මම වගේ අංකුර නළුවෙක් බිහි වුණේ එතුමිය නිසා
රංගන ශිල්පී චින්තක වාස්
මම ඉගෙනුම ලැබුවේ කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ. ඒ කාලේ අඩු ආදයම් ලැබුණු කතෝලික පාසැල් දරුවන්ට ශිෂ්‍යත්වයක් හිමිවුණා. අපි ජීවත් වුණේ බේරුවල. ඒ නිසා මම වසර කිහිපයක් පාසැල් ආවේ බේරුවල ඉඳන්. වියදම් වැඩි වූ නිසා තාත්තා අපිවත් අරගෙන කොළඹ ආවා. එහෙත් මගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම් වැඩි වුණා. තාත්තට රඟපෑමෙන් ලැබුණ මුදල් මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙන් කරන්න ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ අවස්ථාවේ තාත්තාට පිහිට වුණේ මාලිනී ෆොන්සේකා මහත්මිය.ඇය මගේ තාත්තා ( වින්සන්ට් වාස් ) සමඟ චිත්‍රපට කිහිපයකම රඟපාල තියෙනවා. දෙව්දුව සහ දෙවියනි ඔබ කොහෙද වැනි චිත්‍රපට වල ඇගේ පියා විදිහට මගේ තාත්තා රඟපෑවා. සැබෑ ජීවිතයේදීත් ඇය තාත්තාට සැලකුවේ ඇගේම තාත්තා විදිහට. ඇය නිතර මගේ තාත්තාගේ අතට මුදල් ලබා දී තිබුණා මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්.
මම වගේ අංකුර නළුවෙක් බිහිවුණේ එදා එතුමිය මගේ තාත්තාට කරපු උපකාරය නිසා. ඇය ඒ බව කිසිම කෙනෙකුට දැනගන්න ඉඩ තියලා නැහැ. ඇගේ දකුණු අතින් දුන් දේ ඇගේ වම් අතවත් දැන්නේ නැහැ වගේ ඒ කාරණය නිශ්ශබ්දව ඉටුකළා.එදා එතුමියගේ 78 වැනි උපන්දින සැමරුමට මමත් සහභාගී වුණා. එහෙත් මගේ ආදරය වචනයෙන් ප්‍රකාශ කරගන්න මට බැරිවුණා . එහෙත් ඈතින් සිට මම මගේ හදවතින් ඇයට පිං දුන්නා. එදා මගේ හදවතේ ආදරය පුරවා ගෙන ඈත ඉදන් මම ඇයට දීර්ඝායුෂ පැතුවා. ඇයට පිං දුන්නා ඇගේ බැතිබර හදවතට.
ශ්‍රී ලාංකික ජන සමාජයම ශෝකී වන මේ මොහොතේ ඇයට සුබ ගමනක් ප්‍රාර්ථනා කරනවා.
එයා නම් හරියට මාලිනී ෆොන්සේකා වගේ
රංගන ශිල්පී කලණ ගුණසේකර
අපේ පරම්පරාවේ මෙන්ම අපේ වැඩිහිටියන්, අපේ සහෝදරියෝ මඟුල් ගෙදරකට, සාදයකට යන්න ලස්සනට හැඩවෙන විට ශ්‍රී ලාංකික සමාජය ඒ ගැහැනියට කිව්වේ ” එයා නම් හරියට මාලිනී ෆොන්සේකා වගේ” කියලා. සංස්කෘතික සමාජයක කාන්තා සුන්දරත්වයේ කියවා ගැනීම මාලිනිය නම් නිළි රැජිනත් සමඟ එකට බඳී තිබුණා. එකල ඇය මිනි ගවුම අඳීන විට තරුණියගේ ඇඳුම එය වුණා. ඇය මල් සාරියක් අඳීන විට තරුණියන් ඒ විදිහට ඇන්දා. ගෙදර දහසක් වැඩ අවසන් කර කුණු දූවිලි පෙරාගෙන ඉන්නවාට වඩා ස්ත්‍රීත්වයට ලස්සන දෙන්න ඇය තරුණියන්ගේ මනසේ ඉදිරි දොරෙන් ජීවිතවලට ඇතුළු වුණා.
දශක ගණනාවක් ලාංකික ස්ත්‍රියගේ ලස්සන රඳා පැවතුණේ මාලනියගේ සිනමාව සමඟ බැඳී විලාසිතා මත. විලාසිතා යනු බටහිර පන්නයම නොව දේශීය ලස්සන කියා ඇය මතක් කර දුන්නා. ඒ සුන්දර මුහුණ සහිත පෝස්ටරය , පත්තර ගෙවල්වල බිත්ති පුරා අලවාගෙන ඇයගේ කතා කරන ඇස්, සුන්දර සිනහව දෙස බලාගෙන තමන්ගේ සිත් පුරවා ගෙන ජීවිතයට මුහුණ දුන් තරුණියන්ගෙන් ශ්‍රී ලාංකික ජන සමාජය පිරී ගියා.
අද තරුණ සමාජය පවා, ලස්සනට හැඩවෙලා කෙල්ලෙක් පාරේ යනවිට ” අඩේ බලහන්කෝ මාලිනී ෆොන්සේකා වගේනේ” කියා කියවෙන්නේ එදා සිටම අපේ මනසේ මවා තියෙන ඒ ලස්සන පරමාදර්ශී රූපයට. හෙට උපදින දුවකට පවා අපට කිව හැක්කේ මාලිනි වගේ ලස්සනට ඉන්න. ලෝකයේ ලස්සන මිය යන තුරුම මාලිනිය ජීවත්වනු ඇත.
තරුවක් අහසට එසැවුණු පසුව එය මිය යන්නේ නැත. සැමට එකසේ තාරකා ගුණය රසවිඳීය හැකි, ශරීරය මිය ගියත් මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා නිළි රැජින සදාතනික ලාංකික සිනමා සමාජයේ ජීවත් වනු ඇත.
එතුමිය සමඟින් වැඩ කරන්න ආසාවෙන් සිටියා
රංගන ශිල්පිනී මිශෙල් දිල්හාරා
ඇත්තටම හරිම දුක්බර සිද්ධියක්. එතුමියගේ සමුගැනීම විශ්වාස කළ නොහැකියි. මට එතුමිය සමඟ වැඩ කරන්න ලැබිලා නැහැ. ආසාවෙන් හිටියා එතුමිය සමඟින් රංගනයේ යෙදෙන්න. මම කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්න කලින් ඉඳන් එතුමියට ගරු කළා. මට රංගන ශිල්පිනියක් වෙන්න කැමැත්තක් ඇති වෙන්න එක් හේතුවක් තමයි මාලිනී ෆොන්සේකා මහත්මිය. මට ඇයව අවසන් වරට දැකගත හැකිවූයේ ඇගේ 78 වැනි උපන්දිනය සැමරුමේදී. එතුමිය සිංහල සිනමාවට විශාල මෙහෙවරක් කළ රංගන ශිල්පිනියක්. ඇය අපේ නිළි රැජින. එවැනි චරිතයක් සිංහල සිනමාවට අහිමි වීම දැරිය නොහැකි පාඩුවක්. අපේ සිත් තුළ රැඳුණු ආදරණීය චරිතය ඇයයි. එතුමියට නිවන් සුව අත්වේවා කියා ප්‍රාර්ථනා කරනවා.
පොළොවේ පයගහලා ජීවත් වූ ගැහැනියක්
රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න
මාලිනී අක්කගෙ සරල, චාම් දිවිපැවැත්ම මම කවදත් අගය කළා. ඇය අපේ රටේ අග්‍රගණ්‍ය නිළි රාජිනිය හැටියට සම්භාවනා ලබන වේදිකාවල පවා ඇගේ මුහුණෙ තිබුණෙ අව්‍යාජ, නිර්මල හිනාවක්. ඇයට ආදරය කරන සුවහසක් මිනිස්සුන්ගෙ හදවත්වල මැරෙන තුරුම ඒ හිනාව ඇඳීලා තියේවි. මාලිනිය කියන්නෙ ජීවිතේ හරියට තේරුම් අරන් පොළොවෙ පය ගහලා ජීවත්වුණු සැබෑ ගැහැනියක්. ඒ නිසයි ඇය රසික ජනතාවටත් මේ තරම්ම සමීපව දැනුණෙ.
මේ ලෝකෙ උපදින සෑම මිනිහෙකුටම පැවරෙන වගකීමක් තියෙනව. ඇය මේක හොඳීන් දැනගෙන හිටියා කියල මට හිතෙනවා. මාලිනී අක්කට පෞද්ගලික ජීවිතේ බොහෝ දේවල් අහිමි උණා, ජීවිතේ ලස්සනම කාලෙ ආදරය අහිමි උණා. හිත රිදෙන, පෑරෙන දේවල් කොච්චර දේවල් සිද්ද උණත් මාලිනී අක්කා තමන්ගෙ සමාජ වගකීමෙන් බැහැර උණේ නෑ. ඇය රැජිනක් වගේ නික්ම යන්නෙ කලාකාරියක් හැටියට තමන්ගෙ වගකීම උපරිමෙනුත් එහාට සම්පූර්ණ කරලා.
මට ඇයත් එක්ක වැඩ කරන්න ලැබුණෙ ‘එය වසන්තය නොවේ’ කියන ගීතයෙ රූපරචනයෙදි. ඒ අත්දැකීම මගෙ රංගන ජීවිතේ සදානුස්මරණීය මතකයක්. මාලිනී අක්කට, මේ මහා රංගවේදිනියට සුගතියම වේවා කියල ප්‍රාර්ථනා කරනවා…!!
ඇය අපට ගුරුවරියක්
රංගන ශිල්පිනී ශේෂාද්‍රි ප්‍රියසාද්
මාලිනී ෆොන්සේකා මහත්මිය නිළියක් විදිහට දැනගෙන හිටියත් ඇයව මම පෞද්ගලිකව හඳුනගන්නේ පුංචි කාලේ සිට. ඒ මගේ තාත්තාත් ඇයත් අතර තිබූ මිතුරුකම නිසා. 2012 වසරේදි මම රූපවාහිනි නාලිකාවක වැඩසටහනක් කළා 100% Youth යනුවෙන්. එහි මම නිවේදිකාව විදිහට කටයුතු කළා. එම වැඩසටහනට මාලිනී ෆොන්සේකා මහත්මිය සහභාගී වුණා. එදින මට අවස්ථාව ලැබුණා ඇයත් සමඟ කතා කරන්න. අපි බොහෝ දේ කතා කළා. සිනමාව ගැන. සිනමාවේ නියැළී සිටින ශිල්පීන් ගැන. ඇය සතුව දැනුම් සම්භාරයක්, අත්දැකීම් රාශියක් තිබුණා. ඇය ගුරුවරියක් වගේ. මාලිනී ෆොන්සේකා කියන්නේ අපේ පවුලට ඉතා සමීප කෙනෙක්. ඇයට දුප්පත්, පොහොසත් භේදයක් තිබුණේ නැහැ. කාටත් එක හා සමානව ආදරය කරුණාව දැක්වූවා. මගේ තාත්තා කළා ” අපායේ තප්පර අසූ හාරදහසක් නමින් චිත්‍රපටයක්. එහි කුඩා දරුවෙක්ගේ චරිතයට අරගෙන තිබුණේ මාව. ඇය එහිදී මාව වඩාගෙන සිටින ඡායාරූපයක් මම හරි ආදරෙන් , පරිස්සමෙන් තියාගෙන ඉන්නවා. ඇත්තටම හරිම දුකයි ඇයගේ සමුගැනීම. සිංහල සිනමාවේ ඇය නැති අඩුව පුරවාලිය නොහැකියි. නිළි රැජින මාලිනියට සැනසුම ප්‍රාර්ථනා කරනවා.
අම්මා කෙනෙක් වගේ අපට සැලකුවා
රංගන ශිල්පිනි නෙත්මි රොෂෙල්
මට මුලින්ම මාලිනී ෆොන්සේකා මහත්මිය මුණ ගැසුණේ රයිගම් ටෙලි සම්මාන උලෙළකදී. එදා මට ඇය කියූ දෙයින් මම පුදුම වුණා. මම ඔයා ඉන්න නිර්මාණ බලනවා, රසවිඳීනවා. ඇය අපේ සිංහල සිනමාවේ නිළි රැජින. එවැනි චරිතයක් අපේ නිර්මාණ රසවිඳීනවා කියා දැනගත් විට මට ඇතිවුණේ පුදුමාකාර සතුටක්. ඉන්පසු මට ඇයව හමුවුණේ රිදී රැයක් ඕස්ට්‍රේලියා සංචාරයේදී. දින විස්සක් මට ඇයත් සමඟ ගත කරන්න ලැබුණා. මට ඒ අවස්ථාවේ හිතුණා මම හරි වාසනාවන්තයි කියල. නිළි රැජිනිය සමඟ කාලය ගත කරන්න ලැබීම ඇත්තෙන්ම වාසනාවක්. ඇය අපි හැමෝටම අම්මා කෙනෙක් වුණා. අපිව හොඳීන් බලා ගත්තා. ඇය අපිට ගුරුතුමියක්. ඇයගෙන් අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තිබුණා. ඇයගේ වියෝව දැනගත් විට මට දැනුණේ මගේ ළඟින්ම හිටපු කෙනෙක් නැති වුණා හා සමාන හැඟීමක්. ඇයගේ සමුගැනීම මගේ හිතේ කම්පනයක් ඇති කළා.
anjalidehipitiya@gmail.com
නයනාංජලි දෙහිපිටිය