අපේ තාත්තට තිබුණේ අසාමාන්‍ය ගතිලක්ෂණ

සුනිල් ප්‍රේම කුමාරගේ පුත් සමිත් සුරන්ජන කියයි
සැප්තැම්බර් 7, 2023

තාත්තා රඟපෑමෙන් ඉහළම තෘප්තියක් වින්දා
අපේ තාත්තාට සම්ප්‍රදායට අනුගත පුරුදු හරි අඩුයි
සුනිල් ගැන දවස් ගාණක් වුණත් කතා කරන්න පුළුවන්
- චන්ද්‍රපාල බාලසූරිය
මං එයාට ආදරය කළාට වඩා එයා මට ආදරේ කළා 
- බිරිඳ, සරෝජිනි මල්කාන්ති

“සුනිල් ප්‍රේම කුමාර කියන කලාකරුවකු රටට බිහිවුණේ අපෙ අම්මා ළඟ තාත්තා වෙනුවෙන් තිබුණු ආදරයත් ...කියා නිම කරන්න බැරි කැපවීමත් නිසාමයි...”

මෙවර අපේ කතා නායකයා පිළිබඳ ලියන්නට ගත් මොහොතේ සිටම සිත කියන්නේ ඔහු අරුම පුදුම සිතිවිලි ආරකට නතුවූ අයෙකුම ලෙසටය.. ඒ තරමටම ඔහු කියවන කල .. ඔහු පිළිබඳ ඇසෙන කලද එලෙසම හැඟෙයි..එහෙත් සිය හදවතේ උතුරා පිටාර ගිය මනුස්සකමට තවත් උපමා නැති...අපේ සොඳුරු කතා නායකයා රසික දනන් වඩාත් හොඳීන් හඳුනන්නේ ඔහුගේ උප්පැන්නයේ නමින් නොව මඩොල් දූවේ දඟදාස නමිනි.. නොඑසේනම් දඟයාය..සැබෑ ජීවිතයේදීද ඔහු කෙරෙන් බොහෝ විට දිස්වූයේද කලබලකාරී කතාවය...කලබලකාරී ගතිපැවතුම් ය...

ඔබත් මමත් දැනහැඳීනගත් හේ සිනමාව..රූපවාහිනිය..වේදිකාව යන ත්‍රිත්වයේම කැපී පෙනුණු රූපණවේදියෙකි..ගුවන් විදුලියේ ‘බී’ ශ්‍රේණියේ ගායන ශිල්පියෙකි... තවත් කුසලතා රැසකින් පිරිපුන් අයෙකි.. රංගනයෙන් ජනතා සම්මානයෙන් සේම ජනාධිපති සම්මානයෙන්ද සම්මානිත වූ මෙවර අපේ කතා නායකයා ප්‍රවීණ රංගවේදී සුනිල් ප්‍රේම කුමාරයන්ය...

උප්පැන්නයේ නම රන්හෙට්ටිගේ සුනිල් ජයන්ත ප්‍රේම කුමාරය...උපන්නේ කෑගලු දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය නම් ග්‍රාමයේය...ඒ 1958 ක්වූ මැයි මස 26 වනදාය...තාත්තා රන්හෙට්ටිගේ සයිමන් මහතාය..අම්මා සුමනා දිසානායක මහත්මිය ය.. සයිමන් මහතාගේ දරුවන් තිදෙනා අතර වැඩිමහල් පුත්‍රයා අපේ ආදරණීය කතා නායක සුනිල් ප්‍රේම කුමාරය...දෙවැන්නිය විනීතා පුෂ්පලතා එකම දියණියය..තාරක සම්පත් බාලම පුත්‍රයාය..අපේ ආදරණීය සුනිල් මූලික අධ්‍යාපනය ලැබුවේ බුලත්කොහුපිටිය තුම්බාගේ මහා විද්‍යාලයෙනි...පසුව උසස් අධ්‍යාපනයට ඇතුළත් වූයේ යක්ඇල්ල මහා විද්‍යාලයටය...පාසලේ වේදිකාවට ඔහු නැතිවම බැරි අයෙකුම විය..පාසල් දිවියෙන් ඉවත් වනවිට වැළඳී තිබූ චිත්‍රපට පිස්සුව නම් සුළු පටු නැති...බුලත්කොහුපිටියේ සිට දෙහිඕවිටට දුර කි.මී.15කට නොඅඩුය...තම මිතුරකුද සහයට ගෙන පාපැදියෙන් නිතර යන්නේ එහි සිනමාහලටය...ඉංග්‍රීසි චිත්‍රපටද සිත්ගති.. ආපසු ගෙදරට එන්නේ රෑ දෙගොඩහරි ජාමයේය...

දිනක් චිත්‍රපටයක් නරඹා රෑ මැදියමේ මිතුරා සමඟින් ඩබල් දා පා පැදියේ එන අතරමග මහ ඝන කළුවරය...පා පැදිය යමෙක හැපිණි. මිතුරා පසෙකට විසි විය...පා පැදිය නොමැතිවම අපේ සුනිල් ලතෝනි නගමින් නැගී යන්නේය.. යාන්තමින් අඳුරේ එය දුටු මිතුරා කෑ ගැසුවේය...

තම මිතුරා සුනිල් නැගී යන්නේ තඩි හරකෙකුගේ පිට මතය..පා පැදිය කළුවරේම හැපුණේ මග අවුරා නිදා සිටි හරකාගේ ඇඟේය.. කලබල වූ හරකා දුවන්ට වන් කළ අපේ සුනිල් සිටියේ හරකාගේ පිට උඩය...හරකාගේ පිට මතින් සුනිල් බිමට වැටුණේ තරමක් දුරකට ගිය පසුවය.

ඔහු වටා ගෙතුණු රසකතා බොහෝය...ඔහුගේ තාත්තා ප්‍රදේශයේ නමක් දිනූ ප්‍රකට ව්‍යාපාරිකයෙකි...බුලත්කොහුපිටියට ම එකල වාහනයක් කියා තිබුණේ ඔහුගේ තාත්තාටය..එම කාරය වරෙක මෘත දේහයක්ද වරෙක මනාල යුවළක්ද..තව වරෙක අසාධ්‍ය රෝගියකුගේද පිහිටට එයි..

අපේ සුනිල් තුරුණු වියේය..තාත්තා පුතුට රිය පුහුණුව ලබාදෙන්නේය...දැන් පුතු කාරයේ රියදුරු අසුනේ හිඳ රිය ධාවනය කරන්නේය..තාත්තා පුතුට සමීප ඉදිරි අසුනේය..රියෙහි ගියරය භාවිතා කරන ආකාරය ඔවා දී තිබුණු තාත්තා රිය පදවන පුතුගේ දැනුම පරීක්ෂා කරනු රිසියෙන් මෙලෙස ඇසීය.

“පුතා ..දැන් අපි මොකේද යන්නෙ..”

පුතු දෙවරක් සිතුවේ නැති.

“කාරෙකේනෙ තාත්තෙ..”

තාත්තා ට යකා නැංගේය..පුතුට පහර දෙක තුනක්ම දුන් තාත්තා රියෙන්ද පුතු එළියට ඇද දමා “උඹ පයින් වරෙන්” යැයි කියා රිය පදවා යන්නට ගියේලු...තාත්තා තමාගෙන් විමසුවේ ගියරය පිළිබඳව යැයි සුනිල්ට වැටහී ගියේ පයින්ම ගෙදරට ගාටන අතරතුරදීය.

මම සමිත් සුරන්ජන පුතු දෙස බලමි...මා සමග සුහද පිළිසඳරකට එක්ව සිටින සමිත් සුරන්ජන අපේ කතා නායකයාගේ දෙවන පුතාය..ලොකු පුතු සුරත් සචින්තනය...

“අමල් අන්කල්...අපෙ තාත්තා හරිම අමුතු විදිහට හිතන්න පුරුදු වුණ කෙනෙක් කීවත් හරි...අපෙ තාත්තා සම්ප්‍රදායට අනුගත පුරුදු හරි අඩුයි...තාත්තා ළඟ අසාමාන්‍ය ගතිපැවතුම් නම් ගොඩක් තිබුණා ...ඒත් ඉතින් තාත්තා ගැන එහෙමට අමුත්තක් අපට එතරම් නොපෙනුණේ එයා අපේ තාත්තා හින්දාම වෙන්නැති ...

අපෙ තාත්තා ට බත් කන්න හුරු කළේ අපෙ අම්මා ...අම්මා පවුලේ හැමදේම කරට අරන් තාත්තා ට ඕන ගමන යන්න අම්මා ගොඩක් කැපවීම් කළා...එහෙම අපෙ අම්මා ඉවසිලිවන්තව කැප නොවුණානම් කලා ලොවට සුනිල් ප්‍රේම කුමාර කෙනෙක් බිහිවන්නේ නැහැ....”

අපේ ආදරණීය කතා නායකයා මනුස්සකම ඉහවහා ගිය අයකුම බව කාගේත් මුවින් නික්මෙන පළමු වචන පෙළය....අනුන්ගෙන් යමක් බලා හිඳීන්නට ඔහු අකැමැතිය..උදව් පතා යන්නට අකැමැතිය..එහෙත් අනුනට උදව් කිරීමෙන් හෙතෙම ලැබුවේ මහත් සතුටකි..දරු දෙදෙනාටද නිතර කීයේ අනුන්ගෙන් මුකුත්ම එපා..ඔයාලා තම සවියෙන් ඉදිරියට යන්න ඕනා කියාය..

තම ජීවිතයේදී හෙතෙම බත් ආහාරයට ගත් අවස්ථා ඉතා අල්පය..එකම කැමැත්ත පාන් කෑමටය..ඒද පාන් වලට අල පෙති බැද තිබුණහොත් ඔහු සිතට රජ බොජුනක මිහිර සත්තකින්ම පරාදය..

“අපොයි ඔව්..එයා තනිවම හරි අපි හැමෝම එක්ක හරි මඟුල් ගෙදරක ගියත් හොරෙන් ගිහින් පාන් හොයනවා..ෂූටිං වලට ගියත් තාත්තා ට ඕනා පාන්... පාන් තමයි..

ඇත්තමයි අපෙ තාත්තාගෙන් කාටවත්ම කරදරයක් නැහැ...”

අපේ සුනිල් ප්‍රේම කුමාර පාසල්වියේ දී ම වේදිකා නාට්‍යවල රඟපෑවේය.. පාසලේ ඉගෙනුමින් ඉවත්ව ගිය පසුව හේ බුලත්කොහුපිටිය තම ගමේ වේදිකා නාට්‍යවල රඟපෑවේය..විශ්‍රාමික විදුහල්පති සී.ඩී හේවගේ.. තම කුලුපග අතිජාත මිත්‍රයකු වන චන්ද්‍රපාල බාලසූරිය යන ප්‍රකට නාට්‍යවේදීන් සමග හේ එකතු වූයේය..නාට්‍ය තැනුවේය...චේදිකාව හැදුවේය..ගැයුවේය.. රඟපෑවේය..රඟමින් ගැයුවේය..

“තාත්තා රඟපෑමෙන් ඉහළම තෘප්තියක් වින්දා. අනික...අපෙ තාත්තා ට කිසිම බරක් පතළක් නැති සැහැල්ලුවට හැමදේ ගැනම හිතන කෙනෙක්..හැමදෙයම එයාට හරිම සරලයි..කිසිම දෙයක් ලොකුවට ගන්නේම නැහැ...අපට එයා ආදරය කළා කියලා අදත් අපි හිතනවා..ඒත් තාත්තා අපට ආදරය පෙන්නුවේ නැහැ..ෂූටිං ගිහින් දවස් මාස ගණන් පිට ඉඳල ආවත් එයාගෙ කැමැත්ත පහුවෙනිදාට ආයෙත් ෂූටිං වලට යාගන්නයි.. හරිම අමුතු සිතිවිලි ධාරාවක් තාත්තා ට තිබුණේ..ඔය ප්ලාස්ටික් භාජන හෙම පෙන්නන්නම බැහැ...ප්ලාස්ටික් කෝප්පෙකට තේ එකක් දුන්නත් එපා කියල ප්‍රතික්ෂේප කරනවාමයි.”

සමිත් පුතු එසේ කියන්නේය.

අප පිළිසඳරට එක්වූයේ අපේ කතා නායකයාගේ එකම සොහොයුරා තාරක සම්පත් මහතාය..හේ නගරයේ සමූහ ව්‍යාපාරයක හිමිකරුවෙකි..

“ඇත්තම කියනවානම් අපෙ අයියා දැක්කත් හිනායන පිස්සු චරිතයක් වගේ පිටතට පේන්නේ...හැසිරෙන්නෙ එහෙමයි.. හරිම සරලයි...ඇතුළතින් ඉරිසියා කුහකකම් නැති මනුස්සකම පිරිල තිබුණු හොඳ මනුස්සයෙක්...ඒ බව ගමේත් ඇසුරු කරපු කවුරුත් දන්න දෙයක්..ඒ වගේම කුසලතා රැසක්ම උපතින් ම රැගෙන ආපු කෙනෙක්..කවුරුවත් ඉදිරියේ කොන්ද නමන්නෙ නැතිව තමන්ගෙ ඉලක්කයට යාමට නැඟී සිටිය කෙනෙක්...යාළුවන් නම් වැහි වැහැලා...එයා ටවුන් එකට ආවා කියමුකෝ..අන්න සුනිල් ටවුමට ඇවිල්ල ඉන්නවා ..කියල සුළඟ වගේ කට්ටිය දුවල යනවා. ඒ තරම් එයා ජනප්‍රියයි..බොක්කෙ තියෙන දේ වුණත් අනුනට දෙන මනුස්සයෙක්...”

තම එකම සොහොයුරා ගැන පවසන අපේ සම්පත් තවත් දේ කියා යන්නේය..

“සුනිල් අයියා කඩේකට ගියා කියල හිතමු තේ එකක් බොන්න..මේ අපි වගේ නෙමෙයි.හෝටලේ කුස්සියටම යනවා..මොකද දන්නවද...ප්ලාස්ටික් භාජනවල තේ හදයි කියල බයට...ටී මේකර්ට කියනව ඔය වීදුරුව තව දෙතුන් පාරක් හෝදපන් කියලා..ප්ලාස්ටික් අයියාට අරහං...ඒ වෙලාවට කාවද දැක්කෙ..දහදෙනෙක් වුණත් කමක් නැහැ..ඔක්කෝටම තේ අරන් දෙනවා..”

අපේ ආදරණීය කතානායක සුනිල්ගේ මෑණියන් කලුරිය කළාය..මෑණියන්ගේ දේහය ගෙයින් පිටතට ගෙනයනතුරු ඔහු නොවේ ගෙට ආවේ...වතුර එකක් පවා නොබීවේය...පියාණන් ද නැතිවූයේය..ඔහු නොවේ අවසන් ගෞරව පිදුමටවත් ගෙතුළ අහලකටවත් ආයේ...

ඒ දවස් දිගටම හේ කෑවේ..බීවේ උඩුවේ පිහිටි කඩයකිනි.

“ඒ අම්මා තාත්තා ගැන ඇති අමනාපයකට නම් නෙවෙයි.

විෂබීජ වලට බයයි.. මළගෙවල්වලට බයයි.. දැන් ඔය ඉන්නෙ අම්මා නෙවෙයි. විෂබීජ ගොඩක් කියා මග හැර සිටියා..”

සම්පත් කියන්නේය..

මත්පැනින් හා දුම්වැටියෙන් පවා තොර අපේ ආදරණීය සුනිල් පිළිබඳ කතාබහට සම්පත්ගේ ආදරණීය බිරිඳ විහංගා ශෙහාරි මහත්මියද වරින් වර සිනාමුසු මුවින් එක්වූවාය..

අපේ සොඳුරු කතා නායකයා වෘත්තීය ඡායාරූප ශිල්පියෙකි.. බොහෝ චිත්‍රපටවල නිශ්චල ඡායාරූප ශිල්පියා වූයේද ඔහුය...

අපේ පිළිසඳර වඩාත් අර්ථවත් කරනු රිසියෙන් සම්පත් මහතා අපේ සුනිල් ගේ පාසල් වියේ සිටම රටම දන්නා කලාකරුවකුව. සිට ..මියෙන මොහොත තෙක් ම ඇසුරේ පසුවූ ආදරණීය මිතුරකු වන ප්‍රවීණ නාට්‍යවේදී චන්ද්‍රපාල බාලසුරිය මහතාද සිය නිවසට කැඳවා තිබිණි.. අපේ සුනිල් සමගම නාට්‍ය කටයුතුවල දිවා රෑ එක්ව පසුවූ චන්ද්‍රපාල බාලසූරිය මහතා ප්‍රථමයෙන්ම සරසවියට ස්තුතිවන්ත වෙමින් කතා කළේය..

“අපේ සුනිල්...ගැන දවස් ගාණක් වුණත් කතා කරන්න පුළුවන්..එතුමා අපේ ගමේ නාට්‍ය පෙන්වන්න අපත් සමඟ එකමුතුව වැඩ කරපු වටිනා කලාකරුවෙක්..මට මතකයි අප දෙන්නා පාසල් මිතුරන් හැටියට හඳුනාගත් දා ඉඳල රටේ නමක් දිනුවට පස්සෙත් ඒ යහළුකම් වැඩිකළා මිසක් ආඩම්බරයක් ගෑවිලාවත් තිබුණෙම නැහැ..

80 දශකයේදි විතර එතුමා සරසවිය පත්තරේ මුල් කවරයට ඡායාරූප කළා...සරසි කලා පත්තරෙත් වැඩ කළානෙ..කලා සිනමා පත්තරෙත් හිටියා..හොඳ කැමරා ශිල්පියෙක්...ඒ වැඩේට හොඳ ඇහැක් තිබුණා ...අපේ ගමේ වේදිකා නාට්‍යයකට අප එතුමා ව මුලින්ම සම්බන්ධ කරගත්තෙ ගුත්තිල මූසිල වේදිකා නාට්‍යයේ රඟපාන්නයි...කැපවීමෙන් සහයෝගයෙන් එතුමා අප සමඟ දිවා රෑ වෙහෙසුණා මට මතකයි...

ඉන්පස්සෙ එයාම හැදුවා රජ සෙල්ලම කියන නාට්‍යයක්..එය බුලත්කොහුපිටිය අවට පාසල් වේදිකාවල පෙන්නුවා...

ඔහොම ඉතිං දිගටම රඟපාමින් සිටියදි සිනමාවට ටෙලි නාට්‍යවලටත් ගියා..සම්මානිත වුණා..”

චන්ද්‍රපාල බාලසූරිය මහතාගේ කටහඬ බිඳුණු ස්වරයකට හැරී ඇතැයි සිතේ..ඒ තම කුලුපග සගයා..කල්‍යාණ මිතුරා සිහිකොට කතා කිරීමෙන් ඇතිවූ ශෝකී සිතකින් යැයි මට සිතේ.

බන්දුල විජේවීරයන් සමඟ “මෙන්න මේ දෙන්නා ඇඹුලක් කාලා..හොර පාරේ” ගීතය ගයමින් හෙතෙම රඟපෑවේ ඉමහත් ජනප්‍රියත්වයක් ලැබූ පාන් බට්ටා ටෙලි නාට්‍ය තිරයේය.. හේවගේ මහතා ලියූ ඉංග්‍රීසි නාට්‍යවලද හේ රඟපෑවේය..

මඩොල් දූව කතාවෙ රඟපාන්න සම්මුඛ පරීක්ෂණයට 400ක් විතර ඇවිත් තියෙනවා..ලෙස්ටර් මහත්තයා සුනිල් ව දඟදාස චරිතයට තෝරාගත්තට පස්සෙ කියල තියෙනව ..ඔයාව මේ චරිතයට ගත්තෙ... ආව වෙලාවෙ ඉඳන් පෙනිච්ච පිස්සු හැසිරීමටයි කියලා...

පස්සෙදි සුනිල් වාණිජ චිත්‍රපටවල කවටයෙක් වුණා.. සුනිල් සෝම පීරිස් එයාගෙ නිර්මාණ හැම එකකටම වගේ සුනිල් ව ගත්තා..ඒ වගේම ඒ දෙන්නත් හරිම සුහදයි.

ෆ්‍රෙඩී සිල්වා වගෙ විකට නළුවන් සමඟ මාව සසඳා බලන කල මම අසාර්ථක බව මටම තේරුම් ගියා..ඒත් මුලදි ආපු අභියෝගවලට මම සාර්ථක ව මුහුණ දුන් නිසා පසුව හැඩ ගැසෙන්න මට පුළුවන් වුණා...

සුනිල් යටගිය දවසක පුවත්පතකට එසේ කියා තිබිණි.

ගැමි සුවඳ වහනය වන නාට්‍ය නිමිතිකොට බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උලෙළකදී අපේ ආදරණීය සුනිල් ප්‍රේම කුමාරයන් මහත් අගැයුමට ලක්විණි.

රාත්‍රිය ටෙලි සිත්තමේ පිංතුගේ චරිතයට හෙතෙම ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය...නිම නොවන නිමේෂය..ඔහුගේ ටෙලි අධ්‍යක්ෂණයකි..වෙළඳ දැන්වීම් ආදියෙහි රඟපෑම හේ තරයේම ප්‍රතික්ෂේප කළේය...

මානව වාරණ...පත්තර විස්තර ...හිම කුණාටුව..සත්වෙනි රළ...24 වන හෝරාව...2004 වසරේ දී රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේදී හොඳම ටෙලි නාට්‍ය සහාය නළුවා ලෙසින් හේ පිදුම් ලැබීය..ගීතරචකයකු...ගායකයකු...තිර කතා රචකයකු...වේදිකා නාට්‍ය රචකයකු...ටෙලි නාට්‍ය රචකයකු ලෙසින්ද අපේ කතා නායකයා සිය කුසලතා මොනවට විදහා දැක්වූයේය.

“මුචලින්ද නාගරාජ අමෝතත්ත විල මැද..” ගුවන් විදුලියේ ගැයු ගීතයද ඔහුගේය.. ඔහු ගැයූ ගුවන් විදුලි ගීත දහයකට වැඩි යැයි කීවේ අපේ ආදරණීය සම්පත් ය...

කැකිල්ලේ රජ්ජුරුවෝ තිර නාටකය ලියැවුණේ ඔහු අතිනි. දිසානායක ෆිල්ම්ස් චිත්‍රපට සමාගම නිපැයූ පළඟැටියෝ.. හංස විලක්.. සහ එක්ටැම්ගේ ආදී චිත්‍රපටවල සහය අධ්‍යක්ෂක වූයේද ඔහුය.. චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ හේ ටෙලි නාට්‍ය ගණනාවක ද විවිධ චරිතයනට පණ පෙවීය...

එක් දවසක අපේ ආදරණීය කතා නායකයා මංගල උත්සවයක ඡායාරූප ගැනීමට ගියේය...මේ ටික කියන්නට වූයේ ආදරණීය පුතු සමිත්ය...

“ඒ විවාහය අපෙ අම්මාගෙ අක්කාගෙ..ඉතිං තාත්තා මඟුල් ගෙදර පින්තුර ගන්න ඇවිත් ඉඳල තියෙනවා.. එහිදී තමයි පළමුවරට අපෙ තාත්තා අපෙ අම්මා ව දැකල තියෙන්නෙ...අන්තිමට බැලින්නම්.. තාත්තා වැඩිපුර ෆොටෝ අරන් තියෙන්නෙ මනමාලිගෙ නෙමෙයි.. අපෙ අම්මාගෙ...පස්සෙ ඉතිං තාත්තා අම්මාගෙ පස්සෙන් ගිහින් ගිහින් තමා අම්මා එක්කල එදා යාළු වෙලා තියෙන්නෙ...”

පුතු සමිත් සිනාබරව කියන්නේය...

අපේ කතා නායකයාගේ ජීවන සහකාරිය වූයේ මහනුවර උපන්බිම වූ පොලිස් දෙපාර්තමේන්තුවේ සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ නර්තන ශිල්පිනී.. රුවැත්තියක වන සරෝජිනි මල්කාන්ති මහත්මියය..

මම සරෝජනී මල්කාන්ති මහත්මියගෙන් යටගිය සමයේ පවුලේ ඡායාරූප ඉල්ලා සිටියෙමි.

“අනේ ඉතිං..නැති දේවල්මනෙ ඉල්ලන්නෙ..අපේ සුනිල් ඔය මුකුත්ම පරිස්සම් කරන්න ඕනා කියල කවදාවත් හිතලාවත් නැති කෙනෙක්. කිසිම දෙයක් එයාට වැදගත් නැහැ...අගයක් නැහැ...මට එයාව මුලදි තේරුම් ගන්න අපහසු වුණා..මගේ වැඩිහිටි අයත් ලොකු ප්‍රශ්නයකට මැදිවුණා..මෙහෙම කෙනෙක් එක්ක පවුලක් වුණොත් ප්‍රශ්න ඇතිවෙයි කියල කැමැත්ත දෙන්න බයවුණා..ඒ මෙයාගෙ හැටි නිසා.. පස්සෙ පස්සෙ..මම එයාවත් එයා මාවත් හොඳීන් තේරුම් ගත්තා.. වෙන තැනැත්තියකට නම් සුනිල් වගේ කෙනෙක් එක්ක පවුල් ජීවිතයක් ගෙවන්න අමාරුයි කියා මට හිතෙන්නෙ..අපි විවාහ වුණා..මම හැමදේම ඉවසිලිවන්ත ව දරාගෙන තවත් එයාව තේරුම් ගන්න උත්සහ කළා...අපි අවුරුදු 8 ක් ඇසුරු කළා... ඒ මම උසස් පෙල ඉගෙන ගන්න කාලේ..

මං එයාට ආදරය කළාට වඩා එයා මට ආදරේ කළා ...කියල දැනුත් හිතෙනවා..මගෙ රස්සාවට අනුබල දුන්නා..ඒක මට ලොකු ශක්තියක් වුණා..හැකි හැම වෙලාවෙම අප එක්ක ලඟින්ම උන්නා. වැඩ ඇරිල මම එනතුරු බයික් එක තියන් මග බලාගෙන ඉන්නවා ... සුනිල් අසනිප වුණාම ගේ පෙරළෙන්න කෑ ගහනවනෙ..දැන් එයා නැති අඩුව එදාට වඩා අද මට දැනෙනවා...” සරෝජිනි එසේ කියන්නී දයාබර ස්වරයකිනි.

“කලාවෙන් තාත්තා හොඳට හම්බ කළා..දුර බැහැර නළුවන් කොළඹ පැමිණියාම තාත්තා නවාතැන් දෙන්නෙ අපේ ගෙදර...”

පුතු සමිත් කියන්නේය..

අපේ කතා නායකයා කොලඹ ගිය විටෙක කොහේදී හෝ ආගන්තුකයකු මුණගැසී හඳුනාගත් කල එදින රාත්‍රිය අමුත්තාට නවාතැන් දෙන්නේ ඔහුගේ නිවසේය.

“ඒ මනුස්සයා කවුද..කොහොමද.. හොඳට අඳුරනවද...එහෙම කිසිම විශේෂත්වයක් අපෙ අයියාට නැහැ.. එයා කාටත් ආදරෙයි..” ඒ ටික කීවේ සම්පත් ය..

“කලාතුරෙකින් හමුවන හොඳ මනුස්සයෙක්මයි..අපිත් එක්ක නාට්‍ය කටයුතු කළේ හරිම සහයෝගයෙන්..නළුවෙක් කියන ආටෝප ගති තිබුණේම නැහැ..යාළුවෙක් දැක්කොත් එලවගෙන ගිහින් කතා කරල තේ පවා අරන් දෙනවා..” චන්ද්‍රපාල බාලසූරිය හිතමිතුරා කියන්නේය..

තම සුනිල් මිතුරා ළඟකදී නුදුටු බැවින් චන්ද්‍රපාල මහතා නාට්‍යවේදී හේවගේ මහතාද සමඟින් දිනෙක අපේ ආදරණීය සුනිල් නිවසන දෙහිවල නිවසට ගියේය...

යටගිය පැරණි මිතුදම් සිහිකොට චන්ද්‍රපාලව වැළඳ ගත්තේය... වහා හන්දියට දිවගොස් අහරට යමක් රැගෙන ආවේය..එදින රාත්‍රිය තම නිවසේම ගතකර පසුදා යන ලෙසට බලකර කියමින් නවතා ගති..ඇඳ සකස්කර මදුරු දැල පවා දැමුවේ සුනිල් අතිනි.

එදින ආගිය කතා ගොඩකි.

“කෝ සුනිල් ඔයාට ලැබුණු ජනාධිපති සම්මානය..”

චන්ද්‍රපාල විමසුවේය..

“ඔය කොහේ හරි ඇති බන්”

චන්ද්‍රපාල එය සෙව්වේය..දුහුවිලි බැඳී ගිය පරණ පත්තර මහගොඩක් අස්සේ එය තිබී හමුවිය... චන්ද්‍රපාල එය පිරිසිදු කොට කැබිනට්ටුව මත තබා කීයේ...

“මේව එහෙ මෙහෙ දාල තියෙන ඒවාද..”

සුනිල් ගත්කටටම කීයේ...

“ඔය කොට කෑලි වැඩක් නැහැ චන්ද්‍රපාල මිත්‍රයා...මිනිස්සුන්ගේ හදවතේ තමා ඉන්ඩ ඕනා..”

අපේ කතා නායකයා චන්ද්‍රපාලට හඬ ගා කීවේලු.

අපේ ආදරණීය කතා නායකයා හදිසියේ රෝගාතුර වන්නේය..වරක් හෙතෙම හෘදයාබාධයකට ගොදුරු වී ..ඉන් සුවපත් ව ගෙදර ආවේය.. විවේකීව පසුවූයේය... මෙවර හටගත් හෘදයාබාධය වඩාත් උත්සන්න විණි...

වහා ඔහු රෝහල් ගත කෙරිණි ...සැත්කමකට බඳුන් විණි... ඔහු පසුවන්නට වූයේ දැඩි සත්කාර ඒකකයේ ගිලන් යහනක් මතය..

උදෑසනින් රෝහලේ හෙදියක විසින් රැගෙන ආ කිරි තේ කෝප්පය ඇය ඔහු මුවගට ළං කළේය...

ඔහු මුහුණ ඇඹුල් වී ගියා වැන්න. එය හෙතෙම තරයේ ප්‍රතික්ෂේප කර ඉවත බලා ගත්තේය.. හේතුව එය ප්ලාස්ටික් කෝප්පයකි..

එම හෙදිය ඊළඟට රැගෙන ආවේ රෝගියාගේ උදෑසන අහර වේලය...එහි තිබුණේ ඉඳී ආප්ප සමග කිරිහොදිය.

එදෙස තරහින් මෙන් බැලූ අපේ කතා නායකයා හෙදියට කීවේ මට කිරි හොදි එපා..සම්බෝල දෙන්න...සම්බෝල ..දෙන්න..”

අපේ සුනිල් දෙස බලා සිටි හෙදිය තරහින් මෙන් කීයේ එහෙම ඔයා කැමතිම දේවල් දෙන්න හොඳ නැහැනෙ.. වෛද්‍ය උපදෙස් අනුවනෙ අපි ලෙඩාට ආහාර දෙන්නෙ..මේව කන්න...නොකා ඉන්න හොඳ නැහැ..”

“එහෙනම් මට එපා...”

එදිනම සවස්යාමේ රෝහලින් නිවසට යාමට ඉඩ දිය හැකි බවත්...රෝගියා වඩාත් පරිස්සම් කළයුතු බවත් ඒ වනවිට වෛද්‍යවරුන් පවුලේ අයට දැනුම් දී තිබිණි ...

එහෙත්....එහෙත්...”!!

“අපේ සුනිල්ගෙ කේන්දරේ බලාපු අය කීවෙ ආයුෂ බොහෝ තියෙනවය කියලයි..."

බිරිඳ සරෝජිනී කියන්නීය..

මනුස්සකම දෝතින් පිදූ.... හිතවත්කම් කිරාමැන නොබැලූ...

අපේ ආදරණීය සොඳුරු කතා නායකයා සිනමා..රූපවාහිනි ..වේදිකා සම්මානිත ප්‍රවීණ රංගවේදී සුනිල් ප්‍රේම කුමාර නම් ප්‍රේමණීය සහෘදයා නැවත පිය බිරිඳ හෝ පුතුන් දෙදෙනා හෝ වරක් හෝ දැක බලා ගන්නට...වචනයක් කතා කරන්නට හෝ ගෙදරට නොපැමිණ... කිසිවකු හට හෝ යන බවද නොදන්වාම අපේ සොඳුරු සුනිල් ප්‍රේම කුමාර නික්මන් ගමන් ගියේ...2018 ක්වූ ඔක්තෝබර මස 02 වනදාය....

සේයාරූ - පාලිත ශ්‍රී ලාල් ආටිගල