සම්මානනීය සිනමාවේදිනි අනෝමා රාජකරුණා අධ්‍යක්ෂණය කළ NOMORELAND වාර්තා චිත්‍රපටය පසුගිය ජූලි 7 වැනිදා සිට 13 වැනිදා දක්වා ඉන්දියාවේ කල්කටාහිදි පැවැති 8 වැනි දකුණු ආසියානු කෙටි චිත්‍රපට උලෙළේදි සත්‍යජිත් රේ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබුවේය.
NOMORELAND සිනමා පටය නිදහස් ශ්‍රී ලංකාවේ පළමු නැවත පදිංචි කිරීමේ සහ කෘෂිකර්ම සංවර්ධන ව්‍යාපෘතිය වන ගල් ඔය ව්‍යාපෘතියෙන් පසුව බිහිවු අම්පාර නම් පරිපාලන දිස්ත්‍රික්කයේ මතුවූ ඉඩම් ගැටලු පිළිබඳ අවධානය යොමු කරයි.
ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය(Museum of Modern and Contemporary Arts)මඟින් ලබා දුන් පැවරුමක් ඔස්සේ නිර්මාණය කෙරුණු මෙම වාර්තා චිත්‍රපටය පිළිබඳ එහි අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා සමඟ කරන ලද සාකච්ඡාවකි මේ.
ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය මඟින් පැවැත්වූ ‘බිම් පෙරළිය’ කියන ප්‍රදර්ශනයට සහභාගි වූ නිර්මාණකරුවන් අතරින් මේක අපි කාන්තා නිර්මාණකරුවන් තිදෙනකුට ලැබුණ අවස්ථාවක්. යම් තෝරාගත් භූමි ප්‍රදේශයක් පිළිබඳ නිර්මාණයක් කරන්නයි අපට පැවරුණේ. මම තෝරා ගත්තෙ අම්පාර ප්‍රදේශය. අම්පාර කියල කියන්නෙ ලංකාවෙ සුවිශේෂි දිස්ත්‍රික්කයක්. මඩකලපුවෙන් බිඳී ආරම්භ වූ නව පරිපාලන දිස්ත්‍රික්කයක්. එසේ වන්නේ ලංකාවේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ ගල් ඔය සංවර්ධන ව්‍යාපෘතියත් සමඟ.
සේනානායක සමුද්‍රය නිර්මාණය කරමින් ඇති කරන ගල් ඔය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම තෝරා ගත් කණ්ඩායම් අම්පාර දිස්ත්‍රික්කයේ පදිංචි කරවීම සිදු වනවා. එහිදී ඔවුන්ට ගොඩින් හා මඩින් වශයෙන් අක්කර ප්‍රමාණයක් ලබා දී කොලනි වශයෙන් පදිංචි කරවීමක් තමයි සිදු වුණේ. එහිදී වූ තවත් විශේෂත්වයක් වූයේ සේනානායක සමුද්‍රය නිර්මාණය කිරීමේදී එහි එතෙක් විසූ ආදිවාසීන්ටත් විශාල බලපෑමක් වීමයි. විශේෂයෙන් දානිගල වැනි කඳු ප්‍රදේශ ආශ්‍රිතව ඔවුන් පරිහරණය කළ පහළ භූමි ප්‍රදේශ ඔවුන්ට අහිමි වුණා. ඒ බිම් සේනානායක සමුද්‍රයට යට වූ අතර ඔවුන් ඒ ප්‍රදේශවලින් විතැන් වීම ද ඒ ඔස්සේ සිදු වුණා.
මේ ආදි වශයෙන් වූ නොයෙක් ආකාරයේ ගැටලු ගණනාවක් මේ පදිංචි කිරීම් සමඟ කාලයේ ඇවෑමෙන් ආරම්භ වීම සිදු වෙනවා. ඒ ගැටලු සියුම්ව නිරීක්ෂණයට ලක් කිරීමයි NOMORELAND සිනමා පටය නිර්මාණය වීම ඔස්සේ සිදු වන්නේ. එයට මම දීර්ඝකාලයක් කළ ක්ෂේත්‍ර පර්යේෂණක් තමයි පදනම් කර ගන්නේ.
NOMORELAND සිනමාපටය ඔස්සේ ඔබ ක්‍රමිකව වර්ධනය වූ ගැටලු රාශියක් ගැන අවධානය යොමු කරනවා නේද?
ඔව්. ගැටලු ගණනාවක් මෙහිදී අවධානයට අරන් තිබෙනවා. අද වෙනකොට දශක ගණනාවක් ක්‍රමිකව ඔවුන් මුහුණ දී ඇති ගැටලු අතර ඉඩම් ගැටලුව විශාලයි. මුල් පදිංච් කිරීම් වන අවස්ථාවේදි ගොඩින් මඩින් අක්කර ප්‍රමාණයක් වශයෙන් ලබා දී තිබූ ඉඩම් හෝ භූමි ප්‍රමාණය අද වන විට විශාල ලෙස ඔවුන්ට අහිමි වී තිබෙනවා. සමහර විට කෙතකට ලියැදි දෙකක කුඹුරක් තරම්. ඒ අනුව ඔවුන්ට තවදුරටත් කෘෂිකර්මාන්තය ඔස්සේ ජීවත් වීමට නොහැකි වී තිබෙනවා.තවත් පැත්තකින් අම්පාර දිස්ත්‍රික්කයේ වෙනත් රැකියා අවස්ථා ද අවමයි.
තවත් ගැටලුවක් විදියට ඔවුන්ට මුහුණ දෙන්න වූයේ අසූ තුන වර්ෂය වැනි කාලයක ඇතිවු ගැටුම්. ඒ හේතුවෙනුත් ඔවුන්ට සිය භූමි අතැර යෑමට සිදු වුණා. ඔවුන් නැවත පැමිණි පසු ඔවුන්ට ඒ ඉඩම් වෙනුවෙන් අයිතිය තහවුරු කළ නොහැකි අවස්ථා පැන නැඟුණා. නීතිමය හිමිකම් නොමැති කමින් එතෙක් ඔවුන් පරිහරණය කරමින් තිබූ භූමි අහිමි වුණා.ඊට අමතරව විශාල වශයෙන් සතුන්ගේ උපද්රවවලටත් ඔවුන් මුහුණ දුන්නා. අනිත් පැත්තෙන් සත්ත්ව පාලනයේ යෙදෙන පිරිස් හට ඒ සතුන්ගේ ආහාර පිණිස වන තෘණ භූමි ක්ෂය වුණා. අලි මිනිස් ගැටුමටත් උපරිමයෙන් මුහුණ දෙන පිරිසක් බවට ඔවුන් පත් වෙලා තිබෙනවා. සුනාමි ව්‍යසනයත් ඔවුන්ට විශාල බලපෑමක් ඇති කළ සාධකයක්. ඒ ප්‍රදේශවල ඉන් අවතැන් වූ පිරිස විශාලයි. ඊළඟට උක් වගාව බහුල ව සිදු වන ප්‍රදේශයක් ලෙස උක් ගොවීන්ට ඇති වී තිබෙන ගැටලු ආදි වශයෙන් බොහෝ කාරණා ගැන අවධානය යොමු වනවා.
ඔබ මේ සිනමා පටයේ කාන්තා කෝණයෙන් මේ ගැටලු ඉදිරිපත් කරන්න උත්සාහ ගෙන තිබෙනවා. මොකක්ද විශේෂත්වය ?
ඔව්. ඒක ටිකක් විශේෂයි. දැන් මෙවැනි ගැටලු ගැන කතා කරද්දි මා දුටු ප්‍රධාන දෙයක් තමයි බොහෝ විට ඒ ගැටලු සාකච්ඡා කරන්නෙ පිරිමි. නමුත් මම කල්පනා කළා කාන්තාවන්ගෙ දෘෂ්ටි කෝණයෙන් මේ පළාතේ ගැටලු ගැන කියන්න. එතනදි ඒ ප්‍රදේශවල ඉන්න සිංහල දමිළ මුස්ලිම් කියන වාර්ගිකයන් වගේම ආදි වාසීනුත් එක්ව කාන්තාවන් එකොළොස් දෙනකුගේ කතන්දර ඔස්සේ තමයි මම මේ ඉඩම් ගැටලුව ගැන කතාව කිව්වෙ.
ඔබ මෙය මුලින්ම නිර්මාණය කළේ ගැලරි අවකාශයකට නේද ?
ඔව්. ඒ කියන්නෙ මේක මුලින්ම ප්‍රදර්ශනය කළේ Museum of Modern and Contemporary Arts කලාගාරයේ. එහිදී පොළොව මට්ටමේ සිට සිවිලිම දක්වා වූ විශාල තිරයකට චිත්‍රපටය යොමු කර ප්‍රදර්ශනය කළේ. එතකොට හැමෝමත් පොළොව මට්ටමේ සිට වාඩි වී තමයි එය නැරඹුවේ.
මේ චිත්‍රපටයට මම පාවිච්චි කළේ අපට නෙතට හුරු පුරුදු දර්ශන තල නොවේ. භූමි දර්ශනයි. (land scape) එතනදි ඒ දීර්ඝ භූමි දර්ශනවලට ප්රතිපක්ෂව මා සම්මුඛ සාකච්ඡාවට ලක් කළ කාන්තාවන්ගේ ආලේඛ්‍ය රූප යොදාගෙන තමයි නරඹන අයට මේ කතාව කියන්නේ. ඒ වගේම ඒ කාන්තාවන් සියලු දෙනාගෙ කතා සහිත හඬ එක හඬ පටයක් ලෙස ගෙනයි නිර්මාණයට යොදා ගන්නේ. ඒ බොහෝ කතා එකිනෙකට පොදුයි. ඒ අනුව ඒ සියලු දෙනාගෙ කතා සාමුහික කතන්දරයක් විදියට මම ගොඩ නැඟුවා. එය අම්පාර දිස්ත්‍රික්කයේ දශක හතක කතාවක්. ගල් ඔය ව්‍යාපාරය ආරම්භ වද්දී මාස දෙකක් වයසැතිව එහි ආ දරුවකුගේ සිට මේ සහස්රකයේ ඉපදුණු විශ්වවිද්‍යාලීය ශිෂ්‍යාවකුත් මේ කතාව ඇතුළෙ ඔවුන්ගෙ කතාව කියනවා.
හාරදහසකට ආසන්න පිරිසක් මේ චිත්‍රපටය නැරඹුවා. ඒ වගේම එහි අන්තර්ජාතික මංගල දර්ශනය පැවැත්වු කල්කටාවේදීත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. මොකද බටහිර බෙංගාලය කියල කියන්නෙත් ඉඩම් ගැටලුව බහුලව ඇති ප්‍රදේශයක්.ඉතින් මේ කතා කරපු බොහෝ දේවල් ඔවුන්ටත් පොදු වූ නිසා එහිදීත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලද සිනමා නිර්මාණයක් බවට මෙය පත් වුණා.
සමුද්‍රිකා වර්ණකුල