රූපවාහිනී පුස්තකාලය සංස්කෘතික උරුමයක්

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා, ප්‍රධාන පුස්තකාලයාධිපතිනි (වරලත් පුස්තකාලයාධිපතිනි) රංජනී අලුත්ගේ හේරත්
ජනවාරි 19, 2023

- මේකැසට් ගැන අපි කියන්නේ මතකයෙන් තාක්ෂණික මෙවලම් භාවිතයේදී බාධා වැඩියි
- අලුත් පරපුර ගොඩක් වෙලාවට මහන්සි වී තොරතුරු සොයන්න මැළියි

රූපවාහිනි පුස්තකාලයේ විශේෂත්වය පිළිබඳ කතා කරමු. 

පුස්තකාලයක් කී විට අපේ මතකයට නැඟෙන්නෙ පොත්නෙ. හැබැයි රූපවාහිනි පුස්තකාලය මේ සංකල්පයෙන් ටිකක් බැහැර වන එකක්. මේකෙ පොත්වලට වඩා තැනක් දෙන්න ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවලට අයත්වන ද්‍රව්‍යවලටයි. මෙහි ප්‍රධාන කාර්යභාරය අතර වැඩසටහන් නිෂ්පාදනයට සහය වීම සහ ඒවා විකාශය වීම දක්වා වන සෑම කටයුත්තකටම සහය දක්වන සේවාවන් සැපයීම මුලික වනවා.

රූපවාහිනි සංස්ථාව ආරම්භ කළේ 1982 පෙබරවාරි 14, අපි ඊට කලින් නාරාහේන්පිට කිරුළ පාරේ පර්යේෂණ පුස්තකාලයක් විදියට රජයේ ප්‍රවෘත්ති ඒකකයට සම්බන්ධව මේ පුස්තකාලය පවත්වාගෙන ගොස් තිබෙනවා. නමුත් එය පොත් පුස්තකාලයක් විදියටයි පවත්වාගෙන ගොස් තිබෙන්නේ. නමුත් රූපවාහිනි සංස්ථාවේ ආරම්භ කළ පසු ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය පුස්තකාලයක් ලෙස එය පටන් ගත්තේ 1982 පෙබරවාරි 14න් පස්සෙයි. එහි ප්‍රධාන පාලන මැදිරියට යාබදව ඊට අවශ්‍ය සේවා පහසුවෙන් සැපයීම පිණිස ස්ථානගතවයි මුලිකව එය ආරම්භ වුණේ. මුල් කාලීනව නිෂ්පාදකවරු තිහක පමණ පිරිසක් ඉලක්ක කරගනිමින් අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා එය ආරම්භ කර තිබෙන්නේ. වර්තමානය වන විට රූපවාහිනි සංස්ථා පරිශ්‍රයේ ස්ථාන කීපයක රූපවාහිනි ප්‍රධාන පුස්තකාලයේ උප ඒකක කීපයක් විදියට ස්ථාපනය කර තියෙනවා. පුස්තකාලයක් කියන්නේ දිනපතා වර්ධනය වන තැනක්. එහි තිබෙන සම්පත් ප්‍රමාණය දිනපතා වර්ධනය වනවා. ඒ නිසා ඉඩ ප්‍රමාණයත් නිරන්තරයෙන් වැඩි කිරීමක් අවශ්‍ය වෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට කාර්ය බහුලත්වය සේම කාර්ය පහසු කරගැනීමේ අරමුණින් පුස්තකාල හතරක් විදියට ස්ථාපනය කර තියෙනවා. එහිදී පොත් පුස්තකාලයක්, දර්ශන පුස්තකාලයක්, පටි පුස්තකාලයක් සහ සංරක්ෂණ පුස්තකාලයක් වශයෙන් පුස්තකාල හතරක් තියෙනවා.

ඒවායේ කාර්යභාරයන් එකිනෙකට වෙනස් වෙන්නේ කොහොමද?

පොත් පුස්තකාලය ගත් විට නිරන්තරයෙන් විවෘතව පවතින්නේ නැහැ. හැබැයි අවශ්‍ය අවස්ථාවල නිෂ්පාදකවරු ආදීන්ට තිරපිටපත් රචනයට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට, ප්‍රවෘත්ති නිවේදකයන්ට පිටපත් සකසා ගැනීමට අදාළ තොරතුරු ලබාගැනීමට පර්යේෂණ තොරතුරු සපයා ගැනීමට අදාළ තොරතුරු ලබා ගැනීමට, ආදී වශයෙන් එහි සහය ලබා ගත හැකියි. ඒ වාගේම ඒවාට අදාළ ශ්‍රව්‍ය දෘශ්‍ය තොරුතුරු අපි ලබා දෙන්නේ දර්ශන පුස්තකාලයෙන්. ඒ වාගෙම ප්‍රවෘත්තියකට අදාළ සංරක්ෂිත දර්ශන අපි ලබා දෙන්නේ දර්ශන පුස්තකාලයෙන්. ඊට අමතරව දිනපතා විකාශය වන ප්‍රවෘත්ති විකාශයන් පටිගත කර සංරක්ෂණය කිරීමක් සිදුකරනවා. එනම් පසුකාලයකදී ඒවා නැවත පරිශීලනයට අවශ්‍ය අවස්ථාවකදී ගත හැකි ලෙස පටිගත කර සංරක්ෂණය කිරීමක් සිදු කෙරෙනවා. 1982 සිටම දවසක් නෑර ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ප්‍රවෘත්ති විකාශ ඒ විදියට සංරක්ෂණය වී තියෙනවා. ඊටත් අමතරව ප්‍රචාරය පිණිස බාහිරින් ලබා ගන්නා ඒ කියන්නේ ගිවිසුම්ගතව ලබාගන්නා ටෙලි නාට්‍ය විකාශය වන තෙක් රඳවා තබා ගන්නේ දර්ශන පුස්තකාලයේ. ඒවාගෙම ඒවා අදාළ ගිවිසුම්ගත කාලය තුළ විකාශය වීමෙන් පසුව අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී ඒවා නැවත පිටත් කර හරින තෙක් රඳවා තබාගනුයේත් දර්ශන පුස්තකාලයේයි. ඒවාගේම ශ්‍රී ලංකාවේ යුද සමයේ, උතුරු නැඟෙනහිර පැවැති යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්වා සියලු තොරතුරු සංරක්ෂණය කර ගබඩා කර ඇත්තෙත් දර්ශන පුස්තකාලයේයි. ඒවාගෙම ප්‍රාදේශීය වාර්තාකරුවන් එවන තොරතුරු සංරක්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙළකුත් තියෙනවා. ඔවුන් එවන ප්‍රවෘත්ති හෝ තොරතුරු, ප්‍රවෘත්ති ඒකකයට ඔවුන් යොමු කළ පසු ජාලගත පරිගණක පද්ධතියක් හරහා ප්‍රවෘත්ති ඒකකයෙන් පුස්තකාලයට සම්බන්ධ කෙරෙන වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ යටතේ එම තොරතුරුත් අපි සංරක්ෂණය කර තිබෙනවා.

ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් ලැබෙන තොරතුරු හා දර්ශනවල ගුණාත්මකභාවය අනුව සංරක්ෂණ කාර්යයට මතුවන ගැටලු මොනවාද? 

ඔව් එවැනි ගැටලු තියෙනවා. ඒ කෙසේ වෙතත් ඒ තොරතුරු සංරක්ෂණය කරන ක්‍රමවේදයන් තියෙනවා. විශේෂයෙන් XD Cam තාක්ෂණය යටතේ අපට තොරතුරක් වසර පනහක් තරම් කාලයකට වුවත් පුස් බැඳීමක් හෝ එබඳු අන් හානියක් සිදු නොවී පවත්වා ගත හැකියි. 

එතකොට පටි පුස්තකාලයේ කාර්යභාරය කොහොමද සිදුවන්නේ?

එහි අන්තර්ගතය දර්ශන පුස්තකාලයට වඩා වැඩියි. නිෂ්පාදක කාර්ය මණ්ඩලයට වැඩසටහන් නිෂ්පාදනයට අවශ්‍ය කරන යටිතල පහසුකම් ටික සලසා දෙන්නෙ පටි පුස්තකාලය හරහායි. යටිතල පහසුකම් ලෙස අදහස් කළේ නිෂ්පාදනයේ දි පටිගත කිරීම සඳහා අදාළ කැසට් පට, තැටි පට ආදී මෙන්ම පටිගත කර ගෙනෙනු ලබන තොරතුරු සංස්කරණය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම, සංස්කරණයට අවශ්‍ය කරන කැසට් පට පහසුකම් සැලසීම මෙන්ම සංස්කරණයට ලක් කළ කැසට් පට විකාශය සඳහා යොමු කිරීමට භාර ගැනීම හා ඒවා විකාශය සඳහා වැඩසටහන් ඉදිරිපත් කිරීමේ ඒකකයට යොමු කිරීම ආදී දේයි ඒ විදියට එදිනෙදා විකාශයට අදාළ වැඩසටහන් ලබාදීම සිදුවන්නේ මේ පුස්තකාලය ඔස්සේයි.

ඉතා පැරැණි තොරතුරු සංරක්ෂණය කිරීමේ කාර්යයේදී ඒ සඳහා ඇති පහසුකම් මොනවාද?

නිරන්තරයෙන් අලුත් වන තාක්ෂණයට පැරැණි තාක්ෂණය යොමු කිරීමයි එහිදී ප්‍රධාන වෙන්නේ. ඒ කියන්නේ නව තාක්ෂණික ක්‍රමවේද තුළ පැරැණි තාක්ෂණය පිටපත් කිරීමකුයි සිදු වෙන්නේ. මුල් කාලයේ භාවිත කළේ යූමැටික් කියන කැසට් පට. පසුකාලීනව එය බීටා කැම් බවට හැරවුණා. තවත් ටික කාලයටක පසු එය ඩිජිටල් බීටා බවට පත් වුණා. තවත් ටික කලකින් එය DV Cam බවට පත්වුණා. ඊටත් පසු DV කැම් තාක්ෂණය ක්‍රමයෙන් නැවත දැනට භාවිතා වන XD කැම් කියන තාක්ෂණයට යොමු වුණා. මුල්ම කාලයේ බොහෝ විට VHS කැසට් පට පටිගත කිරීම් සඳහා භාවිත කළේ. හැබැයි විකාශය සඳහා වන පටිගත කිරීම් සඳහා VHS කැසට් පට භාවිත කළේ නෑ, මොකද විකාශය සඳහා අවශ්‍ය වන ගුණාත්මක බව එහි තිබුණේ නෑ. ඒවා භාවිත කළේ පිටපත් කර තැබීම් සඳහා පමණයි.

මේ තොරතුරු සංරක්ෂණය කර තබා ගැනිමේ ක්‍රියාවලියේ දී මතුවන ගැටලු මොනවාද? 

තවමත් අපේ මතකයෙන් මේවා නඩත්තු කර පවත්වාගෙන යන අවස්ථා තියෙනවා. අපේ මතකය තමයි පරිගණකයක් විදියට තවමත් සමහර අවස්ථාවල ක්‍රියා කරන්නේ. අසවල් දර්ශනය පටිගත කර තියෙන්නේ මෙන්න මේ කැසට් පටයේ කියා අපි කියන්නේ අපේ මතකයෙන්. අපේ කාර්ය මණ්ඩලයේ පළපුරුද්ද සහ ස්මරණ සහයක ශක්තියෙන් එය සිදුවෙන්නේ. නමුත් එහෙම වෙන්න බැහැ. මොකද පුද්ගලයකුට බද්ධ වී මේ දේවල් පවත්වාගෙන යන්න බෑ. ඒකට යම් කිසි පොදු වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ඒකට මම කරන යෝජනාව තමයි මේ සියල්ල අලුත් තාක්ෂණය සමඟ දත්ත ගබඩාවක් ලෙස පවත්වාගෙ යා යුතුයි කියන එක. දැනට අපට තියෙනවා RAPA සිස්ටම් කියන එක. එහිදී දැනට විකාශය වන සෑම වැඩසටහනක්ම RAPA සිස්ටම් එක හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහිදී විකාශය වෙන සෑම වැඩසටහනක්ම බැකප් සිස්ටම් එකකටත් ගොනු වන ලෙසයි ක්‍රියාත්මක වෙන්නේ. මෑත කාලීන වැඩසටහන්වලට අදාළව දැනට මෙය ක්‍රියාත්මක වෙනවා.

මේ කටයුතු නිසි ලෙස හසුරුවන්ත අවශ්‍ය කාර්යමණ්ඩලය යොදාගෙන තිබෙන්නේ කොහොමද?

බොහෝ විට පුස්තකාල නිලධාරීන් ලෙස පත්කර තිබෙන්නේ පුස්තකාල විද්‍යාව පිළිබඳ හැදෑරු අයයි. එනම් ඒ විෂය පිළිබඳ උපාධිධාරීනුයි. එසේ නොවන අයත් ඉන්නවා. ඔවුන් ඒ අයගෙ පළපුරුද්දෙන් තමයි ඒ කටයුතු සිදුකරගෙන යනු ලබන්නේ.

එදිනෙදා වැඩසටහන් පටිගත කර ගැනීමේ වැඩපිළිවෙළ මොකක්ද?

සාමාන්‍යයෙන් අපේ විකාශන කටයුතු උදෑසන පහට පමණ ආරම්භ වී රෑ දොළහට පමණ තමයි අවසන් වෙන්නේ. ඒ කාලය තුළ විකාශය වන සෑම වැඩසටහනක්ම අඛණ්ඩව වෙනමම පද්ධතියක් හරහා ස්වයංක්‍රීයව පටිගත වෙනවා. විවිධ නිවේදන, දැන්වීම් ආදී සියල්ලත් සමඟමයි එය පටිගත වෙන්නේ. මුල් කාලෙ මේ සියල්ල VHS වල පටිගත කළේ. මේ වන විට ඒ වැඩසටහන් පටිගත කරන්නේ DVD පටවලයි. දිනකට පැය දොළහක් පමණ, චැනල් අයි එක, නේත්‍රා සහ චැනල් වන් එක පටිගත වෙනවා. ඒවගේම ඒ පටිගත කිරීම් අපි මාස තුනක් අනිවාර්යෙන්ම තබා ගන්නවා. එසේ තබාගන්නේ කවුරු හෝ කෙනෙක් යම් වැඩසටහනක් පිළිබඳ යම් කාරණයක් පිළිබඳ සිදුකළ හැකි ප්‍රශ්න කිරීමකට පිළිතුරු සැපයීම සඳහායි. නීතිමය ගැටලුවකදී පිළිතුරු සැපයීමකදී එය සාක්ෂියක් ලෙස අපට තබා ගත හැකිවෙනවා.

වැඩසටහන් සංරක්ෂණය සඳහා යොමු කිරීමේ කටයුතු සිදුවන්නේ කොහොමද?

එය පටි පුස්තකාලයෙන් සිදුකෙරෙන කටයුත්තක්. පටි පුස්තකාලයේ සියල්ලක්ම තිබෙන්නේ විකාශය වෙන්න නියමිත හෝ විකාශය වූ වැඩසටහන්. එතැනදි විකාශය වූ වැඩසටහන් ඇත්තම් ඒ බොහෝ ඒවාත් සංරක්ෂණය කර තිබෙන ඒවායි. මොකද ඒ බොහෝ ඒවා නැවත විකාශය කළ හැකි නිසයි. විශේෂයෙන් සමාජිය, සංස්කෘතික ආර්ථිකමය හෝ පෞරාණික වශයෙන් වැදගත්කමක් ඇති බොහෝ වැඩසටහන් අපි සංරක්ෂණය කර තියෙනවා. අනාගත පරම්පරාවේ පරිහරණයටත් ඒ වගේම සංරක්ෂණය පිණිසත්.

ඉතින් මේ සංරක්ෂණය ක්‍රියාවලිය සඳහා මනා ස්ථිරසාර වැඩපිළිවෙළක් අවශ්‍යයි කියන එකයි මගේ අදහස. මේක දැනුම් සම්භාරයක්. සංස්කෘතික උරුමයක්. ඒක පැත්තකින් බුද්ධිමය දේපළක්. ඒ නිසා පුස්තකාලයාධිපතිනියක් විදිහට මම දකින්නේ මේ පිළිබඳ තවදුරටත් වැඩි සැලකිල්ලකින් කටයුතු කළ යුතුයි කියන එකයි. අපි ළඟ මේ ඉතිරි වී තියෙන දේ පරිස්සම් කර රැකගත යුතුයි. උදාහරණයක් විදියට කියුවොත් එදා අමරදේව ශූරින් ගැයූ ගීත ටික නැවත අපට එලෙසින්ම පටිගත කර ලබාගන්න බැහැනෙ.එහෙම නම් අපට හොඳ සංරක්ෂණ ක්‍රමවේදයක් වුවමනායි. ඒ නිසයි අපට හොඳ සංරක්ෂණ ක්‍රමවේදයක් අවශ්‍ය වෙන්නේ. දැන් තාක්ෂණය හරි දියුණුයි. දියුණු රටවල මෙබඳු දේ විශාල උරුමයක් විදියටයි පවත්වාගෙන යන්නේ.

ඊට අමතරව බැලුවොත් දැන් අස්පර්ශනීය උරුමයන් පිළිබඳ අවධානය යොමු කර තියෙනවා. ඒ අස්පර්ශනීය උරුමයන් යටතට මේවාත් අයිතියි. මොකද මේ නිර්මාණ රසවින්දා එහි තාක්ෂණය අපට අල්ලන්න බැහැනෙ. අද ලෝකය ඉතා ඕනෑකමකින් මේ පිළිබඳ කතා කරනවා. ඒ නිසා අපිත් මීට වඩා කැපවීමකින් මනා සංරක්ෂණ ක්‍රමවේදයන්ට යොමු විය යුතුයි. මම දරන අදහස ඒකයි.

මේ ක්ෂේත්‍රයේ ඔබේ ගමන්මඟ පිළිබඳ තොරතුරු ටිකක් කතා කරමු.

1986 පුහුණුවන පුස්තකාල සහකාරවරියක් ලෙස මම මෙහි සේවයට එක් වුණේ. ඉන් පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් පුස්තකාල විද්‍යාව පිළිබඳ උපාධියක් හදාරා, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (BA) උපාධියකුත් ලබාගෙන ඊට පසු කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීයවිද්‍යාපති (MSSC) උපාධියත් සම්පුර්ණ කරමිනුයි මේ රාජකාරි කටයුතු ඉදිරියට කරගෙන යනු ලැබුවේ.

පුහුණුවන පුස්තකාල සහකාරවරියක් ලෙස සේවයට එක් වී ක්‍රමයෙන් සහකාර පුස්තකාලයාධිපතිනිය වී අනතුරුව සහකාර අධ්‍යක්ෂක, ප්‍රධාන පුස්තකාලයාධිපතිනිය වී, ඉන් අනතුරුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රධාන පුස්තකාලයාධිපතිනිය වී ඉදිරියට ආවේ. මේ වන විට ලංකාවේ සිටින වැඩිම සුදුසුකම් ලද සහ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයේ වැඩිම පළපුරුද්ද සහිත පුස්තකාලයාධිපතිනිය වගේම දැනට ශ්‍රව්‍ය මාධ්‍යයේ සිටින වැඩිම සුදුසුකම් සහ පළපුරුද්ද සහිත වරලත් පුස්තකාලයාධිපතිනිය ලෙස කටයුතු කරනවා. ඒ අතර විදේශයන්හි මේ පිළිබඳ මා ලැබු පුුහුණුවත් මේ කටයුතු කරගෙන යන්න මට මනා පිටිවහලක් වී තියෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල විද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරියක් ලෙසත් ඒ අතර මා කටයුතු කර තියෙනවා.

ඔබේ පවුලේ තොරතුරු මොනවාද?

මට පුතෙක් සිටිනවා. දැනට ඔහු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබනවා. මගේ සැමියා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරනවා. දැනට මම මේ ආයතනයේ පර්යේෂණ හා පුහුණු අංශය ඔස්සේ උපාධිධාරීන් හට පුහුණු වැඩ පිළිවෙළ කීපයක් ක්‍රියාත්මක කරමින් සිටින්නේ. එහිදී මම ඒ අයට මාධ්‍ය පුස්තකාලයක් පරිහරණය කරන ආකාරය මෙන්ම ඒ හා සම්බන්ධ තොරතුරු පිළිබඳ දැනුම්වත් කරන සම්පත්දායකයකු ලෙස කටයුතු කරනවා.

ඔබ හිතන විදිහට නූතන පරපුර තොරතුරු සොයන්නේ කොහොම ද?

අලුත් පරපුර ගොඩක් වෙලාවට මහන්සි වී තොරතුරු සොයන්න මැළියි. තාක්ෂණය සමඟ බැඳී පරිගණකයෙන් තොරතුරු සොයන්න තමයි වැඩිපුර නැඹුරුවක් තිබෙන්නේ. ඒ වගේම අලුත් පරපුර නව දේවල් ගැන සොයනවා අඩුයි. පොතපත පරිශිලනය කරනවා නම් වැඩි දෙයක් ඔවුන්ට සෙවිය හැකියි. අන්තර්ජාලය ප්‍රබල වුණත් පොතපතේ තිබෙන හැමදේම සොයාගත නොහැකියි. අපි තාක්ෂණය භාවිත කළ යුතුයි. හැබැයි අපි පැතිරුණු බුද්ධි මට්ිටමක් සමඟයි කටයුතු කළ යුත්තේ. හැමවිටම අපි තොරතුරු ගවේෂණය කළ යුතුයි. ඒ සඳහා අන්තර්ජාලය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. උදාහරණයක් විදියට අපි මහාවංශයේ තොරතුරු සොයනවා නම් ඒක ඉන්ටනෙට් එකේ සොයනවාට වඩා එය කියවා තොරතුරු සෙව්වොත් ඒ ගැන වැඩි විශ්වසනීනය බවකුත් අප තුළ ඇතිවෙන්න පුළුවන්.

අද කාලය සීමිතයි. ඒ නිසා නොවේද තරුණ පරපුර තොරතුරු සෙවීම සඳහා අන්තර්ජාලයේ ඇසුර බහුලව ලබන්නේ?

වැඩිපුර මහන්සි වී වැඩිපුර කාලය ගෙන උනන්දු වී කරන නිර්මාණයයි, හදිසියේ කරන නිර්මාණයයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒකට දෙන්න තියෙන පිළිතුර ඒකයි.

නව තාක්ෂණ භාවිතාවන් නිසා කියවන තරුණ පරපුර ඉතා අඩුවෙනුයි දකින්න ලැබෙන්නේ කියන අදහසට ඔබ දක්වන ප්‍රතිචාරය මොකක්ද?

ඔව්. අලුත් පරපුරේ කියවීම හරි අඩුයි. තාක්ෂණයත් සමඟ ගනුදෙනු කරන්නයි වැඩිපුර ඇලුම් කරන්නේ. පුස්තකාලයක කියවන පිරිස කොච්චර අඩු ද? පුස්තකාලයකට ගොස් සාමාජිකත්වය ගෙන කියවන පිරිස හරිම අඩුයි. ලෝකය විශ්ව ගම්මානයක් කියන අදහස තුළ ලෝකය අතැඹුලක් වී තියෙනවා. ඒ විදියට ලෝකයේ තියෙන බොහෝ දැනුම, තොරතුරු එක මිටට එක අහුරට ගත්තට අපට අර සාම්ප්‍රදායික තාක්ෂණයෙනුත් එකපාරටම බැහැර වෙන්න බැහැ. තවමත් ලංකාව වැනි රටක් සියයට සියයක් තාක්ෂණය මතම නොවෙයි යැපෙන්නේ. අපට තිබෙන පහසුකම් අඩුයි. අපේ පරිගණක සාක්ෂරතාව ගත්තොත් තවමත් ඊට පුර්ණ වශයෙන් නැඹුරු වී ඉන්නේ අඩු ප්‍රමාණයක්. තාක්ෂණික මෙවලම් භාවිතයේදී ඇතිවන බාධා වැඩියි. ඒවාගෙ ගැටලුත් සමඟ අර සාම්ප්‍රදායික ක්‍රමවේදයන් හී වටිනාකම බැහැර කළ නොහැකියි.