බොක්සිං වළල්ලේ යශෝරාවය

ජූලි 22, 2021

 

අධ්‍යක්ෂ රකීෂ් ඔම්ප්‍රකාෂ් මෙහ්රා හින්දි සිනමාවට ආගන්තුක චරිතයක් නොවේ. 'රංග් දේ බසන්ති', 'දිල්හි 6', 'භාග් මිල්කා භාග්' මෙහ්රා විසින් හින්දි සිනමාවට දායාද කළ චිත්‍රපටවලින් කිහිපයක් පමණි. මෙහ්රාටත් වඩා ඈත ඉතිහාසයක් ඇති තිර රචක අංජුම් රාජබාලි ද මෑත කාලීන හින්දි සිනමාවේ 'ද්‍රෝහ්කාල්', 'ගුලාම්', 'ද ලෙජන්ඩ් ඔෆ් භාග් සින්ග්', 'රාජ් නීති' වැනි වාණිජමය වශයෙන් සාර්ථක චිත්‍රපට කිහිපයක්ම රචනා කළ ප්‍රවීණයෙකි. 'භාග් මිල්කා භාග්' මෙහ්රා අතින් නිර්මාණය වූ වාණිජමය වශයෙන් අති සාර්ථක ක්‍රීඩා චිත්‍රපටයකි. මෙහ්රා සහ රාජබාලි, තිරරචක විජේ මෞර්ය හා එක්ව නිර්මාණය වූ වර්තමානයේ හින්දි සිනමාව තුළ වැඩියෙන්ම කතාබහට ලක්වන නවතම චිත්‍රපටය වන්නේ 'ටූෆාන්' ය.

'කුණාටුව' යන තේරුම ගෙනදෙන ටූෆාන් ඉන්දියානු ජාතික තලයේ බොක්සිං ශූරයෙකු ගැන වූ ක්‍රීඩා චිත්‍රපටයක් වන අතර ප්‍රවීණ රංගන ශිල්පී ෆර්හාන් අක්තාර් මෙහි ප්‍රධාන චරිතය වූ 'අසිස් අලි' හට පණ පොවයි. නළුවෙකු, අධ්‍යක්ෂවරයෙකු , තිර රචකයෙකු, පසුබිම් ගායකයෙකු, නිෂ්පාදකයෙකු සහ රූපවාහිනී නිවේදකයෙකු ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වන ෆර්හාන් මෙම චිත්‍රපටය වෙනුවෙන් විශේෂිත කායවර්ධන ක්‍රියාදාමයක යෙදී ඇති බවත් සඳහන් වේ. ඒ පිළිබඳ ෆර්හාන් පවසා සිටින්නේ මෙවැන්නකි.

"බොක්සිං ක්‍රීඩකයන් මුණගැසීමට හෝ ඔවුන් සමඟ වළල්ලට යාමට පෙර, මම මගේ පුහුණුකරුවන් සමඟ හොඳීන් පුහුණුවීම් කළා. එයට හේතුව තමාට තම හැකියාව පිළිබඳ අවබෝධයක් තිබීම වැදගත් වීමයි. අනතුරුව බොක්සිං වළල්ලට ඇතුළු වී බොක්සිං ශූරයන් සමඟ අභ්‍යාස හා පුහුණු සැසි වෙනුවෙන් දායක වුණා. විවිධ ප්‍රදේශවලින් පැමිණි බොක්සිං ක්‍රීඩකයන් විශාල පිරිසක් එම අවස්ථාව සම්බන්ධ වී සිටියා".

'ටූෆාන්'හි කතාව චරිතාපදානයක් නොවන බවත්, ප්‍රබන්ධ කතාවක් බවත් වාර්තා වන අතර ඉන්දියාවේ ප්‍රෙස් ට්‍රස්ට් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් වෙනුවෙන් එක්වෙමින් මෙහ්රා පවසා ඇත්තේ මෙය ඉහළ පැළැන්තිය ආකර්ෂණය කරන චිත්‍රපටයක් නොව මධ්‍යම පාන්තික ක්‍රීඩකයෙකුගේ අරගලය විදහා දක්වන්නක් බවයි. බොක්සිං යනු ලෝකයේ කිසිම තැනක පොහොසත් මිනිසුන්ගේ ක්‍රීඩාවක් නොවන බවත් මෙහ්රා වැඩිදුරටත් පවසා ඇත.

'බොක්සර්' (1984), 'මේරි කොම්' (2014) සහ 'සාලා ඛදූස්' (2016) වැනි බොක්සිං චරිත ගැන වූ හින්දි චිත්‍රපට එකතුවට අලුතින්ම එක්වන 'ටූෆාන්'හි පරේෂ් රාවල්, මෘනාල් තාකූර්, විජේ රාස්, මොහාන් අගාෂේ, හුසේන් දලාල්, දර්ශන් කුමාර් සහ සුප්‍රියා පතක් යන නළු නිළියන් සෙසු චරිත වෙනුවෙන් පණ පොවති. 'කභි අල්විදා නා කෙහෙනා', 'මනිකර්නිකා : ද කවීන් ඔෆ් ජාන්සි' සහ 'විශ්වරූපම්' වැනි චිත්‍රපටයන්ට පසුබිම් සංගීතය සැපයූ ශංකර් - එහ්සාන් - ලෝයි යන සංගීතවේදීන් ත්‍රිත්වය විසින් මේ චිත්‍රපටයේද පසුබිම් සංගීතය නිර්මාණය කර ඇත. ෆර්හාන් සහ මෙහ්රා, ප්‍රවීණ නිෂ්පාදකයෙකු වූ රිටේෂ් සිද්වානි හා එක්ව නිෂ්පාදනය කර ඇති මේ චිත්‍රපටය ඇමේසන් ප්‍රයිම් වීඩියෝ බෙදාහැරීමක් වන අතර මේ මස 16 වැනිදා සිට තිරගත කෙරේ.