වර්ෂ 2023 ක්වූ March 21 වැනිදා Tuesday
ඉවත දැමිය නොහැකි ගෘංගාරාත්මක මානසික පෙරළිය

ඩේවිඩ් හර්බට් ලෝරන්ස් 1885 සැප්තැම්බරයේ එංගලන්තයේ නොටින්ග්හැම්ශෙයාර් හී ඉපදී පසු කලෙක, කවියෙක් හා ඉංග්‍රිසි ලේඛකයෙක් මෙන්ම නවකථාකරුවෙකු ලෙස නම් දැරීය. ඔහු ඉතාමත් නිදහස් මතධාරි ලේඛකයෙකු වූ අතර, ඔහු ලියන කුමන තේමාවක් වූවද, ඒ තේමාව තුළට කිදා බැස, එහී සාරය පුර්ණව උකහා ගෙන,ලියන්නට පුරුදු වී සිටියේය. හැඟීම් සමඟ ගැටී ඒ හැඟීම් හරහා උලුප්පා ගත හැකි හැම රසයක්ම තම පන්හිඳට කවා ඉදිරිපත් කිරීමට ඔහු බය වූයේ නැත.
ලේඛන කලාවේ ඔහු ඔහුව හදුන්වා දුන්නේ ඩී.එච්. ලෝරන්ස් නමිනි. පසු කලෙක ඔහු 'බ්‍රැන්ඩඩ් වූයේ එම නමිනි.
ඉංග්‍රිසි ජාතිකයෙකු වූ ඔහු. එංගලන්තයේ ඉපදුණද, මියගියේ ප්‍රංශයේය. ඔහු ජීවත් වූයේ අවුරුදු 44 ක් වැනි කෙටි කාලයක්ය. එහෙත් ඒ කෙටිකාලයක් තුල ඔහු කෙරූ දේවල් නම් අනන්තය, අප්‍රමාණය.
ඩී.එච්.ලෝරන්ස් මුලින්ම පාසැල් ගියේ ඔහුගේ නිවස පිහිටි ඊස්ට්වුඩ් ප්‍රදේශයේ ම පාසැලක් වූ 'බියුවාලෙ බෝඩ් පාසැලටය'. එහී ඉගෙන ගන්නා විට ඔහුට ශිෂත්වයක් ලැබී 'නොටින්ග්හැම් උසස් පාසැලට' මාරු විය. බියුවාලේ බෝඩ් පාසැලේ ඉගෙන ගත් අයෙකුට ප්‍රථම වරට ශිෂත්වයක් ලැබුණේ ලෝරන්ස්ටය. 1901 දී ඔහු පාසැලෙන් අස්වී රැකියාවකට බැඳුණි. ඒ බෙහෙත් උපකරණ නිෂ්පාදන කරන කර්මාන්ත ශාලාවකය. ඔහු එහි කනිෂ්ඨ ලිපිකරුවෙකු ලෙස රැකියාවේ නිරත වූවද එය සීමාවූවේ මාස 3 ක කාලයකට පමණී. ඔහු නිව්මෝනියා රෝගයෙන් පෙළුණු නිසා, ඔහුට රැකියාවෙන් ඉවත් වන්නට සිදු විය. ඔහුට සුව වූ පසු හේ නිතරම හග්ස් ගොවිපොළට ගියේය. හග්ස් ගොවිපොළ අයත් වී තිබුණේ චැම්බර්ස් පවුලටය. එහිදී ඔහුට ජෙසී චැම්බර්ස්ව මුණ ගැසුණි. ජෙසී ගේ මුණ ගැසීම ඔහුගේ ජීවිතයේ එක් සන්ධිස්ථානයක් විය. එයට හේතුව ජෙසි බොහෝ පොත් පරිශීලනය කරන නිසා ලෝරන්ස්ට ද, එසේ පොත් කියවීමට උනන්දුවක් ඇති කර ගැන්මට හැකි විය.
1902 සිට 1906 දක්වා ඔහු ඊස්ට්වුඩ් හී තිබූ බ්‍රිතාන්‍ය පාසැලෙ ඉගනුම කරමින් සිටි අතර එහිම උගන්වන්නට අවස්ථාවක් ඔහුට ලැබුණි. ඉගැන්වීම ඔහුගේ හිතට කාවැදුනු නිසා, ඔහු නොටින්ග්හැම්ශෙයාර් හී විශ්ව විද්‍යාල පාසැලේ ගුරු පාඨමාලාවක් කර සහතික පත ලබා ගතී. ඔය අතර වාරයේ ඔහු කවි ලියන්නටත්, කෙටි කථා ලියන්නටත් පටන් ගතී. එයින් ලැබූ පන්නරයෙන් ඔහු 'ලෙටිෂියා' නමින් නවකථාවක් ලිවීය. වසර 1911 දී එය 'ද වයිට් පීකොක්' නමින් මුද්‍රණය කර, ප්‍රසිද්ධියට පත් කළේය. මෙම කෘතිය ඇමරිකාවේ 'ඩෆිල්ඩ් සහ සමාගම' ඔවුනගේ රටේ ප්‍රකාශයට පත් කර, බෙදා හැරිය අතර, ඉන් දෙදිනකට පසු බ්‍රිතාන්‍යයේ 'හෙයිනෙමාන්' සමාගම, මුද්‍රණය කර බ්‍රිතාන්‍ය තුළ ප්‍රකාශයට පත් කළහ. එම කෘතිය ජනප්‍රිය වූ අතර, ඩී.එච්. ලෝරන්ස් ඒ තුළින් කර්තෘ වරයෙක් ලෙස නමක් හදාගත්තේය.
'ද වයිට් පීකොක්' පොතේ සෝදු පත් බැලුවේ 1910 දීය. එය නිම කිරීමටත් ප්‍රථම ඔහුගේ මව පිළිකාවකින් මිය ගියාය. එය ලෝරන්ස්ට දැඩිව බලපෑවේ ඔහු බොහෝ විට සිටියේ තම මව සමඟ නිසාය. මෙම සිදුවීම ඔහුට දරා ගැන්මට අපහසු විය. ඒ ඔහු තම මවට දැඩි ලෙස ආදරය කළ නිසා විය හැකිය. ඔහුගේ 'සන්ස් ඇන්ඩ් ලවර්ස්' නවකථාවේ තම මවට ඔහු දැක්වූ ආදරය විදහා දක්වා තිබුණි. එම කෘතියේම ඔහු මීරියම් යන චරිතයක්ද එකතු කර තිබූ අතර, ඒ ඔහුගේ පෙම්වතිය ලෙසට හදුන්වා දී, ඔහු තම ආදරය මව හා පෙම්වතිය අතර බෙදී යන අයුරු විස්තර කර තිබුණි.'සන්ස් ඇන්ඩ් ලවර්ස්' කථාව ඇත්තෙන්ම ඩී.එච්.ලෝරන්ස් ගේ චරිතාපදානයක් විය. එහී මිරියම් ලෙස අන්වර්ථ නාමයක් දක්වා තිබුණේ ඔහුගේ සත්‍ය ජීවිතයේදී ඔහුට හමුවූ ජෙසී චැම්බර්ස් ය. එයින් අරුත් වූයේ ජෙසී චැම්බර්ස්ට ඔහු ප්‍රේම කළ බවක්ය. ඔවුනගේ ප්‍රේම කථාව 1909 නත්තල් සමයේදී පටන් ගත් අතර, එය 1910 අගෝස්තු මාසේ වන විට නිමා විය. එම සිදුවීම ඔහු ඒ අයුරින්ම ඔහුගේ 'සන්ස් ඇන්ඩ් ලවර්ස්' කෘතියේ ලියා තිබුණි. මෙම පොත ප්‍රසිද්ධ කළ පසු ජෙසී චැම්බර්ස් යලි කිසි දිනෙක ලෝරන්ස් සමඟ කථා කළේ නැත.
ඩී.එච්.ලෝරන්ස් 'සන්ස් ඇන්ඩ් ලවර්ස්' කෘතියට පසු තව නවකථා 5 ක් ලිවීය. 'ද රේයින්බෝ' , 'වුමන් ඉන් ලව්' ,'ජෝන් තෝමස් ඇන්ඩ් ලේඩි ජේන්' සහ ' ලේඩි චැට්ලීස් ලවර්'ය. එය ඔහුගේ අවසාන නවකථා පොතය.
ඔහුගේ 'සන්ස් ඇන්ඩ් ලවර්ස්' කථාව චිත්‍රපටයකට නැඟුණේ 1960 දීය. එය ජැක් කාර්ඩිෆ් විසින් අධ්‍යක්ෂණය කළේය. ට්‍රෙවෝ හෝවර්ඩ්, ඩීන් ස්ටොක්වෙල්, වෙන්ඩි හිලර් මෙම චිත්‍රපටයේ රඟපෑහ.
ඔහුගේ 'ද රේන්බෝ' නවකථාව සිනමාවට නැඟුණේ 1989 දීය. එය කෙන් රසල් විසින් අධ්‍යක්ෂණය කළ අතර, සැමි ඩාවිස්, පෝල් මැක්ගෑන්, ඇමන්ඩා ඩොනෝහෝ මෙහි ප්‍රධාන චරිත රඟපෑහ.
ඩී.එච්.ලෝරන්ස් ලියූ 'වුමන් ඉන් ලව්' නව කථාව චිත්‍රපටයට නැඟුණේ 1969 දීය. එයද අධ්‍යක්ෂණය කළේ කෙන් රසල් ය. ඇලන් බැට්ස්, ඔලිවර් රීඩ්, සහ ග්ලෙන්ඩා ජැක්සන්, මෙහි ප්‍රධාන චරිත රඟපෑහ.
ඉන්පසු ඔහුගේ නවකථාවක් තිරයට නැඟුවේ 1981 දීය. ඒ ඔහුගේ අවසන් නවකථාව වූ 'ලේඩි චැට්ලිස් ලවර්' ය.
මෙම නවකථාව පුද්ගලීකව ප්‍රකාශයට පත් කළේ 1928 දීය. ඉන්පසු 1929 දී ඉතාලියේ හා ප්‍රංශයේ ප්‍රකාශයට පත් කළේය. මෙහි අනාවරණය නොකළ කෘතිය 1960 වනතෙක් එංගලන්තයේදී ප්‍රසිද්ධව ප්‍රකාශයට පත් කළේ නැත. ඒ මෙය අසභ්‍ය නවකථාවක් ලෙස පිළිගැනුණු නිසාය. එංගලන්තයේදී මෙය ප්‍රකාශයට පත් කරන්නට භාර ගත්තේ ලොව ප්‍රසිද්ධ ප්‍රකාශක සමාගමක් වූ 'පෙන්ගුයින්' සමාගමය. කෙසේ හෝ මෙම සමාගමට හා පොත් කර්තෘට විරුද්ධව අසභ්‍ය පොත් ප්‍රකාශකිරීමේ වරදට නඩු පැවරුණි. එහෙත් ඉතාම කෙටි කලෙකින් නඩුවේ තීන්දුව පැමිණියේ 'ලේඩි චැට්ලිස් ලවර්' කෘතිය ප්‍රසිද්ධව විකිණීමේ අයිතිය ලබා දෙමිනි. මේ හේතුවෙන් ඒ සතිය තුළම එහී පිටපත් මිලියන 3 කටත් වඩා වැඩි ප්‍රමාණයක් විකිණී ගියේය. ඒ කෙසේ වෙතත් මෙම පොත ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය ඇතුළු රටවල් වල තහනම් කළේ අසභ්‍ය කෘතියක් සේ සලකාය.මේ හැම දෙයකින්ම සිදුවුණේ පොත අසීමිත ලෙස ලෝකය තුළ ජනප්‍රිය වීමය.
ඩී.එච්.ලෝරන්ස් ගේ හැම කෘතියකම ඔහු ශෘංගාරය විවෘතව ඉදිරිපත් කරන්නට විය. විශේෂයෙන් ඔහුගේ 'ජෝන් තෝමස් ඇන්ඩ් ලේඩි ජේන්', කෘතියේ ස්ත්‍රිය, හා පුරුෂයාගේ නග්න සිරුර, හරි අපූරුවට විග්‍රහා කරන අතර,එතැනින් ඔබ්බට රහස් පෙදෙස් පවා ඔහු ගැඹුරින් විග්‍රහ කරන්නට විය. එය ඔහුගේ 'සන්ස් ඇන්ඩ් ලවර්' පමණක් නොව 'වුමන් ඉන් ලව්' කෘතියේද විස්තර කර තිබුණි. පිරිමි දෙදෙනෙකු නිරුවතින් 'රෙස්ලින්' තරඟයක් කරන ආකාරය විස්තර කර තිබුණේ 'වුමන් ඉන් ලව්' කෘතියේය. පසුව එය සිනමාවට නැගීමේදී එම නිරුවත් රෙස්ලිං තරඟය ඒ අයුරින්ම රූ ගත තිබුණි. ඒ දෙදෙනාට රඟපෑවේ ලෝකයේ ප්‍රකට නළු දෙපළක් වු, ඔලිවර් රීඩ් සහ ඇලන් බැට්ස්ය.
ඩී.එච්.ලෝරන්ස්, ශෘංගාරයට, නිරුවතට, මේ තරම් ප්‍රිය කිරීමට මූලික හේතුව ලෙස සටහන් වන්නේ ඔහු කුඩා කල සිටම හුදකලා ජීවිතයක් ගත කල නිසා බවය. එහෙත් එහී පූර්ණ සත්‍යයක් නැත. ඔහු එකල ඔහුට හමුවූ ජෙසී චැම්බර්ස් ගැන ඇති කරගත් ශෘංගාරාත්මක සිතුවිලි මෙන්ම ඇය සමඟ රහසින් සිදුවූ රාගීක ක්‍රියාකාරකම්වල වින්දනයන් මෙලෙස ඔහුගේ නවකථා හරහා පැවසෙන්නට ඇත. ඩී. එච්. ලෝරන්ස්ගේ 'සන්ස් ඇන්ඩ් ලවර්', 'ද රේන්බෝ' ' ජෝන් තෝමස් ඇන්ඩ් ලේඩි ජේන්' 'වුමන් ඉන් ලව්' යන කෘතින් කියවන විට ඔහු මොනතරම් රාගයට, ශෘංගාරයට ඇලුම් කරන්නේදැයි සිතා ගත හැකිය. වෙන අය හැංගි හැංගී ශෘංගාරය ගැන සිතන විට, ලෝරන්ස් ඒ පිළිබඳව විවෘතව කථා කළේ තම කෘතීන් හරහාය. ඔහු ගැහැනුන් හා මිනිසුන් ඉපදී ඇත්තේ ලිංගීක ක්‍රියාකාරකම් කිරීමටත්, නොඑසේ නම් ශෘංගාරයට පමණක්ම යයි සිතන ජාතියේ පුද්ගලයෙක්දෝයි සිතෙන්නෙ ඔහුගේ 'ලේඩි චැට්ලිස් ලවර්' කෘතිය කියවන විටය. ඔහු ඔහු ට හිතෙන, ඔහුට දැනෙන අනුරාගය, ශෘංගාරය, හා ලිංගීක ක්‍රියාකාරකම් ඒ අයුරින්ම, උපරිමයෙන්ම පිට කර හැරියේ 'ලේඩි චැට්ලිස් ලවර්' කෘතිය තුළින්. එහෙත් බොහෝ රටවල් ඔහුගේ ඒ රැඩිකල් විවෘත බවට ප්‍රතිචාර දැක්වූයේ ඒ කෘතිය තම තමන්ගේ රටවල තහනම් කරමින්ය.
ඩී.එච්. ලෝරන්ස් විවාහ වූ බවක් කොතැනකවත් කියා නැත. ඔහු ද්විලිංගිකයෙකු ලෙස නම් හදුන්වා දී තිබු අතර ඔහු ගොවියෙකු වූ විලියම් හෙන්රි හොකින්ග් නම් පුද්ගලයෙකු සමඟ සමලිංගික සබඳතාවයක යෙදී තිබුණි. එය ඔහු විසින් විටින් විට ව්‍යාංග්‍යාර්ථව කිව්වද, එය තහවුරු කළේ පසු කලෙක ඔහු සමඟ එකට සිටි ෆිරිඩා නම් තරුණියයි. ඔවුන් දෙදෙනා කාලයක් එකට සිටි මුත් ඩී.එච් ලෝරන්ස් පිරිමි සමඟ ගෙන ගිය ඇසුරු නතර කළේ නැත. මේ හේතුවෙන් ෆිරිඩා ඔහුගෙන් වෙන් වුණද, ඔහු සමඟ කළ ඇසුර නතර කළේ නැත. ඇය ඔහු මිය යනතෙක් විටින් විට හමුවී ඔහුගේ දුක සැප බැලුවාය.
ඩී.එච් ලෝරන්ස් වරක් ලංකාවටද පැමිණ තිබේ. එකල ලංකාව හැඳීන්වූයේ 'සිලෝන්' නමිනි. ඔහු ලංකාවට පැමිණියේ ඕස්ට්‍රේලියාව බලා යන අතෙර්ය. ඒ ගමනට ෆිරිඩාත් එකතු වූ බවක් කියවේ. පසුව ඔවුන් ප්‍රංශයට ගොස් ඇත. 1930 දී ඔහුට දරුණු ලෙස ක්ෂය රෝගය වැළඳුනි. ප්‍රංශයේ රෝහලකට ඇතුල් කර ටික දිනක් නැවතී ප්‍රතිකාර ගෙන නැවත නිවසට විත් දින කීපයක් ගත වූ පසු යළිත් ක්ෂය රෝගය උත්සන්න විය. එයින් ඔහු යළි යථා තත්වයට පත් වූයේ නැත. 1930 මාර්තු 2 වන දින, අවුරුදු 44 ක් වැනි කෙටි කාලයක් ආයුෂ වලදා ඔහු මිය ගියේය.
ඩී. එච්. ලෝරන්ස් මිය ගොස් අවුරුදු 51 කට පසුවය ඔහුගේ අවසන් කෘතිය වූ 'ලේඩි චැට්ලිස් ලවර්' සිනමාවට නැඟුණේ. මෙය මුලින්ම අධ්‍යක්ෂණය කිරීමට සැරසුණේ ලෝරන්ස්ගේ 'ද රේන්බෝ', ' වුමන් ඉන් ලව්' කෘතින් දෙක සිනමාවට ගෙන ආ කෙන් රසල් ය. එහෙත් ඔහුට 'ලේඩි චැට්ලිස් ලවර්' කෘතිය සිනමාවට නැගීමේ අයිතිය ලැබුණේ නැත. එය ක්‍රිස්ටෝපර් පියර්ස්, ඇන්ඩ්‍රෙ ඩිජාවූ, යන නිෂ්පාදකවරු අයිති කර ගත් අතර, ඔවුන් එය අධ්‍යක්ෂණය කිරීමට බාර කළේ ප්‍රංශ සිනමා අධ්‍යක්ෂකයකු වූ 'ජස්ට් ජෙකීන්ට' ය.
ජස්ට් ජෙකීන් ගේ බොහෝ චිත්‍රපට 'ඉරෝටික් 'ශානරය යටතේ නිර්මාණය වූ ඒවා විය. ඔහුගේ මුල් චිත්‍රපටය ලෙස සැලකෙනුයේ 1974 දී තිරගත කළ 'එම්මැනුවල්' චිත්‍රපටයයි. එය ලොව පුරා පැතිරී ගිය ඉරෝටික් උන්මාදයක් විය. පසු කලෙක 'එම්මෑනුවෙල් -2-3-4- යන නමින් පොකුරු ලෙස බිහිවූවද, ඒවා කිසිවක් ජස්ට් ජෙකින් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට නොවීය. 1977 දී ඔහු අධ්‍යක්ෂණය කළ 'මැඩම් ක්ලෝඩ්' චිත්‍රපටයද එසේ ඉරෝටික් ශානරය යටතේ නිර්මාණය වූවකි. 1980 දී ඔහු 'ගර්ල්ස්' නමින් චිත්‍රපටයක් නිර්මාණය කළේය. 'ලේඩි චැට්ලිස් ලවර්' චිත්‍රපටය නිර්මාණය කිරීමට ඔහුට ලැබුණේ ඉන් පසුවය. සිල්වියා ක්‍රිස්ටල් ඔහුගේ චිත්‍රපටවලට එක් කර ගත්තේ ඇය අතීශයින්ම නිදහස්ව රඟපාන නිසාත් 'එම්මෑනුවල්' චිත්‍රපටයේදි ඇය නොබියව, නොපැකිලිව එහී එන ශෘංගාරාත්මක චරිත වලට අනුගත වීම නිසාත්ය. එය ජස්ට් ජෙකීන්ට අධ්‍යක්ෂණයේ ලා ඉතාමත් පහසු විය. ඇය තුළින් පෙනුණු අනුරාගීක මෙන්ම රොමැන්තික පෙනුම ජස්ට් ජෙකින් අධ්‍යක්ෂණය කරන චිත්‍රපට තේමාවන්ට ඉතාමත් උචිත ලෙස ගැලපුණි. එහෙයින් ඔහු තව කිසිදු ආදේශකයක් ගැන නොසිතාම 'ලේඩි චැට්ලිස් ලවර්' චිත්‍රපටයේ ලේඩි කන්ස්ටන්ස් චැට්ලි චරිතයට සිල්වියා ක්‍රිස්ටල් ව තෝරා ගතී.
සිල්වියා ක්‍රිස්ටල් 1952 දී නෙදර්ලන්තයේ උට්රෙච්ට් නම් ප්‍රදේශයේ ඉපදුණි. සිල්වියාගේ පියා වූ ජීන් නිකොලස් ක්‍රිස්ට්ල්ට කුඩා සංචාරක හෝටලයක් තිබුණි. එහී සිල්වියා තම පියා හා මව වූ හෙන්ඩ්‍රිකා සමඟ ජීවත් විය. සිල්වියාගේ චරිතාපදානයේ ඇය එම හෝටලයට ආ වැඩිහිටි පුද්ගලයෙකුගෙන් දූෂණය වූ බවක් කී අතර, ඒ වන විට ඇයට වයස අවුරුදු 9ක් පමණ බවක්ද කියා තිබුණි. ඇයගේ මව හා පියා ඇයට වයස අවුරුදු 14 වන විට දික්කසාද විය. ඇයගේ පියා තම පවුල අතහැර වෙනත් ගැහැනියක් සමඟ ජීවත් විය. එය තම ජීවිතයට සිදුවූ ඉතාමත් දුක්බර සිදුවීමක් ලෙසටය සිල්වියා ඒ පිළිබඳ සඳහන් කළේ.
සිල්වියාගේ ප්‍රථම චිත්‍රපටය වූයේ 1973 තිර ගත කළ 'ප්‍රැන්ක් එන් ඊවා' ය. එතැන් සිට 'ලේඩි චැට්ලිස් ලවර්' චිත්‍රපටය වන තෙක් ඇය චිත්‍රපට 20 ක රඟපෑ අතර, ඒවායින් බහුතරයක් ඉරෝටික් ශානරයට අයත් චිත්‍රපට විය. 'එම්මැනුවල්', 'නේකඩ් ඕවර්ද ෆෙන්ස්', 'ජුලියා', 'ප්ලෙයින් විත් ෆයර්', 'ගේම් ඔෆ් සෙඩක්ෂන්', 'එම්මෑනුවෙල් 2,' 'එම්මැනුවෙල් 3', 'ප්‍රයිවට් ලෙසන්ස්' වැනි චිත්‍රපට ඒ අතර විය. සිල්වියා ක්‍රිස්ටල් පසු කලෙක තදින්ම හෙරෝයින් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි විය. පසුව ඇය පිළිකා රෝගයෙන් දරුණු ලෙස පීඩා වින්දාය. ඇයගේ පිළිකාව ඇති වූයේ උගුෙර්ය. දවස් 4ක් කෝමා තත්වයේ සිට ඇය මිය යනවිට ඇයට වයස අව්රුදු 60 ක් විය.මිනිසුන් ගණනාවක් මාරු කරමින්, විවාහ කීපයක්ම සිදුකරමින් අධි අනුරාගීක ජීවිතයක් ගත කළ ඇය, මිය ගියේ අතීශයින් දුක් විඳය. ඒ අවස්ථාවේ නම් ඇය වටා ඇය ඇසුරු කළ කිසිදු පිරිමියෙක් සිටියේ නැත.
'ලේඩි චැට්ලිස් ලවර්' චිත්‍රපටය ඇරඹෙන්නේ සර් ක්ලිෆඩ් චැට්ලිස් යුද්ධයකට ගොස් පැමිණීමෙනි. යුද්ධයෙන් ඔහු නිරුපද්‍රිතව පැමිණියද, යුද්ධයේ සිදුවූ තුවාල නිසා ඔහු ලිංගීකව බෙලහීන තත්වයට පැමිණ තිබුණි. ඔහුගේ අලුත් තරුණ බිරිඳ 'කොන්ස්ටන්ස් චැට්ලිස්' හෙවත් කොනී එයින් විශාල මානසික ඝට්ටනයකට මැදිවී සිටියේ ඇයගේ සැමියා හා ඇයගේ පිබිදී එන හැඟීම් අතෙර්ය. මෙය අවබෝධ කර ගත් සර් ක්ලිෆඩ් ඇයට තමන් කැමති පිරිමියෙකු සමඟ සම්බන්ධ වන්නට අවසර දුන්නද, ඔහු අවධාරණයෙන්ම කියා සිටියේ එසේ සම්බන්ධ වන පිරිමියා ඔවුනගේ සමාජ තත්වයට ගැළපෙන කෙනෙක් විය යුතු බවය.
නමුත් ඇයගේ සිත ඇදී ගියේ ඔවුන්ගේම නිවසේ වත්තේ කම්කරුවෙක් සේ වැඩ කරන තරුණ ඔලිවර් මෙලොස් ටය. ඔහු, ඔහුට ලබා දී ඇති වත්තේ කෙළවර කුඩා නිවසේ එළි මහනේ නාමින් සිටියදී ඇය ඔහුගේ සිරුරට ලොල් විය. එදින රාත්‍රියේ ඇය ඔහු සොයා වත්තේ කෙළවර කුඩා නිවසට ගියාය. එදින ඔවුන් ප්‍රථම වරට ශාරීරිකව එක්විය. එතැන් පටන් සැම රැයකම පාහේ චැට්ලිස් ගේ ආර්යාව හෙවත් ලේඩි චැට්ලි ගත කළේ තම වත්තේ කම්කරු සේවකයාගේ තුරුළේය. මුලින් ඔවුන් අනුරාගයෙන් බැදුණද, පසුව ඔවුන් දෙදෙනා එකිනෙකාට ආදරය කරන්නට විය. දෙදෙනාටම දරුවෙක් හැදීමේ උවමනාවකුත් ඇති විය.
මේ අතර සර් ක්ලිෆඩ්ට තම ආර්යාව වත්තේ කම්කරු ඔලිවර් මෙලොස් සමඟ සබඳ කමක් ඇති කරගෙන ඇති බවක් කනින් කොනින් ආරංචි විය. මුලින්ම එය සැකයක් පමණක් වූවද, පසුව ඔහු එය සත්‍යයක් බව තහවුරු කරදුන්නේය. හැම රැයකම ආර්යාව, මෙලොස් ගේ කුඩාරමක් බදුවූ කුඩා නිවසේ මෙලොස් සමඟ ගත කරන විට සර් ක්ලිෆඩ් තම මාලිගාවක් බඳු නිවසේ තම කාමරයේ විශාල ද්විත්ව යහනේ සුසුම් හෙළමින් තනිවම රැය පහන් කරන්නට විය.
ඩී.එච් ලෝරන්ස් තම නවකතාව තුලින් මේ තිදෙනාගේ අභ්‍යන්තර සිතුවිලි සූක්ෂමව, සංයමයකින් ඉදිරිපත් කර තිබුණි. මේ සියලු සිදුවීම්වලට මුලික හේතුව වූයේ සර් ක්ලිෆඩ් ගේ ලිංගීක ආබාධිත තත්වයය.ලේඩි චැට්ලිස් සොයා යා යුත්තේ තමා කැමති මිනිසා වෙතට මිස, සර් ක්ලිෆඩ් කැමති මිනිසා වෙතට නොව. එසේ වූවා නම් එය වෛශ්‍යාවකට නොදෙවනි තත්වයකට වැටෙනු ඇත. එහෙත් ඇය ගියේ ඇය තෝරා ගත් මිනිසා සමඟය. ඒ මිනිසා ප්‍රභූවරයෙක්ද, නැතහොත් කසල සෝධකයෙකුද යන්න ඇයට ප්‍රශ්නයක් නොවේ. ඇයට අවශ්‍ය ඇයව තෘප්තිමත් කළ හැකි ජවසම්පන්න පුද්ගලයෙකි.
ලේඩි චැට්ලිස් මෙලොස් වැනි තම සේවකයා ලඟට යෑමෙන් පහත් තත්වයකට වැටෙන්නේ තමාගේ අභිමානයය. ඒ සර් ක්ලිෆඩ් සිතූ හැටිය. ඩී.එච්. ලෝරන්ස් තම කෘතියෙන් මතු කර පෙන්නුවේ අනුරාගයේ බැඳෙන විට, මුලික අවශ්‍යතාවය සමාජ තත්ත්වය නොව, තරුණ, ජවසම්පන්න බව හා ක්‍රියාශීලි බවය. ලේඩි චැට්ලි සමාජ තත්වය පාගා දමා කම්කරුවාගේ පහසට ලොල් විය. එයින් නැතිවුනේ සර් ක්ලිෆඩ් ගේ ආත්ම ගරුත්වය ය.
මෙය තවත් දරා ගැන්මට සර් ක්ලිෆඩ් ට නොහැකි විය. ඔහු ලේඩි චැට්ලීස්ව වෙනිසිය බලා පිටත් කර යැවීය. ඔලිවර් මෙලොස් ව රැකියාවෙන් නෙරපා දැමීය.
වෙනිසියට ගිය ලේඩි චැට්ලිස් ට දරුවෙකු ලැබීමේ ලකුණු පහළ වන්නට විය. ඔලිවර් මෙලොස් තම බිරිඳගෙන් දික්කසාද වන්නට උත්සහ කළේ ලේඩි චැට්ලිස් සමඟ විවාහ වීමටදැයි සිතිය නොහැක්කේ, සර් ක්ලිෆඩ් ලේඩි චැට්ලි ව දික්කසාද කරාවිදැයි යන ප්‍රශ්නයත් නොඑසේ නම් මෙලොස්ගෙන් ලේඩි චැට්ලිගේ කුසට ආ දරුවාව සර් ක්ලිෆඩ් භාර ගනීවිද යන කුතුහලය ඉතිරි වී තිබූ නිසාය.
අවසානයේදී මෙලොස් දැරූ අදහස සත්‍ය බව ඔප්පු කිරීම ඩී.එච් ලෝරන්ස්ගේ අරමුණ බව පැහැදිලි විය.
ඒ, 'ආදරය ඇතිවෙන්නේ හදවතින් එන බැදීමෙන් නොව, සිරුර හා එක්වීමෙන් ඇති කර ගන්නා බැදීමෙන්' බවය. මේ හේතුවෙන් ඩී.එච් ලෝරන්ස් ලියූ, ජස්ට් ජෙකින් අධ්‍යක්ෂණය කළ සිල්වියා ක්‍රිස්ටල් රඟපෑ ' ලේඩි චැට්ලීස් ලවර්' නිකම්ම නිකං කාම කථාවක් කියා නම් ඉවත දැමිය නොහැකිය. එය ගැඹුරෙන් අධ්‍යයනය කළ හැකි මිනිස් හැඟීම් හා ගැටෙන මානුෂික පෙරළියක් විය.
ශේන් බ්‍රියන්ට්, සර් ක්ලිෆඩ් චැට්ලි වූ අතර, නිකොලස් ක්ලේ ඔලිවර් මෙලොස් ගේ චරිතය රඟපෑහ. ඈන් මිචෙල්, එලිසබක් ස්ප්‍රිග්ස්, පැස්කලේ රිවල්ට්, පීටර් බෙනට්, ඇන්තනි හෙඩ්, ප්‍රෑන්ක් මූරේ හා බෙසී ලව් සෙසු චරිත වලට පන දුන්හ.
නිෂ්පාදක කණ්ඩායම හිතූ තරම් 'ලේඩි චැට්ලිස් ලවර්' චිත්‍රපටය ජනප්‍රිය වූයේ නැත. එය බෙදා හැරිය කැනොන් සමාගම සටහන් කළේ චිත්‍රපටය පාඩු වූ බවක්ය. එහෙත් පසු කලෙක මෙය ගෘහස්ත වීඩියෝ මගින් අතීශය ජනප්‍රිය වූ අතර කේබල් ටී.වී.නාලිකා වූ ' 'සිනමැක්ස්' හා 'ශෝ ටයිම්', හරහා නැරඹුම් ප්‍රතිචාර ගනන ඉමහත් විය.
ලංකාවේ මෙය වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේ අතුරු සිදුරු නැතිව ප්‍රදර්ශනය විය. මෙය එක දිගට සති ගණනාවක්ම පෙන්වූ අතර,ඒ හැම තිරගත කරන වාර 'හවුස් ෆුල්' වී තිබුණි. එය සිල්වියා ක්‍රිස්ටල්ගේ නග්න රූපය දැකීමට නිසාද, නොඑසේ නම් එහී තිබූ අධි ශෘංගාරාත්මක ජවනිකා දැක බලා ගැනීම සදහාද, එසේත් නැත්නම් මෙහී ඇති ගැඹුරු මානුෂීක පෙරළිය තේරුම් ගන්නට උත්සහා කරන්නට ආවාද කියා දන්නේ නම් එකල පොදි කකා නැරඹූ ප්‍රේක්ෂකයන් ය. එහෙත් ඩී.එච් ලෝරන්ස් ලියූ, ජස්ට් ජෙකින් අධ්‍යක්ෂණය කළ සිල්වියා ක්‍රිස්ටල් රඟපෑ 'ලේඩි චැට්ලිස් ලවර්' නැරඹිය යුතු චිත්‍රපටයකි. ඒ, ඒ තුළ සැඟවී තිබූ අප මනසට වඩා අප සිරුරේ රස තැන් වලට දනවන, අපූරූවූ සත්‍ය මානුෂීක සබඳතා ගැටුම නිසාය.
'ලේඩි චැට්ලිස් ලවර්' නවතම චිත්‍රපටය මෙම දිනවල එංගලන්තය හා ඇමරිකාවේ ප්‍රදර්ශනය වේ. එය තිරගත වීම ආරම්භ කළේ 2022 සැප්තැම්බර් 2වන දිනය. එය අධ්‍යක්ෂණය කළේ ලෝරේ ඩී ක්ලේමන්ට් ටොනෙරේ විසිනි. එමා කොරින් ලේඩි චැට්ලිට රඟපෑ අතර, මැතිව් ඩකට්, සර් ක්ලිෆඩ් චැට්ලි විය. ඔලිවර් මෙලොස් ගේ චරිතය ජැක් ඕ කොනෙල් විසින් රඟපෑවේය. මෙය 'නෙට්ෆිලික්ස්' විසින් බෙදා හරින ලදී.