මේ යන රැල්ලේ සමබරව යන්න උත්සාහ කරනවා

රංගන ශිල්පී සම්පත් ජයවීර
මාර්තු 9, 2023

 

මේ දවස්වල දොලේ මහත්තයා කා අතරත් ප්‍රසිද්ධය. කෝලං කුට්ටම ටෙලි නාට්‍ය පුංචි තිරයෙන් නරඹන කා අතරත් දොලේ මහත්තයාගේ රූපකාය. කෙරුම් කියුම් හොඳට හුරු පුරුදුය. එහෙන් මෙහෙන් අහුලාගත් ඉංග්‍රීසි වචන ටිකක් එකට ඈදමින් ඕනෙම දේකට යස් නෝ කියමින් ඉංග්‍රීසිත් සිංහලත් එකට පටලවාගෙන මේ දවස්වල ප්‍රේක්ෂක ඔබ සැමගේ නිවසට ගොඩවදින දොලේ මහත්තයා අන්කවරකුත් නොව ඔහු සම්පත් ජයවීරය. දක්ෂ චරිතාංග රංග ශිල්පියකු වන ඔහු වේදිකාව පුංචි තිරය සිනමාව ජයගත් ත්‍රිත්ව මාධ්‍යයේම ජය කෙලි නැංවු ජනපි‍්‍රය රංගශිල්පියකු ද වේ. වේදිකා නාට්‍ය කලාවෙන් තම රංග කුසලතා වඩාත් ඔප මට්ටම් කරගත් සම්පත් අද වන විට ටෙලි නාට්‍ය කලාව හා සිනමාව අතික්‍රමණය කර හමාරය. සිය රංග ප්‍රතිභාව නිර්භයව ප්‍රකාශ කරමින් ප්‍රේක්ෂකයා තමන් නතු කර ගැනීමට අද වන විට සමත්ව ඇති සම්පත් මේ දිනවල තිරගත වන ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපට රංගනයත් සමඟ කා අතරත් කතාබහට ලක් වී ඇති පුද්ගලයකු ද වේ. මේ කතා බහ සම්පත් ජයවීර සමඟය.

දොලේ මහත්තයා කියන්නද සම්පත් ජයවීර කියන්නද?

ඔබේ මනාපයක්. මේ දවස්වල මාව දොලේ මහත්තයා හැටියට තමයි කවුරු කවුරුත් හඳුන්වන්නේ.

මේ දවස්වල කොහොමද කලා තොරතුරු?

මම රංගන දායකත්වය එක්කළ ටෙලි නාට්‍ය කීපයක්ම මේ දවස්වල විකාශය වෙනවා. ස්වර්ණවාහිනීයෙන් විකාශය වන කී ටෙලි නිර්මාණය හා කෝලංකුට්ටම ටෙලි නිර්මාණය වගේම ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන කොඩිගහ යට ටෙලි නාට්‍යයේ මම රංගනයෙන් දායක වෙනවා. කී ටෙලි නාට්‍යයේ වගේම, කෝලංකුට්ටම ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලත් මම නියැළී ඉන්නවා. ලෝරන්ස්ගේ මනමාලි, මම නෙවෙයි වෙන කෙනෙක්. ජූලි මාසයේ දවසක් වේදිකා නාට්‍යවල රංගන කටයුතු වලට දායක වෙනවා. ඊට අමතරව මම රංගනයෙන් දායක වූ ඉඟිල්ලෙන මාළුවෝ චිත්‍රපටය මේ දවස්වල තිරගත වෙනවා. එහි ප්‍රචාරක කටයුතු වලටත් මම සහභාගි වෙනවා. ඉදිරියේදී මම රංගනයෙන් දායක වූ මේ මෑතකදී අනතර්ජාතික සම්මානයට පාත්‍ර වූ ජගත් මනුවරණගේ රහස් කියන කඳු චිත්‍රපටය තිරගත වෙන්නත් තියනවා.

කෝලංකුට්ටම ටෙලි නිර්මාණයේ දොලේ මහත්තයාට කොහොමද මේ දවස්වල පේ‍්‍රක්ෂක ප්‍රතිචාර?

ඉතාම ඉහළ ප්‍රතිචාරයක් තියනවා දොලේ මහත්තයා පේ‍්‍රක්ෂකයෝ අතර ජනපි‍්‍රයයි. සෑහෙන පිරිසක් ටෙලි නාට්‍යය නරඹනවා සමාජයේ හැම තරාතිරකම අයගෙන් භේදයක් නැතුව ප්‍රතිචාර ලැබෙනවා.

දොලේ මහත්තයා ඔබට ලැබෙන්නේ කොහොමද?

මේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ සිවගුරුනාදන් සමඟ මම කාලයක් වැඩ කළා. ඔහුගේ වැඩිම ප්‍රමාණයක් ටෙලි නාට්‍ය සඳහා මම දායක වෙලා තියනවා. ශිවා අයියා. මගේ රංගන චාරිකාව හොඳට දන්න කෙනෙක්. බොහෝ විට ශිවා අයියා මාව සුවිශේෂී චරිතයක් සඳහා කැදවිම සිද්ධ කරනවා. දොලේ මහත්තයාට මාව සුදුසු බවට මුල්ම යෝජනාව ගෙනාවේ ශිවා අයියා.

නිමාවක් නැති ටෙලි නාට්‍ය නිර්මාණයන් ගොන්නේ ඔබේ රංගනයත් එහි අත කොලුවක් වෙලාද?

දැන් ටෙලි නාට්‍ය බිහි වන්නේ චැනල්වලට ඕනෙ විධියටනේ. අපිට ටෙලි නාට්‍යයේ රඟපාල ඇතිවුණත් චැනල්වලට ඇති වෙන්නේ නෑනේ. ඕකනේ ඇත්ත කතාව. ටෙලි නාට්‍ය මිනිස්සුන්ට එපා වෙනකන් චැනල් එක ටෙලි නාට්‍ය කරනවා. ඕකයි අද තත්ත්වය ටෙලි නාට්‍ය මිනිස්සුන්ට එපා වුණත් චැනල් එකට ඕනෙ නම් ඒක පෙන්වනවා. කවද හරි චැනල් එකට එපා වුණ දාක ටෙලි නාට්‍ය නිමාවෙනවා. ඕකයි අද ටෙලි නිර්මාණ ට්‍රෙන්ඩ් එක. අලුත් නාට්‍යයක් චැනල් එකට ඕනෙ වුණ දාට ආතක් පාතක් නැතුව නාට්‍ය නතර කරලා අලුත් එකක් පටන් ගන්නවා. ඕකයි තිත්ත ඇත්ත.

මේ යන මෙගාරැල්ල පිළිබඳ කලාකාරයෙක් විධියට ඔබ දකින්නේ කොයි ආකාරටය ද?

මේක මහ ඛේදවාචකයක් නමුත් මම වෘත්තිමය රංග ශිල්පියෙක්. මම වැඩකරන දේ පිළිබඳ ස්වයං විවේචනයක් මට තියනවා. අවුල දැන ගෙන මේ තුළ වැඩ කිරීම තමයි මෙතන අපි කරන්නේ. දීර්ඝ කාලයක් එකම චරිතයක් තුළ කොටු වී සිටීම ගැටලුකාරී බව මමත් පිළිගන්නවා.

රංග ශිල්පියෙක් ලෙස මේ කොටුවීම අවාසිබව දැන දැනත් ඇයි ඔබ එයින් මිදෙන්න උත්සාහ නොගන්නේ?

මම පෞද්ගලිකවම මේ කොටුවීම බැලන්ස් කරගන්නවා. වේදිකා නිර්මාණවලට දායක වීම මත මම කරන දේ මරු මේ නිසයි මම ජනපි‍්‍රය වුණේ කියලා මං ඇඳගත්තොත් ඒක මගේ විනාශය මට දැනගන්න ඕනේ රංග ශිල්පියා විධියට මේ යන රැල්ලේ සමබර වෙන්න.

ඔබ අකමැත්තෙන් ද ටෙලි නාට්‍යවලල රඟපාන්නේ?

නෑ එහෙම දෙයක් නෑ. මට රංගනයේ නියැළීම තුළ වේදිකා නිර්මාණයක ලබන සජීවී බවට කැමැතියි. එතන පේ‍්‍රක්ෂකයාත් රංග ශිල්පියාත් සජීවි දෙපළක් ඔවුනොවුන් අතර අදහස් හුවමාරුවත් සජීවියි. මම වේදිකාවට පුංචි තිරයට වගේම සිනමාවටත් එකසේ ආදරෙයි. මට අවශ්‍ය මොන දේ කළත් ගුණාත්මක දෙයක් කරන්න.

සම්පත් ජනපි‍්‍රය වුණේ?

ටෙලි විෂන් මාධ්‍යයෙන් කියන එක මම පිළිගන්නවා.

රංගන ජීවිතය ගැන ආපසු හැරිල බැලුවොත් මේ කාලපාරාසය කොයි ආකාරයෙන් ද ඔබට ග්‍රහණය කරගත්තේ?

1998 වසරේ මහරගම ජාතික තරුණසේවා සභාවේ නාට්‍ය හා රංග කලා පුහුණු වැඩමුළුවත් සමඟ තමයි මම රංගන ක්ෂේත්‍රයට එක්වෙන්නේ. ඒ අනුව යන්නට මගේ කලා ජීවිතයට මේ වන විට අවුරුදු විසිපහක් මේ කාලය පුරාවට මම රඟපෑ විවිධ චරිත පේ‍්‍රක්ෂකයෝ විවිධ වකවානුවලදී වැලඳ ගත්තා. මට අහවල් දේ කියල කියන්න අපහසුයි. මම ඒක රැයකින් ජනපි‍්‍රය වෙච්ච නළුවෙක් නොවෙයි. විවිධ නිර්මාණවල යෙදිල ටිකෙන් ටික ආපු ගමනක් තමයි මට තියෙන්නේ. එදා තිබුණේ චැනල් එකයි දෙකයි. අද එහෙම නොවෙයි. නාළිකාත් බොහොමයි. එදා ටෙලි නාට්‍යයක් විකාශය වුණේ දවසට එකයි. අද දවස පුරාම ටෙලි නාට්‍ය කොටින්ම කිව්වොත් එදා නළු නිළියන්ව හොඳට මතකයි. ඒත් අද පඳුරකට පයින් ගැහුවාහම ඕනෙ තරම් විසිවෙන නළු නිළියන් පිරිසක් ඉන්න කාලයක්. මේ අයගෙන් ගුණාත්මක දෙයක් කරන කෙනෙක්ට විතරයි අද පැවැත්මක් තියෙන්නේ. මම යම් දෙයක් මේ වසර විසිපහ තුළ කරපු නිසා වෙන්න ඇති මාව අදටත් ටෙලි නාට්‍ය නිර්මාණයක දකින්න ඇත්තේ. අද වෙනකොට මාව පේ‍්‍රක්ෂකයා ග්‍රහණය කරගෙන ඉන්නේ නම් දොලේ මහත්තයා ලෙස කාලෙන් කාලෙට අපේ අයිඩන්ට් එක පේ‍්‍රක්ෂකයා වෙනස් කරගන්නවා. අපේ ඒ රංගනයේ සාර්ථකත්වයත් එක්ක.

වේදිකාව තුළ ඔබට ජනපි‍්‍රය චරිතයක් වෙන්න අපහසු වුණා ද?

ඔතන දෙපැත්තක් තියනවා. නළුවෝ නිසා වේදිකා නාට්‍ය ජනපි‍්‍රය වෙන්නත් පුළුවන්. වේදිකා නාට්‍ය නිසා නළුවෝ නිළියෝ ජනපි‍්‍රය වෙන්නත් පුළුවන්. හැබැයි අපි පිළිගන්න ඕනේ ජනපි‍්‍රය නළුවෝ නිළියෝ ඉන්න කොට නාට්‍ය බලන්න එන පිරිසත් වැඩියි කියන එක. රංගනයේ තියන ගුණයත් තමන් ලබා තිබෙන ජනපි‍්‍රයත්වයත් මෙතනදී එක සේ බලපානවා වේදිකාවේ පොරක් වෙන්න.

අද වේදිකාවට මොන වගේ පේ‍්‍රක්ෂක ප්‍රවණතාවක් ද තියෙන්නේ? සමහර වේදිකා නිර්මාණකරුවෝ නාට්‍යකරණයෙන් ඈත් වුණා. පේ‍්‍රක්ෂකයෝ වේදිකාවෙන් බැහැර වුණ වකවානුවක් තිබුණා නොවේද?

පාස්කු ප්‍රහාරයට කලින් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය ඉතාම ඉහළ තැනක තිබුණා. වේදිකා නිර්මාණ රසවිදින පේ‍්‍රක්ෂක පිරිසක් අපට හිටියා. මේ පිරිස පාස්කු ප්‍රහාරය, කොරෝනා රැල්ල ජන අරගල රැල්ල කුණුවෙච්ච දේශපාලන තත්ත්වයත් එක්ක අපෙන් ගිලිහිලා ගියා. අපිට යම් ආපදාවක් මොනයම් අයුරකින් හරි ආවොත් මුලින්ම අපෙන් ඈත්වෙන්නේ විනෝදස්වාදය කියන කාරණය. ඒ සඳහා බද්ධ වෙච්ච හැම දෙයක්ම නවතිනවා වගේම යළිත් මේ එන්ටටේන්මන්ට් එක යළි ඇතිවෙන්නෙත් අන් සියල්ලටම වඩා පසුවයි. අද උණත් මේ වේදිකාව රැඳිල තියෙන්නේ නාට්‍ය නිර්මාණකරුවන්ගේ තියන කැපවීම නිසා මිසක් ආණ්ඩුවකින් ලැබුණු හයියකින් උදව්වකින් නොවෙයි.

අද තිබෙන ආර්ථික වටපිටාව කෙනෙකුගේ විනෝදාස්වාදයත් උඩුයටිකුරු කරල නේද?

ඒක මම නැහැයි කියන්නේ නෑ. නමුත් කොයිතරම් ආර්ථික අපහසුතා තිබුණත් මිනිස්සු චිත්‍රපටයක් නාට්‍යයක් බලන්න එනවා. ඒක අද වෙනකොට කොළඹ අවට අපිට දකින්න තියනවා. මම දන්නෑ ඒ්ක කොළඹින් බැහැරව ගම්ට්ටමේ කොහොමද කියලා මිනිස්සුන්ට මොන අපහසුතා තිබුණත් ආතතියෙන් මිිදෙන්න විමෝදාස්වාදය ඕනේ. මේ තත්ත්වයෙන් මිදෙන්නත් අපිම තමයි මාර්ගයක් හදාගන්න ඕනේ.

මේ දවස්වල සම්පත් ජයවීර බොහෝ කතාබහට ලක් වූ නළුවෙක් ඉගිල්ලෙන මාළුවෝ තිරගත වන නිසාවෙන් ඔබට කොයි ආකාරයේ ප්‍රතිචාර ද ලැබෙන්නේ?

මේ චිත්‍රපටය අවුරුදු 12කට පස්සේ තිරගත වුණාට පෙන්වන්නේ එක සිනමා ශාලාවක පමණයි. දැවැන්ත ප්‍රශ්න සමුහයකටම මුහුණ දීලා ආපු ගමනක් අවසානයක් තමයි මේ චිත්‍රපට දැන් පෙන්වන්නේ. මේ චිත්‍රපටයේ අවුරුද්දකට කලින් මාධ්‍ය දර්ශනයක් පැවැත් වුණා. ඩිරෙක්ටර් කට් එක අපි මාධ්‍ය දර්ශනයක් කළා. එතැනදී ආව ප්‍රතිචාරය වුණේ මේක ලස්සන චිත්‍රපටයක් ඇයි මේක වාරණය කරන්නේ කියල.

මීට කලින් ෆ්ලයින් ෆිෂ් අයථා ලෙසිනුත් සමාජගත වුණා නේද?

ඔව්. හරියට එඩිට් නොකරපු කලර් ශ්‍රේඩින් නොකරපු සවුන්ඩ් රීඩ් නොකරපු රෆ්කට් එකක් තමයි අයථා ලෙස මුලින්ම සමාජ ගත වුණේ මේ චිත්‍රපටයේ තිබුණු ලිංගික දර්ශන විතරක් තැන් තැන් වලින් කට් කරල ලීක් වෙච්ච වීඩියෝ වගේ මිනිස්සු මේකෙන් ආතල් ගත්තා. ඒ වෙච්ච ප්‍රශ්නත් එක්ක ගත්තහම අදවෙනකොට ර්‍ථ.ඍ.අ සිනමා ශාලාවේ චිත්‍රපටය ඉතාම සාර්ථකව තිරගත වෙනවා. චිත්‍රපටයේ රඟපාපු නළු නිළියෝ අධ්‍යක්ෂවරයා ලබපු නින්දා අපහාසත් එක්ක ගත්තාම මේ සාර්ථක තිරගතවීම් ලොකු ජයග්‍රහණයක් විධියටයි මම දකින්නේ.

ඇයි සමස්ත සිනමා ලෝලීන් සඳහා මේ චිත්‍රපටය නැරඹීමට වෙනත් සිනමා ශාලා කරා චිත්‍රපටය මුදා නොහරින්නේ?

අපිට නව සිනමාශාලා කීපයක් ලැබෙන්න නියමිතයි. ඒක ලැබුණාම බලමු. අද යාපනේ ඉන්න චිත්‍රපට රසිකයකු කොළඹ ර්‍ථඍඅ එකට එන්න ඕනේ ඉගිල්ලෙන මාළුවෝ බලන්න. ඔව් දැනට එහෙමයි.චිත්‍රපටයක් කරන්න ලේසියි පෙන්න ගන්න තමයි අමාරු. මේ තියන ක්‍රමවේදය තුළ තමයි ඔය ගැටලුව තියෙන්නේ.

ඔබ මේ චිත්‍රපටයේ රංගනයේ නියැළී ප්‍රධාන නළුවා විධියට මොකද හිතෙන්නේ මෙවැනි චෝදනාවක් මේ චිත්‍රපටය ගොනුවෙන්න?

මේක මුලින්ම සිද්ධ වුණේ දෙතුන් දෙනෙකුගේ අවශ්‍යතාවයට වෙච්ච දෙයක්. ඒ වෙනකොට රටේ තිබුණු දේශපාලන වාතාවරණයත් එක්ක කලා ක්ෂේත්‍රයේ කීප දෙනෙක් හා මාධ්‍ය ක්ෂේත්‍රයේ කීපදෙනෙක් කරපු දෙයක්. මම හිතන්නේ ඉහළින් නියෝගයක් එන්න ඇති මේ චිත්‍රපටය ගැන මේ වගේ ආරංචියක් යනවා හොයලා බලන්න කියලා.

ඉගිල්ලෙන මාළුවෝ ගැන ඔබ මොකද හිතන්නේ?

මේ තිරගත වන්නේ සෑබෑම සිනමා පටය මේ චිත්‍රපටය සිනමා උලෙළ තිහක් පමණ නියෝජනය කළ සම්මාන රාශියක් ලබපු චිත්‍රපටයක්. මම මේ චිත්‍රපටයේ හමුදා සෙබළෙක්ගේ චරිතය තමයි රංගනයෙන් ඉදිරිපත් කරන්නේ. මීට කලින් කිසිම හේතුවක් නැතුව මේ චිත්‍රපටය වාරණයට ලක් වුණා. ඒ වගේම අයථා අයුරින් මේ චිත්‍රපය ලීක් වෙලා සමාජගත වීමකුත් සිද්ධ වුණා. ඒ නිසා විශාල ප්‍රශ්න රාශියකට මේ චිත්‍රපටය මුහුණු දුන්නා. ඒ නිසා සිනමා පටය තිරගත කරන්න ලැබුණේ නෑ. මීට කලින් පේ‍්‍රක්ෂකයන් අතරට ගියේ නිසි ආකාරයෙන් සංස්කරණය නොකළ පිටපතක් නමුත් හැමෝම හිතුවේ චිත්‍රපටය බැලුවා කියලා. ඇතැම් අය එහි ලිංගික දර්ශන තළු මරමින් නැරඹුවා. නමුත් ඒ තිරගත වුණේ සැබෑ සිනමා පටය නොවෙයි. නමුත් දැන් තිරගත වන්නේ සැබෑ චිත්‍රපටය. මම ආරාධනා කරනවා දැන්වත් ඇවිත් සැබෑම චිත්‍රපටය නරඹන්න කියලා.

සිංහල සිනමාවේ විවෘතව නොපැවති ලිංගික දර්ශන පවා මෙම සිනමා පටයේ අන්තර්ගත වෙලා තියනවා. එතැනදී මෙහි රංගන ශිල්පියා ලෙස එවැන්නක් නිරූපණය තුළ ඔබට ලැබෙන ප්‍රතිචාර කොයි වගේද?

මීට අවුරුදු දහයකට කලින් මේ චිත්‍රපටය ලීක් වුණාම නම් සමීපව සිටින අයගෙන් පවා මට ලැබුණේ නින්දා අපහාස විතරයි. ක්ෂේත්‍රයේ හිටිය. නළුවන් නිළියන්ගෙන් වගේම පෞද්ගලික ජීවිතයේ සමීපව හිටින අයගෙන් පවා ලැබුණේ ගැරහුම් විතරයි. නමුත් අද මේ චිත්‍රපටය තිරගත වුණාම ක්ෂේත්‍රයේ අයගෙන් පැසසුම් ලැබෙනවා. මෙවැනි රංගනයක් කරන්න. ශිල්පියෙක් වශයෙන් මා තුළ තිබුණ නිර්භීතකම ගැන.

ලංකාව වගේ රටක මෙවැනි දර්ශනයකට පෙනී සිටීම පිළිබඳ ආන්දෝලනයක් ඇතිවෙයි කියලා ඔබ කලින්ම නිගමනයකට ආවේ නැද්ද?

බහුතරයක් පිරිස් තුළ තියෙන්නේ නොදියුණු මානසිකත්වය මම රංග ශිල්පියෙක් මම රංගනයක් ඉදිරිපත් කළා පමණයි. මාධ්‍යවල වගේම කලා ක්ෂේත්‍රයේ සිටි අය පවා මේ රංගනය සැබෑ රංගනයක් කියල හිතුවා. මෙය සැබෑ ලෙස ලිංගිකව හැසිරෙන විට රූප ගත කළා යැයි විශ්වාස කළා. ඒක තමයි මේ හැමෝම ලබපු මානසික ආතල් එක. මාත් සමඟ සමීපව රංගනයේ යෙදෙන සමීප අය පවා මේක සැබෑ රංගනයක් ද කියලත් ඇහුව අවස්ථා තිබුණා. මේ ගැටලුව වසර ගණනාවක් තිබුණා. ඒ වගේම මේ චිත්‍රපටය හමුදාවට අපහාස කරන රටට අපහාස කරන සිනමාපටයක් කියන ගැටලුව බහුතරයක් පිරිස් වෙත තිබුණු දෙයක්. නමුත් ඒක එහෙම නොවෙයි සැබෑ චිත්‍රපටය බැලුවොත් ඒක හොඳින් තේරුම් ගන්න පුළුවන්.

අධ්‍යක්ෂවරයාට ව්‍යංග්‍යාර්ථයෙන් ඔය දර්ශනය පිළිබඳ පේ‍්‍රක්ෂකයාට දනවන්න තිබුණනේ ඔය වගේ අමු අමුවේ රූප රාමුවකට නොගොස්? එතකොට රඟපාන නළුවන් නිළියන් බේරිලා අධ්‍යක්ෂවරයාත් බේරිලා.

මම හිතන්නේ ඒක අධ්‍යක්ෂවරයාගේ මාධ්‍යය සහ ඔහුගේ අවශ්‍යතාවය. අපි ඒ ගැන තර්කකළා. වාද කළා. නමුත් අධ්‍යක්ෂවරයා සමඟ මට එකඟ වෙන්න සිද්ධ වුණා. මම චිත්‍රපටයට සම්බන්ධ වුණේ ඔහුගේ අවශ්‍යතාවය ඉටු කරන්න. ඒක මම කළා.

ඔබව අධ්‍යක්ෂවරයා පිටපත ලියන ගමනේදීම තෝරාගත් පුද්ගලයෙක් වුණාද?

නෑ මගේ මිත්‍රයෙක්ගේ මාර්ගයෙන් මට දැන ගන්න ලැබුණා මේ අධ්‍යක්ෂවරයා කෙනෙක්ව සොයනවා ඒ අනුව මම සංජීව පුෂ්ප කුමාරව හඳුනාගත්තා. ඊට කලිනුත් මම ඔහුව දන්නවා. මේ චරිතය කරන්න සම්පත්ව සුදුසුයි කියල යෝජනා කරල තිබුණේ මගේ මිත්‍රයා.

ලාංකික සමාජය තුළ යමෙකු නිර්මාණය කරන චරිතය තුළින් ඔහුව සාමාන්‍ය ජීවිතයෙත් බලන්න පුරුදු වෙලා තියන වටපිටාවක. ඔබ පිළිබඳවත් එහෙම කෝණයකින් බැලුවොත්?

මම ඒ ගැන ලොකුවට හිතන්නේ නෑ. ඒක සිතන කෙනාගේ අවුලක් මිසක් මගේ අවුලක් නොවේ. මම රංග ශිල්පියා පමණයි. මම මගේ ශිල්පය දක්වනවා. තම තම නැණපමණින් ඒ දේ අවබෝධ කරගැනීම ඒ අයගේ වැඩක්. මම දත් ශිල්පයෙන් හරඹ දැක්වූවා. ඒ හරඹය හරියට මම කරල නිසානේ මම ගැන ඔය කතා කිරීම් මම වාරණ පනවාගත් නළුවෙක් නොවෙයි. මගේ ලෙවල් එක පෙන්නන්න පුළුවන් වැඩක් තමයි මම කරල තියෙන්නේ. මෙගා නාට්‍යවල රඟපෑමට කොමඩි චරිත දුෂ්ට, චරිත, කළු චරිත, සුදු චරිත රඟපෑමට මගේ ප්‍රමාණය ධාරිතාව තියෙන්නේ ගොඩක් ඈතක. මම විශ්වාස කරන මගේ රංගනය තියෙන්නේ ගොඩක් දුර. ඒක පෙන්වන්න මට ඕනෙ කරපු නිර්මාණයක් ඉගිල්ලෙන මාළුවෝ මේකෙදි ඒක කළා. ඒකට අද ලැබෙන ප්‍රතිචාර ගැන මම සතුටුයි. මේ චිත්‍රපටය තිරගත වෙනකන් මම බලාගෙන හිටියා. ඒකට හේතුව මේ චිත්‍රපටයේ මම රඟපෑවේ පිටකොටුවේ හොරෙන් සී.ඩී. එකක විකිණෙන්නවත් එකිනෙකාගේ ෆෝන්වල ලැප් වල පොඩි පොඩි කෑලි දාගෙන එන්ජෝයි කරන්නවත් නොවෙයි. සම්පුර්ණ චිත්‍රපටයක් සිනමා ශාලාවක දකින්න. ඒ අවුරුදු ගාණක් වෙච්ච අකටයුත්ත ගැන හිතින් දුක් වින්දා දැන් මම ඒ පේ‍්‍රක්ෂක ප්‍රතිචාර මත ඒ වින්ද දුකට සතුටක් ලබනවා. මම නළුවෙක් විධියට පවතින්න කැමැත්තෙත් වෙනස්ම විධියකට සීමාමායිම් නැති හැඟීම් ප්‍රකාශනයේ රංගනයක් තමයි මට කරන්න ඕනෙ කරන්නේ.

අද වෙනකන් ඔබගේ ඒ හැකියාවෙන් අධ්‍යක්ෂවරු ප්‍රයෝජනයක් අරන් නැද්ද?

සියයට සීයක් මගෙන් ඒ ප්‍රයෝජනය අධ්‍යක්ෂවරු අරන් නෑ. ඕනෙ තැනක හෙළුවෙන් රඟ පාන්න ලෑස්තියි කියන එක නෙමේ කියන්නේ පටු තැනකින් වුණත් කාටහරි මම කියන දේ ගන්න පුළුවන්. ඒක නෙවේ මම මෙතනදි කියන්නේ.

ඔබ පිටපත ගැන සැලකිලිමත් නළුවෙක් ද?

හැම මොහොතේම නෑ. මෙගා ටෙලි නාට්‍යයක රඟපාන කොට පිටපත ලැබෙන්නේ එදා උදේට නැතිනම් ෆෝන් එකට.

ක්ෂණිකව එන පිටපතක් එක්ක නිසි රංගනයක් චරිත ගොඩනැගීමක් කරන්න පුළුවන් ද?

ක්ෂණික පිටපතක් අනුව රඟ පෑ දොලේ මහත්තයා ජනපි‍්‍රයවෙන්නේ එක මාරයි කියල මම හිතුවොත් ඒක මම මටම කරගන්න හානියක්. ස්වයං විවේචනයක් තමන් සතු විය යුතුමයි. මම ගැහුව ගේමක් කට්ටිය කොරවෙලා ඉන්නේ කියලා. මට හිතාගත්තොත් මම ඉවරයි. පාරෙ යන කොට කවුරු හරි කිව්වොත් මාර ඇක්ටින් සුපිරි කියලා. ඒ අන්දන ඇඳුම් මනසින් ගලව ගන්නත් අපි දැනගන්න ඕනේ. කියන මොහොතේ මම දෙයක් කළා. එතැනින් ඒක ඉවරයි.

වසර විසිපහක රංගන අත්දැකීම් සමඟ හිතෙන්නේ නැද්ද නිර්මාණ කටයුත්තකට මුල පුරන්න.

මම ටෙලි නාට්‍යයක් වගේම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න, නිෂ්පාදකයෙක් සොයමින් ඉන්නවා. ඒත් සමාජ දේශපාලන වටපිටාව තුළ ආපු රැළි නිසාවෙන් ඒ උත්සාහය වතුරේ ගියා. මීට කලින් මම ජෝඩු ජෝඩු කියලා වේදිකා නාට්‍යයක් කළා. ශිල්පීන්ගේ තිබූ කාර්යබහුලත්වය නිසා අතරමඟ දී ඒක නැවතුණා. දර්ශන වාර කීපයක් අපි පෙන්නුවා.

ඉගිල්ලෙන මාළුවෝ රඟපෑම පිළිබඳ අද ඔබට පසුතැවීමක් තියනවද?

කොහෙත්ම නෑ. මම ඒක දැනුම්වත්ව රඟපෑවේ. එදා ඒ මොහොතේ නොබියව මම හිතල බලල යත්ත තීරණයකට මම රඟපෑවා.

ඉදිරියේත් යම් අධ්‍යක්ෂවරයකු මෙවැනි දර්ශනයන් සහිත සිනමා කෘතියකට ආරාධනා කළොත් ඔබ භාර ගන්නවද?

නිර්මාණය පිළිබඳ හොයල බලල ඒක හොඳ නම් මම ලෑස්තියි.

ගොඩක් අයට ඔබේ රංගනය ප්‍රශ්න සහගතයි. ඔබ මේ දර්ශනය සජීවිව කළා ද කියලා

මේ දර්ශන මම කා එක්ක හරි හොර රහසේ ලිංගිකව එක්වෙන දර්ශනයක් රූපගත කළ එකක් නොවෙයිනේ. කැමරා ක්රූ එකක් සමඟ අධ්‍යක්ෂවරයෙක් වේශ නිරූපණ ශිල්පියෙක් සහයට තව කණ්ඩායමක් සමඟ රූපගත කළ එකක් නේ. නිල් චිත්‍රපට නම් රූපගත කරයි. නමුත් අපි නිල් චිත්‍රපට නළුවෝ නෙමෙයිනේ. ඒවාත් කල්පනා කරලා තම තම නැනපමණින් තීරණය කරන්න. නොබල ගල් ගහන් නැතුව බලල ගල් ගහන්න.

 

 

සේයාරූ - තිලක් පෙරේරා

[email protected]