ඉන්ද්‍රචාප රණතුංග කලාවට මහත්සේ ළැදි තුරුණු වියේ පසුවන කලාකරුවෙකි. ඔහු ගීපද රචනයට බොහෝ සේ දක්ෂ ය. ගී පද රචනය පමණක් නොව කාව්‍ය රචනයට, තිර පිටපත් රචනය, වේදිකා නාට්‍ය ක්ෂේත්රයට සේම කෙටි චිත්‍රපට නිර්මාණකරුවකු ලෙස ඔහු කලාව සමඟ බැඳී සිටියි. කෙටි චිත්‍රපට රචනයට, අධ්යක්ෂණයට, රංගනයට, කැමැත්තක් තිබූ හෙයින් ඔහු විසින් තිර රචනය කර අධ්‍යක්ෂණය කළ ”Open the Door” සහ “බඹර තුඩු” කෙටි චිත්‍රපටයන් උතුරු මැද කලා උලෙළේ සම්මානයට පාත්‍ර විය. මෙකී කලා ක්ෂේත්‍ර ගණනාවකට දායක වී එම කලාව තුළින්ම පෝෂණය වී ඉදිරි අනාගතයේදී ගීත රචකයෙකු වශයෙන් රචනා ක්ෂේත්රයේ වෙනස් අර්ථවත් මාවතකට රැගෙන යාම ඉන්ද්‍රචාපගේ බලාපොරොත්තුවයි. මෙවර සරසවිය කලාපයෙහි ඉඩ වෙන්වූයේ කෙටි චිත්‍රපට අධ්යක්ෂ, ගී පද රචක ඉන්ද්‍රචාප රණතුංග සමඟ සිදුකළ කතාබහ සමඟිනි.
ඉන්ද්‍රචාප රණතුංග කලා ක්ෂේත්රයට හඳුන්වාදෙන්න කැමති කොහොමද?
ඉන්ද්‍රචාප රණතුංග කියලා කලා ක්ෂේත්රයට හඳුන්වා දෙන්න කැමතියි, නව තරුණ පරපුරේ කලාකරුවෙකු විදියට.
පාසලෙන් ඔබට කලා කටයුතුවලට ලැබුණු දායකත්වය මොන වගේද?
මගේ මව් පාසල වන අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලයෙන් කුඩා අවධියේ සිට විශාල දායකත්වයක් මගේ කලාව වෙනුවෙන් ලබා දුන්නා, විශේෂයෙන්ම උසස් පෙළ කලා විෂය ධාරාව හැදෑරීමට පටන් ගත් පසු තව තවත් මගේ කලා කටයුතුවලට විශාල සහයෝගයක් දායකත්වයක් එවකට සිටි ගුරු මහත්ම මහත්මින්ගෙන් ලැබුණා.
ඔබ ගී පද රචනයට වඩාත් දක්ෂයි. ගී පද රචනාවන් වෙත මෙතරම් ඇල්මක් දක්වන්න හේතුව මොකක්ද? ගී පද රචනය සම්බන්ධයෙන් ඔබ සතු අත්දැකීම ගැන කියමු…
කුඩා කල සිට වේදිකාව, වේදිකා නාට්‍ය හා සම්බන්ධ වීම නිසා එහි ආභාසයත් එක්කම මුලින්ම වේදිකා නාට්‍ය ගීත රචනයට තමයි පෙලඹුණේ. ඒ හින්දා තමයි ගීත රචනා කලාවට මෙච්චර ඇල්මක් මම දැක්වුවේ. 2015 වර්ෂය වගේ ඉඳලා වේදිකා නාට්‍ය ගීත රචනා කරලා එහි අත්දැකීම් එක්කම, 2018 වර්ෂයේ දී මගේ මව් පාසල වන වලිසිංහ හරිශ්චන්ද්‍රය වෙත සංවත්සරික ගීතයේ කේසර නාදය රචනා කළා. ඊට පස්සේ ගීත නවමු ආරයකින් මටම අනන්‍ය වූ ලෙසින් රචනා කිරීමට හිතුවේ 2019 වර්ෂයේදී ජලිත යශ්මින් විජේවර්ධන විසින් සංගීතවත් කරපු සශිනි ජයසිංහ විසින් ගායනා කරන මා ”තනියෙන්” ගීතය රචනා කිරීමත් සමඟයි.
මා නුඹෙන්, හද ගැඹුරේ, පෙර දවසක, දියත පා මුල, මොනර කිරිල්ලී, ස්නේහේ රිදුමන්, නිරුවත මොහොතකට, ළැම හන්සියේ, සිහිනයන් අතරින්, මා ආදරී, අපට හිතෙන දේ, ලක් මෑණියේ, කළු වලාරොදක්, ආයෙත් එන්නැති, ලා සඳේ, මට පේන හීන, මනහාරී, මහ වරුසා ආදී වශයෙන් මම රචනා කරපු ගීත අතර විශේෂ කර දක්වන්න පුළුවන්, මේ අතරිනුත් 2023 වර්ෂයේදී නිර්මාණය කරපු රවී ජේ, දිල්කි උරේෂා, ජයතු දිසානායක ගායනයෙන් දායක වන මහ වරුසා ගීතය මාගේ ගීත රචනා ක්ෂේත්රයේ තවත් සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් විදිහට මට කියන්න පුළුවන්.
2024 මාර්තු 18 මම සහ මගෙන් , මා විසින් රචිත ගීත ඇතුළත් ප්‍රථම සජීව සංගීත ප්‍රසංගය එළිදැක්වූවා. ඒ වගේම 2025 ජනවාරි 25 වන දින මම සහ මගෙන්, මා විසින් රචිත ගීත ඇතුළත් දෙවන සජීව සංගීත ප්‍රසංගය ද එළිදැක්වූවා. මෙහිදී ලැබුණු විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර මට අගය කොට කියන්න පුළුවන්.
”මම සහ මගෙන්” කාව්‍ය සංග්‍රහය ලියවුණේ කොහොමද?
ඇත්තටම, මම සහ මගෙන් කාව්‍ය සංග්‍රහය ලියන්න හේතු වුණේ කාලාන්තරයක් තිස්සේ හිතේ හිරවෙලා තිබුණු සිතුවිලි, අත්දැකීම්, ජීවිතය ලද පරාජයන්, ප්‍රේමයන්, විරාහවන්, මේ සියලූ දේ එකම තැනකට ගැනීමේ අරමුණින් තමයි මේ කාව්‍ය සංග්‍රහය රචනා කළේ. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ සමාජයේ ගැටෙන තාරුණ්‍යය උදෙසාම.
ඔබ ගී පද රචකයකු සේම කෙටි චිත්‍රපට නිර්මාණකරුවෙක්. දැනට ඔබ සම්මානනීය වූ කෙට් චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. සිනමාව අධ්‍යයනය කළ පසුබිම මොකක්ද? සහ අධ්‍යක්ෂණය කළ කෙටි චිත්‍රපටය ගැන අත්දැකීම මොකක්ද?
සජීවී වේදිකාවත් එක්ක ගනුදෙනු කරලා, ගීත රචනා කරලා කැමරා තිරයකට නිර්මාණයක් හදනවා කියන්නේම අභියෝගයක්. ගීත රචනාවටත් වඩා ලොකු කතාවක් තිර රචනයෙන් සමාජයට දෙන්න ඕනේ. කෙටි චිත්‍රපට තිර රචනයට ඇල්මක් දක්වන්න ප්‍රධානතම හේතුව වුණේ, අපේ මේ සමාජයේ විවිධ මිනිසුන්ගේ හැසිරීම් සහ ඔවුන්ගේ මනෝභාවයන් ”මෙන්න මේ වගේ කියලා” දකින්න සලස්වන්න ඕන නිසයි. පොතපතෙන්, සමාජයෙන්, විවිධ ජාතියේ විවිධ භාෂාවන්ගේ සිනමාපටවලින්, පුවත්පත්වලින් ලද අධ්‍යයනයෙන් දැනුම එකතු කරගෙන මම කෙටි චිත්‍රපට රචනය කරන්න පෙලඹිලා ඉන්නවා. ගොඩක් කැමතියි මිනිස්සුන් කතා කරන්න අකැමති, නමුත් මේක තමයි යථාර්ථය කියලා පෙන්නන්න මම ආසයි මේ කෙටි චිත්‍රපටවලින්.
2023 වර්ෂයේ දී මා විසින් තිර රචනා කරලා අධ්‍යක්ෂණය කරපු ඕපන් ද ඩෝ මගේ පළමු කෙටි චිත්‍රපට නිර්මාණයයි. ඒ නිර්මාණය ලැබුණු අත්දැකීම් නම් බොහෝමයි. ඒ නිර්මාණය තුළින්ද මම උත්සාහ කරේම සමාජයේ විවිධ මිනිසුන්ගේ විවිධ විවිධ මනෝභාවයන් ඉස්මතු කරලා පෙන්නන්නයි. එම කෙටි චිත්‍රපටයද එම වර්ෂයේ උතුරු මැද කලා උලෙළේ ප්‍රධානම සම්මානයට පාත්‍ර වුණා. එම ජයග්‍රහණයත් එක්කම මෙම නිර්මාණ කිරීමට තවත් ශක්තියක් හිතට ආවා. ඒවගේම 2024 වර්ෂයේදී දෙවනුව මා විසින් තිර රචනා කරලා අධ්‍යක්ෂණය කරපු බඹර තුඩු කෙටි චිත්‍රපටය ද එම වසරේ උතුරු මැද කලා උලෙළේ සම්මානයට පාත්‍ර වුණා. ඔන්න ඔහොමයි කෙටි චිත්‍රපට තිර රචනයට සහ අධ්යක්ෂණයට මම විසින් දායක වුණේ.
ඔබේ කලා කටයුතු සාර්ථක කර ගැනීමට උදව් කළ පිරිසත් මතක් කරමු…
මගේ කලා ජීවිතයේ මෙතරම් දුරක් එන්න මට මුල්ම ශක්තිය, අඩිතාලම දාලා දුන්නේ මගේ තාත්තා ලෙ.ප. සරත් රණතුංගයන් එවගේම අම්මා චමිලා ජිනාදරී මාගේ මවුපියන් දෙපළයි. ඉන්පසු ශ්‍රී ගුණරතන දහම් පාසල, මගේ මව් පාසල වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය, ජීවිතයේ ප්‍රධානම හැරවුම් ලක්ෂ්‍යයක් වුණු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට ගුවන්විදුලි සේවය සහ එහි සහකාර අධ්‍යක්ෂක ප්‍රසන්න දිසානායක මහතා. ප්‍රවීණ නාට්‍ය රචක සුරංජිත් රණසිංහ අයියා, ජේ්‍ය්ෂ්ඨ මාධ්‍යවේදී රංජිත් රූපසිංහ සර්, ප්‍රවීණ නාට්‍ය රචක අතුල ඒකනායක මහතා, ජ්‍යේෂ්ඨ මහාචාර්ය සේන නානායක්කාර සර්, ප්‍රවීණ රංගන ශිල්පී මහින්ද පතිරගේ මහතා, සංගීතයට අත හිතදුන් ගුරුහරුකම් දුන්, ප්‍රවීණ සංගීතවේදී කරුණාරත්න විජේවර්ධන සර්, චානක දිසානායක අයියා, ජලිත යශ්මින් සහෝදරයා, ප්‍රමුදිත ආමන්ත සහෝදරයා. එවගේම හැම කලා වැඩකදීම ළඟින් හිටපු ආදරණීය මගේ සහෝදරයා පමෝද් ලක්ෂාන් මල්ලී, නවෝදා මහීපාල ආදරණීය සහෝදරී, මගේ, මම සහ මගෙන් සජීවී සංගීත ප්‍රසංග මාලාවේ වාද්‍ය කණ්ඩායම සහ සියලූම ගායක ගායිකාවන් ඇතුළු මගේ කලා ජීවිතයේ වචනයකින් හෝ උදව් උපකාර කරපු සියලූ දෙනාටම ස්තුතිවන්ත වෙන්න මේක මං අවස්ථාවක් කර ගන්නවා.

මලින්ත විතානගේ
