ස්වභාව සෞන්දර්යයෙන් අනූන මධ්‍යම පළාතේ ගලේවෙල ප්‍රදේශයේ හැදී වැඩුණු ඔහු තවමත් ගමේ මතක සමඟ සිදාදියේ ජීවත් වන්නෙක්.ගසක කොළයක් නටුයෙන් මිදී හෙමින් බිම වැටෙන දෙස බලා ගෙන එහි සොඳුරු බව ඔහු ලියන කවිවල මෙන්ම ගද්‍යයේත් මුසුවී ඇති බව මට දැනේ. සුළඟට නැමෙන කරළකත් බරට නැවෙන කරළකත් ඇති වෙනස ඔහු අපිට කියා දෙමින් සිටී. ඒ සොඳුරු අත්දැකීම් කලාව ලෙස ඔහු හඳුනා ගන්නේ පසු කාලයේදියි. පෑනෙන් හරඹ කර අත්පත් කරගන්නා ඔහුගේ බොහෝ නිර්මාණයන් තුළ ගැමි සංස්කෘතිය ආත්මීය කර ගනිමින් එය කියවන පාඨක ඔබට තේරුම් කර දෙන්නේ සියල්ලම එම නිමවුමේ පාත්‍රවර්ගයන් කර ගනිමින්. අඳුරක එළිය එළියක අඳුර සේම යක් බෙරයේ මධුර හඬ තුළ ආලවන්ත වූ ගුප්ත ආරක් ඇති බව සිතන්නට අපට ඇරියුම් කරන නව්‍ය නිර්මාණයක් වන “ස්වප්නේශ්වර” කෘතිය ඔහු එළිදැක් වන්නේ මේ නොබෝදා. එදා මහවැලි කේන්ද්‍රය අතුරු සිදුරු නැතිව ගියේ බොහෝ කලකට අමතක නොවන යක් බෙරය හා ගම් මඩුවේ රඟ අපට කියා දෙමිනි. මෙවර අප හා පිළිසදරට එක්වන්නේ ඔහුයි. ඒ ප්‍රවීණ සාහිත්‍යධරයකු වන චම්මින්ද වෙලගෙදර.
ඔබේ නිර්මාණය ට “ස්වප්නේශ්වර ” කියා නම යොදන්න හේතු වුනේ?
මගේ නිර්මාණය තේමා කරගන්නේ යක්ෂ,භූත හා දෙවියන් පිළිබඳ තිබෙන්නාවු නොපෙනෙන පැත්තක ඇතැයි කියන යම්කිසි සංජානනයක්.මේ පොත එය සොයාගෙන යාමට කරන උත්සාහයක්.මේ පොතෙහි ප්‍රධාන චරිතය වන සුන්දරමාන ඇත්තන් ඇසුරු කරන්නේ භූත,යක්ෂ,දෙවිවරු වැනි අයයි.භූත වශයෙන් අපි සලකන පියවි ඇසට පේන්නේ නැති කෙනෙක් ගැන කතා කිරීම,ඒත් භූත කියන්නේ ඇති යමක් යන්නයි. ඒ අයගේ හැසිරීම් රටාව සහ ඔවුන් කරන කියන දේවල් ගැන කතා කිරීම,ඒ සිදුවීම් ගවේෂණය කිරීම සහ ඒ ගවේෂණය අතර ඔවුන්ගේ හැසිරීම් අතර තියෙන සිදුවීම්වල සන්නිවේදන අර්ථය කුමක් ද යන්න සොයාගෙන යාමයි. එහිදී මම හිතුවා එයට සුදුසුම නාමය ධම්මපදයේ ගාථාවක් ඇසුරින් සොයාගන්න.සිහිනයේ සරන්නා ලෙසින් අර්ථගන්වන
” ස්වප්නේශ්වර “.එකයි මගේ පොතට ස්වප්නේශ්වර කියන නම යෙදුවේ.
මෙවැනි නිර්මාණයක් කිරීමට අභිප්‍රේරණයක් ඇති වුණේ කොහොමද ?
මෙම නිර්මාණය බිහි වෙන්නේ මම කරන ලද පර්යේෂණ අධ්‍යයනයක ප්‍රතිඵලයක් වශයෙන්.
භූතාපසරණ අස්පර්ශ්‍ය ලක්ෂණයන්හි ඇති සන්නිවේදනය ගැන තමයි මම මෙහිදී කතා කරේ.මේ මාතෘකා සමහර විට කෙනෙකුට එකවර තේරුම් ගැනීමට අපහසු විය හැකිය. අපි මෙසේ කියමු. ඇදුරෙක් විසින් ආතුරයෙකුගේ අතට නුලක් බැදීමෙන් හෝ දෙහි ගෙඩියක් කැපීම තුළ ඔහු එයින් සුවපත් වෙනවා කියා අප අසා තිබෙනව. දැක තිබෙනවා. ඒ සුවපත් වීම තුළ ඔවුනොවුන් අතර සිදුවන අපට නොපෙනෙන සන්නිවේදනය තමයි මම සෙව්වේ. ඒ සෙව්ව දේ අවසානයේ දී මම හිතුවා සාමාන්‍ය පාඨකයාටත් අවබෝධ කර ගැනීම සඳහා නවකතාවක් මාර්ගයෙන් එය පැවසීම හොඳයි කියලා. ඒ අනුව තමයි ” ස්වප්නේශ්වර ” නම් වු නවකතාව, මගේ පර්යේෂණ අධ්‍යයනයක එක් පරිච්ඡේදයක් වශයෙන් ඉදිරිපත් වන්නේ.
මෙම කෘතිය ලිවීමේදී ඔබ විවිධ විෂය ක්ෂේත්‍රයන් මෙන්ම ප්‍රාදේශීය ව්‍යවහාරික භාෂාවන් අපූර්වට ග්‍රහණය කර ගන්නා බව පේනවා ?
එදා නොදියුණු මිනිසුන් හෙවත් ආදී වාසී මිනිසුන් යැයි කියන අපේ ඉපැරැණි ඥාතීන්ගේ ගුප්ත විද්‍යාවක් යැයි හඳුන්වන භූතාපසරණ විෂයෙහි දියුණුව ගැඹුරින් සොයා යාමට මම උත්සාහ කළා. ඔවුන්ගේ එම ඇරැඹුම, නාට්‍යාත්මක හැසිරීම්, සාහිත්‍යාත්මක භාෂාව, ඔවුන්ගේ මන්ත්‍රවල තිබුණු පද සංඝට්ටනය, ඒ තුළ සිතේ ඇතිවන කම්පනය මඟින් මිනිසුන්ගේ ලෙඩ රෝග සුවපත් වීම හා භීතිය නැති කර ගැනීම වැනි දේවල් කරගෙන යෑමට ඔවුන්ගේ නැටුම් ශිල්පය ඉවහල් වූයේ කොහොමද, ඒ නැටුම්වලට බලපෑවේ මොනවාද කියන දේ සොයා ගෙන ගියා. ඒක තමයි මේ විෂය යටතේ මම හදාරපු විවිධ කේෂත්‍ර. මේවත් එක්ක ගමේ ජීවත් වූ තුන්කට්ටුවක් හිටියා. ගමේ වෙදමහත්තයා,
ගමේ නැකති රාල, ගමේ කට්ටඩිරාල යන අයත් එක්ක ඇසුරේ ගිය මේ ගමනේදී යාතුකර්ම එක්ක මේ අභිචාර කලාව බෙහෙවින් ගැඹුරු වූ විෂයක් නොවේද කියන එක මෙම පර්යේෂණයෙන් මට තේරුම් ගන්න පුළුවන් වුණා.
මෙහිදී පහතරට ගුරුන්නාන්සේලා විසින් භාවිතා කරන භාෂාව ඔවුන්ගේ අනන්‍යතාව බවට පත් කරමින් ඒ භාෂාව ඔවුන් ළවා හසුරුවමින් ඒ අයම උඩරට පැමිණීමෙන් පසු උඩරට ජනයා සමඟ කරන සන්නිවේදනය තුළින් පහතරට අනන්‍යතාව ඉස්මතු කොට ඒ නිත්‍ය ගරුත්වය ඔවුන් කරා දෙන්න පුළුවන් කියන හැගීම මට ආවා. එක්දාස් අටසිය ගණන්වල උඩරට ජනතාව භාවිතා කළ භාෂාව ඔවුන්ට භාවිතා කිරීමට හැරීමෙන් ඔවුන්ගේ අනන්‍යතාව පිළිඹිබු කරන්න උත්සාහ ගත්තා. එයට හේතුව මේ ප්‍රාදේශීය භාෂාවන් අද ක්‍රම ක්‍රමයෙන් වැළලී යන නිසා. උඩරට හෝ පහතරට එකම ප්‍රාදේශීය භාෂාව ඒ ඒ ගම්මානවලදී විවිධ වූ භාෂා වෙනස්කම් ගන්නවා. එහි හැඩතල වෙනස් වෙනවා. මම යාතුකර්ම වලට සම්බන්ධ වන ගුරුන්නාන්සේලා ඔස්සේ ඒ ඒ ගම්වල අය හදුන්වමින් ඔවුන්ගේ ගමේ භාෂාව නිරූපණය කිරීමට උත්සාහ ගත්තා. මේක මම හිතාමතා කළ අධ්‍යයනයක් වෙනස්කමක්.
” ස්වප්නේශ්වර” කෘතිය සම්පාදනය කිරිමේදී ඔබට දැනුණු අභියෝග මොනවාද ?
මම අභියෝගයක් වශයෙන් සැලකුවේ නුතන පරපුර අද ඩිජිටල් තාක්ෂණයත් එක්කලා ඩිජිටල් සංස්කෘතියක් ඔස්සේ යන සමාජයක මෙවැනි දෙයක් පිළිගැනීමට ඇති අපහසුවක් නෑ කියන එක මට ඔවුන්ට දෙන්න අවශ්‍ය වුණා. එයට හේතුව අද බටහිර හා පෙරදිග ඇතැම් රටවල් ගත්තත් ශාස්ත්‍රීය වශයෙන් ගැඹුරු අධ්‍යයනයක සහ රූපණවේදය වශයෙන් විනෝදාස්වාදය වෙනුවෙන් භූතාපසරණය යොදා ගැනීමේ දැඩි ප්‍රවණතාවක් තියෙනවා. ඒ අතරින් බටහිර වියතුන් මේ විෂයෙහි සත්‍යතාවය ඉතා ගැඹුරින් ගවේෂණය කරනවා. ආදීවාසීන් විසින් ආරම්භ කරන ලද මේ විෂයෙහි ගැඹුර කොයිතරම් දුරට තත්කාලීන සමාජය තුළ කොයිතරම් ලෙඩ රෝග සුවපත් කරන්නට, කොයිතරම් මානසික ව්‍යාධීන් සුවපත් කරන්නට, කොයිතරම් සුන්දරතාවයක් ඇති කරන්නට, කොයිතරම් මිනිසුන් අතර අපේකම බිහිකරන්නට, එසේම කොතරම් දුරට හේතු වන සත්‍ය වූ සාරධර්ම රැසක් නැත්තේ දැයි සොයන්නට මා ඔවුන්ට ප්‍රති අභියෝගයක් කරනවා.
මේ ඔබේ කී වෙනි නිර්මාණය ද?
සමස්ත නිර්මාණ වශයෙන් මගේ 15 හෝ 16 විය හැකියි.
” ස්වප්නේශ්වර” ට ලැබුණු ප්‍රතිචාර කොහොමද ?
විද්වත් සමාජය යැයි කියන්නාවූ හෝ ලංකාවේ විචාර ක්‍රමයේ යම් යම් ප්‍රතිරූප මවාගත් අය ඉන්නාවූ සමාජයක ඔවුන් මේ පොත පිළිබඳ තවමත් කතා කළ බවක් මම දුටුවේ නැත්තෙමි. එහෙත් පොත කියවූ පාඨක ජනතාවගේ හුදී පහන් සංවේගය උදෙසා පොත ඉවහල් වී ඇති බව මට ඔවුන් කරන සම්මන්ත්‍රණ සහ ඔවුන් දක්වන ප්‍රතිචාර වලින් මේ වන විට පසක් වෙලා තියෙනවා. අගනුවර සහ මහනුවර පවත්වපු පොත් දොරට වැඩුම් අතිශය සාර්ථක බව එහි සංවිධායකයන්ගේ මතයයි. ඊට අමතරව මෑතකදී මහරගම ” ම් ඕධධඬඵ කියවන්නන්ගේ සමාජය” විසින් පවත්වපු කතිකාවත ඉතා ගැඹුරු කතිකාවතක මුල පිරීමක් බවට පත් වුණා. ඒ ඔස්සේ මම ඉතාමත් ගැඹුරින් සතුටට පත් වෙනවා. හේතුව එදා මේ සමාජයේ බොහෝ ස්තරයන් නියෝජනය කරන තරුණ හා වැඩිහිටියන් එහි දී අදහස් දැක් වූ නිසා.
මට දෝෂාරෝපණය කිරීමක් කළත් එයත් මම සතුටින් භාර ගන්නවා.මොකද ඔවුන් මගේ පාඨකයෙක් හෝ පාඨිකාවක් වුයේ යැයි ඉන් මා දන්නා හෙයින්. මෙවැනි විෂයන් සහ කැපකිරීමකින් කරන නිර්මාණ කරන අනිත් අයටත් යහපත් වූ ප්‍රතිඵල උදාවීමේ නිමිත්තක් වශයෙන් මම එය සලකමි.
මෙහි එන මේ සුන්දරමාන. ඔබේ සැබෑ ජීවීතේට මුණ ගැසුණු තැනැත්තෙක්ද ?
මට සැබෑ ජීවීතයේදී දකින්න ලැබුණු බොහෝ අය මේ විෂය පිළිබඳ බහු විධ අත්දැකීම්, පළපුරුදු ඇති අය සමඟ මගේ හිතේ බිහිවුණු පුරුෂාර්ථ වලින් බිහි වූ පුද්ගලයෙක් සුන්දරමාන. සමහර විට මගේ පියා සහ එවන් චරිත මගේ ජීවීතයේදී හමු වූ යම් යම් සිදුවීම් සේම ඔවුනගේ ඒ හැසිරීම් රටාවත් මෙයට ගැබ්වෙලා ඇති. සමහර විට මගේ ජීවීතයේ යම් යම් ගැටලුවලට මුහුණ දෙන අවස්ථාවලදී මම ඒ ගැටලු නිරාකරණය කරගත් ආකාරයත් විවිධ වේශවලින් මෙයට ප්‍රවිෂ්ට වී ඇති. මම දකින්නේ මෙය ලෙයින් මසින් හැදී ජීවාත්මක පරිසරයත් සමඟ ගැටෙමින් ඒ පරිසරයේ ආශ්වාස, ප්‍රශ්වාස කරමින් ඒ චරිතාශ්‍රයෙන් බිහි කරන්න උත්සාහ ගත්ත පුරුෂයෙක් වශයෙනුයි සුන්දරමාන මා හදුන්වන්නේ.
” සුන්දරමාන ” වැනි වෙදහෙදකම් මෙන්ම යාතුකර්ම කරන අවංක පාරම්පරික ගුරුන්නාන්සේලා අද සමාජේ විරලයි.රෝගීන් සුවපත් කිරීම කෙසේ වෙතත් මේ ශාස්ත්‍රය තුළින් ඇතැම් පිරිස් මුදල් පරමාර්ථයෙන් පමණක් කටයුතු කරන බවක් දක්නට ලැබෙනවා.ඒ පිළිබඳ ඔබේ අදහස මොකක්ද ?
ඔව් ඔබ නිවැරැදි විය හැකියි මානවිකාවිය.
කවුරු කිව්වත් එදා ශාස්ත්‍රය අද නැහැ කියලා. ඒක 75% කින් 90% කින් සත්‍ය වුවත් ඒ ශාස්ත්‍රය නියම වශයෙන් යෙදෙන ශිල්පීන් අතළොස්සක් හරි අදත් අප අතර ඉන්නවා. ඒ ඉන්න නිසා තමයි මේ සමාජය මේ තරමට හරි බේරීමකට පත්වෙලා ඉන්නේ. ඔවුන්ගේ තිබුණු ඒ ගැඹුරු කැපකිරීම, ඥානමය දායකත්වය සහ ශිල්පීය සම්පත් නිසා තමයි මට මේක ලියන්න පුළුවන් වුණේ. හොද වැඩ කරන පිරිස් අතළොස්සක් උනත් කමක් නෑ ඔවුන්ව ඉදිරියට ගැනීමට දිය යුතු යථා පිළිගැනීම සහ ගරුත්වය දෙන්නට මේ සමාජය පෙලඹුණොත් එය වැදගත්. ඔවුන් එසේ මෙසේ අය නිවෙයි අද. යුනෙස්කෝව විසින් ආරක්ෂා කළයුතු බව පිළිගත් ලෝක උරුම. අස්පර්ශනීය නම්ව උරුම වූ ජාතික සම්පත්.
එදා ගුප්ත ශාස්ත්‍රයට වෘත්තිය ගරුත්වයක් ලැබීම වගේම වෘත්තීය තරගඟකාරී බවක් දක්නට ලැබී නොමැති බව ” සුන්දරමාන සහ නන්දෝරිස් ” වැනි ගුරුන්නාන්සේලාගේ චරිතතුළින් විද්‍යාමාන වෙනවා.අද එවැනි පසුබිමක් සමාජයේ දක්නට තිබෙනවාද?
ඒ දවස්වල මේ ශාස්ත්‍රය හැම එක්කෙනාම ශාස්ත්‍රයක් වශයෙන් පාවිච්චි කළ නිසා තරඟකාරීත්වයක් තිබුණේ නැහැ. මොන ගුරුන්නාන්සේ ගාවට ගියත් ආතුරයන්ට එකම විසඳුම ලබා ගන්නට පුළුවන් වුණා. හේතුව විශ්වාසනීය ගරුත්වයක් ඇති කරගෙන කරපු නිසා.අද මෙවැනි සමාජයක් නැත්තේ අද තියෙන්නේ විවිධාකාරවූ ඒකාධිකාරී වූ වෙළෙඳපොළක්. එහිදී එක එක වෙළෙඳ ලකුණු යටතේ එකම ශිල්පය විකුණනවා. ඒ කරන ශිල්පය නිවැරැදි නම් එය කටින් කට යනවා.ඉස්සර මිනිස්සු කවදාවත් වෙළෙඳ දැන්වීම් මගින් ශාස්ත්‍රය විකිණීමට කටයුතු කරේ නැහැ.ඒ නිසා අද සමාජය වගේ හොරු බිහි වුණෙත් නැහැ.වංචනිකයෝ බිහි වුණෙත් නැහැ. භාගෙට හදාරපු අය “වැඩ්ඩෝ” ලෙස බිහි කළෙත් නැහැ.උදාහරණයක් ගත්තොත් කෙනෙකු පොල් ගෙඩියක් කැරකැවීම, කනප්පුවක් කැරකීම හා ඇවිද්ද වීම වාගේ දේවල් පැරණි ශිල්පීයත්වයේ උතුම් ගුරුන්නාන්සේලාට හාස්‍යජනක දේවල් මිස ඒ අය ඒවා කිසි විදිහකින් මායිම් කර නොගන්නා දේවල්. නමුත් අද බොහෝ දෙනාගේ ගැඹුරු ශිල්පය වෙලා තියෙන්නේ එවැනි දේවල් කිරීම තුළ මිනිසුන් රවටා ගැනීම. එහෙම කරන කොට මට කියන්න තියෙන්නේ අද මේ ශිල්පය හරියට කරන අය මේ ප්‍රචාරණයත් එක්කලා ඥාති සම්බන්ධතා පවත්වන්නේ නැහැ. ඔවුන් කරන වැඩේ නිවැරදියි යන උත්තරය තමයි ඒ ප්‍රචාරණය වෙන්නේ.
“ගම්මඩුව” ඉන්දියාවේ පැවත එන ශාන්ති කර්මයක් ලෙස මේ කෘතියෙහි සදහන් වෙනවා. ඒ ඇරුණහම ලාංකීය සංස්කෘතියට අනන්‍ය වූ සංස්කෘතික උරුමයන් නැත්ද?
ලංකාවේ අභිචාර විධි වලින් සමන්විත වු දේශීය නිර්මාණය වන්නේ කොහොඹ කංකාරිය යි. අනිත් සියලුම දේවල් ආවේ දකුණු ඉන්දියාවෙන් හා කේරළයෙන්. නමුත් අපේ රටට ආවේණික වූ කිරි ඉතිරවීම, මුට්ටි නැවීමේ මංගල්‍යය,හුරුළු මංගල්‍යය වැනි ප්‍රාදේශික මට්ටමෙන් බිහි වූ පුද සත්කාර ක්‍රම තියෙනවා. ලංකාවේ එසේ වන්නට හේතු කිහිපයක් තියෙනවා. ලංකාවේ පුදපූජා ඇතිවුණේ දේව ධර්මය හෝ පූජා මුල් කරගෙන නෙවෙයි. බුදු දහම මුල් කරගෙන ආ ඇති වූ බිලි පූජාවලින් තොර වූවක්. ඉන්දියාවේ බුද්ධාගම අබිබවා දේව ධර්මය ඉදිරියට ආවා. ඒ නිසා දෙවියන් එක්කලා දෙවියන් පිදීම, බලි බිලි යාග කිරීම ඉතා ගැඹුරින් තිබුණා. එහෙම දෙයක් ලංකාවේ සිද්ධ වුණේ නැහැ. ලංකාවේ ගැඹුරින් ආදී වාසීන්ගෙන් පස්සේ දේශීය වශයෙන් සැලකුණේ බලිය පමණයි. හේතුව බලිය කරන්නේ සම්පූර්ණයෙන්ම බුදු ගුණ ගායනා මතින් බුදුන් වහන්සේගේ ගුණ බලයෙන් ආතුරයන් සුවපත් කර ගැනීම. එම නිසා මේ ශිල්පයෙහි විශේෂ දියුණුවක් ඇති වුණේ නැහැ. ඒ නිසා ලංකාවේ අපේ දේශීය යක්කම වශයෙන් ගන්නේ කොහොඹ කංකාරිය.
මෙවැනි ශාස්ත්‍රයක් සංරක්ෂණය වීමට නම් සමාජයෙන් විය යුත්තේ කුමක්ද ?
මේ ශාස්ත්‍රය දැනට සලකන්නේ අස්පර්ශනීය උරුමයක් වශයෙන්. ඒ නිසා තමයි මෙවැනි ශිල්පීය ක්‍රම අස්පර්ශනීය උරුමයක් වශයෙන් රටවල්වල ආරක්ෂා කළ යුතු යැයි 2003 දී යුනෙස්කෝ ප්‍රඥාප්තියේ සඳහන් වන නීතියක් බවට පත්වුණේ. ඒ අනුව ලංකාවත් ඒ රටවල්වලට අයිති වෙනවා. මෙය අපි ආරක්ෂා කල යුත්තේ ඊට වඩා ගැඹුරින්. මම හිතන්නේ මේ විෂය මරණ මංචකයේ තබා එයට පුද පූජා පවත්වනවාට වඩා මෙය ලෝක උරුමයක් වශයෙන් අපේ රටෙන් සමස්ත ලෝකයටම දිය හැකි දායාදයක්. අපේ ගම්වල ඉන්න නංගීලා, මල්ලිලා, අම්මලා, අක්කලාගේ ශ්‍රමය මැදපෙරදිගට විකුණලා ගේන විදේශ විනිමයට වඩා අර්ථවත් වූ ආදායමක් අපට මේ විෂය මඟින් මුළු ලෝකයෙන් ම ලබා ගත හැක්කක් වෙනු ඇති. ඒ අනුව බලන විට මෙය අස්පර්ශනීය උරුමයක් වශයෙන් මුළු නොගන්වා ජාත්‍යන්තර ප්‍රජාවගේ විඥානය, විනෝදය හා අධ්‍යාපනය සඳහාත් සලකා අපට ඉදිරියට දෙන්න පුළුවන් ශාස්ත්‍රීය උරුමයක් වශයෙනුයි මම සලකන්නේ.
අදෘෂ්‍යමානබලවේග පිළිබඳ ඔබේ විශ්වාසය කොහොමද ?
මම අදෘෂ්‍යමාන බලවේග පිළිබඳ ඇති විශ්වාසයක් හෝ ඇති සැකයක් පිළිබඳ කතා කිරීමට උත්සාහ කොට නැහැ. මෙම දේවල් මෙතෙක් කාලයක් තිබෙනවා යැයි යම් යම් තැන්වල සඳහන් වෙනවා. තෘෂ්ණාව, දායාව, කරුණාව හා බුද්ධ විශ්වාසය අනුව ඔවුන්ගේ ඊළඟ පුනර්භවය සිදුවන බව යම් යම් සුත්‍ර දේශනා තුළින් බුදු දහමෙහි සඳහන් වෙනවා. ඒ අනුව මා පිළිගත්තත් නැතත් භූතයෝ ඉන්නා බව බටහිර විද්‍යා විෂයෙනුත් ඔවුන් ජායාරූප මඟින් ඔප්පු කරලා තියෙනවා. පෙරදිග වාසීන්ට වඩා එංගලන්තය, ඇමරිකාව, ප්‍රංශය, කැනඩාව ආදී රටවල් මෙම භූත සිදුවීම් පිළිබඳ ගැඹුරින් කතා කරන අවස්ථා තියෙනවා. බ්‍රිතාන්‍ය ඇසුරෙන් ඇතැම් නීති කෘති වලදී පවා එළිදරව් වූ අවස්ථා මේ කරුණු සොයා බැලීමේදී මට පරිශීලනය කරන්න ලැබුණා. ඒ නිසා මෙම යාතුකර්මයේදී අපි දන්නා භූතයෝ නැතැයි කියනවාට වඩා ඇතැයි කියන පැත්තෙන් ඔප්පු වූ කරුණු අප්‍රමාණ ය.
අද ඇතැම් ලේඛකයන් සිය කෘතියම සිනමා හෝ ටෙලිනාට්‍යයක් ලෙසින් ප්‍රතිනිර්මාණය කර අධ්‍යක්ෂණයට යොමු වෙලා තියෙනවා.
ඉදිරියේදී එවැනි කටයුත්තකට යොමු වෙන්න අදහසක් තියෙනවාද?
පොතක්, කවියක් හෝ කෙටි කතාවක් මම ලියන්නේ මෙතෙක් කල් කරපු කිසිම දෙයක් චිත්‍රපටියකට නැඟිය යුතුයි කියන පූර්ණ ආකල්පයේ සිට නෙවෙයි. හේතුව මම දන්න විදිහට මගේ නවකතා ආඛ්‍යානයත් සිනමා ආඛ්‍යානයත් දෙකක් කියලා මං දන්න නිසා.හැබැයි මේ මඟින් කෙනෙකුට පුළුවන් නම් ඔවුන්ගේ රූපණවේදය මතින් මේ රසයම ප්‍රේක්ෂකයාට ලබා දෙන්න එයට මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. හැබැයි ලේඛකයෙක් පෑනෙන් ඔහුගේ නිර්මාණ ශක්තියත් එක්කලා හැඩවැඩ කරන චරිත සහ පරිසරය පිළිබඳව සිනමාවේදියෙකුට ගොඩනඟා ගැනීමට තියෙන අසීරුව බොහෝවිට අභියෝගාත්මකයි..
ඒ නිසා නවකතාවක් කියවන පුද්ගලයෙක් නවකතාව හිසින් ගෙදර තබා ගොස් සිනමාවක් හෝ නාට්‍යයක් වෙනස් ප්‍රතිනිර්මාණයක් වශයෙන් වින්දනය කළොත් නිර්මාණ දෙකක් වශයෙන් රසවිඳිය හැකිය.
කලාවට සිත බැදුනේ කොයි කාලේද?
මම ලංකාවේ ප්‍රත්‍යන්ත ප්‍රදේශයකින් කොළඹට එන මනුස්සයෙක්. මගේ අම්මා, තාත්තා ගොවියෝ. මගේ තාත්තා හැන්දෑවේ කුඹුරු වැඩ කරලා ගෙදර ආවාහම අම්මා කෑම සූදානම් කරලා දෙනකන් තාත්තා මාවයි මගේ නංගීලා තුන්දෙනාවයි ළංකරගෙන කතාන්දර කියා දෙනවා. ඒ කාලේ තාත්තා එක්ක කුඹුරට,හේනට යන්න මට අවස්ථාවක් ලැබෙනවා. ඒ අවස්ථාවේ දී තාත්තලා මාමලා කියන කතන්දර, ඒ අයගේ පෙර කතා, වෙනත් අයගෙන් අහපු කතා ඒ සියළු දේවල් අහපු මට බෙහෙවින්ම මේ වින්දනය රසාලිප්ත ගුහාවකට ඇතුල් වීමක් වාගේ වුණා. මං පස්සේ පාසල් ගියහම තමයි මේක කලාව කියලා දන්නේ. පසුකාලීනව මම රැකියාවට ගිහින් විවාහ පත් වෙලා සිටියත් මම ගෙදර ගිය අවස්ථාවක මට නින්ද යන තෙක් මගේ අම්මා මගේ ලගට ඇවිත් ඇගේ ඔඩොක්කුවේ මගේ හිස තියාගෙන අතගාමීන් ගමේ සිදුවුණු කතා, ඇය පාසැල් කාලේ කියවපු කවි ඒවගේම ඇය හදපු කවි කියනවා. මං හිතනවා මගේ සිතේ කලාව රසවීදීම කියන දේ මට ඇතිවුණේ එහෙම කියලා. මට පාසල් කාලයේ මුණගැහුනේ පිරිවෙන් අධ්‍යාපනය ලබාගෙන මගේ පාසැලට ඇවිල්ලා උගන්වපු ගුරුවරු. ඔවුන් සැලළිහිණි සංදේශය, හංස සංදේශය, ගුත්තිල කාව්‍ය, කාව්‍යශේඛරය වැනි බොහෝ පොත් වලින් ගත් නිර්මාණ සහ උදාහරණත් එක්ක අපිව දැනුම්වත් කළා. ඒ හරහා හඹා ගෙන යෑමේ අවශ්‍යතාවක් සිතුවිල්ලක් අපට දුන්නා.ඒ විදිහට මම කලාව සොයාගෙන යාමත් එක්කලා මගේ පාසැල වන ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් ලබා ගත් පරිචයත් දැනීමත් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලබා ගත් ගුරුහරුකම් නිසා එය යම් කිසි විදිහක විද්‍යාර්ථවේදී ලක්ෂණ ගන්නට ඇති. ඉන් ඉක්බිතිව මගේ රැකියාවත් එක්කලා ප්‍රත්‍යන්ත ප්‍රදේශවල විවිධ වූ ජනී ජනයා ආශ්‍රය කිරීමෙන් ඔවුන්ගේ දුක්ඛ දෝමනස්ස හා ගැටෙමින් ඒ සමඟ රාජකාරී ප්‍රශ්න හා එක්කර බැලීමෙන් මං හිතනවා මං ලබපු දැනීම් කිසියම් වූ යාවජීව දැනීමක් බවට පත්වුණා. ඒ මාර්ගයෙන් තමයි මගේ කලාව අවධි වුණේ. මේකට මට මුලින් උදව් වුණා මං අදටත් ගරු කරන නැසී ගිය ඩීමන් ආනන්දයන් ,
තලංගම ජයසිංහයන් වැනි අයගේ” මාරක කතා සාහිත්‍යය”. ඉන් ඉක්බිතිව පියදාස සිරිසේන, ඩබ්ලිව්.ඒ.සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ වැනි කතුවරුන්ගේ පොත් ඉවහල් වුණා. මට පියගැට පෙළක තරප්පු පේළියක එකින් එක ඉහළට එන්නා සේ මගේ සාහිත්‍ය දැනීමෙන් ඉහළට එන්න මට හැකි වුණා. එසේ ඉහළට ආ නිසා මට හැකි වුණා සාහිත්‍යයේ මා විසින් ඇසුරු කළ යුත්තේ කුමක්ද? මා විසින් බැහැර කළ යුත්තේ කුමක්ද කියන එක හොදින් ප්‍රත්‍යක්ෂ කර ගැනීමට. එයින් පසුව අද වන විට මම බටහිර සාහිත්‍යය, පෙරදිග සාහිත්‍යය, අප්‍රිකානු සාහිත්‍යය වගේ දේවල් කියවලා නැත්නම් බංග්ලාදේශ කවි, අය්යන්දේ ,වික්ටර් හාරාගේ විරෝධාර කවි කියවලා මං හිතනවා මම යම් කිසි විදිහක පදනමක් වැටෙන්නට ඇති. එයට සෝවියට් දේශයේ නිර්මාණ සේම වත්මනේ දී ප්‍රාන්ස් කෆ්කා, ෆාවුලො කොය්යෝ වගේම ගමේදී රටේදී අසුරු කළ අපේම ඇත්තෝද බලපාන්නට ඇති.
ඒ නිසා මේ සොයා ගත් දේ ඔබට ඇසෙන්නට,කියවන්නට දීමට හදාගන්නට මට පුළුවන් වෙන්නට ඇති. ඒ දැ මා දන්නා නිර්මාණ නම් වූ කෝවක දමා පුංචි අංශු මාත්‍රයක් බෙදන සත්ත්වයෙක් වෙන්නට උත්සාහ ගත්තේ මම ඒ ලෙසිනුයි.
ඔබ වෘත්තියෙන් බැංකුකරුවෙක් ලෙස කටයුතු කළා. එදා කලාව සහ රැකියාව සමතුලිත කරගෙන කටයුතු කළේ කොහොමද?
කලාකරුවකුට හරිම ලේසියි බැංකුවේ වැඩ කරන්න.බැංකුවට එන්නේ කෙනෙකු මූල්‍ය වශයෙන් පිළිසරණක් පතාගෙන. ඒ එන කෙනෙකුගේ දුක්ඛ දෝමනස්සයන් ඔවුන්ගේ සිතුවිලිවලින් වචන වලින් දැකගන්න කලාකරුවෙකුට පහසුවෙන් පුළුවන්. මම කියවපු කලා කෘතිවල ඒ ඒ චරිත දුක්වුණු හැටි, චරිත මියගිය හැටි,චරිත ප්‍රශ්න එක්ක පොර බැදපු හැටි මගේ ජීවීතයේ තැන්පත් වෙලා තිබුනා. ඒ නිසා මට ඔවුන්ව කියවීම පහසු උණා. ඒ කියවීම පැත්තකින් තියන්නේ නැතුව ඔවුන්ට ඒ ප්‍රශ්නවලින් ගොඩ එන්නේ කොහොමද කියන එක මට මගේ බැංකුවෙන් දුන් නිලතල අනුව කරන්න පුළුවන් වුණා. ඒ අය එවිට ප්‍රශ්නය විසඳාගෙන ඒ අයටත් ආර්ථික විමුක්තිය ලංකර ගැනීමේ හැකියාව ලබා දීලා බැංකුවේ අවශ්‍යතාවත් මට ඉෂ්ඨ කරන්න පුළුවන් වුණා. ඒක මම ලැබුවේ කලාවට පින්සිද්ධ වෙන්න. මගේ අම්මා,තාත්තා මට දුන්න මව්වත් බව නිසා. මගේ පන්සලෙන් මට දුන්න ධර්මයේ පණිවිඩය මඟින් මට පුළුවන් වුණා චිත්ත සමතුලනය හදාගන්නට. එකයි මගේ ජීවිතයේ තුලනය.
ඔබ කලාකරුවෙක් ලෙස තෘප්තිමත්ද?
මට තෘප්තිමත් කරගන්න සාක්ෂාත් කරගන්න බොහෝ දේවල් නෑ.ඒ පිළිබඳ සිතන්නේ නැහැ.මම සරල ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් වශයෙන් මගේ ඒ සරලත්වය මත ඉතාමත් සාර්ථකව හා ඉතා තෘප්තිමත් ව ඉන්නා පුඟුළෙක්මී.
ජීවීතේ මෙතෙක් ලැබූ ජයග්‍රහණ මොනවාද ?
ජීවිතයේ මම සාක්ෂාත් කරගන්නට උත්සාහ ගත්තේ කෙනෙකුට ප්‍රවිෂ්ට වෙන්න පුළුවන් දේවල්. ඒ නිසා මම හැමදෙයක්ම මේ වෙනකොට ලබාගෙන තියෙන නිසා මම වසන්න බැරි ගස්වල වසන්න උත්සාහ නොගත් නිසා මට වසන්න හැකි වූ තැන්වල මම වැසුවා. කිසි දෙයක් ප්‍රාර්ථනා නොකළ නිසා ලද සෑම දේම මා සලකන්නේ මගේ සැබෑ ජයග්‍රහණ ලෙසින්.
වත්මනෙහි දිනෙන් දින නවක සාහිත්‍යයකරුවන් බිහි වෙනවා.ඔවුන් පිළිබඳ ඔබේ ආකල්පය මොනවගේද?
සමාජය හෝ මාධ්‍ය විසින් කතා කරන චරිත වලට වඩා නිර්මාණශීලිත්වයෙන් ඉහළින් ඉන්න අය,පරිචයෙන් ගැඹුරු අය තවදුරත් ඇති මේ සමාජය විසින් හඳුනා නොගත්. සමාජයේ ඉදිරියට ඒමට ඔවුන්ට අවශ්‍ය කරන නිවැරැදි යාන්ත්‍රණය ලැබිලා නැහැ. මම දකිනවා අද සිටින නූතන පරපුරේ අය ඉතාමත් ගැඹුරින් ලියන ඉතාමත් ව්‍යක්ත වශයෙන් කරුණු සූචනය කරන ආකාරය. මේ දියුණු ලෝකයත් සමඟ කතා කරන ඒ සමඟ පෙරට යන නූතන පරපුරක් අද අපිට ඉන්නවා. නුතන පරපුරත් එක්කලා කවිය, නව කථාව, කෙටි කථාව, සිනමාව ගත්තත් මා හිතනවා එවැනි ආධුනික යැයි සමාජයේ හදුන්වන නමුත් ප්‍රවීණයන්ට වඩා ප්‍රාමාණික දැනුමකින් ඉහළින් ඉන්න ශිල්පීන් ඉන්නවා කියලා. මම ඉතාමත් ආදරයෙන් සදහන් කරන්නේ ඔවුන් මේ රටේ පොදු ජන හද ගැහෙන රාවය මීට වඩා අපේ කමින් හා මව්වත් බවෙන් පුරවා ගත්තොත් ඔවුන් වට්ටන්න බැරිවෙයි.
මේ දිනවල ඔබේ වැඩකටයුතු මොනවාද ?
මම පෑනත් එක්ක ජීවත්වන මනුස්සයෙක්.පෑනත් එක්ක කරකාර බැදපු මනුස්සයෙක්. මම එයත් එක්ක දීග කමින් ඉන්නවා.
ඉදිරි අනාගත සැලසුම් මොනවාද ?
මම ජීවත් වෙන්නේ අද මිස හෙට එක්කලා නෙවෙයි.ඒවගේම ඊයේත් නෙවෙයි. ඒ නිසා අද ජීවත් වන මට හෙට අදක් වුණොත් මා අතින් තවත් කරන්න පුළුවන් දෙයක් තිබ්බොත් කෙරේවී. ඒ ඇරුණු කොට පිඹුරුපත් සකසා ගෙන මෙය කරමි යැයි කියා සිතීමක් සහ හැකියාවක් මට මෙතෙක් ඇති වෙලා නැහැ. හෙට ආවොත් මං හෙට යහපත් විදිහට ජීවත් වෙන්න උත්සාහ කරනවා. එදාට අයහපත් නොවන ණයක් නොවී යමක් දෙන්න හදාවි.
වසුන්දරා කුමාරී ධර්මරත්න