වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
මේ යක්ෂයා බැඳගමුද? බැඳලමුද?

පසුගිය සැප්තැම්බර් මාසයේ නෙට්ෆ්ලික්ස් මඟින් අර්ධ වෘත්තාන්ත චිත්‍රපටයක් මුදා හැරියේය. ඒ The Social Dilemma නම් චිත්‍රපටයයි. ඇමෙරිකානු වාර්තා සිනමාකරුවකු වන ජෙෆ් ඕර්ලොව්ස්කි විසින් අධ්‍යක්ෂණය කරන ලද වර්තමාන සමාජ උභතෝකෝටිකය පිළිබඳ නැතහොත් සමාජ මාධ්‍ය ජාලාවල ඇබ්බැහි වීම පිළිබඳ ගැඹුරින් කථා කරන සිනමා කෘතියක් වූ එය මෙවර මෙම ලිපියෙහිලා ආරම්භයට තෝරා ගන්නේ පසුගිය සතියේ මුහුණ දුන් අත්දැකීමක් සඳහා පුරෝකථනයක් විලසටය.
මේ අගනා වාර්තා චිත්‍රපටයේ දී යෞවනයන්ගේ මානසික තත්ත්වය පමණක් නොව වර්තමානයේ බහුලව සිදු වන සිය දිවි නසා ගැනීම් පිළිබඳව ද ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණයෙහිලා ඇති කරන සමාජ සිද්ධීන් ද දේශපාලන ක්‍රියාකාරකම් සඳහා සමාජ මාධ්‍යය යොදා ගන්නා අන්දම ද හෙළිදරවු කරනුයේ පාපොච්චාරණයක ආකාරයෙන්ය. එම චිත්‍රපටයේ සම්පත් දායකයන් බහුතරය ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ගූග්ල්, ට්විටර්, මොසිල්ලා හා යූටියුබ් වැනි ව්‍යාපාර ගොන්නෙපුරෝගාමී වූ කිහිපදෙනෙකි. මෙම සමාගම්හි සේවය කරන සංඛ්‍යාත්මකව ඉතා සුළු ගණනක් වූ පරිගණක ඉංජිනේරුවන් පිරිසක් මඟින් ලොව පුරා වෙසන බිලියන ගණනක ජනතාවගේ හැඟිම් සමඟ සෙල්ලම් කරන්නට පටන් ගෙන ඇති අන්දම චිත්‍රපටයේ දිගහැරේ. එහිදී වර්තමානයේ පාපොච්චාරණයේ යෙදන ඇතැම් බලධාරින් සිය සමාගම්වලින් ඉවත්ව ගොස් ඇත්තේ උගත් ආචාර ධර්මවලට ගරු කිරිමක් හැටියටය. මෙහි අදහස් දක්වන දැවැන්තයන් අතර ලාංකිකයන් දෙදෙනෙක් ද සිටිති. එක් අයෙක් ෆේස්බුක් සමාගමේ හිටපු උප සභාපති චමත් පලිහපිටිය යි. අනෙක් තැනැත්තා රන්දිම ප්‍රනාන්දුය. ඔහු අමෙරිකාවේ සෙන්ටර් ෆො හියුමන් ටෙක්නොලොජි ආයතනයේ නිර්මාතෘවරයෙකි.
මෙහි දක්වන ආකාරයට ලාභ නොලබන ව්‍යාපාර ආකෘතියක් ලෙස පෙන්වා දෙන මේ සමාගම් මඟින් නියාමනය නොකළ ඕනෑම ව්‍යාජ පණිවිඩයක් ඕනෑම කෙනෙකුට ලබා ගැන්මට ඉඩ සලසා දෙයි. මෙහිදී සිනමාකරු පෙන්වා දෙනුයේ කොවිඩ් 19 සම්බන්ධව ගොඩ නැඟූ ව්‍යාජ ප්‍රවෘත්තිවල ඇති භයානක ස්වරූපය සහ දේශපාලන ව්‍යාපාරවලට බලපෑම් කිරිමට මෙම සමාජ මාධ්‍ය යොදා ගන්නා ආකාරයයි.
වර්තමානයේ නිල නොලත් ප්‍රවෘත්ති මාධ්‍යයක් බවට පත්ව ඇත්තේ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවන්ය. ඒවායේ ප්‍රවෘත්ති පමණක් නොව විවිධ විෂයයන් පිළිබඳ විශේෂඥයන් ද ,සමාජ ශෝධකයන් ද, භාෂා ප්‍රේමින් ද , පරිසරවේදින් ද, ධර්ම ගවේෂකයන් ද, දේශහිතෛෂීන් ද, සිංහල හා ඉංග්‍රිසි වෛද්‍යාචාර්යවරුන් ද එමටය. එක් පැත්තකින් මිනිසකුට සමාජයේ කැපී පෙනෙන නමක් දිනා ගැන්මට ඇති ඉඩකඩ තුළ සෑම මිනිසකුටම අගයක් ඇති බැවින් කලක කිසියම් පිරිසකට පමණක් සීමා වූ මාධ්‍ය ලෝකය විවර වීම අගය කළ යුතු වුවත් එය අවභාවිත වන අන්දම දකින විට ඒ පිළිබඳ යමක් නොලියා සිටීම කළ හැක්කක් නොවේ.
එයට වඩාත්ම හේතු වන්නේ පසුගිය සතියේ මේ සමාජ ජාලා මාධ්‍යය ඔස්සේ පළ කරන ලද ප්‍රවෘත්තියකි. ඒ අපගේ ආදරණීය රංගවේදී අමරසිරි කලංසූරිය පිළිබඳවය. ඔහු සමඟ දිගු කලකට පසු කළ සාකච්ඡාවක් සරසවිය පුවත්පතේ පළ වූයේ එයට පෙර සතියේය. එය සිදුකරන ලද්දේ අපේ මාධ්‍යවේදිනී නිර්මාණි බණ්ඩාරනායක විසින්ය. මේ ලිපිය බොහෝ පාඨකයනගේ අවධානයට පාත්‍ර වූ එකකි. එය පළ වී සතියක් ගත වන්නට මත්තෙන් කිසිවකු විසින් ෆේස්බුක් සමාජ ජාලා ඔස්සේ කලං අයියා ගැන විපත්තිකර ආරංචියක් පළ කර තිබිණ. මේ බව අපගේ අවධානයට යොමු කරන ලද්දේ විද්‍යුත් මාධ්‍ය ආයතනයක හිතවතෙකි. ඔහු විමසා සිටියේ කලං අයියා ගැන පැතිරෙන ආරංචියයේ සත්‍ය අසත්‍යභාවයයි. එම ප්‍රවෘත්තිය හා අප පුවත්පතේ ලිපිය අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති වුවත් පසුගිය සතියේ කලං අය්යා ගැන කථාබහක් ඇතිවුණේ සරසවිය පුවත්පතේ පළ වූ ලිපිය සමඟය. මාධ්‍ය හිතවතා පවසන තුරු ෆේස්බුක් පිටුවක කලං අය්යා ගැන යම් පුවතක් පළවන්නේ යැයි අප දැන සිටියේ නැත. තවත් මොහොතක් ගත වූ තැන අපට කථා කළේ අපේ පාඨකයෙකි. ඒ වන විටත් වැරැදි පුවතක් සමාජ ගත වන බව අපට වැටහී හමාරය. එබැවින් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන පුවත නිවැරැදි කරන්නට අපි කටයුතු කළෙමු. ඒ දිනය එලෙස ගෙවී ගිය ද දෙවැනි දින වන විට තවත් පිටු ගණනක් කලං අය්යා ගැන ෆේස්බුක් මත ලියා තිබිණ. මේ සියල්ලේ තිබුණේ කලං අය්යා ජීවිත ගමනින් සමුගත් බවය.
අපි කලං අයියාට කතා කළෙමු. දුරකථනය ගත්තේ ද කලං අයියාය. ඔහුට ඒ ගැන ආරංචිව තිබිණ. පුවත සැලවී දුක සැප විමසූ අග්‍රගණ්‍ය රංගවේදින් වන රවීන්ද්‍ර රණ්දෙණිය, මාලිනි ෆොන්සේකා ඇතුළු හිතවතුන්ට ඔහු ස්තූතිය පළ කළේය. එහෙත් කලං අයියා කම්පා වී කථා කළ බව අපට පැහැදිලිය. එය වචනයෙන් විස්තර කළ හැකි දෙයක් නොවේ. ඇත්තටම තම සමාජ ජාලා පිටුවල ලයික් ගණන වැඩි කර ගැන්මට කරන මෙබඳු නොමනා ක්‍රියා දැන් වසංගත බවට පත්වී හමාරය. එය ද 'සෝෂල් ඩිලේමා' චිත්‍රපටයේ ලාංකික ප්‍රකාශනය අපට පැහැදිලි කර දෙයි.
කාටත් කලින් මුලින්ම ප්‍රවෘත්තිය පළ කිරිමේ තරගය ඇති වූ දා පටන් වුවත් එය වර්තමානයේ ලයික්ස් හිඟාකෑම දක්වා පරිවර්තනය වී අවසන්ය.
පළමුව එබඳු පුවතක් දුර දිග නොබලා පළ කළ තැනැත්තා කවර මානසික තත්ත්වයක පසු වූවෙක්ද යන්න සොයා බලනු වටී. කලාකරුවන් ඇතුළු සුප්‍රකට චරිත පණ පිටින් මරා දැමීම සමාජ ජාලා හරහා දෙආකාරයකින් සිදු කරනු ලබයි. එකක් ඔවුන් ජීවත්ව සිටිය දී මිය ගිය බවට පළ කිරිමයි. දෙවැන්න අභූත චෝදනා සහිතව කෙරෙන චරිත ඝාතනයයි. මේ කොයි ආකාරයෙන් වුවත් සිදු කරනුයේ අදාළ පුද්ගලයාට අනර්ථයක් වන අතර මේ කාරණා දෙකම එක හා සමාන බැව් අමුතුවෙන් කිවයුතු නොවේ. පළමුවැනි කාරණයේදී හිත් වේදනා විඳීනුයේ අදාළ කලාකරුවා හෝ පුද්ගලයා පමණක් නොවේ. ඔවුන්ගේ පාර්ශ්වයේ ඥාති හිතවත්හු ද එක හා සමාන ව මෙබඳු ප්‍රවෘත්ති මඟින් පීඩා විදිති. එය නිවැරැදි කිරිම පහසුය. එහෙත් එයින් වන්නා වූ හානිය එමටය. පළ කරන්නා එයින් ලබා ගන්නේ ආත්ම තෘප්තියක් පමණක් නොව තම පිටුව නැරඹූ සංඛ්‍යාව ඉහළ දමා ගැනීමය. මෙමඟින් සිදුවන හානි කිසිවක් හෝ ඔවුන්ගේ අවධානයට යොමු වන්නේ නැත. මේ එක් කාලයක ගමේ ළිඳ ළඟ ඇලවුණු කැලෑ පත්තරයේම නූතන විකාශයමය.
කලකට ඉහත එක්තරා රේඩියෝ නාළිකාවක් මෙරට ප්‍රසිද්ධ ගායකයකු අභාවප්‍රාප්ත වූ බව විකාශය කරන ලද්දේ ඔහු රෝගාතුරව රෝහල්ගත කර සිටියදීය. පසුව එම නාළිකාව අදාළ ගායකයාගේ පාර්ශ්වයෙන් සමාව ඉල්ලා සිටියේය. වර්තමානයේ එකිනෙකා තරග වැද සිටින සමාජ ජාලා මාධ්‍ය අඩවි අතර එබඳු සදාචාරයක් දක්නට නොලැබීම ද කනගාටුවට කරුණකි.
ප්‍රසිද්ධ චරිත සඳහා මෙබඳු ප්‍රචාරයන් යෙදීම සුලබ කරුණක් බව ඇත්තය. චණ්ඩියා චිත්‍රපටය සම්බන්ධව එබදු සිදුවීමක් අපි පසුගිය සතියේ අනාවරණය කළෙමු.
ඒ චණ්ඩියා ප්‍රදර්ශනය වද්දී ගාමිණි ෆොන්සේකාට පිහියෙන් ඇන මරා දමන ලද පුවතකි. මෙයින් කලබලයට පත් ගාමිණිගේ රසිකයෝ වැල නොකැඩී ඔහුගේ නිවස වට කළහ. එයින් කලබලයට පත් ගාමිණීගේ පියාණන් තම පුතුට වූ විපත්තිය අසා කම්පාවට පත්ව ඔහුගේ සගයන් රට වටා යැව්වේ ගාමිණිට වූයේ කුමක්දැයි සෙවීමටය. නක්ෂත්‍රය පිළිබඳ මනා හැදෑරීමක් සහිත ගාමිණීගේ මෑණියෝ පමණක් එයින් කම්පාවට පත් නොවුණේ තම පුතුට විපතක් නොවන බව ඉඳුරා දත් හෙයින්ය. ඇත්තටම සිදුව තිබුණේ චණ්ඩියා තිර ගත කළ ගාමිණි සිනමා හලේ අධික තදබදය සමඟ ඇති වූ ආරවුලක් දුර දිග යෑමෙන් වූ පිහි ඇණුමක් නිසා එකෙකු මරණයට පත්වීමය. කටකථාව ඉගිළ ගියේ ගාමිණී සිනමා හලේ පිහි ඇණුම යන්න වෙනුවට ගාමිණි ට පිහියෙන් ඇණ යනුවෙන්ය.
ඒ එදාය.
අප පාසල් යන සමයේ සම්මානනීය සිනමා නිළි සබීතා පෙරේරා සම්බන්ධව ද එබඳුම කටකථාවක් පැතිර ගියේය. සබීතා පිළිබඳ පැතිර ගිය කථා බහ කෙසේ ද යත් අප දන්නා එක් සගයෙක් ඇය අනතුරට පත්ව ඇති ආකාරය ඇහින් දැක තිබිණ. වාසනාවට සබීතා එබඳු අනතුරකට මුහුණ නොදුන් බව සැබෑවක් නමුත් එය දුටුවේ යැයි කියනු ලබන අපේ සගයා එක මොහොතකින් අප දන්නා නොදන්නා සියලු දෙනා අතර දන්නා චරිතයක් බවට පත් විය. වර්තමානයේ ඇතැම් සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයන් ක්‍රියාකරන්නේ ද ඒ ආකාරයටය.
ඒ සමයේ අද මෙන් සමාජ ජාලා මාධ්‍ය බහුලව නොතිබිණ. එහෙත් එම යුගයේ ද ජනප්‍රිය පුද්ගලයන් අරභයා කටකතා පැතිරවීම සිදුවිණ. එහෙත් වර්තමානයේ මේ තත්වය වඩාත් භයානකව ඇති වග නොරහසකි. පසුගිය වකවානුවේ ජයලාල් රෝහණ, ජයලත් මනෝරත්න, සිසිර සේනාරත්න වැනි කලාකරුවන් ජීවත්ව සිටියදීම මරා දමන්නට මේ සමාජ ජාලා ක්‍රියාකරුවෝ කටයුතු කළහ. ඔවුන් මිය ගියේ එයින් කලකට පසුවය. මෙයට වසර දෙකකට පෙර සුප්‍රකට හොලිවුඩ් සිනමා තරුව ආනෝල්ඩ් ස්වසෙනගර් ද එලෙස මරා දමන්නට එරට සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෝ කටයතු කළහ.
මේ ආරංචි පැතිරවීමෙන් ඔවුන් බලාපොරොත්තු වනුයේ තමා වටා ග්‍රාහකයන් වැඩි කර ගැනීම විය හැකිය. නැත්නම් මෙය මානසික රෝගයක් විය හැකිය. මේ කොයි හැටි වෙතත් මෙමඟින් එයට අදාළ පුද්ගලයන්ට පමණක් නොව ඔවුන්ට සමීප පුද්ගලයන්ට සිදුවන සිත් තැවුල කෙතරම් ද යන්න විමසා බැලිය යුතු තරම් කරුණකි. මේ මාධ්‍යය යුද්දයට කලං අයියා කොටු කර ගැන්ම එහි ආසන්නතම සිදුවීමය.
සමාජ ජාලා බිහි වීම කෙනෙකුගේ ප්‍රකාශන නිදහස පුළුල් කිරිමක් ලෙස සැලකීම යුක්ති සහගතය.
සමාජ ජාලා පැතිරයාම සමඟ අංකුර ලේඛකයන්ට ඉඩක් මෙන්ම ඇටුවන් බැස ගත් මතවාදවලට එරෙහිව මතවාද ද ගොඩ නැඟිණ. එහෙත් හැමවිටම පොදු මාධ්‍යයක් භාවිත කළ යුත්තේ කිසියම් විනයක් ඇතිවය. එය කෙනෙකුට විනෝදයක් විය හැකි නමුත් තව කෙනෙකුගේ ජිවිතය පිළිබඳ ගැටලුවක් ඇති කරලන්නකි. කාගේ වුවත් නිදහස අනිකාගේ නාසය අසලින් කෙළවර විය යුතු බවට පැරණි කියමනකි. වර්තමානයේ සිදුවනුයේ එය නොවේ. පෙරට වඩා භයානක ආකාරයටය. සමාජ ජාලා මාධ්‍යය යනු වඩා හොඳීන් ලෝකය දෙස බලන්නට හැදුණු කවුළුවක් බව ඇත්තය. එහෙත් එවැනි ප්‍රවෘත්ති පළ කරන්නන්ට එරෙහිව කිසියම් නෛතික කටයුත්කට අවතීර්ණ විය නොහැකිද යන ගැටලුව අප හමුවේ ගොඩනැඟෙමින් පවතී. මෙයින් ගැටලුවලට මුහුණ පාන කරුණු සුළුවෙන් තැකිය නොහැකිය. එය කෙනෙකුගේ ජීවිතය හා මරණය සම්බන්ධ කරුණක් බවට පරිවර්තනය ව ඇත්තේය. එබැවින් මෙබඳු පුවත් සම්බන්ධයෙන් නෛතික රැකවරණයක් කලාකරුවන් අරභයා හෝ සිදුවිය යුතුව ඇත.
ඒ සියල්ල මෙන්ම ද සෝෂල් ඩිලේමා චිත්‍රපටයේ කියන ආකාරයට තාක්ෂණය සමාජයේ පැවැත්මට තර්ජනයක් නොවේ. සමාජයේ ඇති නරකම දේ පිටතට ගෙන ඒමට ඇති හැකියාවය ගැන බිය විය යුතුය. එයින් සිදුවන නරකම දේ සමාජ පැවැත්ම පිළිබඳ තර්ජනයයි. එයටත් වඩා එමඟින් උපයන වෙළෙඳ දැන්වීම් මඟින් ලැබෙන ආදායමෙන් සමාගම් ලබන ලාභය ඉහළ දමාගන්නේ පරිශීලකයන් වැඩිපුර දිනා ගැන්මෙන්ය. ඒ සඳහා කරන්නේ එයට ඇබ්බැහි කරවීමය. මේ ව්‍යාජ ප්‍රවෘත්ති ද එම ඇබ්බැහියේම කොටසක් සේ පෙනෙන්නකි. මේ ඇබ්බැහිය හා එයට දක්වන ප්‍රතිචාර තල් ගසක් යට නිදා සිටි හාවා ලෝකය පෙරළෙන බව සිතා දිවීමත්, ඒ පසුපස සෙසු වන සතුන් ලවක් දෙවක් නැතිව දිවීමත් ගැන ජනකථාව අපට සිහිපත් කරයි.