වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
අම්මාගේ ලෝකය වුණේ අපි පස්දෙනා

‘අපේ අම්මාගෙ ලස්සන එයාම නොදැකපු ගැහැනියක්. අපේ අම්මාට අපි පස්දෙනාගෙන් තොර ජීවිතයක් තිබුණේම නැහැ.’
“අපේ අම්මාට එයාගේ අපි දරුවන් පස්දෙනා ගැනම මිසක් එයාටයි කියල වෙන කිසිම සතුටක්, බලාපොරොත්තුවක් තිබුණේම නැහැ. අනේ, ඒ ආදරය නම් වචන වලින් කියල නිම කරන්නම බැහැ.”
හෙළ සිනමා රිදී තිරයේදී අප දුටු, අපට හමු වූ සුරූපිනියක වූ ඕ අක්කඩු මුක්කඩු වීර රඹුක්කන රඹුකෙන් ජයගත් වාසල මුදියන්සේලාගේ තලතා අබේකෝන් හෙවත් අප හිතට මුවඟට හුරු නමින් තලතා ගුණසේකර නම් රූපණවේදිනියයි.
අපේ ආදරණීය තලතා ගුණසේකර මහත්මියට දූ දරුවන් පස් දෙනයි. ප්‍රවීණ සිනමා රූපණවේදිනියක වන නදීකා ගුණසේකර එතුමිය ගේ වැඩිමහල් දියණියයි. ගංගා, පි‍්‍රයන්ති, යමුණා සෙසු දූ දරුවන් අතරේ දැන් මා ඉදිරියේ පසුවන්නේ එතුමියගේ බාලම දියණිය වන විද්‍යා ද සේරම් මහත්මියය.
දිගු කලෙක සිට දන්නා හඳුනන තරමේ නිහතමානී දයාබර බවින් පිරිපුන් බැල්මෙන් ද ඉංගී‍්‍රසි බස ද චතුරව හසුරුවන කතාවෙන් ද මිත්‍රශිලී ලීලාවෙන් මා හමුවේ පසුවන විද්‍යා ද සේරම් මහත්මිය සිය වෘත්තීයෙන් ගුවන් සේවා නිලධාරිනියකි.
සිය මවගේ ද තම වැඩිමල් සහෝදරිය නදීකා ගේ ද කිට්ටු මුහුණුවරකට සමාන රුවැත්තියක වන විද්‍යා “සරසවිය” වෙනුවෙන් සුහද පිළිසඳරකට මුල පිරුවේ ප්‍රථමයෙන් සිසිල් පැන් වීදුරුවක් ද දයාබරව පිළිගන්වමිනි.
‘අපේ අම්මාගේ රංගන ජීවිතය ගැන බොහෝ පුවත්පත්වල පළ වී තිබුණත් අපේ අම්මාගෙ ජීවිතය ගැන අහන්නට පැමිණීම ගැන මම සරසවිය පත්තරේට ස්තූතිවන්ත වෙනවා.’
ඕ කිවයුත්ත නොසඟවා කියන එඩිතර තැනැත්තියක යැයි මට ඉඳුරාම හැඟෙයි. එය ඇත්තක්මය.
‘අපේ අම්මා අපි පස්දෙනාට නිතර කියාදුන්න දෙයක් තමයි සත්‍යය හා නිදහස කියන දේ. ඒ එක්කම නිතර අපේ අම්මා අපට පුන පුනා කියපු දෙයක් තමා අප හොයාගෙන අපිම ආදරේ කරන කෙනෙකුට නොව අපට ආදරය කරන අයයි අප හිස්මුදුනින් පිළිගත යුත්තේ කියලා.
“එහෙම අපේ අම්මා අපට මේවා නිතර කියල දුන්නේ අම්මාගේ හිතේ ගැහුනු දරුවෝ වන අපි ගැන තිබුණු බය හින්දාමයි. මොකද අපේ අම්මාට එයාගෙ ජීවිතය වැරදුණ නිසා වෙන්නැති. ඒ විදිහෙ බයක් තිබුණු හින්දාමයි නදීකා අක්කාගෙ විවාහයත් පමාවන්න හේතු වුණේ. අම්මාට වැරදුණු විදිහට අපටත් වරදීවි ද කියල එයාට ලොකු බයක් තිබුණා.’
1937 වසරේ ජුලි මස 17 වනදා කන්ද උඩරට හඟුරන්කෙත උපන් අපේ කතා නායිකාව සහෝදරයන් දෙදෙනෙකුට හා සහෝදරියකට පවුලේ වැඩිමහල් දියණියයි. රදල පැලැන්තියට අයත් අගහිඟකම් කොහෙත්ම නැති ඒ ගමටම ආභරණයක් වූ ඒ වලව්වේ අපේ තලතාගේ තාත්තා ගරු ගාම්භීරයය. අම්මා ද එලෙසමය. සිංහල රාජ වංශයට සමීප නෑකම් ඇති ඒ පවුලේ තලතාට ද කිසිවකින් අඩුවක්ව තිබුණේ නැති.
උතුරා යන සැප පහසුකම් මැද ඉංග්‍රීසි පන්නයටම හැඩ ගැසුණු පවුලේ කතා බහද ඉංගී‍්‍රසි බසිනි. එහෙත් අපේ සොඳුරු කතා නායිකාව කුඩා වියේ සිටම හුරුවුයේ අතිශය චාම් සරල දිවි පෙවෙතකටය.
මම විද්‍යා සොයුරිය දෙස බලමි.
‘මම දැනුත් අපේ අම්මා ගැන පුදුම වෙනවා. ඒ තරම් සැපවත් පවුලක හැදුණු අම්මා මේතරම් සරල සැහැල්ලු ජීවිතයකට ආසා කළේ කොහොමද කියලා. අපේ අම්මා හරිම සැහැල්ලුයි. නිදහස ඉහළින්ම පි‍්‍රය කළා. ජිවිතේ කවදාවත් එයාගේ බොරුවක් නැහැ. ඇත්තට ගරු කළා. නිතරම අපට කියා දුන්නෙත් ඒකමයි. අපේ අම්මා වයස අවුරුදු පහේ ඉඳලා පාසලේ හොස්ටල් එකේ උන්නේ.’
පන්තියේ ළමුන් එක්ව සිය ගුරුවරියගේ බසට සවන් යොමා සිටිති. මේ අතරේ එක් සිසුවියක් තම ඩෙස්ක් එක යට ටින්කිරි ටින් එකක් හොර රහසේ තබා සිටී. එහි කවකටුවකින් සිදුරු කරන ලද සිදුරු දෙකකි. ගුරුතුමිය වෙනතක් බලාසිටිනා අතරතුර ඇය වහා ටින්කිරි ටින් එක ගෙන එහි කිරි ටික ටික බොයි.
විද්‍යා මුව අයා සිනාසෙයි. සුව පහසු අසුනක හිඳ පසුවන ඕ අත ළඟම තිබු කුඩා කොට්ටයක් උකුලට ගෙන සිනහව මැඩගනිමින් අතකින් කොට්ටයට සෙමින් පහර දෙයි.
‘අනේ මට හිතාගන්න බැහැ. අපේ අම්මා හරියට පොඩි ළමයෙක් වගේ සමහර වැඩ. ගෙදර එයා තනිවම ලූඩො සෙල්ලම් කරනවා. අපේ අම්මා නැතිවනතුරුම උන්නේ මං ළඟ.’ කෑම ලෑස්තියි අම්මේ කිව්වාම, අනේ මට කෑම එපා දරුවෝ කියල නෙස්ටර්මෝල්ට් පිටි කනවා. චීස්, බටර්, පාන් ඒවා තමා එයාගේ ආසම කෑම.
‘මං ගුවන් සේවිකාවක්නෙ. ඉතින් නිතර රට රටවල් ගානෙ මට යන්න වෙනවානෙ. අනේ ඉතින්, මං එක එක සාරි සෙරෙප්පු එහෙම අම්මාට ගෙනැත් දෙනවා. (ඕ අතකින් මුව වසාගෙනම බිම බලා හිඳින්නීය.)
ඈ මාදෙස බලන විට මා දුටුවේ ඒ දෑසෙහි පිරි කඳුළුය. ඇඟිලි තුඩු අගින් ඉනූ කඳුළු පිසගත් විද්‍යා ‘ඒ ඔක්කෝම පැත්තක ගොඩ ගහල සමහරදාට මහපු සෙරෙප්පුවක් දාගෙන යනවා. ගමන් බිමින් යද්දි මං වාහනයක් ලෑස්ති කර දෙන්න හදනවා. එයා කැමති නැහැ. ගියේම බස් එකේ. එක සාරිය දහදොළොස් වතාව අඳිනවා. අලුත් සාරි පැත්තට දාලා.
විද්‍යා යළි නිහඬවම බිම බලාගත්වනමය. ‘ඉතින්, ඔයාගේ අම්මා නිළියක්නේ. ලස්සනට නෙ එයාල ඉන්නේ.’ මම විමසුවෙමි.
ඕ සිනාවකින් මදෙස බැලුවාය.
අපේ අම්මා නිළියක් කියල මං පිළිගන්නේ නැහැ. අම්මාට රඟපාන්න බැහැ. හේතුව අම්මාට වෙනස් වෙන්නම බැහැ. අම්මා රඟපාපු හැම චරිතයක්ම මං හඳුනාගත්තේ ඒ දෙයමයි. ඒත් නිළියක් කියන ආඩම්බරය අම්මා ළඟ තිබුණා. ගිය ගිය තැන ලොකු පිළිගැනීමක් තිබුණා. අම්මගෙ අසාමාන්‍ය උසත් අම්මට හරහට බලපෑවා. කියල මං හිතන්නේ.
යටගිය දිනෙක ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නිපැයු ගම්පෙරළිය චිත්‍රපටයේ රඟපෑමට අපේ තලතාට සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවිමක් ලැබුණි. ගාමිණි සමඟ රඟපෑමට තිබු අවස්ථාව එහිදී ගිලිහී ගියේ ගාමිණීට වඩා ඇයගේ උස පිළිබඳ ගැටලුවම නිසාවෙනි.
‘නිළියක් වෙන්න කාට හරි පුළුවන්. ඒත් දක්ෂකමත් වාසනාවත් තියෙන්න ඕනා. එක දෛවය. දැන් බලන්න, සන්ධ්‍යා, ජීවරාණි, ගීතා. සබීතා අතර අපේ නදීකා අක්කා. නදීකා අක්කාට වාසනාවයි දක්ෂකමයි දෙකම තිබුණා. ඒ නිසා එයා ඉහළටම ආවා. මමත් චිත්‍රපට කිහිපයකම රඟපෑවනෙ. මට එය තිත්ත වුණා. කල්ලිවාදය එදා තිබුණා. ගාමිණි අන්කල් සිනමාස් සමාගමට බැඳිල හිටියා. මොකද ගාමිණි අන්කල් හැම එකකම හිටියේ. රොබින් ප්‍රනාන්දු, මගේ තාත්තා බැසිල් ද සේරම්ට කොතරම් පෙනුම තිබුණ ද කෝ ප්‍රධාන චරිත ලැබුණ ද නැහැනෙ. පොඩි චරිත කරන අයට හැමදාම ඒවාටම කොටු කරල තිබ්බා. එදා නළු නිළියන් තමයි අපේ සිනමාව ඉහළට ගෙනාවේ. ඒත් අද වගේ දවසක ඒ අය අමතක කරලා. අද කොහෙද එදා උන්න වගේ නළු නිළියන්.”
විද්‍යා යළි තම මවු පිළිබඳ කතා කළාය.
‘ඉතින් මං කිව්වනෙ අපේ අම්මා සැහැල්ලු දඟකාර චරිතයක් කියලා. හඟුරන්කෙත අපේ ලොකු තාත්තයි අත්තම්මයි ගොඩක් දුකට පත්වෙන දෙයක් අපේ අම්මගෙන් සිද්ධ වුණා. අවුරුදු 17 දී අපේ අම්මා හිතුමතේට විවාහයත් කරගත්තා. ලොකු තාත්තා නැතිවනතුරුම අම්මා එක්ක වැඩි මනාපයක් පෙන්නුවේම නැහැ. අත්තම්මා නම් නිතර අම්මා ගැන බැලුවා. ඒ විවාහයෙන් අම්මාට දරුවන් තුන්දෙනයි.”
‘මොකක්දෝ අහේතුවකට ඒ විවාහය කැඩුණා. ඒත් අම්මා අඬා හැපිල නැහැ. ඉන්පස්සේ බැසිල් ද සේරම් කියන්නේ මගේ තාත්තා. ඒ විවාහයක් දෙදරා ගියා. අපි පස්දෙනාටම තියෙන්නේ තාත්තාගේ උණුහුමකට වඩා අම්මාගේ උණුහුම. අපි පස්දෙනා තමයි අම්මාට තිබුණු වස්තුව. අපි අතරේ ඔය නොහොඳ නොීක්කඩුවක් වුණත් අම්මා දරුවන් පස්දෙනාම එක තැනට එකතු කරල සමගි කරවනවා. දරුවන් දිහා බලල සතුටු වන හිතක් විතරමයි අම්මාට තිබුණෙ.’
‘මගේ තාත්තා බැසිල්. අපේ අම්මා ලස්සනට අඳිනවාට කැමති වුණේ නැහැ. අම්මාගෙ නිදහස් සිතුම් පැතුම් වලට කැමැත්තක් පෙන්වුයේ නැහැ. කෙනකුගේ පුද්ගලික ජීවිතය අම්මා කොහොමටවත් සැලකුවේ නැහැ. අම්මාගෙ පැත්තෙන් රදල වලව්කාර ලොකු නෑයෝ හිටියට අපේ අම්මා නිතර ගියේ දුප්පත්ම නෑ. ගෙවල් වලට ආශ්‍රය කළෙත් දුප්පත් නෑයෝ.’
විද්‍යාගේ මුහුණ සිනාවෙන් පිරෙයි.
‘දන්නවද වැඩක්. අපේ අම්මාට හිඟන්නෝ ඔය යාචකයෝ මහ හුඟාක් උන්නා. ඒ අසරණයො එක වැලටම ගෙදරට ගෙන්වනවා. වාඩිවෙන්න කන්න බොන්ඩ සංග්‍රහ සත්කාර කරවල පිටත් කරවනවා. අම්මා තනිව වින්ද සතුට මට තවමත් මතකයි. ඔය ලොකු ගෙවල් වලට සැප සම්පත් වලට අම්මා ආස නැහැ. අල්පේච්ඡ හිතක්මයි තිබුණේ. අපේ අම්මා නැති වුණ දවසෙත් හප්පේ ආපු යාචක මිනිස්සු. මළගෙදරට ඇවිත් හිටිය අයටත් පුදුමයි ඒ මිනිස්සුන්ව දැකලා. නදීකා අක්කා එයාගෙ ගේ ලොකුවට හදනකොටත් අහනව මොකටද දුවේ මෙච්චර ලොකුවට ගෙවල් හදන්නේ කියලා.’
‘ඔන්න හිටිගමන් අපේ අම්මා නුවර යනවා. හරිම ආසයි උපන් ගමට නුවරට. ඔයාට මතකද සෙන්ට්‍රල් බැන්ක් බෝම්බ සිද්ධිය. අන්න එදා අම්මා කොළඹ ගිහින්. බස් එකේනේ ගමන්. දැන් කළුවරත් වැටිලා. අම්මා ගෙදර ආවෙ නැහැ. අපි කලබල වුණා. නදීකා අක්කා කොළඹ මෘතශරීරාගාරයටත් ගිහින් අම්මා ගැන තොරතුරක් හොයන්න. පස්සේ බැලින්නම් දෙයියනේ. අපටත් නොකියාම කොළඹින් නුවර බස් එකේ නැගල ගිහින්නෙ. අම්මාගෙ හැටි එහෙමමයි.’
ලෝකයේ මිනිසුන් සොයන්නේ දරුවන්ගේ තාත්තාය. නමුදු දරුවන් සොයන්නේ තම අම්මාය. මේ ද අපේ කතා නායිකාව තලතා නිතර දූ පුතුනට කී කතාවකි. අතිශය ළෙන්ගතුව ලතා වල්හෙල සේම සන්ධ්‍යා කුමාරි මහත්මිය ද තම අම්මා සමඟ සමීපව සිටි බව ද පැවසූ වින්ද්‍යා කියේ ස්ටැන්ලි පෙරේරා,ගර්ලි ගුණවර්ධන, සුමිත්‍රා පීරිස්, ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, ගීතා කුමාරසිංහ, ස්වර්ණ මල්ලවආරච්චි, රුක්මණී දේවි, එච්.ආර්. ජෝතිපාලයන්ද තම මවට දැක්වූ කුළුපගතාවය සුූළුපටු නොවන බවමය.
‘සන්ධ්‍යා කුමාරි බෙන්ස් රථයෙන් එන්නෙ. සුවපහසු ජිවිතයක් සේම ඒ තරම් පුණ්‍යවන්තියක් මේ සිනමා නිළියන් අතර මා තවත් දැක නැහැ. ඇගේ දියණියන් දෙදෙනාත් මා එක්කල ළෙන්ගතුයි. සබීතා සහෝදරියත් එහෙමමයි. රන්ජන් රාමනායක නම් ඒ කාලෙ අපේ ගෙදරමයි. නැවතී සිටියේ.’
පාසලේ අධ්‍යාපනයෙන් පසුව ගුරු වෘත්තියට එළැඹී අපේ තලතා පාසල් කිහිපයකම ගුරුකමෙහි නිතරව විශ්‍රාම වියට පෙරදීම ඕ ගුරු වෘත්තියට සමු දුන්නාය. කිසිවිටෙකත් තම දරුවනට නමගිය ප්‍රකට පාසල් සෙව්වේද නැති. තමන් ඉස්මුදුනින් සලකා කටයුතු කරන සරල චාම් පැවතුමින් යුතු මනුස්සකමින් පිරි ජිවිතයම තම දරුවන් පස්දෙනාට ද හුරු පුරුදු කරවීමට නිරතුරුවම වෑයම් කළාය. අඟහිඟකම් මැද පාසල් කරා යන නාඳුනන දූ දරුවනට තෙත්ළය පිරි ඕ තොමෝ තමන් දන්නා හඳුනන චිත්‍රපට නිෂ්පාදකවරුන් ලවා ඔවුනගේ ඉගෙනුමට ඇවැසි පාසල් උපකරණ, ඇඳුම් පැලඳුම් ද ලබාදෙන්නට මැදිවුවාය.
ඕ පාසල් වියෙහි නැවතී සිටි පාසලේ නේවාසිකාගාරයේ සමකාලීන මිතුරු මිතුරියන් අතර ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ සොහොයුරියන් ද සමීප ව සිට ඇති අතර ගාමිණි දිසානායක මහතාගේ හිසේ තමන් උකුණන් බැලු බව ද අම්මා තමන් සමඟ පැවසූ අයුරු සිහි වී වි්ද්‍යා උස් හඬින් සිනා පහළ කරන්නට වුවාය.
‘අපේ අම්මා හැඬුවා නම් හැඬුවේ අපි පස්දෙනා වෙනුවෙන් ම විතරයි. ඒත් අම්මාගෙ අම්මා, අපේ අත්තම්මා මියගිය දවසේ අපේ අම්මා ගොඩක් මානසිකව වැටුණා.’
‘ගෙදර වැඩකාරයෝ හිටියත් එයාල ලවා වැඩ කරවගන්න අම්මා කැමති වුණේ ම නැහැ. හදන දෙයක් හදාගත්තෙ අම්මාමයි. හරිම සංවේදී හිතක් තිබුණේ. කේන්ති යන නපුරු හිතක් තිබිලාම නැහැ. නැතිබැරි අය දැක්කාම අපේ අම්මාගෙ හිත උණු වෙනවා. කාට හරි උදව් කරන්නමයි නිතර අම්මාගෙ හිත තිබුණේ. මම ගොඩක් අගය කරනවා අදටත් අපේ අම්මාගේ හිතන විදිහ. කරුණාව මුලට තියල උපකාර කළ විදිහ. ඒ මනුස්සකම තමා අපේ අම්මා අපට නිතර ඉගැන්නුවේ කියා දුන්නේ.’
විද්‍යා සොයුරිය තවත් දේ කියන්නීය. ඒ තම මවු පිළිබඳ අප්‍රමාණ භක්තියකිනි. අපි අම්මාගෙන් ඉගෙනගත් දේ බොහොම යැයි ඈ පවසන්නේ ඒ නිසාම විය යුතුය.
‘අපේ අම්මා කවදාවත් කා ගැනවත් බණිනව හරි දොස් කියනවා හරි, විවේචනය කරනවා හරි අපි අහල දැකලාම නැහැ. මිනිසුන්ගේ වැරදි අපට අවශ්‍ය නැහැ. මිනිස්සුන්ගේ හොඳ පැත්තම දකින්න පුරුදු වෙන්න කියලමයි අපි ලොකු මහත් වුණු දරුවෝ වුණාට පස්සෙදිත් කිව්වේ.’
‘අමල් අයියේ. කවුරුහරි ඔයාගේ නරකක් මට කිව්ව කියල හිතමුකො. එහෙමම කිව්ව කියලා මං ඔයාව විවේචනය කරන්නෙවත් කොන් කරන්නෙවත් නැහැ. මම අමල් අයියා එක්ක තියෙන ආශ්‍රයෙදි මමම වටහාගන්නවා මිසක් කාගෙවත් කතා මං අහන්නෙම නැහැ. එහෙමනෙ හොඳ විදිහ. ඒකම තමා අපේ අම්මා අපට කියල දුන්නෙත්’.
ඈ දෑස රත්පැහැ ගැන් වී තියේ. නෙත් කෙවෙනි කඳුළින් පිරි බිමට වැටෙන්නට ඔන්න මෙන්න කියා තිබිය දී වහා කඳුළු පිසදාගත් විද්‍යා දසන් දක්වා සිනාසුණාය.
‘අපි පස්දෙනාට එයාගෙ හිතේ තිබුණු ආදරේට අපි එයාගෙන් ගුටි කාලත් තියෙනවා. හැබැයි වැඩිපුර ගුටි කාලා තියෙන්නේ මමයි මම ටිකක් දඩබ්බරයි. ඒ කාලෙ චොපර් සයිකලේ හොරෙන් පාරේ පැදල, අනුන්ටත් මගෙන් තුවාල වෙලා, මමත් වැටිල තුවාල කරගෙන. අයියෝ.... මං අම්මගෙන් හොඳට ගුටිකාල තියෙනවා’.
‘ගැහැනියට උවමනා ලස්සනට අඳින්න පලඳින්න. එහෙම නේ හැටි. ඒත් අපේ අම්මාගේ එකම ආසාව අප පස්දෙනා ගැනමයි. ඔය ලස්සනට අඳින්න පලඳින්න අපිව හුරු කරවන්න නම් අම්මගෙ කැමැත්තක් තිබුණේම නැහැ. ඇත්තටම අම්මාට එයාගෙ ජීවිතය වැරදිච්ච නිසා එයා අපි ගැනත් පුදුම බයකින් උන්නේ. තමන් විවාහ දෙකකට මුහුණ දුන්නාය කියලා එහෙම සතුටක් අම්මාට තිබුණෙත් නැහැ. අම්මාට ගොඩක් අය ළංවෙන්න උත්සාහ කළා. අම්මා ගොඩක් ලස්සනයි. නිවුණු ගති පැවැතුම් ඒත් අපේ අම්මා එයාලව මායිම් කළේ නැහැ. මමත්, යමුණා අක්කත් අම්මාගෙ දෙවන විවාහයේ. ඒත් අපි පස්දෙනාම අදත් එකට. තාත්තාගෙ කියල ලෝකයක් අපට නැතිවුණාට මනුස්සකමින් පිරිච්ච හදවතක් තිබ්බ අපේ අම්මා තමා අපි පස්දෙනාටම ලෝකය වුණේ.”
ඈ උකුළ මත තිබෙනා කුඩා කොට්ටයට නිය පහර කිහිපයක් දුන් ඈ සෘජු බැල්මෙන් මදෙස බලා සිටියාය.
‘අපේ රටේ කලාකරුවකු වීම අභාග්‍යයක්. කලාකරුවා සම්පතක්. ඒ ටික කිසිම රජයක් තේරුම් ගෙන නැහැ. මටත් සිනමාව එපාවෙන්න ඒකත් කාරණයක්. කරනකම් හොඳයි. පස්සේ කාගෙන්වත් රැකවරණයක් නැහැ. සිනමාව රැකගන්නෙ එදා සිනමාවෙ හිටපු අයයි. ඒත් අද ඒ අයව පස්සට දමලා. අද ඊයේ ආපු අය ඉස්සරහින් තියල. ඉන්දියාවේ බලන්නකෝ පැරණි අය ඉදිරියට ගන්න හැටි. මොකද ඊළඟ අවුුරුද්දේ දි එයාලා ජීවතුන් අතර හිඳීවි ද දන්නේ නැති නිසා. අඩුගානෙ පැරණි කලාකරුවන් තෝරල පස්දෙනා ගානෙවත් සම්මානයක් දිරි දීමක් සිදුවෙයි නම් කොතරම් අගේ ද”
‘අපේ අම්මාට ටෙලි නාට්‍යවලට ආරාධනා සැහෙන්න ආවා. ඒත් අපේ අම්මා ටෙලි නාට්‍යවල රඟපාන්න යන්න ආසා වුණේ නැහැ. අම්මා නිළියක වීම ගැන නම් එයා හදවතින්ම සතුටු වුණා. හොඳ පිළිගැනීමකුත් තිබුණානෙ.’
මම විමසු පැනයකට ඕ මනබඳිනා සිනාවම පෑවාය.
“ඔව්. අපේ අම්මා බුද්ධාගමේ. ඒ වුණාට අපේ අම්මා පන්සිල් පද පහවත් දන්නවද මං දන්නේ නැහැ. ඒත් අම්මා නිතර අපට කියපු කතාවක් මට මතක් වෙනවා. හිතේ සත්‍යය පවතී නම් ආගමක් අවශ්‍යම නැහැ කියලා. ඒ සරලව හිතන විදිහට සරලව කටයුතු කරන විදිහට මමත් හරිම ආසයි. ප්ලෑන්ස් තිබුණේම නැහැ. එයාගෙ ලෝකය අපි. මට දැනුත් පුදුම හිතෙනවා. අච්චර ලොකු මාලිගාවල් වගේ ගෙවල්වල ජීවත් වෙච්ච අපේ අම්මා පසුකලෙක ෆ්ලැට්ස් වලත් ජිවත් වුණානේ. ඇත්තටම අපේ අම්මා ලද දෙයින් සතුටු වුණා. කිසි දෙයක් පසු පස්සේ ආසාවෙන් හඹාගියේ නම් නැහැ.’
‘අපේ අම්මාට යසට පියානෝව වයන්න පුළුවන්. ඉස්සර අපේ අම්මා ළමා සාරිය ඇඳන් ටෙනිස් සෙල්ලම් කරපු හැටි කිය කියා හිනාවෙනවා. උයන්න නම් අපේ අම්මා හරිම කම්මැළියි. හැබැයි ගෙදර වැඩ කටයුතු නම් ඒ අත් දෙකින්මයි.
‘ඇත්තටම අපේ අම්මා ගොඩක් ලස්සනයිනේ. ඒත් අපේ අම්මා එයාගේ ලස්සන එයාම නොදැක්ක ගැහැනියක්. මම නිළියක් කියල හිතට අරන් ෂෝ දමන්න ගියෙත් නැහැ. හැමදේකදිම අම්මා කීවෙ දෛවය වෙනස් කළ නොහැකියි කියලයි.’
තලතා නම් සරල දිවි පැවැත්මට ම හිත නැඹුරු කළ අපේ කතා නායිකාව වරින් වර රෝගී වන්නට වුවාය. එහෙත් තමන් අත ළඟම පසුවන බාලම දුව විද්‍යා නිසාම ඇයට හිතට සවිගෙන දේ. ප්‍රතිකාරයකින් දෙකකින් ඕ සුවපත් බව පෙන්වාලයි.
‘අපේ අම්මා ගැන හිතන කොට අපේ හිතේ ඇඳෙන්නේ ලස්සන අම්මා කෙනෙක්මයි. අපේ අම්මාගෙන් දුරස්වෙලා තාත්තා යද්දි මට වයස අවුරුදු පහයි. කවදාවත් රණ්ඩු සරුවල් අප දැකලම නැහැ. අපි පස්දෙනාම හිටියෙත් අම්මා එක්කලමනෙ. තාත්තල එක්ක නෙමෙයිනෙ. ඇත්තටම මගේ දේශකයා මගේ අම්මා. අම්මා එදා කී දේවල් අද බොහෝ දුරට සත්‍යය වෙලා. මගේ ජීවිතේ තීන්දු තීරණවලදී අම්මා විරුද්ධත්වය පාද්දි ඇයි එදා මං අම්මට විරුද්ධ වුණේ කියලා අද හිතෙන කොට දුකකුත් හිතට එනවා.
අප පිළිසඳර අතරේ දී මම ඇයගෙන් එදා දවසේ පින්තූර කිහිපයක් ඉල්ලා සිටියදී එකක්වත් නෑ. දැන් අපේ ගෙදර පින්තූර. වෙච්ච දේ අහන්නකෝ යැයි කී ඕ සිනා නගන්නට වුවාය.
‘දවසක් අපේ ගෙදරට හොරු පැන්නා. රත්තරන් වළලු දෙකකුත් හොරු අරන් ගිහින්. ඕන්න වැඩේ කියන්නේ ගෙදර තිබ්ච්ච ඇල්බම් දෙකත් හොරු අරගෙන ගිහින්. යි’ කියා තවත් සිනාසුණු විද්‍යා තවත් සිනාසෙමින් කියන්නට වුයේ ගෙදරට පැන්න හොරා චිත්‍රපට රසිකයෙක් බවත් ඇල්බම් දෙක තුළ තිබු සිනමා නළු නිළියන්ගේ පින්තූර දැක ඒවාට ආසාවෙන් රැගෙන ගොස් ඇති බවත්ය.
අපේ කතා නායිකාව නිවෙසේ දීම බලවත් සේ රෝගාතුර වුවාය.
‘අපේ අම්මා දොස්තර වෙන්න හැදුවනෙ. එයාට තිබුණෙ හෘදයාබාධ රෝගයක්. ඉන්දියාවේ ඇපලෝ රෝහලින් බයිපාස් එක කරන්න මං දෙපාරක්ම ලෑස්ති කළා. බයට අම්මා බැහැමයි කියල කිව්වා.’
ඇයගේ රෝගය උත්සන්න වී රෝහලට ඇතුළත් කෙරිණි.
‘ඔයා වැඩ කරල මහන්සියෙන් නේද ඉන්නේ. ඔයා ගෙදර ගිහින් එන්න. අනිත් අයත් දැන් ඒවිනෙ.’ බාල දියණිය විද්‍යා තම මවගෙන් ඇසූ අවසන් වචන පේළියයි ඒ...
හෙළ සිනමා වංශ කතාවට සිය නාමය ද පිළිගන්වමින් සිනමා සිත්තම් සියයකට ආසන්න සංඛ්‍යාවක විවිධ චරිත නිරූපණයෙන් රසික සිත් ඇද බැඳ තබාගන්නට සමත් වූ අපේ පිළිසඳරේ සොඳුරු කතා නායිකාව තලතා ගුණසේකර නම් අපේ සිනමා රූපණවේදිණිය 2003 ක් වු දෙසැම්බර් මස 16 වන දින රාත්‍රියේ දී සියල්ලනගෙන් නිහඬවම සමුගෙන නික්ම ගියාය.