මෙවර විජය සැමරුම ගීත ගායනයට පමණක් සීමාවුණේ නැහැ

ප්‍රකට අධක්ෂ, නිෂ්පාදක - පද්මසිරි කොඩිකාර
නොවැම්බර් 17, 2022

 

විජය කුමාරතුංග කියන්නේ අපට සිටිය බොහොම සොඳුරු රංගන ශිල්පියෙක්. ඔහුට කොයිතරම් ජනතා ආකර්ෂණයක් තිබුණ ද කිව්වොත් ඒ ගැන අප ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. ඔහු අපව අතැර ගිහින් දිගු කාලයක් ගත වුණත් හැමදාම ඔහුගේ ජන්ම දිනය සිහිපත් කරන්න අපේ රසිකයෝ අමතක නොකරන වගත් කිව යුතු කාරණයක්. එහෙම කියනකොට අපේ මතකට නැඟෙන්නේ පසුගියදා චිත්‍රපට සංස්ථාවේ තිබුණු ඒ වගේ සැමරුමක්. ඒක නම් කරලා තිබුණේ සිනමා ශිල්පීන්ගේ විජය සැමරුම නමින්. මෙහි තිබුණේ වෙනදා වගේ ම විජය කුමාරතුංගගේ ජන්ම දින සැමරුම. ඒ කියන්නේ විජයගේ 77 වැනි ජන්ම දින සැමරුම. කොහොම වුණත් ඒ සැමරුම බොහොම සුන්දරව ගලාගෙන ගියා. එදා වේදිකාවේ විජයගේ ගී ගැයුවේ අපේ ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන්. ක්ලීටස් මෙන්ඩිස්, ශ්‍රියාණි අමරසේන ඇතුළු ඒ හැමදෙනාම ඒ සුන්දර උලෙළ අර්ථවත් කළා. විජය සහෘද සංසදය මඟින් සිදු කරන මේ සොඳුරු සැමරුමේ වැඩි වගකීමක් දැරුවේ අධ්‍යක්ෂවරයකු වුණු පද්මසිරි කොඩිකාර. මේ තාක් දුරට මේ සැමරුම කරගෙන ආවේ ඔහු. පළමුවෙන්ම ඒ පිළිබඳත්, විජය ගැනත් සිය මතකයත් ඔහු අවදි කළේ මේ ආකාරයෙන්.

 

“මේ තිබුණේ 77 වැනි විජය ජන්ම දින සැමරුම. වසර දෙකක් කොරෝනා නිසා මේ වැඩේ කරන්න බැරි වුණා. ඒත් අවුරුදු තිස්පහක් මේ සැමරුම දිගටම කරගෙන ආවා. එහිදි ප්‍රවීණයන් රැසක්ම ගීත ගායනා කළා. මේ විදියට මේ කාර්ය දිගටම සිදු වුණත් මම හැමදාම කල්පනා කළේ විජය වෙනුවෙන් මීට එහා ගිය දෙයක් කරන්නට බැරිද කියලයි.”

ඒ විදියට මේ වෙලාවේ ඔහු පැවසුවත් ඇත්තටම එහෙම දෙයක් පද්මසිරි කොඩිකාරගේ හිතට ආවේ මීට මාස කිහිපයකට කලින්. ඒ නිසා මදෝ කොහෙද විජයගේ ජන්ම දින සැමරුම වෙලාවේ අපට අසන්නට ලැබුණේ විශේෂ කතාබහක්. එදා ඒ කතාබහත්, විජය ජන්ම දින සැමරුමත් අතර තියෙන සම්බන්ධය ගැන අපට වැටහුණේ ඊටත් ටික වෙලාවකට පස්සේ.

“විජය වෙනුවෙන් මීට වඩා යමක් අපි කළ යුතුයි. ඒ අදහස පෙරදැරිවයි මා මේ කටයුත්ත සංවිධානය කළේ. ඒ කාලයක පටන් විජයගේ හිතේ තිබුණු අදහස් ටිකකට මේ සැමරුමේදි මා පණ දුන්නා. එහි මූලික පියවරක් විදියටයි ඒ ගොවි සමුපකාර සමිතියේ ගොවීන් ඇතුළු පිරිස සන්නසක් භාර දුන්නේ.”

ඒ සන්නසේ කතාව දින කිහිපයකට කලින් අවසන් වුණත් එදා වුණු ඒ වැඩේට මුල් වුණු කාරණා හොයා බලන්න සරසවියට තිබුණේ පුදුම උනන්දුවක්. ඒ උනන්දුවේ ප්‍රතිඵලයක් විදියටයි ඒ භාර දුන්නු සන්නසේ යටි පෙළ කතාව මේ විදියට දිග හැරෙන්නේ. ඒ වෙනස්ම කතාව අපි ඉදිරියේ දිග හැරියේ ඔහු. ඒ විජය ජන්ම දින සැමරුම සංවිධානය කළ පද්මසිරි කොඩිකාර. ඔහු විජයගේ ඒ අතීතය සිහිපත් කළා. ඒ වගේ ම අද සිනමාව ගැනත් යම් සිහිපත් කිරීමක යෙදුණා.

“අද ප්‍රේක්ෂකයන් ගැන හිතද්දි අපේ කලාකරුවන්, සිනමාකරුවන්, නිර්මාණකරුවන් නැති වීම නිසා ම සිනමාවෙන් ප්‍රේක්ෂකයන් ඈත් වෙලා ගිහින්. ඒ ඈත් වෙලා ගිය හොඳ ම අවස්ථාව තමයි ඒ කාලයේ දේශීය චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා අපට තිබුණු සිනමාහල් 367 අද ඒක 37කට අඩු වෙලා තිබීම. ඒකෙන් ම තේරෙනවා අද කොයිතරම් සිනමා ප්‍රේක්ෂක පිරිසක් අපට අහිමි වෙලා තියෙනවා ද කියලා. සිනමා ප්‍රේක්ෂකයෝ ගත්තොත් ඔවුන් සිනමා පටයක් ආවට පස්සේ විශේෂයෙන්ම පිටපළාත්වල, කුරුණෑගල, අනුරාධපුරයෙද පොලොන්නරුවෙද කියලා නැහැ. ට්‍රැක්ටර්වලින් තමයි ඒ සිනමා පට බලන්න මිනිස්සු එන්නේ. ඒක ඒ දවස්වල මං අනන්ත අප්‍රමාණ විදියට දැකලා තියෙනවා. ඒත් අද එහෙම ට්‍රැක්ටර්වලින් බලන්න සිනමාහල් ඇත්තෙත් නැහැ. චිත්‍රපට ඇත්තෙත් නැහැ.”

එහෙම කියන ගමන්ම ඒ කාලයේ විජයගේ සිතේ ප්‍රේක්ෂකයන්ට තිබුණු තැන ගැන ඔහු මෙහෙම කිව්වා.

“විජය කුමාරතුංග ගත්තොත් ඔහුත් එක්ක හිටිය කිට්ටුවන්තයෙකු හැටියට මා ඉතා වගකීමෙන් කියන්නේ ඔහු තමන්ගේ ප්‍රේක්ෂකයන් ගැන බෝහෝ දේ සිතුව කෙනෙක්. ඒ වගේ ම යාපනයේ ගමන්වලදි ධීවර ජනතාවගේ වගේ ම ගොවි ජනතාවගේත් ප්‍රශ්න ගැන සිතුවා. ඒ ගමන්වලට ඔහුට බොහෝ උදවු කළ කෙනෙකු තමයි නිෂ්පාදකවරයකු වගේ ම අධ්‍යක්ෂවරයකු වන රොබින් තම්පෝ. ඒ ගමන්වලට මමත් 80, 81 කාලයේ ගිහින් තියෙනවා. ඔහු හැම තිස්සේම උත්සාහ ගත්තේ ඒ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මොනවා හරි දෙයක් කරන්නයි. ඒවත් එක්ක තමයි මින්නේරිය අතුරු මැතිවරණයට ඔහු තරග කරන්නේ. ඒ වෙලාවේ ඔහු මට භාර දීලා තිබුණේ මින්නේරිය ආසනයේ දියබෙදුම, ඉහකුළු වැව, කටුකැලියාව කියන පෝලින් බූත් තුන. මේ ප්‍රදේශවල හිටියේ සියයට 99ක්ම වගේ කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන අය. ඒ වගේ ම ඒ ගොල්ලෝ චිත්‍රපටවලට ළැදි රසික පිරිසක්. එහේදි විජය තරග කරනවා කියලා කිව්වට පස්සේ ඒකට කැමැති වෙලා ඔවුන්ගේ පූර්ණ සහයෝගය විජයට ලබා දෙනවා. ඊට පස්සේ මේ ගොවීන් ඔවුන්ට තියෙන ප්‍රශ්න ගැන කියනවා. ඒ ගැන මා විජයට කිව්වට පස්සේ ඔහු මට කියන්නේ ඒ ගමට ගිහින් ඔවුන්ව මුණ ගැහෙමු කියලයි.”

විජය කොයිතරම් ඒ පිරිසට ආදරේ කළා ද කිව්වොත් ඔහුගේ වචන වචනවලට පමණක් සීමා කළේ නැහැ. ඔහු එක්තරා දවසක ඒ ගම් ප්‍රදේශයට ගිහින් ඒ ගොවීන්ගේ අදහස් විමසුවා.

“එහිදි ඒ ගොවීන් විජයට පවසන්නේ ඔවුන් ඒ නියැළෙන කෘෂි කර්මාන්තය සඳහා යොදා ගන්න යන්ත්‍රසූත්‍ර නිසා නිෂ්පාදන වියදම වැඩි වීම ගැනයි. ඒ නිසා ඉස්සරහට ඔවුන්ට මුහුණ දෙන ගැටලු ගැනයි මේ ගොවීන් කතා කළේ. ඔවුන්ගේ ඒ ප්‍රශ්න ගැන ඇහුව විජය කියන්නේ මේ වගේ කතාවක්. එකල තිබුණු ඒ රජය යටතේ නම් ඒ කියන ප්‍රශ්නවලට සහන මුකුත් බලාපොරොත්තු විය නොහැකි බවයි. මේ ප්‍රශ්නවලට සහයෝගයක් ලබා ගත හැකි වෙන්නේ දේශීය කර්මාන්තකරුවන් ගැන හිතන දවසකට බවයි ඔහු පවසන ලද්දේ. ඒ නිසා අනාගතයේදි එවැනි දවසකදි මේ ගොවීයන්ගේ ප්‍රශ්න වෙනුවෙන් අපේ වැඩසටහනක් අපි හදමු කියලත් ඒ කතා ඇහුව විජය මට පැවසුවා. එහෙම කිව්වත් විජයගේ මරණයත් එක්ක ඒ සියලු දේ නැති වෙලා ගියා.”

එහෙම වුණත් විජයගේ සිතේ තිබුණු යම් යම් දේ තේරුම් ගත්ත කෙනෙකු විදියට පද්මසිරි කොඩිකාර කළේ ටෙලි නාට්‍යයක් හදන එක. ඒ ‘වැලි කතරට අලුත් ඉරක්’ නමින්.

“මම ඒ ටෙලි නාට්‍යය හදන්නේ උතුරේ ගොවියන්ගේ, ධීවරයන්ගේ ප්‍රශ්න එකතු කරගනිමින්. ඒ නිර්මාණය ඉහළ අගය කිරීමකටත් ලක් වෙනවා. ඒ මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඇතුළු ඒ නිර්මාණය නැරැඹුව විද්වත් පිරිසගේ. එතැන තියෙන්නේ ඇත්තටම විජය කුමාරතුංග මහත්තයාගේ දර්ශනයයි. ඒ ගොවියන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ කොහොම ද කියලයි මං ඒ මඟින් කතා කළේ. ඒ නිර්මාණය 2000 වසරේදි ජාතික රූපවාහිනියෙත් විකාශය වෙනවා.”

එහෙම නිර්මාණයක් කළ ඔහු අද ගොවියන් ගැන කියන්නේ මෙහෙම කතාවක්.

“එහෙම බලන කොට පසුගිය කාලයේ මා රූපවාහිනිය, පත්තර බලලා තීරණය කළ දෙයක් තිබුණා. ඒ ඉදිරීයේදි මේ ගොවියෝ කෘෂිකර්මාන්තයෙන් ඉවත් වෙනවා කියන කාරණය. ඒ නිෂ්පාදන වියදම් වැඩි වීම නිසා. ඉන් පස්සේ මේ සම්බන්ධව කුමක් කළ යුතු දැයි මා කල්පනා කරමින් සිටින අතරතුරේ මට දැන ගන්නට ලැබෙන්නේ මිණිපේ, මහියංගණය, හසලක කියන ප්‍රදේශවල වැඩ කරන කෘෂිකර්ම උපදේශිකාව ගැනයි. ප්‍රියංකා ජයවීර කියන ඈ ඇත්තටම බොහොම කැපවීමෙන් තමන්ගේ රාජකාරිය කරන රජයේ නිලධාරිනියක්. ඈට කතා කරලා මා ආරාධනා කරන්නේ ගොවිමහතුන් කිහිපදෙනෙකු සමඟ මේ පිළිබඳ සාකච්ඡාවක් කිරීම සඳහා පැමිණෙන ලෙසටයි. ඒ ආරාධනයට අනුව ඈ ගොවිමහත්වරුන් තුන්දෙනෙකු සමඟ පැමිණියාට පස්සේ අපි ඔවුන්ගේ ගැටලු ගැන කතා බහට ලක් කරනවා. ඒ වගේ ම ඒ කතා අහගෙන සිටිය මා ඔවුන්ට පවසන්නේ නිෂ්පාදන වියදම අඩු කරගත හැකි ආකාරය පිළිබඳයි. ඒක අහන ඒ අයගෙන් මට ලැබෙන්නේ ඉහළ අගය කිරීමක්. කොහොම වුණත් මේ අයගේ ගැටලු ගැන කතා කරන්න මම එහේට දවසක එන්නත් ඔවුන්ට පොරොන්දු වෙන්නේ මේ අතරයි.”

ඒ පොරොන්දුවට අනුව හසලක කියන ප්‍රදේශයට යන පද්මසිරි කොඩිකාර ගොවින්ගේ කතාබහට ඇහුම්කන් දෙන්නේ බොහොම උනන්දුවෙන්. ඒ රැස්වීමට ඒ ප්‍රදේශයේ ඉන්න ගොවිමහතුන් බොහොම දෙනෙක් එන්නේ බලාපොරොත්තු රැසක් හිතේ තියාගෙන.

“මම මේ හැම වැඩක්ම කරද්දි මතකයට ආවේ විජය කුමාරතුංග මහත්තයා. ඔහු පිළිබඳ ළඟදි පැවැත් වුණු උත්සවයත් හිතේ තියාගෙනයි එදා මා එවැනි කටයුත්තකට සහභාගි වුණේ. ඒ කියන්නේ ඔහුගේ පසුගියදා පැවැත්වුණු 77 වැනි ජන්ම දින සැමරුමට මාස කිහිපයකට කලිනුයි මා මේ කටයුත්ත කරන්නේ. ඒ කියන්නේ ඒ කාරණයත් ඉලක්ක කරගෙනයි මා මේ ගොවි සමිතියට සහභාගි වන්නේ. කොහොම වුණත් එදා ඒ හසලක තිබුණු රැස්වීමේදි ඔවුන් සියලු දෙනා එකතු වෙලා ගොවි සමුපකාර සමිතියක් පවා නිර්මාණය කළා.”

එහෙම නිර්මාණය වුණු මේ ගොවි සමුපකාර සමිතිය ගැන පද්මසිරි කොඩිකාර හිතේ කොනක තියාගෙන හිටියා. ඒ නිසාම ඔවුන් වෙනුවෙන් යමක් කළ යුතු බව සිතමින් සිටි ඔහු ඔවුන්ට පසුගියදා පැවැත්වුණු විජයගේ ජන්ම දින සැමරුමට ආරාධනා කළා.

“පසුගියදා පැවැත්වුණු විජයගේ ජන්ම දින සැමරුමට එන්න කියලා මා ප්‍රියංකා ජයවීරට කියන්නේ එයාගේ ගොවි සමුපකාර සමිතියේ ඉන්න ගොවි මහත්වරු කණ්ඩායමකුත් එක්කයි. ඒ වගේ ම ඔවුන් සියලු දෙනාටම සියලු පහසුකම් සපයන්නත් මා පොරොන්දු වෙනවා. ඒ අනුවයි එදා විජයගේ 77 වැනි ජන්ම දින සැමරුමට මේ ගොවියන් සහභාගි වන්නේ. ඒ කියන්නේ මේ සැමරුම් උත්සවයේදි විජයගේ දේශපාලන දර්ශනය ගැන පැහැදිලි කරමින් ගොවීන්ගේ කතාව මගේ කතාවට ඇතුළත් වෙන්නේ ඒ ආකාරයට. ඒ විතරක් නොවෙයි ඉන් පස්සේ කතා කරන කෘෂිකර්ම උපදේශිකාව වන ප්‍රියංකා ජයවීරගේ කතාවෙන් පැහැදිලි වෙන්නේ එදා ගොවීන්ගේ රැස්වීමේදි ඇති වුණු වැඩපිළිවෙළ ගැනයි. ඇගේ කතාවෙන් පස්සේ කතා කරන්නේ ඒ ගොවි සංවිධානයේ සභාපතියි. ඔහු දැනටත් කුඹුරු වැඩ කරන ගොවියෙක්. ඔහු එදා පවසන්නේ මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණොත් අපේ රටේ සියලු ගොවි මහත්වරුන්ට විශාල ශක්තියක් ගොඩනැඟෙන බවයි. ඒ විදියටයි ඔවුන් පිත්තල සෙම්බුවක දමා සකස් කළ ඒ සන්නස අපේ ප්‍රවීණ රංගන ශිල්පිනියක වන ගීතා කුමාරසිංහ මහත්මියට එදා ඒ වේදිකාවේදි භාර දුන්නේ. ඒ එදා විජය ජන්ම දින සැමරුමේ සිදු වුණු කතාබහට මූලික වූ පසුබිමයි මා මේ පැවසුවේ.”

ඒ පසුගියදා විජය ජන්ම දින සැමරුමේදි භාර දුන්නු සන්නසට පාදක වුණු වෙනස්ම කටයුත්ත ගැන මෙසේ හෙළි කරද්දි පද්මසිරි කොඩිකාර එහි අලුත් තත්ත්වය ගැනත් මෙසේ පැවසුවා.

“එදා ඒ සන්නස භාර ගත්ත ගීතා කුමාරසිංහ මහත්මිය මේ වනවිට සූදානම් කරලා තියෙනවා කෘෂිකර්ම ඇමතිතුමාටත්, ඉන් පස්සේ ජනාධිපතිතුමාටත් කතා කරලා මේ කටයුත්ත සිදු කරන්න. ඒ වගේ ම ඇගේ මැදිහත් වීමෙන් මේ කටයුත්ත ක්‍රියාත්මක කරවන්න ඇගේ උපරිම සහයෝගය ලබාදෙන බවයි ඈ පැවසුවේ. ඒ වගේ ම විජය කුමාරතුංග මහත්තයාගේ සිනමා ගමනේ ඔහු මේ රටේ ප්‍රේක්ෂක ජනතාවට තිබුණු ආදරයයි මේ මඟින් ඉදිරිපත් වුණේ. ඒ කියන්නේ මේ ප්‍රේක්ෂකයන් වෙන කවුරුවත් නොවෙයි, මේ ගොවි ජනතාවයි. ඒ විතරක් නොවෙයි අද හැම දෙයක් ගැනම කතා කළත් කිසිවකුත් ප්‍රේක්ෂකයන් ගැන කතා කරන්නේ නැහැ. ඔවුන්ගේ අවශ්‍යතාවන් ගැන කතා කරන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් විදියටයි අද සිනමාවෙන් ප්‍රේක්ෂකයන් ඈත් වී ඇත්තේ. සිනමාහල් වැසී ගොස් ඇත්තේ. ඒ නිසා සිනමාව ගොඩගැනීමට නම් ප්‍රේක්ෂකයන් ගැන, ඔවුන්ගේ අවශ්‍යතා ගැන සිතා ඒවා ගැන තේරුම් ගෙන කටයුතු කරන ශිල්පීන් පිරිසකුයි මේ රටට අවශ්‍ය වන්නේ.”

එදා ඒ ගොවීන්ගේ කටයුත්ත සිද්ධ වුණේ ඒ විදියට. ඒ එදා හදිසියේම සිද්ධ වුණු දේ ගැන බොහොම දෙනෙකුගේ හිතේ තිබුණේ කුතුහලයක්.

“ඇත්තටම අපේ කලාකරුවන් කවුරුවත් ඔවුන් එදා එතනට එනතුරුත් දැනගෙන හිටියේ නැහැ මෙවැනි දෙයක් කරන බව. ගීත අහන බලාපොරොත්තුවෙනුයි විජයට ආදරය කරන සියලු දෙනා එදා එතනට පැමිණියේ. ඒ නිසාම ඒ සියලු දෙනා එදා පැවසුවේ ඉදිරියේදි සිදු විය යුත්තේ මෙවැනි කටයුතු බවයි.”

මෙන්න මෙහෙමයි සිනමා ශිල්පීන්ගේ විජය සැමරුම පසුගියදා සැමරුවේ. විජයගේ 77 වැනි ඡන්ම දින සැමරුමේදි එවැනි විශේෂ දෙයක් සිදු වුණත් එහි ප්‍රතිඵලය ලැබෙන්න නම් තව කාලය අවශ්‍යයි. ඒ කාලයට ඉඩ දෙමින් විජයගේ හිතේ තිබුණු මනුස්ස වර්ගයා පිළිබඳ බැඳුණු සෙනෙහෙ දම කොතරම් ද යන්න අපට සිහිපත් කරන්නේ ඔහුගේ ඒ කාලයේ කළ කතාබහ. ඒ වගේ ම ඔහු පිළිබඳ පවසන විට අපි හැමෝගෙම මතකයට නැඟෙන ඔහු ගැයුව මේ ගීතය මගේ සිතට පිවිසුණේ ඉබේටම වගේ.

“සැරයටියෙන් අපි යනෙන තුරා

සංසාරේ අපි එකට ඉමු

‍සංසාරෙන් අපි සමුගන්නා දා

ඒ ගමනත් අපි එකට යමු”

 

 

[email protected]