සිහින දකිවී මොනර කිරිල්ලී...

අගෝස්තු 17, 2023

 

දුවිල්ලෙන් වත්සුණු තවරා

කුමර කුමරියන් වී

ළෙන්ගතු ඇසුරේ...

වහස් බැලුම් දෙන හැන්දෑවේ

නන්නාඳුනනා...

කය මිස සිත නැති පුරවරයේ

කව්රුන් හෝ තුරුලේ... නිමේෂයක්

කොඳුරාවී රහසින්

ආ ගිය උන් හිටි තැන් සඟවා

 

ගිනි කඳු සිරසේ මල පුඬු අතරේ

කැදලි සදාවී මොනර කිරිල්ලී...

රැයකින් රැයකට කුස පිරෙනා

සඳ සෙවනැල්ලේ

සිත ඇති කය නැති

මිටියාවත ඉවුරේ... වහස් බැලුම් සඟවා

උකුසු ඇසක් ගෙන... ගුරුළු වෙසක් ගෙන

පියඹා යාවී මොනර කිරිල්ලි...

සැඩ සුළඟේ

මුල් ඉදිරියන ගස මුදුනේ

නූපන් දවසේ... රන් කිරි කඳුලේ

සිහින දකිවී මොනර කිරිල්ලී...///

 

ගී පද - වසන්ත කුමාර කොබවක

ගී නද - ආචාර්ය රෝහණ වීරසිංහ

ගී හඬ - මොරිස් විජේසිංහ / ධම්මිකා වල්පොල

චිත්‍රපටය - සප්ත කන්‍යා

 

1993 වසරේ සිංහල සිනමා වංශකතාවට එක් වූ 793 වැනි චිත්‍රපටය සප්ත කන්‍යා ය. හෙළ සිනමාවේ මැද මාවතේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වූ එච්.ඩී. පේ‍්‍රමරත්නයන්ගේ එකලොස්වැනි සිනමා නිර්මාණය මෙයයි.

ගමෙන් නගරයට පැමිණ ගණිකා වෘත්තීයේ යෙදීමට සිදුවුණු සුන්දර යුවතියකගේ ජීවන ඛේදවාචකයක් සිනමා නිමිත්ත වී තිබේ. දුහුවිල්ලෙන් රත්වුණු නගරයේ ගිනියම් වූ ආශාවන් මුදලට සන්සිදුවීම ඇගේ වෘත්තියයි. වෙනත් යෞවනියන් සේම අදටත් හැඟීම් දැනීම් පොදු වුවත් ඇයගේ වෘත්තීය තුළ ඈ ඇද වැටී ඇති සමාජය තුළ අසරණ වී සිටී.

ගිනියම් වූ හිරුමඬල බැස යන සැන්දෑවේ සේවය නිමවා වෙනත් යුවතියන්, ස්ත්‍රීන් සිය නිවස කරා පියනැඟුවද, ඇය සිය රැකියාව සඳහා සූදානම්ව පිටවන්නේ ඒ සමයේය.

ඇය මෙය සතුටින් කැමැත්තෙන් සිදුකරන වෘත්තියක් නොවේ. ඇයගේ වත කමලේ රැඳි දුක, වේදනාව, අප්‍රසාදය යන සියල්ල වත්සුණු තවරා වසා ගනී.

වත හැඩ වැඩ කොට සරාසා සුවඳ ගල්වා, නන්නාඳුනන පුරවරයේ නන්නාඳුන කයක් ළඟ කුමර කුමරියන් සේ රඟ දක්වන ව්‍යාජ ඇසුර තුළ ආදරය සේ සරාගය මුදා හරින මොහොත ඇය සිත අහිමි කය පමණක් හිමි ස්ත්‍රියකි. පේ‍්‍රමයකින්, ස්නෙහසකින් තොර රාගය කෙතරම් අපුල දැයි ඇය හොඳින් දනී. නන්නාඳුනන කයක පහස කෙතරම් කඨෝර ද යන වග ද ඈ හොඳින් හඳුනයි. ඔහු කව්රු වුවද ඒ නිමේෂය ඈ ඔහු වෙනුවෙන් වෙන් කරයි. ඒ ගෙවෙන නිමේෂය තුළ ඔවුනොවුන්ගේ ජීවිතයේ සියල්ල සඟවා රහසක්කොට ඒ මොහොත ගෙවා දමයි. මුදලට කය විකුණන ස්ත්‍රියකගේ ජීවිතයේ ඛේදවාචකය එයයි.

ඇය මොනර කිරිල්ලියකට උපමා කොට තිබේ. මන්ද පක්ෂීන්ගෙන් ලස්සනම ආකර්ෂණීයම මොනරා පිල්විදහා රඟන කළ ඉදිරිපස කෙතරම් සුන්දර වුවත් ඌගේ පිටුපසහි කිසිදු සුන්දරත්වයක් නොවේ. වීදී සරණ, කය විකුණන ස්ත්‍රීන්ගේ ජිවිතත් ඒ වගේ. ඔවුන් කෙතරම් සුන්දරව හැඩ වැඩ වුණත් ඔවුන්ගේ අභ්‍යන්තරය ඉතාම කටුක වේදනා සහගතය.

ගිනි කඳු සිරසේ මල පුඬු අතරේ

කැදලි සදාවි මොනර කිරිල්ලි

මෙවැනි ස්ත්‍රීන්ට, යුවතියක්වත් කුමන ලෙස හෝ හිමිවුණු ජීවිතයක් තිබේ. එය සැබැවින්ම ගිනි කන්දක මුදුනත සෑදු කැදැල්ලකි. එය කුමන මොහොතක පුපුරා ලෝදිය ගලා දැවී යාදැයි ඇයවත් නොදනී.

ජීවිතය රැකගෙන ජීවත් වීම සඳහා ඇය මෙම වෘත්තියේ නියැළේ.

රැයක් ගෙවී තව රැයක් උදාවන ‘සඳ සෙවණැල්ලේ’ ඇය සිය රැකියාවට පිටව යයි. හිරු උදාවට පෙර නැවත කැදැල්ලට පියාඹා එයි. එය එතරම්ම සුව පහසු මොහොතක් නොවේ.

රැයකින් රැයකට කුස පුරවා

සඳ සෙවණැල්ලේ

සිත ඇති කය නැති

මිටියාවත ඉවුරේ... වහස් බැලුම් සඟවා

උකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙන

පියඹා යාවී මොනර කිරිල්ලී..

රැය පුරා වහස් බැලුම් දෙමින් තුරුලේ සැතපුණු කිසිවකුත් ඇයව ආරක්ෂිතව නිවසට රැගෙන නොයයි. සඳ සෙවණැල්ලට මහත් වී කය අමතක කොට නැවත ‘සිත’ සිහියෙන් තබාගෙන ඈ සුරක්ෂිතව කැදැල්ලට යා යුතු වේ. ඒ සඳහා ඇයට තියුණු දෑසක් තිබිය යුතු වේ. මන්ද තවදුරටත් ඈ ගොදුරක් නොවීමටය. ‘ගුරුළු වෙසක් ගෙන’ එනම් යම් අභියෝගයක් බාධකයක් පැමිණිය ද එය මැඩගෙන යෑමට ඇය ශක්තිමත් විය යුතු වේ. පිටත සිට ලෝකයා ඈ දෙස බලා පවසන දෑට වඩා ‘අමිහිරි’ මේ ජීවිතය හා දැඩි අරගලයක ඈ පොර බදයි.

කව්රු ඇයට නින්දා අපහසා කළ ද ඇයත් ස්ත්‍රියකි. වෙනත් ස්ත්‍රීන්ට සේම ඈට ද සිහින තිබේ. ජීවිතය විඳින්න ඇයට ද අයිතියක් තිබේ. මහා සැඩ සුළඟකට හසු වී මුල් ඉදිරි යාමට නියමිත ගසක වුවද කැදැල්ලක් තැනිය හැකි නම් එය කිරිල්ලියකට සතුටකි. ඒ අවදානම තුළ වුවද කැදැල්ලක් තනා පැටවුන් බිහි කිරීමට ඇයට ද සිහිනයක් තිබිය හැකිය.

මේ මොනර කිරිල්ලිය ද එවන් සිහිනයක් දකී. මන්ද ඇයත් ස්ත්‍රියකි. වෙනත් යුවතියන්ට සේම ඇයට ද පේ‍්‍රමය විඳිමට අයිතියක් තිබේ. බිරිඳක් මවක් වීමට ඈ තුළ ද සිහිනයක් තිබේ. ඈ ඒ සොඳුරු සිහිනය තුළ රහසින් ජීවත් වේ.

වසන්ත කුමාර කොබවකගේ අර්ථ පූර්ණ ගේය පද රචනය, රෝහණ වීරසිංහයන්ගේ මයුර තනුව හා සංගීතයෙන් රස ගන්වා තිබේ. මෙම ගීතය වඩාත් අලංකාර ලෙස හැඩ ගැන්වීමට, මොරිස් විජේසිංහ හා ධම්මිකා වල්පොල ගායන ශිල්පීන් සමත් විය. මෙය මෙම චිත්‍රපටයේ අවස්ථා දෙකකදී මොරිස් විජේසිංහයන් හා ධම්මිකා වල්පොළ ගායන ශිල්පීන් විසින් වෙන වෙනම ගායනා කර තිබේ.

1994 වසරේ දී සරසවිය, ජනාධිපති ස්වර්ණ සංඛ හා ර්‍ණඛ්ධ්ඛ් ආදී සිනමා සම්මාන උලෙළයන් හිදී මෙම චිත්‍රපටය හා ඒ සඳහා දායක වූ ශිල්පීන් සම්මානයෙන් පිදුම් ලැබීය. එවක නවක රංගන ශිල්පිනියක් වූ මෙහි ‘දීප්තී’ ලෙස ප්‍රධාන ස්ත්‍රී චරිතය නිරූපණය කළ සංගීතා වීරරත්න වසරේ නැගී එන නිළිය ලෙස සරසවිය සම්මානයෙන් පිදුම් ලැබීය.

එසේම වසරේ විශිෂ්ටතම ගේය පද රචනය සඳහා මෙම ගීතය රචනා කළ වසන්ත කුමාර කොබවක සම්මානයට පාත්‍ර වූ අතර මෙහි සංගීත අධ්‍යක්ෂණය කළ රෝහණ වීරසිංහයන්ට හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය හිමි විය.

 

[email protected]