වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදයෙන් Syd Field ගේ Screenplay ග්‍රන්ථය ළඟදීම සිංහලට

තිර රචනයේ බයිබලය ලෙස විචාරකයන් විසින් හඳුන්වනු ලබන Syd Field ගේ Screenplay - The Foundations of Screenwriting කෘතියේ නිල පරිවර්තන අයිතිය ලබාගැනීමට ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදය සමත්වී තිබෙයි. ඇමරිකාවේ නිව්යෝක්හි පිහිටි Penguin Random House ප්‍රකාශන ආයතනය සමඟ අදාළ ගිවිසුම් අත්සන් කිරීම පසුගිය 25 වැනිදා සිදුකෙරිණි. වසර 75කට වඩා දිගු ඉතිහාසයක් ඇති ශ්‍රී ලාංකික සිනමා ඉතිහාසයේ මෙය සුවිශේෂී සංදිස්ථානයකි.
Syd Field ගේ Screenplay - The Foundations of Screenwriting කෘතිය වර්ෂ 1979දී ප්‍රකාශයට පත්වූවකි. ලෝ ප්‍රකට 3 Act Structure නම් ආකෘතික සුසමාදර්ශනය සිනමාව සඳහා ඉදිරිපත් කෙරෙන්නේ මෙකී කෘතියෙනි. ලොව වැඩිම ඉල්ලුමක් සහිත තිර රචනා ගුරුවරයා ලෙස සැලකෙන Syd Field ලෝකයේ හඳුන්වනු ලබන්නේThe Screenwriting Guru යනුවෙනි. වර්ෂ 1935 දී උපත ලැබූ Syd Field තිර රචකයෙකු, ලේඛකයෙකු මෙන්ම තිර රචනය සම්බන්ධ මහාචාර්යවරයෙකුද වෙයි. 70 දශකයේ ලෝ ප්‍රකට 20th Century Fox, the Disney Studios, Universal, Tri-Star Pictures වැනි සමාගම් රාශියකම “විශේෂ තිර රචනා උපදේශකවරයෙකු” ලෙස කටයුතු කර ඇති හෙතම තිර රචනා සිය දහස් ගණනක් කියවා, ඒවා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඉහත කෘතිය රචනා කර ඇත. හෙතම ඇමරිකානු තිර රචකයන්ගේ සංසදය-බටහිර (Writers Guild of America - West) හි ශාස්ත්‍රීය සම්බන්ධතා කමිටුවේ(Academic Liaison Committee)මුල්පුටුවද හොබවා ඇත. ලොව ප්‍රකට තිර රචකයන්, ස්ටීවන් ස්පිල්බර්ග්, පීටර් ජැක්සන්, ජේම්ස් කැමරන්, ඇල්ෆොන්සෝ කුරාන් ඇතුළු අති දක්ෂ සිනමා අධ්‍යක්ෂකවරුන් මෙන්ම පසුකාලීනව තිර රචනය සම්බන්ධව ව්‍යුහාත්මක කෘති රචනා කළ ඕතචඬඥ ඉරදඤඥප වැනි ලේඛකයන් පවා තිර රචනය සම්බන්ධව Syd Field ගේ ඉගැන්වීම් ගුරු කොට ගත් බව ප්‍රකාශ කර තිබෙයි.
මේ වන විට පිටපත් මිලියන ගණනක් අලෙවි වී ඇති Screenplay - The Foundations of Screenwriting කෘතිය භාෂා 22කට පරිවර්තනය වී තිබෙයි. ඊට අමතරව ඇමරිකාව තුල පමණක්, විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන 250කට අධික සංඛ්‍යාවක මෙය අධ්‍යයන කෘතියක් ලෙස භාවිතා කරනු ලබයි. එමෙන්ම ලෝකයේ බොහෝ විශ්වවිද්‍යාල සහ සිනමා අධ්‍යාපන ආයතනවල තිර රචනය සම්බන්ධව ඉගැන්වීමේදී Screenplay - The Foundations of Screenwriting කෘතිය කිසිසේත් මඟහැරයා නොහැකි කෘතියක් බවට පත්වී තිබෙයි. 1979 වර්ෂයේ මෙම කෘතිය නිකුත්වීමත් සමඟ තිර රචනා ශිල්පයේ සැලකියයුතු දියුණුවක් ඇතිවූ බවත්, මූලික වශයෙන්ම එය හොලිවුඩ් සිනමා කර්මාන්තයට විප්ලවීය වෙනසක් ඇති කර ඇති බවත් විචාරකයන් පෙන්වා දී තිබෙයි.
ශ්‍රී ලාංකික තිර රචකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, තිර රචනය සම්බන්ධ අධ්‍යාපන අවස්ථා වැඩි දියුණු කිරීම සහ තිර රචනා ශිල්පයේ ප්‍රමිතීන් ඉහළ නැංවීම යන මූලික අරමුණු 03 පෙරදැරිකරගෙන, ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදය පිහිටවූයේ 2021 වර්ෂයේ ය. සංසදය පිහිටුවා මාස 10ක් වැනි සුළු කාලයක් ඇතුළත, මෙවන් කෘතියක පරිවර්තන අයිතිය ලබාගැනීම ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. තිර රචනයේ නියුතු වෘත්තිකයන්, විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන මෙන්ම, තිර රචනය සම්බන්ධ උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට, තිර රචනය සම්බන්ධයෙන් ව්‍යුහාත්මක අධ්‍යයනයක යෙදීමට මෙම කෘතිය ඉමහත් පිටුවහලක් වනු ඇත. එමෙන්ම තිර රචනය සම්බන්ධයෙන් සිංහල භාෂාවෙන් ලියැවී ඇති කෘති ප්‍රමාණය ඉතා අල්ප වීම නිසා ඇතිවී ඇති රික්තය පිරැවීමට, මෙම කෘතිය මහඟු පිටුවහලක් වනු ඇත.