වසර 50කට ෙපර අද වැනි දවසක සමුගත් අමරණීය වීරයා

ජූලි 20, 2023

- බෲස් ලී ක්‍රියාදාම සිනමාවේ දියුණුවට කළ මෙහෙවර සුළුපටු නොවේ
- දෙමුහුන් සටන් කලාවක් වන ජීත් කුංඩු හි නිර්මාණකරුවා වෙන්නෙත් බෲස්ලීමයි

අපි හැමෝම ආදරය කරන බෲස් ලී එහෙමත් නැතිනම් ලී ජුන් ෆෑන් උපත ලබන්නේ 1940 නොවැම්බර් 27 වෙනිදා. සටන්කරුවකු සහ නළුවකු විදිහට සමාජය තුළ නමක් තියන ලී ජුන් ෆෑන් සිනමාව තුළ අපි කවුරුත් හදුනාගන්නේ බෲස් ලී කියන අන්වර්ථ නාමයෙන්. ඒ ඔහු තමන්ගේ නම සිනමාවට ගැළපෙන විදිහට වෙනස් කරගත්තු නිසා. මාර්ෂල් ආර්ට් සටන් කලාව සහ නව සටන් පිළිබද හසළ දැනුමක් සහ අත්දැකීමක් සහිත වූ මේ මහා පෞරුෂය කා අතරත් කතාබහට ලක්වන චරිතයක් බවට පත්වන්නේ ඉතා කුඩා අවධියේදීම යි. වයස අවුරුදු 33ක් වැනි ඉතා කෙටි කලකින් ජීවන ගමන නිමාකරන මේ මහා සිනමා වීරයාගේ 50 වන ගුණ සැමරුම අදට (ජූලි 20) යෙදී තිබෙනවා. ජීවත් වෙලා හිටියනම් ඔහු මේ ගෙවන්නේ ජීවන ගමනේ 83 වන ජන්ම දිනය. අන්න ඒ නිසා ඔහුගේ ගුණ සමරුව අලළා ඔහු ගැන සිදුකරන මතකාවර්ජනයක් තමයි මේ. 

20 වන සියවස තුළ ලෝකයේ පහළ වූ බලවත්ම සටන් කලාකරුවකු විදිහට විචාරකයන්ගේ සහ ප්‍රේක්ෂකයින්ගේ පැසසුමට ලක්වන බෲස් ලී ක්‍රියාදාම සිනමාව දියුණු කිරීම වෙනුවෙන් කළ මෙහෙවර සුළුපටු එකක් නෙවෙයි. ඒ වගේම චීන ජාතිකයින් බටහිර සිනමාපටවල පෙනී සිටින ආකාරය සහ ඉදිරිපත්කරන චරිතවල ස්වභාවය වෙනස් කිරීමටත් ඔහු කටයුතු කළා. දෙමුහුන් සටන් කලාවක් වන ජීත් කුංඩු හි නිර්මාණකරුවා වෙන්නෙත් බෲස්ලීම තමයි. සැන් ප්‍රැන්සිස්කෝවල උපත ලබා බ්‍රිතාන්‍යයේ හොංකොවල හැදී වැඩුණු ඔහු ළමා නළුවකු ලෙස සිනමාවට හඳුන්වා දෙන්නේ ඔහුගේ පියා විසින්. හැබැයි ඒ සටන් කලාව සම්බන්ධ චිත්‍රපට නම් නෙවෙයි. සාමාන්‍ය චිත්‍රපට. ඔහු සටන් චිත්‍රපටවලට සම්බන්ධ වෙන්නේ තරුණ අවධියේදී.

බෲස්ලීගේ පියා ලී හොයි චුංග් හොංකොංහි පිහිටි ප්‍රසිද්ධ කැන්ටනීස් ඔපෙරා ගායකයෙක්. උපතින්ම හොංකොං සහ එක්සත් ජනපද පුරවැසිභාවය හිමිකරගත් ලී කුඩා කාලය තුළ ජීවිතයේ නොයෙක් අත්දැකීම් වලට මුහුණ දී තිබේ. විශේෂයෙන්ම දෙවන ලෝක යුද සමය තුළ විදි දුෂ්කරතා පිළිබඳව පසුකලෙක ඔහු මාධ්‍යවේදීන් සමඟ පවසා තිබුණේ දෑස් අග කඳුළක් රඳවාගනිමිනි. පියා ඔපෙරා තරුවක් වීම නිසාම කුඩා ලීට ඉතා කෙටි කලකින්ම සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාව හිමිවෙනවා. ළමා නළුවකු ලෙස චිත්‍රපට රැසකට සම්බන්ධ වූ ඔහුගේ මුල්ම රංගනය ඇතුළත් වන්නේ ද ගෝල්ඩන් ගේට් ගර්ල් චිත්‍රපටයයි. එහි ඔහු වේදිකාවට ගෙන යන කුඩා දරුවකුගේ භූමිකාවක් නිරූපණය කළේය.

වයස අවුරුදු නවයේදී සිය පියා සමඟ ද කිඩ් චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ අතර එය විකට කෘතියක් පදනම් කරගනිමින් නිර්මාණය කරන ලද්දක් විය. කෙසේ නමුත් ඔහු ප්‍රධාන චරිතයක් රඟපෑ පළමු නිර්මාණය වන්නේ ද එයයි. නව යොවුන්විය පසු කරමින් වයස අවුරුදු 18 වන විට තරුණ ලී සිනමාපට 20කට පමණ සිය රංගන දායකත්වය ලබා දී තිබුණි. පාසැල් කිහිපයකින්ම ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ලී උසස් අධ්‍යාපනය විශ්වවිද්‍යාල මට්ටමින් ලබාගත්තේය. රංගන කටයුතු නිසා ඔහු කිසිම අවස්ථාවක අධ්‍යාපන කටයුතු නවතා දැමුවේ නැත. සටන් නළුවකුට අධ්‍යාපනය කොතරම් වැදගත් ද යන්න ඔහු ක්‍රියාවෙන් ම ඔප්පුකර පෙන්වීය.

ඔහුගේ මුල් කාලීන සටන් කලා අත්දැකීම් අතරට වින්ග් චුන්, තායි චී, බොක්සිං සහ වීදි සටන් පෙන්වා දිය හැකිය. 1959 දී සියැටල් වෙත යන ඔහු 1961 වසරේදී වොෂින්ටන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. මුල් කාලයේදී නළුවෙක් වෙන්න ආසාවක් තිබුණත් ඔහු සටන් පුහුණුකරුවකු ලෙස මුදල් උපයන්න පටන් ගන්නේ ඇමරිකාවේ ජීවත්වෙන කාලෙදිම තමයි. 1964 වන විට ඔහු තමන්ගේම සටන් පුහුණු පාසල් දෙකක් ආරම්භ කරනවා. ඉන් පසුව ලොස්ඇන්ජලීස් වෙත සංක්‍රමණය වන ඔහු 70 දශකයේදී හොංකොං සහ හොලිවුඩ් නිෂ්පාදන ආයතන එක්ක සම්බන්ධ වෙමින් සිනමාපට තුළ සටන් කලාවට වෙනස්ම මුහුණුවරක් ලබා දීමට කටයුතු කරනවා. මෙම සිනමාපට ලොව පුරා අතිශය ජනප්‍රිය වන අතර බොහෝ දෙනාගේ කතාබහට පවා ලක් වෙනවා.

මුල් කාලීනව ඔහු සම්බන්ධ වූ සිනමාපට අතර, ද බිග් බොස් (1971), ෆිස්ට් ඔෆ් ෆියුරි (1972), ද වේ ඔෆ් ද ඩ්‍රැගන් (1972), එන්ටර් ද ඩ්‍රැගන් (1973), ද ගේම් ඔෆ් ඩෙත් (1978) යන සිනමාපට විශේෂයෙන් කැපී පෙනෙනවා. මෙහි අවසන් සිනමාපට දෙකේ අධ්‍යක්ෂණය සහ තිර රචනය සිදුකර ලද්දේ ලී විසින්මයි. ඔහුගේ සිනමාපටවල චීන ජාතිකවාදය නිරූපණය කිරීම නිසා චීන ජාතිකයින් අතර ඔහු වැදගත් චරිතයක් වූ අතර, ආසියානු සමාජය තුළ ඒකාකෘතිකවාදය බිඳ දැමීම වෙනුවෙන් ද ඔහු පෙනී සිටිටයේය. ඒ අනුව ඔහු 20 වන සියවසේ ලොව වැදගත්ම පුද්ගලයින් 100 දෙනා අතරට ද එකතු වන්නේ බෲස් ලී නාමය ප්‍රේක්ෂක හදවත් තුළ ඉහළම තැනක ඔසවා තබමින්.

බෲස් ලීගේ බාල සහෝදරයා වෘත්තීයෙන් ගායකයෙක් සහ සංගීත අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ තන්ඩර් බර්ඩ් නමැති සංගීත කණ්ඩායම හොංකොංවල ඉතා ජනප්‍රියයි. බෲස් ලීගේ මරණයෙන් පසුව ඔවුන් ද බෝල්ඩ් ඔෆ් බෲස් ලී යනුවෙන් ගීත ඇල්බමයක් පවා එළිදැක් වූවා. ඒ බෲස් ලී වෙනුවෙන් කරන උපහාරයක් විදිහට. එය ලොව පුරා රසික රසිකාවන් අතර ඉතා ඉක්මනින් ජනප්‍රිය වූවා. වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න අතරේ තමයි ඔහුට ඔහුගේ බිරිද වන ලින්ඩා එමරිව මුණගැහෙන්නේ. ඇය ඉගෙන ගත්තේ ගුරුවරියක් වෙන්න. ඒ කාලයේ එක්සත් රාජධානියේ තරුණියක් වෙනත් ජාතික තරුණයෙක් විවාහ කරගන්න එක තහනම් කරලයි තිබුණේ. මේ නිසා ඔවුන් 1964 දී විවාහ වුණෙත් හොර රහසේමයි.

බෲස් ලීට සහ ලින්ඩාට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඉන් වැඩිමලා වන්නේ බ්‍රැන්ඩන්. 1965 වසරේ උපදින ඔහු 1993 වසරේ මිය යනවා. බාල දරුවා ෂැනෝන් ලී උපදින්නේ 1969 වසරේදී. 1973 වසරේ බෲස් ලී මිය ගියත් ඔහුගේ බිරිඳ ඔහු විසින් ගොඩනගන ලද ජීත් කුංඩු කියන සටන් කලාව ප්‍රචලිත කරන්න ගොඩක් කැපවීමෙන් වැඩ කළා. 1975 වසරේදී ඇය බෲස් ලී ද මෑන් ඔන්ලි අයි නියු නමින් කෘතියක් පවා රචනා කළා. මෙම කෘතිය පදනම් කරගෙන තමයි 1993 වසරේදී බෲස් ලීගේ කතාව වන ඩ්‍රෑගොන් නිර්මාණය වන්නේ. 1989 වසරේදී ඇය එහි දෙවන කොටස ලියා පළකරන අතර 2001 වසරේදී ඇය සිය ජීවිතයට සමුදෙනවා.

බෲස් ලී මිය යන විට ඔහුගේ වැඩිමහල් දරුවා බ්‍රැන්ඩන්ට වයස අවුරුදු 8යි. බෲස් ලීට අවශ්‍ය වුණේ ඔහුටත් සටන් කලාව කුඩා කාලෙ ඉදන්ම පුරුදු කරන්න. ඒ නිසා තමන් යන දර්ශනතලවලට ඔහු කුඩා බ්‍රැන්ඩන්වත් අරගෙන ගියා. ඒ නිසා ඔහුට සිනමාව ගැන වගේම සටන් කලාව ගැනත් අලුත් අලුත් දේ ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. බ්‍රැන්ඩන් 1986 දී ලෙජසි ඔෆ් රෙගේ කියන සිනමාපටයේ වගේම 1991 ෂෝ ඩවුන් ඉන් ලිට්ල් ටෝකියෝ සහ 1992 රැපීඩ් ෆයර් කියන සිනමා නිර්මාණවලට සම්බන්ධ වෙනවා. බ්‍රැන්ඩන් මිය යන්නෙත් තරුණ අවධියේදීම තමයි. ඒ ඔහු ද කෲ නමැති චිත්‍රපට දර්ශන තලයේදී සිදු වූ හදිසි අනතුරක් නිසා වයස 28ක් තරම් අඩු වයසකදී.

බෲස් ලී මිය යනවිට ඔහුගේ දියණියට වයස අවුරුදු 4ක්. ඇයත් සිය පියා වගේම සටන් කලාවට පිවිසියා. ඇයට සටන් කලාව ඉගැන්වූයේ බෲස් ලීගේම ගෝලයෙක් වන රිචර්ඩ් බුස්ටිලෝ නමැත්තා විසින්. දර්ශන තලයකදී අධික හිසේ කැක්කුම නිසා රෝහල් ගත කෙරුණු බෲස් ලී පසුව සුව වී නිවසට පැමිණියා. පසුදින ඔහු නැවතත් මිතුරකුගේ නිවසේදී හිස කැක්කුම නිසා වේදනා නාශක පෙත්තක් අරගෙන නින්දට ගිහින් තියෙනවා. ඒ තමයි ඔවුන් බෲස්ලි එක්ක අවසන් වරට කතා කරපු අවස්ථාව වුණේ. ආයෙමත් කිසිම දවසක මේ සුපිරි වීරයා නැගිට්ටේ නැහැ. වෛද්‍යවරුන් නම් කියන්නේ ශරීරයේ අභ්‍යන්තරයට එල්ල වූ තදබල පහරදීමක් නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ කියලා. කොහොම නමුත් බෲස් ලීගේ වියෝව සටන් කලාවට වගේම සිනමා කර්මාන්තයටත් විශාල පාඩුවක් වුණා. ඔහු ජීවත්ව සිටියා නම් තවත් බොහෝ නිර්මාණ රසිකයින්ට තිළිණ කරන්නට ඉඩ තිබුණා.

අමිල නුවන් මධුසංඛ