වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
”මම චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කරද්දි ඒ චිත‍්‍රපටයේ කතාව එක්ක ජීවත් වුණා”

කථාව ලියන්න පටන් ගත්ත දවසෙ ඉඳල චිත‍්‍රපටය තිරගත වෙන අවස්ථාව දක්වා ම මම චිත‍්‍රපටයෙ ජීවත් වුණා. නිර්මාණයක් සාර්ථක වෙන්න නම් අධ්‍යක්ෂවරයා ඒ නිර්මාණය එක්ක ජීවත් වෙන්න ඕනි.”
සිංහල සිනමාව රසපූර්ණ කලාවක් බවට පත් කරන්නට තමන්ගේ නිසර්ග හැකියාවන් යොදා ගත් සේන සමරසිංහයන් සිංහල සිනමාවේ එක් යුගයක් නියෝජනය කළ දැවැන්ත සිනමාවේදියෙක්. චිත‍්‍රපට අධ්‍යක්ෂණය විතරක් නෙමෙයි නිෂ්පාදනය, තිරපිටපත් රචනය, ගීත රචනය වගේ අංශ කිහිපයකින් ඔහු සිංහල සිනමාව පෝෂණය කළා. සේන සමරසිංහයන් සිංහල සිනමාවට අලූත් පරම්පරාවක් හ`දුන්වා දෙන්නත් අමතක කළේ නැහැ. නිතර ම සිනමා අත්හදාබැලීම් සිදු කරමින් සිංහල සිනමාවේ අභ්‍යුදය සඳහා සුවිශේෂී මෙහෙවරක් කළ මේ ප‍්‍රතිභාපූර්ණ මිනිසා අද අපිත් එක්ක කථා බහට එකතු වෙනවා.
මේ දවස්වල ඔබ කාලය ගත කරන්නෙ කොහොමද?
”මම දැන් කලා කටයුතුවලින් විශ‍්‍රාම අරන් ඉන්නේ. විවේකයෙන් නිවසට වෙලා කාලය ගත කරනවා. අතීතයේ සිදු කරපු කලා කටයුතු ගැන සිහිපත් කරමින් ඉතාම සතුටින් ජීවත් වෙනවා. ඇත්තටම මම නිර්මාණය කරපු සිනමා නිර්මාණ විවේකී ව නැවත රසවිඳින විට දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ. ජීවිතය සැහැල්ලූවෙන් වගේම සතුටින් ගත වෙනවා.”
බොහෝම සතුටුයි. අපි ඔබේ සිනමා ජීවිතය ගැන කථා කරන්න පටන් ගමු. ඔබ චිත‍්‍රපට සඳහා නළු නිළියන් තෝරා ගන්න විට ඒ චරිතයට ගැළපෙන ම නළුවා හෝ නිළිය තෝරා ගන්න අධ්‍යක්ෂවරයෙක්. මං හිතනවා ඔබේ චිත‍්‍රපට සාර්ථක වෙන්න ඒ කාරණය ඉවහල් වෙන්න ඇති කියලා. ඒ පිළිබඳ ඔබේ අදහස මොකක්ද?
”චිත‍්‍රපටයක් සාර්ථක වෙන්න නළු නිළියන්ගේ දායකත්වය හරියට වටිනවා. ඒ නිසා මගේ චිත‍්‍රපටවල දි චරිතයට ගැළපෙන ම නළු නිළියන් තෝරා ගන්න මම කටයුතු කළා. නමුත් බොහෝ විට ප‍්‍රධාන නළු චරිතයට තෝරා ගත්තෙ ගාමිණි. ”කස්තුරි සුවඳ” චිත‍්‍රපටය මගේ පළමුවැනි චිත‍්‍රපටය නිසා ගාමිණී, මාලිනී, ජෝ වගේ දක්ෂ ජනප‍්‍රිය නළු නිළියන් තෝරා ගත්තා. ”නිල්ල සොයා” චිත‍්‍රපටයෙ ප‍්‍රධාන නිළි චරිතය තෝරා ගත්තෙ චිත‍්‍රපටයෙ මුහුරත් උලෙළෙ දි. මුහුරත් උලෙළට මානෙල් වානගුරු ඇවිල්ල හිටිය. මම එතනදි තීරණය කළා මේ චරිතයට ගැළපෙන ම නිළිය මානෙල් වානගුරු කියල. මගේ අදහසට ගාමිණිත් එකඟ වුණා. ඊට පස්සේ ”ආශා දෑසින්” චිත‍්‍රපටයටත් ගාමිණී තෝරා ගත්තා. ප‍්‍රධාන නිළි චරිතයට ශ‍්‍රියාණිි අමරසේන තෝර ගත්තා. මං හිතනවා ඒ චරිතයට සුදුසු ම නිළිය ශ‍්‍රියාණිි අමරසේන කියල. ”චංචල රේඛා” චිත‍්‍රපටයෙ ප‍්‍රධාන නිළි චරිතයට නදීකා ගුණසේකර තෝරා ගත්තා. චිත‍්‍රපටයේ ”දං චූටිගේ” චරිතයට නදීකගේ චරිත ලක්ෂණ හරියට ම ගැළපුණා. ඒ චරිතය සාර්ථක වෙන්න මගේ තෝරා ගැනීමත්, ඇගේ දක්ෂතාවයත් හේතු වුණා. ”ඈතින් ඈතට” චිත‍්‍රපටයෙ නළු නිළියන් තෝරා ගැනීමේ වෙනසක් කළා. මේ චිත‍්‍රපටයට අලූත් ම කණ්ඩායමක් තෝරා ගන්න මම කල්පනා කළා. කරුණාරත්න හඟවත්ත, හරිස් ජයරත්න, විමල් කුමාර ද කොස්තා, රසාදරී ෆොන්සේකා, අනුෂ්කා මැදිවක වගේ නවක හැබැයි අති දක්ෂ නළු නිළියන් මේ චිත‍්‍රපටයට ගත්තා. මගේ තෝරා ගැනීම අති සාර්ථක වුණා. ඇත්තටම මම නළු නිළියන් තෝරා ගන්නෙ කාලෙන් කාලෙට සිනමාවෙ ඇති වන වෙනස්වීම්වලට ගැළපෙන විදිහට. ඒකයි මගේ චිත‍්‍රපට සාර්ථක වුණේ.”
ඒ වෙනකොට වාණිජ සිනමාවෙත් කලාත්මක සිනමාවෙත් ශක්තිමත් පදනමක් ගොඩන`ගාගෙන හිටපු ගාමිණී ෆොන්සේකා ඔබේ චිත‍්‍රපටවල ප‍්‍රධාන නළුවා බවට පත් වෙනවා. ඔබට කොහොමද ගාමිණීව මුණ ගැහෙන්නේ? ඔබේ චිත‍්‍රපටවලට ගාමිණීගෙන් මොන වගේ දායකත්වයක් ද ලැබුණේ?
”ගාමිණියි මමයි පාසල් යන කාලෙ ඉඳන් කිට්ටු මිත‍්‍රයො. පාසල් යන කාලෙත් අපි දෙන්න නිතර මුණ ගැහෙනවා. ඒ මිත‍්‍රත්වය තමයි පස්සෙ කාලෙ සිනමාවට අරන් එන්නෙ. ”කස්තුරි සුවඳ” චිත‍්‍රපටයෙ ඉඳන් මගෙ චිත‍්‍රපට බහුතරයක ගාමිණී රඟපෑව. නිල්ල සොයා, ආශා දෑසින්, චංචල රේඛා වගේ චිත‍්‍රපට ගොඩක ගාමිණී හිටිය. මම චිත‍්‍රපටයක කථාව ලියන්නෙ තිරපිටපත් රචකයත් එක්ක, ළඟ ඉඳගෙන. මගෙ ගොඩක් චිත‍්‍රපටවල තිරපිටපත් ලීවේ, සෝමපාල ලීලානන්ද. සාමාන්‍යයෙන් චිත‍්‍රපටයෙ කථාව ලියන්නෙ ප‍්‍රධාන චරිතය මවාගෙන. මම මවාගන්න චරිතය ගාමිණි. මම කථාව ලියන්නෙ ගාමිණීට. ඇත්තටම ගාමිණී මගෙ චිත‍්‍රපටවලට හරියට ම ගැළපුණා.”
ඔබ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා කියන කෘතහස්ත රංගන ශිල්පියාගේ රංගනය අර්ථකථනය කරන්නෙ කොහොමද?
”ගාමිණී කියන්නේ රංගනයේ දී තමන්ගෙ කාර්යභාරය හරියට ම කරන නළුවෙක්. අධ්‍යක්ෂවරයාට අවශ්‍ය රංගන ශෛලිය ගාමිණි දන්නව. ඒක හරියට ම තේරුම් අරගෙන ගාමිණි තමන්ගෙ කාර්ය නිවැරදිව කරනවා. අනිත් කාරණය තමයි අධ්‍යක්ෂවරයාට මොකක් හරි දෙයක් වැරදුණත් ගාමිණී ඒක පෙන්නල දෙනවා. දැන් මම චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කරද්දි වුණත් මට යම්කිසි දෙයක් වැරදුණොත් ගාමිණී ඒක මට පැහැදිලි කරල දෙනවා. ඒ විතරක් නෙවෙයි මගෙ අධ්‍යක්ෂණ කටයුතුවල හොඳ දෙයක් දැක්කොත් ඒකත් ගාමිණී නොපැකිළිව සඳහන් කරනවා. ඒක ඉතාම විරල ගුණයක්. මං හිතන්නේ ගාමිණි ගැන මම මෙහෙම කිව්වොත් හරි. චිත‍්‍රපට අධ්‍යක්ෂවරුත් ගාමිණීගෙන් සිනමාව ගැන ඉගෙන ගත්තා.”
ඔබ පාකිස්ථාන් චිත‍්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණය කළා. ඒක සිංහල සිනමාවට අලූත් ප‍්‍රවණතාවක් වුණා. සිංහල සිනමාව අන්තජාතිකත්වය එක්ක සම්බන්ධ වුණා. ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන් ද?
”ඒක මට අලූත් අත්දැකීමක්. සිංහල සිනමාව වාණිජමය වශයෙන් යම් බිඳ වැටීමක් තිබුණු අවස්ථාවක පාකිස්ථාන් චිත‍්‍රපට කිරීමෙන් සිංහල සිනමාවට උත්තේජනයක් දෙන්න පුළුවන් වුණා. මම පාකිස්ථාන් චිත‍්‍රපට රාශියක් අධ්‍යක්ෂණය කළා. ලංකාවෙ ප‍්‍රදර්ශනය කළේ, මේ රටේ පේ‍්‍රක්ෂකාගාරයට ගැළපෙන චිත‍්‍රපට. මම නිතර ම ලංකාවේ පේ‍්‍රක්ෂකාගාරය ගැන අවදියෙන් හිටපු අධ්‍යක්ෂවරයෙක්.”
ඔබේ චිත‍්‍රපටවල පසුබිම් ගීත ගායනයේ දී යම් වෙනසක් දකින්න පුළුවන්. සමකාලීන සිනමාවේ චිත‍්‍රපට පසුබිම් ගීත ගායනයට බොහෝ විට යොදා ගත්තෙ එච්.ආර්.ජෝතිපාලයන්. හැබැයි ඔබ ගාමිණී ෆොන්සේකා වෙනුවෙන් පසුබිම් ගීත ගායනයට මිල්ටන් මල්ලවාරච්චි යොදා ගත්තා. මං හිතනවා මේ කාරණය පැහැදිලි කරන්න වටින කාරණයක් කියල.
”ඔව් ඒ කාරණය මෙහෙමයි, මගේ ”කස්තුරි සුවඳ” චිත‍්‍රපටයෙ ගාමිණී වෙනුවෙන් ජෝති පසුබිම් ගීත ගායනා කළා. ඊට පස්සෙ චිත‍්‍රපටවලට මිල්ටන් මල්ලවාරච්චි යොදා ගත්තා. ඒකට හේතු කිහිපයක් තිබුණා. ඒ දවස්වල ජෝති ගොඩක් කාර්යබහුලයි. ඔහු චිත‍්‍රපටයකට සම්බන්ධ කර ගැනීම ටිකක් අපහසු කාර්යයක් වුණා. අනිත් එක මම නිතර ම අලූත් නිර්මාණකරුවන් තෝරා ගන්න නිසා මිල්ටන්ට පසුබිම් ගීත ගායනයට අවස්ථාව දුන්නා. කොහොම වුණත් මිල්ටන්ගෙ හඬ ගාමිණීට හරියට ම ගැළපුණා.”
ඔබ සිනමාව විතරක් නෙවෙයි ලංකාවෙ කැසට් කලාවත් දිග්විජය කරනවා. ඔබ නිෂ්පාදනය කළ කැසට්පට ගැන සඳහන් කළොත්?
”80 දශකයේ දි මම කැසට්පට නිෂ්පාදයට අවතීර්ණ වුණා. ඒ වෙනකොට කැසට් කලාව ලංකාවේ ජනප‍්‍රිය වෙමින් තිබුණු කාලයක්. මම නිෂ්පාදය කළ පළමු කැසට්පටය ”මංගල නැකත” කැසට්පටය. ඒක මම නිෂ්පාදනය කළේ ශ‍්‍රියාණි අමරසේන එක්ක. කැසට්පටයෙ ගීත ගායනා කළේ, විජය කුමාරතුංග සහ චන්ද්‍රලේඛා පෙරේරා. ඒ කැසට්පටය අති සාර්ථක වුණා. පස්සේ දෙවෙනි කැසට්පටය මංගල නැකත 2 (සුදු දුව) නිෂ්පාදනය කළා. ඒ කැසට්පටයෙත් විජය සහ චන්ද්‍රලේඛා ගීත ගායනා කළා. මේ කැසට්පටයට මමත් ගීත කිහිපයක් රචනා කළා. විජය ගායනා කරන ”ඔබ නෙතු මා හා රන්දා” කියන ගීතයත්, චන්ද්‍රලේඛා ගායනා කරන ”මංගල නැකතින්” කියන ගීතයත් මම රචනා කරපු ගීත. ඒ විදිහට ලංකාවෙ කැසට් කලාවට කැසට්පට කිහිපයක් දායාද කරන්නත් මට අවස්ථාව ලැබුණා.”
ඔබ විජය කුමාරතුංග පිළිබඳ සඳහන් කළා. ඔබට විජයව මුලින් ම මුණගැසුණේ කොහොමද?
”විජය මට මුලින් ම මුණගැසුණේ උපන්දින සාදයක දි. එදා විජය මං ළඟට ඇවිල්ල කථා කළා. එදා ඉඳන් අපි හොඳ මිත‍්‍රයො. ඇත්තටම විජය නළුවෙක් විදිහට වගේම ගායකයෙක් විදිහටත් සාර්ථක කලාකරුවෙක්. මගේ කැසට්පට සාර්ථක වෙන්න ඔහුගේ ගායන හැකියාව හේතු වුණා.”
ඔබ චිත‍්‍රපට රාශියක් අධ්‍යක්ෂණය කොට තිබෙනවා. සිනමාවේ නළු නිළියන් විශාල ප‍්‍රමාණයක් මෙහෙයවා තිබෙනවා. චිත‍්‍රපට රූගත කිරීම් අතරතුර අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?
”ඔව් රූගත කිරීම්වලදි සිදු වුණු රසවත් වගේම බිහිසුණු සිද්ධිත් තිබෙනවා. ”සදහටම ඔබ මගේ” චිත‍්‍රපටයෙ රූගත කිරීම්වලදි ටිකක් බිහිසුණු සිද්ධියක් වුණා. බොල්ගොඩ වැවේ බෝට්ටු පදින දර්ශනයක් මේ චිත‍්‍රපටයෙ තියෙනවා. ඉස්සර මං ළඟ ”ස්පීඞ් බෝට්ටුවක්” තිබුණා. ඒ බෝට්ටුවත් රූගත කිරීම්වලට ගත්තා. මේ රූගත කිරීම්වල ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා සහ සෝනියා දිසානායක සිටියා. හදිස්සියෙ ම ගාමිණීගේ බෝට්ටුව ඉදිරියෙන් ගිය සෝනියගේ බෝට්ටුවෙ හැප්පුණා. කාටවත් අනතුරක් වුණේ නැහැ. හැබැයි ඒ සිද්ධිය මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ.”
ඔබ 1971 සිට සිනමා ක්ෂේත‍්‍රයේ රැුඳී ඉන්නව. චිත‍්‍රපට අධ්‍යක්ෂණය විතරක් නෙවෙයි චිත‍්‍රපට නිෂ්පාදනය, තිරපිටපත් රචනය, ගීත රචනය වගේ දේවල්වලින් සිංහල සිනමාව පෝෂණය කළ කෙනෙක්. ජ්‍යෙෂ්ඨ කලාකරුවකු විදිහට ඔබ ආධුනික කලාකරුවන්ට ලබා දෙන පණිවුඩය මොකක්ද?
”ඒ ප‍්‍රශ්නයට උත්තරයක් දෙන්න කලින් විශේෂ දෙයක් සඳහන් කරන්න ඕනි. තරුණ පරම්පරාවේ දැනුම අපිට වඩා ඉදිරියෙන් තියෙන්නේ කියල මං විශ්වාස කරනවා. අපි වුණත් තරුණ කාලෙ හිතපු විදිහට නෙවෙයි දැන් හිතන්නෙ. කාලයත් එක්ක ලෝකය වෙනස් වෙනවා. ඒ හින්ද තරුණ කලාකරුවන්ට අපිට වඩා අවස්ථා තියෙනවා. අනිත් කාරණය තමයි ඔවුන් දක්ෂයි. ඔවුන්ට අලූත් තාක්ෂණයත් එක්ක කලාවට විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. ඒ වගේම මම කැමතියි තවත් වැදගත් කාරණයක් මතක් කරන්න. මම චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කරද්දි ඒ චිත‍්‍රපටයත් එක්ක ජීවත් වුණා. චිත‍්‍රපටයෙ කථාව ලියන්න ආරම්භ කරපු දවසෙ ඉඳල චිත‍්‍රපටය තිරගත වෙන අවස්ථාව දක්වා ම මම චිත‍්‍රපටයෙ ජීවත් වුණා. ඒ කථාවේ ජීවත් වුණා. මම සිනමාවේ විශාල ගමනක් ආවේ මේ කාරණය නිසා කියල මට කියන්න පුළුවන්. ඒ නිසා නිර්මාණයක් සාර්ථක වෙන්න නම් අධ්‍යක්ෂවරයා ඒ නිර්මාණය එක්ක ජීවත් වෙන්න ඕනි. චිත‍්‍රපටයක් රූගත කරල සංස්කරණ කටයුතු ඉවර කරල තිරගත කරද්දි දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ. ඒ සතුට චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකුට හරිම වටිනවා.”
ඔබ සිනමා අධ්‍යක්ෂණය හොඳින් ප‍්‍රගුණ කරපු අධ්‍යක්ෂවරයෙක්. මං හිතන්නේ ඔබ සිංහල සිනමාවේ ශක්තිමත් පදනමක් ගොඩන`ගා ගන්නෙ මේ හැදෑරීම නිසා කියල. ඒ පිළිබඳ පැහැදිලි කරන්න පුළුවන් ද?
”ඔව් ඔබ නිවැරදියි. මම මගේ පළවෙනි චිත‍්‍රපටය, ”කස්තුරි සුවඳ” අධ්‍යක්ෂණය කරන්න කලින් චිත‍්‍රපට අධ්‍යක්ෂණය ගැන හොඳින් හැදෑරුව. මගේ පළවෙනි චිත‍්‍රපට නිෂ්පාදනය ඒ කියන්නේ ”සදහටම ඔබ මගේ” චිත‍්‍රපටයෙ වැඩ කරද්දි මම මුල ඉඳල හැම දේම ඉගෙන ගත්තා. අධ්‍යක්ෂණය විතරක් නෙමෙයි චිත‍්‍රපටයක් නිර්මාණය කරද්දි අවශ්‍ය වෙන හැමදේම මම ඉගෙන ගත්තා. ඒ වගේම කුඩා කලෙ ඉඳන් කැමරා උපකරණ මා සතුව තිබුණා. 8mm කැමරා මම කුඩා කාලයේ ඉඳන් භාවිතා කළා. ඒ ආභාසය සිනමා උපකරණ හැසිරවීමට මට ලොකු පිටිවහලක් වුණා. පස්සෙ කාලෙ මම සමරසිංහ චිත‍්‍රපට සමාගම ආරම්භ කළා. ඒ නිසා මගේ චිත‍්‍රපටවලට අවශ්‍ය සිනමා උපකරණ සියල්ල මා සතුව තිබුණා. ඒ හැදෑරීමෙන් පස්සෙ තමයි මම ”කස්තුරි සුවඳ” චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළේ. ඇත්තටම ක්ෂේත‍්‍රයේ දිගු ගමනක් යන්න මේ හැදෑරීම මට වැදගත් වුණා.”
වසර 50කට වැඩි සිනමා ජීවිතයේ දී ඔබේ ගමනට උපකාර කළ බොහෝ පිරිසක් ඉන්නවා. ඒ ගැන සිහිපත් කළොත්?
”ඔව් මගේ සිනමා ගමන සාර්ථක වෙන්න විශාල පිරිසක් උදව් කළා. සිනමා නළු නිළියන්, තිරපිටපත් රචකයින්, සංගීත ශිල්පීන්, ගායක ගායිකාවන්, සිනමා කාර්මික ශිල්පීන් සෙනෙහසින් මතක් කරනවා. මගේ පළමු බිරිඳ ලීලා සමරසිංහගෙන් විශාල සහයෝගයක් ලැබුණා. ඒ කාලේ ඇය මගේ ව්‍යාපාරවලට උපකාර කිරීම නිසා මට කලා කටයුතුවලට විවේකීව කාලය යොදවන්න පුළුවන් වුණා. ඒ වගේම චිත‍්‍රපටවලට අවශ්‍ය ඇඳුම් විලාසිතා සැපයීම කළෙත් ඇය. ඒ නිසා මගේ චිත‍්‍රපටවල ඇඳුම් විලාසිතා ශිල්පිනිය (Costume designer) විදිහට ඇය විශාල දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම චිත‍්‍රපට විචාරකයො, පුවත්පත් ලේඛකයො මගේ සිනමා නිර්මාණ මිනිස්සු අතරට ගෙන ගියා. ඒ හැමෝම මේ වෙලාවෙ ගෞරවයෙන්, ආදරයෙන් මතක් කරනවා.”
ධනුෂ්ක පුෂ්පකුමාර
ශාස්ත‍්‍ර පීඨය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය