වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
නොහඬන් සූරියකාන්තා Sunflower

1970 වර්ෂයේ දී ඉතාලියෙන් 'අයි ගිරාසොලි' නමින් චිත්‍රපටයක් බිහිවිය. එය නිෂ්පාදනය කළේ ප්‍රකට ඉතාලි නිෂ්පාදක වරයකු වූ කාලෝ පොන්ටිය. එයට ඔහු ආතර් කෝන් හා ජෝශප් ඊ ලෙවින් නම් නිෂ්පාදක වරුන්ද සම්බන්ධ කර ගති. එය ඔවුන් අධ්‍යක්ෂනය කිරීමට භාර දුන්නේ, 'බයිසිකල් තීෆ්', 'ඉයස්ටර්ඩේ ටුඩේ ඇන්ඩ් ටුමාරෝ' 'මැරේජ් ඉටලියන් ස්ටයිල්', වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඒ වන විට ඇමරිකානු ඇකඩමි සම්මාන 3 ක්, (1947, 1949,1965,) ලබා ගත් ඉතාලි සිනමා අධ්‍යක්ෂ විටෝරියෝ ඩී සිකා ටය.
කාලෝ පොන්ටි 1912 වසරේ දෙසැම්බර් 11 වන දින ඉතාලියේ මැගෙන්ටා නගරයේ උපත ලැබීය. ඔහුගේ සීයා මැගෙන්ටා නගරයේ නගරාධිපති වී සිටි අතර, ඔහුගේ පියා නීතිඥයෙක් වී සිටියේය. ඔහුට ඔහුගේම නීති උපදේශක කාර්යාලයක් තිබුණි. කාලෝ, මිලාන් නගරයේ විශ්වවිද්‍යාලයේ නීතිය ඉගෙන ගත් අතර, පසුව තම පියාගේ නීති උපදේශක කාර්යාලයේ වැඩ කළේය. චිත්‍රපට සම්බන්ධව ඇතැම් නිෂ්පාදකවරුන් හා අධ්‍යක්ෂවරුන් නීති උපදෙස් ගැනීමටත්, ඇතැම් චිත්‍රපට අර්බූදයන්ට පත් වී නඩුහබවලට මැදිහත් වන විට බොහෝ නිෂ්පාදකයන් එම නඩු සඳහා පෙනී සිටීමට භාර කළේ කාලෝ ටය. එලෙස චිත්‍රපට නඩු වලට පෙනී සිටි කාලෝට ඉබේටම චිත්‍රපට ගැන ඇල්මක් ඇතිවිය. විශේෂයෙන් නිෂ්පාදන අංශයටය. එහී ප්‍රතිපලයක් ලෙස ඔහු 1941 දී 'පිකොලෝ මොන්ඩෝ ඇන්ටිකෝ' නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කළේය. ' මාරියෝ සොල්ඩාටි' නම් අධ්‍යක්ෂවරයකු එය අධ්‍යක්ෂණය කළේය. යළි 1943 දී ඔහු, ඔහුගේ දෙවනි චිත්‍රපටය නිෂ්පාදනය කළේය. එතැන් සිට ඔහු අවම වශයෙන් අවුරුද්දකට චිත්‍රපට 2 කක් පමණ නි්පාදනය කළ අතර, 1950 වසරේ පමණක් චිත්‍රපට 5 ක් නිශ්පාදනය කළේය. 1940 සිට 1977 දක්වා ඔහු නිෂ්පාදනය කළ චිත්‍රපට ප්‍රමාණය, 80ක් පමණ විය. ඒ අතරේ 'ඩොක්ටර් ශිවාගෝ' වැනි විශිෂ්ටතම චිත්‍රපටද විය. ඔහු 1957 දී ලෝ පතළ නිළි, 'සොෆියා ලොරේන්' සමඟ විවාහ වී 1962 දී එය අවලංගු කර, යළි 1966 දී ඇය හා විවාහ විය. එතැන් සිට ඔහු බොහෝ චිත්‍රපට නිර්මාණය කළේ ඇයව ප්‍රධාන චරිතයට ගෙනය. 'ගෝස්ට්ස් ඉටැලියන් ස්ටයිල්,', 'ද ප්‍රීස්ට්ස් වයිෆ්', 'ද වොයේජ්', 'සෙක්ස් පොට්' 'ද කැසෙන්ඩ්‍රා ක්‍රොසින්ග්', 'අ ස්පෙශල් ඩේ', මෙන්ම මෙම ලිපියට පාත්‍ර වන 'සන්ෆ්ලවර්' එම චිත්‍රපට ගොන්නට ඇතුළත්ය.
'සොෆියා ලොරේන්' 1934 සැප්තැම්බර් මස 30 වන දින ඉතාලියේ, රෝමයේ උපත ලැබීය. ඇයගේ මුල් නම තරමක් දිගු එකකි. ඒ ' සොෆියා කොස්ටන්සා බ්‍රිජිඩා විලානි සිසිකොලෝනි' ය. පසුව ඇය සොෆියා සිසිකොලෝනි, ලෙසත් සොෆියා ලසාරෝ ලෙසත් භාවිතා කළාය. ඉන් පසුව ඇය චිත්‍රපට වලට පහසු වන අන්දමට සොෆියා ලොරේන් ලෙස නම වෙනස් කර ගතී.
ඇය මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවකට පැමිණියේ ඇයට වයස අවුරුදු 15 ක් ව තිබියදීය. ඒ, 1950 වසරේ පැවතුණු 'මිස් ඉතාලි' රූ රැජින තරගයට සහභාගී වීමෙනි. ඇය එහිදී අවසන් තිදෙනා අතරට පැමිණීය. එහී තිබූ ආකර්ෂණීය රූ රැජිනට ඇය තේරුනද, ඉතාලි රූ රැජින වූයේ 'ඇනා මරියා බුග්ලියාරි' නම් තරුණියෙකි.
සොෆියා ගේ පවුල තුළ හැල හැප්පීම් තිබුණද, ඇය කෙසේ හෝ ඉතාලියේ ජාතික සිනමා පාසැලට ඇතුළත් විය. එහීදී ඇයට මර්වින් ලීරෝයි ගේ 'කියූ වාඩිස්' චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපෑමට ලැබුණි. ඒ 1951 වසරේ තරමේය. ඒ වන විට ඇය 16 වන වියේ පසුවිය. ඇය සිනමාවේ මුල් කළ ඇයගේ නම භාවිතා කළේ 'සොෆියා ලැසාරෝ' නමිනි.
1952 දී ඇයට 'ලා ෆේවරිටා' නම් චිත්‍රපටයේ සැලකිය යුතු චරිතයක් ලැබුණි. එහෙත් චිත්‍රපටයේ පෝස්ටරයට ඇයගේ නම වැටෙන්නට තරම් එම චරිතය ප්‍රබල නොවීය. 1953 ඉතාලියේද, 1954 ඇමරිකාවේද තිරගත කළ 'අයිඩා' ඇය මුලින්ම ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපටය වූ අතර, එම චිත්‍රපටයේ ප්‍රථම වරට ඇයගේ රුව විශාල ලෙස පෝස්ටරයේ ඇතුළත් වී තිබුණි.
සොෆියා ලැසරෝ ව සොෆියා ලොරේන් ලෙස නම වෙනස් කර ඇත්තේ කාලෝ පොන්ටිය. එම නම ප්‍රසිද්ධ වීමේ ඉඩ කඩ වැඩි බවකි ඔහු කීයේ. එය සත්‍යයක් විය. 1953 තිර ගත වූ 'අයිඩා', හා 'ටූ නයිට්ස් විත් ක්ලියෝපැට්රා', චිත්‍රපටවලින් ඇය පැමිණියේ සොෆියා ලොරේන් නමිනි. විට්ටෝරියා ඩී සිකා විසින් අධ්‍යක්ෂණය කළ 'ද ගෝල්ඩ් ඔෆ් නේපල්ස්' චිත්‍රපටය ඇය සාර්ථක, මෙන්ම ජනප්‍රිය නිළියක් බවට පත් කළාය. එය කාලෝ පොන්ටි නිෂ්පාදනයෙන් හවුල් වූ චිත්‍රපටයක් විය.
කාලෝ පොන්ටි විසින් නිෂ්පාදනය කළ 1960 වසරේ තිරගත කළ 'ටූ විමෙන්' චිත්‍රපටයේ 'සෙසිරා' ගේ චරිතය රඟපෑමෙන් ඇය ප්‍රථමවරට හොඳම නිළිය ලෙසින් ඇමරිකානු ඔස්කාර් - ඇකඩමි සම්මානයට පාත්‍ර විය. ඉන් පසු ඇය විවිධ සම්මාන ගණනාවක්ම ලබා ගත්තද, යළි ඇකඩමි සම්මානයක් ලබා ගැන්මට නොහැකි විය. එහෙත් 1963 වසරේදී ඇය රඟපෑ 'ඉයසටර්ඩේ, ටුඩේ ඇන්ඩ් ටුමාරෝ' චිත්‍රපටයේ චරිත තුන වූ ඇඩලීනා, ඇනා, සහ මරා වෙනුවෙන් හොඳම නිළියට නිර්දේශය විය. එමෙන්ම ඇයගේ රංගන ජීවිතය අගය කිරීම සඳහා ඇමරිකානු ඇකඩමි ගෞරවනීය සම්මානය ඇයට පුද කළේ 1977 වර්ෂයේ දී ය. ඇය 1950 වර්ෂයේ සිට 2021 දක්වා වූ 71 වසරට චිත්‍රපට 100 ක පමණ රඟපා තිබුණි. 2021 වසරේදී රෝස් කෆ්මාන් විසින් ඇය පිළිබඳව වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කළේ 'වට් වුඩ් සොෆියා ලොරේන් ඩූ' නමිනි. එය බෙදාහැරීමට භාර ගත්තේ 'නෙට් ෆිලික්ස්' සමාගමය. මෙම ලිපියට අයත් වන 'සන්ෆ්ලවර්' චිත්‍රපටය ඇය රඟපෑ 65 වන චිත්‍රපටය යි. 'ඉයස්ටර්ඩේ, ටුඩේ ඇන්ඩ් ටුමාරෝ', 'ද ෆෝල් ඔෆ් රෝමන් එම්පයර්', 'ජූඩිත්', 'මෝ දෑන් අ මිරකල්', 'ගෝස්ට් ඉටලියන් ස්ටයිල්', 'සන්ෆ්ලවර්', 'ද ප්‍රිස්ට් වයිෆ්', 'ද වොයේජ්', 'ද කැසැන්ඩ්‍රා ක්‍රොසිං','ග්‍රම්පියර් ඕල්ඩ් මෙන්', වැනි ඇයගේ චිත්‍රපට ලංකාවේ ද ප්‍රදර්ශනය විය.
සොෆියා ලොරෙන්ට කාලෝ පොන්ටිව හමුවීමට පෙර ඇය එකල ජනප්‍රියතම, එමෙන්ම කඩවසම් නළු 'කේරි ග්‍රාන්ට්' සමඟ සම්බන්ධ කමක් ගෙන ගියාය. කේරි ගේ බිරිඳ වූ බෙට්සි ඩ්‍රේක් ලියූ තිරනාටකයකට නිර්මාණය වූ චිත්‍රපටයක රූ ගත කිරීමේදී මෙම සම්බන්ධය පටන් ගතී. පසුව එය කේරීගේ බිරිඳට අසුවී ඔවුන්ට නොයෙකුත් ප්‍රශ්න පැන නැගුණි. එහෙත් කේරී ග්‍රාන්ට් කීවේ තම බිරිඳව දික්කසාද කර සොෆියාව විවාහ කරගන්නා බවකි. සොෆියා එයට කැමති වූයේ නැත. ඒ වන විට ඇයට කාලෝ පොන්ටි හමුවී තිබුණා පමණක් නොව, ඇය ඔහු හා විවාහ වීමට කැමැත්ත ප්‍රකාශ කරද තිබුණි. කාලෝ ගේ ප්‍රථම විවාහයෙන් නිත්‍යානුකූලව වෙන් වීමට ප්‍රථමම ඔවුන් දෙදෙනා විවාහ විය. ඒ වන විට සොෆියා ට වයස අවුරුදු 15 ක් ය. කාලෝ ට 37 ක් විය. සොෆියා හා කාලෝ ගේ විවාහය කාලෝ 2007 වසරේ මියයන තෙක් ම පැවතුණි.
'මර්සෙලෝ මස්ට්‍රොයාන්නි' ඉතාලියෙන් බිහිවී, ඉතාලි නළුවකු වී ඇමරිකා සිනමාවට ගිය කඩවසම් නළුවකු විය. 1924 වසරේ, ඉතාලියේ ලැසියෝ නගරයේ ඉපදුණු මර්සෙලෝ ඉතාලි සිනමාවට එක්වූයේ 1938 දී තරමේය. එවිට ඔහුගේ වයස අවුරුදු 14 ක් පමණ විය. 1939 වර්ෂයේ 'මරියෝනෙටි' නම් චිත්‍රපටයකට සම්බන්ධ වී කුඩා චරිතයකට පෙනී සිටීමක් කළ ඔහු මුලින්ම කැපී පෙනුණු චරිතයක් රඟපෑවේ 1950 වසරේ තිරගත කළ ලුසියානෝ එමර් නමැති ඉතාලි අධ්‍යක්ෂ වරයකු නිර්මාණය කළ 'ඩොමෙනිකා ඩාගොස්ටා' නම් චිත්‍රපටයෙන් ය එතැන් සිට ඔහු ඉතාලි චිත්‍රපට ගණනාවක රඟපෑවේය. 1960 වර්ෂයේ ෆෙඩ්රිකෝ ෆෙලිනී නිර්මාණය කළ ' ලා ඩොලෙස් විටා' මර්සෙලෝ මස්ට්‍රොයානි ව අන්තර්ජාතික සිනමාවට රැගෙන ගියේය. එය ඉංගී‍්‍රසි භාෂාවෙන් හැඳීන්වූයේ 'ද ස්වීට් ලයිෆ්' කියාය.
කාලෝ පොන්ටිගේ ප්‍රියතම නළුවා
වූයේ ද මර්සෙලෝය. ඔහු ප්‍රථම වරට කාලෝගේ චිත්‍රපටයක රඟපෑවේ 1962 දීය. ඒ 'ලොරි ඔගී උන් ඩොමානි' චිත්‍රපටයේය. එය ඉංග්‍රීසි බසින් හැඳීන්වූයේ 'ඉයස්ටර්ඩේ, ටුඩේ ඇන්ඩ් ටුමාරෝ' කියාය. ඔහු ප්‍රථම වරට සොෆියා ලොරෙන් සමඟ ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපටය මෙය වූ අතර, මෙම චිත්‍රපටය 37 වන ඇමරිකානු ඇකඩමි සම්මාන උලෙළේ දී හොඳම විදේශීය චිත්‍රපටය ලෙස සම්මාන ලැබීය.
එතැන් සිට ඔහු කාලෝ පොන්ටිගේ චිත්‍රපට බොහෝ ප්‍රමාණයක රඟපෑ අතර, සොෆියා ලොරෙන් සමඟ චිත්‍රපට 17 ක ප්‍රමාණයක් රඟපා තිබුණි.
'සන්ෆ්ලවර්' ද ඔවුන් දෙදෙනා එක්ව රඟපෑ අපූරු වූ චිත්‍රපටයක් විය.
'සන්ෆ්ලවර්' චිත්‍රපටයේ ආරම්භය වූයේ කහ පාට සුර්ය කාන්ත මල් පිපුණු විශාල උයනක් වැනි තැනකිනි. ඒ මල් පිපී තිබුනේ යුද්ධයෙන් මියගිය හමුදා සෙබලුන් භූමිදානය කළ සොහොන් කොත් මතය. චිත්‍රපටයේ නාමවලිය ආරම්භ කරනුයේ එවන් පසුතලයකය.
ඉන් පසු රූප රාමුව ඡේදනය වනුයේ එහී කථා නායිකාව වූ 'ජොවන්නා' වෙතටය. ඇය කුඩා නිවසක, මුළු තැන් ගෙයි සිට බැරැරුම් කල්පනාවකින් සුප් එකක් බොමින් සිටියි. එක් වරම එම රූපය අතීත දර්ශනයකට යොමු වේ. එය මුහුදු වැල්ලක දර්ශනයක් විය. එහී වැල්ල මත ජොවාන්නා සහ ඇන්ටොනියෝ බිම පෙරළමින් සිප වැළඳ ගනීයි.
ඇන්ටොනියෝ යනු ජොවන්නා ගේ පෙම්වතා බව ප්‍රේක්ෂකයන්ට වැටහෙන්නේ එවිට ය. මොවුන් දෙදෙනා ටික කලෙක සිට පෙම්වතුන්ව සිටියද, ඇන්ටෝනියෝ දෙවැනි මහා ලෝක යුද්ධය ට සෙබළෙකු ලෙස බැඳී සිටි නිසා ඔහුට විවාහය පරක්කු කරන්නට සිදුවිය. ඔවුන් දෙදෙනා ගේ විවාහ විය යුතු වයස් සීමාව ද පහු වී තිබුණි. තැන් තැන්වල බදාගෙන, වෙළා ගෙන ඉඹ ඉඹ ඉන්නවට වඩා ඉක්මනින් විවාහ විය යුතු බව ජොවන්නා ට වැටහුණු නිසා ඇය ඇන්ටෝනියෝට ඒ බවක් කීය. ඇන්ටෝනියෝද එය අනුමත කළ අතර, ඉන් දින කීපයකට පසු ඔවුන් එම ගම්මානයේ පල්ලියේ දී විවාහ විය.
ඔවුන් දෙදෙනා පුරා දින 11 ක් තම මධු සමය ඉමහත් විනෝදයෙන් ගත කළහ. ජොවන්නා මෙන්ම අන්තෝනියෝ ටද, ඒ තරම් සුන්දර හා සොඳුරුතම කාලයක් ඉන් පෙර නොලැබුණාක් මෙනි. ඒ තරම්ම ඔවුන් ඔවුනගේ එක්වීම ට ප්‍රිය විය.
මේ අතර දෙවන මහා ලෝක යුද්ධයේ දෙවන අදියරේ යුද්ධ කිරීමට ගමේ සිටි තරුණ පිරිමින්ට මෙන්ම පෙර යුද්ධ භටයන් ලෙස සේවය කළ අයට යන්නට සිදුවිය. එයට නොයෑමට අන්තෝනියෝ හා ජොවන්නා එක්ව උප්පරවැට්ටියක් කළහ. ඒ අන්තෝනියෝට පිස්සු හැඳුණු බව ගමට ඒත්තු ගැන්වීමටය. එයට ඔහු ගමේ මිනිසුන්ට පෙනෙන්නට ජොවන්නාට පිස්සුවෙන් මෙන් පිහියෙන් අනින්නට තැත් කළේය. ජොවන්නාද ඇඳුම් ඉරා ගෙන තමාව මේ මිනිසාගෙන් බේරා දෙන්නට කියා කෑ ගසමින් මුළු ගම වටා දුවන්නට විය. ඔහුද ඇය පසු පස කෑ ගසමින් එළවන්නට විය. අවසානයේ ඔහු කැලය පැත්තට දිව ගියේය. එහෙත් ඔහුගේ උප්පරවැට්ටියට අහුවන්නට තරම් හමුදා ඒකකයේ නිලධාරින් මෝඩ වූයේ නැත. කැලය තුළ හැංගි සිටි අන්තෝනියෝව ඔවුන් අල්ලා ගති. ඔහුට ඔහුගේ බොරු පිස්සුව අතහරින්නට සිදුවිය. අන්තෝනියෝ හා ජොවන්නා තමුන් අලුත විවාහ වූ යුවළක් බව පවසමින් ද, එලෙසම ඔවුන් තවම හරියට මධු සමයවත් ගත කර නැති නිසා, මානුෂික හේතූන් මත ඔහුව දමා යාමට ඇය, ආයාචනා කළද, හමුදා නිලධාරින් ඒවා ගණනකටවත් ගත්තේ නැත. අන්තෝනියෝට යුද්ධය ට සහභාගි වීමට රුසියාවට යන්නට සිදු විය. ජොවන්නා පාළු ගෙදර තනිවූයේ අර අන්තෝනියෝ සමඟ දින11ක් ගත කළ සුන්දර මධුසමයේ මිහිරිම මතකය සමඟය.
යුද්ධය කාලයක් ඇදී ගියේය. එම දිගු කාලය තුළ තම සැමියන් එම යුද්ධය ට ගිය නිසා තනිවුනු බිරින්ඳෑවරුන්, පෙම්වතුන් යුද්ධයට ගිය නිසා තනිවුණු පෙම්වතියන්, මෙන්ම තම පුතුන් යුද්ධයට ගිය නිසා තනිවුනු මැණිවරුන් සහ පියවරුන් එම කාලය තුළ ඔවුනොවුන්ගෙන් ලද මිහිරියාව තුරුලු කර ගෙන සෝ සුසුම් හෙළමින් ඔවුන් නැවත නිරුප්‍රදිතව තම ගමට, තම නිවෙස්වලට පැමිණේ යන අපේක්ෂාවෙන් දෑස් දල්වා බලා සිටියහ. ජොවන්නා ද ඒ අතරේ තවත් එක් අයෙක් විය.
යුද්ධය නිමවී, මෙම ගමෙන් යුද්ධයට ගිය අය අතරේ නිරුපද්‍රිත අය තම ගම රට බලා එන බව ආරංචිය ඔවුනට ලැබුණේ ඒ අතරේදීය. ඔවුන් සියල්ලෝම, තම සැමියන්ගේ, පෙම්වතුන්ගේ, පුතුන්ගේ පින්තූරු ද රැගෙන දුම්රියපළට ගියේ ඔවුන්ව පිළිගන්නටය. ඔවුන් පින්තූරු රැගෙන ගියේ යම් හෙයකින් එකී පුද්ගලයන් නොපැමිණීය හොත්, අවම වශයෙන් එතැනට නිරුප්‍රදිතව පැමිණෙන අයගෙන් එම පින්තූරය පෙන්වා ඔවුන්ට සිදුවී ඇති දේ ගැන කිසියම් තොරතුරක් හෝ ලබා ගත හැකි දැයි දැන ගැන්මටය.
දුම්රිය පැමිණිය. බොහෝ සෙබළුන් එයින් බැස්සහ. එතැන සිටි ටික දෙනෙකුට තම හිතෛෂියන්ව හමුවී ඔවුහු සතුටු කඳුළු වැගිරූහ. ජොවන්නා ද අන්තෝනියෝ ගේ පින්තූරය දුම්රියෙන් බසින අයට පෙනෙන්නට දෑතින් අල්ලා සිටියද, අන්තෝනියෝ දුම්රියෙන් බසින බවක් නම් දුටුවේ නැත. එහෙත් දුම්රියෙන් බැස ගත් එක් සෙබළෙක් ජොවන්නා අත තිබූ පින්තූරය දෙස උවමනා කමින් බලන්නට විය. ඔහු ජොවන්නාව පසු කර ගොස් නැවත හැරී විත් ජොවන්නාට කථා කර, එම ඡායාරූපයේ සිටින්නේ ඇයගේ කවුදැයි ඇසීය. ඇය තම සැමියා යයි කී පසු ඔහු ඇයව ජනයා නැති පැත්තකට රැගෙන ගියේ කිසියම් සිදුවීමක් ගැන කියන්නටය.
අන්තෝනියෝ හා ඔහු අයත් වී තිබුණේ එක් යුද කණ්ඩායමකටය. ඔවුනට යුද්ධ කරන්නට සිදු වූයේ හිම කතරකය. රුසියාව ඒ වන විට දරුණු ලෙස හිමෙන් වැසී තිබුණි. ඔවුනට සිදු වූයේ එම හිම කඳු තරණය කරමින් යුද්ධ කිරීමටය. එම යුධ සේනාංකය තුළ ජොවන්නාට කථාව කියන සෙබළා හා අන්තෝනියෝ සිටියේ එකටය. එලෙසම ඔවුන් දෙදෙනා ඉතාමත් කුලුපඟ මිතුරන්ද විය. අන්තෝනියෝ ගේ කකුලට වෙඩි වැදුනේ ඔය අතරේදීය. එම වෙඩි වැදීමෙන් ඔහුගේ කකුලට තරමක් දරුණු ලෙස තුවාල සිදු විය. එහෙත් ඔවුනට හිම කතර දිගේ කුඩා කඳු නගිමින් තරණය කරන්නට සිදු විය. මෙම මිතුරා හැකි තාක් දුරකට අපහසුවෙන් හෝ අන්තෝනියෝ ව, වත්තම් කර ගෙන ගියද, එයින් ඔවුනගේ ගමන් වේගය අඩාල විය. එහෙයින් කණ්ඩායමේ නායකයන් කීවේ අන්තෝනියෝ ව එතැන අතහැර දමා එන ලෙසටය. මිතුරා, අන්තෝනියෝ ව හිම මත අත හැර දමා ඒමට කිසිසේත් කැමති වූයේ නැත. එහෙත්, හමුදා නීතී, යුද නීති හා කණ්ඩායම් නායකයන්ගේ අණට ඔහුට යටත් වන්නට සිදුවිය. එසේ ඔහු යටත් නොවුණා නම්, ඔවුන් ඔහුවත්, අන්තෝනියෝ වත් වෙඩි තබා මරා දැමීමට තිබු ඉඩ කඩ වැඩිය. යුද්ධවල හැටි එසේය. එතැන මනුස්සකමක් නැත. එය පරදවා ජයග්‍රහණ මානසිකත්වයක්ය කණ්ඩායම් නායකයන්ට ඇත්තේ. එහෙයින් මඟදී අබාධ වන අයව ඔවුන් කරන්නේ එක්කො දමා යෑමය, නැති නම් වෙඩි තබා මරා දැමීමය.
මිතුරා කෙතරම් අකමැති වූවද, ඔහුට අන්තෝනියෝව මඟ දමා යාමට සිදු විය. ඔහු කීප විටක්ම පසු පස හැරී බලමින් ගියේ අන්තෝනියෝ ව එතැන දමා යා නොහැකි නිසා විය හැකිය.
ඔහු මෙම සිදුවීමය ජොවන්නා ට කීවේ. අන්තෝනියෝ ජීවත් වෙනවාද නැද්ද කියන එක ගැන කිසිවකට හරි නිගමනයක් ගැනීමට නොහැකිය. ඔහු කියනා පරිදි, එසේ ආබාධිත වන බොහෝ අය හිම මත දමා යෑමෙන් සිදුවෙන්නේ ඔවුන් දින කීපයක් දුක් විද මිය යෑමය. එසේ බොහෝ අය මියගොස් තිබුණි. අන්තෝනියෝටත් එම ඉරණම අත්වීමේ ඉඩ කඩ වැඩි බවය ඔහු පැවසුවේ. එතැනින් අන්තෝනියෝ බේරෙන්නේ නම් ඒ විශාල හාස්කමකින් හෝ ප්‍රාතිහාර්යකින් බවත් ඔහු කීය.
අන්තෝනියෝ මියගොස් ඇති බවක් නම් ජොවන්නා කිසි සේත් විශ්වාස කළේ නැත. ඔහු තවමත් ජිවත් වී සිටින බවකි ඇය විශ්වාස කළේ. එහෙයින් ඇය තද තීරණයක් ගතී. ඒ ඔහුව සොයා රුසියාවට යාමටය.
ජොවන්නා රුසියාවට ගොස් කාර්යලයක්, කාර්යාලයක් ගාණේ ගියාය. කනත්තක්, කනත්තක් ගාණේ ගියාය. හැම ගම්මානයක්ම සොයා ගියේ ඇන්ටෝනියෝ ගේ පින්තූරයක්ද අතැතිවය. අවසානයේදී ඇයට ඔහු සිටින තැන හමුවිය. එහෙත් ඒ වන විට ඔහු තවත් කාන්තාවක්ව විවාහ කරගෙන ඔවුනට අවුරුදු 3 ක පමණ දියණියක්ද සිටියේය. එම කාන්තාව, ඔහුව හිම මත මිය යන්නට ආසන්නව තිබියදී, බේරා ගත් කාන්තාව විය. ඉන් පසු ඇය ඔහු හා විවාහ විය. අන්තෝනියෝ හා ජොවාන්නා එකට මුණගැසුනද, ඇය එතැනින් පලා ගොස් නැවත ඉතාලියට ගියාය. ඉන් පසු ගෙදර තිබූ අන්තෝනියෝ ගේ හැම මතකයක්ම විනාශ කර දැමීය.
කාලයාගේ ඇවෑමෙන් ජොවන්නා නව ජීවිතයකට හුරු විය. එලෙසම ඇය බෝනික්කන් නිපදවන කර්මාන්තශාලාවක රැකියාවක් කරන අතරේ පෙම්වතකු සමඟ එකට සිට, ඔහුට දාවා දරුවකුද උපදවා ගතී.
මේ අතර, අන්තෝනියෝ ට නැවතත් ජොවන්නා ව උවමනා විය. ඔහු කෙසේ හෝ ඇයට දුර කථනයෙන් අමතමින් ඇයව නිවසට පැමිණ හමුවීමට මගක් සාදාගත්තේය. එදින රාත්‍රියේ ඔහු ඇය සමඟ සිටිනා අතරය දැනගත්තේ ඇයට දරුවෙක් සිටින බව. එහෙත් අන්තෝනියෝ කීවේ, දරුවාත් සමඟ ඇයට ඔහු ළඟට පැමිණෙන ලෙසත් ය. ඒ හේතුවෙන් තම බිරිඳ හා දරුවාව අත් හරින්නටද ඔහු කැමති විය. නමුත් ජොවන්නා කීවේ ඇය දැන් මෙම ජීවිතේට හුරුවී ඇති බවත්, ඇය තම දරුවාත්, පෙම්වතාත් සමඟ සතුටින් සිටින බවත්ය. අන්තෝනියෝ ගේ දරුවා වෙනුවෙන් තම බිරිඳ ළඟට ඔහු යා යුතු බව ඇය කීය. අවසානයේදි ඇය ඔහුව දුම්රියපළට හැරලවන්නට විය. ඔහු දුම්රියේ නැඟ ඈතට ඇදෙන තෙක් ජොවන්නා බලා සිටියාය. අන්තෝනියෝ රුසියාව බලා ගිය අතර යලි කිසිම දිනයක ඉතාලිය ට පැමිණියේ නැත.
1973 වසරේ දී ඉන්දීය අධ්‍යක්ෂ යාශ් චොප්රා, මේ 'සන්ෆ්ලවර්' චිත්‍රපටයේ තේමාවට හුරු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේය. එය 'ඩාග්' යනුවෙන් හැඳීන්විය. රාජේශ් කන්නා, ශර්මිලා තාගෝර් සහ රාඛි, පිළිවළින් මර්සෙලෝ මස්ට්‍රොයානි, සොෆියා ලොරෙන්, හා ලුඩ්මිලා සවෙල්යෙවා ගේ චරිතවලට පණ දුනී. 'ඩාග්' 1886 වසරේ තෝමස් හාර්ඩි ලියූ 'ද මේයර් ඔෆ් කැස්ටර්බ්‍රිජ්', නම් නවකථාවේ අභාසයද ගෙන තිබුණද, එහී වූ රූප රාමු හා නළු නිළි තිදෙනාගේ චරිත ස්වභාවයන් බොහෝ විට සමාන වූයේ 'සන්ෆ්ලවර්' චිත්‍රපටයටය.
'සන්ෆ්ලවර්' චිත්‍රපටය ඇමරිකානු ඇකඩමි සම්මාන උලෙළටද යොමු වී තිබුණු අතර, එහීදී හොඳම සංගීත අධ්‍යක්ෂක සඳහා 'හෙන්රි මැන්සිනී' නිර්දේශ වී තිබුණි.
'සන්ෆ්ලවර්' ලංකාවේ ප්‍රදර්ශනය වූයේ කොළඹ ලිබර්ටි සිනමා ශාලාවේදීය. එය ලංකාව තුළ අතීශයින්ම ජනප්‍රිය වූ චිත්‍රපටයක් විය. එලෙසම 'ඩාග්' චිත්‍රපටයද ලංකාවේ තිර ගත වූ අතර, එය කොළඹ මරදානේ නිව් ඔලිම්පියා සිනමා ශාලාවේ සාර්ථක ව ප්‍රදර්ශනය විය.
අන්තර්ජාලයේ යූ ටියුබ් හී 'ඩේලි මෝෂන්' නාලිකාව සොයා ගියහොත් මේ 'සන්ෆ්ලවර්' නම් අතීශය සුන්දර චිත්‍රපටය ඔබට නැරඹිය හැකි වේ.