා යන්න. හැබැයි ආපසු ලංකාවට එන්න. මොකද මේ තමයි අපේ තැන. ඒ නිසා මම උත්සාහ කරන්නේ මගේ සියලු ඥානය දැනුම සම්බන්ධතා මඟින් අපේ රටේ නාට්‍ය කලාව ඉහළට ගැනීමටයි.
සේයාරූ - නිශ්ශංක විජේරත්න