තෙළිඟු ගීයක් සම්මානනීය කළ 80 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළ

ජනවාරි 19, 2023

80 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සිනමා - ටෙලිවිෂන් සම්මාන උලෙළ පසුගිය ජනවාරි 10 වැනිදා කැලිෆෝනියාවේ බෙවර්ලි හිල්ස් හි ‘ද බෙවර්ලි හිල්ටන්’ හිදී පැවැත්විණි. මෙවර සම්මාන ප්‍රදානෝත්සවය මෙහෙයවනු ලැබූයේ, ජෙරඩ් කාර්මිචෙල් විසිනි. එහිදී හොලිවුඩ් ෆොරීන් ප්‍රෙස් ඇසෝසියේෂන්  (HFPA)  විසින් තෝරන ලද 2022 වසරේ හොඳම චිත්‍රපට සහ ඇමරිකානු රූපවාහිනි නිර්මාණ සම්මානයට පාත්‍ර විය. ඇමරිකානු නළු එඩී මර්ෆි සෙසිල් බී ඩෙමිලි ගෞරව සම්මානයෙන් ද ඇමරිකානු රූපවාහිනි රචකයකු සහ අධ්‍යක්ෂවරයකු වූ රයන් මර්ෆි කැරොල් බර්නෙට් ගෞරව සම්මානයෙන් ද පිදුම් ලැබූහ.

මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළ තෙළිඟු සිනමාවටද සුවිශේෂ විය. එස්එස් රාජමෞලි අධ්‍යක්ෂණය කළ ‘ආර්ආර්ආර්’ චිත්‍රපටය හොඳම ගීතය සහ හොඳම විදෙස් චිත්‍රපටය කාණ්ඩ දෙක යටතේ නිර්දේශ නාම අතරට ඇතුළත්වීමයි. මේ අතරින් හොඳම ගීතය වෙනුවෙන් වූ ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය ආර්ආර්ආර් චිත්‍රපටයේ “නාටු නාටු” ගීතයට හිමි විය. සුභාෂ් චන්ද්‍රබෝස් පද රචනය කළ “නාටු නාටු” ගීතයේ සංගීත අධ්‍යක්ෂණය කරන ලද්දේ සංගීතඥ එම්.එම් කීරවානි විසිනි. මෙම ගීතයේ තවත් සුවිශේෂ කරුණක් වන්නේ රුසියාව සහ යුක්රේනය අතර යුද වාතාවරණය ආරම්භ වීමට මාස කිහිපයකට පෙර යුක්රේන ජනාධිපති මන්දිරය ඉදිරිපිට මෙම ගීතයේ රූගත කිරීම් සිදු කර තිබීමයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කළ විප්ලවවාදීන් දෙදෙනෙකු පිළිබඳ කතාපුවතක් ගෙන ආ ‘ආර්ආර් ආර්’ චිත්‍රපටයේ ජූනියර් එන්ටීආර් සමඟ රාම් චරන් ප්‍රධාන චරිත නිරූපණය කළහ.

 

[email protected]