නිහඬ නිවුන් සොයුරියෝ

සැප්තැම්බර් 15, 2022

වේල්සයේ, හවර්ෆොර්ඩ් වෙස්ට් හි සිටි එකම කළු ජාතික ගැහැනු දරුවන් දෙදෙනා වූ ජූන් සහ ජෙනිෆර් නිවුන්නුය. ඔවුන්ගේ කළු සම හේතුවෙන් පාසලේදී විවිධ වූ අමිහිරි අත්දැකීම්වලට මුහුණ දුන් මේ සොයුරියන් දෙදෙනා කාලයත් සමඟ අන් කිසිවෙකුත් සමඟ සන්නිවේදනය නොකළ අතර ඔවුන්ටම ආවේණික වූ භාෂාවකින් එකිනෙකා අතර පමණක්ම අදහස් හුවමාරු කර ගත්හ. අනික් පුද්ගලයන් සමඟ සන්නිවේදනය නොකළ බැවින්, මේ දෙදෙනාට ‘Silent Twins’  හෙවත් ‘නිහඬ නිවුන්නු’ යන නම පටබැඳුණි.

ඔවුන් දෙදෙනාටම වෙන්වූ මනඞකල්පිත ලෝකයක ජීවත් වුණු බව පෙනුණු මෙම දැරිවියෝ, තරුණ වියට පත්ව සමාජයෙන් කොන්වීම හේතුවෙන් අපරාධකාරී මානසිකත්වයකට තල්ලු වූහ. සති පහක් තිස්සේ දැරියන් දෙදෙනා විසින් සිදුකරන ලද නොයෙකුත් විනාශකාරී අපරාධ හේතුවෙන් ඔවුන්ව මානසික රෝහලක් තුළ වසර දොළහක් සිරගත කිරීමට ලක් කරන ලදි. එකිනෙකාගෙන් වෙන්ව ජීවත්වීම ප්‍රතික්ෂේප කළ ජූන් සහ ජෙනිෆර් තරුණියන් ඉදිරියේ මෙම සිරගත කිරීමත් සමඟ විකල්ප දෙකක් පැවතුණි. එනම්, වෙන්ව ජීවත්වීම හෝ එක්ව මිය යාමයි.

සම්මානලාභි ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක වන මාජරී වොලස් විසින් 1963 අප්‍රේල් මස 11 වැනි දින මෙලොව උපන් ජූන් සහ ජෙනිෆර් ගේ නිහඬ ලෝකයට පිවිසෙමින් ඔවුන්ගේ විශිෂ්ට නිර්මාණශීලි භාවයත්, අසමසම බැඳීමත්, ගුප්ත බවත්, හෙළි කරමින් ලියන ලද ‘The Silent Twins’  කෘතිය ඇසුරින්, පෝලන්ත චිත්‍රපට අධ්‍යක්ෂිකාවක වූ අග්නීස්කා ස්මොසින්ස්කා විසින් නිර්මිත ‘The Silent Twins’  චිත්‍රපටය 2022 හෙට (සැප්තැම්බර් 16) සිට ලොව පුරා තිරගත වේ. ලබන ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත 27 වැනි බුසාන් අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ දී මෙන්ම 2023 වසරේ කාන් චිත්‍රපට උලෙළේදී ද මෙම චිත්‍රපටය තිරගත වීමට නියමිත වේ. ගයානාවේ නිළියක වන ලේටිටා මිෂෙල් රයිට් මෙහි ජූන් ගේ චරිතයට පණ පොවන අතර බ්‍රිතාන්‍ය නිළියක වන තමාරා ලෝරන්ස් විසින් ජෙනිෆර් ගේ චරිතයට පණ පොවනු ලැබේ.

රෝටන් ටෝමැටෝස් වෙබ් අඩවියේ බොහෝ විචාරකයන් විසින් මෙම චිත්‍රපටයේ කතාව, ගීත, තිරරචනය සහ රඟපෑම් ඉහළින් අගය කර ඇති නමුත්, ඇතැම් විචාරකයන්ට අනුව මෙම දැරියන් දෙදෙනා සමාජයෙන් අත්විඳී හිරිහැර, කරදර සහ ඔවුන්ගේ ජීවන ගමනේ තොරතුරු වෙනුවෙන් චිත්‍රපටයේදී අවධානය ලැබී ඇත්තේ සුළු වශයෙනි.