නරකම මංකොල්ලය සිහින මංකොල්ලයයි

නාට්‍ය‍ෙව්දී සචිත්‍ර රාහුබද්ධ
ජුනි 1, 2023

සචිත්‍ර රාහුබද්ධගේ නවතම වේදිකා නාට්‍යය වෙන්නේ ‘ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය’. එය කාන්තාවන් 09 දෙනෙකු මූලික කරගෙන විහිද යන කතාවක්. විවිධ කොල්ලයන් ගැන අහලා තිබුණත් මල් කොල්ලයක් ගැන අහන පළමු වැනි වතාව. මේ ගැන සචිත්‍ර මෙහෙම පැහැදිලි කළා.

පසුගිය කාලයේ ඒ කියන්නේ 2019 පස්සේ අපට සමාජ, දේශපාලන, ආර්ථික ප්‍රශ්නවලට එකපිට එකපිට මුහුණ දෙන්න වුණා. පාස්කු ප්‍රහාරයෙන් ආරම්භ වුණාට පස්සේ කොරෝනා, අරගලය, දේශපාලන අරගලය මේ වගේ දේවල්වලින් පස්සේ තාම අපි ඉන්නේ අස්ථාවරත්වයක. පසුගිය කාලයේ අපේ රටේ මිනිස්සු එක එක ආකාරයකට පීඩනයට පත් වෙන්නට පටන් ගත්තා. අපි දූපතක ඉන්නේ. අපට පැනලා දුවන්න තැනක් නැහැ. කොහෝ ගියත් මේක ඇතුළේ තමයි අපට ඉන්න වෙන්නේ. මේක ඇතුළේ මිනිස්සුන්ට එල්ල වන පීඩනය නිසා ඔවුන් එක්තරා අස්වාභාවික විදියට හැසිරෙන්න පටන් ගන්නවා.

 

අරගලයත් එහි එක් ප්‍රතිඵලයක්?

ඔව්. එතනදි මේ වගේ තැනකට මිනිස්සු ගෙනාවේ මොකක්ද? ඔවුන්ට ඉවසන්න බැරි පීඩනය. ඒ හැම පැත්තකින්ම එල්ල වුණු පීඩනය නිසා මිනිස්සුන්ට එළියට බහින්න වුණා. ඒ විදියට අස්වාභාවිකව එළියට බහින්න වුණාට පස්සේ සිදු වුණු දේවල් හරි ද වැරැදිද කියලා අපට හිතාගන්නවත් බැහැ. පොලිස් බැරියර් එකක් කඩාගෙන යන එක වැරැදියි කියලා අපි දන්නවා. හැබැයි ඒ මොහොතේ ඒක හරිද වැරැදිද කියන එක අපිට හරියටම කියන්න තේරෙන්නේ නැහැ. ඒ වගේ ම එහිදි මිනිස්සු මේ සිස්ටම් එකේ සමහර තැන් කුඩු කරලා පෙන්නුවා අපි මේකට කැමැති නැහැ කියලා; අපට ජීවත් වෙන්න අපහසුයි කියලා. එහෙම වුණත් අපේ රටේ මිනිස්සු මහ ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවම වශයෙන් තමන්ගේ ජීවිතය සාමාන්‍ය අයුරින් පවත්වාගෙන යන්න අවශ්‍ය යටිතල පහසුකම් ටිකවත් ලැබේවි කියලයි ඔවුන් සිතන්නේ. ඒත් මේවා ලැබෙන්නේ නැහැ.

මිනිස්සු අස්වාභාවික විදියට හැසිරෙන්න පටන් ගත්තේ ඒ නිසා ද ?

ඉහත කියන ලද සියලු කාරණා ඊට හේතු වුණා. ඒ වගේ ම බුද්ධිමත් මිනිස්සු කල්පනා කළේ මේ ශිෂ්ටත්වය කියන දෙය හැදුවේ කවුද? කියලා. එහෙම බලන විට දේශපාලනය හැදුවෙත් අපි. පාර්ලිමේන්තුව හැදුවෙත් අපි. ප්‍රජාතන්ත්‍රවාදය හැදුවෙත් අපි. පොලිසිය හැදුවෙත් අපි.

එහෙම වුණත් හැමෝම බුද්ධිමත් මිනිස්සු නොවෙයි නේද?

මිනිස්සු එක එක මට්ටම්වල අය ඉන්නේ. ඔවුන්ගේ කියැවීම තියෙන්නේ එක් එක් මට්ටම්වල. ඔවුන් ඉන්නේ විවිධ තලවල. මොකක්ද මේ වෙන්නේ කියලා මිනිසුන්ට පැහැදිලි අදහසක් නැහැ. අපිට දැන් හොඳට ජීවත් වෙන්න පුළුවන් ද? නැත්නම් ඒ අමාරුකම්වලට අපි පුරුදු වෙලා ද? මේක මිනිසුන්ට තේරෙන්නේ නැති තත්ත්වයක්. මේ වගේ තත්ත්වයක මොකක්ද මේ සිද්ධ වෙමින් පවතින්නේ කියලා සංකේතාත්මකව පොඩි සිද්ධියකින් පෙන්වා දෙන්නයි මා මේ නාට්‍යය නිර්මාණය කළේ.

‘ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය’. ඇෆ්‍රොඩයිට් කියන්නේ දෙවිවරුන්ගේ නමක් නේද?

ග්‍රීසිය කියන්නේ බහුදේවවාදය තිබුණු රටක්. එහි සියුස්, ඇෆ්‍රොඩයිට්, ප්‍රොසයිඩර්, ඇතීනා කියලා එක එක දේවල්වලට අධිපති දෙවිවරු හිටියා. ප්‍රොසයිඩර් කියන්නේ මුහුදට අධිපති දෙවියා. හේඩීස් කියන්නේ පරලොවට අධිපති දෙවියා. ඒ වගේ කාන්තාවට, ප්‍රේමයට, ආලයට, ශෘංගාරයට අධිපති දේවතාවිය ලෙස ඒ අය සැලකුවේ ඇෆ්‍රොඩයිට්.

මේ වේදිකා නාට්‍යයට ඇෆ්‍රොඩයිට් කියන නාමය භාවිත කරන්නේ ඇයි?

අපි දන්නවා මුල් කාලයේ ලෝකේ හැමතැනකම කාන්තාවන්ට මේ කලාව ඇතුළේ, විශේෂයෙන්ම නාට්‍ය කලාව ඇතුළේ තැනක් ලැබුණේ නැහැ. ග්‍රීසියෙත් මුල් නාට්‍යවල ගැහැනු හිටියේ නැහැ. ඉන්දියාවෙත් මුල් නාට්‍යවල ගැහැනු හිටියේ නැහැ. ජපානයෙත්, චීනයෙත් මුල් නාට්‍යවල ගැහැනු හිටියේ නැහැ. අපේ රටේත් ඒ විදියමයි. මේක එක තැනක වුණා නම් හිතන්න පුළුවන්. එහෙනම් මේ හැමතැනම ගැහැනු නැත්තේ මොකද? එහෙම වුණත් කාන්තාවන් ද්විතීක පුරවැසියන් ලෙස සලකන ලෝකයක මුලින්ම කාන්තාව කියන අයිඩියල් එකක්, සිම්බල් එකක් ගොඩනඟන්නේ ග්‍රීසිය. ග්‍රීසිය ඉතා බුද්ධිමය අතින් දියුණු රටක්. අපි දන්නවා මීට අවරුදු 3000කට කලිනුත් එහේ ප්‍රජාතන්ත්‍රවාදය තිබුණා. පළමුවෙන්ම කාන්තාව පිළිබඳ නිදර්ශකයක්, ලකුණක්, සලකුණක් තිබ්බා. ඒක නිසා තමයි අපි ගැහැනු ගැන කරන වැඩේට ඇෆ්‍රොඩයිට් කියන නම පාවිච්චි කළේ. පසුකාලීනව ඔය ඇෆ්‍රොඩයිට්ට තමයි රෝමයට එනවිට වීනස් කියලා නම වෙනස් වෙන්නේ. වීනස් කිව්වම කාන්තාව පිළිබඳ සංකේතයක්. ඒ නිසයි ඒ නම ගත්තේ.

එහෙම නම් එයට මල් කොල්ලය සම්බන්ධ වෙන්නේ කොහොමද?

මේ වචනය අලුත් වචනයක්. අපි අහලා තියෙන්නේ මංකොල්ලය කියලා මිසක් මල් කොල්ලය කියලා නොවෙයි. අපට වෙන්න පුළුවන් නරකම මංකොල්ලය තමයි සිහින මංකොල්ලය. මිනිසුන්ගේ බලාපොරොත්තු, අරමුණු මංකොල්ල කන එක. සල්ලි මංකොල්ල කෑවොත් හොයන්න පුළුවන්. රටක මිනිසුන්ගේ සිහින මංකොල්ල කාලා; ඝාතනය කරලා; වෙන මිනිස්සු ඒවා අරගෙන ජීවත් වෙනවා. ඒ සිහින වෙනුවෙන් වියදම් කරන්න තියෙන ආර්ථිකය අරගෙන වෙන මිනිස්සු ජීවත් වෙනවා. එවිට මේ සිහින මංකොල්ල කෑමට විරුද්ධව, ඒ ක්‍රියාවලියට විරුද්ධව, කාන්තාව කියන අර්ථයෙන් තමයි අපි ‘ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය’ කියන නම භාවිත කළේ.

මෙහෙම කියන විට අපේ මතකයට එන්නේ ලයිසිස්ට්‍රාටා?

මීට වසර තුන්දහසකට කලින් ලයිසිස්ට්‍රාටාත් ස්ත්‍රිය වෙනුවෙන් සටන් කළා. ස්ත්‍රියගේ අයිතිය වෙනුවෙන් සටන් කළා. ඒ කාලයේ ලයිසිස්ට්‍රාටා කිව්වා ඇයි උඹලා යුද්ධ කරන්නේ? උඹලට නොවෙයි, උඹලට වැඩිය අපට තමයි හොඳට යුද්ධ කරන්න පුළුවන්. උඹලට වඩා හොඳට අපට පුළුවන් ආර්ථිකය හසුරුවන්න. එවිට ඒ අය අහනවා කොහොමද උඹලට එහෙම කරන්න පුළුවන්? එවිට ඔවුන් පවසන්නේ ඒ අපි ගේ ඇතුළේ වැඩ කරන විදියට, ගේ ඇතුළේ කළමනාකරණය කරන විදියටයි ඒක කරන්නේ කියලා. අපි උයන එක කළමනාකරණය කරනවා. අපිට පුළුවන් සළුවක් කළමනාකරණය කරන්න. අපට පුළුවන් කපු අරගෙන, වියලා, කැටලා සළුවක් මවන්න. මේ ක්‍රමවේද රාජ්‍ය පාලනයට පාවිච්චි කරන්න පුළුවන් කියලා ඔවුන් උත්තර දෙනවා.

ඒ කියන කාරණා කොහොම ද ‘ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය’ට සම්බන්ධ වෙන්නේ?

එතකොටයි අපට හිතෙන්නේ අපට දේශීය වශයෙන් ඉතා හොඳ කළමනාකරණ සංකල්ප තිබුණා නේද කියලා. විශේෂයෙන්ම ගෙවල් ඇතුළේ. ඒක විශේෂයෙන්ම මාතෘ මූලිකව ආව එකක්. අම්මට ඉතුරු කරන්න පුළුවන් වුණා. තාත්තාගේ පඩිය කීයක් වුණත් මුළු පවුලම කළමනාකරණය කරන්න ඈට පුළුවන් වුණා. ඒත් පුරුෂයන් විදියට අපිට ඒක කරන්න බැහැ. අපි ඒ තරම්ම නාස්තිකාරයි. දැන් හිතන විට අපේ අම්මලා, ඒක කළේ කොහොම ද කියලා අපට හිතාගන්නවත් බැහැ. කොහොම හරි ඔවුන් අරපිරිමැස්මෙන් ඒ දේවල් කරන්න දැනගෙන හිටියා. මේ දේවල් ගැන හිතලා බලන විට අපට මෙහෙම හිතෙනවා. අපේ ලංකාවේ තිබුණු මේ ස්වාභාවික ඥානය, ජන විඥානයේ තිබුණු ලක්ෂණ අපේ රටේ ආර්ථිකය ගොඩනඟන්න හරි දේශපාලනය සිතියම හදන්න හරි ගත්තේ නැත්තේ ඇයි කියලා. ඒත් ඒ වෙනුවට අපි ගත්තේ බටහිර සංකල්ප විතරයි. එහෙම නොවී එකතැනකදි බටහිර සංකල්පවල තියෙන හොඳ දේවලුත්, දේශීය සංකල්පවල තියෙන උණුසුමත් එකතු කරලා අපේ ම කියලා දෙයක් අපට හදා ගන්න පුළුවන් වුණා නම්, අපේ රට මේ වනවිට කොයිතරම් වෙනස් වේවි ද? එහෙම වුණා නම් වර්තමානය වනවිට මේ තරම් අර්බුදයකට අපි පත්වෙන එකක් නැහැ. එයයි අපි මේ මඟින් කතා කරන්නේ.

ඒත් මේ ක්‍රමය පිරිමි පාර්ශ්වය විසින් නිර්මාණය කළ එකක්?

ඔව්. පිරිමි හැදුව මේ ක්‍රමය ඒ කියන්නේ මේල් ඩොමිනේටඩ් නේ බැලු බැල්මටම. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ගත්තත් ඒ දෙසිය විසිපහෙන් ගෑනු කී දෙනා ද ඉන්නේ. දහයක් වත් නැහැ. ඒ දහදෙනෙත් සක්‍රීයව මේකට දායක වෙනවා කියලා පේනෙන්න නැහැ. එතනදි එයාලා දායක වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් ඒ අයට දායක වෙන්න දෙන්නේ නැද්ද? කියලා කියන්නේ නැහැ. ඒ කාරණය වුවමනා නැහැ. අපේ රටේ බැංකු ක්ෂේත්‍රයේ එහි ප්‍රධාන තනතුරු ටික ගන්න, එහෙම නැත්නම් හමුදාවේ ප්‍රධාන තනතුරු ටික ගන්න, මේ හැමදෙයක්ම ගත්තට පස්සේ පෙනෙන දෙයක් තමයි මේ ක්‍රමය පිරිමි විසින් හදපු ක්‍රමයක් බව. මේ බැංකු ක්‍රමය හදලා තියෙන්නේ පිරිමි. මේ ආර්ථික ක්‍රමය හදලා තියෙන්නේ පිරිමි.

මේ පිරිමි හදපු ක්‍රමයේ හරි නම් මේ තරම් අවුලක් තියෙන්න විදියක් නැහැ නේද?

ඇත්තටම නැහැ. එහෙම නම් එහෙම අවුලක් තියෙනවා නම් මොකක් හරි ටිකක් අපට මඟ හැරිලා තියෙනවා. එහෙනම් මෙවැනි මඟ හැරුණු තැන්වලට ගැහැනු විදියට මොනවද කරන්න පුළුවන්? තියෙන තැන් ටික වෙනස් කරලා පෙන්වන්න පුළුවන් ද? ස්ත්‍රියට මේ වෙනුවෙන් කරන්න පුළුවන් දෙය සහ ඒකට ඉඩකඩක් දෙන්න ඕන කොහොමද? ඒක ඔවුන් ලබා ගන්න ඕන ද? සමහර විට ඒක ඔවුන්ට බලෙන් ලබා ගන්න වේවි ද දන්නේ නැහැ. හරියට අරගලයකින් වගේ.

ඒ කියන්නේ ‘ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය’ මඟින් ඔබ පවසන්න උත්සාහ කරන්නේ ඒ කාරණය ද?

ඇත්තටම ඔව්. මේ නාට්‍යයේදි අපි කියන්න උත්සාහ කරන්නේ ඒ වගේ පිරිසක්, විශේෂයෙන් ගැහැනු පිරිසක් මේ පිරිමි විසින් හදපු ක්‍රමයේ යම්කිසි අඩුපාඩු තියෙන තැන් ටිකක් කුඩු කරලා පෙන්වනවා. ඒකට අපි විරුද්ධයි. ඒක අපට අපහසුයි දරාගන්න. ඒකෙන් අපේ සිහින ඉටු වෙන්නේ නැහැ. ඒකෙන් මිනිහෙක් කාලාබීලා මැරෙන්නේ නැතිව ජීවත් වුණොත් ඇති ද? ජීවත් වෙනවා කියන්නේ ඒක ද? කියලා ප්‍රශ්න කරනවා. හරියට කරන වෘත්තියට ගෙවීමක් කරනව ද? ඔවුන් තෘප්තියෙන් ජීවත්වෙනවා ද? විශ්‍රාම ගියාට පස්සේ ඔවුන්ගේ ජීවිතවලට මොක ද වෙන්නේ? වගේ මේ මොහොතේ මුහුණ පාලා තියෙන ගැටලුවේ අප දකින විදිය හා ඒවා අපි ලිහා ගන්න විදිය, ඒවා අපි ලිහලා පුංචි සංකේතයකින් පෙන්වන විදියයි මේ නාට්‍යයෙන් පෙන්නලා දෙන්න උත්සාහ කරන්නේ. මේ සඳහා අපි භාවිත කළේ මෙතෙක් වේදිකාවේ භාවිත නොකරපු වෙනස්ම ක්‍රමවේදයක්.

‘ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය’ට සම්බන්ධ වන පිරිස කවුරුන් ද?

කෞශල්‍යා ප්‍රනාන්දු, චාන්දනී සෙනෙවිරත්න, නිල්මිණි සිගේරා, වගේ ප්‍රවීණ රංගන ශිල්පිනියන් කිහිපදෙනෙකුම මේ සඳහා රංගන දායකත්වය ලබාදෙනවා. ඔවුන් පළමුවැනි නාට්‍යයේ රඟපාන්නේ මම ඉපදෙන්නත් අවුරුදු දහයකට කලින්. මට වඩා විශාල පුළුල් පරාසයක අත්දැකීම් තියෙන, ජීවන පරිචයක් සහ කලාවේ පරිචයක් තියෙන ඔවුන් තිදෙනා වගේ ම සමාධි ලක්සිරි, සුජානි මේනකා, අමා විජේසේකර යන ඊට පසු පෙළේ සිටින රංගන ශිල්පිනියන් කිහිපදෙනාත් මේ නාට්‍යයේ රංගනයෙන් දායක වුණා. ඒ වගේ ම නවකයන් ලෙස ගැනෙන උමා අසේනි, තුෂී සමරසේකර, රන්දි කළුආරච්චි කියන රංගන ශිල්පිනියන් කිහිපදෙනාත් ඔවුන්ට එකතු වුණා. ඔවුන් නව දෙනායි මේ නාට්‍යයේ රංගනයෙන් දායක වුණේ. රංගාලෝකයෙන් රංග සමරකෝන්, වේශ නිරූපණයෙන් රන්දික ටිෂාන්, ඇඳුම් නිර්මාණයෙන් අමා විජේසේකර, සංගීතයෙන් ලහිරු මාඩිවිලත්, පසුතල නිර්මාණය හා පිටපත හා අධ්‍යක්ෂණය මමත්, නිෂ්පාදනයෙන් තිලක් අබේසිංහත් මේ කටයුත්තට සහයෝගය දැක්වූවා.

[email protected]