ඈත ඈත ඈත එපිට මන්දාකිනීයේ මතු යම් දවසක...

ඔක්තෝබර් 21, 2021

Foundation

මේ කතාව ඇරඹෙන්නේ ක්ෂීරපත මන්දාකිණිය අධිරාජ්‍යයක් විසින් පාලනය කෙරෙන ඈත අනාගතයේ දිනයක ය. මේ කාලයේ, හැරී සෙල්ඩන් නම් අග්‍රගණ්‍ය ගණිතඥයා විසින් Psychohistory (මනෝඉතිහාස) ලෙස නම් වන නව ගණිත-සමාජවිද්‍යා සිද්ධාන්තයක් නිර්මාණය කෙරෙන අතර ඉන් අති විශාල ජනසමූහයක ක්‍රියාකාරකම් සංඛ්‍යාත්මකව ගණන් බලා අනාගතයේ සිදුවන දෑ පුරෝකථනය කළ හැකි වේ. මන්දාකිණියේ අනාගතය පුරෝකථනය කරන සෙල්ඩන් දකිනුයේ එහි වත්මන් අධිරාජ්‍යය ඉක්මනින්ම බිඳවැටෙන බවත්, ඉන්පසුව උදාවන්නේ පාලනයකින් තොර වූ වසර 30,000 ක් පුරා පවතින ඉතා අඳුරු යුගයක් බවත් ය. අධිරාජ්‍යයේ බිඳ වැටීම නැවැත්වීමට නොහැකි වුවද මෙම අඳුරු යුගය වසර දහසකට පමණක් සීමා කිරීම සඳහා විසඳුමක් පවතින බව සෙල්ඩන් පසක් කර ගනී. ඒ වෙනුවෙන් ඔහු සැලසුමක් සකස් කරයි. සැලසුම වන්නේ දක්ෂ විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් දෙකක් මන්දාකිණියේ ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක ස්ථානගත කරවීමයි. රහසේ ස්ථානගත වන මෙම කණ්ඩායම් දෙක මිනිස් සංහතියත් එහි දැනුමත් රැකගනිමින් වර්ධනය වනු ඇති අතර වසර දහසකට පසු බිහිවීමට නියමිත අධිරාජ්‍යයේ 'පදනම' (Foundation) ද ඔවුන්ම වනු ඇත.

2021 සැප්තැම්බර් 24 දින සිට ඇපල් ටීවී+ නාලිකාව ඔස්සේ විකාශය වන ඩේවිඩ් එස්. ගොයර් සහ ජොෂ් ෆ්‍රීඩ්මන් විසින් නිර්මාණය කරන ලද ඇමරිකානු - විද්‍යා ප්‍රබන්ධ - රූපවාහිනී කතා මාලාවක් වන ‘Foundation’ මෙලෙස ඇරඹේ. ජැරඩ් හැරිස්, ලී පේස්, ලූ ලොබෙල්, ලෙයා හාවි, ලෝරා බර්න්, ටෙරන්ස් මෑන්, චිපෝ චුන්ග් සහ කැෂියන් බිල්ටන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන මෙහි පළමු අදියර කොටස් 10 කින් සමන්විත වේ.

Foundation, අග්‍රගණ්‍ය විද්‍යා ප්‍රබන්ධ ලේඛක අයිසැක් අසිමොව්ගේ, එනමින් යුත් විද්‍යා ප්‍රබන්ධ මාලාව පාදක කරගෙන නිර්මාණය වී ඇති අතර මේ කතා මාලාව ගැන අවබෝධයක් ඇති කරගැනීමට මේ ලේඛකයා ගැන යමක් සඳහන් කිරීම වටී. රුසියානු සම්භවයක් ඇති ඇමෙරිකානු ලේඛකයෙකු වන අසිමොව්, 'විද්‍යාත්මක සිද්ධාන්තයන්හි තර්කානුකූලව පදනම් වූ ප්‍රබන්ධ' හෙවත් ‘Hard Science Fiction’  රචකයෙක් බව බොහෝ දෙනා හඳුනාගනිති. ‘Hard Science Fiction’  සාහිත්‍යයේ කියවෙන තවත් ප්‍රමුඛ පෙළේ දෙදෙනෙකු වනුයේ රොබර්ට් එච්. හීන්ලෙයින් සහ ආතර් සී. ක්ලාක් යන ලේඛකයන්ය. 'ජීවරසායනය' Biochemistry)  පිලිබඳ මහාචාර්යවරයෙක් වූ අසිමොව් සිය ජීවිත කාලය තුළ කෘති 500 කට අධික සංඛ්‍යාවක් ලියා හෝ සංස්කරණය කර ඇති අතර විවිධ වූ කාරණා සම්බන්ධයෙන් ඔහු විසින් ලියා ඇති ලියුම් සහ තැපැල් පත් ගණන 90,000කට අධික බව වාර්තා වේ. උක්ත කතාවට 'පදනම්' වූ ‘Foundation’ ප්‍රබන්ධ මාලාව ඔහුගේ ජනප්‍රියම නවකතා මාලාව බවත් සඳහන් වේ.

Foundation, විචාරකයන්ගේ මිශ්‍ර ප්‍රතිචාර ලැබූ රූපවාහිනී කතා මාලාවකි. රෝට්න් ටෝමැටෝස් වෙබ් අඩවියේ විචාරකයන් 80 දෙනෙකු ගෙන් 71% ක් මේ කතාව අනුමත කර ඇති අතර දර්ශකයේ සාමාන්‍ය අගය 6.9/10 කි. වෙබ් අඩවියේ පොදු විචාරයට අනුව මෙය "විශාල පිරිවැයක් දරමින් ආකර්ෂණීය ලෙස නිර්මාණය වූවක් වුවද එහි මූලාශ්‍රයේ (එනම්, කෘතීන්හි) අන්තර්ගතය මනා ලෙස ග්‍රහණය කරගැනීමට අපොහොසත් වූ බවක් පෙනේ".