වර්ෂ 2023 ක්වූ March 28 වැනිදා Tuesday
කවි නොලියූ ප්‍රකට කලාකරුවන් කවියන් බවට පත්වුණා

ඔහු කාව්‍යකරණයේ යෙදුණේ වයස අවුරුදු දහයේ පමණ සිටය. ඒ ඔහුගේ මවුපියන්ගේ මෙන්ම වැඩිමල් සොයුරාගේ ආභාසය නිසාය. අගනුවර තරුණ කවි සමාජයේ පළමු සාමාජිකයන් පස්දෙනාගෙන් දෙදෙනෙකු වූ විල්සන් හෑගොඩ කිවිඳුන් මෙන්ම නන්දා සුබසිංහ කිවිඳීය ඔහුගේ මවුපිය දෙපළය. ප්‍රවීණ ඡායාරූප ශිල්පියකු සේම කිවිවරයකු වන ලාල් හෑගොඩ ඔහුගේ වැඩිමල් සොහොයුරාය. ඔහු සිය පළමු නිසඳැස් කවි සමුච්චය වන ‘දේවෝවස්සතු කාලේන’ කාව්‍ය සංග්‍රහය දොරට වැඩමුවේ 1973 එනම් මීට අඩසියවසකට පෙරය. සිංහල සහ ඉංග්‍රීසි භාෂාද්වයෙන්ම කාව්‍යකරණයේ මෙන්ම මාධ්‍යකරණයේ යෙදෙමින් ගොඩයාගේ කොළම, ලන්ඩන් ගොඩයාගේ කොලම වැනි ජනප්‍රිය ලිපි සම්පාදනය කළ ඔහු ඒවා ඇසුරින් මුද්‍රිත කෘති ද සමාජයට දායාද කළේය. එයින් නොනැවතී වේදිකානාට්‍යකරණයට උනන්දු වූ ඔහු පසුව ටෙලිනාට්‍ය නිෂ්පාදනයට ද දායක විය. වසර තිස් හතක් පුරා ලන්ඩනයේ වෙසෙමින් එහි නීතීඥ වරයකු ලෙස සේවය කරන අතර එදා මෙදාතුර එහි යන ලාංකිකයන්ට ශක්තියක් බවට පත් වන්නටද ඔහු අමතක කළේ නැත. කවිකම ලේ මස් ඇට නහර විනිවිද ඇති ඔහු කවියට කෙතරම් ඇලුම් කරන්නේද යත්, මෙරට මෙන්ම ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ කවිකම්වලට ඉඩ සලසමින් ලන්ඩන් කවි සරණිය නිර්මාණය කළේය. එහි පළමු මුද්‍රණය පසුගිය දා මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්විණි. මේ අපට දුර නොවූ ලන්ඩන් කවි පිළිබඳ සාහිත්‍යවේදී නිතීඥ අනුර හෑගොඩ සරසවිය සමඟ යෙදුණු කෙටි පිළිසඳරකි.
ලන්ඩන් කවි ඇරැඹුණු ආකාරය ගැන කතා කරමු?
මම එංගලන්තෙදි සිංහල ගායක ගායිකාවන් සම්බන්ධ වුණු සංගීත සන්දර්ශනයක් කළා. සංවිධායකයන්ගේ පරක්කුවක් නිසා ඒ කාලය ගෙවා ගන්න මට කතාවක් කරන්න කියලා ඔවුන් ඉල්ලා සිටියා. කවි ගැන එංගලන්තෙ වුණත් ලොකු උනන්දුවක් නෑ. කවිය සඳහා පොඩි පාඨක පිරිසක් ඉන්නවා එච්චරයි. ඉතින් මම ගජමන් නෝනාගේ සහ රංචාගොඩ ළමයාගේ කවි කියමින් ඒ ගැන විස්තර කියද්දි ප්‍රේක්ෂාගාරයෙන් ‘අපෝ අපට කවි එපා’ කියලා කවුදෝ කෑ ගැහුවා. කවියට ආදරය කරන කෙනෙක් හැටියට මගේ හිතට ඒක හරියට වැදුණා. ඒ නිසාම කවි සඟරාවක් පටන් ගන්න ඕනෙ කියලා මම හිතා ගත්තා. 2003 වසරේ පිටු 8ක සඟරාවක් ලෙස ලන්ඩන් කවි මුද්‍රණය කළා. එයට එංගලන්තයේ සිටින ලංකාවේ කවීන් වගේම අපේ රටේ කවීන්ගේ නිර්මාණ එකතු වුණා. මුලින් තෛ‍්‍රමාසිකයක් ලෙස ආරම්භ කළත් පසුව වරින් වර ලංකාවට පැමිණ ගෙන යෑමේදී සහ බෙදා හැරීමේදී ඇති වූ ප්‍රායෝගික ප්‍රශ්න නිසා කාලය වෙනස් වුණා. කෙසේ හෝ අපි සඟරා 13ක් මුද්‍රණයෙන් නිකුත් කළා. ලංකාවේ තරම් එංගලන්තේ සිංහල කවීන් නැහැ. ඒ නිසා ලංකාවෙනුත් අඩුව පුරවලා තමයි මේ සඟරාව කරගෙන ගියේ. විශේෂයෙන් කොළඹ යුගයේ කවීන් තමයි අප යොදා ගත්තේ. බෙදා හැරීමේ අපහසුව නිසාම තමයි අවසානයේ අපට මෙය නතර කරන්න වුණේ.
මුද්‍රණය නතර වුණාට ලන්ඩන් කවි නතර වුණේ නෑ?
ඔව්. මුද්‍රණය නතර වුණත් අපේ londonkavi.com වෙබ් නාමය අප සතුව ඒ වෙද්දිත් තිබුණා. බොහෝ දෙනෙක් සඟරාව ගැන විමසන්න ගත්තා. මගේ බිරිඳ මීනුත් මේ වෙබ් අඩවිය කරගෙන යෑමට සහය වන තරිඳු රාජකරුණාත් යෝජනා කළා මාර්ගගත ක්‍රමයට කවි සඟරාව පළකරමු කියලා. ඒ නිසා 2021 ජනවාරි 01 ඔන්ලයින් ක්‍රමයට එය ආරම්භ කළා.
මෙයට සම්බන්ධ වී කවි ලියූ ඇතැමුන් ප්‍රවීණ කවියන් නොවේ?
(සිනාසී) ඇත්තෙන්ම සමහර අයට පොඩි තර්ජනාත්මක ඉල්ලීමක් කරලා තමයි කවි ලියවා ගත්තේ. මගේ ඒ කරදරයෙන් ගැලවෙන්න නිතිපතාම කවි ලියූ අය හිටියා. විශේෂයෙන් ලේක්හවුස් සභාපතිවරයාව සිට අප අතරින් වියෝ වූ බන්දුල පද්මකුමාර කීවා කවදාවත් කවි ලියා නෑ කියලා. ඉතින් මම කීවා ඒ නිසා තමයි ලියලා එවන්න කියන්නේ කියලා. ඔහු කවි ලියා එව්වා. ජයතිලක කම්මැල්ලවීරත් ඒ වගේ කවි ලියන්න පටන්ගත්තේ. සම්මානිත මහාචාර්ය ආරියරත්න ඇතුගල කීවා මම ලියපු සින්දුවක් දෙකක් නම් ඇති කවි නම් නෑ කියලා. ඉතින් අර වගේම කියලා ඔහු කවි ලියා එවා තිබුණා. ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධදාස විතානාරච්චි අලුතෙන් නොලීවත් ඔහු සිරගතව සිටි සමයේ ලියූ කවි දෙකක් ලන්ඩන් කවි සරණියට ලබා දුන්නා. ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණියගේ පළමු කවි පෙළ පළවුණෙත් අපේ සරණියේ. ඔහු මට විහිළු කළේ ප්‍රීති රන්දෙණිය වගේ කිවිඳීයක් ගෙදරම ඉද්දි ඔහුට කවි ලියන්න කියන්නේ ඔහුගේ සායම අරින්නද කියා විමසමින්. ජ්‍යෙෂ්ඨ රංගවේදී නිශ්ශංක දිද්දෙණිය, මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් වැනි අයත් කවි ලීවේ එහෙම බෑ කියමින් තමයි. එවැනි බොහෝ දෙනෙකුගේ කුලුඳුල් කවි රචනා පළකරන්න අපට හැකි වුණා. හැබැයි එහෙම ලියූ අයගෙන් සමහරු මේ වෙද්දි තමන්ගේම කවි එකතුවලින් නිකුත් කරන පොත් කීපයක් ළඟදි එළිදකින්න නියමිතයි. ඒ ගැන මට සතුටුයි. කොහොම හරි ඉන් පස්සේ හැම මාසෙම පළමුවැනිදාට එළිවෙද්දි කවි සරණිය නිකුත් කරන්න අපට හැකි වුණා. ඒ නම දුන්නේ ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ කිවිඳු. මේ වෙද්දි අවුරුදු දෙකක් පුරා අපට ඒ කවි සරණිය නිකුත් කරන්න හැකියාව ලැබුණා. අරගල කලාපයක්, වෙසක් කලාපයක්, ජැක්සන් ඇන්තනි කලාපයක් වගේ විශේෂ කලාප කළා. බෙදා හැරීම, මුද්‍රණය ආදි ප්‍රශ්න නැති නිසා පහසුවෙන් කරන්න පුළුවන් වුණා. තාක්ෂණික ගැටලු විසඳීම පමණයි අපට තිබෙන්නේ.
මුලදි ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨ කවීන්ගෙන් කවි ඉල්ලා යැව්වා, ආයාචනා කළා, වැන්දා. දැන් බොහෝ දෙනෙක් කවි එවන්න පුරුදු වෙලා ඉන්නවා.
මෙයට කවි තෝරා ගැනීමේ පදනම?
මම පිළිගන්නේ රසාත්මකං වාක්‍යං කාව්‍යං කියන දේ විතරයි. පෙදෙහි රසහව් විඳීනා දෙනෙතා ඉතා දුලබෝ කියන දේ මම පිළිගන්නේ නෑ. අපි හැමෝටම කවියක් රස විඳීන්න පුළුවන් හැකියාව තිබෙනවා. වෙලාව නැති එක විතරයි බොහෝ අයට තිබෙන ප්‍රශ්නය. කවියට ඇබ්බැහි වුණොත් මිදෙන්න බැරිව යනවා. ගුත්තිලය, සැළලිහිණිය, සුභාෂිතය, ලෝවැඩ සඟරාව වුණත් තුන් හතර සැරයක් කියෙව්වොත් ඇබ්බැහි වෙනවා. වෛද්‍යවරයෙක් වෙන්නේ යම් කාලයක් ඒ විෂයය හැදෑරීමෙන් වගේ කවියෙක් වෙන්නෙත් කවි ගැන හැදෑරීමෙන් තමයි. කෙනෙක් මට කීවා කවි කීවාම හරි ගොඩේ වගේ කියලා. එහෙම හිතන අයත් ඉන්න රටක් අපට තිබෙන්නේ.
එතකොට ශේක්ස්පියර්ලා, වර්ඩ්ස්වර්ත්ලා, ලෝඩ්බයිරන්ලා ඉංග්‍රීසියෙන් ලියන කවිවලටත් ඒ ගොඩේකම බලපානවාද?
(සිනාසී) සිංහලවලනේ ඔය ගොඩ මඩ කතා තිබෙන්නේ. අනෙක ලංකාවේ අය සුපිරි වෙළෙඳ සැලේදි දරුවාට ඉංග්‍රීසියෙන් කතා කරනවා. ඒ දරුවාට තේරෙන්නේ ඉංග්‍රීසි නිසාද? නැත්නම් අවට සිටින අපට ඇහෙන්නද කියලා මට තේරෙන්නේ නෑ. අම්මා තාත්තාට පුළුවන් ටික තමයි ඒ කතා කරන්නේ. දවසක් මම බැංකුවකට ගිහින් කළමනාකාරතුමියගෙන් ඇහුවා ඔයාට මේ දේ මට කරලා දෙන්න පුළුවන්ද කියලා. ඒ කාන්තාව මට කීවා “මට ඔයා කියලා කතා කරන්න එපා” කියලා. පස්සේ මම ඉංග්‍රීසියෙන් කතා කළා. මොකද ඉංග්‍රීසියේ කාටවත් විශේෂ ගෞරවාර්ථ පද නෑනේ. දෙවියන්ටත් ‘යූ’ යාචකයාටත් ‘යූ’ විතරනේ. ඊට පස්සේ ඔක්කොම කතාව වෙනස් වුණා. ඒ වගේම රට ගිහින් ආවාම තමන්ගේ භාෂාව පිළිබඳ මතක බැරි වෙනවා. හැබැයි ඒ ඔක්කොම වෙන්නේ එංගලන්තෙ ගිය අයට. ජපානේ, චීනේ ගිය අයට එහෙම වන්නේ නෑ. ඉතින් ඒ කතා කෙසේ වෙතත් අපි කවි තෝරා ගන්නේ රසවත් වාක්‍යය කවියයි කියන පදනම මත ඉඳලා. හැබැයි ඉතින් කවිය කී ගමන් මගේ ඔළුවට නම් එන්නේම සඳැස් කවිය. මොකද අපටම ආවේණික වූ ලෝකෙටම තිබෙන එකම කවිය අපේ සඳැස් කවිය නිසා. වසර දහස් ගණනකට පෙර කවියාගේ අත් අකුරින් ලියූ කවියම සංරක්ෂණය වෙලා තිබෙන්නේ අපේ සීගිරියේ. එවැනි කවි සම්ප්‍රදායක් අපට තිබෙනවා. විශේෂයෙන් සඳැස් කවියේ තිබෙන රිද්මයානුකූල බව නිසා අපේ භාෂාවේ තිබෙන පොහොසත්කම යොදා ගන්නා ආකාරය පැහැදිලි වෙනවා. ඒකනෙ අපි හිටිවන කවිවලට කැමැති. ඒවා සඳැස්. නිසඳැස් කවියට වඩා වෙනස්.
බොහෝ දෙනා කීවත් සිරි ගුණසිංහ තමයි නිසඳැස් කවිය අපට හඳුන්වා දුන්නේ කියලා, මගේ මතය නම් එය කළේ රංචාගොඩ ළමයා කියන එකයි. ඔහු නිදහස් කාව්‍ය සම්ප්‍රදායක පිහිටියේ.
හැමෝටම කවි ලියන්න පුළුවන් කියා ඔබ විශ්වාස කරනවාද?
මම නෙවෙයි, රොබට් නොක්ස් කීවේ අපි හැම කෙනෙක්ම කවියෙක් කියලා. ඇත්ත කතා කරනවා නම් කුමක් හෝ කලාවක් පිහිටි කෙනකුට කවියක් ලියාගැනීමේ හැකියාව නැති වෙන්නේ නෑ. හැබැයි හැමෝම ලියන වැකිවලින් කවියක් හැදෙන්නෙත් නෑ.
ලංකාවේ කවිය ගැන ඔබේ අදහස?
ලංකාවේ කවිය දිගේ අපට යා හැකි උපරිම දුර බවට පත්වෙලා තිබෙන්නේ කෝට්ටේ යුගය. ඉන් එහාට අපි යන්නේ නෑ. අපි දන්නවා තව යුග ගණනාවක් තිබෙනවා කියලා. සඳැස් කවි ගත්තත් සන්දේශ ගණනාවක් තිබෙනවා. ඒ අතරිනුත් සැළලිහිණිය තමයි අප වඩාත් භාවිත කරන්නේ. ගුත්තිලය, සුභාෂිතය, ලෝවැඩ සඟරාව ආදිය ගත්තත් ජනප්‍රිය වූ කොටස් තිබෙනවා. අද නුවන් තොටවත්ත, මස්ඉඹුලගේ, රණවීරගේ, නන්දන වීරසිංහගේ වගේම ලාල් හෑගොඩගේ කවි ගත්තත් තිබෙන්නේ සමාජ දෘෂ්ටිය සහ විරෝධාකල්ප. කවියක් කෙතරම් දිගු හෝ කෙටි විය යුතුද යන්න අපට කියන්න බෑ. උදාහරණයකට එක් කවියෙක් ලියා තිබූ
ධර්මිෂ්ඨ සමාජය
ටාං ටාං ටාං
ඩෝං ඩෝං ඩෝං
කියන රසවත් වැකියෙන් කොයිතරම් දෙයක් කියැවෙනවාද? මුලින්ම මතක්වන කෙනාගේ සිට අද වන තුරු කෙතරම් දුරකට අපව ගෙන යනවාද? ඒ නිසා කවියෝ මොනවා ලීවත් අපේ සඳැස් කවිවල පදනම තිබෙන බව පේනවා. ඔවුන් නිසඳැස් ලීවත් ඒවා ගැළපී යන ගතියක් දැනෙනවා. ඉන් පසු කොළඹ යුගය ගත්තත් විශේෂ යුගයක් වුණාට කෝට්ටේ යුගයේ වගේ කවි නැහැ. ඒ භාෂා හැදෑරීම, විෂයය කරුණු දකින්න නෑ. කොළඹ යුගයේ කවිවල බරක් නෑ. ඔවුන් කවියෙන් වාර්තාවක් කියූ බව තමයි දැනෙන්නේ. සන්දේශ කාව්‍යවල වගේ වැනුම් නැති නිසා කොළඹ යුගයේ කවීන් වන විල්සන් හෑගොඩ වුණත් ඒ ගණයට තමයි වැටෙන්නේ. ඒත් මානවසිංහලා, මීමන ප්‍රේමතිලකලා වැනි අය වෙනස් කවි ලීවා තමන්ගේ හැදෑරීම් සමඟ.
වර්තමාන තරුණ පරපුරේ විශාල ප්‍රගමනයක්, ප්‍රගතියක් තිබෙනවා. ඒ අයට නිර්මාණාත්මක හැකියාව හොඳීන්ම තිබෙනවා. නුවන් තොටවත්ත, මහින්ද කුමාර මස්ඉඹුල, අසංග රුවන් සාගර, කෞශල්‍යා ජයලත් වැනි අය උදාහරණයකට ගත්තොත් තරුණ කවීන් බොහෝ දෙනා ලියන්නේ ඔවුන්ගේ ජීවිතේ අභියෝගවලට මුහුණ දීමේ කලාව පිළිබඳවයි. මෑත කාලේ කවීන්ගේ ප්‍රස්තුත බවට පත්වන්නේ විරෝධාකල්ප වැනිදේ.
එතකොට මහින්ද හිමි, මහගම සේකර වැනි අයගේ කවි?
ඒත් ජීවිතයනේ. මහගමසේකර මහත්මයාගේ ප්‍රබුද්ධ, රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත ගත්තොත් සමාජයේ ඒ ඒ චරිත ස්ථාපනය වන ආකාරය, නොමියෙමි කාව්‍යයේ කෙනෙකුට ජයග්‍රහණය කරන්න තිබෙන ආශාව කොතරම්ද කීවොත් මැරිලා හෝ අනෙක් අයට වඩා ඉදිරියෙන් මළබෙර ආදිය පෙරටුකොට යන්න තිබෙන නිසා මරණය සැපක් බව හිතෙන ආකාරය. ඉතින් ජීවන අරගලයෙන් මිදෙන්න බෑ. රත්න ශ්‍රී විජේසිංහ, ලාල් හෑගොඩ වැනි අය ගත්තත් ඒ ජීවන අරගලය ගැන තමයි ලියා තිබෙන්නේ.
මමත් විදේශයක ජීවත් වන නිසා මහින්ද හිමියන් ගැන මට හිතෙන්නේ මට පුළුවන්ද ඒ වගේ කරන්න කියන දේ. මොකද එංගලන්තෙදි මටත් හිතෙනවා ඇස්ගෙඩිවලට හෙණ ගැහිලද සුද්දන්ගේ කියලා අහන්න පුළුවන් දේවල්. ඒත් මට ඒක කරන්න බෑ. උන්වහන්සේගේ ටිබෙට් රටට හෙණගැහිලා තිබියදී තමන් ජීවත්වන රට වෙනුවෙන් ලියන්න පුළුවන් වුණා. ඇත්තෙන්ම මවුබිම කියන්නේ තමන්ට සුවපහසු යහනක් දෙන ස්ථානය කියලයි මම හිතන්නේ. අපි හඳට ගියොත් කොතැනද අපේ මවුබිම? හඳේ කෙනෙක් මෙලොවට ආවොත් කොයි රටද ඔහුගේ මවුබිම හැදෙන්නේ? සමහරු රට අතහැර යන්නේ ඇයි? ඉතින් මේවා කියද්දි සමහරු කියයි මම කළු සුද්දෙක් කියලා. ඒත් ලෝකෙ කොහේ රවුම් ගැහුවත් සමහරු අන්තිමට තමන් උපන් රටටම එන්නේ ඒ සුවපහසුව දැනෙන තැන සොයාගෙන තමයි. ඒකට තමන්ගේ මනස බලපානවා. කවිය ආර්ථිකය හා සමාජය සමඟ බැඳී තිබෙන නිසයි නිරන්තර ජීවන අරගලය ගැන කියැවෙන්නෙ.
ලංකාවෙ නම් නිරන්තර කවි පොත් නිකුත් වෙනවා?
අපේ රටේ සඳැස් දුවන්නෙම හිටිවන කවිවලින්. හැබැයි නිසඳැස් ලියන්න දැන් බොහෝ විට මුල් වෙන්නේ ෆේස්බුක් එක. නැත්නම් තමන්ගේම බ්ලොග් එකක් තබා ගැනීම. තමන්ගේ කවිය නිදහසේ ලියන්න ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. හැබැයි ඒ සමඟ වුණු දේ තමයි තමන්ගේ හිතවතුන් නිර්මාණයේ සැබෑ වටිනාකම ගැන නොතකා ප්‍රතිචාර දක්වන එක. එෆ්බී එක නිසා තමන්ගේ ඇඳේ අනෙක් පස නිදා සිටින බිරිඳට හෝ සැමියාට ළංවෙලා කිව යුතු දේ නොකියා එය ලෝකෙටම ඇහෙන්න කියනවා ඔයා තමයි ලෝකේ ඉන්න හොඳම කෙනා කියලා පළ කරන්න පුරුදු වෙලා ඉන්නේ අපේ අය. කොච්චර අසරණද ඉතින්? හැබැයි ඒක තමයි ප්‍රවාහය. අපිත් එයට හසුවෙලා ඉන්නවා. නවත්වන්න බෑ. අද උපන්දින සාදයකට ආවත් එක එක්කෙනා තම තමන්ගේ ජංගම දුරකථනවල තමන්ගේ ලෝකවල ඉන්නේ. හැබැයි අපේ කාලේ අපි එකතු වුණාම කොයිතරම් දේවල් කතාකරනවාද? ඉතින් පරිකල්පනයේදීත් ඇතිවන ප්‍රශ්නය වන්නේ ඔවුන් ඔවුන්ගේ ජීවන රටාව හැඩ ගස්වාගන්නේ ඒ ක්‍රමයට ලැබෙන දත්ත තොරතුරු මත ඉඳගෙන වන නිසයි. ඔවුන් ආහාර, ඇඳුම්, දේශපාලනය පවා කරන්නේ මුහුණු පොත ඔස්සේයි. අපේ කාලේ ගුවන්විදුලිය, පස්සේ රූපවාහිනිය මඟින් අපට වුණෙත් ඒකයි. ලූෂන් බුලත්සිංහල සෝබාව දේ ගීතයෙන් නුවරු රිසි රිසි දේ ගෙන මසුරන් තඹයට දෙන්නේ - නිබඳ සිත ලතැවෙන්නේ කීවෙත් ඒ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව නැති අය ඇති අය දිහා බලන ආකාරය සහ උද්ධමනය ගැන තමයි. මේ උද්ධමනය නිසා එක රැයෙන් බිලියනපතියන් වුණ අය ඉන්නවා. ඔවුන්ට අනෙක් භාණ්ඩවල මිල වැඩි වීම ප්‍රශ්නයක් වන්නේ නෑ. සල්ලි තියෙනවානේ. හැබැයි එහෙම නොවුණ අයට එය ප්‍රශ්නයක් තමයි. අද එකම දේ සඳහා පදනමකින් තොරව විවිධ මිල ගණන් තරගකාරීව කියනවා. ගුණාත්මකබව තකන්නේ නෑ. මිනිස්සුත් එය පිළිගන්නවා. අපි විවේචනය කරමින්ද පරිභව කරමින්ද ඒ ක්‍රමයටම අනුගතව යනවා. ඒක වළක්වන්න බෑ.
ඒ කෙසේ හෝ වේවා නිසඳැස් කවියේ ප්‍රගමනයක් වෙලා තිබීම සහ කවියට බොහෝ දෙනා නැඹුරු වීම සතුටක්. මොකද කවි නොලියන සමාජය හරිම භයානක නිසා. කවි ලිවීම සාහිත්‍ය දියුණුවේ කැඩපතක් වගේ.
ලන්ඩන් කවියේ අනාගතය?
අපි දළ වශයෙන් මසකට කවි සියයක් වගේ තමයි ප්‍රකාශයට පත් කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා නව කවිකිවිඳීයන් තමන්ගේ නිර්මාණ අපට යොමු කරයි කියලා. londonkavi.com අඩවියේ නිර්මාණ යොමුවට ගොස් තමන්ගේ කවි යොමු කරන්නත් පුළුවන්. කොහොම වුණත් අදහසක් තිබෙනවා නම් කවියේ අඩුපාඩු අපට හදලා හෝ පළ කරන්න පුළුවන්. විශේෂයෙන් ආදරය ගැන කියන ඒවා නම් වැඩිපුර අවධානයට ලක් වන්නේ නෑ. මොකද ආදරය ගැන දැන් ලියලා ඉවරයි කියන්න තරමටම පොදුවේ ලියැවී තිබෙනවා. ඒත් හිත සසල කරන්න පුළුවන් වන වෙනස් විදිහකින් කීවොත් අපි පිළිගන්නවා.
කවියකින් සමාජයට යම් පණිවිඩයක් දිය යුතු ද?
මේ වකවානුවේ අවශ්‍යයි. මොකද අපි සශ්‍රිකව ඉන්න කාලෙක නම් අවශ්‍ය නෑ. මොකද හොඳට කාලා බීලා හවසට නාට්‍යයක් ආදිය නරඹලා ඉන්න කාලෙක අපට කවියෙන් ජීවන අරගලය ගැන කියැවෙන්නෙත් නෑ. කියලා වැඩකුත් නෑ, ඒත් මේ මොහොතේ අප ඉන්න තත්ත්වය අනුව අපට තිබෙන ගැටලුව ගැන කතා කළ යුතුව තිබෙනවා. ඒ වගේම ලියැවෙන්නෙත් ඒ දේවල්ම තමයි.
ඔබ එංගලන්තයේ වසර තිස්හතක් පමණ නීතීඥ වෘත්තියේ යෙදෙන්නෙක්?
අපි කොච්චර සුද්දා වගේ කෑවට ඇන්දට අපට සුද්දගේ සංස්කෘතියට යන්නත් බෑ. සුද්දට අපේ සංස්කෘතියට එන්නත් බෑ. ඉතින් ලෝකේ කොහේ රවුම් ගැහුවත් මගේ පදනම තිබෙන්නේ මේ රටේ. ඒ නිසා හිත තිබෙන්නේ මෙහෙ තමයි.
ලන්ඩන් කවි මුද්‍රිත පොතක් ලෙස නිකුත් වුණා?
අපි වසරින් වසරට පොතක් බැගින් මුද්‍රණය කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි මුද්‍රණය කළේ 2021 තෝරාගත් නිර්මාණ. 2022 ඊළඟට මුද්‍රණය කරන්න නියමිතයි. ඒත් කඩදාසි ප්‍රශ්නය කොයි ආකාරයෙන් බලපායිද දන්නේ නෑ. මේ වසරේ කාව්‍ය නිර්මාණ සඳහා ඉඩ වෙන් කර තිබෙනවා. ඉතින් ආරාධනා කරනවා සැමටම ලන්ඩන් කවිසරණියට ඔබේ නිර්මාණත් යොමු කරන්න කියලා.
සේයාරූ - නිශ්ශංක විජේරත්න