වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
සංගීත ලෝකයෙන් සමුගත් සොඳුරු දෙහදක්

ලාංකේය ගීත ඉතිහාසයේ ජනප්‍රිය ගීත රැසකට හිමිකම් කියූ ගායකයකු පසුගියදා සදහටම නික්ම ගියේය. ඔහු මෙරට ගීත සාහිත්‍යයට නව ආරක ගීත දායාද කළ ක්‍රිස්ටෝපර් පෝල් ය. ඔහු සිය ජීවන ගමන් මඟේ 86 වැනි වියේදී දිවිසැරිය නිමාකළේය.
ක්‍රිස්ටෝපර් පෝල් ජන්මලාභය ලබනුයේ මොරටුව ප්‍රදේශයේ දී ය. මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් සිප් සතර හදාරන ඔහු, කුඩා කල පටන් ම සංගීතයට ළැදියාවක් දැක් විය. ඔහුගේ ගුරුවරයා වනුයේ ප්‍රැන්සිස් පෙරේරාය. ක්‍රිස්ටෝපර් පෝල් ගුවන්විදුලියට රැගෙන එන්නේ ඔහු ය. එහෙත් කලක් ඔහු මරදාන නිව් ටවුන් ස්ටුඩියෝවේ උඩ තට්ටුවේ පිහිටි සුනිල් ශාන්තයන්ගේ සංගීත පන්තියේ සංගීතය ඉගෙන ගන්නා සිසුවකු ලෙසින් ඔහුගෙන් සංගීතය ඉගෙන ගත්තේය. ඒ 1956 දී පමණය.
එකල ගුවන් විදුලියේ පැවති ආධුනික, පැය මැලිබන් ගුවන් තොටිල්ල වැනි ආධුනික ගීත වැඩසටහන් සඳහා ක්‍රිස්ටෝපර් නිතර සහභාගි වූයේ ය. වෙළඳ සේවයේ ආරම්භයත් සමඟම පැවති සරල ගී පරීක්ෂණයට ඉදිරිපත් වූ ක්‍රිස්ටෝපර්, ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයකු වශයෙන් ශ්‍රේණිගත වූයේය. එකල ගුවන් විදුලි අධ්යක්ෂ ජනරාල්වරයා වූයේ ක්ලිෆර්ඩ් ඩොට් නම් සුදු ජාතිකයෙකි. ඉන්පසුව ගුවන් විදුලියේ සරල ගී වැඩසටහන් කිහිපයක්ම කළ ඔහු ගුවන්විදුලියට ගායනා කරන ලද මුල්ම ගීතය වූයේ ‘බෙල්ලෝ මුතු බෙල්ලෝ’ ගීතයයි. පසුකලක ප්‍රවීණ ගායක ගායිකාවන් වූ මොරිස් දහනායක, ඇන්ජලින් ගුණතිලක, සී.ඩී ෆොන්සේකා, වික්ටර් කදනාරච්චි වන්නෝ එකල ක්‍රිස්ටෝපර් පෝල් සමඟ ම සරල ගී සමත් වූවෝ වෙති.
හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ
හඬ නගා
මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ
තවත් හැඩ වෙලා
මේ ක්‍රිස්ටෝපර් පෝල් සිය ගුවන් විදුලි ගීත අතර තම අනන්‍යතාවය රැක ගත් ගීතයකි.
එසේම රුවන් තොරන් තනා
රන් තැඹිලි පොකුරු තබා
ගීතය ද එකල ඔහුගේ ගීත අතර අතිශයින්ම ජනප්‍රිය විය.
ගීත ඇසුරින් වෙළෙඳ දැන්වීම් නිර්මාණය වූ අවධියේ ඒ සඳහා දායක වූ මුල්ම ගායකයින් අතරද ක්‍රිස්ටෝපර් පෝල් විය. එකල අතිශයින්ම ජනප්‍රිය වූ ග්ලූකෝරස දැන්වීම ඔබට මතක ඇති.
ග්ලූකෝරස මාමේ
ග්ලූකෝරස මාමේ
කොච්චර කෑවත් මට මදි
ග්ලූකෝරස කෝ
මේ වෙළෙඳ දැන්වීම් ගීතය මුලින්ම ගායනා කළේ ක්‍රිස්ටෝපර් පෝල් ය. එසේම එකල ජනප්‍රිය වූ තවත් වෙළෙඳ දැන්වීමක් වූ ගුණසිරි බුල්ටෝ වෙළෙඳ දැන්වීමේ
දොයි දොයි දොයි දොයිය බබෝ දොයි ගුණසිරි බුල්ටෝ තාත්තා ගෙන එයි යන ගීතය ද ඔහු ගායනා කළේය. ලීලානි ගුණසේකර සමඟ විවාහ වී සිටි ඔහු පුතෙකුගේ සහ දියණියන් දෙදෙනෙකුගේ පියෙකි. ඔහුගේ අවසන් කටයුතු පසුගියදා සිදු කෙරිණ.
-----------
හින්දි ගීත ප්‍රිය කරන ලාංකේය ගීත රසික රසිකාවන් අතර ටෝනි හසන් ගේ නාමය අතිශයින් ජනප්‍රිය වූයේ ය. මුස්ලිම් ජාතිකයකු වුවද ඔහු බහුතරයක් ගායනා කිරීමට කැමැති වූයේ සිංහල ගීතයි. භාෂා කිහිපයකින්ම ගීත ගැයීමේ හැකියාව හිමිකරගත් ඔහු ද පසුගියදා අභාවප්‍රාප්ත වූයේය.
කුඩා කල පටන් ම ගීත ගැයීමේ හැකියාවෙන් යුතු වූ ටෝනි හසන් මුල් කාලයේ ගායනා කරනු ලැබුවේ ධර්මදාස වල්පොල ගැයූ ගීතයි. ඔහුට ගුවන් විදුලි සංස්ථාවේ දොරටු විවර වනුයේ 1959 දීය. ඔහු ගුවන්විදුලියට මුලින්ම ගායනා කරන්නේ සිංහල ගීතයකි.
පසු කලක ඔහු සරල ගී පරීක්ෂණයට ඉදිරිපත් වී ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයකු බවට පත් විය. සිංහල ගීත සියයකට වැඩි ප්‍රමාණයක් ඔහු විසින් ගායනා කර ඇත. ටෝනි ප්‍රසංග වේදිකාවට පැමිණෙනුයේ 1962 දීය. ඒ ජේ.ඒ.මිල්ටන් පෙරේරා ගේ ‘පොඩි කාලේ අපි දෙන්නා’ ගීතය ගායනා කරමිනි. ටෝනි සතු ගීත ගායනා කිරීමේ හැකියාව නිසාම ඔහුට වයස අවුරුදු 16 දී ම චිත්‍රපට පසුබිම් ගායනයට එක් වීමට අවස්ථාව ලැබුණේය. ඒ ආර්. මුත්තුසාමි මාස්ටර් විසින් සංගීතවත් කරන ලද තක්ෂිලාවේ ගැහැනිය නම් වූ ගීතය ගායනා කරමිනි. එය යුග ගීතයක් වූ අතර, ගායනා කරන ලද්දේ මිල්ටන් පෙරේරා සමඟය. ඉන්පසු ඔහු ශීලා, හදවත් නැත්තෝ, හොඳම වෙලාව, සිංගප්පූරු චාලී, හරිම බඩු තුනක්, හිතුවක්කාරයෝ, රජ වංශයෙන් එකෙක්, උතුර දකුණ, වන බඹරෝ, වෛරයෙන් වෛරය වැනි චිත්‍රපට සඳහා පසුබිම් ගීත ගායනා කළේය.
ඔහු ප්‍රසංග වේදිකාව තුළ වැඩියෙන්ම ජනප්‍රිය වූයේ හින්දි ගීත ගායකයකු ලෙසටය. හින්දි පමණක් නොව දෙමළ, අරාබි, ප්‍රංශ, මැලේ, උර්දු, ඉංග්‍රීසි වැනි භාෂාවලින්ද ගීත ගායනා කිරීමේ හැකියාව ඔහු සතු විය. ඔහු දෙමළ සේවයේද විශිෂ්ට ශ්‍රේණියේ ගායකයකු විය.
80 90 දශකයේ මෙරට අතිශයින්ම ජනප්‍රිය වූ කැසට් ගීත ක්ෂේත්රයේ ද ටෝනි හසන් නමක් දිනා ගත්තෙකි. භාග්‍යා, තරංගා ප්‍රාර්ථනා ආදී වශයෙන් සිංහල ගීත කැසට් ද ජානම්, ඩාන්ස් මේලා, ජූලි ආදී වශයෙන් හින්දි ගීත කැසට් ද ඔහු විසින් නිකුත් කළේය. පාකිස්තාන ජාතික කාන්තාවක් වූ රුක්ෂාණා සමඟ විවාහ වී සිටි ඔහුට දරුවන් දෙදෙනෙකි. ඔහුගේ අවසන් කටයුතු පසුගියදා සිදු කෙරිණ.