වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
මම දැන් දිගැසි

නැසිගිය ජ්‍යෙෂ්ඨ ජන ගී කලාවේදී ලයනල් රංවල ශූරීන්ගේ ‘රංවල බළකාය’ හරහා මෙරට කලා ක්ෂේත්රයට දායාද වූ පිරිස් රැසකි. ඒ අතර නව පරපුරේ තවත් එක් තරුවක් ලෙස මෙවර අපේ කතා නායිකාව හැඳින්විය හැකිය. රංවල බළකායෙන් පුහුණුව හා අධ්‍යාපනය ලද ඈ 2017 වසරේ දී ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය තරගයෙන් හා 2019 වසරේ දී හිරු නාලිකාවේ අවුරුදු කුමරිය තරඟයෙන් ද අවසන් වටයේ දොළොස් දෙනා (12) අතරට තේරී පත්වීමෙන් අනතුරුව ඇයට රංගනය සඳහා දොරගුළු විවර විය. දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ඉගෙනුම ලබන ඈ මේ දිනවල බෙහෙවින් ජනපි‍්‍රය වී ඇත. ඒ සිරස රූපවාහිනිය තුළින් සතියේ දින පහේම රාත්‍රී 8.30 එ විකාශය වන ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයේ දිගැසිගේ චරිතයට රංගනයෙන් එක්වීමෙනි. ඇය නමින් සචින්තනි කෞශල්‍යාය. මේ සරසවිය සමඟින් ඈ කළ ප්‍රථම කතා බහයි.
දිගැසි මේ දවස් වල හරිම ජනපි‍්‍රයයි නේද?
ඔව් ඇත්තට මං දැන් සචින්තනි නොවෙයි. හැමෝම මට මේ දවස් වල දිගැසි කියලා තමයි කතා කරන්නේ මම නොසිතු විරු ලෙස දිගැසිට පුදුම විදිහේ ප්‍රතිචාර ලැබෙනවා. ඒක දැන් පේ්රක්ෂකට මතක හිටින චරිතයක් බවට පත්වෙලා හමාරයි.
මං දිගැසි කියලා කතා කරන්න ද සචින්තනි කියලා කියන්නද?
කොහොම කතා කළත් ප්‍රශ්නයක් නෑ දිගැසි වුණත් මම සචින්තනිම තමයි.
ඒ කියන්නේ දිගැසියි සචින්තනියි කිසිදු වෙනසක් නැද්ද?
දිගැසිගේ ඇතැම් දේවල් සචින්තනිට බොහෝ සෙයින් සමානයි.
එහෙනම් සචින්තනි හෙවත් දිගැසිගේ පෞද්ගලික විස්තර කියමු බලන්න?
මම පදිංචි වෙලා ඉන්නේ කිරිබත්ගොඩ පවුලේ අම්මයි, තාත්තායි, නංගියි, මමයි තාත්තා ව්‍යාපාරිකයෙක් අම්මා ගෘහණියක්. නංගී නම් තාම ඉගෙන ගන්නවා.
ගෙදර අය ඔයාට මොන නමින්ද කතා කරන්නේ?
ගෙදර අය සචි කියලා තමයි කරන්නේ. මගේ යාළුවොත් සචි කියලා කතා කරනවා.
එතකොට ඔබ ඉගෙන ගත් පාසල?
කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විදුහල
පාසල් කාලයේ ඉඳලම කලාවට ආසාවක් තිබුණ ද?
ඒ කාලේ පාසලේ දී නර්තනය විෂයක් ලෙස හැදෑරුවා. ඊට අමතරව මම ක්‍රීඩාව පැත්තෙනුත් දක්ෂතා පෙන්නුම් කළා. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව බවටත් පත්වුණා. තව කැඩේට් නිලධාරිනියක් ලෙසත් පුහුණුවීම් ලැබුවා. උසස් පෙළ විභාගය සමත් වෙලා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට 2017 වසරේදී ඇතුළත් වුණා.
දැන් විශ්වවිද්‍යලයේ කීවෙනි වසරේ ද?
මේ යන්නේ අවසන් අවුරුද්ද
සචින්තනි කලාවට ආව හැටි මතක් කළොත්?
රංවල බළකාය හරහා තමයි මට ඒ අවස්ථාව ලැබෙන්නේ සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගවලට මුහුණ දෙන කාලවලදී මම පුර්ණ ලෙස කාලය කැප කරලා අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දුන්නා. ඉතින් ඔය කාලය තුළ කලා කටයුතු බොහෝමයක් මට මඟ හැරුණා.
ඊට පස්සේ?
මම ජාතික රූපවාහිනයේ හා හිරු රූපවාහිනියේ අවුරුදු කුමරිය තේරීමේ තරග වලට ඉදිරිපත් වුණා. ඒ අවස්ථාවලදී මම අවසන් වටයේ දොළොස් දෙනා (12) අතරට තේරුණා. එතැනින් පස්සේ තමයි මට රංගනයට අවස්ථාව ලැබිලා කලාවේ ගමන මේ විදිහට එන්න ලැබුණේ.
කියා දෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයේ ඔබට රංගනය සඳහා අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
මට මේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක ධනුෂ්ක රත්නායක අයියා තමයි දිගැසි කියන චරිතය සඳහා කතා කරන්නේ. මං මීට පෙර ධනුෂ්ක රත්නායක අයියා ගැන අහලා දැකලා තිබුණට මේ විදිහට ඔහුම මට කතා කරලා මේ වගේ අවස්ථාවක් ලබාදෙයි කියලා හිතුවේවත් නෑ. ඔහු මට කතා කරලා මේ අවස්ථාව ලබා දුන්න එක ගැන ඇත්තටම සතුටුයි.
කවුද මේ දිගැසි කියලා කියන්නේ?
අම්මත් නැතුව සාමාන්‍යයෙන් පොඩි කාලේ ඉඳලම තාත්තත් එක්කම හැදිලා වැඩිලා මේ වන විටත් තාත්තත් එක්කම ජීවත්වෙන දුවකගේ චරිතයක්.
නාට්‍යයේ හැටියට ලොකූ හෙවත් නිර්වාන් ස්නේහාට අයිති වෙයි ද නැතිනම් දිගැසිට අයිති වෙයිද?
ඒක නම් උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක් මම දන්නේ නෑ. ඒ ගැන හරියටම කියන්න. අපි ඉස්සරහට ටෙලි නාට්‍යය බලමු එතකොට ඒ ගැන දැන ගන්න පුළුවන් වේවි.
මේ ටෙලි නාට්‍ය රූගත කිරීමේදී ඔබට සිදු වූ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති නේද?
ඔව් අමතක නොවන දේවල් නම් කිහිපයක්ම තිබුණා. මේ ඉන් එකක්. මට මේ ටෙලි නාට්‍යයේ එක් අවස්ථාවක් තිබුණා ප්‍රධාන පාරේ රූගත කිරිමක් ඒ කොරෝනා අවදානම උග්‍රව පැතිර ගිය දවස් කිහිපයේ. සාමාන්‍යයෙන් මාස්ක් එක නැතුවම තමයි රූගත කිරීම් කරන්න පටන් ගත්තේ. පස්සේ මේක දැකපු පොලිස් නිලධාරියෙක් මං ගාවට ඇවිල්ලා ‘මොකද මේ කෝ මාස්ක් එක තමුන්ට මදිවට අනිත් අයටත් බෝ කරන්න හදන්නේ’ කියලා දොස් කීවා. එයා දන්නේ නැහැ මේක ටෙලි නාට්‍යයක රූගත කිරිමක් කියලා පස්සේ එයා ඒක දැන ගත්තාම එතැනින් පිටවෙලා ගියා.
සචින්තනි මේ වන විට වෘත්තීය රංගන ශිල්පිනියක්ද?
නැහැ මම දැනට පෞද්ගලික විශ්වවිද්‍යාලයක සහය කථිකාචාර්යවරියක් ලෙස වැඩ කරනවා.
සචින්තනිට මෙතෙක් ලැබුණු ඉස්සරහට රඟපාන්න බලාපොරොත්තුවෙන් ඉන්න චරිත එහෙමත් තියෙනවාද?
එකම විදිහේ ඒවා නොවී විවිධ මට්ටමේ චරිත රඟපාන්න කැමැතියි. මම මීට පෙර රඟපෑ මුතුලෙන්දොර ටෙලි නාට්‍යයේ සිතුලිගේ චරිතය, ලක්ෂමන් පුෂ්ප කුමාර මහතාගේ ධවල රාක්ෂ ටෙලි නාට්‍යයේ ඊෂ්වරී කියන දෙමළ චරිතය වගේම දිගැසි යන මේ චරිත එකිනෙකට වෙනස් ඒවා. ඒ අයුරින් දිගටම වෙනස් චරිත කරන්න ලැබෙනවා නම් මං වඩා කැමතියි.
දැන් ඔයාගේ වයස කියන්න කැමතිද?
ඔව්. කැමැතියි මට වයස අවුරුදු විසි හතරයි. (24)
සචින්තනි මේ වන විට පෙම්වතියක් ද?
තවම නෑ.
ඇයි තවම ඒකට ප්‍රමාද?
මට තවම සුදුසු කෙනෙක් ඒ සඳහා හමුවුණේ නෑ.
ඇත්තටම තවම එහෙම කෙනෙක් ඔයාට හොයා ගන්න බැරි වුණාද? බොරු නේද කියන්නේ?
නෑ බොරු නෙවෙයි මේ ඇත්තමයි කියන්නේ මට තාම එහෙම කෙනෙක් නෑ. ඉස්සරහට මට ඒ වගේ කෙනෙක් ලැබුණොත් ඔයාලගේ පත්තරේට මුලින්ම කියන්නම්
කලාවේ නිරත අයෙක්ද වෙනත් ක්ෂේත්රයක අයෙක්ට ද ඔබේ වැඩි කැමැත්ත?
ඇත්තටම මට එහෙම කියලා වෙනසක් නෑ. වෙනත් ක්ෂේත්රයක අයෙක් වුණොත් වඩා හොඳයි කියලා හිතෙනවා.