වර්ෂ 2023 ක්වූ November 30 වැනිදා Thursday
හමුදා නිලධාරියකුගේ අාධ්‍යාත්මික ගැටුම

ටේලර් හැක්ෆෝඩ් අධ්‍යක්ෂණය කළ, මාර්ටින් එල්ෆෑන්ඩ්, ඩග්ලස් ඩේ ස්ටුවර්ට්, නිෂ්පාදනය කළ පැරමවුන්ට චිත්‍රපට සමාගම විසින් බෙදාහරින ලද, රිචඩ් ගියර්, ඩෙබ්රා වින්ගර් ප්‍රධාන චරිත රඟපෑ,ලුවිස් ගොසෙට් ජූනියර් තම රඟපෑම උදෙසා හොඳම සහාය නළුවාට හිමි ඔස්කාර් ඇකඩමි සම්මානය දිනාගත්, ඇමරිකානු ඩොලර් මිලියන 7කට ඇස්තමේන්තු කර, ඇමරිකානු ඩොලර් මිලියන 190 ක් ඉපැයු, 1982 වසරේ ඇමරිකාවේ වැඩිම ආදායමක් ලද 'ඇන් ඔෆිසර් ඇන්ඩ් අ ජෙන්ටල්මන්' සුළු සිදුවීම් සමූහයක් හරහා විශාල ආකර්ෂණයක් ලබා දුන් චිත්‍රපටයක් ලෙස සැලකිය හැකි විය.
ඇමරිකානු ඔස්කාර්- ඇකඩමි සම්මාන 7කට නිර්දේශ වී, හොඳම සහය නළුවා හා හොඳම ගීතයට හිමි සම්මාන දෙක ලබා ගත් මෙම චිත්‍රපටය මුළු ලොව පුරාම මේ ලෙසින් ජනප්‍රිය වේ යැයි කියා එහි නිෂ්පාදක මෙන්ම එයට සම්බන්ධ වූ කිසිවෙක් සිතුවේ නැත.
ටේලර් හැක්ෆෝඩ් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට ප්‍රථම 1973 දී 'බුකෝවස්කි' නම් වාර්ථා චිත්‍රපටයක් ලියා නිෂ්පාදනය කර තිබුණි. එය අධ්‍යක්ෂණය කළේ රිචඩ් ඩාර්විස්ය. ටේලර් හැක්ෆෝඩ් තම මුල්ම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ 1978 දීය. එය 'ටීනේජ් ෆාදර්' නම් වූ කෙටි චිත්‍රපටයකි.ඔහු එය ලියා, නිෂ්පාදනය කර, අධ්‍යක්ෂණය කළේය. 'ටීනේජ් ෆාදර්' විනාඩි 25ක් පමණ ධාවනය වූ චිත්‍රපටයකි. 1980 දී ඔහුට වෘත්තාන්ත චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට ලැබුණි. ඒ 'ද අයිඩල් මේකර්' ය. එය 'යුනයිටඩ් ආර්ට්ස්' චිත්‍රපට සමාගම විසින් බෙදා හරින ලදී.
ටේලර් හැක්ෆෝඩ් ගේ විශේෂත්වය වනුයේ ඔහු සංගීතයට හා ගීතයට තම චිත්‍රපට තුළින් සුවිශේෂිත තැනක් දීමය. ඔහුගේ 'ද අයිඩල් මේකර්' චිත්‍රපටය තේමා කර ගත්තේද වින්සන්ට් වැක්රි නම් ගීත රචකයා පිළිබඳවය. එය 'රොක් ඇන්ඩ් රෝල්' සංගීතය සම්බන්ධ සත්‍ය සිදුවීම් මාලාවකි.
ටේලර් හැක්ෆෝඩ් සංගීතයට කෙතරම් ළැදිද කිවහොත් ඔහුගේ චිත්‍රපටවල තේමා ගීතයට විශේෂිත අවධානයක් යොමු කරයි. එය මනා ලෙස ප්‍රත්‍යක්ෂ වනුයේ, 'ඇන් ඔෆිසර් ඇන්ඩ් අ ජෙන්ටල්මන්' හි තේමා ගීතය ගැන සිතන විටය. ජෝ කොකර් හා ජෙනිෆර් වෝන් ගායන කළ 'අප් වෙයාර් වී බිලෝන්ග්ස්' නම් එම තේමා ගීතය, එම වසරේ හොඳම ගීතය ලෙස ඔස්කාර්- ඇකඩමි සම්මානය දිනා ගති. එලෙසම 1984 දී ඔහු අධ්‍යක්ෂණය කළ 'අගේන්ස්ට් ඕල් ඔඩ්ස්' චිත්‍රපටයට ගායක පිල් කොලින්ස් විසින් ගායනා කළ, 'ටෙක් අ ලුක් ඇට් මී නව්' ගීතය මූළු ලොවම එක් රැයකින් වැලඳ ගත් අතර, එය 1984 වර්ෂයේ ඔස්කාර්, ඇකඩම් සම්මාන උලෙළේදී හොඳම ගීතය ලෙස නිර්දේශ විය.
1980 දී 'ද අයිඩල් මේකර්' නිර්මාණයෙන් පසු යළි ඔහුට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නට ලැබුණේ 1982 දීය. ඒ මාර්ටින් එල්ෆෑන්ඩ් හා ඩග්ලස් ඩේ ස්ටුවර්ට් ගෙනි. ඔවුන් දෙදෙනා විසින් නිෂ්පාදනය කිරීමට මෙන්ම ඩග්ලස් ඩේ ස්ටුවර්ට් විසින් කථාව හා තිරනාටකය ලියූ චිත්‍රපටයකි ටේලර් හැක්ෆෝඩ් ට අධ්‍යක්ෂණය කිරීමට ලැබුණේ. එය ඔවුන් 'ඇන් ඔෆිසර් ඇන්ඩ් අ ජෙන්ටල්මන්'- ලෙස නම් කළහ.
'ඇන් ඔෆිසර් ඇන්ඩ් අ ජෙන්ටල්මන්' චිත්‍රපටයේ චරිත තෝරා ගැනීම තරමක් අභියෝගාත්මක ක්‍රියාවලියක් විය. එහි ප්‍රධාන චරිතයට රිචඩ් ගියර්ව තෝරා ගත්තද, එයට මුලින්ම අත්සන් කර තිබුනේ ඉංගී‍්‍රසි ජන ගායනා ගීත ගයන , ගායක, නළු ජෝන් ඩෙන්වර්වය. ඒ අතරට ජෙෆ් බ්‍රිජර්ස්, හැරී හැම්ලින්, ක්‍රිස්ටෝපර් රීව්, ජෝන් ට්‍රා වෝල්ටා යන නළුවන්වද සලකා බලා තිබුණි.
පෝලා පොක්රිෆ්කි ගේ චරිතයට මුලින්ම තෝරා ගත්තේ සිගෝනි විඒවර් යන ඇමරිකානු නිළියවය. ඉන්පසු ඇන්ජලීකා හූස්ටන්, ජෙනිෆර් ජේසන් ලීග්, රෙබේකා ඩි මෝනෙ, මෙග් රයන්, ජීනා ඩේවිස් යන නිළියන්වද සලකා බැලිණි. එහෙත් අවසානයේදී එම චරිතය ගියේ ඩෙබ්රා වින්ගර්ටය. එය කදිම තේරීමක් විය.
කර්නල් එමිල් ෆොලේ නම් ශරීර අභ්‍යාස උපදේශක චරිතයට ආර් ලී එමී ව තෝරා ගත්තද අධ්‍යක්ෂක ටේලර් හැක්ෆෝඩ් ගේ ඒකායන තේරීම වූයේ එම චරිතයට වඩාත්ම සුදුසු ලුවිස් ගොසෙට් ජූනියර්' බවය. තමා එයට ඇත්තෙන්ම සුදුසු බව ඔහු ඔප්පු කර පෙන්වූයේ එම චරිතය විශිෂ්ට ලෙස කිරීම පමණක් නොව, එයට ඒ වසරේ හොඳම සහය නළුවාට හිමි ඔස්කාර් ඇකඩමි සම්මානය ද ලබා ගනිමිනි.
ඩේවිඩ් කීත් (සිඩ් වෝර්ලි), රොබට් ලොජිආ (බියරෝන් මායෝ - සැක්ගේ පියා), ලීසා බ්ලොවුන්ට්, (ලිනෙට් පොමෙරෝයි), ලීසා එයිල්බැචර් (කැසි සීගර්) අනෙක් ප්‍රධාන චරිත රඟපෑහ.
'ඇන් ඔෆිසර් ඇන්ඩ් අ ජෙන්ටල්මන්' චිත්‍රපටය ගෙතී යන්නේ 'සැච්රි මයෝ' නම් පුද්ගලයෙක් වටාය. සැච්රිට චිත්‍රපටය තුළ හඳුන්වන්නේ 'සැක්' කියාය. චිත්‍රපටය පටන් ගන්නේ ඔහුගේ ළමා කාලයෙනි. ඒ වන විට ඔහුගේ මව මිය ගොස් තිබුණි. ඇය මිය ගොස් තිබුණේද සිය දිවි හානි කර ගෙනය. මේ හේතුවෙන් ළමා කාලයෙදීම ඔහුට තම පියා ළඟට එන්නට සිදු විය. ඔහුගේ පියා 'බිරෝන්' ඒ වන විට සිටියේ පිලිපීනයේය. ඔහු ඇමරිකා නාවික හමුදාවට අනුයුක්ත වී සිටියේය. බිරෝන් පිලිපීනයේ ගත කළේ අතීශයින්ම විනෝදකාමි ජීවිතයකි. ඔහු දැඩිව මත් පැනට මෙන්ම ගණිකාවන්ට ඇබ්බැහි වී සිටියේය. ඇතැම් දිනවල ඔහු , ඔහුට වඩා අවුරුදු ගණනාවකින් ළාබාල පිලිපිනූ ගණිකාවන් තුන් හතර දෙනකු සමඟ තම කාමරයේ රැය ගත කරයි. සැක් ගේ ළමා කාලය ගෙවන්නට සිදු වුණේ මෙවන් පසුබිමකය. චිත්‍රපටයේදී සැක් ගේ ළමා කාලය විස්තරාත්මකව පෙන්වූයේ නැත. ඔහු තම සල්ලාල පියා සමඟ ගෙවන ජීවිතය දර්ශන දෙක තුනකට සීමා කළ අතර, සැක් තරුණයකු වන තෙක් ගෙවා තිබුණේ නාවික හමුදා ළමා සුරක්ෂිත රැකුම් මධ්‍යස්ථානයකය.
තරුණයකු වූ සැක්ට අවශ්‍ය වී තිබුණේ ඇමරිකානු නාවික හමුදාවේ ගුවන් ඒකකයට එකතුවී නාවික ගුවන් නියමුවෙක් වීමටය. ඔහු ඒ බවක් තවමත් නාවික හමුදාවේ රාජකාරි යේ නියුතු තම පියාට කීවද, ඔහු එයට එකහෙළාම විරුද්ධ විය. එහෙත් සැක් ඔහුගේ විරුද්ධත්වය නොතකා ඇමරිකානු නාවික හමුදාවට අයැදුම් කළේය. එහී මූලික පරීක්ෂණවලින් සමත්වූ සැක්, නාවික ගුවන් හමුදා පුහුණුවට අනුයුක්ත කළේය. 'සිඩ් වොර්ලී' ඔහුට හමුවන්නේ එහිදීය. සිඩ් ද, සැක් මෙන් ගුවන් නියමුවෙක් වීමට පැමිණි ශිෂ්‍යයෙකි.
ඔවුන්ව කණ්ඩායම්වලට වෙන් කර ප්‍රායෝගික අභ්‍යාස පුහුණුව පටන් ගති.සැක්ගේ කණ්ඩායමට සිඩ් වොර්ලී ඇතුළත් වූ අතර, සැන්ටොස් ඩෙල්ලා, ලයනල් පෙරිමන්, ටොපර් ඩැනියල්ස් ඇතුළු 20 කට වැඩි ප්‍රමාණයක් සිටියහ. මෙහි එකම කාන්තා ශිෂ්‍යාවක් සිටි අතර ඇය නමින් 'කැසී සිගර්' විය. ඇය අනෙක් හැම පිරිමි ශිෂ්‍යයන්ට තමුන්ගේම බාල සහෝදරියක් සේ විය.
ඔවුනගේ බාහිර අභ්‍යාස පුහුණුව භාර වී සිටියේ උපදේශක නාවික, ගුවන් හමුදා උසස් නිලධාරියෙකු වූ කර්නල් එමිල් ෆොලේටය. ඔහු කළු ඇමරිකානුවරයෙක් වූ අතර, දරුණුතම, උපදේශකවරයෙක් විය. ඔහු තම පුහුණුව පටන් ගත්තේම ඉතාමත් රළු අන්දමටය. ඔහුගෙන් කිසිවකුටත්, කිසිම අවස්ථාවක, කිසිදු ලෙසකින් බුරුලක් නොවීය. කිසිවකුගේ අතකින් ඉතාමත් සුළු අතපසු වීමක් හෝ අත්වැරැද්දක් සිදු වුවහොත් ඔහුගෙන් ලැබෙන දඬුවම ඉතාමත් දරදඬු විය. එහෙත් ඔහුගේ ඒ රළු ස්වරූපය ආරුඪ කරගත් එකක් බව සියල්ලටම වැටහුණද, ඔවුන් ඒ පිළිබඳව කථා කරමින් , ඔහුව සමච්චලයට පත් කළේ ඔහු නැති අතරෙදීය.
ඔහු නිතරම කීවේ මෙම පුහුණුව ඇමරිකානු ඩොලර් ලක්ෂ ගණනාවකට තක්සේරු කළ හැකි බවත්, කිසිවෙක් හෝ මෙම පුහුණුව අතර මඟදී පැන ගියහොත් ඔහුව අල්ලා ඔහුගෙන් මෙම ඩොලර් ලක්ෂ ගණන අය කරන බවකි. එහි ඇත්ත නැත්ත කුමක්දැයි හරි හැටි ඔවුන් දැන නොගත්තද, ඔහුගේ ඒ රළු අවවාදයට ඔවුන් බිය විය. එලෙසම ඔහු මෙසේද කීවේය. එනම් බොහෝ පියකරු ගැහැනු ළමයි මොවුන් සමඟ ශාරීරිකව එකතු වී, මොවුන්ගෙන් දරුවෙක් ලබා ගන්නට සැරසෙන බවත්, එසේ වූ පසු නඩු මාර්ගයට ගොස් හෝ මේ අනාගත ගුවන් නියමුවන් හා බලෙන් විවාහ වන්නට සැරසෙන කූට උපක්‍රම ඇති බවත්, එහෙයින් ගැහැණු ළමයි සමඟ සම්බන්ධකම් ගෙන යන විට, ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙසටය. එමිල් ෆෝලෙ ළඟ ඔය තිබෙන්නේ ආරුඪ කර ගත් රළු බවක් බව ඔවුනට වැටහුණේ එලෙස අවවාද කරන විටදීය.
පෝලා පොක්රිෆ්කි, හා ලිනෙට් පොමෙරොයි, රැකියාව කළේ කර්මාන්ත ශාලාවකය. ඔවුන් එහි සාමාන්‍ය සේවිකාවන් විය. එහෙත් ඔවුන් අතිශයින්ම රූමත් වූ අතර, එයිනුත් පෝලා පොක්රිෆ්කි, වඩාත්ම රූමත් විය.
ඔවුන් දෙදෙනාට මෙවර සති අන්තයේ ගුවන් හමුදා මූලස්ථානයේ පවත්වන සති අග සාදයට ඇරයුම් ලැබීය. ඔවුන් දෙදෙනා ඉමහත් සතුටකින්, මනරම්ව හැඳ පැලැඳ ගෙන ගියේ මේ එකාකාරි 'ෆැක්ටරි' ජීවිතයෙන් සුළු වශයෙන් හෝ මිදීමටය.
එදින මෙම සාදයට, කර්නල් එමිල් ෆෝලෙ ළඟ පුහුණු වන අනාගත ගුවන් නියමුවෝ ද, පැමිණි සිටියහ. සැක් මයෝට, පෝලා පොක්රිෆ්කි හා සිඩ් වෝර්ලි ට ලිනට් පොමෙරොයි මුණ ගැසුණේ මෙම සාදයේදී ය. එය තවත් අලුත් කථාවක ආරම්භයක් විය.
එම හමුවීමෙන් පසු, සැක් පෞද්ගලීකවද, පෝලාව හමු විය. ඔවුන් ඇති තරම් ආදරය කළා පමණක් නොව, ඇති තරම් ශාරිරීකවද හැසුරුණි. පෝලාට එය විශාල ප්‍රශ්නයක් නොවීය. ඇතැම් විට සැක් ඇයව විවාහ කර ගැනීමට පුළුවන, නැතහොත් අතර මගදී ඔහු ඇයව අත්හැර දමා යාමටද පුළුවන. ඒ දෙකම පිළිගන්නට ඇය මුල සිටම ලෑස්ති වී සිටියාය.
එහෙත් ලිනෙට් පෙමොරෝයි එසේ නොවීය. ඇයට සැලැස්මක් තිබුණි.ඇය ක්‍රියා කළේ ඒ සැලැස්මටය. ඇය සිඩ් වෝර්ලි සමඟ ගෙන ගිය ආත්මීය හා ශාරිරීක සබඳතා තුළ අර්ථයක් තිබුණි. බලාපොරොත්තුවක් තිබුණි. එය හරියට කර්නල් ෆෝලි දුන් අවසන් අවවාදයට සමාන විය. එහෙත් සිඩ් වෝර්ලි ට ඒ බව තේරුණේ නැත. ඔහු සිතුවේ ලිනෙට් ඔහුට අවංකව ආදරය කරන බවත්, ඔහු කුමන තත්වයේ සිටියත් ඇය ඔහු සමඟ පැමිණෙන බවකි.
ශරීර අභ්‍යාස උපදේශක කර්නල් එමිල් ෆොලේ, සැක් ගැන එතරම් පැහැදීමක් තිබුණේ නැත. ඔහුට නිතරම පෙනුණේ සැක් ආත්මාර්ථකාමි පුද්ගලයෙකු ලෙසටය. සැක් කණ්ඩායම සමඟ සිටින විට පවා බොහෝ විට සිතන්නේ තමා ගැන මිස කණ්ඩායම් හැඟීමෙන් නොව. සැක්ගේ කුමක් හෝ වරදක් අල්ලා ගැන්මට කර්නල් ෆොලේ බලා සිටින විටය, සැක් හමුදා නවාතැන තුළ දිලිසෙන සපත්තු හා හම් පටි 'බකල්ස්' අන් හමුදා ශිෂ්‍යයන්ට විකුණන බව අසුවූයේ. හමුදා නීතිය අනුව මෙවන් දේ කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධිය.
කර්නල් එමිල් ෆෝලේ, සැක්ට දුන් ප්‍රථම දඬුවම වූයේ සති අන්ත දින දෙක එක දිගට අභ්‍යාස ව්‍යායාම නොනවත්වාම කරන ලෙසටය. සාමාන්‍යයෙන් හමුදා ශිෂ්‍යයන්ට අභ්‍යාස පුහුණුව ලබා දෙනුයේ සතියේ දින 5 හේ පමණි. සති අන්තයේ ඔවුනට තමන් සතුටු දෙයක් කිරීමට නිදහස ලැබේ. එහෙයින් නාවික සිසුන් බලා සිටින්නේ සති අන්තය එන තෙක්ය. කර්නල් ෆෝලෙ සැක්ගෙන් උදුරා ගත්තේ මේ සති අන්ත දෙකය. එහෙයින් සැක් එම දඬුවම භාර නොගත් අතර, ඔහු එලෙස නොකරන බවක් කර්නල්ට දැන්වීය. එවිට කර්නල් කීවේ ඔහු සැක්ව මෙම පුහුණුවෙන් පමණක් නොව, ගුවන් හමුදාවෙන්ම එලවා දමන බවය. සැක් එයට බය විය. මෙතැනින් ගියහොත් ඔහුට යළි යන්නට තැනක් නැත. ඔහුගේ සියලු අනාගත බලාපොරොත්තු සුනු විසනු වී යයි. එහෙයින් ඔහු කර්නල් ෆොලේ දුන් දඬුවම භාර ගති.
එය පහසු නොවීය. කර්නල් ඔහුව මෙහෙයවන්නට විය. ඒ අපහසු අභ්‍යාස එක දිගට තනිවම ඔහුට කරන්නට සිදු විය.
ඒ අතර, සති අන්තය නිසා පෝලා හා ලිනෙට් හමුදා මූලස්ථානයට පැමිණියේ සැක් හා සිඩ්ව හමුවී සති අන්තයට කොහේ හෝ යාමටය. සැක්, කර්නල් ගේ උපදේශ මත 'දඬුවම් අභ්‍යාස' කරන බවක් පෝලා දකින්නෙ එවිටය. මෙය පෝලාගේ ඇස ගැටීම නිසා සැක් ඉමහත් ලැජ්ජාවට පත් විය. පෝලාට එය පුදුම සහගත කරුණක් නොවූයේ සුළු අත් වැරදි වලටත් හමුදා දඬුවම් මෙසේ වීම ගැන ඇය දන්නා හෙයිනි.
මේ අතර සිඩ්, හා ලිනෙට්ගේ සම්බන්ධය, සැක් හා පෝලා මෙන් ගලා යන්නට විය. සිඩ් මෙය තාවකාලිකව කරන්නේද යන්න නම් සැක්ට මුලින් ගැටලුවක් නොවීය. එහෙත් එක් දිනක් සැක්, සිඩ් ගේ නිවසේ සිඩ් හා සිඩ් ගේ දෙමාපියන් සමඟ රාත්‍රි කෑමකට සහභාගි වන විට දීය දැන ගත්තේ සිඩ් කාලෙක සිට ඇසුරු කරන ඔහුගේ පෙම්වතිය ගැන. ඇය සිඩ් ගේ මිය ගිය සොහොයුරාගේ පෙම්වතිය වී සිටි තරුණියයි. ඔහු තම ගුවන් නියමු පදවිය ලැබූ සැණින්ම ඇය හා විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින බවක් ද සැක්ට වැටහුනි. එව්ට සිඩ් ලිනෙට් සමඟ ගෙනියනුයේ තාවකාලික සම්බන්ධයකි. තමා වුවද පෝලා සමඟ ඇත්තේ තාවකාලික සබඳ කමකි. එහෙයින් සිඩ් එසේ වීම වරදක් නොවේ. සැක් එසේ සිතුවේය.
නමුත් තත්වය වෙනස් වූයේ ලිනෙට් සිඩ් නිසා ගැබ්බර වූ බව ලිනෙට් කී පසුවය. ඔවුන් කායිකව සම්බන්ධ වූවද මෙතරම් දෙයක් සිද්ධ වේවි යයි සිඩ් සිතුවේ නැත.
ලිනෙට් විසින් තමාගේම දරුවෙක් කුස දරාගෙන සිටී නම් තවත් විවාහයක් ගැන සැලසුම් කළ යුතු නොවන නිසා, ගුවන් නියමුවෙක් වූ පසු ලිනෙට් ව විවාහ කර ගන්නා බව ඔහු ඇයට පොරොන්දු විය.
සිඩ් ගුවන් නියමුවෙකු ලෙස පත් වීමට ආසන්නව සිටියදී ඔහුට, ඔහුගේ ශරිරය තුළ කිසියම් වූ වෙනසක්, වෙහෙසක් දැනෙන්නට විය. ඔවුන් ලබන දැඩි මෙන්ම රළු අභ්‍යාස පුහුණුව නිසා ඇති වූ ව්‍යාකූලත්වය නිසා, ඔහුට හදවත් රෝගික ලකුණු පහළ වන්නට විය. එහෙයින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔහු ගුවන් හමුදාවෙන් ඉවත් විය. එවන් රෝග ලක්ෂණ ඇති වුවහොත් ඔවුනට හමුදාවෙන් අස් වී යාමට අවසර ලැබේ.
හමුදාවෙන් ඉවත් වූ ඔහු ලිනෙට්ට ඒ බවක් කියා, ඇයව ඉක්මනින් විවාහ කර ගන්නා බවත්, විවාහයට ලෑස්ති වෙන ලෙසත් කීය. තව ටික කලක් යන විට කුසේ සිටින දරුවා මෝරා කුස තව තවත් ඉදිරියට එන නිසා දැන්ම විවාහ වීම හොඳ යයි ඔහු පැවසුවේය. හමුදාවෙන් ඉවත් වූවද, ඔහුට, ඔහුගේ පවුලෙන් ලද මුදල්, වත්කම් තිබුණි. එහෙයින් ඔහුට රැකියාවක් නොකර හෝ විවාහ වී සැපවත් ජීවිතයක් ගත කිරීමට හැකියාවක් තිබුණි. ඔහු මෙි ඉක්මන් විවාහය ලිනෙට් ට යෝජනා කළේ ලිනෙට් ගැනත්, ඇයට තමන්ගෙන් ලැබෙන්න සිටින දරුවා ගැනත් සිතාය.
එහෙත් ලිනෙට් එම යෝජනාව එක එල්ලේම ප්‍රතික්ෂේප කළා පමණක් නොව, ඇයගේ කුසේ දරුවෙක් නැති බවක්ද කීවාය. ඇය කීවේ ඇයගේ ජීවිතේ එකම බලාපොරොත්තුව හමුදා ගුවන් නියමුවෙකු හා විවාහ වීම බවත්, සිඩ්,ට දරුවෙක් ගැන කීවේ ඔහු ගුවන් නියමුවෙක් වූ පසු, වෙනත් කෙනෙක් හා විවාහ වේ යන බියට බවත්ය. දැන් සිඩ් කිසි දිනෙක ගුවන් නියමුවෙකු නොවන නිසා, ඔහු හා විවාහ වීමට නොහැකි බව ඇය කියා සිටියාය.
මෙම සිදුවීම සිඩ්ට දරා ගැන්මට අපහසු විය. ඔහු සිතුවේ ලිනෙට් ඔහුට අවංකවම ආදරය කරනු ඇතැයි කියාය.
ඉන් පසු දින දෙකක්ම සැක්ට සිඩ්ව හමුවුණේ නැත. ඔහු ඒ බවක් පෝලා ට කීවද, ඇයටත්, ලිනෙට්ටත් සිඩ්ව හමුවී තිබුණේ නැත. සැක්ට කිසියම් සැකයක් ඇති විය. ඔහු පෝලා සමඟ වහා සිඩ් නැවතී සිටි කාමරයට දිව ගියේය. සැක්ගේ සැකය නිවැරදි විය. සිඩ් තම කාමරය තුළ එල්ලී සිය දිවි හානි කර ගෙන තිබුණි.
සිඩ්ගේ දිවි නසා ගැනීම සැක්ට තදින්ම බලපෑවේය. ඒ, සිඩ් ඔහු සමඟ හමුදාවෙ මුල් දිනයේ සිට එකටම සිටි එකම හොඳම මිතුරා නිසාය. එදින සිට හැම දෙයක්ම ඔවුන් දෙදෙනා කළේ එකටය. එහෙයින් ඔහුට පෝලා පමණක් නොව හමුදාවත්, ගුවන් නියමුවෙකු වීමේ සිහිනයත් එපා විය. ඔහු වහා ගොස් හමුදාවෙන් අස් වන්නට උත්සහා කළේය. එහෙත් එය නැවැත්වූයේ කර්නල් එමිල් ෆෝලෙ ය. ඔහු සැක්ට ඉතාමත් රළු ලෙස, ඇතැම් අවස්ථාවන්හි සැක්ට අතින් පයින් අඩම්තේට්ටම් කීවේ කෙලෙසකවත් සැක්ට හමුදාවෙන් ඉවත් වීමට ඉඩ නොදෙන ලෙසය.
සැක්ගෙ අවසාන පුහුණුවීම තිබුණේ වෙනත් නගරයක, වෙනත් ඇකඩමියක ය. සැක් එම ස්ථානයට ගියේ පෝලා සමඟ තිබූ සම්බන්ධය බිඳ දමාය. පෝලා එය බලාපොරොත්තු වී සිටි හෙයින් ඇයට එය දරා ගැන්මට හැකි විය. එලෙසම ඇය සැක්ට කීවේ පෝලාගෙ පියා තරුණ කාලයේද ගුවන් හමුදා නිලධාරියෙක් ලෙස පුහුණු වු බවත් එම කාලය තුළ ඔහුට තම මව මුණ ගැසී ඔවුන් ප්‍රේම සම්බන්ධයක් පටන් ගත් බවත්, ඒ අතරේදී තම පියාගෙන් තම මව ගැබ් ගත් බවත්, එය දැන ගත් පසු පියා තම මව ව අතහැර දමා ගොස් ඇති බවත්ය. ඒ ගැබ් ගත් දරුවා පෝලා බවත්, තම පියා යළි තම මව සොයා පැමිණ ඇත්තේ අවුරුදු ගණනාවකට පසු තමන් තරුණියෙක් වූ පසුව බවය. එහෙයින් සැක් තමාව අත් හැර යාම අලුත් සිදුවීමක් නොවන බවක් ඇය කීය.
අවසන් පුහුණු වීම සාර්ථකව නිම කළ සැක් නොහොත් සැචරි මයෝ හමුදා කපිතාන් වරයෙකු ලෙසත් ගුවන් නියමුවෙකු ලෙසත් ඇමරිකානු රාජකීය හමුදාව ඉදිරියේ දිව්රුම් දුණි.ඔහුට මුල්ම ආචාරය හෙවත් 'සැලියුට්' කළේ ඔහුගේ දරදඬුම ශාරීරික අභ්‍යාස උපදේශක වරයා වූ කර්නල් එමිල් ෆොලේ ය. සැක් ඔහු ළඟට ගොස් ප්‍රති ආචාර කළේ, කර්නල් ෆොලේ නොසිටියා නම් තමන් කිසිදු අයුරින් මෙම තත්වයට නොපැමිණෙන බව කියමිනි. එහෙයින් මෙහී සම්පූර්ණ ගෞරවය හිමි විය යුත්තෙ කර්නල් එමිල් ෆෝලෙට බවද සැක් මෙම අවස්ථාවේ කියා සිටියේය.
මේ හරසර සියල්ල ලැබූ සැක් තම හමුදා හා ගුවන් නියමු නිල ඇඳුමින් කෙළින්ම ගියේ, පෝලා රැකියාව කරන කර්මාන්ත ශාලාවටය. ඔහු පෝලා ළඟට ගොස් කර්මාන්ත ශාලාවේ සියලු වැඩ කරුවන් ඉදිරියේ ඇයව තම අත්දෙකට ගෙන ඇය ව ඔසවා ශාලාවේ වැඩ කරන අය මැදින් ගියේ ඇයගේ දෙතොල් සිප ගනිමිනි. සැක් අවසාන පුහුණු වීමට ගිය පසු පෝලා, සැක්ව තම සිතින් අයින් කර, ඔහු හා ගත කළ මිහිරි සිදුවීම් පමණක් සිත තුළ රඳවා තබා ගත්තාය. සැක් ගුවන් නියමුවෙක්, කපිතාන්වරයෙක් වූ පසු ඔහුට තමා වැනි 'ෆැක්ටරි' කෙල්ලෙක් ගෙන් ඇති ඵලය කුමක්ද? මේ පෝලා සිතූ හැටිය. නැවත කිසිදිනයක ඇයට සැක්ව දැකීමට නොහැකි වේ යැයි ඇයට සිතුණි. එහෙත් ඒ සියල්ලම ශුන්‍ය කරමින් සැක් ඇය සොයා පැමිණ රැගෙන යන්නේ ඇයව විවාහ කර ගැන්මටය. සැක් තම දෑතින් පෝලාව ඔසවා යන විට කර්මාන්ත ශාලාවේ වැඩ කරමින් සිටි හැම සේවක සේවිකාවක්ම මහත් සතුටකින් අත්පොළොස්සන් දුනි. ඒ ඉමහත් සතුටින් අත්පොළොස්සන් දෙන සේවිකාවන් අතරේ ලිනෙට් පොමෙරෝයිද සතුටින් අත්පුඩි ගසමින් සිටියාය.
'Who knows
what tomorrow brings
In a world few hearts
survive
All I know is the way
I feel
When its real,
I keep it alive
The road is long
There are mountains in
our way
But we climb a step
every day
Love lift us up
where we belong
Where the eagles cry
On a mountain high
Love lift us up
where we belong
Far from the world below
Up where the
clear winds blow....