සිවම්මා ධනපාල නැවතත් වේදිකාවේ

ජූලි 29, 2021

ජනප්‍රිය රංගන ශිල්පී නැසීගිය ටෙනිසන් කුරේ විසින් වසර 20කට ආසන්න කාලයක් වේදිකාගත කළ 'සිවම්මා ධනපාල' වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනය නැවතත් රංගගත කරන්නට සූදානම් වන වග සරසවියට වාර්තා විය. ඒ ක්‍රිෂාන්ත වීරමන්ගේ නිර්මාණාත්මක අධීක්ෂණය යටතේය. එදා ටෙනිසන් කුරේ රඟපෑ චරිතයට මෙවර රංගනයෙන් දායක වන්නේ රජිත හිරාන් චාමිකර හෙවත් පිං පොංය. අනුෂා දමයන්ති, මිලින්ද පෙරේරා, අජිත් කොටුවිල, ෂාන් කරන්නාගොඩ, ටොනිබෝයි හෙට්ටියකන්ද, ගුණදාස කටුවාවල, සුජානි විනෝදනී, නිලන්ජනා කරුණාරත්න, සිවම්මා ධනපාල නව නිර්මානයේ රංගනයෙන් දායක වෙති. පසුගියදා එම නාට්‍යයේ සමාරම්භක උත්සවය ගල්කිස්සේ දී පැවැත්විණ. ටෙනිසන් කුරේගේ දයාබර බිරිය වන මල්සිරි කුරේ, දියණිය මධුමිහිරි කුරේ ඇතුළු පිරිසගේ මූලිකත්වයෙන් පැවැත්වුණු උත්සවයේදී ටෙනිසන්කුරේ රුවට පුෂ්පෝපහාරයක්ද පවත්වන ලදී. ඩික්සන් ජෙරාඩ් නිෂ්පාදන සහායකවරයාය. පසුතල නිර්මාණය සුනිල් පෙරේරගෙනි, සුනිල් සමරක්කොඩිගේ ආලෝකකරණයකි, අනුග්‍රාහක දායකත්වය බණ්ඩාරගම සුගන්ධ දසනායකගෙනි.

ටවර් හෝල් යුගයේ නිර්මාණයවූ සිවම්මා ධනපාල වේදිකා නාට්‍යය පසු කාලීනව නිර්මාණකරුවන් රැසක් වේදිකාවට ගෙන එන ලදි. නීතිඥ චාල්ස් ඩයස් සූරීන්ගේ රචනයක් වන එහි නව නිෂ්පාදනය අවසන් වරට නිර්මාණය කරනු ලැබුවේ ටෙනිසන් කුෙර්ය. නීතිඥ චාල්ස් ඩයස් සූරීන්ගෙන් පසුව සිවම්මා ධනපාල නාට්‍යයේ පිටපතේ දෙවැනි හිමිකාරිත්වය දැරුවේ නැසීගිය වික්ටර් වික්‍රමගේ නම් ටවර් හෝල් කලාකරුවාය. ඔහු ද සිවම්මා ධනපාල නාට්‍යය වේදිකාගත කරනු ලැබූ අතර රුක්මණී දේවි ඇතුළු පිරිස එහි චරිත රංගනයෙන් දායක විය. එම නාට්‍ය එම නිර්මාණකරුවා විසින් නිළියන් පමණක් යොදාගෙන වේදිකාගත කොට වාර්තාවක් තබා තිබේ. එමෙන්ම සිවම්මා ධනපාල නාට්‍යයේ විවිධ නිෂ්පාදනයන්ට රුක්මණී දේවි, එඩී ජයමාන්න, වීනා ජයකොඩි, සුමනා අමරසිංහ, මාලනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, යන රංගන ශිල්පීහු ද රංගන දායකත්වය සැපයූහ. සිවම්මා ධනපාල නාට්‍යය ප්‍රථම වතාවට වේදිකාගත කරනු ලැබූයේ 1911 වසරේදීය.