ගැහැනියද ?.... සෑම කල්හිම බර දරන්නිය....

ජූලි 29, 2021

 

සෆීර්ගේ "Swings of love" (ආදරයේ ඔංචිල්ලා) නමැති ඒකපාත්‍ර (Monodrama) නාට්‍යය දෙස විමංසනාක්ෂිය හෙළීමේදී ලංකාවේ බිහිවූ පුරෝගාමී ද්විපාත්‍ර (wo - hander) නාට්‍යය වූ "කොරා සහ අන්ධයා"(1970) මෙහිදී මා හට සිහිපත් වේ. ක්‍රිස්තු පූර්ව යුගයේ ග්‍රීසියේ ඇරැඹී යුරෝපයේත් ඉක්බිතිව ආසියානු කලාපයේත් ප්‍රචලිත වූ උපමා කතාවක් මීට ඇසුරු විය. ආචාර්ය ධර්මසේන පතිරාජගේ පිටපතකට අනුව ධම්ම ජාගොඩ සූරීහු මෙය අධ්‍යක්ෂණය කළහ.එහිදී ඔහු අභිනව නාට්‍ය ශිල්ප ක්‍රම අත්හදා බැලුවේය. විනාඩි 45ක කාලයක් දිවෙන මේ නාට්‍යයේ නළුවන් දෙදෙනකු (විමල් කුමාර ද කොස්තා හා දයා තෙන්නකෝන්) පමණක් රංගනයට යොදා ගනිමින්, ආලෝක උපාංග ඔස්සේ ප්‍රේක්ෂක අවධානය අඛණ්ඩව රඳවා ගැනීමට ධම්ම දැරූ ප්‍රයත්නය විචාරකයෝ එකල අගය කළහ.

1997 වසරේ ප්‍රවීණ නාට්‍යවේදී නාමෙල් වීරමුනි මෙය ඉංග්‍රීසියට පරිවර්තනය කොට "The Lame and the Blind"  මැයෙන් අධ්‍යක්ෂණය කළේය. එහිදී සිංහල නාට්‍යයට වඩා වෙනස් අර්ථකථනයක් මතු කෙරිණ. මෙහිදී අඹු සැමියන් වූ කොරා ලෙස නාමෙල් වීරමුනිත් අන්ධ ගැහැනිය ලෙස මාලිනි වීරමුනිත් රංගනයෙන් දායක වූහ. ඇස් නොපෙනෙන බිරිඳ ඇවිදිය නොහැකි සැමියා පාර පෙන්වද්දී ඒ අනුව ඔහු තල්ලු කරගෙන ගමන් කරන්නීය. අඩි 8 ක් දිග අත් දෙකක් මේ තල්ලු කරගෙන යෑම උදෙසා නිර්මාණය කෙරිණ.

"ජීවිතයේ සෑමවිටකම බර උසුලාගෙන යන්නී ගැහැනියයි" යන නව්‍ය අර්ථකථනයද නාමෙල්ගේ "The Lame and the Blind"  ඔස්සේ ඉස්මතු විය. මේ නාට්‍යය කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේත් පේරාදෙණිය විශ්විද්‍යාලයේත් වේදිකාගත කෙරිණ. ඉන්පසුව ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරත් හවායි විශ්වවිද්‍යාලයේත් මේ නාට්‍යය රඟදැක්වුණු අතර හවායි විශ්වවිද්‍යාලයේ දර්ශනයේදී වෙනසක් සිදුවිය. එනම් මෙහි භූමිකා ද්වය මාලිනී වීරමුනි හා හවායි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක නිරූපණය කිරීමය.එහිදී මෙය ස්ත්‍රී භූමිකා ද්වයක් සහිත නාට්‍යයක් ලෙස වෙනස්කම්වලට ලක් කෙරිණ.1888 වසරේ ඇන්ටන් චෙකොෆ්ගේ සුප්‍රකට නාට්‍යය ඇසුරෙන් නාමෙල් වීරමුනි අධ්‍යක්ෂණය කළ "The Bear"(1997) හාස්‍යෝත්පාදක ඉංග්‍රීසි නාට්‍යයත්"The Lame and the Blind"  සමඟ එකට වේදිකාගත කළ බව මා සිහියට නැඟෙයි. නාමෙල් වීරමුනි (ස්මිනොව්) ,මාලිනී වීරමුනි (පොපෝවා) මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළ අතර සේවකයාගේ භුමිකාව රැඟුවේ එවක කොළඹ වෙස්ලි විද්‍යාලයේ විදුහල්පති ධුරය හෙබ වූ බෙන් ප්‍රනාන්දුය.

සැමියාගේ මරණය හේතුකොට කළු වස්ත්‍රයෙන් සැරසී ශෝකයෙන් පසුවන පොපෝවා මහත්මිය හමුවීමට ප්‍රචණ්ඩ ගති ඇති ධනවත් මිනිසකු වූ ස්මිනොව් පැමිණේ. ස්මිනොව් ඇය හමුවීමට පැමිණෙනුයේ ඇගේ ස්වාමියා ජීවත්ව සිටියදී ඔහුගෙන් ලබාගත් ණය මුදල නැවත ඉල්ලා ගැනීමටය. ඔහු තුවක්කුව අමෝරාගෙන තර්ජනය කරමින් මේ ණය මුදල ඉල්ලා සිටියි. ඇයද ඔහුට බැණවදිමින් තම සැමියා මළ ශෝකය කියා සිටී. එහෙත් ක්‍රමිකව ඇයගෙන් අනාවරණය වනුයේ තමා කෙතරම් අවංකව සැමියා වෙනුවෙන් කැප වුවද ඔහු විවිධ ස්ත්‍රීන් සමඟ සල්ලාල ජීවිතයක් ගෙවූ බවය. කෙසේනමුදු පොපෝවා මහත්මිය ස්මිනොව්ට බැණවදිමින් තම තුවක්කුවෙන් ඔහුට වෙඩි තැබීමට උත්සහ කළත් තුවක්කුව හරියට අල්ලා ගැනීමට ඇය නොදනී. මෙය දකින ස්මිනොව් ඉතා ආදරයෙන් ඇය වෙත සමීප වී තුවක්කුව අල්ලන අයුරු කියා දේ. ණය මුදල අමතක වී ඔහු ඇය හා ප්‍රේමයෙන් බැඳෙයි.

"ඔය මගේ අශ්වයාට පිදුරු ටිකක් දෙන්න"යැයි ස්මිනොව් සේවකයාට පැවසීමෙන් සහෘදයා වෙත ජනිත කරනුයේ ඔහු එතැන් සිට මේ නිවසේ ඇය සමඟ වෙසෙන බවය. මේ ඔස්සේ චෙකොෆ් ජීවිතය දෙස හෙළනුයේ ගැඹුරු උපහාසාත්මක දෘෂ්ටියකි.

ඉන් පෙර 1967 දී චෙකොෆ්ගේ The Bear" මහාචාර්ය තිස්ස කාරියවසම් "පෝරිසාදයා" ලෙස සිංහලට පරිවර්තනය කළ අතර ධම්ම ජාගොඩ සූරීහු මේ නාට්‍යය අධ්‍යක්ෂණය කළහ. වින්ස්ටන් සේරසිංහ ස්මිනොව් ලෙසත් අයිරාංගණී සේරසිංහ පොපෝවා ලෙසත් මෙහි රඟපෑ අතර මේ යුවළ සිංහල වේදිකා නාට්‍යයක එකට රඟපෑ ප්‍රථම අවස්ථාව එය විය.

2012 වසරේදී "කොරා සහ අන්ධයා" නාට්‍යය "පයනිහල්" මැයෙන් දෙමළ බසෙන් රොනිකා චාමලී සහ සෙල්වරාජ් ලීලාවතී අධ්‍යක්ෂණය කළහ.මෙහිදී ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ පිටපත දෙමළ බසට නඟන ලද්දේ රාසයියා ලෝහානන්දන් විසිනි. රොනිකා සහ ලීලාවතී දෙපළ ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ලයන්ගේ මඟපෙන්වීමෙන් "ජනකරළිය" ඔස්සේ කලාවට ප්‍රවිෂ්ට වූහ."පයනිහල්"නාට්‍යය 2012 වසරේ නවදිල්ලි අන්තර්ජාතික නාට්‍ය උලෙළ නියෝජනය කළ බැව් අපට අමතක නැත. ත්‍යාගරාජා ශිවනේසන් සහ රාසයියා ලෝහානන්දන් මෙහි කොරා සහ අන්ධයා ලෙස රඟපෑහ. සිංහල සහ ඉංග්‍රීසි නාට්‍ය නිෂ්පාදනයේදී පෙර පරපුරේ ප්‍රවීණ නාට්‍යවේදීන් මේවා නාමකරණයේදී නොසිතූ පැතිකඩක් වෙත මේ යොවුන් නාට්‍යවේදිනියන්ගේ අවධානය යොමු වූ බැව් මෙහිදී කිව යුතුය. එනම් සිංහල බසෙන් කොරා සහ අන්ධයා කී කල්හිත් ඉංග්‍රීසි බසෙන්"The Lame and the Blind" කී කල්හීත් එබඳු ආබාධිත පුද්ගලයන්ගේ සිත් රිදීමට එය හේතුවක් වීමට බැරි නැත. පළමුවෙන් දෙමළ නාට්‍යය නම් කෙරුණේත් ඒ අනුව යමින් "කුරුඩනුම් නොන්ඩියනුම්" නාමයෙනි. රොනිකාගේ සහ ලීලාගේ ගුරුවරයකු වූ ප්‍රවීණ නාට්‍යවේදී එච්.ඒ. පෙරේරාගේ පළමු අනුස්මරණය වෙනුවෙන් මේ නාට්‍යය වේදිකාගත කළ අතර එහිදී එය නැරැඹූ යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මේ නාමකරණයෙන් එබඳු ආබාධිත පුද්ගලයන්ගේ සිත් රිදවීමක් ඇති වේ යැයි කියා නම වෙනස් කරන ලෙස ඉල්ලා සිටියහ. ඒ අනුව මේ නාට්‍යයේ නාමය "පයනිහල්" ලෙස වෙනස් වීය. එහි අරුත "මගියෝ" (Passengers) යන්නය. මේ වූ කලී ගැඹුරු දර්ශනයක් සහිත, ද්විපාත්‍ර දෙබස් සහිත නාට්‍යයකි. සිංහල (කොරා සහ අන්ධයා) හා දෙමළ (පයනිහල්) නාට්‍ය ද්වයෙහි තේමාවේ සාම්‍යයක් දිස් විය. කොරාට ඇවිදින්නට නොහැකිය.අන්ධයාට මාර්ගය නොපෙනේ. ඔහු කොරා කරෙහි තබා ගෙන යා යුතුය. කරමත නැඟ සිටින කොරා අන්ධයාට පාර පෙන්විය යුතුය. ඔවුන් දෙදෙනාට ඇත්තේ ඔවුන්ගේම අන්‍යෝන්‍ය උපකාරය පමණකි. ප

සුතල කිසිවක් අන්තර්ගත නොවූ මේ නාට්‍යය කෙරෙහි ප්‍රේක්ෂක අවධානය අඛණ්ඩ ලෙස රඳවා ගැනීමට රොනිකා, ලීලා නාට්‍යවේදිනීහු දෙපළ සමත් වූහ. ඉන්දියානු "භරත රංග මහෝත්සව්" අන්තර්ජාතික නාට්‍ය උලෙළේ දී මෙය නැරැඹූ විචාරකයන් මවිතයට පත් වූයේ මෙය යොවුන් වියේ නාට්‍යවේදීනීන් දෙපළකගේ නිර්මාණයක් බව ඇසූ කල්හීය.සිංහල සහ දෙමළ ජනවාර්ගික සමගිය හා සංගතභාවය (Integration) අරභයා සිතා බැලූ කල්හි මෙබඳු නිර්මාණ කෙතරම් අගනේද ?

ඉතිරි කොටස ලබන සතියේ...