මිදුණු විශ්වය ප්‍රේක්ෂකයන් විස්මයට පත් කරන සිනමා කාව්‍යයක්

ජූලි 6, 2023

එස්.එම්.එස්. යුගයට පෙර ආ දවසක අහම්බෙන් ලද ආදර හසුනක් ඔස්සේ වසර බොහෝ ගණනක් සිය සිතුවිලි සමඟ ගමන් කළ වත්මනෙහි ජනකාන්ත ගායකයකු වූ තරුණ පුරුෂයාට සිත් ගත් කත සම්මුඛ වන්නේ සිය ගී ප්‍රසංගය අතරමැද උදා වූ අනපේක්ෂිත විරාමයේදී ය. දැන් ඈ වියපත් වෙමින් සිටින්නියකි. ඔහු ඇගේ වතට හැඟුම්බරව එබිකම් කරන්නේ සිප ගැනීමේ අවිඥානික අදහසෙනි. නමුත් ඈ හෙමින් සීරුවේ ඉන් දුරස් වෙයි. සිනමාකරු ජයන්ත චන්ද්‍රසිරි ‘සමනල සංධ්වනිය’සිනමාපටය මෙසේ නිමාවට පත් කරන්නේ ස්ත්‍රී- පුරුෂ ප්‍රේමය සතු විසල් බව පිළිබඳ පුළුල් කතිකාවක් පුබුදුවාලමිනි.

ගැටවරයාට සම වයසේ සුන්දර ගැටවරියක සම්මුඛ කරන්නේ කළු කුමාර බලවේගයයි. එනමුදු රට පුරා පැතිරුණු යුද බිය දෙදෙනා දෙපසට කරවන්නේ ප්‍රේක්ෂකයා තිගස්සවමිනි. කළුකුමාර බලවේගය ගැටවරයාට ප්‍රතිඥාවක් ලබා දෙයි. ඒ කෙදිනක හෝ දෙදෙනා මුණ ගස්වන බවට ය. කාලය නොනවත්වාම ගෙවී යයි. ගැටවරයා සරසවි ඇදුරෙකි. ඔහු සිය බිරිඳගේ යම් රෝගාබාධයකට ඇවැසි ප්‍රතිකාර දැන ගනු රිසියෙන් එතෙරක සිට පැමිණි විශේෂඥ වෛද්‍යවරියක හමුවට යයි. ඈ අතීතයේ සිටි සුන්දර ගැටවරිය යි. දෙදෙනා නොවියැකුණු ආදරය උද්ධරණය කරමින් එකිනෙකා වැලඳ ගනිති. එහෙත් ඉන් ඔබ්බට යාම ඔවුනට අපහසු ය. විවාහය හා දරු සම්පත් බාධකයකි. සරසවි ඇදුරු පෙම්බරයා, පෙම්බරිය වෙතින් ඉවත්ව යයි. මේ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘ඝරසරප’සිනමාපටය නිමාවට පත් කෙරෙන අයුරු ය.

ජයන්ත මෙසේ මස්තකප්‍රාප්ත නොවන අපූර්ව හා සංවේදී පෙම් බැඳුම් සිනමානුරූපී ප්‍රවේශය සුරකින චර්යා සහිත ව ගෙන හැර පෑමේ අභිලාසයෙන් තව දුරටත් අත් නො මිදෙන වග සිය නවතම සිනමාපටය වෙතින් ද නොවලහා පවසයි. මේ ‘මිදුණු විශ්වය’ ය. උක්ත සිනමාපට ද්විත්වය අතර සමානතා සේම වෙනස්කම් ද ඇති බව රහසක් නොවේ. මේ අතරට ‘මිදුණු විශ්වය’එක් වන්නේ ද සමානතා සේම වෙනස්කම් ද ජනිත කරමිනි. මෙහෙයින් දත හැකිවන්නේ ජයන්ත එකම තලයක රඳවා ලිය හැකි සිනමාපට ත්‍රයක් ක්‍රමයෙන් නිර්මාණය කොට ඇති බව ය. මෙය ඔහුගේ සිනමා භාවිතයේ එන තුන් ඈඳුතු සිනමා ප්‍රවේශයක් සේ හඳුනා ගැනීම සාකල්‍යයෙන්ම යුක්ති සහගත ය. ඉදිරියේදීත් ජයන්ත මෙමඟ ඔස්සේ ගමන් නොකරනු ඇති බවට ප්‍රමාණවත් සහතිකයක් ලබා දිය හැකි නොවේ.

‘මිදුණු විශ්වය’ හි එන පෙම්බරයාට ද පෙම්බරිය සමඟ වන දෘඪතර බැඳීම සදාතනික කර ගැනීමේ අපේක්ෂාව පිළිතුරු නොමැති ප්‍රශ්නයකි. පෙම්බරයා - වරන්‍යා වරක් පවසන්නේ ඇතැම් ආදර බැඳීම් වලට පසුකාලීනව දෛවය හරස් වුව ද මේ ආදර බැඳීමට දෛවය හරස් වන්නේ මුල් වටයේදීම ය යන්න ය. පෙම්බරිය - රාජිනි මදිරාක්ෂි නමැති ජනකාන්ත සිනමා රූපණවේදිනිය සිය සාර්ථක සිනමා ජීවිතය හා ගැටුම්කාරී පවුල් ජීවිතය අතහැර යන්නේ අදින් වසර හතළිස් අටකට පෙරාතුව යි.පෙම්බර වරන්‍යා උපදින්නේ ඇගේ නික්ම යාමෙන් අනතුරුව ය. වර්ෂ දෙදහස් විසිතුනේදීත් ඔහු තාරුණ්‍යය හැර නොගිය අයෙකි.

සිනමාකරු ජයන්ත කිසිදු ප්‍රේක්ෂකයකුගේ විශ්වසනීයත්වය බිඳ නොවැටෙන පරිදි මේ අභව්‍ය සබැඳීයාව සත්‍යයක් ම වන වග අවධාරණය කරන්නේ සිය පූර්ව නිර්මාණ කාර්යයන් සමහරක් ද සිහිපත් කරමිනි. ඔහු රූපවාහිනී මාධ්‍යයට ගෙන ආ නිර්මාණ කිහිපයකදී ම අභව්‍ය මානව සබඳතා සැබෑ ලෝකයේ සක්‍රිය අන්දම නිරූපණය කරන්නේ දෘශ්‍යමානය විනිවිද දැකීම පිළිබඳ සම්මත නිර්වචන ආදිය බැහැර කරන අදහසක් සහිතව ය. ‘මිදුණු විශ්වය’ හි දීත් ඔහු මේ පිළිවෙතේම පිහිටන්නේ රූපවාහිනිය හා සිනමාව අතර පවතින අනන්‍යතා පරතරය කෙරෙහි අපමණ සැලකිල්ලක් දක්වමිනි.

‘මිදුණු විශ්වය’ ප්‍රේක්ෂකයන් නො පමාවම විස්මයට පත්කරන හා ඉන් නොනැවතී ඔවුන්ව සසල කරන සිනමාපටයක් වන්නේ ප්‍රමාණවත් හා විශිෂ්ට දායකවීම් කිහිපයක් සමඟිනි. ජයන්ත විසින් ම රචනා කරන ලද තිරනාටකය සියල්ලට ඉහළිනි. රූප රචනය, කලා අධ්‍යක්ෂණය කැපී පෙනෙන බව සත්‍යයකි. නමුත් තිරනාටකයේ එන රූපරාමු නිසි ව සංස්කරණයට ප්‍රවීන් ජයරත්න ගන්නා වෙහෙස සිනමාපටය පුරාම කිසිදු අඩුවකින් තොරව දැක ගත හැකි ය. ඔහුට සිදුවන්නේ වර්තමානය හා ඒ සමඟ අත්‍යන්තයෙන්ම බැඳෙන අතීතය එකම විටෙක තිරය මත පතිත කරන්නට යි. යම් සුළු අත්වැරදීමකින් වුව ප්‍රේක්ෂකයන් වල්මත් වන්නට ඉඩ තිබෙන්නේ ය යන්න සම්බන්ධයෙන් ඔහු සේම ජයන්ත ද කල්පනාකාරී වන්නට ඇත. අතීතය දැක්වීමේදී කළු සුදු වර්ණ භාවිත කිරීම පැරණි තාලයේ සුලබ පිළිවෙතක් සේ නොපෙනීම ජයන්ත ලද වාසියකි. ඔහු නූතන කාරණා නිරූපණයේ දී සුලබ සම්ප්‍රදායන් සපුරා ම බැහැර නොකරන්නකු වන බව ද මෙතැනදී නිහඬව ම පවසයි.

තමන් විසින් ගෙන හැර දක්වනු ලබන අතීතය වත්මන පරයා යන සුන්දරත්වයකින් යුතු වන බව පැවසීමේ ආන්තික වුවමනාවක් ජයන්ත තුළ නොපවතින අන්දම පැහැදිලි ය. අතීත සිනමා තාරකාව වන රාජිනී ගෙවා දමන්නේ සුපුෂ්පිත දිවියක් නොවේ. සුරා සොඬකු ද, සූදු අන්තුවකු ද වන සැමියා වරෙක කුරිරු වන සතෙකු වැනි ය. යම් සාපේක්ෂ හොඳක් වුව ඔහු වෙතින් පළ වන්නේ ඉඳ හිට ය. ජයන්තටත් නොදැනීම ඔහු පිළිබඳ මෙම හඳුන්වා දීම සහේතුක වන සැටියකි. වරෙක හැඟෙන්නේ සිනමාපටයේ භාවමය අවතීර්ණ වීමට ඔහුගේ ඇවතුම් පැවතුම් ප්‍රශ්නකාරී වූ බව යි. ඔහුගේ චරිතය හැරුණු කොට සිනමාපටයට අවශ්‍ය වන චරිත ත්‍රය ම නිසි හැඩ තල සහිත ව නිරූපණයට ජයන්ත සමත් වන ආකාරය හැම විටෙකදීම දක්නට ලැබේ. කෙසේ නමුදු ඉහළ ම පෙළේ රූපණ කාර්යයක් ගෙන ඒමට ප්‍රධාන චරිත කරා පැමිණෙන කිසිවකුත් සූදානම් නොවෙති. ජයන්තට වඩා වැදගත් වන්නේ රූපණය ම නොව සිනමාපටයේ අපූර්වත්වය සිනමානුරූපීව සහතික කර ගැනීම යි. ඊට අතිශය ප්‍රබල රූපණ කාර්යයන් බාධාකාරී වන්නට ඉඩ ඇති බව ඔහුගේ අදහස වන්නට ඇත. මෙහෙයින් උද්දික ප්‍රේමරත්න, උදාරි වර්ණකුලසූරිය, බුද්ධික ජයරත්න හා චුලක්ෂි රණතුංග සිය සීමා අරභයා සැලකියයුතු අවබෝධයකින් යුතුව රූපණයෙහි නිරත වන බව පෙනේ.

සිනමාපටය අතීතය හා වර්තමානය අතර සැරිසරමින් විකාශය වන්නේ ප්‍රේක්ෂකයන් අන්ද මන්ද කිරීමක් සිදු නොවන ආකාරයකට ය. මේ අතරවාරයේ ජයන්ත අහිමි වන ආදරයේ ගැඹුරුම තැන් හසු කර ගැනීමට ගන්නා වෙහෙස සුළු පටු නොවේ. විටෙක එය දරා ගැනීම අපහසු ය. නමුත් ඒ සුලබ හඬා වැටීමකට ඉඩ හසර විවර නොකරමිනි. මෙහි උච්චස්ථානය සලකුණු වන්නේ රාජිනී සිය පෙම්බරයාගෙන් සදහටම ඈත් වූ බව වටහා ගන්නා මොහොතේදී ය. ස්ත්‍රී - පුරුෂ ප්‍රේමය කෙතරම් බරසාර ද යන්න පිළිබඳ අතිශය සංකීර්ණ හැඟීම් ගොන්නක් මෙතැනදී ඉස්මතු වන්නේ කිසිදු අවහිරයකින් තොරව යි.

ප්‍රේක්ෂකයන් පෙරළා ජයන්තගේ පිවිසුම ප්‍රශ්න කරන්නට උත්සුක විය හැකි අවස්ථා සමහරකින් ද ‘මිදුණු විශ්වය’ සමන්විත බව පෙනේ. මේවා ජයන්තගේ සිනමා භාවිතය විෂයෙහි කලක පටන් දැක ගත හැක්කකි.

අතීත සිනමා රූ ගත කිරීමකදී සිංහල සිනමාකරුවා රාජිනී වෙත ඕනෑවට වඩා සමීප වන සැටියකි. එහෙත් එය පමණ ඉක්මවා නොයයි. දමිළ සිනමාකරුවා රූ ගතකෙරෙන ගීතමය ජවනිකාවකට අදාළ වතරමක විසුළු සහගත නර්තනයක නිරත වන සැටියකි. ඇතැම් ප්‍රේක්ෂකයන්ගේ මුවගට සිනාවක් ද නැගේ. ජයන්තට වුවමනා වී ඇත්තේ 1960 දශකයේ ලාංකේය සිනමා කලාපය තුළ කැපී පෙනුණු දමිළ සිනමාකරුවන් හාස්‍යයට ලක් කිරීමක් දැයි යන ප්‍රශ්නය නො නැඟිය යුතු බව සනාථ කළ යුත්තේ ඔහුම යි. වර්තමානයේ සුමධ්‍යා නම් යුවතිය හරහා රාජිනී විමසන්නේ වරන්‍යාඅත ඇති ජංගම දුරකථනය පිළිබඳව ය. ඉන් ඇමතුම් ගැනීම පමණක් නොව ඡායාරූප ගැනීම ද සිදු කළ හැකි බව වරන්‍යා පැවසුව ද අන්තර්ජාල සබඳතා පිළිබඳ කිසිවක් නොකියයි. ඊට ජයන්තගේ අවසරයක් නොලැබුණු සේය. අන්තර්ජාලය කුමක්දැයි යන්න රාජිනී වෙත පහදා දීමට අමතර කාලයක් වැය කිරීම අයෝග්‍ය යැයි ජයන්ත කල්පනා කළා විය යුතු ය. වරන්‍යාගේ ජංගම දුරකතනයට අන්තර්ජාල සබඳතා තිබෙන බව ද නොරහසකි.

ජයන්ත ‘සමනල සංධ්වනිය ’ හා ‘ඝරසරප’ නිමා කරන්නේ ස්ත්‍රී - පුරුෂ ප්‍රේමය අදෘශ්‍යමාන සීමා පවා අතික්‍රමණයට පසුබට නොවන බව ඉඟි කරමිනි. කිසිදා සිදුවිය නො හැකි දෑද මෙහිලා භාවිත කරන්නට ඔහු නො පැකිළෙයි. එමෙන්ම සම්මත විශ්වසනීයත්වය නොතකා හරින විකල්ප හා නව්‍ය විශ්වසනීයත්වයක් සම්බන්ධයෙන් ඔහු දරන ධනාත්මක ආකල්පය ද පැහැදිලි ය. තාර්කික බව ඉක්මවා ගිය හැඟීම් ඔස්සේ ජීවිතයේ අඳුරු අහුමුලු කරා යාමට ඉන් ලැබෙන අනුප්‍රාණය කෙතෙක්දැයි ජයන්ත හොඳීන්ම දනී. මෙහිලා ඔහු විද්වත් සිනමා සමාජයේ සැලකිල්ලටත්, ගෞරවයටත් පාත්‍ර වන්නේ සිනමා බස ප්‍රගුණ කරමින් සිටින සිනමාකරුවකු වන නිසා ය. සිනමා ප්‍රකාශ සමත්කම් සම්බන්ධයෙන් විවෘත දැක්මක පිහිටා සිටින නිසා ය.

‘මිදුණු විශ්වය’ ද හඳුන්වා දිය හැක්කේ ද මෙකරුණු සමුච්චයට අදාළ ව යි. ඊට උචිත ප්‍රබල අත්දැකීමක් වරන්‍යා හරහා සිනමාපටයට එක් කෙරේ. ඒ මෑතදී රාජිනී වෙත තමා යැවූ ප්‍රේමනීය හා සංවේදී කාව්‍යයට ඇය ලබා දුන් කාව්‍යමය පිළිතුර අතීත සිනමා පුවත්පතක පළවී ඇති බව දැකීමෙන් වරන්‍යා විස්මයට පත් වූ වග සනිටුහන් කරමිනි. ඊට සමගාමීව එම පුවත්පතේ නවතම කලාපය ද එකරුණ ම සඳහන් කරයි. රාජිනී - වරන්‍යා පෙම් පුවත අතිශය සංකීර්ණ අදියරක් කරා ජයන්ත විසින් රැගෙන යනු ගෙන යන්නේ මෙතැනින් අනතුරුව ය. අවාසනාවකට හෝ වාසනාවකට ඒ පිළිබඳ කවර හෝ යමක් දැන කියා ගැනීමේ අවස්ථාව කිසිදු ප්‍රේක්ෂකයකුට නොලැබෙයි. මන්ද ජයන්ත සිනමාපටයේ රූපමය පාර්ශ්වය නවතාලන නිසා ය. එහෙයින් සිනමාපටය සමඟ බැඳෙන හා එතුළට පිවිසෙන ප්‍රේක්ෂකයන් මෙය විඳ දරා ගන්නේ සිතුවිලි සමඟ නොනවත්වාම පොර බදිමිනි. මෙය ‘සමනල සංධ්වනිය’ හා ‘ඝරසරප’ ඉක්මවන අත්දැකීමක් ම වේ.

[email protected]