රහස් පරීක්ෂකවරියකගේ වික්‍රම

Enola Holmes 2
නොවැම්බර් 3, 2022

එනෝලා හෝම්ස් යනු සුප්‍රසිද්ධ හෝම්ස් පවුලේ බාලම සහෝදරියයි. අතිශය බුද්ධිමත් තීක්ෂණ නුවණකින් යුතු එනෝලා ස්වාධීන චින්තනයකින් යුතු ශක්තිමත් එඩිතර යුවතියකි.

එනෝලා සිය සුප්‍රසිද්ධ රහස් පරීක්ෂක සොයුරු ෂර්ලොක් හෝම්ස්ගේ අඩිපාරේ යාමට සැරසෙන්නේ ඇගේම වූ රහස් පරීක්ෂක ආයතනයක්ද විවෘත කරමිනි. කාන්තාවක ලෙස රහස් පරීක්ෂක වෘත්තියේ යෙදීම සිතන තරම් පහසු කටයුත්තක් නොවන බව එනොලාට ඉක්මනින්ම අවබෝධ වේ. දැඩි දුෂ්කරතා මධ්‍යයේ ආයතනය වසා දැමීමට තීරණය කරන එනොලා අභිමුවට හදිසියේ පැමිණෙන්නේ ඇගේ පළමු රහස් පරීක්ෂණයයි. නමුත් මෙය ඇය වෙත රැගෙන ඉන්නේ සතේ අතේ නැති, කැහැටු කුඩා කුඩා දැරියකි. ඇයගේ අතුරුදන් සොහොයුරා සොයා ගැනීම දැරියගේ අරමුණයි. පරීක්ෂණය බාර ගන්නා එනොලාට මුහුණ දීමට සිදුවන්නේ නොසිතූ විරූ අත්දැකීම් රාශියකටය. ලන්ඩන්හි දුෂ්ට කර්මාන්තශාලා වල සිට වර්ණවත් සංගීත ශාලා හරහා සමායේ ඉහළම තලය දක්වාත් එතැන් සිට බේකර් වීදියේ අංක 221 (ෂර්ලොක් හෝම්ස් ගේ නවාතැන) දක්වාත් විහිදී ගිය අභිරහස් කුමන්ත්‍රණයක් විසඳීමට එනොලාට සිදුවේ.

නැන්සි ස්ප්‍රින්ගර් විසින් රචිත යොවුන් නවකතා මාලාවේ The Enola Holmes Mysteries නවකතාව පදනම් කරගෙන හැරී බ්‍රැඩ්බීර් විසින් අධ්‍යක්ෂණය කරන ලද එනොලා හෝම්ස් චිත්‍රපටයේ දෙවැනි කොටස මෙලෙස දිගහැරේ. 2020 වසරේ තිරගත වූ පළමු චිත්‍රපටයෙන් පසු සිදුවන සිදුවීම් මාලාවක් නිරූපණය කරන මෙය හෙට (නොවැම්බර් 04) සිට ලොව පුරා තිරගත වීමට නියමිතය. මෙම චිත්‍රපටයේද මිලී බොබී බ්‍රවුන්, එනෝලා හෝම්ස් ලෙසත්, හෙන්රි කැවිල්, ෂර්ලොක් හෝම්ස් ලෙසත් පණ පොවන අතර ලුවී පැට්‍රිජ්, ඇඩීල් අක්තාර්, සූසී වොකෝමා සහ හෙලේනා බොන්හැම් කාටර් ඇතුළු පිරිසක් සෙසු චරිත නිරූපණය කරති.

 

[email protected]