අද චිත්‍රපටයකට පිළිගැනීමක් ලැබෙන්නේ අන්තර්ජාතික සම්මානයක් ලැබුණාමයි

මහාචාර්ය ආරියරත්න ඇතුගල
අප්‍රේල් 20, 2023

 

‘සහෝ’ මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ කුලුඳුල් සිනමා සිත්තම. වේදිකාව සහ රූපවාහිනිය යන ශ්‍රව්‍ය දෘශ්‍ය ක්ෂේත්‍ර ජයගෙන බොහෝ කල්ගත වූ පසුවයි ඇතුගලයන් සිනමාවට ප්‍රවිෂ්ට වන්නේ. එහෙත් ඔහුගේ කෘතියේ මංගල දැක්මට මහැදුරන් නොසිටි බව වගේම ඔහු විදෙස්ගතව ඇති බව ආරංචි වුණා. සරසවිය පාඨකයන් වෙනුවෙන් ඒ තොරතුරු විමසන්න අපි එතුමන් සම්බන්ධ කරගත්තා. මේ 'සහෝ' පිළිබඳ චිත්‍රපටයේ අධ්‍යක්ෂ මහාචාර්ය ආරියරත්න ඇතුගල සමඟ නව තාක්ෂණය ආධාරයෙන් කළ කතාබහක සටහනයි...

 

සහෝ ඔබේ කුලුඳුල් සිනමා නිර්මාණය. එය තිරගත වන්න ඔන්න මෙන්න තිබියදී විදේශගත වුණේ ඇයි?

අපේ රටේ අපට වැඩක් නැතිව යනකොට, අප විශ්‍රාමික කරනකොට, වෙන රටවල් අපව පිළිගන්නවා. කෙනෙක් දැනුමින් සන්නද්ධ වන විට අපේ විශ්වවිද්‍යාලවලින් එළියට දමනවනේ....

ඔබේ නව විශ්වවිද්‍යාලය ගැනත් තොරතුරු දැනගන්න කැමැතියි?

ඒ විශ්වවිද්‍යාලයේ නම ලියැවෙන්නේ 'Chongqing'  ලෙසයි. චීනයේ ඒ නමින්ම ඇති නගරයේ පිහිටන්නේ. මෙහි සිංහල බස ඉගෙන ගන්න පිරිසකුත් ඉන්නවා. සමාජ විද්‍යාව, සාහිත්‍යය, පර්යේෂණ කටයුතු වගේම භාෂා අධ්‍යයනයට අදාළ වැඩකොටසකුත් කරනවා. දෙරටේ වෙස්මුහුණු සම්බන්ධව අධ්‍යයනයක් කරන්නත් මේ වෙද්දි සැලසුම් කරගෙන යනවා.

 

අපි දැන් සහෝ ගැන කියමු. කොහොමද ඔබට ලැබුණු ප්‍රතිචාර?

මම නිදහසක් විඳීන්න විදෙස්ගත වෙන්න තීරණය කර තිබුණේ පසුගිය වසරේ. ඒත් චිත්‍රපටය නිසා එය තරමක් කල් දමන්න සිදු වුණා. පසුව චීනයට යන්න ගුවන් ප්‍රවේශපත්‍ර පවා රැගෙන සියල්ල ලක ලෑස්ති වෙලා තිබෙද්දි චිත්‍රපටය පෙන්වන්න පුළුවන් කියා දන්වා තිබුණා. කොහොම වුණත් මට කියන්න තිබෙන දේ මම කියලා ඉවරයිනේ. ඒ නිසා කමක් නෑ කියලා හිතුවා. ඒ මොනවා වුණත් සහෝට අන්තර්ජාතික වශයෙන් ඇගැයීම් අටක් පමණ ලැබුණා. ලංකාවේ සාමාන්‍යයෙන් චිත්‍රපටයක් පිළිගන්නේ අන්තර්ජාතික සම්මාන ලැබුණොත් නේ... ඉතින් මාත් එක්ක වැඩ කළ තරුණ පිරිසට ඒ කටයුත්ත වෙනුවෙන් විදේශීය පිළිගැනීමක් ලබා දෙන්න හැකි වුණ එක ගැන සතුටුයි. ලංකාවෙන් ඇගැයීමක් නොකළත් දැන් ඒ අයට පසුතැවෙන්න දෙයක් නෑ...

 

ඔබ වේදිකාවේ වගේම රූපවාහිනියේ වසර විස්සක තිහක අත්දැකීම් ඇති නිර්මාණකරුවෙක්. සිනමාවට අවතීර්ණ වන්න මෙතරම් පමා වුණේ ඇයි?

මම සිත්තර ගුරුන්නාන්සේ කරද්දි ජැක්සන් ඇන්තනීත්, තුන්බිය කරද්දි සුනිල් මිහිඳුකුලත් පුවත්පත්වල පවා සටහන් කර තිබුණා ඒ වෙද්දි මම සිනමාවේ සිටිය යුතුයි කියලා. මම කලා ක්ෂේත්‍රය පුරා ගමන් කරන සංචාරකයකු මිස ඉලක්කයක් හඹාගෙන යන චරිතයක් නෙවෙයි. ඒ නිසා අර දේ කළ යුතුයි මේ දේ මේ කාලය වෙද්දි කළ යුතුයි කියන දැඩි අධිෂ්ඨාන මට නෑ. ඒ නිසා විශ්වවිද්‍යාල කටයුතු, පර්යෙෂණ කටයුතු, විදේශගතවීම් ආදියෙන් පිරුණු සංකීර්ණ ජීවිතේ අතර සිනමාව මට මඟහැරුණා.

තිස්ස අබේසේකර මහත්මයා චිත්‍රපට සංස්ථාවේ සභාපතීත්වය දරන කාලේ මගේ චිත්‍රපට පිටපතකට ණයකුත් අනුමත වුණා. එතුමා ගිය පසු ඒ දේ සිදු වුණෙත් නෑ. මම ඉතින් නාට්‍ය කරනවා, පොත් විස්සක් තිහක් විතර ලියා තිබෙනවා, වැඩකටයුතුවල නිරත වුණාට සිනමාවට සම්බන්ධ වුණේම නෑ. ඒ අතර එක අවස්ථාවක මම සිනමාව පිළිබඳ උගන්වන එකත් අතහැරියා. ඉතින් තවත් සිනමාවෙන් ඈත් වුණා.

මේ පිටපත ලියැවුණේ කොහොමද?

මගේ පර්යේෂණය වුණේ රූපවාහිනිය. මේ චිත්‍රපටයට පදනම වැටුණේ මම රූපවාහිනියේ ඉඳලා විශ්වවිද්‍යාලයට ගියාම එහි දේශන ශාලාවල දකින්නට ලැබුණු විශාල පාළුව සමඟ. විශ්වවිද්‍යාල සිසුන් දේශනය දිහා ඔහේ බලාගෙන ඉන්නවා. ප්‍රශ්නයක්වත් අහන්නේ නෑ. මට විශාල ගැටලුවක් වුණා මේ සමාජයට මොකද වෙලා තිබෙන්නේ කියලා. මම හිතුවා මෙයට පිළිතුර ඔවුන් අභ්‍යාසයේ යෙදවීම කියලා. ඒ අනුව තමයි සන්නිවේදන විෂයයට ඍජු සම්බන්ධයක් නැති වුවත් මහාසුපින වේදිකා නාට්‍යය නිර්මාණය වුණේ.

අපි රූපය පිළිබඳ ලොකු කතන්දර උගන්වනවා, ඒත් දේශන ශාලාවෙන් එළියේ කොරිඩෝවේ කතා කරද්දි ඒ ඔළුවල ඒ කිසිම දෙයක් නෑ. කොහොම වුණත් මම හිතේ කැකෑරෙන අදහස් එක්කර තිර පිටපත ලීවා. අර්ථපතියකු නැතිව සාමාන්‍ය විදිහට කරන්න හිතාගෙන ඉද්දි මගේ හොඳ මිත්‍රයකු වන කුමාර තිරිමාදුර කීවා බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා සමඟ එක්ව එච්.ඩී. ප්‍රේමසිරි සහ රවීන්ද්‍ර ගුරුගේ මහත්වරුන් කරගෙන යන ව්‍යාපෘතිය මඟින් මෙය නිෂ්පාදනයට හැකියාවක් තිබෙනවා කියා. එහිදී මම ඇමැතිවරයාට පැවසුවා මෙය සිසුන් වෙනුවෙන් කරන්නක් මිස මට සිනමාකරුවකු වීම සඳහා කරන කටයුත්තක් නොවන බව. තවත් දිනයක අනෙක් නිෂ්පාදකවරුන් දෙදෙනාත් සමඟත් කතා කළ පසු කොවිඩ් තත්ත්වය නිසා පිරිවැය අඩු කිරීමේ අවශ්‍යතාව ගැන කතා වුණා. ඉතින් ජිවිතේ කියන්නේ සල්ලිම නෙවෙයි නිසා අඩු වියදමින් මෙය නිෂ්පාදනය කරන්න මමත් එකඟ වුණා.

 

ඔබේ අනෙක් නිර්මාණවල මෙන්ම චිත්‍රපටයේදිත් නවකයන්ට අවස්ථාව ලබා දී තිබෙනවා?

මම මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ගෙන්ම කරන්නත් සිතුවා. සම්මුඛ පරීක්ෂණ සහ තිර පරීක්ෂණ තියලා උත්සාහ කර බැලුවා. මහේන්ද්‍ර පෙරේරා ගෙන්වාගෙන පුහුණුවීම් කරලත් බැලුවා. අවසානයේ දසුන් පතිරණ, ඩිනාරා පුංචිහේවා, හර්ෂි අංජුමාලා, වගේම දැන් එංගලන්තයේ නාට්‍යකරණය හදාරන බියංකා අමරසිංහ යොදාගන්න තීරණය කළා. විශ්වවිද්‍යාල සිසුන් අතරින් නවර්තනා දේවගේ සහ සොඳුරු ලොකුපෝතාගම රංගනයට එක් කරගත්තා. කැමරාකරණය කළේ චන්දන ජයසිංහ. මෙහි සියයට හැටක බර අදින්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්. චිත්‍රපටයක තියා කිසිම නිර්මාණයක ඇඳුම් පිළිබඳ සම්බන්ධයක් නැති සිසුවෙක් තමයි ඇඳුම් නිර්මාණය කරන්නේ. මේ වෙද්දි ඒ අයට පොදු සමාජයට ගිහින් තමන්ගේ කලා කටයුතු කරගෙන යෑමට හැකියාව ලැබී තිබෙන නිසා ඔවුන් පසුව රූපවාහිනියේ වැඩ කළා. ගයාන් මධුශංක වැස්ස සඳහා යන්ත්‍රයක් පවා නිර්මාණය කළා.

මම කොහොමත් අලුත් තරුණ ලේවලට කැමැති කෙනෙක්. සිත්තර ගුරුන්නාන්සේ සඳහා හේමසිරි ලියනගේ හමුවන්න ගෙදර ගිය වෙලේ සෞම්‍ය ලියනගේ දැකලා ඔහුට රඟපාන්න කතා කළාම සමහර අය දැඩිව විරුද්ධ වුණා. මීනා කුමාරි කිසිම නිර්මාණයක නැති කාලේ ජෝ අබේවික්‍රම සමඟ රඟපාන්න තුන්බිය සඳහා තෝරාගත්තාමත් ‌බොහෝ දෙනා විරුද්ධ වුණා. මම ඒවා ගණන් ගත්තේ නෑ. හැබැයි සමහර දර්ශනවල ටේක්ස් දහය දොළහ ගන්න සිදු වුණා. ජෝ මහත්තයාත් ලස්සනට ඒ අවස්ථා ඉවසා දරාගෙන රංගනයේ යෙදුණා. රම්‍ය නගරය සඳහාත් අලුත් අය මම යොදා ගත්තා. සමනළ කඳවුර තමයි පුබුදු චතුරංග එන්නේ. ඒ අලුතෙන් එන අය අපේ කේඬෑරි වුණු සිනමා ශිල්පීය සංස්කෘතිය තුළ විනාශ නොවුණු අය. අපේ සමහර ශිල්පීන් ඉන්නවා, විධිමත් විදිහට තමන් ඉගෙන ගන්නෙත් නැතිව ප්‍රවීණයන් කියාගන්න. ඒ සම්මත නොදන්නා නවකයන් හසුරුවා ගැනීම මට ලේසියි. මම කවදාවත් අධ්‍යක්ෂවරයකු ලෙස අයුතු දෙයක් කියන්නේ නෑනේ. මම බලන්නේ මේ ශිල්පියා හෝ ශිල්පිනිය චරිතයට ගැළපෙනවාද, රඟපාන්න පුළුවන්ද කියලා විතරයි. මේ චිත්‍රපටය සඳහා ප්‍රවීණයන් පවා මාස දෙකතුනක් පුහුණුවීම් කළා. රූපගත කිරීම්වලදි මම වැඩිය කතා කරන්නේ නෑ. මම තෝරාගෙන පුහුණුවීම් කළ අයගෙන් ඒ චරිතය ඉස්මතු කරගන්නවා.

අද බොහෝ දෙනා මැසිවිලි කියනවා සිනමාවේ නළු නිළියන් අඩුයි කියලා. ඒත් අවස්ථාව දෙන්න සමහරු කැමැති නෑ. උදාහරණයකට අංජුමාලා ඉවත් කරන්න කියලා ප්‍රවීණයන් පවා කීවා. එය මානසික වශයෙන් අධ්‍යක්ෂවරයාට අපහසුවක් දැනෙන තත්ත්වයක්. ඒත් අවසානයේ නිර්මාණය නරඹලා ඒ කියූ අයම කියනවා ඒ ළමයා හොඳට රඟපාලා තිබෙනවානෙ කියලා. බොහෝ අධ්‍යක්ෂවරුන් කැමැතියි ජනප්‍රිය චරිත අරගෙන තමන්ගේ වැඩේ සාර්ථක කරගන්න. මොකද ජනප්‍රිය අය අධ්‍යක්ෂවරයාගේ අඩු ලුහුඬුකම් පවා මඟහැරලා වැඩේ ගොඩදානවානේ...

 

අධ්‍යක්ෂවරයාගේ භූමිකාව ඔබ හඳුනගෙන ඇත්තේ කෙලෙසද?

සියලු දේ පිළිබඳ යම් පමණකට අධ්‍යක්ෂවරයා දැනගත යුතුයි. ඒ වගේම නළු නිළියන්ට නිදහසේ නිරූපණයට අවස්ථාව දිය යුතුයි. අලුත් අය ගැනත් සිතිය යුතුයි. සමහර ටෙලිවිෂන්කරුවන් විවිධ අරමුණු උදෙසා අලුත් අයට අවස්ථාව දෙන වෙලාවන් තිබෙනවා. ඒ අවස්ථා ගැන නෙවෙයි මම කියන්නේ. අපේ සිනමාවටත් හොඳ නළු නිළි පරපුරක් අවශ්‍යයි. ගාමිණි මාලිනීලාගේ යුගයේ චරිතවලට යන්න පුළුවන් වපසරිය වැඩියි. ස්වර්ණා වගේ අය අද ඉන්නවා ද හොයාගන්න? නළු නිළියන් කියන්නේ පියරු බබාලා නෙවෙයි. අපේ සිනමාව පුංචිවෙලා නිසා එයට කාන්දු වන නළුනිළියන් පවා අඩු වෙලා. රූපවාහිනිය වෙළෙඳකරණයට නතුවෙලා නිසා ඒවාට ගත්තේ පොත්ත සුදු අය විතරයි. ඒ අය රඟපාන්න අවශ්‍යත් නෑ. සමහර නළු නිළියන් ඇවිත් කියනවා අනේ සර් දෙබසට අවශ්‍ය හැඟීම ගන්න හදද්දි සමහර අධ්‍යක්ෂවරුන් කියනවාලු එහෙම අවශ්‍ය නෑ ඔයා දෙබස විතරක් කියන්න කියලා. අද ටෙලි නාට්‍ය කලාවේ ඉන්නේ රංගනය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති අය නොවේ. වෙළෙඳ දැන්වීම්වලට වැඩිය දිගු යමක් කරලා කතාවක් ලෙස ඉදිරිපත් කරන්නයි ඒ අය බලන්නේ.

 

මේ අතර උඩුගම් බලා යන අය ඇත්තෙම නැද්ද? අතරින් පතර විකල්ප නාට්‍ය කීපයක අධ්‍යක්ෂවරුන් සහ රංග ශිල්පීන් දකින්න ලැබෙනවා. ඒත් හොඳ කලා සංස්කෘතියක් නැති වුණා ම අගය කිරීම දුර්වල වෙනවා. අද සමහර රියැලිටි වැඩසටහන්වල විනිශ්චය කරන්නේ නාඩගමක්වත් නරඹලා නැති අය. පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ඒ වැඩසටහන්වලින් තෙරුණු අය යොදාගෙන කරන්නේ වෙන ගේම් එකක්. මේ සියල්ල වෙළෙඳකරණය වෙලාගෙන තිබෙන්නේ. තරුණ අයත් අධ්‍යයනයක් නැති තරමට කැමැතියි. සමහරු නිළියන් වන්නේ හොඳට සල්ලි හොයාගෙන කාලා බීලා ඇඳලා වාහනයක් තියාගෙන ඉන්න.

 

අධ්‍යයනයට අකැමැති පිරිසක් රංගනයට එනවා නම් විශ්වවිද්‍යාලවල ඒ විෂයය බාර ආචාර්යවරුන්ටත් මේ තත්ත්වය පිළිබඳ වගකීමක් නැද්ද?

මේ සමාජය අරගලයකින් හෝ බලහත්කාරයෙන් වෙනස් කරන්න බෑ. වෙළෙඳ සමාජය එතරම්ම බලවත්. විශ්වවිද්‍යාවල නාට්‍ය, චිත්‍රපට වගේ පුංචි පුංචි දේවල් හෝ ඒ මට්ටමින් හෝ කර තිබීම ප්‍රමාණවත් වුවත් නැතත් වැදගත්. විශ්වවිද්‍යාලවලට වෙනස් කරන්න පුළුවන් තැනක නෙවෙයි රට තිබෙන්නේ. චීනය වගේ රටවල් විශ්වවිද්‍යාලවලින් මොනවගේ හොඳ දෙයක්ද කියන්නේ කියලා නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ. ඒ සමාජ ක්‍රමයේ ප්‍රශ්නයක් නැති නිසා. මේ රටවල වයසක අය පවා සංගීතයකට තාලෙට නටනවා. අපේ එසේ නොවන හේතුවට කාටවත් දොස් කියලා වැඩක් නැති තැනකට රට පත්වෙලා තිබෙන්නේ. දේශපාලන සංස්කෘතියේ මහා පරිහානිය වැඩියෙන්ම බලපා තිබෙන්නේ කලා සංස්කෘතියට. රටේ කෙතරම් පාරවල් ගොඩනැඟී හැදුවත් ඒ මනුස්සකම ගොඩනඟන්න බෑ. ඉතිහාසයේ නරකම මිනිස් සබඳතා ඇති අවධියක ඉගෙන අපි කාටවත් දොස් කියන්නේ කොහොමද?

 

එවැනි හීන මිනිස් සබඳතා ඇතිවන්න ජංගම දුරකථන භාවිතයත් හේතුවක් කියා ඔබ හිතනවාද?

මේ රටෙත් බොහෝ ළමයින් ගේම්වලට හුරුවෙලා වැඩි වේලාවක් දුරකථනයේ ඉඳලා මානසික රෝගවලට පවා ගොදුරු වන බවට තොරතුර තිබෙනවා. අනෙක් අතට අද මෙහි මුදල් ගෙවීම් ආදි සියල්ල කරන්නේ ජංගම දුරකථනය භාවිතයෙන්. පන්ති කාමරයේ ලියන්නේ දුරකථනයෙන්. ඔවුන් දුරකථනය භාවිත කරන්නේ අත්‍යවශ්‍ය මෙවලමක් විදිහට. ඒත් අපේ අයගේ ඔළුවේ තිබෙන්නේ ටික්ටොක් පිස්සුව. ඕනැම දේක අහිතකර පැත්ත තමයි අපේ රටේ ගන්නේ. ජනමාධ්‍ය බහුතරය කරන්නේ බොරුවෙන් ජනතාව අන්දන එක. ඒකට අපි අහුවෙලා.

මම සහෝ චිත්‍රපටයෙන් කතා කළෙත් මේ සමාජ ඛේදවාචකයට අහුවුණ තරුණයන්ගේ සිතිවිලි, මත්ද්‍රව්‍යවලට වන ඇබ්බැහිය ආදියයි. මම විශ්වවිද්‍යාලයේ දුටු දේ රූපමය අර්ථයකින් සහ මම නොවිඳී වර්තමාන තාරුණ්‍යය විදහා දැක්වෙන ආකාරයෙන් කතාව ගොඩනඟන්න උත්සාහ කළා. ඉතිහාසයේ වීරසූරියගේ සිට අද දක්වා තාරුණ්‍යය විඳී අත්දැකීම් මෙයට සම්බන්ධයි. මම ඒ වරද තාරුණ්‍යය පිට පටවන්න උත්සාහ කරන්නේ නෑ. මේ බියකරු සමාජයේ උපදින බුද්ධිමත් තාරුණ්‍යයට වන දේ පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. කතාව පුරා තිබෙන්නේ මහ සමාජයේ නිරුවතයි.

 

කුලුඳුල් සිනමාවේ අත්දැකීම් කොහොමද?

මම මගේ ආවේශය බොහොම මනෝවිද්‍යාත්මක උරුවකින් කරන්න උත්සාහ කළේ. ඒත් මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ ටෙලි නාට්‍යවල වැඩ කිරීමට ඇබ්බැහි වුණ එයටම මනස හුරු කළ අය නිසා ඒ සමඟ වැඩ කිරීම හරි අපහසු වුණා. මම දැකලා තිබෙනවා ආචාර්ය ලෙස්ටර් පීරිස් චිත්‍රපට කරන්න ගියාම දර්ශනයේ හැඩය තමන්ගේ සිතේ අවශ්‍ය විදිහට හැදෙනකල් කාලය ගන්නවා. තාක්ෂණික කණ්ඩායමත් ඔහේ බලාගෙන ඉන්නවා අනික් නිකුත් වෙනතුරු. අද එහෙම සංයමයක් නෑ. වේගවත් බව ස්වභාවය වෙලා. අධ්‍යක්ෂවරයා‌ට ඉදිරියෙන් ෂෙඩ්‍යුල් එක යනවා. මට ලැබුණු නරකම අත්දැකීම එයයි. එය මම ජයගත්තා වුණත් ඊට එහා ගැඹුරකින් රූපය දකින අය ක්ෂේත්‍රයට අවශ්‍යයි. වෙළෙඳ දැන්වීම් වගේ චිත්‍රපට කරන්න බෑ මගේ දැනුමට අනුව නම්...

ඒ වගේම අනෙක් අතට මෙහි සාමූහිකත්වය මට හොඳ අත්දැකීමක් වුණා. කොවිඩ් නිසා මෙය දෙවරක් නතර කරන්න සිදු වුණා. එසේ වුවත් කිසිදු අසමඟිකමක්, විශේෂ ගැටලුවක් නැතිව සාමූහික ප්‍රයත්නයක් ලෙස චිත්‍රපටය කිරීම මට දැනුණු, මම අගය කරන අත්දැකීමක්.

 

මෙහි සංස්කරණ කීපයක් පිළිබඳ ආරංචියක් ආවා?

මම සහෝ මුල් සංස්කරණය පැය දෙකකට කළේ. පසුව නිෂ්පාදකවරුන්ගේ අදහසක් ආවා පැය එකහමාරට නොකළොත් බෝරිං වෙයි කියලා. හැබැයි තාරුණ්‍යය සඳහා කළ චිත්‍රපටයක් එතරම් අඩුවේගයකින් කරන්නත් බෑ මොකද තරුණ ජවයේ වේගය අවශ්‍ය නිසා. විදේශ උලෙළ සඳහා ඉදිරිපත් කළේ පැය දෙකේ චිත්‍රපටය. එයට හොඳම අධ්‍යක්ෂණය සහ තිරරචනය සඳහා විදෙස් සම්මාන අටක් ලැබී තිබෙවා. අනෙක ඕනෑම අධ්‍යක්ෂවරයකුගේ ඕනෑම චිත්‍රපටයක විවිධ සංස්කරණ එනවා, එය විශේෂ දෙයක් නොවේ. හැබැයි සමාජයත් ඒ අයුරින් වඩා හොඳට සංස්කරණය වෙනවා නම් හොඳයි.

 

ඉදිරියේදි ඔබ තවත් චිත්‍රපටයක් සඳහා මවුබිමට එනවාද?

මම හැම දේටම පොඩ්ඩ පොඩ්ඩ ලෑස්ති වන කෙනෙක් මිස දැඩි අරමුණක ඉන්න කෙනෙක් නෙවෙයිනේ. ඒ නිසා මේ වෙද්දි නවකතාවකුත් ලියමින් ඉන්නවා. තිර පිටපත් කීපයකුත් රචනා කරමින් තිබෙනවා. පර්යේෂණ වැඩ දෙකතුනකුත් කෙරෙනවා. ඉතින් බලමු කොයි එක ඉස්සර වෙයිද කියලා. හැබැයි චිත්‍රපටයකුත් කරනවා ඒක තරුණයන්ටම නෙවෙයි.

 

ඒ කියන්නේ සිනමාව පිළිබඳ ඔබට ආදරයක් යළි ඇති වෙලා?

සුළු පිරිසක් නටනවා මේ චිත්‍රපට මාරයි කියලා. ඒත් ඊට වඩා වෙනස් දෙයක් චිත්‍රපට කියන්නේ. 1980 පමණ වනතුරුත් අපට සිනමා සංස්කෘතියක් තිබුණා. අපි කුරුණෑගල ඉද්දි චිත්‍රපට බලලා රෑට ගෙදර යන්න බසයක් තිබුණා. ඒ කියන්නේ රජය වගේම ආණ්ඩුවත් සංවේදියි සිනමාව සම්බන්ධව. වෙසක් කාලෙට තොරණ බලන්න ගියාම චිත්‍රපට දෙකකුත් බලලයි ගෙදර යන්නේ. මට මතකයි තුෂාරා සහ සුහද පැතුම දෙකම බැලුවේ ඒ වගේ වෙසක් බලන්න ගිය වෙලාවක. එනිසා සිනමා සංස්කෘතියක් නැතිව පුද්ගල කේන්ද්‍රීයව සිනමාව මාරයි කීවට හරි යන්නේ නෑ. අපේ සිනමාවට හුස්ම ගන්න දෙන්න ඕනෙ.

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

 

[email protected]