හරියටම ජූනි 29 වැනිදා සවස 7.00ට කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී දිග හැරෙනවා. ගායනය, වාදනය, නර්තනය එක්කරන අමුතු ආකාරයේ ප්‍රසංගයක්. ඬඬ කියන්නේ කවුද කියන ඒක තමයි දැන් තියෙන ප්‍රශ්නය. මිට කලින් මෙවැනි ආකාරයේ ප්‍රසංගයක හුරුවක් ගැන මතකයක්ද ඇත්තේනැහැ. මේ කේ අකුරු දෙක අයිති වෙන්නේ දෙන්නෙකුට. අකුරු 2 දෙක ඒක වුණාට අකුරු දෙකේ හිමිකාරයන්ගේ ස්වභාවය සහ දක්ෂතා නම් එකිනෙකා පරයා නැඟෙ වෙනස් කම් සහිතයි. හැබැයි මේ වෙනස එක්වී ඒකට සුසංයෝග වු විට ඒතැන මැවෙන චමත්කාරයද රමණීයයි. ඒ නිසා මේ සොඳුරු සැදෑව රමණිය සැදෑවක් වනබව නම් නොඅනුමානයි.
මෙහි මුල කේ අකුර අයිති වෙන්නේ අපේ රටේ ප්‍රවීණතම ගායකයකුට. අති සංවේදි ආදරණීය හඬක් හිමි ඔහු කසුන් කල්හාර. ඔහුගේ ගීතයන්හි සහ හඬෙහි ඇති අපුර්වත්වය නොවිඳී අයෙක් මෙරට සිටිය නොහැකියි.
ඒතකොට දෙවැනි කේ අකුර හිමි වෙන්නේ කාටද?
ඒ්න අයිති වෙන්නෙත් කසුන්ට මෙන්ම වෙනස් ආකාරයේ හඬක් හිමි, දක්ෂතාවයන් රැසක් කරපින්නාගෙන මෙරට කලා ක්ෂේත්‍රයට පිවිසි තවත් ගායිකාවකට.
ඇය කුෂානි සඳරේකා.
මේ දෙදෙනා දෙසම ආපසු හැරි බලන කළ මවුපිය අරුමයෙන් කලා ලොවට රැගෙන එන ජානමය සබඳතා ඇත්තන්. එහෙත් ඉන් ඒහා ගිය දක්ෂතා, හැකියාවන් රැසක් සමඟ ඔවුන් දෙදෙනාම තම තමන්ට ආවේණික ගමනක නියුතු වන්නන්.
මේ දෙදෙනා එකතු වු විට, ඔවුන්ගේ හඬ පරාසයන්හි ඇති තීව්‍ර තාවයන් සමඟ මොන තරම් විස්මිත දේවල් කළ හැකි වෙත්දැයි සිතන වාර අනන්තයි. මම ඒසේ කියනුයේ මේ දෙදෙනාට අනන්‍යය වූ, අති සංවේදී හඬ පෞරුෂයන් දෙකක් ඔවුන් සතු වන නිසයි.
කසුන් තුළ පවතින්නාවූ විස්මිත හඬෙහි සංවේදි බව විස්තර කරන්නට, මට අකුරුවලින් නොහැකි බවයි මගේ විශ්වාසය. ඒ තරමට ඒ හඬ අප නැවුම් ලෝකයකට ගෙනයයි. වෙලාවකට මට ඔහු බටහිර සංගීතයේ ඒන සංධ්වනියක්, ඔපෙරාවක් වගේ. තවත් වෙලාවකට ඔහු ඉන්දිය රාගධාරී සංගීතයේ ස්වර සමඟ අති ආකර්ෂණිය රාගයක් මවන්නෙක්. වෙලාවකට ඒ් හඩ අපව භාවනාවකට රැගෙන යනවා. තවත්වෙලාවකට ඒ් හඬ මත හැපිහැපී අවදිවන නිදද්‍රාවකට අප පත් කරනවා. ඉදින් මේ හඩේ විවිධත්වය අපි කෙසේ විස්තර කරමුද?
ඒ ඔහුගේ හඬ. එතැනින් ගියාම ඔහුගේ ගී තනු නිර්මාණ. ඔහුගේ වාදන හැකියාව. ඔහුගේ සංගිත ඥානය. ඔහුගේ සංගීත පුහුණු, අභ්‍යාස. මේ ඔක්කොම ඒකතු වුණු තැන තමයි අපට කසුන් කල්හාර හමුවන්නේ. මේ සියල්ල මැද ඔහු කොතැනද සිටිය යුත්තේ කියා අපේ රටේ ප්‍රේක්ෂකාගාරය දැනටමත් තීරණය කොට හමාරයි. ඔහු වෙනුවෙන් වෙන්වුණු වෙනම ප්‍රේක්ෂකාගාරයක් මෙරට මෙන්ම විදේශයන්හිදිද සැදි හමාරයි. මේ සියල්ල ඔහු, ඔහුටම ආවේණික ගමනකින් නිර්මාණය කර ගත්තක්. සංගීත අධ්‍යාපනයේ, අභ්‍යාසයේ, පෙර පුහුණුවෙන් ලබා ගත්තක්.
කසුන්ගේ ජීවිතයේ සංගිතමය අභාෂය ඇතිවෙන්නේ ඔහුගේ කළල අවස්ථාවේ සිට. අපේ රටේ සිටි අති සුන්දර ගි තනු නිර්මාණය කළ ජ්‍යේෂ්ඨතම සංගිතඥයකු වූ එච්. එම්. ජයවර්ධනයන් ඔහුගේ පියා. ඒසේම හින් විදුලි සැරයක් සේ විත් හදවත කම්පා කළ හැකි හඬක් හිමි සුවිශේෂ ගායිකාවක් වුණු මාලිනී බුලත්සිංහල ඔහුගේ ආදරණිය මව. ඉතින් වෙන කිසිවක් නොකීවද ගහේ කටු උල් කළ යුතුද?
කේ කේ ප්‍රසංගයේ එක් පසෙකට මෙකී දක්ෂතා සහ ජානමය අරුමය රැඳෙද්දී අනෙක් පසටද ඒවන්ම වු උරුමයක අසිරිය හිමිය.
ඒ් කුෂාණිට අරුම වන ස්වකිය දක්ෂතාවයන්, හැකියාවන් සමඟ වන ජානමය උරුමයයි. ඉතාම ලාබාල වයසකදී සංගිත වශාරද සහ නෘත්‍ය විශාරද යන ද්විත්ව උපාධි හිමිකර ගන්නට ඇය සමත් වුණා. ඇයටද මව් උරුමයෙන් සහ පිය උරුමයෙන් මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජයකෙහිළි නංවන්නට ඕනැ තරම් අවස්ථා තිබුණා. ඒහෙත් ඇය මේ ගමන් මඟට පැමිණියේ උරුමයෙන් ඒන අවස්ථා සියල්ල පසෙකලා , තම හැකියාව, දක්ෂතාවය මත පදනම්ව අධ්‍යාපනයෙන්ද සන්නද්ධවයි.
මෙරට සිටි අති දක්ෂ ෂෙනායි වාදකයකු වූ වික්ටර් විජයන්ත ඇගේ පියා. ඔහු වාදකයකු වශයෙන් පමණක් නොව ගායකයකු හා සංගීතඥයකු වශයෙන්ද මෙරට නමක් දිනා ගත්තෙක්. ඒසේම ඇගේ මව මායා දමයන්තිය මෙරටට දායාද කළ නිර්මාණ දෙස බැලුවහොත් ඒය අති විශාල ප්‍රමාණයක්. ඇය ශාස්ත්‍රීය සංගිතය මැනැවින් ප්‍රගුණ කළ තැනැත්තියක්.
ඉතින් කුෂාණිද මේ බැදීම් සියල්ල සමඟ මෙරට කලා ලෝකයේ තම හැකියාවන්, දක්ෂතාවයන් තුළින්ම දිගු ගමනකට අවතීර්ණ වුණු තැනැත්තියක්.
ඇයට ඇත්තේ වෙනම ආකාරයේ හඬක්. බටහිර ශෛලිය ගත්තද, ඉන්දිය රාගධාරී ශෛලිය ගත්තද, දේශිය ජන නාද රටාව ගත්තද මෙකි නොකි ඕනැම දෙයක් තමන්ගේ කර ගැනීමේ හැකියාවක් කුෂානිට වේ. ඇගේ මව ‘අරලිය මල්’ චිත්‍රපටය වෙනුවෙන් ගායනා කළ ‘ කුරුල්ලෝ නුඹේ තාලෙන්’ ගීතය ඇය ගායනා කළ අපූරුව එය අසා ඇත්නම් ඉන් ඒහා සාක්ෂියක් අවශ්‍ය නැත. එපමණක්ද නොව ඇය පසුගිය කාලයේ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ’ ආදරණීය කතාවක්’ චිත්‍රපටය වෙනුවෙන් ගායනා කළ ගීතය උදෙසා වසරේ හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාව ලෙසින් සරසවිය සම්මානයද දිනා ගත්තා.
කසුන්ගේ ත් කුෂාණිගේත් ඇති මේ විවිධත්වය එක්තැන් වු තැන කෙතරම් මනරම් ප්‍රසංගයක් මැවේදැයි දැන් ඔබටත් දිසාගත හැකිද? ප්‍රේක්ෂකයින්, රසිකයින් විදියට මෙම සුසංයෝගය වේදිකාවක එකට එක්වන්නට මෙතරම් ප්‍රමාද වුයේ මන්ද යන්න අපේ හැඟිමයි. ඒයට කුෂාණි දුන්නේ අපූරු උත්තරයකි.
දැන් තමයි හරිම වෙලාව’’
මම ක්ෂේත්‍රයට ආව කාලේ ඉඳලා මේ වනතුරු මගේ තනි ප්‍රසංග කිහිපයක්ම පවත්වලා තියෙනවා. ඒ වගේම කසුනුත් ඔහුගේ තනි ප්‍රසංග ඕනෑ තරම් පවත්වලා තිබෙනවා. නමුත් අපි දෙදෙනා ඒක්ව ප්‍රසංගයක් පවත්වන පළමු අවස්ථාව තමයි මේක. මේ ප්‍රසංගය අපි පවත්වන්නේ විශාල වියදමක් දරලා. මේක සාමාන්‍යයෙන් අපි සුපුරුදු විදියට එදිනෙදා දකින ප්‍රසංග කලාවෙන් ඔබ්බට ගිය ඒකක්. මේ ප්‍රසංගයේ ගායනය, වාදනය, නර්තනය යන සියලු දේ අඩංගුයි. කසුන් ඔහුගේ ශෛළියෙන් ඔහුගේ ගායනය ඉදිරිපත් කරනවා. සාමාන්‍යයෙන් මම මගේ ගායනය ඉදිරිපත්කරන්නේ ප්‍රාසංගිකව. නර්තන අංගයනුත් සමඟයි. අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රසංගයෙදි ගිත 28-30 ක් විතර ඉදිරිපත් කරන්න. ප්‍රසංගය අවසානයේදි අපේ දියණිය දේවින්ද්‍රි කල්හාරත් අපිත් සමඟ ඒකතු වෙනවා. වර්තමානයේ අපට ඇහෙන වේදිකා රිද්මයේ වෙනසක් කරන්න තමයි අපේ බලාපොරොත්තුව.
ඇත්තටම කසුනුයි මමයි ගායනා කරපු ‘සරා සඳේ’ ගීතයට නොසිතූ විදියට අපිට ප්‍රතිචාර ලැබුණා. ඒ් වගේම තමයි අපි වටා ඉන්න අපේ බොහෝ මිතුරන්ගෙන් සහ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලිම් තිබුණා අපි දෙන්නගේ ප්‍රසංගයක් කරන්න කියලා. ඉතින් ඒ් සඳහා හොඳම වෙලාව දැන් තමයි කියලා අපි තීරණය කරපු නිසා තමයි මේ ප්‍රසංගය පවත්වන්න හිතුවේ.
ඇත්තටම මට විශ්වාසයි මේ ප්‍රසංගය අපේ රසිකයින්ට වෙනස් ආකාරයේ නැවුම් අත්දැකීමක් ගෙනත් දෙයි කියලා. ඉතින් මමත්, කසුනුත් බොහොම ආදරෙන් අපේ රසික රසිකාවන්ගෙන් ඉල්ලා සිටිනවා මේ වෙනස අත්විඳීන්න පැමිණෙන්න කියලා.
හේමාලි විජේරත්න