වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
වේදිකාවේ රඟපාන්න නොඉවසිල්ලෙන් ඉන්නවා

පාසල් ජීවිතයේ නර්තනයට ප්‍රිය කළ ඇය, ඒ සියලු දේවල් පසෙකලා රංගනයට පිවිසියා ය. වෙළඳ දැන්වීම් කලාවෙන් ගමනක් ආරම්භ කළ ඇය. අවුරුදු කුමාරියක වු ඇය දක්ෂ නිරූපණ ශිල්පනියක මෙන්ම රංගන ශිල්පිනියක ද වුවාය. රැස් ටෙලි නාට්‍යයේ ඇය නර්තන ගුරුවරියකි. ඇගේ ජීවිතයේ කලා කටයුතු ගැන සරසවිය සමඟ සාකච්ජාවට එක්වූ ඇය නිමාලි දෙල්වලයි.
පාසල් ජිවිතයේ හිතුණ ගමන එන්න ලැබුණාද?
මම පාසල් ජීවිතයෙන් පසුව තමයි කලා ක්ෂේත්රයට පිවිසෙන්නේ. මේ ආපු ගමනක් හරිම අහඹු සිදුවීමක් මට සිදු වුණේ. අවුරුදු උත්සවයකදී අවුරුදු කුමාරියට ඉදිරිපත් වෙන්නට මට අවස්ථාවක් ලැබුණා. එයින් මට දෙවැනි ස්ථානය හිමි වුණා. මේ අවුරුදු කුමාරිය වීම නිසා තමයි කලා ක්ෂේත්රයට පිවිසෙන්නට මට අවස්ථාව මුලින්ම හිමිවෙන්නේ. පාසල් අධ්‍යාපනයෙන් පසු මට පෞද්ගලික අංශයක රැකියාවක් කරන්න අවස්ථාව හිමි වෙනවා. මේ රැකියාව කරන අතරතුර එක්තරා පුවත්පතක මම දකිනවා වෙළඳ දැන්වීමක් සඳහා නිරූපිකාවන් ගන්නවා කියලා. ඒ වෙළෙඳ දැන්වීම සදහා සම්මුඛ පරීක්ෂණයක් පවත්වනවා එයට සහභාගි වෙන්න ස්ථානය හා දිනය දාලා තිබුණා. මම ඊට පසුව එම ලිපිනයට ස්ථානය සොයාගෙන ඒ දාල තිබ්බ දිනයට ගියා. සම්මුඛ පරීක්ෂණයෙන් පස්සේ එහිදි ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරනවා කියලා එයට මට සහභාගි වෙන්න කිවුවා. ඒ සහභාගි වීමේ ප්‍රතිඵලයක් ලෙස මට වෙළඳ දැන්වීමක රංගනයෙන් නිරූපණය කරන්න අවස්ථාව හිමිවුණා. මේ වෙළෙඳ දැන්වීම බිස්කට් සම්බන්ධව කරපු වෙළඳ දැන්වීම් ප්‍රචාරනයක්. ඒ ගමනෙන් ආපු ගමන තමයි අද මම මෙතන ඉන්නේ.
මිණි කැටතුල ජීවත් වුණ ඔබ ගෙන්දගම් පොළවට පයගහනවා නේද?
ඔව් මම හැදුණේ වැඩුණේ රත්නපුර, මගේ අම්මා කොළඹ, තාත්තා රත්නපුර නිසා අපේ මුල් කාලය ගෙවුණේ ඔබ කියන විදිහට මිණි කැට උඩ. මගේ පාසල් ජීවිතය හරිම සුන්දර කාලයක් උණා.කහවත්ත පනාවැල්ල විදුහලේදී අධ්‍යාපනය හදාරන කාලය මම නර්තනයට වැඩි නැඹුරුවක් තිබුණේ. නර්තනය හැදෑරුවත් මගේ ප්‍රියතාවය තිබ්බේ රංගනයටයි. පාසල් කාලය තුළ පාසල් වේදිකාව මට අහිමි වුණා. ඒ වෙන හේතුවක් හින්ද නෙවේ මම නර්තනය පැත්තෙන් ප්‍රගුණ කරපු නිසයි. කොහොම නමුත් දෙවියන්ගේ ආශිර්වාදය නිසා මට අද එතනට එන්න අවස්ථාව සලසලා දුන්නා. කලාවට යොමු වීමත් සමඟම පෞද්ගලික අංශය රැකියාවට සමු දෙන්නට සිදුවුණා. මේ හේතු කාරණා නිසාත් අපේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගැනීමටත් පවුලේ සියලු දෙනාම රත්නපුරය අතහැරලා මහරගම ප්‍රදේශයට ස්ථිර පදිංචියට එන්නේ. දැන් අපි සතුටින් මහරගම ප්‍රදේශයේ ජීවත් වෙනවා මේ සියලු දේවල් ම සමබරව කරගෙන.
රැකියාවයි රංගනයයි කොහොමද ඉන්පස්සෙ සමබරව කරගෙන ගියේ?
මේ වෘත්තියට ආසාවක් තිබුණේ නැත්නම් කිසිම දෙයක් සමබරව කරගෙන යන්න බැහැ. මම ඒ හින්දා ඒ දෙක හරි බැලන්ස් කරලා කරගෙන ගියා. වෙළඳ දැන්වීම් කලාවට සම්බන්ධ වුණාට පස්සේ මගේ ජීවිතේ හරි විදියට ගමනක් යන්න පුළුවන් වෙයි කියල මට දැණුනා. මෙහිදී මට ක්ෂේත්රයේ ගොඩක් දෙනෙක් හඳුනා ගන්නට අවස්ථාව හිමි වුණා. ඒ හැඳුනුම්කම මත මගේ ගමනට යම් යම් දේවල් එකතු කරගන්නටත් අවස්ථාව හිමි වුණා.
වෙළඳ දැන්වීම් කලාවේ නිරතවන ශිල්පිනියකට ආර්ථික මට්ටම හොඳයි කියනවා නේද?
කිසිවිටෙකත් අශුභවාදිව නොසිතා තමන්ගේ ගමන අරමුණක් කරා වියයුතුයි කියලා සෑම මොහොතකම මම සිතුවේ.ඕනෑම නිර්මාණයක් පිටුපසම සාර්ථකත්වය දකින්න පුළුවන්. මගේ ගමනත් එහෙමයි කියලා මම හිතනවා. ඒත් වර්ෂාව වහිනකොට එක දිගට ම වර්ෂාව වහිනවා. සමහරවිට අව් කූටකේ පමණක් තියන කාලයක්ද වෙනවා. මට පුළුවන් මේ දෙක ගැනම හිතලා හොඳට වැඩ කරන්න. ජීවිතේ හිතන පතන සියයල්ලම නොලැබෙන්න පුළුවන්.
2018 වර්ෂයේ විශේෂ සිදුවීමක් කියන්නේ මොකක්ද?
2018 වසරේ මට හර්ෂ උඩකන්ද අධ්යක්ෂවරයා සහ ශ්යමෙල් නිෂ්පාදකවරයා හමු වෙනවා. මේ දෙදෙනාගේ හමුවීම තුළ මට කොළඹ සන්නිය සිනමා නිර්මාණයට රංගනයෙන් දායක වෙන්නට අවස්ථාව හිමිවෙනවා. ඊට පසුව පී‍්‍රතිරාජ් වීරරත්න මහත්තයාගේ තීත්ත ඇත්ත සිනමාපටයට මාව තෝරා ගන්නවා. මේ සිනමාපට දෙකේම සැලකිය යුතු චරිත නිරූපණයක් කිරිමට අවස්ථාව හිමි වුණා. මේ සිනමාපට දෙකට ප්‍රථම සුළු සුළු චරිත සිනමාවේ සහ ටෙලි නාට්‍ය කලාවේ රංගනයෙන් දායක වෙන්න අවස්ථාව මට හිමිවුණා. නැවත වසර තුනකට පසුව මම ක්ෂේත්රය ට පිවිසෙනවා. චන්දන ලියනගේ මාර්ගයෙන් ඒ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් කියල මම හිතනවා.
දැන් වඩාත් ප්‍රිය කරන්නේ මොන ක්ෂේත්රයට ද?
ක්ෂේත්රය තුළ එහෙම විශේෂ අංශයක් කියල නැහැ. අපි අරමුණක් ඇතුව ගමනක් යන්න නම් වේදිකාව ටෙලිනාට්‍ය සිනමාව කියන ත්‍රිත්වය ම එක හා සමානව ස්පර්ශ කළ යුතුයි. ඉන් මගේ වැඩි කැමැත්ත තියෙන්නේ සිනමාව පැත්තටයි. දැනට මම නිර්මාණ දහයකට පහළොවකට පමණ දායක වෙලා තියෙනවා. අද දක්ෂතා තිබුණ නිර්මාණවලට අවස්ථාව ලැබෙනවා අඩුයි. ක්ෂේත්රයේ ගමන අතරමග නවතා දමපු නිසා මට දුර ගමනක් එන්න ටිකක් ප්‍රමාද වුණා.
ඒ වැරැද්ද සිදු වුණේ මගේම අතින් කියල මට හිතෙනවා දැන්.
රංගන ශිල්පිනියක හැටියට ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් ලද අත්දැකීම් මොනවාද?
මගේ මුළු කාලසීමාව තුළදී ප්‍රවීණ සිනමා රංගන ශිල්පිනි අයිරාංගනි සේරසිංහ මහත්මිය සහ ජයලත් මනෝරත්න මහත්තයාගෙන් ලැබුණ ගුරු හරුකම් අගය කරනවා. ක්ෂේත්රය තුළ වැඩ කටයුතු කරන ආකාරය රංගන ශිල්පිනියකට වඩා මගේ පෞද්ගලික ජීවිතයට ලැබුණු හොඳ උපදෙස් ටිකක් ලෙස සලකන්නේ. ප්‍රවීණයන්ගෙන් ලැබෙන උපදෙස් ක්ෂේත්රයට එන නවකයන් හැටියට ගරු කළ යුතුයි. මේ ක්ෂේත්රය එකිනෙකට බැඳුණු පුරුක් දාමයකි. මේ සියලු දේවල් එක්කම මේ ගමන යන්නට හොඳ අධ්‍යාපනයක් වගේම ප්‍රායෝගික පෙරහුරුවක් අත්‍යවශ්‍යයි කියලා මම හිතනවා.
නවක ශිල්පීන්ට මුහුණ දෙන්නට ලැබෙන ගැටලු මොනවාද?
මට නම් තවම ගැටලුවලට මුහුණ දෙන්නට ලැබුණේ නෑ. මේ ගමන යා යුත්තේ තමන්ගේ දක්ෂතාවයන් තුළින්ය. එක එක්කෙනාගේ ඕනෑ එපාකම් ඉෂ්ට සිද්ධ කරලා නෙවෙයි. රංගන ශිල්පිනියකට හෝ ශිල්පියකුට ලස්සන තිබුණාට මදි ඔහුගේ හැකියාවන් හා චරිත නිරූපණය කිරීමේ දක්ෂතාවයෙන් තිබිය යුතුයි. මේ සියලු දේවල් තිබිලත් චරිතය තුළ නියැළෙන්න බැරි අය ඕන ඕනතරම් ඉන්නවා. මම දන්න දෙයක් තමයි ඇඳුනුම්කම් මත අද දක්ෂයාට තැන අහිමි වෙනවා.
ඒ දේවල් දකින විට දරාගන්න බැරි අවස්ථා තියෙනවා. ඒත් පවතින වාතාවරණය තුළ උපේක්ෂා සහගතව ඒ සියලු දේවල් මම විඳගන්නවා. ඕනෑම ක්ෂේත්රයක ගැටලු පවතිනවා. ඒත් ඒවා ප්‍රකාශ කරනවට වඩා නිහඬතාවය තමයි හොඳම දේ කියලා මම ඉගෙන ගෙන තියෙන්නෙ, ඒ සියලු දේවල් වලට විසඳුම් අපිම සොයාගත යුතුයි.
ඇස් ටෙලි නාට්‍යය තුළින් ප්‍රේක්ෂකයන් ඔබව වැලඳගත්තා නේද?
ඔබ කියන කතාවට මම එකඟ වෙනවා. රඟපාපු චරිත අතරින් මම ‘ඇස්’ ටෙලි නාට්‍යයේ චරිතයට බෙහෙවින්ම ආදරය කළා. අපි ජීවිත කාලයම වැඩි හරියක් ගත කරන්නේ ගුරුවරුන් සමඟයි. ඒ නිසා තමයි ප්‍රේක්ෂකයා මාව වැලඳ ගන්නේ ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරපු නිසා කියලයි මට නම් හිතෙන්නේ. මේ චරිතය මගේ ජීවිතයට හරිම සමීපයි. ඒ නිසා සමීර හසුන්ප අධ්‍යක්ෂකවරයාගේ හිතේ මැවුණ චරිතය මම නිරූපණය කළා කියලා මම හිතනවා. මම මහා ලොකු අත්දැකීම් තියෙන නිළියක් නෙවෙයි. මගේ රංගන දිවියේ හැම වෙලේම උත්සාහ කරන්නේ මට දෙන චරිතයේ ජීවත් වීමයි.
යොවුන් වියේ පසුවන තරුණියකගේ ආදරේ ගැන කියන්න කැමතිද?
ජීවිතයේ මම හොඳට ආදරේ විදලා තියෙනවා.ජීවිතය තුළ සිදුවීම සහ සිදුවුණ දේවල් තුළ ආදරේ තේරුම් ගන්න හරිම අමාරුයි. ඒ නිසා කාලයට හා ජීවිතයට ඉඩ දෙනවා. අවශ්‍යතාව ආ විට පෙරළා උත්තරය සොයන්නට. මගේ සිත හරිම සංවේදී ඒ නිසා ආපහු අමාරුවෙ වැටෙන්න මම කැමති නැහැ. ආදරය ගැන අහන විටත් බය හිතෙනවා හිතට. ආදරය නැති උණාම දරා ගන්න ටිකක් අමාරුයි. නව යොවුන් වියේදී ආදරය කරනකොට ඇතිවන හැඟීම නැති උණොත් වචනවලට පෙරළලා කියන්න අමාරුයි.
ලැබෙන ඕනෑම චරිතයක් රඟපාන්න කැමැතිද?
රංගන ශිල්පිනියක් හැටියට චරිතයකට සාධාරණයක් කරන්න පුළුවන් නම් මම ඒකට එකඟ වෙනවා. ඒත් අධ්‍යක්ෂකවරයාගේ හෝ නිෂ්පාදකවරයාගේ ඕනෑ එපාකම් තුළ නෙවෙයි. මට චරිතයක් බාර දෙන්නේ මම ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරයි කියන පරමාර්ථ යෙනුයි. මගේ ගමන මම හෙමින් යන්න කැමති කෙනෙක්. ඒ නිසා මට ලැබෙන චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් කියලා හිතනවානම් භාරගන්නවා. ඒත් වේදිකාවේ චරිත වලට මම දැඩිලෙස ඇලුම් කරනවා. එහි ඉගෙනගන්න තියන දෙවල් ජිවිත කාලේදිවත් ඉගෙනගන ඉවර කරන්න බෑ. මම හරිම ආශාවෙන් ඉන්නේ වේදිකාවෙ චරිතයකට ආරාධනාවක් ලැබෙනකම්. එතකම් පුදුම නොවිසිල්ලෙන් ඉන්නේ.
ඔබේ පරම්පරාව ගැන කියන්න තියෙන්නේ මොනවාද ?
ඇත්තටම හොඳ දක්ෂතාවයන්වලින් පිරිපුන් තරුණ පිරිසක් ඉන්නවා. දැන් එන පිරිස ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම ලබාගෙන ක්ෂේත්රයට එන්නේ. ඉන් අතළොස්සක් පමණයි කිසිම දැනුමක් නැතුව එන්නෙ. ක්ෂේත්රයේ අනාගතය ගැන හිතනවා නම් හොඳ අවබෝධයක් අරගෙන ක්ෂේත්රයට පැමිණීය යුතුයි කියලා කියනවා. දක්ෂ තරුණයන්ට අද අවස්ථාව අහිමි වෙලා තියෙනවා රූපය සහ ඇඳුනුම්කම මත ක්ෂේත්රයට ගැනීම තුළින්. දක්ෂයාට හොඳ තැනක් දුන්නොත් හොඳ නිර්මාණ බිහි වෙයි කියලා හිතන්න පුළුවන්.
ක්ෂේත්රයෙන් ආදර යෝජනා ඇවිත් නැද්ද?
අප්පෝ නැත්තෙ මොකද අනන්ත යෝජනා ඇවිත් තියෙනවා. ඒ වගේම යෝජනාවලට කැමැති වෙන්න ගියා නම් වෙන්න තිබුණු දේ හිතාගන්නත් බැහැ. වැඩි හරියක්ම යෝජනා එන්නේ විවාහ වුණ පුද්ගලයන්ගෙන්. මම ජීවිතේ කවදාවත් කැමතිම නැති දෙයක් තමයි විවාහ වුණ පුද්ගලයකු සමඟ පෙම් සබඳතා ඇති කර ගන්න. ඒ නිසා මම ජීවිතේ වරද්දගන්න කැමති නැහැ. මේ ගමන හරිම සැහැල්ලුවෙන් ක්ෂේත්රය හොඳ ගමනක් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
සේයාරූ - තිලක් පෙරේරා